මාව කියවන අය අතර..

30 September 2012

අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය(අවසාන කොටස)



පලවෙනි කොටස මෙතැනින් කියවන්න

තේජාන්ගෙ කට හඬ මාව මොහොතක් ගොළු කලේය. පිරිමින් සමඟ කරට කර සිටිමින් රැකියාව කලද ඔවුන් ඉදිරියේදී මගේ හදවත සැලුනේ නැති මුත් මේ පිරිමියාගේ කට හඬ ඉදිරියේදී මම ගොළුවී උන්නෙමි.

" හෙලෝ...මොකද කතා නැත්තේ ?....රවී මා ගැන කියන්න ඇති නේද ?..."

" ඔව්....කියලා තියෙනවා..."

මම අමාරුවෙන් වචන එක්කාසු කලෙමි.තිගැස්සමක් සමඟම මොකද්දෝ නුහුරු හැඟීමකින් සිත වෙලා ඇති ලෙසකි.

" ළිහිණිත් එක්ක ටිකක් කතා කරන්න හිතුනා. ඔයා ගැන විස්තර නම් අර දෙන්නගෙන් දැනගත්තා. ඒත් මම කැමතියි ඔයාගෙන්ම තව දුරටත් විස්තර දැනගන්න...මොකද අඳුන ගන්න ඕනෙ අපි දෙන්නනෙ...නේද ?..."

ඔහු කියන්නේ සැබෑවකි. අපි හඳුනාගත යුතුයි...ඉතින් අපි කතා බහ කලෙමු. වයස අවුරුදු 28ක් වූ තේජාන් මගේම වෘත්තියේ නියැලෙන්නෙකි. තමගේ මව හා පියා සමඟ අවුරුදු දහයක පමණ කාලයක සිට එරට වෙසෙන බවත්... තවත් බොහෝ තොරතුරුත් ඔහු මා ඉදිරියේ දිග හැරියේය. එයින් ඇරඹුන අපේ කතා බහ දිගින් දිගටම ටිකින් ටික දික් විය. දිනපතාම දුරකථන ඇමතුමක් දෙන්නට තේජාන් අමතක නොකරයි. " ආදරය " ගැන හැර අන් සියළු දේ ගැන අපි කතා බහ කලෙමු. මට දැනුනේ ඔහු මගේ ලෙංගතුම මිතුරෙකු ලෙසිණි. අප අතර ගොඩ නැගී තිබුනේ සැබවින්ම මිතුදමකි...

"ලිහිණි..."

"හ්ම්ම්ම්..."

" මොකෝ බං...බකමූණද අමතන්නේ ?..."

" හ්ම්ම්..හ්ම්ම්ම්ම් ..."
ඔහු මහා හයියෙන් සිනාසෙයි.මමද ඊට හවුල් වෙන්නෙමි. අපි සැහැල්ලුවෙන් සිටියෙමු. ඔහුගේ සැහැල්ලු බවටත් ඒ ගැඹුරු කටහඬටත් මම මහත්සේ ප්‍රිය කලෙමි. මගෙ වෘත්තීය ජීවිතේ ගැටළු සහගත තැන් මම ඔහුගෙන් අසා දැන ගත්තෙමි. ඇත්තෙන්ම ඔහුගෙන් දැනගන්නට බොහෝ දෑ විය.ගුරුවරයෙකු සේ එකින් එක විස්තර කර දෙන හැටි අගනේය. ඒවාට මම ආශා කලෙමි...

සිතපුරා නැගුන සිතිවිලි මිටින් කැටි කොට සිත තුලම සඟවා ගන්නට මම අපමණක් වෙහෙස දැරුවෙමි. මේ නුහුරු නුපුරුදු සිතිවිලි මට මහා වදයකි. බරකි.. පැත්තක් අල්ලාන ඔහේ කල්පනා කරන්නට සිතේ. එසේ කල්පනා නොකරන තැන සිතට මහා වෙහෙසක් දැනේ...බත් පත අතට ගත්තද කන්නට බඩගින්නක් නැත. නිදා ගන්නට නිදිමතක්ද නැත.  හීන් සැරයේ හිත තුලට පැන වැද මට වද දෙන මේ සා සිතිවිලිවලට මම විටෙක තරවටු කලෙමි. සිත ඇතුලත පෙරළියක් සිදුවෙන බව වැටහුනා මිසක ඒ කුමක්දැයි තේරුනේ නැත. හඳුනාගත නොහැකි මේ දෙය කුමක්ද.....තනිව මුමුනන්නටද...තනිව සිනාසෙන්නටද සිතේ...අහස පොලොව ගැටලන්නට තරම් මහා කල්පනාවක ගිලෙන්නටද සිතේ... හිටි හැටියේම මේ සිදුවන මහා වෙනසට මගේ සිත කැමති හැඩක් දැනෙයි...


තේජාන් සරළය...හිතුවක්කාරය..ආඩම්බරය.. සැනෙන් පරල වන්නටද..එසැනින්ම නිවී සැනසෙන්නටද ඔහුට අපූරු හැකියාවක් ඇත. ඔහු සතුව තිබෙන ගති ගුණ කෙරෙහි මම පැහැදුනෙමි.
දින සති මාස බවට පෙරලුන තැන අපි බොහෝ සේයින් ලංව උන්නෙමු. මට ඔහුගේ හිතවත් කම්...මිතුරුදම් මහත්සේ දැනුණි.එක් දිනක් හෝ ඔහුගේ ඇමතුමක් මඟ හැරුණහොත් මම මහත්සේ කලබල වීමි...

" මොකද ඊයේ කතා නොකලේ ?..."

" වැඩ බං වැඩ...ඔක්කොම ඉවර වෙලා කතා කරන්න හදද්දී පරක්කු වැඩියි. මම දන්නවනේ ඒ වෙලාවට කෙල්ල පස්සත් එළියේ දාගෙන දොයි කියලා...මම ඉතින් කතා කලේ නෑ...."

" ඒ උනාට කතා කරන්න තිබ්බනේ....මම බලන් උන්නා...."

" බලන් උන්නේ ඇයි ?...මට කතා කරන්න තිබ්බනේ...මොන වැඩ තිබ්බත් මම ආන්සර් නොකර ඉන්නෙ නෑනේ..."

" ගන්න හිතුනා...ඒත් බිසී ඇති කියලා ගත්තේ නෑ...නිකම් කරදර කරන්නේ මොකටද..."

මා කීවේ සැබෑවකි. නිකරුනේ ඔහුට කතා කොට වදයක් වන්නට මට සිතුනේ නැත.

" ඉතින්...."

එසේ පටන් ගන්නා අපේ කතා බහ බොහෝ දුර ඇදෙයි. මහා රෑ යාමයේ මම ඔහුත් සමඟ දොඩමළුව උන්නෙමි.කතා කල දෙයක්ද නැත...කතා නොකල දෙයක්ද නැත..කතා කරන්නට කිසිවක්ම නැති තැනදී සිනා සෙන්නට වුව යමක් තිබිණ..


" අද බිව්වේ මඤ්ඤං කෝපිද ?..."

" මොන කෝපි ?..."

" මඤ්ඤං කෝපි..."

" ඒ මොනාද ඒ ?..."

" නෑ ඉතින් ඔය හැටි හිනා වෙන හින්ද ඇහුවේ...."

" ඇයි...මඤ්ඤං කෝපි බිව්වම හිනා යනවද ?..."

" ඔව්..."

" පිස්සි.."

" පිස්සා"

සියල්ල සැහැල්ලුය...හිත බොහෝ නිදහස්ය...මට පාලුවක් දැනුනේ නැත. අයෝමි විහිළු කලාය.අප අතර ආදර සම්බන්ධයක් ඇතැයි කියමින් විහිළු කලාය...

" කොහොමද...වැඩේ නැගලම යනවා නේද ?..."

" මොන වැඩේද බං ?..."

" ආ...උඹ බබා... දන්නෙම නෑ නේද...අනේ මගෙ කට...."

" හොල්මන්ද...අහන දෙයක් තේරෙන්න අහපන්කෝ අයෝමි..."

" මම ඇහුවේ උඹේයි තේජාන් ගෙයි වැඩේ...."

" එහෙම දෙයක් නෑ බං..."

" එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ...."

" අපි නිකම් ෆ්‍රෙන්ඩ්ස්ලා විතරයි අයෝ...nothing  else "

" අනේ ළිහිණියෝ...උබ කාවද ඔය රවට්ටන්නේ ?... ජස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක උඹ ඔහොම වරු ගණන් ෆෝන් එකෙන් එල්ලෙන්නේ නෑ කියලා මම දන්නෙම නෑනේ...මෝඩි...."

මම ඒ ගැන සිතන්නට වීම්. මිතුරු දම් විනා අප අතර අන් යමක් ඇතිද..?එසේ තිබුනා නම් " උඹ..බං .. බොලං " යැයි ආමන්ත්‍රණය කරමින් කතාබහ කරන්නට හැකිද..

" ළිහිණියෝ..."


" හ්ම්ම්ම් "

" බසුපාට් නොදා කතා කරපන් බං..."

" මොනා කතා කරන්නද ..මම හොඳටම බිසී. මේ ඩිෆෙක්ට් එකක හිරවෙලා ඉන්නේ..."

" හුප්...මේකිගේ ගණන් බලාපල්ලකෝ...හිටපියකෝ මට අහුවෙනකම්...."

" ඇයි අහු උනාම මොනා කරන්නද ? ..."

" කරන්නෙද...කරනදේ අහු උනාට පස්සෙ කියන්නම්කෝ..."

විහිළුව තරමක් දුර ගිය වගක් දැනුනේ වචන පිටවූ  පසුය.මම නිහඬ වීමි. ඔහුද නිහඬය....

" මොකෝ සද්ද වහලා...බය උනාද ?..."

" මොකට බය වෙන්නද...මම වැඩ..."

කතාව මඟෑරියෙමි.බොහෝ කාලයකට පසුව සිතට දැනෙන සැහැල්ලුව වගේම මේ බරද මිහිරිය…මතකයට ආවේ Jelo ගේ If you only Knew   ගීතයේ වචන කීපයකි.

Could this be love….Could this be love….

පද ටික හිමි හෙමින් මිමිණුවෙමි. ඇත්තෙන්ම මේ මගේ සිතට දැනෙන්නේ පිරිමියෙකුගේ ආදරයද..නුහුරු කිතියකින් හදවත කිතිකැවිනි. හිතටත් හොරාම හීන් සීරුවේ බලාපොරොත්තුවක සේයාවක් ඇදෙනු දැනේ.ඔහුවත් මමවත් කතා නොකලද අපේ සිත් අපිට ආදරය කලා විය හැකිය. එය එසේම විය...මම ඔහුට ආදරය කරමින් උන්නෙමි...කුළුඳුලේම දැනෙන ඒ ආදරය .හිත්සේ විඳගන්නට හිත හදා ගත්තෙමි... කිසිවෙකුගෙන් නොලැබූ ආදරය ඔහුගෙන් විඳින්නටද...කිසිවෙකුටවත් නොදුන් ආදරය හදවත ගැඹුරින්ම ඔහු වෙත පාන්නටද හිත හදා ගත්තෙමි..

" ළිහිණි...කොහොමද බං ? ...."

" හොඳින් ඉන්නවා අයෝ..."

" තේජාන් කතා කලාද ?..."

" හ්ම්ම්ම්..ඊයෙ නම් නෑ. අද කතා කරයි..."

" මට උඹට දෙයක් කියන්න තියෙනවා..."

" කියාපං කෙල්ලෙ...මොකෝ උඹට බබෙක්වත්ද ?..."

" විහිළු නවත්තලා සීරියස් වෙයං ළිහිණි...ප්ලීස්..."

" මොකෝ බං මේ...? රවී එක්ක වලියක්වත්ද ?...හරි හරි කියපංකෝ….. දැන් මම ෆුල් සීරියස් ..."

සැහැල්ලුවෙන් උන් මා අයෝමිගේ සෑම වචනයක්ම සැහැල්ලුවට ගත්තෙමි.

" ළිහිණි...අයි ඈම් සොරි කෙල්ලේ..."

"  උඹට මොකද වෙලා තියෙන්නේ ? මොන කෙහෙල්මලකටද මේ මගෙන් සමාව ඉල්ලන්නේ ?.."

" මම උඹට වරදක් කලා කියලා මගේ හිත කියනවා කෙල්ලේ..."

" බම්බුව...උඹට කොහෙද මට වරදක් කලේ...හැමදාම මට උදව් කලා මිසක්..."

" ළිහිණි...අ..ර වැඩේ...ඒක...හරි යන්නෙ නෑ වගේ කෙල්ලේ..."

" මොන වැඩේද ?..."

අයෝමි මඳක් නිහඬය. ඇගේ නිහැඬියාව මාව බය කරයි. හිත තිගස්සවයි. ඇය මේ කුමක් කියන්නට සැරසෙන්නේද....

" තේජාන්ලගෙ ගෙදරින් බර බරේලු ළිහිණි..."

" ඒ මොකටද ..."

ඇය නිහඬය...නිහැඬියාව දැන් මට නුරුස්සන්නේය...

" කියපංකෝ...ඒ මොකක් හින්දද ?..."

" අනේ මන්දා බං.."

" ඇයි..? මම ලස්සන මදිලුද...නැත්තම් මට දෙන්න තරම් මහා ලොකු දෑවැද්දක් නැති හින්දද ?..."

" ඒ මළ උලව්වකට නෙමේ...උඹ කතෝලික කියලලු..මන්දා තේජාන් රවීට එහෙම කියලා..."

මට සිනා නැගිණ.. මෙතුවක් කල් මාත් තේජානුත් අතර කවර කතා බහක් සිදුවිනිද අප කිසිවිටක අපේ ආගම ගැන කතා නොකලෙමු. තේජාන් ඒ ගැන මගෙන් විමසුවේද නැත. කියන්නට තරම් උවමනාවක් මටද තිබුනේ නැත.

" ආන්ටිලා හිතන් ඉඳලා තියෙන්නේ උඹ බෞද්ධ කියලා. තේජාන් නම් ඔය එක මඟුලක්වත් ගනන් ගන්නෙ නෑ. ඒත් මහ අය තද බෞද්ධයෝලු. ගෙදරින් තේජාන්ට යුද්ධ ප්‍රකාශ කරනවලු උඹත් එක්ක මේ ගැන කතා කරලා අයින් වෙන්න කියලා....."

ඇය තවත් බොහෝ දේ කියෙව්වාය. මට ඒවා ඇසුනාදැයි මතකයක් නැත. මගේ හිත යකාගේ කම්මල වැනිය. මහා සද්දෙන් හදවත ගැහේ...තේජාන් කුමක් කරන්නට සිතනවා ඇතිද...

මා කතෝලික බැතිමතෙකුව ඇත්තේ මගේ දෙමාපියන් කතෝලික බැතිමතුන් නිසාය. එය දෙමාපිය උරුමයෙන් මා ලද්දකි.හැම ආගමකම ඇත්තේ මිනිසුන්ව යහමගට ගැනීමේ අභිලාශයක් විනා අන් කවරක්ද...බෞද්ධාගමේ හෝ වේවා කතෝලික ආගමේ හෝ වේවා හොඳක් මිසක් නරකක් නැත. මගේ ආගම කතෝලික වූ පමනින් මා එපා කියන්නට තරම් තේජාන්ගේ දෙමාපියන් ප්‍රාථමීකද...

දවස ගෙවී ගියද තේජාන්ගෙන් ඇමතුමක් ලැබුනේ නැත. බලා නොසිටියායි කියන්නට බැරිය. වෙනදාටත් වඩා උවමනාවෙන් බලා උන්නෙමි. තේජාන්ගේ මිතුරු දමට මම ලොල් වී උන්නෙමි. රැය පුරාම නිදිවරා සිතූවෙමි.දුරකථනය මා ලඟම තබා ගත්තේ ඒ ඇමතුම බලාපොරොත්තුවෙනි. ඔවුන්ට මා ඇවැසි යැයි සිතා මා තෝරා ගත්තා විනා මා ඔවුන් සොයා ගියේ නැත.දිනෙන් දින ආ මේ ගමනට මා මෙන්ම තේජානුත් හවුල් කරුවන් වෙමු. ඇසුරු කලේ මිතුරන් විලස වුවද ඒ මිතුරුදමට යටින් ඊට එහා ගිය බැඳීමක් හිත යට නොතිබුනා කියා හිත රවට්ටන්නට බැරිය. කලබල නොවී ඉවසීමෙන් හිඳින්නට මම තීරණය කලෙමි. මගේ ඉවසීම නිවැරදි කරමින් ඔහුගේ ඇමතුම පසුදා හවසක ලදිමි...නමුත් වැරදිය. කතා කලේ තේජාන් නොව..ඔහුගේ මවයි..

" දරුවො මම තේජාන්ගේ අම්මා..."

හිත පුරා ගිණිදැල් නැඟුනද...මම ඉවසීමෙන් අසා උන්නෙමි...

" ඔය ළමයා හොඳ කෙනෙක්ය කියපු හන්දා අපි කැමති උනා. ඒත් අපි දැනන් උන්නෙ නෑ ඔය ළමයා පිට ආගමක කියලා. අපි හොඳ බෞද්ධයෝ... අපේ කවුරුවත් බෞද්ධාගමෙන් පිට කසාද බැඳලා නෑ. ඒක කොහෙත්ම කරන්න බෑ. තේජාන්ට උනත් ඒක එහෙම වෙන්න ඕනෙ...තේජාන්ට ඉවසීමක් නෑ. හැම එකටම කලබලේ. ඒත් ඔය ළමයා මේවා තේරුම් ගන්න.... මහා කාලයක් නෑනේ. යන්තම් මාස දෙකනේ... මම තේජාන්ට කිව්වා ඔය කතා බහ නවත්තලා දාන්න කියලා. ඔය ළමයා නිකරුනේ බලාපොරොත්තු තියා ගන්න ඕනෙ නෑනෙ....... "

ඇය කියූ සියළු දේ මම අසා උන්නේ හිත් පිත් නැත්තියකසේය. මාස දෙකක් වුවත්..ඒ මාස දෙක ඇතුලත මගේ හිතේ බලාපොරොත්තු ලියලමින් තිබුන වග ඈ නොදන්නේද.... තවත් කිසිවක් කතා කිරීමෙන් පලක් නැත. මගේ හිත හදා ගන්නට මා දැන ගත යුතුය. හිතට අහම්බෙන් රිංගූ ආදරය බෙල්ල කෙටියෙන් අල්ලා ඇද එළියට දැමූ පසු කුමන කතාද.... හඬා වැටී දුක් වන්නට දෙයක් සිදු වී නැති බව සැබෑය. මහා දුරක් ආවේ නැති බවත් සැබෑය.වැරැද්ද මගේ ආගමේයැයි පවසනා අය ඉදිරියේ වැඳ වැටෙන්නට උවමනාවක් නැත. අමාරුවෙන් වුවද සියල්ල අමතක කල යුතුය. මම බොළඳියක නොවේ. ඇත්ත ඇති සැටියෙන් සිතන්නට ඇවැසිය...තව දුරටත් තේජාන් සමඟ කතාවෙන් පලක් නැත. ඔහුට දෙමාපිය වචනයෙන් පිට යන්නට හැකි මඟක් වේදැයි නොදනිමි.

දින දෙක තුනක් ගත වුන තැනදී තේජාන් කතා කලද ඒ වෙනදා ලෙස නොවේ. මටද වෙනදා ලෙස හැසිරෙන්නට අමතකය. අපි ඔහේ මොනවදෝ අපහසුවෙන් කතා කලෙමු. ඔහු ඇමෙරිකාවට යන බවද සති කීපයකින් එන බවද කීවා මතකය. වෙනදා මෙන් ඒවා උනන්දුවෙන් අසා ඉන්නට සිත තුල ආසාවක් නැත. තේජාන් තීරණයක් ගෙන ඇතුවාට සැක නැත. නො එසේනම් ඔහුට ඒ ගැන කියන්නට තිබිණ.කිසිවක්ම නොකියා ඔහු මුණිවත රැක්කේ තීරණය මට ගැනීමට බාර කරමිනි. මගේ ආගම ඉදිරියට දමා ඈත්වන්නට හැකිනම් තව කුමන කතාද...

තවත් මාස කීපයක් ගත උන තැන අප අපට ආගන්තුකයින් වී සිටියෙමු. ඔහුද දෙමාපිය බසට අවනත වන්නට ඇත. මම අමාරුවෙන් වුව හිත හදා ගන්නට උත්සාහ දැරුවෙමි. අයෝමි සැබවින්ම දුක් වූවාය.එහෙත් මම ඈට දොස් පැවරුවේ නැත. ඇය පැතුවේ මගේ යහපතය.මේ උන සිදුවීමට ඇය වගකිවයුතු නොවේ…සියල්ල හීනයක් මෙනි. නින්දේදී දුටු සුන්දර ලොව උදයේ ඇස් අරින කල අතුරුදහන් වූවා සේය..

ඉතින්...අහම්බෙන් ඇරඹුන මගේ කුළුඳුල් ආදර අන්දරය එතැනින් අවසාන වූයේ මාස දෙකකට සීමා වූ  ප්‍රථම ප්‍රේමයක නටඹුන් පමණක් මට ඉතිරි කරමිනි.

ප ලි.

තේජාන්ගෙත් මගෙත් මේ පලහිලව්ව අයෝමිත් රවීත් ඇරෙන්නට වෙන කිසිවෙකුත් දැන උන්නේ නැත. වෙනතක් තියා මගේ අම්මාවත් ඒ ගැන දන්නෙ නැත. මේ සිදුවීමට දැන් වසරකට ආසන්නය. මම හිත හදා ගත්තෙමි. පිරිමියෙකු කෙරෙහී ඇදී නොගිය මගේ හිත ඇසින් නොදැක දුර රටක උන් තේජාන්ට ඇදී ගියේ කුමකටදැයි නොදන්නෙමි. තේජාන් මීට දවස් කීපයකට කලින් මෙරටට පැමිණ දුරකතන ඇමතුමක්වත් නොදී මගේ රැකියා ස්ථානයට මා සොයා ආවේය. ඔහුව හොඳින් දැක්කේ එදාමය. මම පුදුමයෙන් තිගැස්සී උන්නෙමි. ඇස් පිල්ලන් නොගසා විනාඩි කීපයක් මා දෙසම බලා උන් තේජාන් ගැඹුරු හුස්මක් ගන්න හඬ ඇසුණි.. අපි මොහොතක් කතා බහ කෙරුවෙමු. එදින හවස යළිත් ඔහු මට දුරකථනයෙන් කතා කලද මම ඇමතුම ගත්තේ නැත.යලි යලිත් හිත රිදවා ගන්නට මට උවමනාවක් නැත.





98 comments:

  1. දුක මිශ්‍ර තරහකින් මම නම් ඉන්නේ!
    මේක පුදුම ජාතිවාදී රටක් අප්පා!:-/
    ගැනියෙක් කසාද බඳින්න වැඩිම සුදුසුකම්(තේරුමක් නැති) බලන රට මේක වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. සමහර දවස්වලට කියවන්න දෙයක් නැති උනාම පත්තරේ තියෙන මංගල දැන්වීම් කියවන වෙලාවට අපූරු අපූරු දේවල් කියවන්න ලැබෙනවා නුවන්. බලාගෙන යනකොට සමහර අම්මලා පුතාලට හොයන්නේ " හොඳ කෙල්ලක්"නෙමේ..සුදුසුකම් විතරයි :)

      Delete
  2. කොමෙන්‍ටුවක් දාන්න ඕන දරුවෝ ඒත් මොනවා ලියන්නද කියලා හිතා ගන්න බෑ. මම ආයෙත් එනවා මොනා හරි කියන්න.

    ReplyDelete
  3. පිට රටවල් වල කොච්චර කාලයක් ඉඳලත් තේජාන් ගෙ අම්මල තාත්තලාගෙ ගෝත්‍රික, දූපත් මානසිකත්වය නැති වෙලා නැහැනෙ.....මේ කථාව කියවද්දි මට මතක් උනා මගෙ හොඳම යාළුවෙකුයි, යෙහෙළියෙකුයි ආදරේ කරලා බඳින්න ගෙවල් වලට එහෙම කියලා ලෑස්ති වෙද්දි පොරොන්දම් ද මොකක්ද කෙහෙල් මලක් හරියන්නෙ නෑ කියලා දෙන්න වෙන් උනා. දෙන්නම බෞද්ධ... එක්කෝ ආගම වෙනස් කියලා බඳින්න දෙන්නෙ නෑ. එක්කෝ එකම ආගමේ උනත් කුලේ වෙනස් කියයි. පොරොන්දම් වෙනස් කියයි. අනේ මන්දා.... හොඳ වෙලාවට මම කතෝලික උනේ.....

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයා මුස්ලිම් හරි බුද්ධාගමේ හරි කෙනෙක්ද බැදලා ඉන්නේ බොරැ කථා කියන්න එපා හලෝ වෙන්න එනා ඒක තමයි නැත්නම් වෙන්නේ බුද්ධාගමේ කෙල්ලෙක් වෙන ආගමක කොල්ලෙක් බැන්දොත් ඒ ආගමට හැරෙන එකයි හැබැයි අපේ මෝඩයෝ වැඩි දෙනෙක් වෙන ආගමක කෙල්ලෙක් බැන්දොත් ඒ ආගමට හැරෙන එකයි කරනනේ
      මගේ පූර්ණ ආචාරය තේජාන්ට හා ඔහුගේ වැදගත් දෙමාපියන්ට.......

      Delete
    2. @ Anonymous

      මට තියෙන ගැටළුව මේකයි. එකම ආගමේ දෙන්නෙක් වීම සහ පොරොන්දම් ඔක්කොම ගැලපීමෙන් කසාද බැඳපු හැමෝගෙම ජීවිත සාර්ථක වෙනවද ? තේජාන්ගේ අම්මට තිබුන ගැටළුව මට ලග්ණයක් නැති වීම. අනේ මන්දා...මම නම් හිතුනේ එකම එක දෙයයි. අම්මලාට වඩා තේජාන් ඇඹරිලා කියලා. මොකද අඩුම තරමින් ඒ ගැන මා එක්ක කෙලින් කතා කරන්න තරම්වත් තේජාන්ගේ හිත හයිය උනේ නෑ.

      Delete
    3. @ Rankothge Niroshan Buddhika Senarathne

      ඔයාගේ විතරක් නෙමේ සහෝ..මගෙත් පූර්ණ ආචාරය තේජාන්ට හා ඔහුගේ වැදගත් දෙමාපියන්ට. ඒ හන්දනේ මට මේ මනුස්සයාව තේරුම් ගන්න පුළුවන් උනේ. නැත්තම් තේජාන් කසාද බැන්ඳට පස්සෙත් එයාගෙ අම්මලාගෙ වචනවලට දෙකට තුනට ඇඹරි ඇඹරී ඉඳීවි.

      Delete
    4. මම කිව්වේ ඔයා හිතන පැත්තට නෙවෙයි ඔයා ඒක වැරදියට වටහා ගන්න එපා කවදා හරි ඔයා කසාද බැදලා අම්මා කෙනෙක් වුන දාට දුවෙක් පුතෙක් දීග දෙන දවස් වලදි ඔයාත් ඔය තත්වයටම පන් වෙවී

      Delete
    5. එල...! නියම උත්තරේ ගෑණු ලමයෝ. පැත්ත ගියත් ඇත්ත කියන්න පුළුවන් කටක් තියනවා මෙයාට..! හිකිස්...!

      Delete
    6. @ Rankothge Niroshan Buddhika Senarathne

      දරුවෙක්ව තේරුම් ගන්න බැරි නම් දෙමාපියන්ගෙන් වැඩක් තියෙනවද සහෝ....මම නම් හිතන්නෙ නෑ මම අම්ම කෙනෙක් උන දවසට තේජාන්ගෙ අම්මා වගේ වෙයි කියලා. මොකද මට ඕනේ මගේ දරුවන්ට මනුස්සකම් උගන්වන්න මිසක් හණමිටි කරේ තියාගෙන යන්න කියන්න නෙමේ.දරුවෙක්ගෙ සතුට බලාපොරොත්තුවෙන දෙමාපියන් කරන්නෙ එහෙමයි.

      Delete
    7. @Sarath Chandrasiri

      බොරු නෙමේ සරා අයියෙ...මේ අදත් මට කෝල් කරනවා. මම කතාකරන්නෙ නෑ.මීට අවුරුද්දකට කලින් අම්මලා ලඟ ඇඹරුන මනුස්සයෙක් මොකට ආයෙ මට කතා කරනවද....

      Delete
    8. @ Rankothge Niroshan Budhdhika Senarathne - මමනම් බඳින්න ඉන්නෙ කතෝලික ගෑණු ළමයෙක්ව.. ඔයා මොකද මේ කලබලේ.. මම කිව්වෙ මේ වගේ බාල ආකල්ප තියෙන ගොඩාක් අය කොයි වගේ මිනිසුන්ද කියලා සහ ඒ හණමිටි අදහස් මට නැති වීම ගැන මම සතුටු වෙනවා කියලයි. මම ඔක්කොම කොමෙන්ටු කියෙව්වා. එක තැනක ළිහිණි කියලා තියෙනවා දෙමව්පියන්ගෙ තීරණයට විරුද්ධව, තමන්ගෙ ආදරේ වෙනුවෙන් කට අරින්න ඒ තේජාන් ට කොන්ද පණ තිබ්බෙ නෑ කියලා.. මම උඩ කොමෙන්ටුවෙ කිව්ව මගෙ යාළුවො දෙන්නගෙ සිද්ධියෙදිත් තමන්ගෙ අම්ම විරුද්ධ වුනු වෙලේ ආදරේ වෙනුවෙන් කථා කරන්න කොල්ලට කොන්ද පණ තිබ්බෙ නෑ.... දෙන්නම් බෞද්ධ වෙලත්.....ළිහිණිට ජය වේවා. කවුදෝ තවත් තැනක කියලා තිබ්බා වගේ ඔය වගේ පීචං චරිත නැතුව හොඳ කොන්ද පණ තියෙන හොඳ යහපත් ආකල්ප තියෙන හොඳ කොල්ලෙක් ළිහිණිට ලැබේවා!

      Delete
    9. රන්කොතගේ ට තියෙන්නෙ ආගම ගැන සංවේදීතාවයක් මිසක් විවාහය හෝ ආදරය ගැන සංවේදීතාවයක් නොවෙන බව පැහැදිලීයී.

      Delete
    10. @Anonymous

      ඇත්තටම තේජාන් ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ. අඩුම තරමින් අපි මේ වෙන් වෙන්නේ මේ කාරණය නිසා කියලත් කතා කලේ නෑ. සමහර විට දෙමාපියන්ගේ බලපෑම නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ කියලා හිතපු නිසා වෙන්න පුළුවන්. මොන දෙයක් උනත් පිරිමියෙක් උනාම ඉස්සරවෙලාම ප්‍රශ්නයක් ආවම ඒවා කතා බහ කරන්නවත් පුළුවන්කමක් තියෙන්න ඕනෙනෙ....

      Delete
    11. @Anonymous
      ඔයා ඇයි ඔච්චර දේවල් කියන්නේ කිසිම නමක් ගමක් නැතිව එච්චරටම ලොකයට මුහුණ දෙන්න බයයිද?
      මගේ අංක 1 ත් දෙකත් තුනත් රට ජාතිය ආගම ඒ ගැන නොහිත වැඩ කරොත් අනාගතේදී කසාද බැදලා ආදරය කරන්න රටක් ඉතාරි නොවේවි

      Delete
    12. // මගේ අංක 1 ත් දෙකත් තුනත් රට ජාතිය ආගම ඒ ගැන නොහිත වැඩ කරොත් අනාගතේදී කසාද බැදලා ආදරය කරන්න රටක් ඉතාරි නොවේවි //

      මනුස්සකම් නැතුව ඉතිරි උන රටක..ජාතියක..ආගමක ඇති පලේ මොකද්ද...?

      මොනා උනත් සහෝ මම මේ පෝස්ටුව දැම්මේ ඔය කියන එකකටවත් වාද කරන්න නම් නෙමේ..

      Delete
    13. ළිහිණි නියමයි බන් ඇඩ්‍රස් නෑ දුන්න රිප්ලයි එකට

      Delete
  4. මොනවා කියන්නද මන්දා :( මට මතක් වෙන්නේ මේකේ පළවෙනි කොටසට මම දාපු කමෙන්ට් එකක්..විවාහයේදී ආගම් වාදෙත් කුල වාදෙත් තියන රටේ ජාති වාදේ නැති වෙන්නේ කොහොමද කියලා. බලද්දී දෙවැනි කොටස ආගම් වාදේ ගැන...හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මගේ හිත රිදුනේ තේජාන්ට ඒ ගැන වචනයක්වත් කතා කරන්න බැරි උන එකට සයුරි. අඩුම තරමින් අපි මේ හන්දා තීරණයක් ගමු කියන්නවත් එයාට හයියක් තිබ්බේ බෑ. බලන් ගියාම ආගම්වාදය තේජාන්ගේ හිතෙත් දරුණුවට තිබිලා වගේ

      Delete
  5. මේ ලේකෙ අපිට ලැබෙන්නෙ නැති දෙවල් තියනව නම් කොච්චර උත්සහ කරත් ඒව ලබාගන්න ඒ දේවල් ලැබෙන්නෙ නෑ.ඒව ලබාගන්න හදනකොට හිත් පෑරෙනව තමයි.ඒත් තියන ආදරේට වඩා බිඳුනු ආදරේ සුන්දරයි.එක අතකින් ඔයා වාසනාවන්ත උනා ආදරේ කරන කෙනාගෙ මූණ හරි බලල කතාබහ කරන්න.දෙමවුපියො නම් ඉතින් තමන්ගෙ ස්ථාවර වෙනස් කරන්නෙ නෑ ලේසියෙන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කස්ස මේ දෙය මම ලබා ගන්න උත්සාහ කරපු දෙයක් නෙමේ. එයාලම මාව තෝරාගෙන මාව ලබාගන්න ආවා.එයාලම හැරිලා ගියා.
      දුකක් නොදැනුනා නෙමේ. මොකද ඒ මගේ පළවෙනි ආදර හැඟීම නිසා. තේජාන්ව ඇස් වලින් දැක්කෙ නැති උනත් අපි වීඩියෝ කෝල්වලින් ස්කයිප් වලින් කතා බහ කලා. ඒත් ගිය සතියේ එයා මාව හොයාගෙන ආපු වෙලාවෙදි ඇස් වලින් දැක්කා කියලා මට වෙනසක් නම් දැනුනේ නෑ. මොකද ඒ වෙද්දී මගෙ හිතේ තේජාන් කෙනෙක් නෑ. අදටත් තේජාන් මට කතා කරන්න උත්සාහ කරනවා

      Delete
  6. හප්පා, එතකොට ඔහොමයි වුනේ? යන අය ගියදෙන් ළිහිණි. ඕක අමාරුවෙන් හරි කලත් ඔය ප්‍රශ්නෙ ඔයිට වඩා ලොකුවට මතුවෙනවා. හිතේ කැළල හිටියත් තුවාලේ සනීපවෙනවා කාලයත් එක්ක. දැන් පොඩ්ඩක් වටපිට බලන්න අලුත් බලපොරොත්තුවකින්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි ඉතින් උනේ ඩූඩ්.යන්තම් මාස දෙකයි.ඔක්කොම ඉවරයි.....

      මම කිසිදෙයකට හදිස්සි උනේ නෑ ඩූඩ්.බලමු.තාම අවුරුදු 25යිනෙ...:)

      Delete
  7. අනේ ළිහිණි මේකට මං මොනවා ලියන්නද.සත්තකින්ම මම ඔබ ගැන දුක්වෙමි.නැගෙණිය ඔබට කිසිදිනක වරදින්නේ නැත. මෙතෙක් කලක් ආවා සේ දිරියෙන්ම ඉදිරිය බලමු.ඔබට හිමි සහකරු ලැබෙනු ඒකාන්තය.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා මම මේක අමතක කරලා හිත හදාගෙන ඉන්නේ..ආයේමත් මතකෙට ආවේ ගිය සතියේ තේජාන් ලංකාවට ඇවිත් මාව හොයාගෙන අපේ ඔෆීස් එකට ආපු නිසා.එදා තමා මම තේජාන්ව දැක්කේ....ඇත්තටම..

      Delete
  8. ඕවට සැලෙන්ඩ එපා !
    ඔය ප්‍රශ්නේ ඔතනින් කෙලවර උන එක ලොකු දෙයක්. බැරිවෙලාවකවත් කසාද බැන්දට පස්සේ ඕක ඇදුනා නම් ආයේ මොනවා කියලා කරන්ඩ ද...

    ReplyDelete
    Replies
    1. ඒක ඉවරයි. ඉවර උන එක හොඳයි මධූ.ඇත්තමයි. ඒ වගේ පටු අදහස් තියෙන අය එක්ක ජීවත් වෙන්න මට බැරි වෙයි...

      Delete
  9. අම්මලා ගැන නම් කතා කරන්න එපා ළිහිණියෝ.... හිතක් පපුවක් නැති අය වැඩියි ඒ කැටගරියේ ... විශේෂයෙන්ම කොල්ලෙක් එක්ක යාලුවෙච්ච කෙල්ලෙක්ට අකමැති නම්.... දැන් කට්ටිය මට බනියි මෙහෙම කිව්වම... ඒත් මමත් ඔය වගේම කතාවක් අහලා තියෙනවා....

    මං උඹට කාටවත් කියපු නැති කතාවක් කියන්නම්....
    මමත් ඔය වගේම කතාවක් අම්මා කෙනෙක්ගෙන් ඇහුවා.... “ගෙදරින් ඔයාට කෙනෙක් හොයනවනේ... ඒ එකකට කැමති වෙන්න... මේක අතාරින්න..“ කියලා කිව්වා.... අන්න ඒකයි මම හිතක් පපුවක් නෑ කියලා කිව්‌වේ...
    ඒ වෙලාවේ මං ඇහුවා මං ආදරේ කරපු කෙනාගෙන් “ ඇයි උඹ කටපියාගෙන හිටියේ.. උඹට අහගෙන ඉන්න පුළුවන් උනාද උඹේ අම්මා මට ඒ විදියට කියනකොට ...“ කියලා....

    ඔය කතාව බොහොම දිග දුර කතාවක්.... අපි හොඳම යාලුවෝ.... මගේ යාලුවා එයාගේ අම්මා ඔය ටික කියපු වෙලාවේ මොනතරම් ඇඬුවද කියලා දන්නේ මම පස්සේ.... ඒ වෙලාවේ මම ඒ අම්මට හිතින් මෙහෙම කිව්වා....“ අම්මා අද මට මේ කියපු දේ ඔයාගේ දුව නිසා ඔයා තවත් අම්ම කෙනෙක්ගෙන් කවදහරි අහගනියි.... අන්න එදාට ඔයාට මට මේ කියපු දේ මතක් වෙයි...“ කියලා.....

    ඒ තරම් තරහක් මට දැනුනා ඒ වෙලාවේ.... මම මාස ගාණක් එක දිගට ඇඬුවා.... මොකද මට නැති උනේ මගේ හොඳම යාලුවා....

    උඹේ මේ කතාව කියෙව්වට මගේ හිතේ ආයිත් ඒ තරහා, දුක මතු උනා.... ඒ කියන්නේ මට අවුරුදු 5 කට පස්සේත් එදා හැඟීම ඒ විදියටම දැනෙනවා කියන එක....

    ReplyDelete
    Replies
    1. //අම්මලා ගැන නම් කතා කරන්න එපා ළිහිණියෝ//
      ඔයා අම්මා කොනක් වෙලා දුවෙක් හදලා එයා දැන් ඔයාගේ වයට ආපුවාම කරන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවාද?
      අම්වා කොනක්ගේ තාත්තා කෙනෙක්ගේ වයිනාකම දැනෙන්නේ තමනුත් ඒ තත්වෙට ආවයින් පස්සේ කියලා මට හිතෙන්නේ

      Delete
    2. මායි තේජානුයි ඔය මාසදෙකට හුඟාක් දේවල් කතා බහ කරලා තියෙනවා හිරූ.ඒත් අන්තිමේදී මේ ප්‍රශ්ණය කතා කරන්න තේජාන්ට බැරි උනානෙ..
      දුකක් නෑ. මොකද ඇත්තටම මට ඒ වගේ අය එක්ක කොහොමත් ජීවත් වෙන්න බෑ කෙල්ලේ...

      Delete
    3. @ Rankothge Niroshan Buddhika Senarathne

      ඇත්ත කියනවනම් දරුවෙක්ගේ සතුටට වඩා යමක් මට අවශ්‍ය කරයි කියලා මම හිතන්‌ෙන් නෑ... දරුවෙක්ගේ අම්මට තියෙන ආදරේ උගස් තියලා දරුවෙක්ගේ ජීවිතේක තියෙන දෙයක් නැති කරන්න මම උත්සාහ කරන්නෙත් නෑ.... ම‌ෙග් අම්මලා එහෙම කළෙත් නෑ..... සල්ලි නැති, රස්සාවක් නැති, ඉන්න හිටින්න තැනක් නැති, අරක්කු සිගරට් වලට ඇබ්බැහි වෙච්ච පුතෙකුට මම අකමැති වේවි.. එත් හඳහන්, පොරොන්දම් සහ ආගම කියන්නේ මම කිසිසේත් සලකන්නේ නැති සාධක, එයාලට ඒක ප්‍රශ්නයක් නැත්තම්....

      දුවෙක් ඉන්න අම්මා කෙනෙක් හැටියට තවත් දුවෙක්ගේ හිතක් තේරුම් ගන්න බැරි නම් ඉතිං කතා කරලා වැඩක් තියෙනවාද.... ? මිනිහෙක් පාරෙන් අහුලගන්න බෑනේ...

      //අම්වා කොනක්ගේ තාත්තා කෙනෙක්ගේ වයිනාකම දැනෙන්නේ තමනුත් ඒ තත්වෙට ආවයින් පස්සේ කියලා මට හිතෙන්නේ//

      මේ කතාව ඇත්ත... මම කතා කලේ ප්‍රේම සම්බන්ධතා සහ විවාහයෙදි සමහර දෙමාපියන් හැසිරෙන්නේ එයාලට එහෙම කාලයක් තිබුනේ නෑ... ළමයින්ගේ හිත් සෙල්ලම් බඩු කියලා හිතාගෙන.. අන්න ඒක විතරනේ මෙතන අපි කතා කළේ...


      ළිහිණි....

      ඔය කියන දේ හරි... කොන්ද පණ නැති කොල්ලෙක් බැන්දොත් ඊට වඩා දුක් විදින්න වෙනවා.....

      Delete
  10. සිද්ද වෙච්ච දේ නම් ගොඩක් අසාදාරණයි. කෙනෙකුගේ ගතිගුණ ක්‍රියාකලාපය ඇර වෙන දේවල් වලට විරුද්ද වීම මමනම් දකින්නේ මෝඩකමක් විදියට. නමුත් අනාගතය ඔයාගේ ඉස්සරග බලන් ඉන්නවා. හිත ශක්තිමත් කරන් ඉදිරියට මුහුණ දෙන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා....මෝඩකමද නැත්තම්....අපි බෞද්ධයෝ කියන බොරු පුරාජේරුවද මන්දා...

      Delete
    2. @ ළිහිණි - නියම උත්තරේ.

      Delete
  11. හ්ම්ම්..අප්පේ..බලපුවහම හැම තැනකම වෙන්නේ මේකනේ...ආගම්...ජාති..කුල..උඩරට..පහතරට...මොන මගුලක්ද මන්දා!!!

    ReplyDelete
    Replies
    1. මේක සිංහල බෞද්ධ රටක් නෙ සහෝ....ඒ හන්දා වෙන්න ඇති...

      Delete
  12. මේ වගේ දෙයක් නිසා වෙන් වෙන්න වුණ එක නම් ඇත්තටම කණගාටුවට කරුණක්. පෙරලුන පිට හොඳයි කියලා වත් හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්... පෙරලුන පිට හොඳයි කියලා හිතනවා. මොකද මේක මෙහෙම උන එක එක අතකට හොඳයි. තව ඉස්සරහට ගියා නම් තව සිද්ධ වෙන්නෙත් ඔය වගේම දේවල්නෙ. නොගැලපීම් එක්ක ජීවත් වෙන එක දස වදයක් කරගන්න එකට වඩා වෙන උන එක හොඳයි. එතකොට අපි දෙන්නගෙම ජීවිත සාර්ථක වේවී

      Delete
  13. ආදරය මිනිසුන් අතරය... වෙනත් සංකල්පමය හෝ භෞතික දේ තුළ සිරවී සිටින නොමිනිසුන් අතර නොවේ... ආදරය කිරීම යනු විවාහ වීමට සුදුස්සා තේරීමය... විවාහයට සුදුස්සා මිනිසෙක්මය... ආදරය කිරීමට නොදන්නා කෙනෙකුට ආදරය කර කුමන පළක් වේද? එහෙයින් ඔහු ඉවත් කළ යුතුය...

    අනවශ්‍ය දේ ඉවත් කර අවශ්‍ය දේ පිළිවෙලට තබා ගත යුතුය... ජීවිතය සුන්දර වන්නේද සිත නිරවුල් වන්නේද එවිටය... ඔබ මේ තබා ගෙන ඉන්නේ ඔබට අනවශ්‍ය මතකයකි... ඔබේ සිත නිරවුල් වන්නේ එම මතකය ඉවත් කළ දිනටය...

    ලෝකය යනු ඔබත් ඔහුත් අතර ඇති පටු සීමාව නොවේ... ලෝකය දෙස දෑස් හැර බලන්න... එවිට ඔබට නොමිනිසුන් අතර සිටිනා මිනිසුන් හමු වේවි...

    ReplyDelete
    Replies
    1. // ආදරය මිනිසුන් අතරය... වෙනත් සංකල්පමය හෝ භෞතික දේ තුළ සිරවී සිටින නොමිනිසුන් අතර නොවේ //

      හැමෝම මෙහෙම හිතන්නෙ නෑනෙ..එතනයි වැරද්ද

      //ලෝකය යනු ඔබත් ඔහුත් අතර ඇති පටු සීමාව නොවේ... ලෝකය දෙස දෑස් හැර බලන්න... එවිට ඔබට නොමිනිසුන් අතර සිටිනා මිනිසුන් හමු වේවි...//

      අනිවාර්යෙන්ම..

      Delete
  14. මටත් නිකන් තෝන්තුයි වගේ... :0

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. ආගම නිසා හිත රිදව ගන්න උණ අවස්ථා මගෙ ජීවිතෙත් තියෙනවා. කෙටි කතා ටිකක් ලියන්න පුළුවන් අත්දැකීම්. ඒත් ආගම ගැන නොහිතා මනුස්සකමින් ජීවිතේ ළග ඉන්න පිරිස වැඩියි. ඒ ගැන හිතල මම සතුටු වෙනවා.

    කාලයක් මම හිතින් ආදරය කළ ''විමලවර්ධන'' කෙනෙක් මගෙන් ඇහුවා ඇයි ඔයාගෙ වාසගම '' ප්රතනාන්දු'' කියල මට නොකිව්වෙ කියල. විශේෂයෙන් සම්පූර්ණ නමම කියන්න හේතුවක් තිබුණෙ නැතුවත් එහෙම ප්රලශ්නයක් ඇහුවම දැණුන දුක තාමත් මගේ හිතේ ඇනිච්ච විස කටුවක් ‍වගේ රිදුම් දෙන වෙලාවල් තියෙනවා. ආගම, ජාතිය, කුලය, පන්තිය නිසා මිනිස්සු ප්ර තික්ෂේප කරන එක කොයි තරම් පාපයක්ද?

    ReplyDelete
    Replies
    1. මම කතෝලික ආගමේ උනාට බෞද්ධ පොත් පත් නිතර කියවන කෙනෙක්. මොකද මම හැම දෙයකින්ම ජීවිතේට යමක් අරගන්න උත්සාහ කරන නිසා. හිත හුඟාක් රිදුන වෙලාවට මම පන්සල් ගිහින් තියෙනවා. ඒ පටු විදියට හිතන්නෙ නැති නිසා...කමක් නෑ..ඒ එයාලගෙ කැමත්ත. මම ඒ කැමත්තට ඉඩ දුන්න....

      Delete
  16. මේක නම් හරිම අසාධාරණයක් ... ආගම් ජාති කුල භේද තවමත් ඔලුව උඩ තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ... ඇයි මිනිස්සුන්ට හිතන්න බැරි හැමෝම මනුස්ස ජාතියේ කියලා...
    මමත් ක්‍රිස්තියානි ජාතිකයෙක් එත් මම හැම ආගමකටම ගරු කරනවා... විවාහයේදී වගේම හැම දෙකදිමත් මම ජාති ,ආගම් බේද සලකන්නේ නැහැ... එහෙම කරනවානම් ඒක හරිම පිස්සු වැඩක් ..

    ReplyDelete
    Replies
    1. // ආගම් ජාති කුල භේද තවමත් ඔලුව උඩ තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ //

      හැම තැනම ඉන්නවා. ඔය පේන්නෙ නැද්ද බංගලාදේශයේ අපේ බෞද්ධ විහාරවලට කරලා තියෙන විනාශය....

      //මමත් ක්‍රිස්තියානි ජාතිකයෙක් එත් මම හැම ආගමකටම ගරු කරනවා//

      මමත්...ඒ නිසා තමා අදටත් මම බෞද්ධ පොත පත පවා කියවන්නේ...බලන්න මේ පාර පොත් ප්‍රදර්ශණයෙන් බෞද්ධ පොත් කීයක් අරගත්තද...

      Delete
    2. ගොඩක් හොදයි... මමත් බෞද්ධ ධර්මය හරිම අසාවෙන් ඉගෙන ගන්නවා තවම.. ඒවායින් අපේ ජිවිතේට ගන්න තියෙන දේවල් ගන්නවා... එත් සමහර බෞද්ධයෝ අපේ ආගමට සහ මුස්ලිම් ආගමට ගරහනවා සබැ බුදු දහම කියන්නේ ඒක නෙමේ..

      Delete
  17. අපේ සම හරක් බෞද්ධයො අතරෙ ඔය වගේ දෙකයි පණහෙ ආකල්ප තියෙන අය තාම ඉන්නවා. කොච්චර සල්ලි හම්බුනත් පිටරට වල කරක් ගැහුවත් ඒ ආක්ල්ප වෙනස් කරන්න බෑ......ළිං මැඬි මානසිකත්වය....
    ඔයාලගෙ හොඳ බෞද්ධ කම ඔයාලම තියා ගන්න කියලා වෙන අතක් බලා ගනින් ළිහිණියෝ.. කිසිම දේකට වට්ටවන්න බැරි උණු උඹව ඔය වගේ සත පණහෙ දේකට වැටෙන්න දෙන්න එපා. උඹව වට්ටවන්න කාටවත් බෑ

    ReplyDelete
    Replies
    1. // අපේ සම හරක් බෞද්ධයො අතරෙ ඔය වගේ දෙකයි පණහෙ ආකල්ප තියෙන අය තාම ඉන්නවා. කොච්චර සල්ලි හම්බුනත් පිටරට වල කරක් ගැහුවත් ඒ ආක්ල්ප වෙනස් කරන්න බෑ...//

      සහතික ඇත්ත....

      Delete
  18. ලිහිනි මේ කතාව කියෙව්වට පස්සෙ මට හිතුනේ එකම එක දෙයයි. ඒ වගෙ කොල්ලෙක් ඔයා වගෙ කෙනෙක්ට නොලැබිච්ච එකමයි හොඳ කියලා. කතාව කියවාගෙන යද්දීම තේරුම් ගන්න පුළුවන් ඔය ප්‍රශ්නය විසදන්න තේජාන් මදිහත් උනේ නෑ කියලා. එහෙම් පීචං ඩයල් එකක් ඔයා වගේ එක්කෙනෙක්ට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. ඒක හින්දා සතුටු වෙන්න තමා තියෙන්නෙ.

    නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවනෙ...මනුස්සකම තේරුම් ගන්න බැරි ගල් යුගයක හනමිටි කර තියන්න ඉන්න තේජාන්ලගෙ අම්මලා වගෙ අය තමාගේ පුතාට හොයන්නේ මනුස්ස දුවක් නෙමේ.

    ශෙශාන්

    ReplyDelete
    Replies
    1. මේ කතාවට තරු ලකුණක් දෙන්න ඕනේ......

      Delete
    2. ඉබ්බා දියට දැම්මම මියෙඤ්ඤං කිවුවළු..! දුවන කාටද උම්බලකඩෙන් ගැහුවා වගේ කියලත් කියනවා...............හිකිස්....!

      Delete
    3. @ ශෙශාන්

      අර කිව්වත් වගේ මනුස්ස දුවක් හෙව්වා නම් මට මෙහෙම කරාවිද...කතාව ඇත්ත ශෙශාන්

      Delete
    4. @Sarath Chandrasiri

      කොහෙන් එන වචනද මන්දා :D

      Delete
  19. ගොඩ දේවල් කියන්න ගියාට අන්තිමට හ්ම්ම්.....කියල නවත්තන්න හිතුනා.....

    ReplyDelete
    Replies
    1. හැම නැන්දම්මලාම මෙහෙම නෑ හිරූ නංගා

      Delete
  20. මම දෙතුන් සැරයක්ම ලියන්න හැදුවා ලිහිණියෝ. ඒ උනාට ලියන්න ඕන සේරම කෙටියෙන් ලියන්න බෑ වගේ කියලා දැනෙනවා. හැබැයි මේ සිද්ද උන දේ ඔය විදිහට නිමා උන එක හොඳයි.එහෙම කියන්න කාරනා කීපයක්ම තියෙනවා.
    1 උගත්ය කියන ඒ මිනිස්සුන්ගේ ප‍ටු ආකල්ප.
    2 පිරිමියෙක් විදිහට සෘජු තීරණ ගැනීමේ හැකියාවක් නැති කම
    3 තමන් ගැන තබා ඇති අධිතක්සේරුව
    4 අන්‍යයන් පහත් කොට දැකීම

    ජීවිතේ දිනන්න ඔයා යන ගමන සරල එකක් නොවෙන එකේ ඔයාට මෙහෙම තැනක නවතින්න අමාරුවෙනවා දරුවෝ. එහෙම දේකට ඔයාගේ හිත එකඟ කරගන්න ඔයා ජීවත් වෙන්න දරපු උත්සාහයට වඩා ලොකු සටනක් කරන්න වෙනවා. එහෙම කරත් යම් යම් අවස්ථාවලදී ඒ නොගැලපීම් අඩුපාඩු ඉස්මතු වෙන්න ගන්නවා. ඒවා අනාගතේට බලපාන්නේ නෑ කියන සහතිකේ දෙන්න කාටවත් පුලුවන් කමක් ඇතිය කියලා මට හිතෙන්නේ නෑ.වතුර බිංදුව කොච්චර කුඩා උනත් ගොඩ කාලයක් එකතු උනොත් වැවක් වෙනවා,නියමිත වෙලාවට වාන් දොර‍ටු විවෘත නොකලොත් වැව් බැම්ම කැඩෙන්න හේතු වෙන්නෙත් අර කලින් කියපු වතුර බිංදුම තමයි.

    තව ටික දවසක් ඔහොම ඉඳින් කෙල්ලේ ලඟදිම එයි "සපුමල් කුමාරයා" වගේ කොල්ලෙක් ඔය අත ඉල්ලගෙන.
    කිවුවොත් මමත් එනවා එදාට කැවුමක් කාල යන්න.
    (අපිත් මහා කළු සිංහලයෝ. දෙශීය කෑම විතරමයි කන්නේ. කේක් කන්නේ නෑ. සිංහල කම ඔළුව උඩනේ.හිකිස්...!)

    දන්නවද ඔය සපුමල් කුමාරයා සම්බන්ධ කතන්දරයකුත් මට තියෙනවා.මම ඒක ලඟදිම කියන්නම්කෝ ඔයාට හිනා යන්නත් එක්ක.
    ගෙහුං එඤ්ඤං ඈ...!!!

    ReplyDelete
    Replies
    1. // 1 උගත්ය කියන ඒ මිනිස්සුන්ගේ ප‍ටු ආකල්ප.
      2 පිරිමියෙක් විදිහට සෘජු තීරණ ගැනීමේ හැකියාවක් නැති කම
      3 තමන් ගැන තබා ඇති අධිතක්සේරුව
      4 අන්‍යයන් පහත් කොට දැකීම //

      මේ සේරම ඇත්ත. දෙවෙනි එක නම් තේජාන්ට කොහෙත්ම තිබුනේ නෑ

      // තව ටික දවසක් ඔහොම ඉඳින් කෙල්ලේ ලඟදිම එයි "සපුමල් කුමාරයා" වගේ කොල්ලෙක් ඔය අත ඉල්ලගෙන //

      අඩි පහයි අඟල් දහක්වත් උස එකෙක් වෙන්නත් එපායෑ. ඉස්සර මගෙන් යාලුවෙන්න අහන හැමෝම මට වඩා අඟලක්වත් මිටියි.
      :)

      Delete
    2. //ඉස්සර මගෙන් යාලුවෙන්න අහන හැමෝම මට වඩා අඟලක්වත් මිටියි.//

      හිහි..මේක දැකලා හොඳටම හිනා ගියා. මටත් ඉස්සර ඔහොමයි අප්පා. හැබැයි මට මහලොකු උසක්‌ තිබිලත් නෙමෙයි. රටේ ලෝකේ මෙච්චර උස කොල්ලෝ ඉද්දි මගෙන් අහන්නෙම මිටි කොල්ලොනේ..ෂික්

      Delete
    3. අවවාදයයි...!

      මෙම ගැහැණු ළමයාගේ මනාපය විමසීමට සිතා සිටින අයෙක් වෙතොත් මෙෂරිං ටේප් එකක්ද ‍රැගෙන යායුතුව ඇත.

      Delete
    4. @සයුරි

      // රටේ ලෝකේ මෙච්චර උස කොල්ලෝ ඉද්දි මගෙන් අහන්නෙම මිටි කොල්ලොනේ//

      ඉස්සර මම මගේ යාළුවන්ට කියන්නෙත් මේ ටිකමයි :D

      Delete
    5. @ Sarath Chandrasiri

      අනිවා අනිවා....ඒක නම් වෙන්නම ඕනේ... :D

      Delete
    6. සයුරී...

      මටත් එහෙමයි අප්පා.. මම ඉස්සර කිය කිය හිටියේ හිත ගියොත් කොට මගුලක්.... මට තියෙන්නේ කොට අපලයක්..... කියලා.... හි හි.... හයියෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ...
      අන්තිමට ඉතිං හොයාගත්තෙත් යන්තමි මගේ ගානට ඉන්න එක්කෙනෙක් නොවැ.. හි හි.....

      ළිහිණී...

      5‘ 8“ වඩා තියෙන එකෙක් නේද ඕනේ........

      Delete
    7. හොඳ කතාවක් තියෙනවා කියන්න ..ඒක පෝස්ට් එකකින්ම කියන්න ඕනෙ හිරුවො...

      Delete
    8. @හිරු :

      හිහි..බලාගෙන යනකොට හැමෝටම කොට දසාවක් ලබලා තිබිලානේ :) මාත් අන්තිමට අඩි සෙරෙප්පු දැම්මට අවුලක් නොවෙන විදියේ කෙනෙක් හොයා ගත්තා :ඩි. පස්සේ බලනකොට එයා තව අඟල් 2 ක් විතර උසත් ගිහිල්ලා. කොහොම කරගත්තද කියලා දෙයියෝ තමයි දන්නේ හිහි...

      Delete
    9. @ සයුරි

      මට නම් මලාට අඩු උස ඒවා දාන්න බැරිවෙයි. දැන් උනත් සාරියටවත් දාන්නෙ නෑ. සාරිය ඇන්දම තවත් උස වගේනෙ පේන්නෙ. ඉතින් අඩි උස දාපුවම බොරුකකුල් කාරයෝ වගේ ඉඳීවි. අපිට මෙහෙම නම්...තර්ජනීට කොහොම ඇතිද සයුරි :)

      Delete
  21. බොර දියේ මාළු බාන්නාOctober 2, 2012 at 1:01 AM

    තැටිය රත් වෙච්චි වෙලාවෙ රොටිය පුච්ච ගැනීම-
    නංගි මගෙ උස අඩි පහයි අඟල් නවයයි. ආගම කතෝලික . අවුරුදු 26. හොඳ ජොබ් එකක් කරනවා. පවුල් බරක් නෑ.. මොකද කියන්නෙ

    ReplyDelete
    Replies
    1. උෆ්....මගේ උස අඩි පහයි අඟල් අටයි. එක අඟලක වෙනස කියන්නෙ දෙන්නම එක උස වගේ වෙයි වගේ...නේද...හි හි හී..

      ඒ උනාට යෝජනාව ගැන සලකා බලන්න පුළුවන් වෙයි වගේ :P

      Delete
  22. මේකයි නංඟි සීන් එක. කතෝලික වෙච්චි අපි ඕවා විශ්වාස කළේ නැති උනාට ඕවා විශ්වාස කරන බෞද්ධ අය ගොඩාක් ඉන්නවා. හොඳම දේ කතා බහ පටන් ගන්න මුල් කාලෙදිම ඔය වගේ දේවල් කථා බහ කරල බේරුමක් කර ගන්න එක. නැත්නම් පස්සෙ වෙන්නෙ හිත් රිදීමක් විතරයි. කොහෙවත් යන තරු ටිකකටයි , ග්‍රහයො ටිකකටයි අපේ ජීවිත තීරණය කරන්න දෙන එක මෝඩ කමක් තමා. ඒ උනාට එක එක අයගෙ විශ්වාසයන් වෙනස් නෙ .... ජීවිතේ ජය ගන්න ආත්ම ශක්තිය සියළු දිරිය ළිහිණිට ලැබේවා

    ReplyDelete
    Replies
    1. // හොඳම දේ කතා බහ පටන් ගන්න මුල් කාලෙදිම ඔය වගේ දේවල් කථා බහ කරල බේරුමක් කර ගන්න එක //

      යන්තම් මාස දෙකයි. ඒ දෙකේදීම මේවා මේ විඳියට විසඳුණ එක හොඳයි ශශී. අවුරුදු දෙකක් විතර ගිහින් ඔය වගේ නොගැලපීමක් ගැන කතා කලා නම් එදාට මීට වඩා දුක දැනෙයි නේ. සමහර විට හැරන්නෙ බැරි නිසා මම උනත් හිතුවක්කාරවෙලා තේජාන්ට බලපෑම් කරන්නත් ඉඩ තිබ්බා...

      Delete
  23. ඔය ආගම් ප්‍රශ්න වැදගත් නෑ එතන සිරාවටම ආදරයක් තියෙනවනම්. කෙලින් තීරණයක් ගන්න බැරිනම් වැඩක් ආදරේ කරද්දී. අනික කසාද බදින්නේ තමන්ට ඒ කෙනා එක්ක ජීවත් වෙන්න මිසක් අනිත් අය එක්ක ඉන්න නෙවෙයිනේ. පෙරලුන පිට හොදයි කියලා ඉන්න තමයි තියෙන්නේ. තවත් කාලයක් ගිහින් ඒ දේ සිද්ධ වුනානම් දරාගන්න අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. // ඔය ආගම් ප්‍රශ්න වැදගත් නෑ එතන සිරාවටම ආදරයක් තියෙනවනම්//

      අපි අතරේ ආදරේ තිබුනද මන්දා ඉෂාන්....ප්‍රොපෝසල් එකක්නෙ

      // කෙලින් තීරණයක් ගන්න බැරිනම් වැඩක් ආදරේ කරද්දී//

      තේජාන්ට තිබුනෙම නැත්තෙත් ඒකමයි. අඩුම තරමින් තව වෙනකල්වත් ඒ ගැන වචනයක් කතා කරලා නෑ.

      Delete
  24. මොකටත් සූදානම් ශරීරෙන් ඉන්ට ලිහිණියෝ... මෙන්න මෙතන කට්ටිය ගහගන්ටයි හදන්නේ... උපන්ගෙයි මෝඩයෝ උඹටයි මටයි හදන්ට පුලුවන්ද බං... පේනවනේ ෆේස්බුක් එකේ දෙපැත්තට වෙලා බැනගන්න විදිහ ජාතිවාදය කරේ තියාගෙන... වෙන කව්රුත් නෙවෙයි... මගෙත් එක්ක එකේ පන්තියේ ඉඳලා එකට හිටපු උන්... උන් අපේ යාලුවෝ කියන්නත් ලැජ්ජයි... ඔන්න ඔහේ සින්දුවක් කියාගෙන ජොලියේ ඉන්ඩ අප්පා අපි වගේ... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. // මෙන්න මෙතන කට්ටිය ගහගන්ටයි හදන්නේ //

      අපේ අය ඉතින් හැම තිස්සේම බලාගෙන ඉන්නේ පැටලෙන්නමනෙ.... එක්කෝ ජාති වාදේ...නැත්තම් ආගම් වාදේ....

      // ඔන්න ඔහේ සින්දුවක් කියාගෙන ජොලියේ ඉන්ඩ අප්පා අපි වගේ //

      මාත් එහෙමයි අප්පා... නැව ගිලුනත් බෑන් චූන්

      Delete
  25. අක්කි ඔයාට වෙච්ච දේ නම් හරිම නරකයි. අනික ඔය ඒ boy ගේ විතරක් කැමැත්තෙන් ඒ ගෙදරට ගිය නම් ගොඩක් දුක් විඳින්න වෙනවා. ඒක නිසා මේ වෙච්ච දේ හොඳයි කියල හිතන්න. හැබැයි අක්කි මේ සිද්දියේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා. සමහරුන්ට හැම දේටම වඩා පස්සේ හම්බ උන lover හොඳ වෙන එකේ ඒ boy සමහර විට දෙමව්පියෝන්ට ගොඩක් ආදරේ නිසා මේ තීරනෙට කැමති වෙන්න ඇති. කොහොමත් එයාලගේ හිත රිද්දන ඒක නම් ගොඩක් පව් වැඩක්. ඒ දෙමව්පියෝන්ට බනින්නත් බෑ ඉතින්. සමහර පවුල් වල ඕව සැහෙන්න බලනවා. මම නම් කියන්නේ තමන්ගේ පවුලේ අය බලන දේවල් වලට ගැලපෙන කෙනෙක් හොයා ගත්තම හරි. නැත්තම් ඉතින් කාට හරි දුකක්.
    කුලය විතරක් නෙවේ උඩරට, පහත රට කියන ඒවත් සෑහෙන්න බලනවා ගොඩක් මධ්‍යම පළාතේ අය නම්. ඒ ඉතින් ඉස්සර ඉඳන් එයාලට තිබිච්ච තැන වගේ දේවල් ආරක්ෂා කරගන්න තමයි.ඒවා අපිට කොච්චර විකාර වගේ පෙනුනට එයාලට ඒවා ලොකු දේවල්. ඒක නිසා ඒවාට බනින්නත් බෑ අපිට. අනික සමහර පවුල්වල කවුරුහරි ඔය බලන දේවල් වලට පිටින් දෙයක් කරගත්තොත් නෑදෑයෝ මූණ වත් බලන්නේ නැති අවස්ථා තියෙනවා.ඒක නිසා තමයි ඒ ගොල්ලෝ ඒ වගේ තීරණ ගන්නේ.
    මොනා උනත් අක්කිට ඊට වඩා (ගොඩාක් හොඳ) හොඳ කෙනෙක් ලැබෙයි. :)
    මම ඔයාගේ පෝස්ට්ස් කියෙව්වා. ඔයා මේ වගේ ඒවාට හිත කලබල කරගන්න ඒක මෝඩ වැඩක් ඔයා ජීවිතේ දිනපු හැටියට

    ReplyDelete
    Replies
    1. // කොහොමත් එයාලගේ හිත රිද්දන ඒක නම් ගොඩක් පව් වැඩක් //

      ඒ නිසාම තමා මම මගේ පාඩුවේ පැත්තකට උනේ ...

      //අනික සමහර පවුල්වල කවුරුහරි ඔය බලන දේවල් වලට පිටින් දෙයක් කරගත්තොත් නෑදෑයෝ මූණ වත් බලන්නේ නැති අවස්ථා තියෙනවා//

      මගෙ යාළුවා අයෝමි සිංහල බෞද්ධ... එයාගේ මහත්තයා දෙමළ...හින්දු...දෙමාපියන් අකමැත්තෙන් බැන්ඳේ...ඔයා කියපු මේ දේ එයාලටත් වෙනවා. ඒත් ඒ දෙන්න පණ වගේ ආදරයෙන් ඉන්නවා. ....

      Delete
  26. ඔවැනි ම කතාවකට මුහුණ දී ජය ගත් දෙමව්පිය යුවළකට දාව ඉපදී එවැනි ම ගැටළුවකට මුහුණ දී පැරදුණු අයෙක් මි මම.. වැඩි යමක් කිව නොහැකත් කීමට බොහෝ දේ ඇත.
    කෙටියෙන් කියන්නේ නම්, මානව ප්‍රේමයට සීමා මායිම් අනවශ්‍ය ය.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. // ඔවැනි ම කතාවකට මුහුණ දී ජය ගත් දෙමව්පිය යුවළකට දාව ඉපදී එවැනි ම ගැටළුවකට මුහුණ දී පැරදුණු අයෙක් මි මම//

      වෙලාවකට අපි ඔක්කොම එකම බෝට්ටුවෙ වගේ...

      // කෙටියෙන් කියන්නේ නම්, මානව ප්‍රේමයට සීමා මායිම් අනවශ්‍ය ය //

      සමහර අයට ඔය සරළදේවත් තේරුම් ගන්න බෑනේ..ඒකයි මේ ප්‍රශ්ණ

      Delete
  27. මොනවා කියන්නද කියලා දන්නේ නෑ.මම තාම චූටියිනේ.හැබැයි ඉතින් පොළොවේ පය ගහලා ඉන්න අයියා කෙනෙක් තමයි හොඳ.එදාට අපටත් කියන්න.වෙඩින් කේක් වලට අපි හරි ආසයි:D

    ReplyDelete
    Replies
    1. // පොළොවේ පය ගහලා ඉන්න අයියා කෙනෙක් තමයි හොඳ //

      මෙන්න මේ කෙනෙක්ව තමා මාත් හොයන්නේ...තාම හම්බ උනේ නෑ...

      Delete
  28. Apoi nago eka ehema una eka hondai. Nathnam ithin nandammata ehei kiyana inna wei. Oyata honda kenek muna gahei ikmanata.

    Aadaraya sundarai. Ekata oya agam, jathi kula beda, athi nathikam balapanne na.

    ReplyDelete
    Replies
    1. // Aadaraya sundarai. Ekata oya agam, jathi kula beda, athi nathikam balapanne na//

      මේ ටික හැම හදවතකටම දැනෙනවානම්.....

      Delete
  29. liyanawa lassanai mata mathkwenne manori silika wikramarathna mage mathake harinam......

    ReplyDelete
    Replies
    1. මනෝරී සිලීකා ගැන අහලා තියෙනවා. ඒත් ලියපු පොත් නම් කියවලා නෑ :)

      Delete
  30. An kelle mama hithuwa awasanaya sathutak wei kiyala. Monawa karannada hamadema dara ganna wenawane neda.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා...අපි හිතන හැම දේම සිද්ධ වෙන්නෙ නෑනෙ...

      Delete
  31. manori silika wikkramaarcchi

    ReplyDelete
  32. ඔයයි ඔයාගේ කතෝලික බැතිමතුන් ටිකයි එකතු වෙලා සිංහල බෞද්ධයන්ට බැනල හරි ඔයාගේ දුක නැති වෙනවනම්, එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔහේනම් මහා හීන මානයකින් ඉන්න කෙනෙක්. ඉස්සරවෙලා කියන දේ තේරුගන්න. මම කතෝලික උනාට ඔහේ වගේ හීන මානයකින් නම් නෑ. මම පන්සල් යනවා. බෞද්ධ පොත පත කියවනවා. ගිහින් මගෙ අනිත් පෝස්ට් කියවන්න. ඔහේ කියන අහවල් එකක් හන්දා නෙමේ මේ පෝස්ටුව දැම්මේ.

      බොරුවට නිකම් ආගම් වාදයෙන් උමතු වෙන්න දඟලන්න එපා. ඔච්චරම පවර් එකක් තියෙනවානම් අන්න අවස්ථාවක් තියෙනවා.ඇෆ්ගනිස්ථානයේ අර ඉතිරි වෙලා තියෙන බුධ්ධ ප්‍රථිමා ටිකත් විනාශ කරන්න යන්නේ...ගිහින් ඒවාට සද්ද දාලා නවත්තන්න.

      බොරුවට මෙතන නැති දේවල් කියවන්න එපා. මොකද ආගම් ගැන අල්ප දැනීමක් තියෙන අය තමා බෙරිහන් දෙන්නේ මේ විදියට. දැනීමක් තියෙන අය තේරුම් ගන්නවා විතරයි. තමන්ගේ හදවතින් අහන්න ආගම්වාදය ඔය හිත අස්සෙ කැකෑරෙන්නෙ නැද්ද කියලා. අනේ මගේ නම් එහෙම දෙයක් නෑ. මම බොහෝම දේවල් පොත් පත කියවලා ලබාගන්න දෙයක්. නමක් ගමක් නැතුව කී බෝඩ් එක පිටිපස්සෙ ඉඳන් බෙරිහන් දෙන්න එපා.

      Delete
    2. මම කිව්වේ මට හිතෙන දේ, ලිහිනිගේ ඔක්කොම පොස්ට් මම කියවල තියනවා. මේ පොස්ට් එක උනත් හිතට වදින්න ලියල තියනවා. එත් කොමෙන්ට්ස් ටික කියෙව්වම තමයි මට එහෙම හිතුනේ. එක පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපයක් නිසා ඔයා තමයි මෙතනට ආගම වාදය අදාල අරගන තියෙන්නේ. මෙන්න කොමෙන්ට් වලින් ගත්ත කීපයක්.

      // හොඳ වෙලාවට මම කතෝලික උනේ.....//
      //මෝඩකමද නැත්තම්....අපි බෞද්ධයෝ කියන බොරු පුරාජේරුවද මන්දා...//
      //මේක සිංහල බෞද්ධ රටක් නෙ සහෝ....ඒ හන්දා වෙන්න ඇති.//
      //අපේ සම හරක් බෞද්ධයො අතරෙ ඔය වගේ දෙකයි පණහෙ ආකල්ප තියෙන අය තාම ඉන්නවා.//
      //කතෝලික වෙච්චි අපි ඕවා විශ්වාස කළේ නැති උනාට ඕවා විශ්වාස කරන බෞද්ධ අය ගොඩාක් ඉන්නවා.//

      කතෝලික ,බෞද්ධ කියල වෙනසක් නැහැ .. මිනිස්සු ඔක්කොම එකයි. තමන්ගේ ආගමට ආදරෙයි. මගේ බෞද්ධ යාලුවෙක් වෙන්නප්පුවේ කතොකික කෙල්ලෙක් එක්ක යාලු උන, කෙල්ලගේ අම්ම කොල්ලට කිව්වේ කතෝලික ආගමට හැරෙන්න කැමතිනම් කසාදෙට කැමැත්ත දෙන්නම් කියල.

      ඔයාම කියන විදිහට මේක ප්රෝපොසල් එකක්. ඉතින් ඒ අම්ම ප්‍රමාද වෙලා හරි නොගැලපීමක් දැකල තමයි එහම කියන්න ඇත්තේ. ඔයා උස කොල්ලෙක් හොයන්නේ තැනකට මිටි එකෙක් එක්ක ගියොත් එතන නොගැලපීමක් තියන නිසා. ඒ වගේම තමයි මේකත්.

      Delete
    3. මම ලියන්නෙ මගේ ජීවිතේ ගැන. එතැන මට හංගන්න දෙයක් නැති නිසා. මම ඔයාට වඩා අවංකයි. මගෙ ප්ලවෙනි පෝස්ටුවම කියවන්න. ඒකෙ තියෙන්නෙ තිත්ත ඇත්තක්. මගෙ ජීවිතේ ගැන. ඒවා ලියන්නෙ කාගෙන්වත් අනුක්මපාවක් බලාපොරොත්තුව නෙමේ. සැහැල්ලු වෙන්න.

      මේකත් ඒ වගේමයි. මගෙ ආගම බෞද්ධ කියලා බොරුවක් ලියලා තේජාන්ගේ චරිතය මුස්ලිම් කරලා බොරුවක් කලානම්...ඔයාගෙ අදහස් මීට හුඟාක් වෙනවා නේද ?

      ඔයාලා වගේ ආගමට විතරක් සංවේදී අයගේ ඉස්සරහා අපි වගේ කතෝලික ආගමක කෙනෙක් දෙකයි පනහට දානෙ ඇයි කියන එක මට ගැටළුවක්...මොකද ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස මනුස්සයින්ට තියෙනවා. බුදුන් වහන්සේ කවදාවත් දේශනා කලේ නෑනෙ අනිත් ආගම් අදහන අයව ඈත් කරන්න...පහත් කරන්න කියලා ...ඉතින් අපි ඔක්කොම මනුස්සයෝ... මේ ආගම්..ජාති බේදාගෙන ඉන්න අපි ඔක්කොම මනුස්සයෝ. අපි ආගම්වලට බෙදිලා මනුස්සකම අමතක කරලා...නොගැලපීම් හදාගන්නවා. ඇයි ඒ ?

      //ඔයා උස කොල්ලෙක් හොයන්නේ තැනකට මිටි එකෙක් එක්ක ගියොත් එතන නොගැලපීමක් තියන නිසා. //

      තේජාන් මට වඩා මිටියි කිව්වොත් ඔයා විශ්වාස කරනවද ? මම තේජාන්ගේ පලවෙනි වීඩියෝ එක දැක්ක ගමන් අයෝමිට ඒක කිව්වා. ඒත් තේජාන්ගෙ මිටිකම මම හිතුවේ නෑ. අපි කතාබහ කරද්දී තේජාන් මට කිව්වේ හීල්ස් ෂූෂ් දාන්න එපා. එයා හීල්ස් ටිකක් වැඩියෙන් දාලා ඒ වෙනස නැති කරගමු කියලා. මම ඒකට එකඟ උනා. මම උස කොල්ලෙක් හොයන්නේ මට ඒ වෙනස දැනෙනවට වඩා...මා ලඟ ඉද්දී ඒ කොල්ලට දැනෙන අපහසුව ගැන හිතලා මිසක් වෙන දෙයක් හන්දා නෙමේ. මොකද කෙල්ලෙකුට වඩා කොල්ලෙක්ගෙ පෞරුශත්වය බලනවනෙ...

      මම කැමතියි මේ කතාව මෙතැනින් නවත්තලා දාන්න. මොකද මේ දවස්වල මම කියවන්නෙ බෞද්ධ පොතක්.විවාදාත්මක ධර්ම සාකච්ඡා. හොඳම දානය ධර්ම ධානය කියනවනෙ. මගෙ හිතේ කහටක් තියාගෙන මේ පොත කියවන්න මම කැමති නෑ.ඔයාට කැමති විදියකට මා ගැන හිතා ගන්න. මම කලබල වෙන්නේ නෑ. ඇනෝ ඩිසේබල් කලේ ඔයා මගේ යාලුවා අයෝමි ගැන එක එක දේවල් කියන නිසා. අයෝමි නැත්තම් අද මම මේ තැන නෑ සහෝ. ඒ කෙල්ල මට මගේ අම්ම වගේ. මට ඉගෙන ගන්න ..කැම්පස් යන්න උදව් කලේ එයා. ඔයා මොනදේ කිව්වත් රවීත් අයෝමිත් හුඟක් සතුටින් ජීවත් වෙන දෙන්නෙක්. අයෝමිට මොනවත් කියනව අහන්න මට බෑ. ඒ නිසා ඔයාට මේ වගේ ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන එන්න උනේ. ඒත් ඔයාගේ ලොගින් එක මා ලඟ තියෙනවා.

      මේ වාදය ඉවර කරන්න. තේජාන් ගෙන් මම අයින් වෙලා ඉවරයි. මේක ලිව්වෙත් තේජාන් මාව ආයෙම හොයාගෙන මගෙ ඔෆිස් එකට ආපු නිසයි. ඉතින්...ආයුබෝවන් සහෝ

      Delete
  33. ඔයාගේ එක ප්‍රොපෝසල් එකක් උනාට කාලයක් ඔයාල හිටියා නම ආදරේ ඇතිවෙනවා නේ අක්කේ හිතේ.ආදරේට වයස ආගම් මොකුත් බල පාන්නේ නෑ දෙන්නට දෙන්නා ආදරේ නම්.හැබැයි දෙන්නා අවංක වෙන්න ඕනේ.බැදලා පස්සේ කාලෙකවත් ප්‍රශ්න ඇති නොවෙන විදිහට දෙන්නා තේරුම් අරන් වැඩ කරන්න ඕනේ.කොයිම දවසකවත් කාටවත් කෙනෙක් බදිනවට කැමති නෑ එයාලගේ චින්තනේ හරි නෑ.(විශේෂයෙන් සිංහල කෙල්ලෙක් මුස්ලිම් කොල්ලෙක් බදින එක )මන්දා ඒක මට හිතෙන විදිහ වෙන්න ඒක පට්ට වැරදි වෙන්නත් ඇති ඒත් හිතෙන ඒ අදහස නම් වෙනස් වෙන්නේ නෑ

    ReplyDelete
  34. මමත් කිෙයව්වා

    ReplyDelete
  35. අන්න කොල්ලෝ. අම්ම කිව්වොත් ම්හුම තමයි. බොලා තමා කොල්ලො නරක් කරන්නේ. බොරුවට මල් කඩ කඩ ඉදලා.. හරිනේ..

    ReplyDelete
  36. ලිහිණී මට කියන්න තියෙන්නෙ මම බුද්ධාගමේ කොල්ලෙක්... ඒ උනාට මම යාලු වෙලා ඉන්නෙ ක්‍රිස්තියන් කෙල්ලෙක් එක්ක... දැනට අවුරුදු 5ක් විතර වෙනව..... අපි අතරෙවත් පවුල් අතරෙවත් කිසිම ප්‍රශ්නයක් නෑ.... කොහෙත්ම... මම එයාලගෙ ආගමට යන්නෙත් නෑ... එයා අපේ ආගමට එන්නෙත් නෑ... එතකොට ඔයාල අහාවි ලමයිට මොකද්ද අයිති ආගම කියල..... අපි නෙමෙයි ආගම තීරනය කරන්න ඕන.. ලමයි... එයාලට අවුරුදු 18 වෙනකන් ආගම් 2 කම ඉගන ගන්න වෙනව.. ඊට පස්සෙ එයාලට තමා තීරන මොකද්ද තෝර ගන්න ආගම කියල.....

    ReplyDelete
  37. කතාව ටිකක් පරන උනත් මේකේ කොමෙන්ට් දැක්කාහම රිප්ලයි එකක් දාන්නම හිතුනා....මම දන්නෑ මේක ලිහිනිගේ ඇත්ත අත්දැකීමක්ද කියලා...ඒත් මට නම් එහෙම එකක් තියනවා...කෙටියෙන් කියනවානම් ලිහිණි කියන ‍'කොන්ද පනඇති''දෙමාපියන්ගේ මතයට ඇඹරෙන්නේ නැති' පිරිමියාගේ රෝල් එක මම ප්‍රායෝගිකව කරා..ඒත් ආදරය කරන කාලය හා විවාහ ජීවිතය කියන්නේ විශාල සමාජමය වෙනසක් තියන දෙයක් කියලා තේරුම් ගන්නකොට අපි පරක්කු වැඩියි. කෙනෙක්ගේ දෙමවුපියන් සමග හැදිච්ච ආගමික පරිසරය අපි නොදැනුවත්වම අපේ ජීවිත එක්ක පුදුම විදිහට බැඳිලයි තියෙන්නේ..ඒ වගේම අපි ජීවත්වෙන ප්‍රජාව අපේ ආගම් හා බැඳුනු වෙනම උප සංස්කෘතීන් වල තමයි ජීවත් වෙන්නේ...මේ නොගැලපීම ආදරය කරන කාලෙදී පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ..මොකද ආදරේ කරන්නේ තනියම නිසා...ඒත් විවාහ ජීවිතේ ගෙනියන්න වෙන්නේ උප සංස්කෘතියට ඕන විදිහට..එතනදී සංස්කෘතික ගැටීම වලක්වන්න හැඟීම් වලට බැහැ....(අපි දෙන්නම මේක තේරුම් ගත්ත නිසා අවසානයේ අපි වෙන්උනා...පස්සේ දෙන්නම තම තමන්ට ගැලපෙන අය හොයාගත්තා......)
    මම ලිහිනිට කියන්නේ'අහිමිවූ ප්‍රථම ප්‍රේමය' කියන ජනප්‍රිය සුන්දර මාතෘකාවෙන් කතාකරන්න පුළුවන් විදිහට මේ සිද්ධිය ඉවරවීම ඔයා සතුටු වෙන්න ඕන....නැත්නම් 'එපාවූ දීගය' වගේ ඇල්මැරුණු මාතෘකාවකින් මේක ලියවෙන්න තිබුනා....

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.