මාව කියවන අය අතර..

26 February 2013

දාංගලේ තරමට වින්නැහි...


අපේ අයියට පොඩි කාලෙ තිබුනේ පුදුම දාංගලයක්. අපේ අම්මා කියනවා වගේ " මහ පොළොවෙ නම් උන්නේ නෑ ".. අයියලාගෙ ඉස්කෝලෙන් උනත් වැඩිපුර චෝදනා පත්‍ර ආවේ අපේ අයියට. නරක වැඩ කරලා එහෙම නම් නෙමේ. තිබුන දාංගලේ හින්දමයි..

අම්මගෙ කතාව හරි. අපේ අයිය පොළොවේ ඉන්නවට වඩා පොළොව මට්ටමෙන් උඩ ඉන්න තමයි ඒ කාලේ වැඩි පුර උවමනාව තිබුනේ. ගස් උඩ, මේසේ උඩ, පුටු උඩ, ජනේල වල එල්ලීගෙන, හපොයි එයාට තිබ්බ එහෙමත් ගායක්.


අපේ අම්මා පණ දාගෙන හෝදලා වේලලා..සීරුවට මැදලා අයියට අන්දලා යවන ඇඳුම..ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට තියෙන්නෙ කළු පාටට..කුණු දූවිලි, මඩ, නාවර වලින් වැහිලා...කහට ගෑවිලා නැති එකම එක ඇඳුමක්වත් එයාට තිබුනෙත් නෑ. ඇයි ඉතින් තියෙන දාංගලේට ඇඳුම්වල කහට නොගාගෙන ඉදීවිද... කජු හැදෙන කාලෙට කජු කිරි වලින් ඇඳුම් විනාසයි..මාදං, බලු දං එහෙම හැදෙන කාලෙට ඇඳුම් දම් පාටයි...අඹ හැදෙන කාලෙටත් ඒ සෙතේම තමා..

මට මතක කාලෙ ඉඳන් එයාගේ ඔළුවේ නොපැලුන තැනක් නෑ. (දැනටත් නළලේ ඒ තුවාල කැළල් එලෙසටම තියෙනවා ) අඩුම තරමින් සති දෙකකට සැරයක්වත් ඔළුව පලා ගන්නවා. තාත්තත් නැති ගෙදර අම්මගෙ මහන්සියෙන්නෙ අපේ බඩ ගින්දර නිවුනේ. කොහෙද අම්මට එක මාසයක් හරියට වැඩට යන්න බැරි වෙනවා. කොයි වෙලාවේ ඉස්කෝලෙන් පණිවිඩයක් ඒවිද හිත හිතාලු අම්මා වැඩ කරන්නේ..එක්කෝ ඉස්කෝලෙ ඩෙස්ක් එකක් උඩට නැගලා වැටිලා ඔළුව පලාගෙන...නැත්තම් ඉන්ටවල් එකේදී එයාගෙ යාළු නඩේ එක්ක දුවලා වැටිලා ගල් ගෙඩියක ඔළුව වද්දගෙන...මොකක්ම හරි එකක් වරදින්නෙම නෑ..

ඔය ඔළුව තුවාල කරගන්න එකත් ගොඩින් බේරගන්න පුළුවන් හැටියට නම් නෙමේ කරගන්නේ. අඩුම තරමින් මැහුම් තුන හතරක්වත් දාන්න වෙනවා. ලේ පෙරාගෙන ඉන්න අයියව අම්මා උස්සාගෙන දුවනවා බේත් සාප්පු ගානේ.. හොඳම වැඩේ කියන්නේ හිරි වට්ටන්නෙවත් නැතුව මැහුම් දානකොටවත් අයියා නෙමේලු එක කඳුලක් වට්ටන්නේ..ගාණක් නැති ගානට දත් මිටි කාගෙන ඉන්නවලු..හැබැයි ඉතින් ගාණට එයාට ලැබෙන්නෙ ගෙදර ආවම තමා.. ඔළුව පැලුන තුවාලය දෙපිටෙන් යන්න අම්මා දෙනවා හොඳ පාරවල් දෙක තුනක්. ඒත් ඉතින් අයියා නෙමේ " හ්ම්ම්ම් " කියන්නේ...රිදෙන්නම ගහලා ඉවර වෙලා අම්මම පැත්තකට වෙලා හූල්ලන්න ගන්නවා. ගහපු දුකට..

අපේ ගෙවල් කිට්ටුව උන්නා ඩිස්පැන්සරියක බෙහෙත් කලවම් කරපු අන්කල් කෙනෙක්. එයාගෙ ගෙදර පොඩි පොඩි තුවාල වලට බෙහෙත් එහෙම දානවා. අයියා ඉතින් ඔළුව පලා නොගත්තත් දණහිසක්, වැලමිටක් හරි තුවාල කර ගන්නෙ නැති දවසක් නෑනේ..හෙමීට දිව්වත්...හයියෙන් දිව්වත්...ඇවිද්දත් , බයිසිකලේ පැද්දත්තුවාලයක්ම තමා...හි හි හී

අම්මා වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට තමා අපේ ගෙදර යුද්ධ පිටිය වෙන්නේ..ගෙදර ආව ගමන් අම්මට තියෙන පළවෙනි රාජකාරිය තමා අපි දෙන්නව ලිඳ ලඟට ඇදන් ගිහින් ඇඟ සෝදවන එක.. මට නම් ඒක තමා ඒ කාලේ මේ ලෝකේ තිබුන ලොකුම වද හිංසාව.. අර පැත්තට මේ පැත්තට හරව හරවා ඇඟේ හම ගහන තාලෙට කුණු අතුල්ලනවා.. පූස් පැටියා වගේ පාඩුවේ පැත්තකට වෙලා කුණු දූවිලි ගාගන්නෙ නැතුව සෙල්ලම් කරන මගේ ඇඟත් අම්මා අර තරම් රිද්ද රිද්ද කුණු අරින්න හදනවා නම්...අයියා ගැන මොන කතාද...අම්මා අයියව හෝදන්නෙ බැන බැන..දැන් මතක් වෙද්දී හිනාත් යනවා අප්පා...

ලිද ලඟ යුද්දෙන් පස්සෙ අම්මා ඊ ලඟට අයියව ඇදන් යන්නේ අර තුවාලවලට බෙහෙත් දාන ගෙදරට..ඔය ගමනට මාත් ඇදිලා යනවා. ඒ තමා මම ආසම දේ..ඒ අන්කල් අයියව පුටුවක වාඩි කරවලා..තුවාලය තියෙන තැන හොඳට බලනවා. ඊට පස්සේ කතුරක් අරන් පුළුන් කෑල්ලක් ඒකෙ දවටලා...අනිත් අතින් මොනාදෝ බෝතලයක් ගන්නවා. ඒකේ මූඩිය ඇරලා කතුරේ දවටපු පුළුන් කෑල්ල බෝතලේ ඇතුලට දාලා ගන්න දියරකින් තුවාලය පිහ දානවා...ඒ වෙලාවට අයියා ඉන්නේ පුටුවේ නම් නෙමේ..දුවන්න ලැහැස්ති වෙලා.. දැවිල්ලට...මට හරි සතුටුයි ඒක බලාගෙන ඉද්දී...ඊටත් පස්සේ තවත් ගෝස් කෑල්ලක් අරන් ඒකේ දම්පාට බෙහෙතක් දාලා ඒක තුවාලය උඩින් දමලා ඊට උඩින් තවත් ගෝස් කෑල්ලක් තියලා ප්ලාස්ටර් දෙක තුනක් දානවා..ඔන්න බේත් දමලා ඉවරයි..

ඔය බෙහෙත් ටික කකුලේ තියෙන්නෙ ගෙදර එනකල් විතරයි. අයියගෙ වැඩේම අර ප්ලාස්ටර් කෑලි ගලවන එකයි..ආයෙම අලවන එකයි.. පහුවදා උදේ වෙද්දී තුවාලෙ විතරයි..බෙහෙත් දාපු ටික නෑ...

අපේ ගේ ඉස්සරහා තිබුනා පේර ගහක්. අයියගෙ වැඩේම ඔය පේර ගහේ තියෙන අතුවල එල්ලෙන එක. ඒක හරි භයානය වැඩක්. මොකද පේර ගහ කිට්ටුවම මහා විසාලෙට තිබ්බ තේක්ක ගහකින් මතුවෙලා එළියට ආපු මුල් වගයකුත් තිබුනා.අයියට ඒවල වගක් නෑ. එයා එල්ලෙනවා පේර අතුවල.. ටාසන් වැලේ එල්ලෙනවා වගේ...දවසක් අයියගෙ සෙල්ලම ලෙල්ලම උනා. මම බලාගෙන ඉද්දිම මෙන්න මෙයාව වැටුනා පේර අත්තත් කඩාගෙන... අයියෝ මට ගිය හිනාව ( නරක නංගෙක් තමා ඉතින් අයියා වැටුනම හිනා වෙන්නේ .. :) ඒත් ඉතින් මෙයාගේ වැඩවලට හිනා යන්නෙ නැද්ද... J

අයියා ගහෙන්වැටුනා වැටුනාමයි කිසිම හැලහොල්මනක් නෑ. මම හිතුවේ වැටුන ලැජ්ජාවට එයා එහෙම ඇති කියලා. මට තේරෙන මඟුලක් තියෙනවයෑ..විනාඩි පහ දහයක් ගියත් මෙයා සද්ද නැති නිසා මම ලඟට ගියා..

 " අයියේ නැගිටිනවකො.." කිව්වත් ම්හ්හු..සද්දයක්වත් නෑ. හරිනේ..අයියා මැරිලා තමා.. එතකොටනම් මම බය උනා හොඳටෝම.. වැටෙන් පැනලා දිව්වා අපේ පොඩි මාමලාගෙ ගෙදරට..ගිහින් කිව්වා විස්තරේ නැන්දට. ඇයි ඉතින් අම්මත් ගෙදර නෑනේ..නැන්දා දුවලා ඇවිත් බලද්දී අයියට සිහිය නෑලූ.. හප්පේ...ඉස්පිරිතාලේ අරන් ගියාට පස්සෙ තමා විස්තරේ දන්නෙ..අයියගෙ අත වැලමිට ලඟින් කැඩිලලු වැටුන පාරට..ඔන්න එයාට ඉස්පිරිතාලෙත් ඉන්න උනා ඒ වැඩෙන්.

මාස ගානක් ගිහින් අත සනීප උනා කියමුකෝ..ඒත් නැවතුනේ නෑ එයාගෙ දැඟලිල්ල.ගෙවල් කිට්ටුව උන්න අයියගෙ යාලුවෙක්ගෙ ගෙදර තිබුන මාදං ගහකට නැගලා අයියයි යාලුවයි දෙන්නම.. යාලුවගෙ කෙසේ වෙතත් අපේ අයියගෙ දාංගලේ අපි දන්නවනේ..ඔන්න එදත් මෙයා ගහෙන් කරණමක් ගහලා අත කඩාගෙන.. ඒ පාර ඔළුව පලාගන්න එක නැවතිලා අත් කඩා ගන්න ගත්තෙ ඔතැනින් පස්සෙ තමා.. J

ඒ පාර අත කඩාගෙන තිබුනෙත් වැලමිට ලඟින්ම තමා. කලින් කඩා ගත්ත අතේ නම් නෙමේද කොහෙද..අපේ අම්මට කවුද කියලා සිංහල බෙහෙත් කරන්න කියලා. අම්මත් අයියව උස්සාගෙන දුවලා තිබුනා වෙදෙක් ලඟට. ගිහින් ඔන්න අතට පත්තු බැදලා ගෙදර එවලා තිබුනා. එහෙම කියලා අපේ අම්මට ගෙදරටම වෙලා ඉන්නත් බෑනේ..අම්මා උදේට අයියගෙ අතට සාත්තු කරලා, මැල්ලුම් පත්තු බැදලා ගෙදරින් යනවා වැඩට..අයියා ඒ විදියට අත තියාගෙන ඉන්නෙ පැයයි නැත්තම් දෙකයි. එනවා මා ලඟට...

" නංගියා මේක ගලවන්න. දැන් ඇති .."

එහෙම කියද්දී මම දන්න මඟුලක් තියෙනවයෑ. මම පොඩි එකීනේ..අර පත්තු ටික ගලවගන්න අයියට උදව් කරනවා.. බෙහෙත් පත්තු ගලවාගෙන අමාරුවෙන් අත තියාගෙන ඉන්නවා අම්මා හවස ගෙදර එන වෙලාව කිට්ටු වෙනකල්. ඊට පස්සේ ආයෙම මා ලඟ.

" නංගියා...දැන් මේක බඳිමු..."

මාත් ඉතින් දන්න හැටියට අර පත්තු ටික අත වටේ තියලා ඔතනවා රෙදි පටි වලින්. ටික කාලයක් යද්දී තමා වැඩේ තේරුනේ..අර පත්තු ටික බැන්දම අයියට අත රිදෙන්න ගන්නවනේ..මෙයා ඒක ගලවලා අම්මා එන්න කලින් තිබ්බ වගේ ඔතා ගන්නවා..අම්මව එහෙම රවටලා එයාගෙ අතම තමා වනසගෙන තිබුනේ..අත කැඩිච්ච තැනින් හයිවෙලාලු. අයියගෙ අත නමන්න බැරි උනා අන්තීමෙදී.. (පස්සෙ කාලෙක ඒ අත ආයෙම කඩලා ප්ලාස්ටර් දාලා හැදුවද කොහෙද )

එතැනින් නැවතුනෙත් නෑ මගෙ හිතේ..තව කීප සැරයක් අත පය කඩා ගත්තා..ටිකක් ලොකු උනාට පස්සෙ ( අවු: 15-16 විතර ) තමා ඔය දැඟලිල්ල ටිකක් හරි නැවතුනේ. මොන දේක සීමාවක් තිබුනත්...අපේ අයියට නම් ඒ සීමාව ගෑවිලාවත් තිබුනේ නැද්ද කොහෙද..කොල්ලෝ කොහොමත් පොඩි කාලෙදී දඟයි තමා..නාහෙට අහන්නෙත් නෑ තමා..ඒත් මෙච්චර හරියක්.... මෙච්චර අත පය කඩා ගත්තු, ඔළුව පලා ගත්තු කෙනෙක් තවත් නැතුව ඇති..

දැන් නම් ඉතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ. කොච්චර නාහෙට අහන්නැති එකෙක්ව හරි බැන්දට පස්සෙ බිරින්ඳෑ හදා ගන්නවලුනේ....අපේ  අයියටත් එහෙම උනාද කොහෙද..... J



 පින්තූර හොයා ගත්තෙ ගූගල් දෙයියගෙන් තමා

80 comments:

  1. අයියගේ පටි රොල් වගේ නඟාගේ දඟ ඉතිං අයියගෙන් තමයි අහගන්න වෙන්නේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අපෝ නඟා අයියා තරම් දඟ නෑ.බොරුනම් ඉතින් අයියගෙන් අහලා බලන්නම වෙනවා.. :)

      Delete
  2. ඔව් ඔව් බොලාට හදාගන්න බැරි නිසා නෙව වෙන එකෙකුට දීල කියන්නේ අනේ අපේ අයියාව බලගන්නෙයි කියලා.. ඒක නෙමෙයි තෝ දැනටත් නාන්නේ නැතිව ඇති නේද???

    ReplyDelete
    Replies
    1. මේකා එක්ක නම් බෑ අප්පා...

      නාන්නෙ නැද්ද නම් මම දන්නෙ නෑ. හැබැයි අම්මා මට කියන්නෙ " දියකාවා " කියලා. වැඩේම වතුරේ.. :D

      අපි පොඩි කාලෙ අම්මා අපිව හෝදන්න ගියාම දෙන දස වද ටික මතක් වෙද්දී තාමත් තරහයි. හම යන්න අතුල්ලනවා.හි හි හී මට නම් ඒක තමා මේ ලෝකෙ තිබුන දරුණුම වදය

      Delete
  3. ඔළුවක් පලා ගත්තේ නැති ජීවිතේ මක්කටද? මගේනං අතපය කැඩිලා නෑ.හැබැයි වෑන් එකක් යට රිංගලා ජීවිතේ නැතිවෙන්ඩ ගිහිල්ලා සකල ලෝක සත්වයන් කෙරේ කරුණාවෙන් නොමැරී බේරුණා....

    ReplyDelete
    Replies
    1. අපේ අයියා ඒකටත් එක්ක. ඉස්සර අම්මා අයියව ලඟපාත උන්න දොස්තර කෙනෙක් ලඟ එක්ක යද්දීම අහනවලු " අදත් ඔළුව පලාගත්තද " කියලා...

      Delete
  4. අයියා බ්ලොග් ලියන්නෙ නැති නිසා හොඳයි. නැත්නම් අහගන්න තිබුණා නංගිගෙ වැඩ! නේද ලිහිණි? :D

    ReplyDelete
    Replies
    1. අයියා බ්ලොග් ලියන්නෙ නැති හන්දා හොඳයි. නැත්තම් මම විනාශයි...

      Delete
  5. පොඩිකාලෙ අතක් පයක් කඩාගත්තෙ නැත්නම් උගෙන් ඇති වැඩේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ කස්සත් අතපය කඩා ගත්තද ?

      Delete
  6. ළිහිණිගේ අයියාට බල පාලා තියෙන්නෙ ගුරුත්වාකර්ෂණ බලය. ඕක සමහරුන්ට ඔය විදියට බලපානවා. එයා නේද අර ඉතාලියේ ඉඳලා ආවේ?

    මේ පාර අයියයි නංගියි සාම ගිවිසුමක් ගහලාවත්ද! :)

    ReplyDelete
    Replies
    1. //එයා නේද අර ඉතාලියේ ඉඳලා ආවේ? //

      ආවේ නෙමේ තාමත් එහෙ ඉන්නෙ ඩූඩ්...

      //මේ පාර අයියයි නංගියි සාම ගිවිසුමක් ගහලාවත්ද! :)//

      මොන පිස්සුද ඩූඩ්...තාමත් පරණ කෝණ්තරකාරයෝම තමා..

      Delete
  7. අයියව විනාස කරලා..

    පොර දගයා වගේ ඩයල් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. //පොර දගයා වගේ ඩයල් එකක්ද ?//

      දඟයට වඩා හපන් වගේ සැමෝ..

      Delete
  8. දැන් අයියා දැඟලිල්ලක් නැතිව ඉන්නවද

    ReplyDelete
    Replies
    1. කසාද බැන්දම හාමිනේ " නාස් ලණුව " දානවනේ...අපේ එකාටත් එහෙමලු..හි හි හී

      Delete
  9. අයියගේ සායම ඇරලා නේද මෙයා..:P

    ReplyDelete
    Replies
    1. තව කොහෙද...තාම කාලයි :)

      Delete
  10. මෙහෙමත් අත පය කඩාගැනිල්ලක්..

    අත පය කැඩෙනවා වගේම තමා උලුක් උනාමත්..

    ReplyDelete
    Replies
    1. සමහර විට කැඩිලා නැතුව උලුක්කු වෙනවත් ඇති. ඒ කාලෙ මට ඒවා තේරෙන්නෙත් නෑ.ඒත් හැමදාම අත් කකුල් බැඳගෙන..නලලේ , ඔළුවේ බෙහෙත් දාගෙන උන්න හැටි නම් හොඳට මතකයි. අඩියක් ඇවිද්දොත් වැටිලා තුවාලයක් හදාගන්න ජාතියේ පොරක්...:)

      Delete
  11. අයියා හරිම තුවාලයක් වගේ නේද ලිහිණි

    ReplyDelete
    Replies
    1. හප්පේ...අයේත් අහලා. නලලේ තවමත් තියෙනවා තුවාල කැළැල්...:)

      Delete
  12. හයියු වෙච්චි දෙයක් අච්චර යස අගේට හිටපු කොල්ලට අන්තිමේදී ගෑණියෙක් නිසා වෙනස් වෙන්න වෙලා :/

    ReplyDelete
    Replies
    1. කාට කාටත් ඒ ටික තමාලු...සූදානම් ශරීරයෙන් ඉන්න නිශාන් හි හි හී

      Delete
  13. anthimata liyapu kalla thamai maru. ekanam sahathika aththa. oya kage kageth wada kida balaganna puluwan bandata passe...hhe

    ReplyDelete
    Replies
    1. බොරු නෙමේනෙ නේද සයුරි..හොඳම උදාහරණය අපේ අයියා..ඔය වගේ තව කී දෙනෙක් ඇද්ද :b

      Delete
  14. ඔහොම තමා බං.. පොඩි කාලේ නෑම තරම් එපා කරපු වැඩක් තියෙනවයි.. මම නම් ඇති වෙන්න ගුටි කාලා තියෙනවා ඕක හින්දා.. හි හි....

    ඈ බං.. මාත් බැලුවා එක පාරටම අයියව මතක් උනේ මොකෝ කියලා.. බෝයිෆ්‍රෙන්ඩ්ගේ වැඩක් හින්දවත්ද.. හි හි

    ReplyDelete
    Replies
    1. නෑම අවුලක් නෑ බන්. ඉවසන්න බැරි අම්මා දෙන වදනේ..හම ගහන්න හදනවනේ නාවන්න ගියාම...

      //ඈ බං.. මාත් බැලුවා එක පාරටම අයියව මතක් උනේ මොකෝ කියලා.. බෝයිෆ්‍රෙන්ඩ්ගේ වැඩක් හින්දවත්ද.. හි හි //

      අනේ හිරුවො..බෝයි ෆ්‍රෙන්ඩ්ව තියන්නෙ හිර අඩස්සියේ..කොල්ලට දඟ වැඩක් තියා වැලි ටිකක්වත් අල්ලන්න දෙන්නෙ නෑ. මම ගෙදර උන්නොත් විතරයි ඒකට මිදුලටවත් එන්න ලැබෙන්නෙ..නැත්තම් ගේ අස්සේ..මොන දඟ වැඩද...

      මේ සතියේ ගෙදර ගියානේ..තව නෑදෑයෝ වෙන අක්ක කෙනෙකුත් ඇවිත් උන්නා.. අපි එකතු වෙලා රසබර අතීතය මතක් කලා. ඒ වෙලාවෙදී කතා උන එව්වා තමා...

      Delete
  15. සතු‍ටුයි අය්ය ගැන අනුකම්පාවක් හිතීම ගැන.එකකුසේ එවුන්නෙ.

    සමහර කොල්ලො එහෙම තමා ,පොඩිකාලෙ දඟකරන උන් ලොකු උනාම හොඳ වෙනව.අයියට පුතෙක් එහෙම නැද්ද..ආයිත් ඔයාට ඒ විසේ බලන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. අයියට පුතාලා දෙන්නයි..ලඟ ලඟම..අම්මෝ..එක්කෙනෙක්ව මාස 4ක් විතර ලංකාවේ තියා ගත්තා. අයියා පොඩි කාලෙ වගේ නැතත්..ඒකත් දඟ මල්ලක් තමා. ඉතාලියේදී කාමර අස්සෙ හිර වෙලා ඉන්න අයනේ. මෙහෙට ආවම ලෙහා දාපු හරක් වගේ...දුවනවාම තමා වැඩේ...

      Delete
  16. අතපය නොකැඩී බේරුනු නමුත් මමත් ගස් මත වාසය කල ජීවියකු බව සතුටින් දන්වා සිටිමි..
    අයියාගේ දාංගලේට ජය වේවා..!! :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් චන්දනත් අයියගෙ ජාතියේමද කොහෙද...:)

      Delete
  17. අපරාදේ අයියා බ්ලොග් ලියන්නේ නැත්තේ.. නැත්නම් මෙයාගේ වැඩ බලාගන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. අයියගෙන් ඇහුවනම් කියයි ගස් ගල්වලට ගහ ගහ තනියම කියෙව්වා කියලා. අයියා තරම් නංගා දඟ නෑ ඉස්සර..

      Delete
    2. ඒ කියන්නේ දැන් දඟයි...

      Delete
    3. දැන් දඟ කරන්නවත් වෙලාවක් නෑනෙ බන් අයියේ...හි හි හී

      Delete
  18. පොඩි කාලෙ ගොඩක් දඟලන කස්ටිය ලොකු උනාම තැම්පත් වෙනවා... කසාදෙම නෙමෙයි ඔකට හේතුව කියලා මට හිතෙන්නේ.... දඟලලා දැන් ඇති වගේ එකක් හිතෙනවා ඇති.... අර තරුණ කාලේ අම්බානට බොන කස්ටිය තමා ටිකක් වැඩිමහලු වෙලා ෆුල් අමධ්‍යප වෙලා අනික් අයටත් උපදෙස් දෙන්නේ.

    මාත් හිතුවා අයියා නගෝ සාම සාකච්ඡා ආරම්භ කරලා කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙමත් අය ඇති. ඒත් අර මම කියාපු ජාතියේ අයත් නැතුවම නෙමේ..අපේ අයියා ඒයාලගෙන් එක්කෙනෙක්..

      මොන සාම ගිවිසුම්ද...ගිය සතියෙ ගෙදර ගියානේ..එතකොට කියවාපු පරණ හෑලි...

      Delete
  19. අප්පේ මට මේක කියවද්දි මට ඉස්සර කාලෙ මතක් උනා... පිස්සු යකෙක්නෙ අය්ය..

    මමත් ඔලු පලා ගත්තු, අතපය කඩා ගත්තු වාර අනන්තවත් ඇති... අපෙ අම්මට පින්සිද්ද වෙන්න ගෙදරදීම බෙහෙත් දැම්ම....

    මට මතකයි අපේ අය්යයි මමයි අක්කයි එකතුවෙලා... අපේ ජම්බු ගහක් තිබුන ටිකක් උස.. ඒකෙ පැලක් හැදුව... දවස් දෙකයි නැග්ගෙ විසේට ඒකත් කඩාගෙන 03 දෙනාම බිම... එදා තමා තුන්දෙනාටම හොදටම අමාරු උන දවස....

    ReplyDelete
    Replies
    1. තුන් දෙනෙක් එකතු උනාම කොහොම ඇද්ද කියලා මට හිතා ගන්න පුළුවන්...

      මම නම් අයියා එක්ක එකතුවෙලා දඟ වැඩ කරලා නෑ. එක පාරක් නම් මාලු අල්ලන්න ගිහින් අලි අකරතැබ්බයක් උනා..එච්චරයි..

      Delete
  20. එළ කොල්ලෙක්නේ. මගෙත් නලලේ මොට්ටුවක් තියලා තියෙන්නේ පර්මනන්ට්, දනිස්, වැලමිටවල් නම් ගන්න දෙයක් නෑ. අපේ මල්ලිත් දවසක් මැරුණා කඳුරු ගහකින් වැටිලා. ආයෙත් පන ආවා. යාළුවෙකුත් වැටුනා කඳුරු ගහකින්, ඌත් මලා ආයෙත් පන ආවා. ඒත් අවුරුදු 27 දී එකෙක් ඌව පිහියෙන් ඇනලා මැරුවා. පිහිහෙන් ඇනපු එකත් අපි එක්ක පොඩි කාලේ උන්න එකෙක්. දැන් ඌ පාතාලේ. ඒ වගේ ළමා කාළයක් දැන් ඉන්න උන්ට නෑ...

    ReplyDelete
    Replies
    1. හප්පේ...එහෙනම් මාතලන්ගේ අත පය අපේ අයියගෙ වගෙ ඇති..තුවාල කැළැල් එහෙම...කොල්ලො හෙන දඟයි නේද පොඩි කාලේ..හැබැයි දැන් ඉන්න කොල්ලො නම් ගෙවල් ඇතුලෙම හැදෙන අයනේ..ඒ අය කොම්පියුටරේ එක්ක ඉන්න හන්දා කොහෙ වැටෙන්නද...

      Delete
  21. පෝස්ටුව කියවගෙන යද්දි මට හිතුනා අයියට වෙන ලෙඩක්වත් තියනවද කියලා ඔච්චර වැටිලා අතපය කඩාගන්න..!!

    කොහොම වුනත් මේ වගේ මඩ ගහන නංගි කෙනෙක් හිටිය එකම මදෑ..

    ReplyDelete
    Replies
    1. අපොයි ලෙඩ එකක් නෙමේ දාහක් තියෙන්න ඇති. ඔළුව මම හිතන හැටියට 18 සැරයකට වඩා වැඩියි. අම්මට මතක එච්චරලු..ඊට වඩාද දන්නෙත් නෑ. අත පය නම් හතර පස් සැරයක් විතර කැඩිලා බිඳිලා ඇති රූ...

      //කොහොම වුනත් මේ වගේ මඩ ගහන නංගි කෙනෙක් හිටිය එකම මදෑ..//

      ඒකනෙ කියන්නේ...හි හි හී

      Delete
  22. අදත් පොඩ්ඩක් බිසී වගේ හවස් වෙන්න කියවන්නම්

    ReplyDelete
  23. මමත් පොඩිකාලෙ ගොඩක් තුවාල කරගත්ත කෙනෙක්.. හැබයි 50%ක් දඟ වැඩ නිසා ඉතිරිය හ්දිසිය නිසා. අර හදිසිය නම් තාමත් එහෙමමයි.. තුවාල කර ගැනීමත් එහෙමමයි. අපෙ අයියා ඔයාගෙ අයියා වගේම සාන්තුවරයෙක්. ගුටි නොකාපු දවසක් මතක නෑ. අන්තිමට ඉස්කොලෙ යන්න බෑ කියලා ගෙදරින් පැනල ගියා. රට වටෙ රස්සාවල් කලා.සියලු තක්කඩි වැඩ කලා ඒත් දැන් ඉන්නෙ සාන්තුවරයෙක් වෙලා. අන්තිමට කෙල්ලක්වත් යාලුකරගන්න බැරි උනා.. අම්මල හොයල දුන්න කෙනා බැඳගත්තා.

    ReplyDelete
    Replies
    1. මෙයා ගැන ඉස්කෝලෙන් කම්ප්ලේන් ගොඩයි. හැමදාම.. මම හිතන්නෙ අපේ අයියටත් හදිස්සිය වැඩී..ඒකනෙ නිකම් ඇවිද්දත් වැටිලා තුවාල වෙන්නේ. මම හිතන්නෙ මුළු ශරීරෙම තුවාල කැළැල් ඇති..

      /අන්තිමට කෙල්ලක්වත් යාලුකරගන්න බැරි උනා.. අම්මල හොයල දුන්න කෙනා බැඳගත්තා. //

      අපේ එක්කෙනා නම් මම දන්න තරමින් කෙල්ලො තුන් හතර දෙනෙක් එක්කවත් යාළුවෙලා උන්නා.. අපේ ක්ලාස් එකෙ කෙල්ලක් එක්කත්...හි හි හී

      Delete
  24. සොහොයුරා ගැන සොඳුරුම මතකයක්... මේ තරම් ආදරෙන් හිටි දෙනනා අද විරසක ඇයි කියා හිතා ගන්නත් අමාරුයි. මේ ඔයත් ඒ කාලේ ජබ්බු ගහකින් වැටුණා කියලා අයියා මට කිව්වනේ.. ඇත්තද ඒක.

    ReplyDelete
    Replies
    1. අපෝ මොන ආදරේද...ඒ කාලෙ මම හරිම පුංචියිනේ.. ඒක ආදරයක් නෙමේ නිකම්ම නිකන් මොනවදෝ දෙයක් විතරයි...

      //මේ ඔයත් ඒ කාලේ ජබ්බු ගහකින් වැටුණා කියලා අයියා මට කිව්වනේ.. ඇත්තද ඒක.//

      සහතික ඇත්ත. නිකම්ම නෙමේ දවස් ගානක් ගෙයි මුල්ලෙත් ඉන්න උනානේ...:P

      Delete
  25. අසරණ අයියලා වෙනුවෙන් පෙනී සිටිමු! මේකේ මේ අසරණ අයියව නැති කරලානේ!

    ReplyDelete
    Replies
    1. හි හි හී..ඉතින් මම ඇත්තනෙ කිව්වේ නාඩියෝ..

      Delete
  26. අයියෝ පව් අප්පා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. //පින්තූර හොයා ගත්තෙ ගූගල් දෙයියගෙන් තමා//

    මම හිතුවේ ඒ ළිහිණියගෙ අයියමයි කියලා. මාරයි... ඒ මූනුවරමයි... හිකිස්....!!!

    ReplyDelete
    Replies
    1. සරා අයියා වයසයි කියලා මම දන්නවා :P

      Delete
  28. අයියා මාර දගයෙක්නේ......

    ReplyDelete
    Replies
    1. උපරිම දඟයෙක්..නාහෙට නම් ඇහුවේ නෑ පොඩි කාලේ...

      Delete
  29. අප්පොච්චි තාත්තේ.... දැන්වත් යහතින් ඉන්නව ඇතිනෙහ්

    ReplyDelete
    Replies
    1. හාමිනේ නාස් ලණුව දාලා දැන්..:D

      Delete
  30. අම්මප අයියා බොලොග් ලියන්නෙ නැති හන්දා හොදයි.. මයේ හිතේ කියවන්නෙවත් නැතිව ඇති..

    ReplyDelete
    Replies
    1. අනේ...එයා දන්න බ්ලොග්..ඒකනෙ මම වැඩ්ඩ වගේ එයාට මඩක් ගහන්නේ...:D

      Delete
  31. ඔය තරම්ම නැතත් ඔය සමානම කෙනෙක් තමයි මේ කමෙන්ට් එක ඉදිරිපත් කරන්නේ... මගේ කකුල් දෙක ගන්න දෙයක් නෑ හැම තැනම තුවාල කැලල්.. ඒක නෙමේ ලිහිණියෝ මේතරම් සහෝදර ප්‍රේමයෙන් ඉදල ඔය විදිහට තරහ වෙලා මොකද?

    ReplyDelete
    Replies
    1. ඒකටත් එක්ක මම...පොඩි කාලෙදිත් ඇවිදින්නෙ සිරූ මාරුවට. තුවාලයක් කරගන්න හිතන්නෙවත් නෑ. යාන්තමට සීරිලා තුවාලයක් උනත් පොළොවේ හැපි හැපී අඬන්නේ...

      සහෝදර ප්‍රේමයක් අපි දෙන්න අතරේ කවදාවත් තිබුනේ නෑ නදියො..මේ මම හුඟාක් පුංචි කාලෙනෙ. අයියාගෙ වෙනස්කම් එදාත් මට දැනුනා. අද වගේම..

      Delete
  32. ඔහොම දාංගලේ වැඩි අයට පණු බෙහෙත් දෙන්න ඕනි කියල තමයි කතාවට කියන්නෙ. කොහොම උනත් ළිහිණිගෙ අයියට ඒ දවස් වල පණු බෙහෙත් ආන්සර් කරල නැද්ද කොහෙද... :)

    ReplyDelete
    Replies
    1. ශැක්...අපේ අම්මට තිබුනේ පණුබෙහෙත් බෝතලයක් විතර පොවන්නනේ..දුන්න ඩිංගිත්ත මදි වෙන්නැති... :D

      Delete
  33. //කොච්චර නාහෙට අහන්නැති එකෙක්ව හරි බැන්දට පස්සෙ බිරින්ඳෑ හදා ගන්නවලුනේ....//
    හ්ම්ම්ම්.... නාස් ලණුව දැම්මම ඕන පොරක් සුචච කීකරු වෙනවා....

    ReplyDelete
    Replies
    1. සිරාවටම එහෙම වෙනවලු.ඔය අත්දැකීමෙන් එහෙම නෙමේ නේද කිව්වේ ? :D

      Delete
  34. හිහිහී... අයියව පතුරු ගහන්න පටන් අරන් වගේද.. :D යහපත් බිරින්දෑ කෙනෙක් අයියට එහෙනම් හම්බවෙලා තියෙන්නෙ.. :D :D

    ReplyDelete
    Replies
    1. චුට්ටක් විතර මඩ..හි හි හී

      අපොයි ඔව්. හම්බ වෙලා ඉන්න බිරින්දෑත් එයාටම හරියනවා...

      Delete
  35. තෝ මාව කෑවා යකෝ... මේක බස් එකේ කියවන්න ගිහිං අමාරුවෙන් හිර කරගෙන හිටපු හිනාව "බකස්" ගාලා පැන්නේ නැතැයි එළියට. සැක් විතරක්! මගේ ළඟ හිටපු කෙලි පොඩ්ඩටත් මූණ දෙන්න බැරුව ගියා නෙව. වෙලාවට කවුළුවෙන් අනන්තය පෙනුණේ.... :D

    මොකක්ද අප්පා අර J අකුර?

    ---------

    ඉතුරු ටික හෙට කමෙන්ට් බලලා දාන්නම්. ඊට ඉස්සෙල්ල කියන්න කතාවක් තියෙනවා. දෙතුන් පාරක්ම ලියලා මකලා දැම්මා. දැන් නිදිමතේ බෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. අනේ අනේ මේ...කෙල්ලො ලඟ බොරුවට හිනා වෙලා දැන් මෙතැන මාව අල්ලනවා නේද ඒකටත් ? :D

      //මොකක්ද අප්පා අර J අකුර? //

      හේයි සිරාවට..මටත් හිතා ගන්න බෑ ඒක මොකද්ද කියලා. ෂුවර් එකටම දාමු ස්මයිල් එකක්ද කොහෙද ජේ වෙලා තියෙන්නෙ...හි හි හී

      Delete
  36. අපේ ඉස්කෝලේ ලංගම හිටියා එකෙක් ඌ හැමදාම බයිසිකලෙන් වැටිලා තුවාල කරගෙන ඉන්නේ බලන්න ලස්සනයි උගේ කකුල් දෙකේ වැලමිටේ ප්ලාස්ටර් පුරවලා.

    ReplyDelete
    Replies
    1. මට මතක කාලේ අපේ අයියා අන්තීම කරණම ගැහුවේ මුලින්ම ඉතාලියේ ඉඳන් ලංකාවට ආවට පස්සේ.. බයික් එකෙන් පිනුම් ගැහුවා...හි හි හී

      Delete
  37. Pirimi aya nam podi kale dagalala olu pala gannawa thamai godak. Ape ayyageth thiyenawa thama oluwe paluna parawal. Api nam ithin paduwe sellam geyak hadagena bath tikak uyagena bonikko nalawa nalawa hitiya misa dagaluwe nane wadiya.

    ReplyDelete
    Replies
    1. මාත් අන්න ඒ වගේ..තුවාල වෙනවට මර බයයි. ඒ හින්දම තුවාල කරගන්නෙ නැතුව තමා සෙල්ලම් කලේ...

      Delete
  38. අයියයි නංඟියි වලි යන්නෙ නැද්ද ? ගුටි කාල නැද්ද ?

    ReplyDelete
  39. ඔන්න මගේ අයිය නම් බෝපැලේ වගේ මං වගේම.... :P

    ReplyDelete
  40. අපේ චූටි අයියත් පොඩි කාලේ දඟයි... එත් ඔච්චරම නම් නැද්ද කොහෙද :))))

    ReplyDelete
  41. Kollo podi kale dagalala atha paya kada ganna eka samanya deyak..mama me danuth kakula kadila inne..thawa dawas ganak scl yanna wenne na

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.