මාව කියවන අය අතර..

03 October 2012

මට හිතෙන හැටි….


පුංචිම කාලෙදි කවුරු හරි මගෙන් ඇහුවොත් ..." ලොකු උනාම කවුරු වෙන්නද කැමති ?.." කියලා … මං එකපාරටම කියන්නෙ " මට ඕනේ අම්මා කෙනෙක් වෙන්න " කියලයි. ඒ කාලෙදි මගේ පුංචි ලෝකයේ වීරයා උනේ මගේ අම්මා...උදේ පාන්දර නැඟිටලා කුස්සියේ දුම් කකා හීනි රැලි තියෙන මල් වගේ ඉදි ආප්ප අම්මගෙ අතින් හැදෙන කොට ඒ දිහා මම බලාගෙන උන්නේ පුදුම ආසාවකින්.

" ලොකු උනාම මාත් හදනවා "

මහා උජාරුවෙන් එහෙම කියද්දී අම්මා හීනියට හිනා වෙනවා. සුවඳ ගගහා පහේ බැදලා අරන් රසට රසේ බත් මාලු අම්මා උයද්දී...මගේ අම්මා තරම් රසට උයන කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති කියලා මට හිතුනා. පොරවකුත් උස්සාගෙන තඩි කොටයකට දෙකට පැලෙන්න ගහලා දර වලට කෑලි කරද්දී..අම්මගෙ හයි හත්තිය ගැන මට පුදුමත් හිතුනා.. තාත්තෙක් නැති ගෙදර අම්මා පිරිමියෙක් වගේ ඔට්ටුවෙනවා මම දැක්කා. මට ඕනෙ උනේ ඉක්මනින් ලොකු වෙලා අම්ම කෙනෙක් වෙන්න. අම්මා වගේම මල් මල් ඉදි ආප්ප වට්ටි පිරෙන්න හදන්න..සුවඳ හතර වටේටම දැනෙන්න රසම රස කෑම උයන්න...පොරවක් අරන් දර කොට එක්ක ඔට්ටු වෙන්න.... ඒ මම පුංචිම කාලේ මට හිතුන හැටි......

ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ එක වසරේ උන්න "රේණුකා ටීච " අඳින පාට පාට මල් වැටිච්ච ලස්සන ලස්සන සාරි වලට මම පුදුම විදියට ආස කලා.උදේම ඉස්කෝලෙට ඇවිත් අරලියා ගස් ලඟ තියෙන කම්බි වැටේ එල්ලීගෙන ඈත පාර දිහා ඇස්පිල්ලන් ගහන්නෙවත් නැතුවම බලාගෙන ඉන්නවා. රේණුකා ටීච එනකල්. එක එක දවසට එක එක පාට සාරි....ලස්සනේ බෑ. සාරිය ඇඳන් අඩිය උසට තියෙන සපත්තු දාගෙන...හෑන්ඩ් බෑග් එකක් කරේ එල්ලගෙන..තාලෙට... පැද්දී පැද්දී ඈතින් ඇවිදගෙන එන රේණුකා ටීච දැක්කම ආසාවේ බෑ....

රේණුකා ටීච ටිකින් ටික මගේ ලෝකයේ වීරයා උනා. පංතිය දෙක වෙන්න කෑ ගහන ළමයි රොත්තම රේණුකා ටීචගෙ එක අණ කිරීමකින් නිශ්ශබ්ද වෙන්නේ මීයෝ ටික වගේ ...ඇතෙක් මෙල්ල කරන්න තියාගෙන ඉන්න හෙණ්ඩුව වගේ මේසේ කෙළවරක මහ උජාරුවෙන් තියාගෙන ඉන්න වේවැලත්...ඊට එහා පැත්තෙන් තියෙන නම් ලකුණු කරන පොතත් මැද්දෙන් මේසෙට ළංවෙලා තියෙන ගුරු පුටුවේ වාඩි වෙලා රතු පාට පෑනෙන් ලමයින්ගේ පොත්වල හරි වැරදි ලකුණු කරන රේණුකා ටීච දිහා බලාගෙන මම මෙහෙම හිතුවා...

" කවදා හරි ලොකුවෙලා මම ටීච කෙනෙක් වෙනවා..."

රේණුකා ටීච ලඟින් යද්දී හුළඟට පැද්දෙන සාරි පොට හිමීට අල්ලලා බලනවා.. අතට දැනෙන සාරියේ සිණිඳු කම හිතටත් දැනෙනවා...එතකොට ටීච කෙනෙක් වෙන්න තියෙන ආශාව වැඩී. සාරියක් අඳින්න තියෙන ආශාව වැඩී... ඇයි අඩිය උස සපත්තු දාගෙන තාලෙට ඇවිදින්න....

ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ ගෙදර තියෙන පුටු මේසවලට මමත් ටීච කෙනෙක් තමයි.පේර කෝටුවකුත් අතේ තියාගෙන වැරැද්දක් නැතුවම පුටු මේස ළමයින්ට තල තල උගන්වනවා. රේණුකා ටීචගෙ වගේ සාරියක් නැති උනත්..අම්මගෙ චීත්තයක් අරගෙන ඇඟ වටේ දවටගන්න මට පුළුවන්...මීයෝ වගේ සද්ද නැතුව ඉන්න පුටු මේසවලට මම දන්න හැමදේම උගන්වනවා....හරිම උජාරුවෙන්...

ටිකින් ටික ලොකුවෙලා උසස් පෙළ පන්තියට ආවම විෂයන්  තෝර ගන්න බැරුව මං අතරමං උනා මතකයි. එතකොටයි මට මතක් උනේ මම දැන් ලොකුයිනේ කියලා. පුංචිම කාලෙදි දැක්ක  "අම්මා" කෙනෙක් වෙන හීනයටත් වඩා ගැඹුරින් හිතේ තිබ්බ " ටීච " කෙනෙක් වෙන හීනයවත් හිත කොනකවත් ඉතිරි වෙලා තිබ්බේ නෑ. ඒ වෙද්දී තෝර ගන්න ඕන විෂයන් ඉලක්ක උනේ කවදා හරි දවසක කරන්න බලාපොරොත්තු වෙන රස්සාව දිහාට...ඒ රස්සාව වැඩිපුර පඩියක් ලැබෙන ඉල්ලුම වැඩියෙන් තියෙන රස්සාවක් වෙන්නත් ඕනෙනෙ...

" උඹ මැත්ස් කරපං...ඊට පස්සේ කම්පියුටර් සයන්ස් කරපං " 

කියලා මාව මේ පැත්තට තල්ලු කලේ මගේ මැංගෝ ෆ්‍රෙඩා වගේ උන්න අයෝමි...අයෝමි පෙන්නාපු පාර දිගේ මාත් ආවා...මෙතැනටම...

මගේ අම්මා නම් කියන්නෙ කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම කියලා. වෙන්නැති... උදේ අටේ ඉඳන් හවස දෙක වෙනකල් විතරනේ වැඩ. හවස් වරුවම ඉතුරුයි. සෙනසුරාදා ..ඉරිදා නිවාඩු...පෝය නිවාඩු වගේම රජයේ හැම නිවාඩුවක්ම ලැබෙනවා විතරක්ද.... අවුරුද්දේ වාර තුනටම ලැබෙන පාසැල් නිවාඩුව...... හොඳයි නේන්නම්...

සමහර දවස්වලට රෑ නමයට අම්මා කතා කරද්දිත් මම ඔෆීසියේ...

" තවත් මොනවා කරනවද ඔෆීස් එකට වෙලා ?..."

" වැඩ අම්මේ..."

" මේ රෑ ජාමයේ .."

" මට තියෙන්නෙ අට පහ කරන ආණ්ඩුවේ රස්සාවක් නෙමේනෙ අම්මේ... ගන්න පඩියට වැඩ කරන්න ඕනේ..."

" පෝයටත් වැඩ...සෙනසුරාදාත් වැඩ....ඔෆීස් එකෙන් ගෙදර ඇවිල්ලත් වැඩ…ඔව්වා කෙල්ලන්ට හොඳ රස්සවල්ද....නිකම් මේ ගුරුපත්වීමක් හදා ගන්නෙ නැතුව දුක් විඳිනවා..."

ඇත්ත....පුංචි කාලේදී හිතුවා වගේ ඉක්මනින් අම්මා කෙනෙක් උනානම්...කුස්සියට වෙලා ඔහේ බත් තම්බ තම්බ ඉන්න තිබුනා...එහෙමත් නැත්තම්..රේණුකා ටීච වගේ ටීච කෙනෙක් උනා නම්.... අවුරුද්දෙ වැඩි හරියක් ගෙදර ඉන්නත් තිබ්බා...ඒත් ඒ හීන දැන් කෝ...

ඉස්සර දැක්ක හීන එක්ක අද දවසෙදී ජිවිත රේස් එක දුවන්න බෑ කියලා මට නම් හොඳටම දැනෙනවා….ඉස්සර සාරි අඳින්න තිබ්බ ආසාව දැන් කෝ ..... ඒ තරම් ආසාවෙන් උන්න සාරිය පටවාගෙන ඉන්න එක දැන් වදයක් වෙලා. අද්දන බස් වලට කොහොම ගොඩ වෙන්නද සාරි පටවාගෙන.. එදා උස අඩි තියෙන සපත්තු දාන්න පෙරේත කමේ උන්න මම..ඒ ගැන අමතකම කරලා දාලා. මගේ උස නිසාම අඩිය දශමයක්වත් නැති සපත්තු දාන්න අරන්... ඉස්සර උයන්න පිහන්න මහා ආශාවෙන් උන්නත්...දැන්....ඔහේ මොනා හරි තම්බාගෙන කනවා මිසක් හරි බරි ගැහිලා උයා පිහා ගන්න කෝ වෙලාවක්...

අම්මා දැක්ක සමාජයට වඩා අද සමාජය ගොඩාක් වෙනස් කියලා අම්මට තේරුම් කරන්න බෑ….ගෙයි මුල්ලේ දුම් කකා බත් තම්බපු කෙල්ලො...නුවණ හැදි මිටේ දිගයි කියලා පැත්තකට කරපු කෙල්ලො... අද වෙද්දී තාක්ෂණයත් එක්කම පිරිමින් එක්ක කරට කර වැඩ කරනවා... මමත් රිංගාගෙන ඉන්නෙ ඒ ගොඩටයි කියලා අම්මට තේරුමක් නෑ… අම්මගෙ දැනීමේ හැටියට  තාමත් කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම...

එතකොට ….පුංචි කාලේදී දැකපු හීන ටික පැත්තකට දාලා මම තෝරගත්ත රස්සාව කෙල්ලකට සුදුසු නැද්ද ?

90 comments:

  1. හ්ම්ම් හ්ම්ම්...මමත් ඔය කියන ෆීල්ඩ් එකේ ඉන්න නිසා අක්කේ මම දැකල තියෙන දෙයක් තමයි මේ ෆීල්ඩ් එකේ කාන්තා පාර්ශවේ අඩුයි කියන එක...මොකෝ දන්නේ නෑ...හැබැයි මම දැකල තියනවා හොදට ෆීල්ඩ් එක අල්ලන් ඉන්න ගෑනු ළමයි! ඒකෙ නරකක් නම් මට පෙන්නේ නෑ..කොහොමත් ලෝකේ පළවෙනි ප්‍රෝග්‍රමර් ඉතිං කාන්තවක්නේ! :)

    ReplyDelete
    Replies
    1. මේ රස්සාවේ අමාරුම හරිය විදියට මම දකින්නේ රැයක් දවාලක් නැතුව වැඩ කරන්න වෙන එක. අම්ම කියන කතාව ඇත්ත...අදත් මම ගෙදර එද්දී රෑ 10යි. ඩිෆෙක්ට්ස් හදන්න තියෙද්දී දාලා එන්නද...දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහනවා....

      Delete
  2. ඔයා තෝරගත්ත රැකියාව මොකක්ද කියලා නොදැන අන්තිමට අහලා තියෙන දේට උත්තරයක්‌ කියන්නනම් අමාරුයි යාලු.

    අපේ අම්ම‍ා ත් මට එදා ඉඳලම කියන්නේ කෙල්ලෙක්ට හොඳම ගැලපෙනම රැකියාව ගුරු වෘතිය කියලා. එත් මම තෝරගත්ත රැකියාව ඊට ගොඩාක් වෙනස්. අපේ අම්මාත් කැමතිම නැහැ, මොකද උදේ 6 ට ගෙදරින් යන මම ගෙදර එන්නේ රෑ 8.30 ට නිසා

    ReplyDelete
    Replies
    1. //ඔයා තෝරගත්ත රැකියාව මොකක්ද කියලා නොදැන අන්තිමට අහලා තියෙන දේට උත්තරයක්‌ කියන්නනම් අමාරුයි යාලු//

      පෝස්ට් එක කියෙව්වානම් ඔයාට දැනගන්න ලැබෙනවා යාලු :)

      Delete
    2. ආ දැක්කා දැක්කා. දැනුයි ඒ කොටස දැක්කේ සොරි හොඳේ..
      පරිගණකය ආශිර්ත රැකියාවක් කියන්නේනම් ඉතින් සෑහෙන්න කට්ට කන රැකියාවක් තමයි

      Delete
    3. කටුදත් අහනවා ...

      Delete
  3. පොඩි කලේ හීනයක් තිබ්බෙත් නෑ ..... දැනුත් එහෙම එකක් නෑ .... මහා ලොකු බලාපොරොත්තුවකුත් නෑ .... කිසිම දේකට ආසාවකුත් නෑ ...... ඕනේ කියපු දෙයක් නොලැබී තිබිලත් නෑ ..
    ඒ මගේ කථෘව නිසා අන්තිම ප්‍රශ්නෙට උත්තර දෙන්න තරං මං මෝරලා නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. // පොඩි කලේ හීනයක් තිබ්බෙත් නෑ ..... දැනුත් එහෙම එකක් නෑ //

      පොඩි කාලේ හීන ලොකුවෙද්දී ගැලපෙන්නෙ නෑ..ඒත් ඉලක්කය වටිනවා....

      //ඒ මගේ කථෘව නිසා අන්තිම ප්‍රශ්නෙට උත්තර දෙන්න තරං මං මෝරලා නැතුව ඇති //

      අපේ අම්මා හරි...ටීච කෙනෙක් උනානම් මේ වෙලාවට හොඳට මහන්සි ඇරලා කට කපලා නිදාගන්න තිබ්බනේ...ඒකට අපි..ඔන්න දැන් තමා ගෙදරට ආවේ..

      Delete
  4. පොඩි කාලේ ඉදන් මගේ හිතේ තිබ්බේ කෝච්චියක ගාඩ්වරයෙක් වෙන හීනයක්...
    මට උගන්නපු ගුරුවරුටික ඒ හීනේ බොඳ කරලා මාව මේ දැන් ඉන්න තත්වෙට යොමු කලා. !
    නමුත් තාමත් අසයි උඩරට මැණිකේ හරි සෙංකඩගල මැණිකේ හරි කෝච්චියක නැගලා බොහොම උජාරුවෙන් කොළ කොඩිය වනාගෙන යන්න...

    ReplyDelete
    Replies
    1. //මට උගන්නපු ගුරුවරුටික ඒ හීනේ බොඳ කරලා මාව මේ දැන් ඉන්න තත්වෙට යොමු කලා//

      ඉංජිනේරු මහත්තයට ගුරුවරු වැරැද්දක් කරලා නෑනෙ... :)

      //නමුත් තාමත් අසයි උඩරට මැණිකේ හරි සෙංකඩගල මැණිකේ හරි කෝච්චියක නැගලා බොහොම උජාරුවෙන් කොළ කොඩිය වනාගෙන යන්න...//

      එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් උනානම් ඊටත් වඩා හොඳ නැද්ද...ලෝකේ තියෙන දිගම වාහනය එලවන්න පුළුවන්නේ.... :D

      Delete
  5. ගැහැණු පිරිමි කියලා රැකියාවන් වර්ගීකරණය කරන්න බැහැ මේ කාලේ... දැන් හැම රැකියාවක්ම වගේ ගැහැණු අයත් කරනවා.. එත් මම හිතන විදියට ගැහැනියකට ගැලපෙනම රැකියාව ගුරු වෘතිය...

    ReplyDelete
    Replies
    1. //එත් මම හිතන විදියට ගැහැනියකට ගැලපෙනම රැකියාව ගුරු වෘතිය...//

      සහතික ඇත්ත...ශේප් එකේ හවස්වරුවම ගෙදර ඉන්නත් පුළුවන්..ඒ විතරක්ද අවුරුද්දේ වැඩි හරියක්ම ගෙදර ඉන්න පුළුවන්නේ.... :)

      Delete
    2. ඇයි බං බබා හම්බුවෙන්න හම්බුවෙන නිවාඩු ටික.... ගානට සෙට් කර ගත්තනම් අවුරුද්දක් ගෙදරි ඉදතෑකි පඩිත් එක්කම... අපේ එහා ගෙදර ටීචර් නම් ළමයි තුන් දෙනාටම අවුරුදු 3ක් ගෙදර හිටියා.. හි හි

      Delete
    3. @හිරූ :
      ඒක ඉතින් මහත්තයාගේ අතේ නෙව වැඩේ තියෙන්නේ.... :)

      Delete
    4. බලහංකෝ හිරූ මේකා දන්න දේවල්....

      Delete
  6. ඒකත් ඇත්ත... ඒත් මේකම නෙවෙයි නේද ජීවිතේ කියලත් වෙලාවකට මට හිතෙනවා... අපි හැමදාම අවුරුදු විසිහතරේ විසිපහේ ඉඳියිද? නෑ නේ... නාකි වුණ දවසට හිතෙයි අපි ජීවිතේ විඳපු දෙයක් නෑ කියලා... නාකි වෙනකල්ම කරලා තියෙන්නේ විඳවන එක... හොඳට හිතලා බැලුවොත් එහෙම නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉතින් මගේ බෝට්ටුවෙම අනේ..... ඒකෙ රඟ දන්නවා ඇතිනේ :)

      Delete
  7. ගුරු වෘත්තියට හැම තැනම ලොකුම ලොකු සැලකීමක් තියෙනවා.ඒත් අවුරුද්දේ පුරා හුගක් නිවාඩු තිබුණත් මිස්ලා වැඩ කරන වෙලාවට කොච්චර නම් මහන්සි වෙනවද? මට නම් හිතෙනවා ඒක අනිත් ජොබ් වලට වඩා හුගක් බැරෑරුම් ජොබ් එකක් කියලා...
    මටත් වෙලා තියෙන්නේ ඔයාට වගේමයි. 8 වෙද්දි අම්මා කෝල් කරනවා. තවම ගියේ නැද්ද...? ඔන්න ඉතිං බැනුම් කොටියයි. මොනා කරන්නද 7.30 ට ආවහමි 8.30 වෙනකල් ඉන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. //මට නම් හිතෙනවා ඒක අනිත් ජොබ් වලට වඩා හුගක් බැරෑරුම් ජොබ් එකක් කියලා... //

      හැම රස්සාවකම වගකීම් තියෙනවා බට්ටියො..හිතන්න ඔයා කරන්නෙ ගුරුකම නෙමේනෙ..ඒත් ඔයාගෙ රස්සාවේ මොනතරම් වගකීමක් ඔයා අතේ තියෙනවද...

      // මොනා කරන්නද 7.30 ට ආවහමි 8.30 වෙනකල් ඉන්න වෙනවා...//

      ඔයාට ටිකක් හරි හොඳයි බට්ටි. මම සමහර දවස්වලට උදේ 9යේ ඉඳන් රෑ නමය වෙනකල් වැඩ කරලා..ඊට පස්සෙ ගෙදර ඇවිත් ආයෙම පාන්දර දෙක තුන වෙනකල් වැඩ කරන්න වෙන දවස් තියෙනවා....

      Delete
  8. තමන්ට දෙයක් කරන්න පුළුවන් හිතට දැනෙන රස්සාවක් තමයි තෝරගන්න ඕනේ. නැත්තම් කරන දෙයිනුත් වැඩක් නෑ. තමන් තෘප්තිමත් නම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. //තමන්ට දෙයක් කරන්න පුළුවන් හිතට දැනෙන රස්සාවක් තමයි තෝරගන්න ඕනේ//

      ඒක ඇත්ත. ඒ උනාට මම මේ රස්සාවේන් තෘප්තිමත් කියන්න නම් බෑ. අල බැස්සා වගේ ඉඳන් ඉඳිල්ලත් එපාවෙනවනෙ..

      Delete
  9. හි හි... ළිහිණියා මරු කතා කියන්නේ...

    හැබෑට පොඩි ළමයින්ගේ පන්ති වලට හරි යන්නේ ලස්සනට පිළිවෙලට අදින, ලස්සන පුංච් ටීචර්ලා... නාකි නපුරු අම්මණ්ඩිලා නෙවෙයි... මට මතකයි ඉස්සර අපේ පන්තියේ කෙල්ලො එහෙම ටීචර්ගේ බෑග් එක උස්සන් එන්න පොර කනවා.. හි හි.. මොකද ඔය පන්තිවල ඇත්තටම උගන්නන දේකට වැඩිය චරිත සංවර්ධනය කරන එකනේ කරන්න ඕනේ කියන්නේ...

    පොඩි කාලේ ඉඳලා මම නම් කවදාවත්, මම කියන්නේ කවමදාකවත් වෙන්නේ නෑ කියලා හිතපු රස්සාවල් දෙක තමා ටීචිං සහ නර්සිං.... ඇයි කිව්වොත් ගෑණුන්ට හොඳ ඒ වගේ රස්සාවල් තමයි කියලා කවුද කෙනෙක් මට කියපු නිසා.... ගෑණු කරන්නේ නැති වැඩ කරන්නමයි මට ඕනේ උනේ.... මට මතක ඇති කාලෙක මම කියලා නෑ මට අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා.... කවදාවත් ඉස්කෝල දාලා නෑ.. බෝනික්කෝ සෙල්ලම් කරලා නෑ.. කවදාවත් අම්මගේ සාරියක් අඳින්න ට්‍රයි කරලා නෑ.... හි හි.. අම්මගේ සාරි නවන එක තමා මට පේන්නම බැරි වැඩේ ඉස්සර....

    අපේ අම්මා කියන්නේ මම පොඩි කාලේ ඉඳලම කලේ කොල්ලෝ කරන්න හදන දේවල්මයි කියලා... බයිසිකල් පදින්න, ගස් නඟින්න, රේස් දුවන්න, බය හිතෙන කතා කියන්න, කතා පොත් ලියන්න, කියවන්න ඔය වගේ දේවල් ලු කලේ... ඔන්චිල්ලාවට නැග්ගොත් පුළුවන් තරම් උඩටම යන්න ට්‍රයි එක දෙනවා කොල්ලෝ වගේ.. එහෙම කරලා බිම වැටිලා හොම්බ කට සමතලා කරගත්තා මොන්ටිසෝරියෙදි.. ගහකින් වැටිලා දණිස්ස කඩා ගත්තා මැහුම් දාන්න... මොන්ටිසෝරියේ ෆාදර්ලා කියන්නේ 99%ට කෙල්ලෙක් වෙච්ච එකෙක් කියලා.. හි හි.. සමහර විට පොඩි කලේ ඉඳලම කොල්ලෝ එක්ක හැදිච්ච නිසා වෙන්නැති.. අනේ මන්ද...

    දෙයියනේ කියලා අපේ ගෙදරිනුත් කවදාවත් ටීචිං යන්න කියලා නං කිව්වේ නෑ.. මම කැම්පස් අතාරින්නත් එක හේතුවක් ඕක.. මට චිත්‍ර නැත්තම් පුරා විද්‍යව කරන්න ලොකු ආසාවක් තිබුනා... ඒත් චිත්‍ර කලොත් ඉතිං ටීචිං වලට මිසක් වෙන යන්න තැනක් නෑ කියලා මට හිතුනා... පුරා විද්‍යව කලොත් ඩිපාට්මන්ට් එකට ගන්නේ අවුරුද්දටම 10ක් විතර කිව්ව නිසා ඒකෙනුත් ඉතුරු වෙන්නේ ඩිග්‍රියයි ටිචිනුයි විතරයි... හි හි... ඩිග්‍රිය ගැන නම් මට ඒ තරම් ආසාවක් තිබුන් නෑ.. ඒක නිසා ඒක අතෑරියා...

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී හිරුවා කැමතිම නැති දේවල් තමා මම කරලා තියෙන්නේ...

      // අම්මගේ සාරි නවන එක තමා මට පේන්නම බැරි වැඩේ ඉස්සර.... //

      හප්පේ...ඔය වැඩේනම් මටත් පේන්න බෑ. සාරිය ඇන්ද දවසට අම්මා තමා නමලා තියන්නේ...දැන්නම් සාරි ඇදෙන්නෙ වෙඩිමකට විතරමයි....

      //මොන්ටිසෝරියේ ෆාදර්ලා කියන්නේ 99%ට කෙල්ලෙක් වෙච්ච එකෙක් කියලා //

      තිබිලා තියෙන දාංගලේ හැටියට එහෙම හිතන එක සාධාරණයි...මම නම් පොඩි කාලේ සාන්ත දාන්ත තීන්ත කූඩුවක්ලු...කොයිතරම්ද කියනවානම් ඇල් වතුරත් නිවලා බොන තරම්ලු...

      Delete
  10. ජීවිතේ එක එක කාල වලදී අපිට වීරයෝ වගේ පේන චරිතයක් වෙන්න අපි කැමතියි!පොඩි කාලේ තුවක්කු අරන් ගාම්භීර ලීලාවෙන් යුද්ධයට යන හමුදාව දැක්කම මටත් හිතුණා මම හමුදාවට යනවා කියල!එත් ඒ ගැන දැන් මගේ තියෙන්නේ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදහසක්!මම නම් දකින විදියට ගැහැණියකට හෝ පිරිමියෙක්ට ගැලපෙන රස්සාව කියල එකක් නෑ!තියෙන්නේ තමන් තෘප්තිමත් වන රස්සාව කියල එකක්!ඒක එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනුව වෙනස් වෙනවා!කාලය අනුවත් වෙනස් වෙනවා!

    ReplyDelete
    Replies
    1. // ජීවිතේ එක එක කාල වලදී අපිට වීරයෝ වගේ පේන චරිතයක් වෙන්න අපි කැමතියි!පොඩි කාලේ තුවක්කු අරන් ගාම්භීර ලීලාවෙන් යුද්ධයට යන හමුදාව දැක්කම මටත් හිතුණා මම හමුදාවට යනවා කියල //

      අපේ අයියත් ඉස්සර ඔහොම කියලා තියෙනවා. අනේ...ඒවා ඒ කාලෙට විතරයි. හැබැයි මම දැනුත් ආමි යුනිෆෝම් එකට ආසයි...විශේෂයෙන්ම නේවි එකේ එකට...

      //ගැහැණියකට හෝ පිරිමියෙක්ට ගැලපෙන රස්සාව කියල එකක් නෑ //

      මමත් එහෙම හිතනවා..

      //තියෙන්නේ තමන් තෘප්තිමත් වන රස්සාව කියල එකක් //

      හොඳ සැලරි එකක් ලැබෙනවානම් මිනිස්සු ඒකෙන් තෘප්තිමත් වේවී...රස්සාවක මූලික අරමුණ මුදලනෙ..

      Delete
  11. අනේ මන්දා... උත්තරයක් දෙන්න මම ඔය ෆීල්ඩ් එක වැඩිය දන්නේ නෑ.
    ඔන්න ඉදිකිරීම් පැත්තෙන් මොනවාහරි ඇහුවනං බොරුවක් හරි කියනවා :)

    මමනං පොඩිකාලේ ඉදලම කිව්වේ සිමෙන්ති අනනවා කියලා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. //මමනං පොඩිකාලේ ඉදලම කිව්වේ සිමෙන්ති අනනවා කියලා //

      අලේ...දැන් සිමෙන්ති අනනවා බලාගෙන ඉන්නවද ?

      Delete
  12. //පුංචිම කාලෙදි කවුරු හරි මගෙන් ඇහුවොත් ..." ලොකු උනාම කවුරු වෙන්නද කැමති ?.." කියලා … මං එකපාරටම කියන්නෙ " මට ඕනේ අම්මා කෙනෙක් වෙන්න " කියලයි. //

    එතන මමත් ඉඳල කවුරු හරි මගෙනුත් ඒ ප්‍රශ්නෙම අහුවනම් මම කියන්නෙ " ලිහිණිගෙ ළමයට තාත්ත වෙන්න" කියලා
    ( ඇම්ඩන්ගෙ විහිළුවක් )

    // අම්මගෙ දැනීමේ හැටියට තාමත් කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම... //

    හුඟාක් දේවල් සලකල බැලුවහම කථාව ඇත්ත.. හැබැයි මගෙ හිතේ ගුරුවරු කිව්වහම මැවෙන්නේ මහ ලෝභ. හරියට බඩට කන්නෙවත් නැති කුම්මැහි ජිවිතයක්...
    *************
    කොහොම උනත් හැමෝටම පොඩිකාලේ එක එක හීන තියෙනවා... ඒව හුඟාක් වෙලාවට හීනම විතරය්... වයසින් වැඩෙනකොට .. සමජය යන අතට ගමන් කරන්න අපි ඉබේම හුරුවෙනවා.. අපෙ හැකියාවන් හා රැකියා වෙළඳපොළ ඉල්ලුම සලකලා අපි ගමන් කල යුතු පාර තීරණය කරනවා.. ඒක දැන් සමාජ ක්‍රමය වෙලා

    ඒත් මට නිතරම හිතෙනවා මේක හරිම සංකීර්ණ සමාජයක් කියලා... කලින් තිබ්බ පීතෘ මූලික සමජ ක්‍රමය හරිම සරලයි... තාත්ත ගිහින් හේනක් කුඹුරක් කරල ගෙදරට හම්බ කරනවා.. අම්ම ගෙදොර වැඩ කරමින් දරුවන් බලගෙන ඉන්නව.. දරුවො යන්තම් කරදන්න්ඩු උස්මහත් වෙනකොට මොකක් හරි රස්සවක් කරල ගෙදරට හම්බකරල දීල දෙමව් පියො බලාගන්නව.. හරිම සරලයි.. ඉතා සීමිත උවමනා ප්‍රමාණයක් තිබ්බේ

    ඒත් අද සංකීර්න සමාජය තුල උවමනා අවශ්‍යතා වෙලා,.. මිනිස්සු ඒ අවශ්‍යතා තෘප්තිමත් කරගන්න ඉවක් බවක් නැතුව සල්ලි පස්සෙ දුවනව.. තරඟෙට. ඇත්තටම ජීවිතේ විඳින්න වෙලාවක් අද මිනිස්සුන්ට නෑ..

    අද වෙනකොට තියෙන අවශ්‍යතා අතුරින් දරුණුම අවශ්‍යතාවය තමයි අනෙකාට වඩා ඉහලින් සිටීමේ අවශ්‍යතාවය.. ඒ අවශ්‍යතාවය මත්තේ හැපෙන මිනිස්සු ඉවක් බවක් නැතුව සල්ලි හම්බ කරන්න දඟලනව, සමහරු නිත්‍යානුකූලව, තවත් සමහරු නිතීවිරෝදී විදියට, කොහොමින් හරි තමන්ගේ ටාගට් එකට ගිහිල්ල අපහු හැරිල බලල සතුටු වෙන්වට වඩා ඉක්මනට මිනිස්සු ඉස්ස්‍රහ බලල දුක් වෙනවා, ඒ තමන් ඉස්සරහට තවත් අවශ්‍යතාවයක් ඇවිල්ල.. අවසානයක් නැති අවශ්‍යතා සමාජය විසින් නිර්මාණය කරලා, ඒවාට ප්‍රචාරනයක් දීල අපේ හිත්වලට කාවද්දල.. අපිට ඒවයින් මිදෙන්න බැරි තරමටම.. දැන් අපිට ආපහු හැරෙන්න බෑ.. කරන්න පුළුවන් ඒකම දේ හැකිතාක් අල්පේච්ච ජීවිතයකට හුරුවෙන එක

    ReplyDelete
    Replies
    1. //එතන මමත් ඉඳල කවුරු හරි මගෙනුත් ඒ ප්‍රශ්නෙම අහුවනම් මම කියන්නෙ " ලිහිණිගෙ ළමයට තාත්ත වෙන්න" කියලා //

      අලේ....මාරයිනේ...:d

      //අපෙ හැකියාවන් හා රැකියා වෙළඳපොළ ඉල්ලුම සලකලා අපි ගමන් කල යුතු පාර තීරණය කරනවා//

      ඇත්තටම මම හිතුවෙත් සහ තීරණය ගත්තෙත් මේ විදියටම හිතලයි. ඒක වැරදිලා නෑ කියලා මට හිතෙනවා. ඉංග්‍රීසි අධ්‍යාපනයට වැඩි දෙකෙන් නැඹුරු වෙන්නෙත් මේ රැකියා ඉල්ලුම් ගැන සලකා බලලයි කියලයි හිතෙන්නේ...

      //ඒත් මට නිතරම හිතෙනවා මේක හරිම සංකීර්ණ සමාජයක් කියලා... කලින් තිබ්බ පීතෘ මූලික සමජ ක්‍රමය හරිම සරලයි... //

      ඒ සරල ජීවිතයට අපි මොන තරම් ආසා කලත්..ආයෙමත් අපිට ඒ සමාජයට යන්න බැරි තරමට ලෝකය ඉස්සරහට ගිහින්...අපිටත් ඉබේම ඒ රේස් එකට එකතු වෙන්න වෙලා...අකමැත්තෙන් හරි...

      Delete
  13. මම දන්නෑ ..ඒත් මට පෞද්ගලිකව ටීචර්ලා පෙන්නන්න බෑ. ඉස්සර අපට වේවැල්වලින් ගහපු එකමයි කළේ.කොහොමත් ටීචර් කෙනෙක් වුණොත් ටීචගේ අම්ම - අප්පච්චිව හැමදාම ළමයි මතක් කරයි.

    ලෝක පිළිගැනීම අනුව කවුරු මොනවා කිව්වත් කාන්තාවන්ට වැඩිම ආරක්ෂාවක් තියෙන්නේ IT field එකේනේ.ඒ නිසා computer science and engineering set වෙන එක කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. //.ඒත් මට පෞද්ගලිකව ටීචර්ලා පෙන්නන්න බෑ. ඉස්සර අපට වේවැල්වලින් ගහපු එකමයි කළේ//

      දඟ කොල්ලන්ට ගහලා හදන්නෙ නැතුව බෑනේ...ඒ හින්දා වෙන්න ඇති :D

      //ලෝක පිළිගැනීම අනුව කවුරු මොනවා කිව්වත් කාන්තාවන්ට වැඩිම ආරක්ෂාවක් තියෙන්නේ IT field එකේනේ //

      හැම කෙනෙක් ගැනම කියන්න දන්නෙ නෑ. ඒත් මට දැනට කම්පනි දෙකක අද්දැකීම් එක්ක ඔන්සයිට් සති කීපයක අත්දැකීම් තියෙනවා...මම වැඩ කරන්නෙ 99% පිරිමි අය. ඒ අය මට මගේ සහෝදරයාට වඩා වටිනවා...අනික ඉතින් තමන්ගේ ආරක්ෂාව කොතැන උන්නත්..මොන වෘත්තියේ උන්නත්...තමන් විසින් තමගේ ඔළුව පාවිච්චි කරලා සපයා ගන්න ඕනේනේ

      Delete
  14. ඔයා අද ඇවිත් ඉන්න තැන ගැන ඔයා සතුටුයි නම් එච්චරයි නගා... ඔයාට ජය ගන්න තිබුණ ජීවිත අරමුණු එක්කනෙ ඔයා මේ ගමන ඇවිත් තියෙන්නෙ. පුංචි කාලෙ අර වගේ කාලෙන් කාලෙට දකින හීන වෙනස් වෙන එක හැමෝටම පොදු දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. // පුංචි කාලෙ අර වගේ කාලෙන් කාලෙට දකින හීන වෙනස් වෙන එක හැමෝටම පොදු දෙයක් නේද? //

      ඇත්තෙන්ම ඔව්... කාලයත් එක්කම පොඩිකාලේ හීන මැකිලා යන්නෙ අපිවත් නොදැනමයි...

      Delete
  15. කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම කියන එකට නම් මමත් බොහෝදුරට එකඟයි... මම දන්නා අපටත් වඩා වැඩි පඩි ගනිපු සොෆ්ට්වෙයාර් ඉන්ජියෝ ඉන්නවා මේ ප්‍රශ්නේ නිසාම රස්සාවට ආයුබෝවන් කියලා ගුරු වෘත්තිය තෝරගනිපු... අනේ මන්දා එක අතකට පවුල ගැන හිතලා ගනිපු ඒ තීරණේට වැරදිය කියන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. //කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම කියන එකට නම් මමත් බොහෝදුරට එකඟයි...//

      අර මම මුලින් කියාපු හේතු කාරනත් මේකට එකතු වෙනවා නේද...මම මේ කියන්නෙ නිවාඩු එහෙම...

      Delete
    2. අනිවා ඩෙෆා... මාස හතරකට පාරක් මාසෙක නිවාඩුවක් වෙන මොන රස්සාවෙද තියෙන්නේ අප්පා.. ඇරත් දෙක වෙන කොට වැඩ ඉවර වෙන ජාතියේ

      Delete
    3. ඇයි තව තව නිවාඩු තියෙනවාලු. හිරූ තමා කියන්නෙ..බබාලා හම්බ උනාම එහෙම... :D

      Delete
    4. ඒ නිවාඩු නම් රජයේ සේවය කරන හැම නිළධාරිණියකටම තියනවානේ.. වැටුප් සහිත, අඩ වැටුප් සහිත, වැටුප් රහිත කියලා දින 84 ගානේ සෙට් තුනක් ගන්න පුළුවන්...පිරිමින්ටත් ප්‍රසූත නිවාඩු ගන්න පුළුවන්ලු.. හැබැයි දින තුනක් විතරයි හලේ.. විභාගයක් නිසා තොටියා මේ දවස් වල ආයතන සංග්‍රහය එහෙම එහෙන් මෙහෙන් පාඩම් කරලා ඉන්නේ.. හික්ස්ස්ස්

      Delete
    5. //පිරිමින්ටත් ප්‍රසූත නිවාඩු ගන්න පුළුවන්ලු.. හැබැයි දින තුනක් විතරයි හලේ..//

      මේක ඇහුවාමනම් මට පැලෙන්න හිනා...පිරිමි අයට " ප්‍රසූත " නිවාඩු දෙන්න එයලා මොනවා ප්‍රසූත කරනවටද...හි හි හී..මාරයි :D

      Delete
    6. පිරිමින්ට ප්‍රසුත නිවාඩු :ඩි

      Delete
  16. රැකියාව?? තේරුනේ නෑ අක්කෝ...ක්ම්පුටර් සයන්ස් කෑල්ල ගැන හිතලා මම කියන්නෙ ඈ.. ඔය කතාව මටත් හැමෝම වගේ කියනවා.. ගොඩක් ගෑනුළමයි තෝරගන්නවා අඩුයි කියලා සමහර අය කියන්නෙ..ඒත් එහෙම එකක් නම් පෙන්නෙ නෑ..අනේ මන්දා..මම නම් නෙට්වර්ක් ඉංජිනියර්න්ග් කරන්නෙ..අපේ ක්ලාස් එකේ අයත් කියනවා අමාරු වෙයිලු ෆීල්ඩ් එකට යද්දි,හැබැයි මට නම් හිතෙන්නේ නෑ එහෙම..තමන් තමන් ගැන විස්වාසෙන් වැඩ කරොත් ඕන දෙයක් හරියනවා..
    ජය ශ්‍රී!!

    ReplyDelete
    Replies
    1. අපේ ෆීල්ඩ් එකේ ගෑණු ළමයි අඩුයි. උන්නත් වැඩි හරියක් QA වලට එනවා විතරයි. හුඟාක් වෙලාවට තියෙන තරඟකාරීත්වය හින්දා වෙන්න ඇති. පිරිමින් එක්ක කරට කර වැඩ කරන්න නම් එයාලා එක්ක හරි හරි යට ඔට්ටුවෙන්න වෙනවා. අනික තමා රෑ බෝ වීම්. ඒක අපේ ෆීල්ඩ් එකේ සාමාන්‍යය දෙයක්නේ... නෙට් වර්ක් පැත්තටනම් ගෑණු අය යන්නෙම නැද්ද මන්ද...

      //.තමන් තමන් ගැන විස්වාසෙන් වැඩ කරොත් ඕන දෙයක් හරියනවා.. //

      හරියට හරි..උනන්දුව...කැපවීම එක්ක තමන් ගැන විශ්වාසය තිබ්බනම්...හැම දෙයක්ම සාර්ථක වෙනවා..

      Delete
  17. oya karanne gaanu lamayi aduven karana job ekak unath akke eka narakayi kiyala hithenne naa
    samahara vita oya marry kalata passe oya meeta vada free veyi akke
    anika issara ammala dakapu samje neme dan thiyenne eka eyakata pahadili karanna amaruyi kiyana kathava nam matah samahara velaavata aththa kiyala therilathiyenava , :-)

    ReplyDelete
    Replies
    1. ගෑණු කෙනෙක් කොහෙද මල්ලි මැරි කලාට පස්සෙ ෆී වෙන්නේ ? එතකොට වැඩ වැඩි වෙන්නේ..රස්සාවයි...මහත්තයාගේ වැඩයි..කුස්සියේ වැඩයි...එතකොට..ළමයින්ගෙ වැඩයි....අපොයි...අපටත් එහෙම කාලයක එනවා නේද කියලා හිතද්දිත් ඇඬෙනවා අප්පා...

      Delete
    2. එතකොට අක්කේ මහත්තයා හොද රස්සාවක් කරලා නෝනාව ගෙදර නවත්තනවා.දැන් ඇදෙනවා කිව්වට ළමයෙක දෙන්නෙක් හම්බ වෙද්දී අක්කා උන්ගේ වැඩ හරි ආසාවෙන් ආදරෙන් කරාවි :)

      Delete
  18. මම නම් කියන්නේ දැන් කාලේ එහෙම ගැහැණු , පිරිමි කියල වෙනසක් නෑ. ඕනෑම field එකක වැඩ දෙගොල්ලොම කරනවා. ඒත් ඉතින් රෑ වෙනකන් වැඩ කරනකොට ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා.නැත්තම් නම් ඕව ප්‍රශ්න නෙවේ :)

    ReplyDelete
    Replies
    1. //ඒත් ඉතින් රෑ වෙනකන් වැඩ කරනකොට ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා//

      ඔය ආරක්ෂාව ගැන නම් ඉතින් රෑ බෝ උනත් නැතත් රස්සාවක් කරන හැම කෙල්ලක්ම හිතන දෙයක්නේ...අර කතාවට කියන්නෙ තමන් හොඳනම් තම මොනාද කියලා...

      Delete
  19. අපේ අම්මත් නිතරම කියන්නේ ගෑනු ළමෙක් ට හොදම රස්සාව ගුරු කම කියලා.ඒත් ඉතිං මට කැම්පස් යන්නයි විද්‍යා පීඨ යන්නයි ආවම මට විද්‍යාපීට යන්න කියලා නං කිව්වේ නෑ.
    ඒත් මං දැං ඉගෙන ගන්නේ මං ආසාවෙන් හිටපු දෙයක් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. අනේ...එතකොට මඩවතී ආසාවෙන් උන්න දේ මොනාද ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මං දැං කරන්නේ ෆිසිකල් නිසා මට ගොඩක් විට වෙන්නේ ගුරු කම කරන්න,එක්කෝ රාජ්‍ය සේවයේ කොල පුරවන්න.මං ආස නෑ හැමදාම එකම වැඩේ කරන්න වෙන,විභාග පාස් වෙන තරමට promotion දෙන රස්සාවකට.මට හැමදාම ඔන උනේ designing side එකක් තියෙන ජොබක් කරන්න.මුලිං ම මට ඔන උනේ architecture කරන්න.ඊට පස්සේ graphic designing.ඊටත් පස්සේ fashion designing.දැං මං තේරුම් අරන් ඉන්නේ මම කිසි හරි හමන් ස්ථිර plan එකක් නැති මනුසේසෙක් කියලා.ඒ හින්දා දැං මං මගේ වෙන්ඩ හබී house wife වෙන්න කියපු එක ගැන කැමැත්තෙන් ඉන්නවා.

      Delete
  20. දැන් ඉතින් ඕකම කරගෙන යන්න අක්කා.මට මතකයි දවසක් ඔයා කිව්වා ඔයාගේ අරමුණ වාහනයක් ගැන ඒකට යන්නවත් අධිෂ්ටාන කරගෙන හොඳට ජොබ් එක කරන් යන්න ඔයාට වරදින එකක් නැහැ.දැන් ඔය මහන්සි වෙන තරම පස්සේ තමා ලාබ ප්‍රයෝජන ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ අපේ ටීම් එකෙන් මම විතරයි තාම බස් එකේ ( මම නම් යන්නේ ඔෆීස් ට්‍රාන්ස්පෝට් එකෙන්. ඒක ඔෆීසියෙන් ලැබෙන පහසුකමක් ) එන්නේ...අර වාහන හීනය තව දුරයි මල්ලි...ආ මට අමතක උනානේ...ඔයත් අපේ ෆීල්ඩ් එකෙමනෙ...

      Delete
  21. අඩේ අප්පා මෙයාට උයන්නත් පුලුවන් කියලා නොකියා කියලා වගේ දැනෙනවා. කමක් නෑ කමක් නෑ. ගෑණු ලමයා සුදුසුකම් සේරමත් සම්පූර්ණ කරමින් ඉන්න එකනේ. ඔයා හරි දරුවෝ, දවසක් එක්තරා පුද්ගලයෙක් මා එක්ක කිවුවා ලමයෝ "උගත මනා ශිල්පයමයි මතු ‍රැකෙනා කියලා කිවුවේ ඉස්සර දැන් තියෙන්නේ මතු ‍රැකෙනා ශිල්පයමයි උගතමනා කියලා කියමනක්.

    ReplyDelete
    Replies
    1. නියම කතාව සරත් අයියේ... ඇත්තමයි....

      Delete
    2. //අඩේ අප්පා මෙයාට උයන්නත් පුලුවන් කියලා නොකියා කියලා වගේ දැනෙනවා//

      බොරු මොකටද සරා අයියේ...අපි අර කුස්සිය පැත්ත පලාතේ නොගිය අය නෙමේනෙ..පොඩි කාලේ ඉඳන්ම ගෙදර උයන පිහින දේවලට අම්මට උදව් කරන ගමන්ම උයන්නත් ඉගෙන ගත්තා...රසට උයන්න පුළුවන්...මම කියනවා නෙමේ...මම උයන ඒවා කාපු අය කියන්නේ...

      Delete
    3. අන්න වැරදිච්ච තැන " උගත මනා ශිල්පයමයි මතු ‍රැකෙනා " කියන්නේ ඉගනගත්ත දෙයක් තමයි ඉතුරු වෙනේ කියන එක නෙවෙයි ...... උගත යුත්තේ මනා ශිල්පයක් මතු රැකෙනු පිනිස කියන එකයි ...... හොදද !!!!!
      හරියට තේරුම් ගත්ත නම් ආයේ වෙනස් කරන්න ‍ඔනේ කියල හිතෙන්නේ නෑ . අපේ රටේ තියෙන ‍ලොකුම ප්‍රශ්නේ ඕකයි ..... විචාරශීලි බුද්ධිය කෝ ????

      Delete
    4. හොර ළිහිණියා.. මට හින්ට් ගහනවා නේ.. හිටු මම අල්ලගන්නම්කෝ... හි හි...

      Delete
    5. ඒයි හිරුවො...මම ඒක උඹට නෙමේ ඔන්න කිව්වේ :)

      Delete
    6. හික්..හික්...හික්.. මේං වැඩක්..!! රිදෙන්නම වැදිලා වගෙයි නේද ලිහිණියෝ..! මට මතකයි බුරම්පි සිඤ්ඤෝ ලියපු එක පොතක තිබුනා අබ කෑ මිනිහගේ මොලේ දනවා කියලා කියලා කතාවක්. එදා කියෙවුවට මට ඒ ගැන විස්වාශයක් තිබුනේ නෑ. ඕං අද ඉඳන් විස්වාශෙට ගත්තා. හිකිස්..!!

      Delete
  22. මම දන්න පොඩි එකෙක් හිටියා. දැන් නම් ලොකු ඇති. ඔයා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියලා ඇහුවාම "ආතා කෙනෙක්" කියනවා. පට්ට ඇම්බිෂන් එක නේ?.
    ඔයා ‍තෝරා ගත්ත ක්ෂේත්‍රයට ඔයා කැමතිනම් ආයෙ මොනවද ළිහිණි.
    මම නම් කවමදාවත් ගුරුවරයෙක් වෙන්න හීන දැකපු එකෙක් නෙවෙයි.
    වතාවක් මාම් ලිව්වා පෝස්ට් එකක් මේවගේ. Some Guys Have All The Luck පොඩ්ඩක් බලන්නකො වෙලාව තියෙනවා නම්.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ආතා කතාව නම් නියමයි ඩූඩ්. Some Guys Have All The Luck පෝස්ටුව උදේ කියෙව්වා. කොමෙන්ට් කරන්න නම් බැරි උනා.

      Delete
  23. ළිහිණි ඔයා හරි.රස්සාවල් ගෑනුන්ටයි පිරිමින්ටයි කියල බේදයක් නෑ. කාටත් අභියෝගයක් වෙමින් කරන දේ හරියට කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නලින් අයියේ..ඔන්න අම්මා අදත් මට බැන්න ඕකට

      Delete
  24. මැත්ස්...කම්පියුටර් සයන්ස් :) අපි දෙන්නා එක පාරේ...කැම්පස් එක විතරයි වෙනස්.

    //මම තෝරගත්ත රස්සාව කෙල්ලකට සුදුසු නැද්ද ?//

    කෙල්ලෙක්ට සුදුසු නැති (පිරිමින්ට පමණක් සුදුසු) රස්සා හැටියට මම දකින්නේ ඉතාමත් ටිකයි. බස් කොන්දොස්තර, ත්‍රී වීල්/ටැක්සි රියදුරු, මල් ශාලා රැකියා සහ අධික බර වැඩ ඇති රැකියා ඉන් සමහරක්..:)

    //කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම//

    මේක අපේ සමාජ රටාව හින්දා ඇති වෙච්ච දුර්මතයක් කියලයි මම හිතන්නේ. ලංකාවේ මේ ගතිය මේ රටලව නම් හුඟක් දුරට අඩුයි වගේ. අපේ ටීම් එකේ 10 දෙනාගෙන් 7 ක් ම කෙල්ලෝ. ඒත් ලංකාවේ මේකේ අනිත් පැත්ත. අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. //මැත්ස්...කම්පියුටර් සයන්ස් :) අපි දෙන්නා එක පාරේ...කැම්පස් එක විතරයි වෙනස්/

      දාන්නකො 5ක්. ඒක නෙමේ අපේ ඔෆීස් එකේ බුවෙක් ඉන්නවා ඔයාලගෙ කැම්පස් එකෙන්. අම්මෝ එයාගෙ හෙන සොබ්බේ එයා ඔයාලගෙ එකේ කියලා.

      //අපේ ටීම් එකේ 10 දෙනාගෙන් 7 ක් ම කෙල්ලෝ. ඒත් ලංකාවේ මේකේ අනිත් පැත්ත//

      අපේ ඔෆීස් එකට ඉන්න එකම dev මම විතරයි. qa නම් ඉන්නවා. දන්නවද සයුරි සමහර කොම්පනි තියෙනවා කෙල්ලෙක් dev ඉන්ටර්වීව් ගියාම ගන්නෙ නෑ. රෑ වෙලා වැඩ කරන්න බෑ කියනවා කියලා.අපේ කොම්පැණියට මාව ගත්තෙත් රෑ වැඩ බෑ කියන්න බෑ කියලා පොරොන්දු කරවාගෙන..

      Delete
    2. මට දැන් මෙච්චරක් විතර ලොකු ප්‍රශ්නයක් තියනවා.සයුරි අක්කා මොකේද? ලිහිණි අක්කා මොකේද? දෙන්නගෙන් මොරටුවේ එක්කෙනා කව්ද?

      Delete
  25. මම නම් හිතන්නේ ඔයා දැන් කරන ජොබ් එක හරි. මොකද මමත් පොඩි කාලේ හිතන් හිටියේ පොලිසියට හරි හමුදාවට හරි යන්න. නමුත් කාලෙත් එක්ක පරිසරේට අනුව අපිට හැඩගැහෙන්න වෙනවා. අකමැත්තෙන් හරි. අවිවේකි බවනම් මේ ශේස්ත්‍රයේ සාමාන්‍ය දෙයක් නේ. නමුත් ඔයාගේ ඉලක්ක සපුරාගන්නනම් ඔයා රස්සාව හොඳයි කියල තමයි මටනම් හිතෙන්නේ. මේ මට හිතුන හැටි.

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් අමාරුවෙන්ම තෝරාගන්නා සබ්ජෙක්ට් එකක් තමා මම තෝරාගෙන තියෙන්නෙ. ඒක නිසා කට්ට කාගෙන හරි ඒක කරන්න මම රෙඩී. අම්ම ඉතින් බනිනවා තමා. ඒ එයාට තේරෙන්නෙ නෑනෙ රස්සාවේ වගකීම.

      Delete
  26. ලිහිණි අක්කෝ... මට පොඩි උදව්වක් ඕන... හි හි හි... බය වුණාද ආධාරයක්වත් ඉල්ලන්න යන්නේ කියලා? නෑ නෑ පොඩි උපදෙසක් ගන්න... ඔයා ඉතින් ෆීල්ඩ් එකේ කෙනා නේ... ඉතින් මට කියලා දෙනවකෝ හලෝ...

    මට සොෆ්ට්වෙයාර් ඩිසයින් ෆීල්ඩ් එකේ ජොබ් එකකට යන්න ඕන..
    (ඔය කිව්වේ මාතෘකාව.. දැං ඉතින් මගේ ජීවිත කතාවම මෙතන කියන්න වෙනවා... කෙටියෙන් කියන්නම්කෝ)

    ඔන්න මං ඕලෙවල් කරා.. ගණන් විද්‍යාවට ඒ පාස් එක්ක හොඳට පාස්... මං ඉගෙනගත්ත ඉස්කෝලෙන් ඒ අවුරුද්දේ දෙවනියා... (ඉස්කෝලේ දුෂ්කරයි හො‍ඳේ... )

    ඊට පස්සේ ඒලෙවල් කලා... ඒ කාලේ යාලුවෝ එක්ක සෙට්වෙලා ඉගෙනීමෙන් ඈත් වුණා... ඉතින් ඒ ලෙවල් ‍නෑ... (C,S විතරයි)

    ඊට පස්සේ ජොබ් එකකට ගියා... ප්‍රින්ට්න් ෆීල්ඩ් එකේ මැෂින් මයින්ඩර් කෙනෙක් විදිහට... හොඳ පඩියක් හම්බුණා... ඒ නිසා එහෙමම හිටියා... වයස ගියා...

    කට්ටිය කිව්වා ඔහොම නෙවෙයි ඔෆිස් එකක ජොබ් එකක් හොයා ගන්න කියලා... ඉතින් එම පුලුවන් සොෆ්ට්වෙයා විතරයි... ඒකෙන් අපි වගේ අය ජොබ් වලට ගන්නේ නෑ...

    ඒ නිසා ඩේටා එන්ට්රි කරන තැනක වැඩට ආවා... දැන් මම ඉන්නේ එතන...

    ඉතින් මම හිතුවා ඩිග්රි එකක් කරන්න... එතකොට සොෆ්ට්වෙයා ජොබ් එකකට යන්න පුලුවන්නේ... ඒත් දැන් වයස 24 යි... දැනට මම හිතාගෙන ඉන්නේ මෙහෙම කරන්න...

    FIT (Foundation in Information Technology)
    කොළඹ විශ්ව විද්‍යාලයේ කරලා ESOFT එකේ ක්ලාස් යන්න.
    ඒක පාස් වෙලා

    BIT (Bachelor of Information Technology)
    කොළඹ විශ්ව විද්‍යාලයේ කරලා ESOFT එකේ ක්ලාස් යන්න.

    එහෙම හොඳද අක්කෝ... ලොකු ලොකු ඩිග්රි තියෙනවා... ඒත් මමම හොයාගෙන මමම වියදම් කරන්න ඕන... ඒ නිසා වියදමත් ප්‍රශ්ණයක්... BIT එකට නම් මට වියදම් කරන්න පුලුවන්... මොනා කරන්නද කියලා මටනම් තේරෙන්නේ නෑ...

    එහෙම නැත්නම් සොෆ්ට්වෙයා ඉගෙනගන්න එක අතහැරලා ප්‍රින්ට්න් ම කරන්නද? මට ආසාව තියෙන්නේ සොෆ්ට්වෙයා වලටමයි... ඉතින් ඒක මට කරගන්න බැරිවෙයිද?

    පොඩ්ඩක් කියලා දෙන්නකෝ... දන්න තව කව්රු හරි ඉන්නවනම් කියලා දෙන්නකෝ...
    ලොකූ... උදව්වක්...
    සුභ දවසක් එහෙනම්...




    ReplyDelete
    Replies
    1. අලුත් මල්ලියෝ...(මල්ලි කිව්වට ඔයා අය්යෙක් මට ඈ )

      මම BIT එක ගැන පොඩ්ඩක් කියන්නම්.මම දැන් semesters හතරක් ඉවරයි.පස් වෙනි එක කරන්න යන්නේ.මම ඒ ඩිග්‍රිය කරන්නේ නම් ආතල් එකට. ඒත් ඒක සෑහෙන්න වටිනා ඩිග්‍රියක්.මම පහුගිය කාලෙටම institute වල class ගියේ නම් නෑ.ගෙදර ඉඳන් online resources වලින්මයි හැම දෙයක්ම කළේ.මගේ සමහර යාළුවෝ නම් class ගියා.Esoft එකට ගිය අය තමයි හොඳම results දැම්මේ.ඔයත් බය නැතුව පටන් ගන්න.අවුලක් නැතුව කරගන්න පුළුවන්.අනිත් එක semesters දෙකෙන් දෙකට diploma, higher diploma degree දෙන නිසා රස්සාවකට යන්න මුළු ඩිග්‍රියම ඉවර කරන්න ඕනෙත් නෑ.

      Delete
    2. මෙහෙමයි මල්ලී මට මේකට හරියටම ඇඩ්වයිස් කරන්න බෑ.ඒක තීරණය කරන්න ඕනේ ඔයාගේ කැපෑසිටි එක අනුවයි.A.Wickz BIT කරන හින්දා එයා හරිම විස්තරය දන්නවනෙ. BIT එකට කාලයක් යනවා. අවුරුදු තුනක් හතරක් විතර. ඒක ඇදගෙන යන්න පුළුවන්නම් හොඳයි..

      ඊට වඩා ඉක්මනින් කරන්න ඕනෙ නම් BCS කරන්නත් පුළුවන්. ( ලෙවල් තුනම ) මේක certificate ම නෙමේ.ඩිග්‍රී equivalent.අවුරුදු දෙකකින් විතර ඉවර කරන්න පුලුවන්. ඒත් ලේසිම නෑ කිසිම දෙයක්. උවමනාව සහ කැපවීම ඕනේ...

      ඕනෙ තරම් ඩිග්‍රී තියෙනවනෙ. හොඳට කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න.

      Delete
    3. මම BIT ම කරන්නම් නේද අක්කෝ... මග පෙන්වන්න කෙනෙක් නැති වුණාම ජීවිතේ නාස්තිවෙනවා දන්නෙම නැතුව... මොනා කරන්නද ඉතින් නේද... FIT එක මාසෙකට සැරයක් තියෙනවලු... ඉතින් ඒකෙ රෙජිස්ටර් වෙලා ක්ලාස් ගියාම ඒක ඉවර කරලා ඊට පස්සේ BIT කරගන්න පුලුවන් වෙයි... සමහරවිට ලබන අවුරුද්දේම පටන්ගන්නත් පුලුවන් වෙයි... BIT එකට නම් මම යන වියදම් එහෙම බැලුවා කලින්... ඒක කරගන්න පුලුවන් වෙයි අක්කෝ... දැන් A.Wickz ගෙන් තොරතුරු ගන්නත් පුලුවන්වෙයි නේ මේ ගැන... නිකම්ම ඉන්න එකේ තේරුමක් නෑ නේ නේද අක්කෝ... තව මොනවාහරි දැනගන්න තියෙනවනම් අක්කගෙන් අහන්නම්කෝ... ගොඩක්ම ගොඩාක් ස්තූතියි අක්කෝ මේ උදව්ව කළාට... සුබ දවසක්...

      Delete
    4. @A.Wickz
      ඒකට මොකද කොල්ලෝ... මල්ලිම කියන්ට... BIT ගැන මාත් හොයලා බැලුවා ඉන්ටර්නෙට් එකෙන්... එහෙමනම් මාත් කරන්නම් නේද? මම ඔයාගේ බ්ලොග් එකට ඇවිත් වැඩි විස්තර දැනගන්නම්කෝ මේ ගැන... BIT කරන දන්න කියන කෙනෙක් නැති එක තමයි ලොකුම ප්‍රශ්ණේ වෙලා තිබුණේ... දැන් ඒ ප්‍රශ්ණේ හරි... ළිහිණි අක්කත් BIT හොඳයි කියලා තියෙනවනේ... දැන් තමා ඔලුවේ තිබුණ බර ටිකක් අඩු වුණේ... ගොඩක් ස්තූතියි කොල්ලෝ මේ උදව්ව කළාට... මං එන්නම්කෝ ඔයාගේ බ්ලොග් එක පැත්තේ... සුභ දවසක්...

      Delete
  27. යන ඒන අතර තුෙර් ඔෙබ් ගිමන් හෙෙල් නිවා ගතිමි ගිමන්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තට ආවට :)

      Delete
  28. මම නම් කියන්නේ තමන්ට සුදුසුයි කියල හිතෙන,පුලුවන් කියල හිතෙන දේ තමා කරන්න ඕන අක්කෝ..

    ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නංගෝ...මේ රස්සාව ලේසි නැති උනත් මම කැමති දේනෙ

      Delete
  29. ජීවිතේදි අපිට ලැබෙන්නෙ අපි හිතන පතන දේවල්ම නෙවෙයි. අපිට ලැබෙන්න උරුම වෙලා තියන දේවල්. අර මගේ බ්ලොගේත් පැත්තකින් ලියල තියෙන්නෙ පහළ තියන විදියට.

    "හිතන පතන හැමදේම ඒ විදිහටම ලැබුනාම ජීවිතේ රහක් නෑ... මට හිතෙන්නෙ එහෙමයි....."

    ReplyDelete
    Replies
    1. //"හිතන පතන හැමදේම ඒ විදිහටම ලැබුනාම ජීවිතේ රහක් නෑ.//

      ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ ගිය වෙලාවක මම මේක හොරාට කොපි කරගෙන තියෙනවා....මම කිව්වේ ඔය වචන ටික..:)

      Delete
    2. මං පව්ලු ඉතින් :)

      Delete
  30. තමන් කරන රස්සාවෙන් තමන් සතුටු වෙනවා නම් එච්චරයි අප්පා . .. තමන්ගේ වටේ ඉන්න අය සතුටු කරන්න එහෙම නැති නම් ඒ අයට හැබෑ කර ගන්න බැරි උනු හීන හැබෑ කරන්න තමන්ගේ ජීවිතය පුදනවද කියන එක හොඳට හිතල බලන්න ඕන කාරයනයක් . .. අම්මා තාත්තා උනත් තමන්ගේ ජීවිතය තමන්ගේ සතුට කියන තැනදී දෙවෙනි තැන ගන්න ඕන . . මගේ අදහස නම් එහෙමයි . .

    ReplyDelete
    Replies
    1. දුකා අයියා මේ පැත්තට අලුත්නේ...සතුටුයි ආවට...

      Delete
  31. මම, පුංචි කාලේ හිතන් හිටිය හැම දෙයක්ම අමතක කරලා ඒ දේවල් වෙනස් කරලා අද මෙහේ දුරක ඇවිත් ඉන්නවා.. මේ ජීවිතේ ගැන මම සතුටුයි.. හැම අතින්ම්.. ඒත් එකම එක කාරණයයකදි මම ලංකාවේ හිටියනම් හොදයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. //ඒත් එකම එක කාරණයයකදි මම ලංකාවේ හිටියනම් හොදයි කියලා හිතෙනවා..//

      ඒ කාරණය මොකද්ද කියලා අපි හැමෝටම තේරෙනවා :D

      Delete
  32. ලස්සනයි ලියවිල්ල.... හිතට දැනෙන්න ලියලා තියෙනවා... බහුතරයකට රැකියාවේ සාර්ථකත්වය හා ඒ පිලිබද තෘප්තිය සමපාත කරගන්න බෑ... ඉතාම ඉහළ වැටුප් ලබන මගේ මිතුරන් නිදහස අහිමි වීම ගැන මැසිවිලි නගන්නෙ සල්ලි කන්නද කියලා නාහින් අඩන ගමන්... තමන්ගෙ කුටුම්භයෙ අත්‍යවශ්‍ය කාර්යයකට ගන්න බැරි නිවාඩු කන්නද... ඒ නිසාම යම් කිසි කාලයක පස්සෙ මමත් වැටුපට වඩා නිදහස අගය කරලා ආයතනගත බැදීම් වලින් නිදහස් උනා....

    ගොඩාක් ගෑණු ළමයි පොඩි කාලෙදි සාරි ඇදන් පොත් ටිකත් ලං කරගෙන යන්න තියෙන කැමැත්ත නිසාම ගුරුවරියෙක් වෙන හීනය ළග තියා ගන්නවා...ඒත් කරදඩු උස් උනාම මේ විවෘත ආර්ථිකයෙ ඇතුලෙ ගුරුවරියෙක් වෙනවද ඊට ඉහළ වැටුපකට ගිහිල්ලා හොද කසාදයක් කරගන්නවද කියන කාරණා දෙක අතර අතරමං වෙනවා...කෙටියෙන්ම කියනවානම් මුදල්ද ? නිදහසද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ඇවිත් පෝස්ටුව කියෙව්වට...

      //යම් කිසි කාලයක පස්සෙ මමත් වැටුපට වඩා නිදහස අගය කරලා ආයතනගත බැදීම් වලින් නිදහස් උනා....//

      මට නම් එහෙම කරන්න තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වේවී. මොකද කෙල්ලක් උනත් මම ජීවිතය ගොඩ දාන්න සෑහෙන උත්සාහ කරන කෙනෙක් නිසා. මට කියලා එක බිම් අඟලක් තාම මේ මහ පොළොවේ නැති නිසා තවම මට " නිදහසට වඩා මුදලා වටී " කියන ස්ථාවරයේ ඉන්න වෙලා..

      Delete
  33. පුංචි කාලෙ ලස්සන ලස්සන හීන තිබුණා ලොකු වෙද්දි ලොකු වෙද්දි හීන වෙනස් වුණා ආසකල රැකියා වෙනස් වුණා...ජීවිතේ එහෙමනේ...

    තමන් ගැන තමන්ට සතුටුවෙන්න පුළුවන්නම් එච්චරයි....ගොඩක් දවසකින් ආවෙ දිගටම එනවා

    ReplyDelete
  34. Matath oya hama hinayakma thibba lihiniyo chooti kale. Eth loku wenakota e hama hinayakma magen athata giya. Dan gedarata wela innawa baba ekka. Sari adan wate thiyena gas wala kola walata gagaha hitapu e kale nam harima sundarai. Dan baba karana ewa diha balala sathutu wenawa. Parakku wela ane awe sorry hode.

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.