බොහෝ සේ ඉඩකඩ ඇති කාර්යාලයේ ඈතින් වූ සුව පහසු ආසනයක් වෙත ශ්‍රීමත් ජේම්ස් මැන්සන් තම අත යුමු කලේය. තම ප්‍රධානියා මොකාට එන්නේදැයි යන කාරණය පිළිබඳව කල්පනා කරමින් බ්‍රයින්ට් පෙන්වන ලද ආසනයේ වාඩි විය. එම පුටුවේ තිබුන ඝණ කොට්ටය තුලට ඔහු කිඳා බැස්සේය. මැන්සන් කාමරයේ කොනකට ගොස් එහි දොරවල් දෙකක් හැරියේය. ඔහු දුටුවේ නොයේක් මත්පැන් වලින් අනූන වූ බාර් එකකි.
" අඩියක් ගහනවා බ්‍රයන්ට්..දැන් ඉරත් බැහැලා ගිහින්..."
" බොහෝම ස්තුතියි සර්...ස්කොච් එකක් කරුනාකරලා..."
" තමුසේ හොඳ මිනිහෙක්...මමත් කැමති ස්කොච්වලටමයි....මාත් එකතු වෙන්නම්.."
බ්‍රයන්ට් තම අත් ඔරලෝසුව දෙස බැලුනේය.වෙලාව සවස පහ පසුවී පැය කාලක් ගොසිනි. ඒ වගේම ඉර බැස ගිය පසු අඩියක් ගැසීම නිවර්තන කලාප සඳහා ආවේනික වූ දෙයකි. ඒත් මේ සීත සමයේදී....ඊටත් ලන්ඩනයේදී...කෙසේ උවද ඔහුගේ ප්‍රධානියා පිරිසිදු වීදුරු දෙකකට විස්කි වැක්කෙරුවේය. අයිස් කැට බඳුන පසෙකින් තිබිණ.
" වතුර ...සෝඩා... ? ඔහු බාර් එක තුල සිට කෑ ගැසුවේය.
" බොහෝම ස්තුතියි සර් ජේම්ස් . මට මෙහෙම හොඳයි..."
සවුදිය පිරූ ඔවූහු විස්කි තොල ගෑමට වූහ. කතාව පටන් ගන්නා තුරු බ්‍රයන්ට් හිටියේ නොඉවසිල්ලෙනි. ඒ බවක් සර් ජේම්ස් තේරුම් ගත්තේය.
" තමුසේ මෙහෙට අඬ ගහලා ඩ්‍රින්ක් එකක් දුන්නට හිතේ කහටක් තියා ගන්න එපා. ..." ඔහු කීවේය.
" මම මේ පැරණි කොළ මිටියක් ඇවිස්සුවා. මගෙ ලාච්චුවේ තිබිලා. ඒ අතර තමුසෙගෙ වාර්ථාවක් තිබුනා. සමහර විට මට ඒක දෙන්න බැරි වෙන්න ඇති මිස් කුක්ට ෆයිල් කරන්න..."
" මගේ වාර්ථාවක්..."
" ආ....ඔව්.තමුසේ අර කොහෙන්දෝ ඉඳලා ආපහු ඉදිරිපත් කරපු වාර්ථාවක්...මොකද්ද ඒ තැන........"
“ආ...හරි සැන්ගාරෝ නේද ? ඒ මීට මාස ගානකට කලින්නෙ…”
" ඔව්...හරි..මාස හයකට පෙර තමයි . ඔව් මට මතකයි ඒකෙ තිබුනා කියලා ...අර ඇමතියෙක් තමුසෙට කරදර කලා කියලා..."
බ්‍රයන්ට් සිත සැහැල්ලු කර ගත්තේය. ඒ කාමරය උණුසුම්ය. පුටුව අතීශයින්ම සැප පහසුය. එම ඉස්තරම් විස්කිද පැරණි මිතුරෙකු හමු වූ කලෙක මෙනි. ඔහු ඒ සිද්ධිය මෙනෙහි කොට සිනාසුනේය.
" මම ඒ ගවේශණය සඳහා අවසර ගත්තා...."
" හරි නේන්නම්..." ශ්‍රීමත් ජේම්ස් ප්‍රසංශනාත්මක ව කීවේය.
" මමත් ඔය වගේ ගමන් ඒ දවස්වල ගියා. ඒත් බටහිර අප්‍රිකාවට නම් නෙමේ.ඒත් ඒ කාලෙ ගියේ නැතුවාට පහු කාලෙදි ගියා. ඒත් මේ ඔක්කොම පටන් ගත්තට පස්සේ........"
" මේ ඔක්කොම..." කියමින් ඔහු තම සුඛෝපභෝගී කාර්‍යාලය පෙන්නුවේය.
" ඒත් දැන් වෙලා තියෙන්නෙ මෙහෙ මේ ලිපි ලේඛණ වලට හොර වෙලා ඉන්නට වී තිබෙන එක. මට එක වෙලාවකට තමුසෙලා වගේ තරුණ අය ගැන ඊරිසියා හිතෙනවා. ඉතිං කියනවා බලන්න සැන්ගාරෝ ගමන ගැන..."
" ඒක බොහෝම පැරැණි තැනක්. මම එහාට ගියන් ටික වෙලාවකින් දැක්කා නාහෙ විදලා කටු ගහගෙන ඉන්න මිනිස්සු..."
" ඇත්තටම එහෙමද...? එහෙනම් ඒක මිලේච්ච තැනක්..."
" ඔව් සර් ජේම්ස්... ඒ රටට නිදහස් ලැබිලා යන්තම් අවුරුදු පහයි. ඒත් තවම ඒ අය ජීවත් වෙන්නේ මධ්‍ය කාලීන යුගයේයි. ..."
මෙයට පෙර යම් කිසි දිනක තම ප්‍රධානියා විධායකයින්ගේ සාකච්ඡාවක දී කිවූ දෙයක් ඔහුට මතක් විය....
" අද අප්‍රිකානු ජනරජයන් බොහෝමයක් බිහිවෙමින් පැවතුනත් , ඒ ජනතාව නිසි අයුරු නායකත්වය දීමට බුද්ධිමත් නායකයෝ එහි නෑ. මේ හේතුව නිසා පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි. ..."
" ඉතින් කවුද ඒ ජනරජය පාලනය කරන්නේ ?"
" ජනාධිපති..නැත්තම් ඒකාධිපති..." බ්‍රයන්ට් කීවේය. ඔහුගේ වීදුරුව හිස් වී තිබිණ.
" එයාගේ නම ජිම් කිම්බා... නිදහසට පෙර තිබූ එකම ඡන්දය දිනුවේ එයායි. සමහරු කියන්නේ එයා ඡන්දයෙන් දිණුවේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් සහ ත්‍රස්ත බලයෙන් කියලයි. ඒ අය බොහෝම පසු ගාමී අය. හුඟාක් අය ඡන්දය කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙ නෑ. උන්ට ඒක දැනගන්න ඕනිත් නැහැ..."
" කිම්බා අමාරු කාරයෙක්ද ? " ශ්‍රීමත් ජේම්ස් ඇසුවේය.
" ඒක එහෙම්ම නෙමේ සර්. ඒ මිනිහා උම්මත්තකයෙක්. මිනිහා වටේ ඉන්න දේශපාලන හෙංචයියන්. ඒ එක් අයෙක් වත් එයාව කෝප ගැන්නුවොත් එහෙම නැතිනම් ඒ එක්කෙනෙක් පිළිබඳව සැකයක් ඇති උනොත් , ඒ මිනිහාගේ ඉරණම අවසන් වන්නේ පැරැණි යටත් විජිත සමයේ තිබූ හිර ගෙදරකින් තමා. ඒ පැත්තට යවන අයට දස වධ දෙනවා බලන්න කිම්බා ජනාධිපති එහි යනව බවට කතාවකුත් තියෙනවා. ඒකට ගිය එක්කෙනෙක්වත් පණ පිටින් නම් ඇවිත් නෑ..."
*****************************************************************************
කාලෙකට කලින් මට උගන්වපු ඉංග්‍රීසි ගුරුතුමා අසනීප වෙලා උන්න නිසා බලන්න ගියා. අසනීප තොරුතුරු කතා බහ කරමින් ඉන්න අතරතුර මගේ ඇස් ගියේ මේසේ උඩ තිබ්බ පොතකට. ඒක ඉංග්‍රීසි පොතක්. Frederick Forsyth ගේ “ The Dogs Of War “කියන නවකතාව.
පොත දිහා තිබ්බ මගෙ ඇස් දැකපු හන්දද කොහෙද සර් මගෙ අතට ඒ පොත දෙන ගමන්
" අපූරු පොතක්. දේශපාලන කපටිකම් සහ ඒවායින් ලැබෙන වාසි අවාසි ගැන ලියලා තියෙන්නෙ. ඕනෙ නම් අරන් ගිහින් කියවන්න "
බොහෝම ආසාවෙන් අතට අරන් පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලලා බැලුවත්, ඒ දවස්වල මගේ තිබ්බ දුර්වල ඉංග්‍රීසි දැනුමත් එක්ක පොතේ වචන හුඟාක් බර වැඩී වගේම තේරුම් ගැනීමත් පහසු නෑ කියලා හිතුනා.
" ඕක අමාරු නම් සිංහල පරිවර්ථනය අර ගන්න ළිහිණි "
මගේ මූණෙ ඉරියව් සර් කියෙව්වද මන්දා...ගන්න ඕනෙ කියලා හිතුවත්...කාලයත් එක්කම ඒක අමතක වෙලා ගියා..
මේ ලඟදි යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවෙදී මෙන්න බෝලේ පොත තියෙනවා. දවස් කීපයකින් ගෙනත් දෙනවායි කියන පොරොන්දුව එක්ක පොත ඉල්ලන් ආවා. මේ සති අන්තයේ සෙනසුරාදා , ඉරිදා දවස් දෙකම කලේ මුළු පොතම එක හුස්මට කියවාපු එක..
1970 දශකයේදී මහා ධන කුවේරයෙක් උන සර් ජේම්ස් මැන්සන් කියන පුද්ගලයා විසින් මුදල් වලට ගනු ලබන කුලියට මිනී මරන කුලී හේවායින් උන කැට් ෂැනන් හෙවත් කාලෝ ඇල්ෆ්‍රඩ් ෂැනන් , මාක් වැල්මිනික් , ෂෝන් බැප්ටිස්ට් ලැංගරෝට්ටි , කාර්ට් සෙම්ලර් වැනි අය යොදාගෙන අප්‍රිකා රටක් උන සැන්ගාරෝවේ ඩොලර් බිලියන ගානක් වටිනා ප්ලැටිනම් ලබා ගන්නට, සැන්ගාරෝවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය ජනාධිපති ඝාතනය කරලා රජය පෙරලා දමන්නට දරන උත්සාහයක් ගැන මේ නවකතාවෙන් කියවන්න ලැබෙනවා..
Frederick Forsyth කියන බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයා 1974 වසරේදී The Dogs of War කියලා ලියාපු පොත , " යුධ බල්ලෝ " නමින් සිංහලට පරිවර්ථනය කරලා තියෙන්නෙ " අභය හේවාවසම් " ලේඛකයා. ටිකක් පරණ පොතක් උනත් හරිම ආසාවෙන් කියවන්න පුළුවන් උනා. බස් වහර වගේම ලිවීමේ රටාවත් සරළයි. එක හුස්මට කියවාගෙන ගිහින් රස විඳින්න පුළුවන් උනා.
නවකතාව ඇතුලේ ඉතාමත් රහසිගතව සිදුකරන දේශපාලන කරුණු , මහා ධනස්කන්දයක් යුද්ධය වෙනුවෙන් විය පැහැදැම් කිරීම්, රහසිගතව සිදු කරන අවි ගණුදෙනු වගේම අවි ජාවාරම් , ඒ වගේම මහා ධන කුවේරයින් සිදු කරන රහසිගත මුදල් ගණුදෙනු, ස්විස් මුදල් තැම්පතු වගේම , එවැනි ධන කුවේරයින් කොටස් වෙළඳ පොළ ඇතුලත සිදු කරන අයථා ගණුදෙනු වගේ දේවල් ඇතුලත්.
හුඟ දෙනෙක් කියවලා ඇති. නොකියවපු කෙනෙක් ඉන්නවානම් කියවන්න. බොළඳ නවකතාවකට වඩා ගත යුත්තක් මේ නවකතාවේ තියෙනවා කියලා මට හිතෙනවා.


