මාව කියවන අය අතර..

29 December 2012

"හොඳ පවුල් ජීවිතයක් "... මට නම් හීනයක් විතරමද කොහෙද ?


සරා අයියගේ ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද...? පෝස්ට් එක කියෙව්වම හිතට ආපු දේවල් බොහෝමයි.

වැඩිය දුර නොයා මගේ ගෙදර අපේ අම්මගෙ තාත්තගෙ දෙදරලා ගිය පවුල් ජීවිතය ගැන හිතද්දී මට දැනෙන්නෙ මහා කලකිරීමක්.අපි නොදන්න කිරිසප්පයෝ කාලේදී මගේ තාත්තා අපිව දාලා වෙන ගැහැණියකගේ තුරුළට ගිහින් තිබුනේ ඇයි කියන හේතුව යන්තම් තේරෙන කාලේ ඉඳන්ම මම හෙව්වා. තවමත් ඇස් දෙකෙන් දැකලා නැති තාත්තා කියන කෙනා අම්මව පැත්තකට දාලා තව සම්බන්ධයක් පටන් අරන් තියෙන්නේ අම්මගේ වැරැද්දකට නෙමේ.ඒ හේතුව තවමත් මට ගැටළුවක් විතරයි. මහා උගත් කමක් නොතිබුනත් හරිම කැපවීමකින් සරළ ජීවිතයක් ගත කරපු අම්මාගෙන් මම ජීවිතයේ හුඟාක් දේවල් ඉගෙන ගත්තා. පිරිමියෙක් නැති ගෙදර දරුවො දෙන්න එක්ක අම්මා ඔට්ටු උන ඔට්ටුවිල්ල මම දැක්කා. කසාදයක් කැඩිලා ගිය ගැහැණියකට සමාජයේ ඔළුව උස්සගෙන ඉන්න අමාරු තැන් වලට අම්මා උපේක්ෂාවෙන් මූණ දුන්න හැටි මම දැක්කා. අම්මාට නොලැබුන නිදහස් සොඳුරු පවුල් ජීවිතයක් මට ලබා දෙන එක අම්මාගේ එකම ප්‍රාර්ථනාව කියලා මම දන්නවා.

කසාදයක් කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක ඕනෑම ගෑණු ළමයෙකුගේ හීනයක්. ඒ හීනය මමත් දකිනවා. ඒත් ඉතින් කසාදයක් කරගන්නවායි කියන්නෙ ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේනේ. අම්මා නම් කියන්නෙ කසාද බඳින වයසක ගෑණු ළමයෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඒක ලොකු බරක් සහ වගකීමක් කියලා. වෙන්නැති..දැන් මට අවුරුදු 26යි. මගෙ වයසේ හුඟාක් දෙනෙක් මේ වෙද්දී කසාද බැඳලා දරු මල්ලොත් ඉන්නවා.

ඇත්තටම කිව්වොත් කාලෙකට කලින් මම හිතාගෙන උන්නේ ඉක්මනින් කසාද බඳින්න ඕනෑ කියලා. ඒත් අතරමඟ නැවතුන ආදර සම්බන්ධයෙන් පස්සේ හිත ටික ටික වෙනස් උනා. ඒ එක්කම දැන් සමාජයේ කසාදය තුට්ටු දෙකකට මායිම් නොකරද්දී...කසාදයකට තියෙන බයත් හිතට දැනුනා. පහුගිය කාලය පුරාවටම ඇහුවේ දැක්කේ පවුල් ජීවිත දෙදරලා ගිය සිදුවීම්...මගේ වයසේ මගේම යෙහෙළියන්ගේ පවුල් ජීවිත ඇතුලත මා එක්ක විස්තර කරද්දී සමහර දේවල් මට අදහා ගන්න පවා බැරි උනා.

කසාද ජීවිතයක් කියන්නේ බුල්ටෝ එකක් තරම් පැණි රහත් එක්ක කරවිල ගෙඩියක තිත්ත රහත් මුසුවෙච්චී දෙයක්...ඉස්සර කාලේ අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක පවුල් ජීවිතයකට ඉහලම තැනක් ලැබුනා. මොන තරම් කරදර..හිරිහැර..දුක් කම්කටළු ආවාත්...නොකැඩී තිබුන පවුල් ජීවිත අපේ අවට තිබුනා...දුක සතුට හවුලේ ඒ අය බෙදා හදා ගත්තා. ඒත් අද සමාජයේ ජීවත් වෙන අයට පවුල් ජීවිතයක වටිනාකමක් තියෙනවද කියලත් සැකයි. ආදර සම්බන්ධයකින් හෝ වේවා..එහෙමත් නැත්තම් යෝජිත කසාදයකින් හෝ වේවා පවුල් ජීවිතයක් ආරම්භ කරලා මාස කීපයක් නැත්තම් අවුරුදු දෙක තුනක් යද්දී ඒ ජීවිත කැඩිලා විසිරිලා යන තත්වයක් ඇති වෙලා. කසාදයක් කියන්නෙ ලෝකෙට පේන්න කරන චාරීත්‍රයක් විතරක්ම නෙමේ. දෙයාකාරයක අදහස් තියෙන දෙන්නෙක් ජීවිතකාලයම එකට බැඳීමක්. ඒ බැඳිම පවත්වාගෙන යන්න දෙන්නගේම ඉවසීම, කැපකිරීම හා විශ්වාසය එක්කම පවුල තුල වගකීම තියෙන්නත් ඕනෙ . ගැටළු ඇති වෙන අවස්ථාවලදී කතා බහෙන් ඒ ගැටළු ලෙහාගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක මගේ විශ්වාසයයි. හැබැයි ඒක එක්කෙනෙකුටම විතරක් කරන්න බැරි දෙයක්. අද සමාජයේ මේ වගකීම් කියන දේවල් තකන්නෙ නැති තත්වයක් තියෙන්නේ.

පහුගිය කාලයේදී මගේ හිතවත් යෙහෙළියන් දෙදෙනෙකුගේම පවුල් ජීවිත අවුලෙන් අවුලට ගිය හැටි මම දැක්කා. එහෙම වෙන්න හේතුව මේකයි කියලා ඒ අය විවෘතවම මා එක්ක කතාබහ කලා. සමහර ගැටළු ඇත්තෙන්ම විසඳාගන්න පුළුවන් ඒවා. තවත් සමහර හේතූන් හරිම සංකීර්ණයි.

මගේ එක යෙහෙළියකගේ පවුල තුල සැකය කියන දේ නිසා විසඳාගන්න බැරි තරම් ප්‍රශ්ණ ඇතිවෙලා තිබුනා. ඒ යෙහෙළියට එයාගේ සැමියාව අවිශ්වාසයි. හේතුව හැටියට මගෙ යෙහෙළිය කියන්නෙ එයාගෙ සැමියා කසාද බඳින්න කලින් ගණිකාවන් ආශ්‍රය කිරීම. මේ ගැන මගෙ යෙහෙළිය දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි කසාදයෙන් පස්සේ. මේ හේතුව නිසා මගේ යෙහෙළියට ඇගේ සැමියාව පුදුමාකාරව සැකයි. ගෙදරින් කලින් ගියත්..ගෙදර එන්න ටිකක් පරක්කු උනත්...හිත ඇතුලේ තියෙන සැකය නිසාම...ඇතිවෙන බහින් බස් වීම් කෙළවර වෙලා තියෙන්නෙ පවුල් ජීවිතයත් ඉවරවෙන තරම් දුර ගිහින්. සැකය නැති කර ගෙන ජීවිතය ආයෙමත් හදා ගන්න කියලා හැමෝම උපදෙස් දුන්නත්...ඒ දෙන්නම කියන්නේ හදා ගන්න බැරි තරම් ඒ පවුල් ජීවිතය දෙදරලා ඉවරයි කියලා. විශ්වාසයක් නැති සම්බන්ධයක් ඇතුලේ ජීවත් වෙන එක වදයක් හැටියට මගෙ යෙහෙළියගේ සැමියා දකින්න ඇති. මම හිතන විදියට පවුල් ජීවිතයක මුලින්ම තියෙන්න ඕනෙ විශ්වාසය...

මගේ තවත් යෙහෙළියකට තිබිලා තියෙන්නෙ හරි අපූරු පවුල් ජීවිතයක්. කොටින්ම කියනවා නම් ලෝකයට පේන්න විතරක්ම තිබිලා තියෙන පවුල් ජීවිතයක්. ඒ යෙහෙළියගේ සැමියා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ වාණිජ බැංකුවක ඉහළ නිළධාරියෙක්. කොටින්ම මගේ යෙහෙළියගේ සහෝදරයාගේ ගජ මිතුරෙක්. ඒ මිතුරු කම නිසාම සහෝදරයා එක්ක ගෙදර ආ ගිය ඔහු මගේ යෙහෙළියට විවාහ යෝජනාවක් ගෙනත්. කොටින්ම සහෝදරයා වර්ණනා කරලා තියෙන්නෙ ඒ වගේ කෙනෙක් ලැබීම වාසනාවක් කියලයි. අවුරුදු එක හමාරක ආදර සම්බන්ධයකින් පස්සේ දෙන්නා විවාහ උනා. කිසිම අඩුපාඩුවක් නැතිව..ගේ දොර..වාහන එක්ක එයාලා ගත කල ජීවිතය නිසාම මම හිතාගෙන උන්නේ මගේ යෙහෙළිය ඇත්තෙන්ම හොඳ සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරනවා ඇති කියලයි. ඒත් ඇත්ත දැනගද්දී ඒ පවුල් ජීවිතය දික්කසාදයකින් කෙළවර වෙන්න නීති පියවරත් අරන්.

කොටින්ම කියනවානම් ඒ යෙහෙළියගේ සැමියා මානසීක රෝගියෙක්. එහෙම කියන්නෙ ඇයි දන්නවද... ඒ මනුස්සයා ස්වයංවින්දනයට තදින්ම ඇබ්බැහි උන කෙනෙක් ලු. කොටින්ම කියනවා නම් තමන්ගේ බිරිඳට පේන්න ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක්. කසාද බැන්ද දවසේදීත්..මගේ යෙහෙළියට පේන්නම ස්වයංවින්දනයේ යෙදුනාලු. මගේ යෙහෙළිය ඒ ගැන අහද්දී ඔහු කියනවාලු ඒක ඕනෑම පිරිමියෙක් කරන සාමාන්‍ය දෙයක් කියලා. මගේ යෙහෙළියගේ උවමනාව නිසාම මාසයකට එක වතාවක් විතර ලිංගික සම්බන්ධකම් පැවැත්තුවත්...ඒ ඕනෑවට එපාවට වගේලු. මගේ යෙහෙළිය කියන හැටියට රෑ යාමයේ කොම්පියුටරයේ පැලපදියම් වෙලා මේ මනුස්සයා කරන්නේ කාමුක චිත්‍රපටි බලන එකත්...ජංගම දුරකතනයේ තියෙන කාමුක ඉරියව් සහිත පින්තූර බලන එකත්ලු. අවුරුදු තුකක් තිස්සේ මගේ යෙහෙළිය ඇගේ සැමියාව මේ ඇබ්බැහිවීමෙන් ගලවාගන්න උත්සාහ කරත් බැරිවෙලා. තව දුරටත් ඒ ජීවිතයේ ඉන්න ඇයට හයියක් නෑලු... ඉවසීමේ සීමාව ඉක්ම ගිහින් එතැන් ඉඳන් මගේ යෙහෙළිය කරලා තියෙන්නෙ ඔහුත් එක්ක ආරවුල් ඇති කර ගන්න එක. මේ ආරවුල් නිසාම මගේ යෙහෙළියට පාරේ යන්න බැරි තරම් ගුටි බැටත් ලැබුනාලු. එකම ගෙදර කාමර දෙකක අවුරුදු තුනක් තිස්සේ ජීවත් වෙලා තියෙන ඔවුන් දැන් නීතියෙන් වෙන්වෙන්න යනවා.

පහුගිය දවස්වල සිදු උන රත්මලාන ප්‍රදේශයේ සිදුවීම බලන්න. බිරිඳ එක්කම දරුවො දෙන්නත් මරාදලා ඒ තිරිසනා බලාපොරොත්තු උනේ මොනාද....අලුත් පවුල් ජීවිතයක්..තමන් ආදරය කරපු පෙම්වතිය බිරිඳවෙලා ඔහුගේම ලෙයින් මේ ලෝකයට ගෙනාම දරුවො එක්කම මරලා දාලා අලුත් පවුල් ජීවිතයක්....

මේ වගේ සිදුවීම් එක්ක කසාද බඳින්න කෙල්ලක් හැටියට බයක් ඇති වෙන එක සාධාරණයි. හොඳ පවුල් ජීවිත නැතුවාම නෙමේ. ඒත් බහුතරයක පවුල් ජීවිත අවුල්. එහෙමත් නැත්තම් ලෝකයට පේන පවුලක් විතරයි. මිනිස්සුන්ගේ ජීවිත අස්සේ තියෙන්නෙ මොනාද කියලා කාටවත් දකින්න බෑ.. සරා අයියා කියනවා වගේ පීනන්න නම් ගඟට බහින්නම ඕනෑ. ඒත් මට තියෙන බය ගඟට බහින එක නෙමේ. පීනන්න බැරි වෙලා අතරමඟ ගොඩ ඒමක් නැතුවම ගිලිලා යාවිද කියන එකයි. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න යන්නෙ බොහෝම සුළු කාලයක් කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.. අපි මොන තරම් හොඳයි කියලා හිතන අයත් ලඟින්ම ආශ්‍රය කරන කොට මොනතරම් වෙනස්ද ?

ගැහැණියක් හැටියට මම බලාපොරොත්තු වෙන්නෙ හොඳ පවුල් ජීවිතයක් විතරයි. ඒත් " හොඳ පවුල් ජීවිතයක් " මට නම් හීනයක් විතරමද කොහෙද ?

මේ තරම්ම කසාද ජීවිතයක වගකීම හෑල්ලු උනේ කොහොමද ?

දෙදෙනෙක් අතර ඇති හවුලේ ගෙවන පවුල් ජීවිතයක වගකීම හඳුනා නොගැනීම නිසාද ?

නැත්තම්...අද සමාජයේ පවුලක් කියන දෙය තුට්ටුවට මායිම් නොකරන නිසාද ?

77 comments:

  1. ළිහිණි ඔයාගේ මේ පෝස්ටුව නම් කරකෝල අත හැරියා වගේ.මොනව කියන්නද? ඇත්තටම පවුල් ජීවිතේ කියන්නේ මොකක්ද.මේ දේ හරියට කොහෙවත් නිර්වචනය වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. දෙන්නෙක් එක්කාසු වෙන්නේ ඇයි.
    1. ලිංගික ආසාවට ද
    2. මව පියා සතුටු කරන්න ද?
    3. තමන්ටත් රැකවරණයක් ඕන නිසාද?
    4. මටත් සැමියෙක් හෝ බිරියක් ඉන්නවා යැයි ලෝකෙට පේන්නද?

    මේවාට අවංක පිළිතුර කෙබඳුද?
    ඒ පිළිතුර කුමක් වුව දෙදෙනෙක් විවාහයට එළැබෙන්නේ තම ආසාවන් බලාපොරොත්තු හැගීම නම් නැත යන්නයි. බොහෝවිට දෙදෙනාම අමුතුම චරිත දෙදෙනා ඉදිරියේ මුලින් රග දක්වයි. අවසන එකට සිටින්නට ගිය විට බොරුව ක්‍රමයෙන් හෙළිදරව් වෙයි.එවිට ගැටලු එමට එයි.
    ආදි කාලයේ කසාද සාර්ථක ඇයි. එකල මොනවා වුවත් කාන්තාව කර බා සිටි යුගයකි. සැමියා මොන නාඩගමේ ගියත් ඇය නිහඩය. ඉතින් ලොවට පෙනෙන්නට විවාහය සාර්ථකය. එහෙත් ඇතුළාන්තය දුක්ඛ දායක බව දන්නේ ඒ අය පමණක් කියා සිතුවද සමස්ථ සමාජයම එවන්ම ය. එහෙත් අනෙකාට අප දොස් තබයි. නමුත් අප තුළද ඇත්තේ එවන් ම වූ කතාවකි.විවාහ විය යුත්තේ ලොවට පෙනෙන හොද පවුල් ජීවිතයක් පෙන්වන්න නම් ඕන මගුලක් මට මොකෝ සංකල්පයෙන් සිටිය යුතුය. එසේ නොමැති නම් බොහෝ විට නිවැරදිව තම ආකල්ප දෙදෙනා අතරම විචාරා තීන්දුවකට එළැඹිය යුතුය. බොහෝවිට දෙදෙනාම තම යථා ස්වරූපය අනෙකාට නොපෙන්වයි.
    මේ නයින් ගත් කළ අද දැන උගත් සමාජයේ කාන්තාව හෝ පිරිමියා අනෙකාට යටවී ජිවත් වන්නට අකමැති හෙයින්. ටික කළක් එකට සිට ගැලපේනම් අපි විවාහ වෙමු යන ලිවින් ටූ ගෙදර් සංකල්පය සාර්ථක වේවි යන්න මගේ පෞද්ගලික හැඟිමයි.මගේ දුවෙක් ඒ දේ කළොත් කැමති දැයි යමෙක් මගෙන් විමසුවොත් මගේ පිළිතුර ඇය සමාජය තේරුම් ගත් තත්ත්වයක හා ඇයට තනිව යැපෙන්නට හැකියාව ඇත්කම් මගේ විරුද්දධත්වයක් මා නොපානා බවයි.වඩා වටින්නේ කාන්තාවකට යමෙකුගේ රැකවරණය නොමැතිව ජීවිකාව ගෙවන්නට හැකි ආර්ථික තත්ත්වයක සිටීමයි.

    ReplyDelete
    Replies
    1. නලින් අයියගෙන් මෙච්චර දිග කොමෙන්ටුවක් දැක්කමයි...

      Delete
    2. අද ගෙදර නිවාඩුවේ ඉන්න වෙලාවෙනේ මලයා. ඒකයි නිදහසේ කෙටුවේ.

      Delete
    3. මං කියන්න ආපු එකම සිරාත් කියල..

      Delete
    4. ලිවින් ටූ ගෙදර් අපේ සංස්කෘතියට ත් අලුත් දෙයක් නෙමේ දැන් නලින් අයියා. අපේ මේ පරිසරයේ එහෙම ජීවත් වෙන අය ඉන්නවා. ඒත් අපේ ගම්වල දෙමාපියන් තවමත් අපේ සංස්කෘතියට ගරු කරන නිසා..දරුවන්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

      කසාදයකට යටත්ව බැඳීමක් හදාගන්නෙ සිරිතක් හැටියට නම්...ඒක මහ විහිළුවක්. විශේෂයෙන්ම කාන්තාවක් විවාහ නොවී උන්නාමත් සමාජයෙන් එල්ල වෙන අවමාන වැඩී...

      මට නම් හිතෙන්නෙ කසාදයක් කියන්නෙ දැලි පිහියෙන් කිරි කන්න වෙන වැඩක් කියලයි

      Delete
  2. ළිහිණි ඔයා කියලා තියෙන දෙවනි කේස් එක නම් මානසික වෛද්‍යවරයෙක් වෙතට යොමු කරලා විසඳගන්න පුළුවන්ද කියලා බලන්න තිබ්බා... ඒකට හොඳම දේ ඩිවෝස් ලෝයර් කෙනෙක්ට මේ ගැන කියලා උසාවි නියෝගයක් ගන්න එක.. මොකද මේ වගේ ඇඩික්ෂන්ස් තියෙන අය පිළිගන්න කැමති නෑ නේ.. ඒගොල්ලෝ දන්නවා ඒක දුර්වල කමක් කියලා.. ඒකයි ඒ ගැන කතා කරද්දි තරහා යන්නේ.... බලෙන් හරි කවුන්සිලින් වලට යොමු කලොත් ඔය ප්‍රශ්නේ විසඳගන්නත් ඉඩක් තියෙන්න පුළුවන්... ( ඔයාගේ යාලුවා වෙන් වෙන්න හිත හදාගෙන නම් ඉතිං ඔය ගැන හිතන්න හිතෙන එකක් නෑ දැං)

    porn addiction එක කියන්නේ මානසික ලෙඩක්.. සමහර අයට ලිංගික සම්බන්ධතා පවත්වන්නත් බැරි වෙනවා.. මේ කියන්නේ ඉඳලා හිටලා ඔය ෆිල්ම් එකක් බලන එක ගැන නෙවෙයි.. සමහරු ඉන්නේ සිගරට් එකක් නැතුව ටොයිලට් යන්න බැරි අය... අන්න ඒ වගේ ඕකට ඇබ්බැහි වෙච්ච අය ගැන...

    මගේ නම් අදහස කසාද බඳින්න ඕනේ අම්මලා කියනවට වත්, කොල්ලෙක් ඉන්නවා කියන එකටවත්, නාකි වෙනවා කියලා හිතෙන හින්දා වත්, වයසට ගියාම තනි වෙනවා කියලවත් හිතලා නෙවෙයි.... තමන්ට තමන් තරම් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් හම්බුනොත් විතරයි කියන එක... සාමාන්‍යයෙන් මට නම් 100% මාව විශ්වාස කරන්න බෑ... මගේ අතින් වැරදි සිද්ධ වෙන නිසා.. නමුත් ඒ තරමට විශ්වාස තවත් කෙනෙක් ළඟ ඉන්නවා නම් වැරදි සිද්ධවෙන ඉඩ අඩුයි...

    හැමදේම perfect පවුල් ජීවිතයක් නම් කොහෙවත් නැතුව ඇති... හැම පවුලක් ඇතුලෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා... සමහරු ප්‍රශ්න කතා කරලා විසඳගන්නවා... සමහරු කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා.. සමහරු පවුල අතෑරලා දානවා.... සමහරු ජීවිතේ අතෑරලා දානවා...

    පෞද්ගලිකව මම විශ්වාස කරන දේ තමයි පවුලක් ඇතුලේ කිසිම විදියේ රහසක් තියෙන්න බෑ කියන එක... කොච්චර බය හිතෙන දෙයක් උනත්, කොච්චර රහස්‍ය දෙයක් උනත්, කොච්චර ලැජ්ජා හිතෙන දෙයක් උනත් කියන්න පුළුවන් වෙන්න ඕනේ... දැං අර ඔයාගේ අනිත් යාලුවා සමහර විට සැක කරන්නේ බොරුවට වෙන්න පුළුවන්... ඒක නැති කරන්න එයාගේ හස්බන්ඩ්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්.. එයා එක්ක කතා කරලා එයාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්... රෑ වෙනවා නම් කෝල් එකක් දෙන්න පුළුවන්.. වැඩිය රෑ නොවී ගෙදර එන්න උත්සාහ කරන්න පුළුවන්.. පවුල රැක ගන්න ඕනේ නම් කරන්න දේවල් ගොඩක් තියෙනවා... අයින් වෙන්න ඕනේ නම් ඉතිං ඔය මුකුත් ඕනේ නෑ නේ...

    යාලුවෙලා ඉන්න කාලෙදි අල්ලගන්න ක්‍රමත් තියෙනවා.. එකක් තමයි ප්‍රශ්නයක් ආවම පැනලා යන ගතියක් තියෙනවා නම්... බලමු කියලා මාරු වෙනවා නම්.. කෙලින් උත්තර දෙන්නේ නැත්නම්.. එහෙම අය එක්ක කොච්චර ආදරේ උනත්, එකට ජීවත් වෙන්න අමාරු වෙනවා ... හැමදේටම වැඩිය දෙන්නගෙම එකඟතාවයන් තියෙනවද කියලා හිතලා බලන්න ඕනේ .. අඩුම ගානේ කතා කරන මාතෘකා 10කින් 7ක් වත් දෙන්න එකඟ වෙනවා නම් එතන ගැලපීමක් තියෙයි..

    ඔය හැමදේම දැනගෙනත් බැන්ඳට පස්සේ හිත් රිදීම් වෙනවා තමයි... ප්‍රශෟන එනවා තමයි.. ඒවා නැති කරන්න බෑ... ඒත් අඩුගානේ 75% හොඳ නම් ඉතුරු 25% ගැන හිත හදාගන්න පුළුවන් වෙන්න ඕනේ ආදරේ නාමයෙන් දෙන්නටම... මම නම් හිතන්නේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. @ හිරු

      //ළිහිණි ඔයා කියලා තියෙන දෙවනි කේස් එක නම් මානසික වෛද්‍යවරයෙක් වෙතට යොමු කරලා විසඳගන්න පුළුවන්ද කියලා බලන්න තිබ්බා..//

      මගෙ යෙහෙළිය කියන හැටියට නම් එක පාරක් නෙමේ දහපාරක් විතර ඩොක්ටර්ස්ලා ලඟට එක්ක යන්න හැදුවාලු. ඒත් ඒ මනුස්සයා එන්නෙ නෑලු. බලෙන් අරන් යන්නත් බෑනෙ හිරූ. මොන තරම් ආදරයෙන් කිව්වත් එකඟ වෙලා නෑ.

      //යාලුවෙලා ඉන්න කාලෙදි අල්ලගන්න ක්‍රමත් තියෙනවා.//

      යාළු වෙලා ඉන්න කාලෙදී හුඟාක් වෙලාවට දෙපාර්ශවයම කරන්නෙ රඟපෑමක් වගේ දෙයක් හිරුවො. අර නලින් අයියා කියනවා වගේ නියම චරිතය මතු වෙන්නෙ විවාහ වෙලා මාස කීපයක් ගත් උනාට පස්සෙයි. එතකොට පෙරෙහැර ගිහින් ඉවරයිනේ. ආදරවන්තයන් උනාම එකි නෙකාගෙ හිත රිදවන්න කැමති නැති හන්දම හැමදේම ඉවසාගෙන උන්නත් බැඳට පස්සේ....හපොයි...

      //හැමදේම perfect පවුල් ජීවිතයක් නම් කොහෙවත් නැතුව ඇති..//

      ඇත්තටම ඔව් හිරු. සර්වසම්පූර්ණ මිනිස්සු නැති උනත් යමක් කමක් කියලා දීලා ප්‍රශ්ණ බේරගන්න පුළුවන් හැකියාවක්වත් තිබුනොත්...ඇති

      Delete
    2. අපි මොනවා හිතුවත්, කිව්වත් විවාහයකදි ගැහැණියකට කරන්න වෙන කැප කිරීම වැඩියි... කියන්න දාහක් දේවල් තිබ්බත්, සමහර වෙලාවට ලේ එනකල් තොල් හපාගෙන කට තද කරගෙන ඉන්න වෙනවා... වැරදි කියලා හිතෙන දේවල් වෙද්දිත් ඇස් ඇරගෙන බලාගෙන ඉන්න වෙනවා.. ඒක මේ රටවල තියෙන සංස්කෘතියේ කොටසක් ළිහිණි... මේක මම කිව්වේ අත්දැකීමෙන් ...

      ඒවා එකපාරටම හදන්න බැරි තැනදි ටිකක් ඉවසන්න පුළුවන් වෙන්නත් ඕනේ... මොකද පහු වෙලා හරියටම හදාගන්න අවස්ථාවක් එන්න පුළුවන් නිසා... හැබැයි මට නම් මේවා යාලු වෙලා ඉන්න කාලෙදිත් තිබ්බ රෝග ලක්ෂණ නිසා තමයි මං අර කතාව කිව්වේ.... ඒ වගේ දේවල් වලදි ආදරේ නිසා පස්‌ෙස හරි යයි කියලා හිතුව එක මමත් කරපු වැරැද්දක්... හි හි.. එහෙම හිතන්න එපා කවදාවත්.. ආදරේ නිසා පිරිමි වෙනස් වෙන්‌ෙන් හරි අඩුවෙන්...

      හැබැයි හැමෝමත් එහෙම නෑ කියලා මතක තියාගන්න.... සමහරු ඉන්නවා ආදරේ නිසා හැමදෙයක්ම වෙනස් කරගන්න තරම් හොඳ පිරිමි.. ඒ අයව අඳුරගන්න පුළුවන් කලින්ම... අර මං කිව්වා වගේ අය තමයි ටිකක් අවුල්... මොකද ඇත්තටම ආදරෙත් කරනවා.. හැබැයි තනියම තීරණ ගන්න බැරිකම නිසා අසරණ වෙනවා.. එහෙම අයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි...

      Delete
  3. ~ ඒ මනුස්සයා ස්වයංවින්දනයට තදින්ම ඇබ්බැහි උන කෙනෙක් ලු. ~
    මේක දැක්කම මට එක පාරටම මතක උන්බේ අර "ඉලාස්ටික් එකෙන් කැටපෝලයක් හදනවා" කිව්ව කතාව.
    (ශික් ඌට කටේ තියන එක පල ගිලින්න බැරි හැටි.තියන එකාට කිසි අගයක් නෑ නේ අප්පා)

    වෙන වෙලාවක නම් බොරුවට හරි හිරු අක්කගේ කොමෙන්ට් එකකට ගේම ඉල්ලුවත් අද දාල තියන එකේ කියන්න ඕන ඒවා ටික හරියටම කියල තියනවා.මම කිව්වත් ඔය ටිකම තමයි කියන්නේ හැබැයි ටිකක් අඩුවෙන්. :P

    ReplyDelete
    Replies
    1. //(ශික් ඌට කටේ තියන එක පල ගිලින්න බැරි හැටි.තියන එකාට කිසි අගයක් නෑ නේ අප්පා) //

      ඌට ඒක රහ වැටිලා ඇති...අනෙක්වට වඩා...හි හි හී...පිස්සෙක්නේ

      Delete
  4. මංද මොනව කියන්නද කියලා.. ඒත් මේකෙන් ඔයා පෙන්නන්න උත්සාහ කරල තියෙන්නේ විවාහය දෙදරන්න පිරිමියාගෙන් වෙන වැරදි විතරයි.. ඕකෙම සම්පූර්ණ විරිද්ධ පැත්තකුත් තියෙනවා..

    (මොනව උනත් දැං නම් ළිහිණි අක්කගෙ කල වයස හරි කියලයි මට නම් හිතෙන්නේ)

    හැබැයි ඔයාගෙ මේ රැඩිකල් ගතිය වෙනස් නොවුනොත් නම් ප්‍රශ්ණ ඇති වෙයි.. තමන්ගෙ සහකරුවා තෝරාගැනීම හා තේරුම් ගැනීම සම්පූර්ණයෙන්ම තමන් සතුයිනේ.. හරි ගියත් තමන්ට වැරදුනත් විඳවන්නෙත් තමන්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ යසිත් හරියට කියවන්නෙ නැතුව එක එක දේවල් දකිනවා කියලයි.

      // ඒත් මේකෙන් ඔයා පෙන්නන්න උත්සාහ කරල තියෙන්නේ විවාහය දෙදරන්න පිරිමියාගෙන් වෙන වැරදි විතරයි.//

      මේ කොටස කියවන්න. මෙතැනදී වැරදී මගේ යෙහෙළිය. ඒක මම පෙන්නලා තියෙනවා

      මගේ එක යෙහෙළියකගේ පවුල තුල සැකය කියන දේ නිසා විසඳාගන්න බැරි තරම් ප්‍රශ්ණ ඇතිවෙලා තිබුනා. ඒ යෙහෙළියට එයාගේ සැමියාව අවිශ්වාසයි. හේතුව හැටියට මගෙ යෙහෙළිය කියන්නෙ එයාගෙ සැමියා කසාද බඳින්න කලින් ගණිකාවන් ආශ්‍රය කිරීම. මේ ගැන මගෙ යෙහෙළිය දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි කසාදයෙන් පස්සේ. මේ හේතුව නිසා මගේ යෙහෙළියට ඇගේ සැමියාව පුදුමාකාරව සැකයි. ගෙදරින් කලින් ගියත්..ගෙදර එන්න ටිකක් පරක්කු උනත්...හිත ඇතුලේ තියෙන සැකය නිසාම...ඇතිවෙන බහින් බස් වීම් කෙළවර වෙලා තියෙන්නෙ පවුල් ජීවිතයත් ඉවරවෙන තරම් දුර ගිහින්. සැකය නැති කර ගෙන ජීවිතය ආයෙමත් හදා ගන්න කියලා හැමෝම උපදෙස් දුන්නත්...ඒ දෙන්නම කියන්නේ හදා ගන්න බැරි තරම් ඒ පවුල් ජීවිතය දෙදරලා ඉවරයි කියලා. විශ්වාසයක් නැති සම්බන්ධයක් ඇතුලේ ජීවත් වෙන එක වදයක් හැටියට මගෙ යෙහෙළියගේ සැමියා දකින්න ඇති. මම හිතන විදියට පවුල් ජීවිතයක මුලින්ම තියෙන්න ඕනෙ විශ්වාසය...

      //හැබැයි ඔයාගෙ මේ රැඩිකල් ගතිය වෙනස් නොවුනොත් නම් ප්‍රශ්ණ ඇති වෙයි..//

      මොකද්ද මගේ තියෙන රැඩිකල් ගතිද මල්ලී..පැහැදිලි කරනවා නම් හොඳයි.

      Delete
    2. මං හිතන්නේ ළිහිණි රැඩිකල් ම නොවේ නිදහස් මතධාරි කෙනෙක් කියලයි.අව්‍යාජය අදහස් දක්වනවා කිසිම බැඳිමකට යටත් නැතිව.

      Delete
    3. ඔව්.. ඒත් ඒක විවාහයකදී ගැටළු ඇති කරවන්නක් වෙන්න පුළුවන්.. සමහර අවස්ථා තියෙනව අපි අකමැති උනත් අදහස් වාරණය කරන්න ඕන..

      Delete
    4. විවාහයක් කියන්නේ තමන්ගේ සැමියා කියන කියන දේට " හා" කියාගෙන ඔළුව පාත් කරගෙන ජීවත් වෙන එක නෙමේ යසිත් මල්ලී. දෙන්නා දෙන්නගෙ අදහස්වලට ගරු කරන එක. මම නිදහසේ මගේ අදහස් කියන්න කැමතියි.ඉවසීමයි..නිදහසේ අදහසක් ප්‍රකාශ කිරීමයි දෙකක් මල්ලී. මිනිහා එකක් කියද්දී ගෑණී දෙකක් කියන එක තමා වැරදී. එහෙම නැතුව අවශ්‍යය දේ කතා නොකිරීම නෙමේ

      Delete
    5. ළිහිණි - ++++++++++++++++

      Delete
  5. විවාහය ගැන අත්දැකීම් නැත...ඒ නිසා මට සිතෙන්නෙ අන් අය සතුටු කිරීමට දෙදෙනා අතර ඇති හෝ ඉදිරියේ ඇතිවිය හැකි නොගැලපීම් පිළිබද නොසලකා විවාහයට එළැඹීමත් මෙයට හේතු විය හැකි බවයි. ඊට අමතරව විවාහ ජීවිතයේ වගකීම් පිළිබද නිසි අවබෝධයකින් තොරව විවාහ වීමත් මෙයට හේතු විය හැකියි...

    ReplyDelete
    Replies
    1. දෙදෙනාගෙන් කෙනෙකුට අනෙකාගේ හැගීම්වලට මුල් තැන දිය හැකිනම් විවාහය බොහෝ සෙයින් සාර්ථකයි.ඒත් තමනුත් ඒ කැපකිරිම අනෙක් තැනැත්තාගෙන් බලාපොරොත්තු වන විට ව්‍යසනය ඇති වේ.

      Delete
    2. @ සිරා

      මමත් හිතන්නෙ සිරා මේ පවුල් ජීවිතයක වගකීම හරියට තේරුම් නොගැනීම තමා තියෙන්නේ. ආවට ගියාට බඳින්නා වලේ බැඳෙන එක. අනාබෝධය...අවිශ්වාසය..

      අනේ මන්දා මඟ හිටියොත් තෝ නසී...ගෙදර ගියොත් අඹු නසී...

      Delete
  6. අද සමාජය මුදල් පසුපස හඹායන සමාජයක්. ඒ නිසා මිනිස්සුන්ට තමන්ගෙ යුතුකම් ගැන,කැක්කුමක් නෑ...ඉ‍ටුකරන්න වෙලාවක් නෑ...මේ වාගෙ හේතු ගොඩයි.
    ඒත්...විවාහය කියන්නෙ කලාවක්...ඒක නිසිපරිදි වටහාගතයුතුමයි.

    ලිහිණි කියාතිබෙන කාරනා ඇත්ත වෙන්න ඇති...මටනම් හිතෙන්නෙ,
    ඒ කිසිවෙක් පොලවෙ පය ගහපු අයනොවේ..
    බඳින්න කලින් ගනිකාවන් ඇසුරු කරානම්...ඌ ලෙඩෙක්,..තමන්ව පාලනය කරගතනොහැකි එකෙක්...එවුන්ට යුගදිවියෙ රහක් නෑ...හොයන්නෙ ලිංගික රහ පමනයි.
    අනෙකා ස්වයංවින්දනය බැන්දටත් පස්සෙ කරන එකත් ලෙඩෙක්...
    ඇයි මේ අයට තමන්ගෙ සිතිවිලි පාලනය කරගන්න බැරි.

    මෙතන අවශ්‍යම දේ කියවුනේ නෑනෙ.
    මිනිහෙක් හෝ ගැහැනියක් උනාම තමන්ගෙ පවුලට ප්‍රමුකත්වය දෙන්න ඕන. එහෙම වෙන්න බැරිනම් ගැ‍ටුමක් තම්යි.
    අනික පවුල් වෙනවා කියන්නෙ ලිංගිකත්වය පමනක් නොවේනෙ.ඇයි පවුල් වෙනවා කියන්නෙ..
    තවත් ආදරනීය පිරිසක් තමන්ට ලංවෙනව කියන එකනෙ. සැමියා,සැමියගෙ ..මව ,පියා.සහෝදර්යො,සහෝදරියො..හරිම ..ප්‍රීතිමත් සහ සම්බන්දතාවක්නෙ....අපිට ඉ‍ටුකර්න්න වෙන්නෙ සැමියගෙ කටය්තු විතරක් නොවේනෙ...ඒ පවුලෙ නංගිලා,මල්ලිලා ගැන තාත්ත,අම්මා ගැන..මෙකී නොකී කොච්චර ඇත්ද..
    පිරිමියාටත් එහෙමනෙ...මේ සියල්ල පොදුයි...!

    දැන් තියෙන ප්‍රශ්ණය ඉහත කාරනාවල සහ සම්බන්දතාවය අපෙන් ගිලිහෙමින් යනව...අපි කාර්යාලයට..රාජකාරියට සීමාවෙනව...ඕන්න..ප්‍රශ්නය පටන්ගන්න තැන අපේ සාමුහිකත්වය ගිලිහීම.

    අනික තම තමන්ගේ වගකීම් පිලිබද අනවබෝදය වන්නට පුලුවනි.
    තව කාරනයක් වන්නේ අද විවාහය යන්නටබොහෝ කාන්තාවන් හොයන්නෙ...මොකක්ද කරන ජොබ් එක,කාර් එකක් තියෙනවද...අහව්ල් තැනද වැඩ. ඔන්න.
    ලිහිනි මුලින්ම කියලතිබුනෙ විවාහය්ක් ගැන යාලුවෙක් අදුන්වල දුන්න කියල මටනම් එතකොටම හිතුනෙ මේ කාරනය තමා.මේ මනුස්සය මොනවගේද කියල හොයල බලනව අඩුයි.

    විවාහ ජීවිතයේදී එකිනෙකා පරයාතීරන ගැනීම තුලත් ඕවෙනි දේ තිබිය හැකියි. අනික එකිනෙකාට ප්‍රේම කරන්නට හැකියාවක් බැඳීමක් තිබිය යුතුයි.

    නැත...හොඳ පවුල් ජීවිතගෙවනා උන් ඕන තරම් ඇත......අපායේ සිට නොව...මිනිස් ලොව සිට බැලිය යුතුය..

    ලිහිණියෝ....ඕව අතහැරල ලස්සන ජීවිතයක් හොයාගන්න..:))))

    ReplyDelete
    Replies
    1. //මෙතන අවශ්‍යම දේ කියවුනේ නෑනෙ.
      මිනිහෙක් හෝ ගැහැනියක් උනාම තමන්ගෙ පවුලට ප්‍රමුකත්වය දෙන්න ඕන. එහෙම වෙන්න බැරිනම් ගැ‍ටුමක් තම්යි.//

      වැඩිහරියක් පවුල්වල නැත්තෙත් ඕකනෙ අයියේ. තමන්ගේ පවුල විහිළුවක් කරගෙන. කාලයේ අවශ්‍යතාවයක් හැටියට කසාදයක් කරගෙන විතරයි..

      //ලිහිණියෝ....ඕව අතහැරල ලස්සන ජීවිතයක් හොයාගන්න..:)))//

      හොයන්න ඕනේ හොයන්න ඕනේ. දැන් කාලේ හරි. ඒත් බයයි අප්පා. මට ඕනෙ පොළොවේ පය ගහලා මා එක්ක ජීවත් වෙන්න පුළුවන් එකෙක්. නැත්තම් මා ලඟ ඉඳගෙන වෙන ගෑණියෙක් ගැන හිතන එකෙක් නෙමේ..හොඳ කොල්ලෝ ඕනෑ තරම් ඉන්නවා...තාම හම්බ උනේ නෑනේ :)

      Delete
  7. හ්ම්ම්... මට නම් විවාහ ජිවිතයේ අත්දැකීම් තවම නැත. ඒත් ලිහිණි ඕකේ දෙපැත්තක් තියෙනවනේ. ආසාර්ථක වගේම ඉතාමත් සාර්ථක පවුල් ජිවිත ඕන තරමක් තියෙනවා. මම හිතන විදියට,ඔයාගේ හිත වැඩි හරියක් බිය වෙලා ඇත්තේ, ඔයා පොඩි කාලේ ඉදන් දැකපු ඔයාගේ ගෙදර පරිසරය නිසා. පුංචි කාලේ දෙයක් හිතට වැදුනම ඒක හිතින් අයින් කරන්න ටිකක් අමාරුයි. අනික මේ සමාජයේ සර්ව සම්පුර්ණ මිනිස්සු නැහැ. හැමෝගෙම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඒ කෙනාව අපි තේරුම් ගන්නයි ඕනි.

    මිනිස්සු වෙනස් වෙනවා. ඒක ඇත්ත. මේ හිත කියන එක තරම් ඉක්මනින් වෙනස් වෙන දෙයක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. ඒත් අපි දැන ගන්න ඕනි ඒක පාලනය කර ගන්න. එතකොට හැමෝගෙන්ම වෙන වැරදි ගොඩක් දුරට අඩු වෙනවා.

    අනික ඔයාගේ ඔය තියෙන බය නම් නැති කර ගන්න වෙනවා කෙල්ලේ.....මොකද කිව්වොත් ඔයා ඕක ගැනම හිත හිත හිටියොත් ඔයාට හොද කෙනෙක් ලැබුනත් එයාව මග හැරෙන්න පුළුවන්. අනික ඔයා ඒ කෙනා එක්ක එකතු වුනත් ඔයාගේ හිතේ තියන බය නිසා එයා ගැන නිකන් වැරදියට හිතලා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි හැමෝටම එකම විදියට දේවල් ලැබෙන්නේ නැහැ. එක එක්කෙනා කරපු පිං පව් අනුව තමයි හැමදේම වෙන්නේ. ඒ නිසා හැමදේම හොද විදියට වේවි කියලා ඔයා හිත හදා ගන්න....

    අනික ලිහිණි ඔයා දන්නවද මමත් ආදරෙන් පැරදුන කෙනෙක්. අවුරුදු ගානක් ආදරය කරලා බලාපොරොත්තු ගොන්නක් ඔලුවේ පුරවාගෙන හිටපු කෙනෙක්. මාත් ඔයා වගේම හිතුවා එයා එක්ක ඉක්මනින්ම එකතු වෙලා අපේම ලෝකයක් හදන්න. ඒත් මොන කරුමෙකටද මන්දා ඒ සේරම නැති වුනා. ඒත් මම අදටත් එයාට ආදරෙයි. ඒත් මට කවදාවත් කසාද නොබැද ඉන්නවා කියන තීරණේ ඉන්න බැ. හේතුව මගේ පවුලේ අය. ඒ නිසා මම හිත හදාගෙන ඉන්නේ ඕන දේකට මුණ දෙන්න..... හැබැයි මම කවදාහරි දවසක කසාද බැන්දොත් හොද පවුල් ජිවිතයක් ගත කරනවා කියන තැන ඉන්නවා. ජිවිතේ කියන්නේ හරි අවිනිශ්චිත දෙයක්. ඒ නිසා වෙන ඕනෑම දෙයක් බාර ගන්න අපි හිත හදා ගන්න ඕනි. සමහර වෙලාවට හිත හදා ගන්න බැරි තරමටම වැටෙනවා තමයි. ඒත් අපි කොහොම හරි නැවත යතාතත්වයට පත් වෙන්න ඕනි. ඒකයි මම නම් හිතන්නේ....

    ඔයා බය අත හැර ගෙන ජිවිතයට මුණ දෙන්න. ඔයාට හොද කෙනෙක් ලැබේවි.......


    ReplyDelete
    Replies
    1. //ඔයා පොඩි කාලේ ඉදන් දැකපු ඔයාගේ ගෙදර පරිසරය නිසා. පුංචි කාලේ දෙයක් හිතට වැදුනම ඒක හිතින් අයින් කරන්න ටිකක් අමාරුයි//

      ඔව්. ඒත් එතැන තියෙන්නෙ අම්මට නොලැබුන ජීවිතය මම ලබාගෙන අම්මව සතුටු කරන ආශාවක් සමනලී. ඒ හන්දා තමා ටිකක් වැඩිපුර හිතන්නේ...

      //හැබැයි මම කවදාහරි දවසක කසාද බැන්දොත් හොද පවුල් ජිවිතයක් ගත කරනවා කියන තැන ඉන්නවා.//

      මෙන්න මෙතන මමත් ඉන්නවා සමනලී. ඒ හොඳ ජීවිතයට මගෙන් 100% දායකත්වයක් දෙන්නත් මට පුළුවන්. ඉවසීම... කැපවීම..වගකීම් එක්කම... ඈත් පාර්ෂවයත් ඒ වගේම නොවුනත් අඩුම තරමින් ප්‍රශ්ණයක් කතා බහෙන් විසඳා ගන්න වත් පුලුවන් කෙනෙක් ලැබෙනවානම්...

      Delete
  8. Ane manda lihini ahala thiyena katha wala hatiyata nam bayai thamai. Eth api me jeewithe hama kadaimakma dinanna one. Dinanna nam ekata sahabagi wenna one. Dan hoda kollo wagema hoda kelloth hoyanna amarui. Innawa eth api thora ganne kohomada? Api kohoma kiwath oyage anagatheta hoda sahakaruwek thora ganna wenne oyatamane. Eka nisa parissamen e kenawa thora ganna. Marry karala duk widinawata wada daruwo hadala eyalatath dukak denawata wada ita kalin thamai api thiranayak ganna one. Me kena hoda na kiyala badima lehala dala apahu enawata wada eka hodaine.

    Baya saka nathiwa viwaha jeewithe sathutin gewanna puluwan sahakaruwek labenna kiyala prarthana kala onna mama.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ වගේ එකමුතු පවුල් ජීවිත නැතුවාම නෙමේ. අපි මේ ජීවත් වෙන කොළඹ පරිසරයේ වගේම අපේ ගම් පලාතේ ( වෙන්නප්පුවේ ) ඉතාලිය වගේ රටවලට කීයක් හරි හම්බ කර ගන්න ගිය අයගේත් පවුල් ජීවිත අවුල් වෙලා තියෙන හැටි දැක්කම මෙහෙම හිතෙන හැටි සාධාරණයි වගේ. මම ගෙදර ගියොත් නැත්තම් මට කතා කරද්දී හරි අපේ අම්මා කියන කතා ඇහුවම පුදුම හිතෙනවා. ගමේ ඉද්දී අපූරුවට තිබ්බ පවුල් සල්ලි අතට ලැබෙද්දී විසිරිලා ගිහින්.. දරුවො එක තැනක..අම්මලා තව අය එක්ක. තාත්තලා තව අය එක්ක... ඕවා අහද්දි දකිද්දී මට හිතෙන දේවල්...


      දැක්කා නම් හොඳා...දකින්න තමා ඕනේ.. මටත් දෙයක් ලැබුනා. ලන්නදිම කතා කරන්නම්. :)

      Delete
    2. //අපි මේ ජීවත් වෙන කොළඹ පරිසරයේ වගේම අපේ ගම් පලාතේ ( වෙන්නප්පුවේ ) ඉතාලිය වගේ රටවලට කීයක් හරි හම්බ කර ගන්න ගිය අයගේත් පවුල් ජීවිත අවුල් වෙලා තියෙන හැටි දැක්කම මෙහෙම හිතෙන හැටි සාධාරණයි වගේ. මම ගෙදර ගියොත් නැත්තම් මට කතා කරද්දී හරි අපේ අම්මා කියන කතා ඇහුවම පුදුම හිතෙනවා. ගමේ ඉද්දී අපූරුවට තිබ්බ පවුල් සල්ලි අතට ලැබෙද්දී විසිරිලා ගිහින්.. දරුවො එක තැනක..අම්මලා තව අය එක්ක. තාත්තලා තව අය එක්ක...//


      මෙන්න මේ කතාව මම අපේ මායියා එක්ක කිවුවා. ඔයාගේ මනසට බලපාලා ඇත්තෙත් ඒකම වෙන්න ඇති කියලත් කිවුවා. මම හැබෑවටම දන්නවා ඔය වෙන්නප්පුව මාරවිල නාත්තන්ඩිය පුත්තලම කියන ප්‍රදේශවල සාමාණ්‍ය ජන ජීවිත ගැන. මම ගොඩාක් ඇවිදලා තියෙන නිසාඔය සාවියේ. ඒත් මම නොකීවේ කවුරු හරි ඒකට අමනාප වේවි කියලා. එහෙ මිනිස්සු ආර්ථිකව හරි වේගයෙන් දියුණු වෙනවා.ඒත් තමන් අතින් ගිලිහෙන බොහොම වැදගත් දේවල් ගැන ඔවුන් හිතන්නේ නෑ. හැබැයි සාර්ථක මිනිස්සු නැත්තෙත් නෑ.

      Delete
  9. ළිහිණි නංගිගෙ නිදහස් අදහස් වලට මම හැමදාමත් ආසයි.

    දකුණු ආසියාතික අපේ විවාහය කොහොමත් ටිකක් සංකීර්ණයි නංගි. අනිත් අය ගත් තීරණ විවේචනය කිරීම මම අකමැති දෙයක්. මට හිතෙන්නෙ අපි කිසිම දෙයක් නොදැන, පිටින් බලාගෙන ඉඳලා ඒ දේ ගැන කතා කරන එක වැරදියි කියලා.

    මගේ පුද්ගලික මතය නම්, අසාර්ථක විවාහයකට මැදිවෙලා දුක් විඳිනවාට වඩා, වෙන්වීම හොඳයි. මොකද, ජීවිතය යනු විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නොවන නිසා. හැබැයි එහෙම කළයුත්තේ අනිවාර්යයෙන්ම, සාර්ථක කරගැනීමට ගතහැකි සියලූම උත්සාහයනුත් අසාර්ථකවූ පසුව පමණමයි. මම මෙහෙම කියන්නේ, සමාජ අපවාදයන්ට බයෙන් වගේම තමන්ගේ පවුලට අගෞරවයක් වෙයි කියලත් බයෙන් විවාහයේ රෑඳී සිට, ජීවිතය අහිමි කරගත්, මට ඉතාමත්ම සමීප අය ගැන දන්න නිසා.

    විවාහය කියන්නේ ආදරය, අන්‍යොන්‍ය අවබෝධය හා කැපකිරීම යන තුනේම එකතුවක්. මේ බව දෙදෙනාම තේරුම් ගත්තොත් ජීවිතය සාර්ථක කරගැනීම ඒ තරම් අපහසු නැහැ. අසාර්ථක පවුල් ජීවිත ටිකක් ගැන ගොඩක් දෙනෙක් කතාකරද්දි, සාර්ථක පවුල් ජීවිත රැසක් නිහඬවම ලෝකයේ පවතින බවත් ළිහිණි නංගි දන්නවනෙ.

    කියවලා නැත්නම්, වෙලාවක් ලැබුණම මෙන්න මේ පොත කියවන්න නංගි. මම හිතනවා කැමති වෙයි කියලා.
    'Men are from Mars, Women are from Venus'

    ReplyDelete
    Replies
    1. විවාහ ජීවිතයක් කියන්නෙ හුඟාක් සංකීර්ණ දෙයක් කියලා මම දන්නවා අක්කා. ඒත් ඇහෙන පේන දේවල් එක්ක විවාහ ජීවිතයක් කියන්නේ මොකද්ද කියලත් හිතා ගන්න බැරි තරම්. ආසියානු සංකල්පයත් එක්ක විවාහයට ලැබෙන පලමු තැන දැන් දැන් නතුව ගිහින් කියලයි මට හිතෙන්නේ.

      කාලයේ වේගයෙන් සිතිවිලි මොන තරම් අලුත් උනත්...විවාහයට පලමු තැන දෙන්න මම හරිම ආසයි. පවුලක් කියන දේ රැක ගන්න ආසයි. ඒ නිසාම යම් යම් දේ ගැන වැඩිපුර මම හිතනවා ඇති...

      අක්කාගේ අදහස්වලට ස්තුතියි...

      Delete
  10. /*පහුගිය කාලයේදී මගේ හිතවත් යෙහෙළියන්....*/ මේ ඡේදයෙන් පස්සේ විස්තර කරල තියන විදිහේ අයත් ඉන්නවා තමා. නමුත් ඒ පිරිස සුළු ප්‍රතිශතයක් කියලයි මට නම් හිතෙන්නේ. විවාහ ජීවිතේ සාර්ථක වෙන්න නම් ඉවසීම සහ එකිනෙකා ගැන අවබෝධය බලපානවා හුඟක් දුරට. බහුතරයක් එකිනෙකා වෙනුවෙන් යම් ප්‍රමාණයකට කැප කිරීම් කරලා සාර්ථකව විවාහ ජීවිතේ ගෙනියනවා.
    ඔන්න ඔහේ හොඳ කොල්ලෙක් හොයාගෙන බැඳලා දාපන් බං නංගියේ :)

    ReplyDelete
    Replies
    1. //ජීවිතේ සාර්ථක වෙන්න නම් ඉවසීම සහ එකිනෙකා ගැන අවබෝධය බලපානවා හුඟක් දුරට//

      ඇත්තටම... ඉවසීම කියන දේ නම් හරිම වැදගත්..පවුල් ජීවිතයට විතරක්ම නෙමේ...හැම දෙයකටම..

      //ඔන්න ඔහේ හොඳ කොල්ලෙක් හොයාගෙන බැඳලා දාපන් බං නංගියේ :)//

      හොයනවා හොයනවා... පොළොවේ පය ගහලා මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් එකෙක් හොයනවා හි හි හී

      Delete
  11. කසාද බැඳලත් ස්වයං වින්දනේ යෙදෙනවා නම් ඒ යකා අමුම අමු පිස්සෙක් තමා.අද කට්ටියම දිගම දිග කොමන්ට් දාලා ඒත් මම නම් බොරුවට ඔච්චර කොට කොට ඉන්නේ නැහැ.මට වඩා වයස ගොඩක් වැඩියිනේ නැත්තම් මන් එකෙන්ම ලිහිණිව බඳිනවා පොඩ්ඩක් උස වුනත් මොකද කියලා.ඒත් මන් ගොඩක් බාලයිනේ අෆ්ෆා සික් අපරාදේ.ඔන්න ඔහේ ඔයාගෙන් දැන් කැමැත්ත අහලා තියෙන උන්ගෙන් අහිංසකම එකා කියලා හිතෙන එකා ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද?.

    ReplyDelete
    Replies
    1. අලේ...ඔය යෝජනවා මමනෙ ඉස්සරවෙලාම අරන් ආවේ..මතක නැද්ද... :D :D

      Delete
    2. නිශාන් මහතා වෙත ,


      හිතවත් මහත්මයාණෙනි මට කීමට ඇත්තේ විවාහයට ( සැබෑ ආදරය මත පදනම් වන )අවුරුදු 8, 10 වුවද වයස පරතරයක් තිබීම ගැටළුවක් නොමැති බවයි.බොහෝ දෙනා මතු කරන්නේ ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක්.( දන්නවනේ මන් කියන දේ , වැඩි දුර ඕනේ නැහැ) ඒ උනත් දකින පිටස්තර අයට නම් මහත් රුදාවක් හට ගැනීම ස්වාභාවිකයි.ඒ ගැන නොතකන්න. නොතකා සිටීමට නොහැකි නම් මෙතනින් එහාට බොලා කියවන්නත් එෆා.

      කොහොම හරි මචන් එක එක්කෙනා කියන දේවල් අහල ජීවිතේට ලැබෙන වටිනා දේවල් නැති කරගන්න එපා.දෙන්නට දෙන්න සිරාවටම විස්වාස නම් , ආදරේ නම් , ඉදිරියටත් නොගැලපීම් මහා ලොකුවට ඇති වෙන එකක් නැහැ කියල දැනෙනවා නම් 1* වයස , උස, මහත , හමේ පාට , ජොබ් , සමාජ පන්ති දේවල් නෙවේ.නමුත් ඒ දේවල් වලට මුල් තැන දෙන කෙනෙක් නම් එක්කෙනෙක් හරි ඔන්න ප්‍රශ්නයක් වෙනවා.එහෙම අයට ආදරේ , සෙනෙහස සහ ඒ හා සමගාමීව යන දේවල් වල අගයක් නැහැ.උබ කුමණ පන්තියකට අයත් ජීවියෙක්ද කියල හොදට වටහාගෙන තීරණය කරපන්.මොකද හිත ඉල්ලන දේ කොහොම හරි අපි හොයන්න උත්සාහ කරනවා.එදාට මන් කලින් කියපු ඒවත් 1* පරහට හිටියොත් අවාසනාවන්ත වෙන්න පුළුවන් විවාහය.

      ඕව ගැන ඔය තරම් හිතන්න ඕනේ නැහැ ඇත්තටම මේ සමාජේ මෙච්චර සංකීර්ණ
      නැත්නම්.ඒත් උබ දන්නේ නැහැ හොදට බැඳලා ඉන්න දෙන්නෙක්ගේ ඇද හොයන්න
      මේ සමාජේ මිනිස්සු හරි ආසයි.
      01.කෙල්ල උසයි නේද ?
      02.වැඩිමල් නේද
      etc

      වගේ කියනවා මිසක් අනේ උන් දෙන්න හොදට බැඳලා ඉන්නවා නේද සතුටින් කියන්න මිනිහෙක් නැහැ අද.ඒ නිසා ඒ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් නම් ඕනේ මගුලෙක් ඕනේ මගුලක් කියපුදෙන් කියල තීරණය කරපන්. සමහර අයට සමාජ ප්‍රතිරෝදය දරන්න බැහැ, එහෙම නොවී කසාදෙ ගෙනියනවා , දරුවොත් හදනවා , උන්ට කන්නත් දෙනවා ,හැම දේම උහුලන් ජීවිතේත් ගෙනියනවා කියල සිරාවටම කරන්න පුළුවන් නම් ඔන්න උබ තමා මිනිහ.


      @ ලිහිණි
      මම තිසරගේ රඟහළේ ඔයාගේ කමෙන්ට් එහෙකට ඊයේ රෑ රිප්ලයි
      එකක් දැම්ම.ඒක දැක්කේ නැතුව ඇති ඔයා මන් හිතන්නේ..

      තාත්තා එනකං...

      Delete
    3. එහෙනම් අපි බඳිමු :P

      Delete
    4. @silentsahan

      තිසරගෙ පෝස්ටුවේ කොමෙන්ටුව කියෙව්වා. හිතා ගන්න පුළුවන් නේද මම මගේ ජීවිතයට " හොඳ පිරිමියෙක් " හොයන්නෙ ඇයි කියලා. මේකතා ආවේගයට ලියන ඒවා නෙමේ.හිතට එකඟව හිතේ ඇති දේ ලියන දේවල්.. :)

      Delete
    5. @මඩිස්සලේ නිශාන්

      මම බාල අපරාද කරන්නෙ නෑලු..හි හී හී

      Delete
  12. ලිහිණි ඔය ප්‍රශ්න කීපයෙන් උඩම සිද්ධි දෙකම මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නලා විසඳ ගන්ඩ තිබුණු ප්‍රශ්න.අනිත් එකනම් ඉතින් කරන්ඩ දෙයක් නෑ.මොනවා කළත් අපරාධ නවත්තන්ඩ බෑනේ.ඒවා ඉතින් ඒ ඒ මිනිස්සුංගේ බුද්ධි මට්ටං අනුව තමයි.කසාදය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි.ඒත් තාමත් අපේ වගේ රටවල්වල ගෑනු කෙනෙක්ට තනියම ජීවත් වෙන තරමට සමාජය දියුණු නැති නිසා විවාහයක් කරගන්ඩ සිද්ධ වෙලා තියෙනවනේ.

    තමුන්ට හරියටම ගැලපෙන කෙනා හොයාගන්ඩ පුලුවන්ද කියලා කවුරු හරි ඇහුවොත් උත්තරේ තමයි බැහැ, එහෙම නැත්තං පට්ට අමාරුයි කියන එක.අපිට හොයා ගන්ඩ වෙන්නේ අපි හොයන ආකාරයේ ලක්ෂණ කීපයක් විතරක් තියෙන කෙනෙක්.ඊට පස්සේ ඒ පුද්ගලයාව තමුන්ගේ අවශ්‍යතා අනුව හැඩ ගස්වා ගන්න ගමං තමනුත් ඒ පුද්ගලයා අනුව හැඩ ගැහුනා නං ඔය ගැලපීම 100%ට ආසන්න කර ගන්ඩ පුළුවං.මේ වෙලාවෙදි දෙන්නම 50%, 50% කැප කරන්ඩ වෙනවා.ඒකට ලෑස්ති නැත්තං ඉතිං බඹා කොටපු කෙනා එයි කියලා හිතාගෙන ගෙදරට නාකි වෙන්ඩයි තියෙන්නේ.අනික ප්‍රථම ප්‍රේමය විවාහයෙන් කෙළවර විය යුතුයි කියන එකත් බොරුවක්.මිනිස්සු ආදරේ කරනවා කියලා බඳින්ඩ කළිං කාලයක් ආශ්‍රය කරලා බලන්නේ එකිනෙකාව අඳුන ගන්ඩනේ.(නැත්තං එක පාරටම බඳින්ඩ තිබුනනේ).ඉතිං මෙහෙම ටික කාලයක් ආශ්‍රය කරලා ගැලපෙන්නැත්තං ඒ සම්බන්දේ නවත්තලා වෙන එකක් පටං ගන්ඩ නිදහස තියෙනවා දෙන්නටම.

    එහෙම නැතුව මිනිස්සු කතා කියයි කියන බයට නොගැලපෙන දෙන්නෙක් කසාද බැඳලා මොකටද දුක් විඳින්නේ.

    විවාහය ඉස්සර පූජනීයයි දැං චාටර් කියන එක බොරුවක් කියලයි මම හිතන්නේ.ඉස්සර මිනිස්සු සමාජෙට බයේ ගැටුම් මැද්දෙ ජීවත් උනා.ඒ එක්කම හොර සැමියන් හොර අඹුවන් ඕනෙ තරම් හිටියා.ඒවා බණ පොත්වල නෑ.ජන සාහිත්‍යය ජන කවිවල ඕනෙ තරම් උදාහරණ තියෙනවානේ.වැඩේ තිබ්බේ ඒවා අහුවෙන්ඩ තරම් හොඳ සන්නිවේදනයක් ඒ කාලෙ නොතිබිච්ච එක.අපේ සීයලගේ ආච්චිලගේ කාලේ ඒවා තිබුනට අම්මලගෙ තාත්තලගේ කාලේ වෙද්දි සමාජය නාගරීකරණය වෙනකොට මේ බාහිර සම්බන්ධතා ලෝකෙට අහුවෙන අවස්ථා වැඩි උනා.මොකද අපේ තාත්තලගෙ පරම්පරාවේ මිනිස්සු හේන් රකින්ඩ රෑට හේනේ හිටියේ නෑනේ.වැඩ ඇරිලා ගෙදර ආවා.දැං වෙලා තියෙන්නේ මිනිස්සු තියෙන ප්‍රශ්න අස්සේ (ආර්ථික, සමාජීය ) විවාහයේ ගැටළුත් ඔළුවේ තියං ඉන්නේ නෑ.ටක් ගාලා දික්කසාද වෙන්ඩ බලනවා.නීතිය ගැනත් ඉස්සරට වඩා මිනිස්සු දන්නවනේ.

    වාහනයක් ගන්නවා වගේම තමයි මේකත්.

    අනිත් උං ඇක්සිඩන්ට් උනා කියලා අපි වාහනයක් නොගෙන ඉන්නෑනේ පුළුවංකම තියාගෙන.අනික පැන්න ගමං අහුවෙන වාහනේ ගන්නෙත් නෑනේ.ටිකක් හොයලා බලලා ට්‍රයල් එකක් දෙකක් ගිහිල්ලා හිතට අල්ලනවනං, ලාබයි නං, පෙට්‍රල් හොඳට වැඩ කරනවනං ගත්තා.ඊට පස්සෙත් පොඩි පොඩි ලෙඩ ආවම වාහනේ විසික්කරන්නෑනේ.හදාගන්ඩ බලනවා.බැරී...................ම නං වෙන එකක්.එච්චරයි!!!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම එකගයි හරය එක්ක .රොබෝලා වගේ ඔය හැම දේම
      100% කරගන්න බැරි උනත් මේ උත්තරේ තමා කරන්න ඕනේ...

      Delete
    2. @දිනුක

      //ලිහිණි ඔය ප්‍රශ්න කීපයෙන් උඩම සිද්ධි දෙකම මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නලා විසඳ ගන්ඩ තිබුණු ප්‍රශ්න//

      දෙවෙනි යෙහෙළියනම් සෑහෙන උත්සාහ කලාලු. හැබැයි අර පුද්ගලයා කැමතිවෙලා නෑ..

      දොස්තරම මහත්තයෝ...දිගම දිග කොමෙන්ටුවක්. මේ ටික මගේ හිතට ගත්තා ඕං...:)

      Delete
  13. සල්ලි තිබ්බට පවුල් ජීවිතය හොද වෙන්නෙ නැහැ.
    සල්ලි නැති වුනාට නරක වෙන්නෙත් නැහැ.

    සරල එකිනෙකාගෙ බැදීම, අවශ්‍යතා තේරුම් ගැනීම තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අනෙකාට ගෞරව කිරීමත් ඕනෙ මගෙ හිතේ...

      Delete
  14. කසාඳ පැත්තකින් තියමුකෝ... ඇයි මේ හැම එකාම දික් කසාදෙට මේ හැටි බය...?

    ගෑණු මිනිස්සු කාලා බලලා තේරුං ගන්නයෑ... කොහොමත් බදින්න කලින් කරන හුගක් රග පෑම් බැන්දට පස්සේ කරන්න අමාරුයි.. ඉතිං එහෙම උනාම ඇත්ත හරියට තේරුම් යනවා... ඒවාට හිත හදං ඔහේ ඇදගෙන යනවනං එහෙමයි.. බැරිනං දික්කසාඳ වෙන එකේ ඇති වැරැද්ද මොකද..? දික්කසාදේ කියන්නෙත් මිනිස්සුන්ට අයිති දෙයක්නේ...

    ඔන්න ඔහේ හිතෙන එකෙක්ව බැදහං.. ඉන්න බැරිනං දික් කසාද වෙයං.. ආයේ බැදපං... ඒත් බැරිනං දික්කසාද වෙයං.. ඇයි අප්ෂෙට්ද..?

    අර කිව්වත් වගේ ඔය එක රෙද්දක්වත් නැහැ කසාද බැදීම අහෝසි කොරලා දැම්මනං... ඕන එකෙක් ඕන එකක් කියලා...:D

    ReplyDelete
    Replies
    1. මෙන්න රැඩිකල් අදහස්...

      Delete
    2. +++++++++++++++
      ඔන්න ඕකම තමා මාත් කියන්නෙ "විවාහය අහෝසි කරනු....!"

      තුට්ටුවක් වටින්නෙ නැති කසාද සහතිකේට මනුස්ස ජීවිත බිලිදෙන්න ඕන නෑ.

      Delete
    3. /කසාඳ පැත්තකින් තියමුකෝ... ඇයි මේ හැම එකාම දික් කසාදෙට මේ හැටි බය...?//

      ඇයි අප්පේ..ලෝකෙට ණය වෙලා මඟුල් කාලා කර ගත්ත කසාද දික්කසාදයෙන් කෙලවර උනාම ආයෙම කසාද බඳින්න වියදම...හි හී

      //ඔන්න ඔහේ හිතෙන එකෙක්ව බැදහං.. ඉන්න බැරිනං දික් කසාද වෙයං.. ආයේ බැදපං... ඒත් බැරිනං දික්කසාද වෙයං.. ඇයි අප්ෂෙට්ද..//

      අපෝ නෑ..මොන අප්ෂෙට්ද....මෙච්චර ජොලි වැඩකට..:P

      //අර කිව්වත් වගේ ඔය එක රෙද්දක්වත් නැහැ කසාද බැදීම අහෝසි කොරලා දැම්මනං... ඕන එකෙක් ඕන එකක් කියලා...:D//

      MR මහත්තයට කියලා බැරි වෙයිද ? :D

      Delete
    4. සිරාවටම හොඳයි... එතකොට ළිහිණි කියනවා වගේ මගුල් වලට ණය වෙන්නෙත් නැතිවෙයි කට්ටිය.

      Delete
  15. ලිහිණි ඔයාගෙන් එන හැම පොස්ට් එකකම වගේ තිබුණ හැංගුන ආවේගයක්.
    ඔයා දැන් නැහැ එහෙම දෙයක් නැහැ මන් කිව්වේ ඇත්ත කියයි .කමක් නැහැ
    ඒකට. ඒත් මට කියන්න තියෙන්නේ මුලින්ම ඔයාට ( නැතුව මේ සමස්තය ගැන නෙවේ)
    මේ මුකුත් හිතන්නතුව ජීවිතේ ගැන සුබවාදීව බලන්න.වැරදුන තැන් ගැනම මෙනෙහි
    කර කර ඉන්න එපා.ඒකෙන් වෙන්නේ ඔයාම නොදැනී ඔයාව , මේ සමාජෙට නොගැලපෙන
    කෙනෙක් වේගෙන යන එක.හැම කෙනාගේම වැරදි හොයන්න එපා.දැන් බලන්න අර
    රත්මලානේ සිද්දිය අල්ලාගෙන මුළු රටේම කියවනවා..ඒ උනාට කෝටි දෙකක්
    අතරෙන් සීයට කීයක්ද ඒ ?

    ඊට වඩා ආදරෙන් සැනසීමෙන් ජීවත් වෙන පවුල් කීයක් ඉන්නවද ? ඇයි ඒවා ගැන
    මිනිස්සු කතා නොකරන්නේ ? ඇයි ඒවා ගැන පත්තර වල නොයන්නේ ?
    මොකද ඒවගේ කිසි ගතියක් නැහැ. අමුත්තක් නැහැ ..අමුත්තක් තියෙන්නේ
    කපල කොටලා පෙති ගහල දාපු සිද්දි වලට.. ඒවා පස්සෙම යද්දී වෙන්නේ අන්තිමට
    ඒ දේවල් සාමාන්‍ය වෙන එක..හොදම උදාහරණෙ " ඇඟිලි සලකුණ " කියන
    මහා විනාසයක් කරපු වැඩසටහන් , " මාංචු " වගේ තහනම් කල යුතු පත්තර..

    " ඇගිලි සලකුණ "නම් නවත්ත ගත්ත ඒ දේවල් වලට සම්බන්දව හිටපු නිසා.
    ඒත් ඒකෙන් උන විනාසේ ගැන ඔයා දන්නවද ?
    ඔයාගේ කලින් පෝස්ට් එහෙකත් මන් කලින් මගේ පුංචිගේ( 87 ඉඳන් කාන්ත පොලිස්
    නිලධාරිනියක් එයා ) අද්දැකීම් දාන්න කියල කමෙන්ට් එකක් ගැහුවත් නොදැ හිටියා
    වැඩක් නැහැ නිසා. මොකද ඕව දැමීමෙන් වෙන්නේ තව තව හිත් වලට
    කුණු රසය යන එක.

    අපි සමාජයේ තියෙන හැම දේම රෙද්ද දාගෙන අපේ ජීවිත වල තේ කෝප්පේ
    කිඹුල්ලු හොයන්න යන්න හොද නැහැ. ( නමුත් මෙහෙම සමජෙක ජීවත් වෙන්නේ
    කියන දැනුවත් වීම අවශ්‍යයි , ඒක කිසි සෙත් නැහැ කියන්නේ නැහැ )

    මන් කියන්නේ හැම දේකම වැරදි හොයන්න යන්නේ නැතුව ඔයාගේ අනාගතේ
    ගැන සුබවාදී විදිහට හිතන්න.හැම පිරිමියම බල්ලෙක් කියන හැන්ගීමෙන් මිදෙන්න.
    ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන් ගෑනු සංහතියම බැල්ලියෝ කියල , පිරිමි සංහතියම
    බල්ලෝ කියල , ව්‍යාපාරිකයෝ හැමෝම බල්ලෝ , බැංකු නිලදාරීන් බල්ලෝ ,
    ලස්සන කොල්ලෝ බල්ලෝ , සල්ලි කාරයෝ බල්ලෝ .... .... .... ... etc

    එහෙම හිතල අපි කැලේ රිංගන්නද ලිහිණි ? නැහැ මේ බල්ලෝ බැල්ලියෝ මැද්දේ
    බලු නොවී ඉන්නයි ඕනේ මහත්මා විදිහට.ඒකයි ජයග්‍රහණය ජීවිතේ.

    අනිත් දේ මන් කලිනුත් ටිකක් කිව්ව , අනිත් අය බරෙන් නිදහස් වෙද්දී ඒ බර අපේ ඔලුවට
    පැටව ගන්න හොද නැහැ . එහෙම පටවා ගත්තොත් වෙන්නේ එතනින් එහාට ඒ කුණු ගොඩ
    අදින්නේ අපි .

    කාගෙවත් පුගලික අද්දැකීමක් සමස්ත සමාජයට ආදේශ කරන එක හරිම වැරදියි .
    මන් දැක්ක එදා ඉඳන් වෙන්නේ ඔය දේ.මේ රටේ අවුරුදු 30 යුද්දයක් තිබිලා
    160, 000 විතර මැරුණා.ඒත් ඒක මත නැතුව දැන් මුස්ලිම් අය එක්ක පැටලෙනවා.
    ඔය හමේ දේම එකම දේ.ඉන්දියාවේ මැරුණ ළමය ගැන මහා අනුකම්පාවකින්
    කතා කරනවා මන් දැක්ක හැමෝම , ඒත් මීට දවස් කීපෙකට කලින් ගණිකාවක්
    ගැන කුණු රසය හොය හොයා ගොඩක් දෙනා ගියා බොහොම අපූරුවට ඒ අයම .
    කාට කියන්නද ? මේක බොරු කාර සමාජයක් ලිහිණි. ඒ නිසා හොදම දේ
    තමන් අද්දැකීම් ලබාගෙන තමාගේත් , අනුන්ගේත් යහපතට වැඩ කරණ එක
    "බුද්ධිමත්ව"


    බලන්න කාන්තා විමුක්තිය ගැන කෑගහන්නේ පවුල් කැඩුන අය? ඇයි ඒ ?
    එතන තියෙන්නේ අනිකුත් අහින්සකියන් බේරා ගැනීමද නැත්නම් පලි ගැනීමද
    තමන්ට උන දේවල් වලට ලෝකෙන් ?ගොඩක් ඒ කල්ලි වලට එකතු වෙන්නේ
    අද්දැකීම් ලැබූවෝ.හරි භයානකයි ඒ දේවල් , මොකද ඒකෙන් වෙන්නේ විෂ
    බීජ දාල අනිත් හොදට ඉන්න අයගෙත් පවුල් කඩෙන එක.ඔහොම ඔහොම
    ප්‍රශ්න කන්දරාවක ප්‍රබේධ තමයි අපි මේ අහන්නේ දකින්නේ..හැමෝම කරන්නේ
    අතීසාරෙට අමුඩ ගහන එක.

    මොකද හොදට මර්කේට් කරන්න පුළුවන් ඒ දේ.මන් නම් එදා ඉඳල සිළුමිණ පත්තරේ
    යන "නෙලුම් විල " වගේ දේවල් කියවනවා ..ඒකෙන් පුදුම විදිහට හිතට ආදරය කරුණාව
    පිරෙනවා .
    නමුත් මිනිස්සු ආස ඇගිලි සලකුණ බලන්න නෙලුම් විල පැත්තක තියෙද්දී ..

    ඔයා මේ කමෙන්ට් එක දැම්මත් එකයි නැතත් එකයි .ඕන කෙනෙක් මට ඕන දෙයක්
    කිව්වත් එකයි.කොහොමත් මේ කමෙන්ට් එක මන් මගේ බ්ලොග් එකේ පොස්ට්
    එකක් විදිහට දානවා..
    ( මොකද ඇගිලි සලකුණ type රසය ඇත්තෝ හට මෙය ඉවසිය නොහැකියි )

    ReplyDelete
  16. අද හැමෝම දිග කමෙන්ට් දාලා නිසා මම මොකුත් කියන්නේ නෑ. හැබැයි ළිහිණි කසාදයකට වඩා සුදුසු නම් තමන්ව වටින කෙනෙක්ව ‍තෝරගන්න එක. ඒවගේ තමන් ඒ වටිනාකම හැමදාටම තියාගන්නත් ඕන. අදාල පුද්ගලයා විවාහය කියන බැඳීමට ගරු කරන කෙනෙක් විය යුතුමයි කියලත් කියන්න ඕන. ඇතැම් පුද්ගලයෝ විවාහ වෙන්නේ ක්ෂණික ආකර්ශනයට. ඒත් ඒහැඟීම් ඉතාම තාවකාලිකයි. හොඳ අය ගොඩාක් ඉන්නවා සමාජයේ. ඒ අයව හඳුන ගන්නත් ඒ හැටි අමාරුවක් නෑ. කතා කරන්න, ඇසුරු කරන්න මිතුරන් මිතුරියන් විදිහට එවිට තේරුම් ගත හැකියි. ඕකට ඔය වාසනාව කියන එක කොතරම් දුරට බලපානවද කියන එකනම් මම කියන්න දන්නේ නෑ. මොකද කවදාවත් වාසනාව මාලඟ නම් තිබුනේ නැති නිසා. කොයිතරම් නරකයෙකුව උනත් හොඳ මිනිහෙක් කරන්න කෙල්ලෙකුට පුළුවන් හැබැයි තමන් ඉන්න තත්වෙන් අත්මිදෙන්න අදාල පුද්ගලයටත් උවමනාව තිබිය යුතුයි. අනික කාන්තාව උපක්‍රමශීලී විය යුතුයි.

    ReplyDelete
  17. විවාහයට තහනම් වචනත් තියෙනවා. සැකය හීනමානය අධිමානය අනෙකා පහත් කොට සිතීම. මේවනම් ගෙට වැද්ද ගන්න හොඳම නෑ. විශේෂයෙන්ම සැකය.

    ReplyDelete
  18. දයාබර ළිහිණි නගෝ, පොඩ්ඩක් මෙහෙම හිතන්න. කසාද බඳින එක විතරක් නෙමෙයි. අද කාලේ අපේ ජීවිත කොයිතරම් නම් විපරීත වෙලා තියෙනවද, අපේ අම්මලා තාත්තලාගේ ජීවිතත් එක්ක බලනකොට ?

    සොදාදුවෙක් යුද්දෙට යනකොට ඔහු සටන් වදින්නෙ ජීවත්වෙන්න. ඒ සටනින් ඔහු පරදිලා මැරුනොත් ඒක යුද්දයේම ප්‍රථිපලයක්. එහෙම මැරෙනවා කියලා දැන දැන, සොල්දාදුවෝ යුද්දෙට ගියේ නැත්නම් මොකද වෙන්නෙ ?

    නංගි, මගේ වයස දැන් අවුරුදු 38ක්. ඔයාට වඩා අවුරුදු 12ක ජීවිත අත්දැකීමක් මට තියෙනවා :)

    මම මගේ නෝනත් එක්ක යාලුවෙනකොට අපි දෙන්නටම අවුරුදු 17යි. අපි කසාද බැන්දේ 2000 අවුරුද්දේ, අවුරුදු 8ක්ම ආදරය කරලා. දැන් කසාද බැඳලා අවුරුදු 13ක් වෙනවා (2013 ජනවාරි 20ට ). අපිට පොඩි එවුන් තුන් දෙනෙක් ඉන්නවා.

    කසාදේ කියන්නෙ හැමෝම දන්නවා වගේ ගොඩක් හැල හැප්පීම්, මත වාද, ගැටළු, සිත් රිදවීම්, කළකිරීම් ගොන්නක් එක්ක උනත් දෙන්නෙක් අතර ආදරය ඒ හැම බාධකයක්ම ජයගන්න බලපානවා. මම ගොඩක් වෙලාවට කුකුල් කේන්ති කාරයෙක්. ඒ වගේම ඒ කේන්තිය සෝඩා බෝතලයක් ඇරිය වගේ ඉක්මනින්ම නිවිලා යනවා. මගේ නෝනට කේන්ති යන හේතු මම හොඳා කාරවම වටහාගෙන ඉන්නෙ. ඒ වගේම මට කේන්ති යන දේවල් මගේ නෝනා වටහාගෙන ඉන්නෙ.

    සාර්ථකම ක්‍රමේ තමයි, තමන්ගේ භාර්යාවට, ස්වාමියාට කේන්ති ගිය වෙලවාට, තමන් පුළුවන් තරම් ඉවසන එක. ඒ වෙලාවට තමන් කැමති සින්දුවක්, අතීත ස්මරණයක් මතක් කරගෙන ඒ මූඩ් එකෙන් ගැලවෙන්න බලන්න ඕන. හැබැයි ඉඳලා හිටලා අඩ දබරයක් ඇති කරගන්නත් ඕනෙ. එතකොට තමයි දෙන්නගේ ආදරය ගැන දෙන්නට වඩා හොඳ වැටහීමක් ලැබෙන්නෙ.

    තව කියන්න ගොඩක් දේවල් තිබුනත් මගේ කමෙන්ට් එක දිග වැඩි වෙන හින්දා මෙතනින් නවතින්නම්.

    අපි අවුරුදු 13කට කලින් කසාද බඳින කොට තිබිච්ච පරිසරේ නෙමෙයි දැන් තියෙන්නෙ. ජීවිත ඊට වඩා සංකීර්ණ වෙලා.

    ඒත් එහෙම කියලා තමන්ගේ හිත හඳුන ගත්ත කෙනෙක් කසාද බඳින්න බයවෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. දුමි අයියා +++++++

      Delete
    2. මේ දෙයට බය වෙලා වැඩක් නැහැ. උදාහර කිහිපයක් අරන් අනිසි භියක් ඇතිවෙලා තියෙන්නේ. තේරුම් හනිමේ හැකියාව වැඩි කරගැනීමත් නම්‍යශීලි බව ඇති වෙනවනම් හැම දෙයක්ම හොඳින් විසඳෙවී..

      Delete
  19. අතටම විවාහය කියන්නේ බැම්මක් ඒ බැම්මේ බැඳෙන්න කලින් තමන් තේරුම් ගන්න ඕනේ තමන් එක්ක බෙන්දෙන අනෙක් කෙනා ගැන. සමහර විට අවුරුදු ගණන් ආශ්‍රය කලත් සමහර උන්වනම් තේරුම් ගන්න බැහැ නමුත් ගොඩක් දුරට අපිට කසාද ජීවිතේදී ගොඩක් දේවල් තමුන්ගේ සහකරුවා සහකාරිය වෙනුවෙන් කැපකරන්න වෙනවා එයාව තේරුම්ගන්න වෙනවා මුදල්මතම යැපෙන සමාජයක මිනිස්සුන්ව තේරුම් ගැනීම තරමක් අපහසුයි.

    ReplyDelete
  20. විවාහය තුටුටුවක් වටින්නෙ නෑ,වටින්නෙ මනුස්ස ජීවිත.....

    දීර්ඝ වශයෙන් විස්තර කරන්න වෙලාවක් නෑ....

    ReplyDelete
  21. මම ඔයාගේ සටහන කියවපු වාර ගාන නම් මතක නෑ... හෑබෑයි මමත් හිතන විදිහට අපි හෑමෝගෙම ජීවිත එක වගේ නෑනේ... ඒ නිසා අනිත් අයගෙ ජීවිත වලින් තමන්ගේ ජීවිතෙත් මෑනගන්න එපා... සමහර විට ඔයාට ඔයා හිතන විදිහෙම හොද කෙනෙක් ලෑබෙන්න වගේම කිසිසේත් හිතුවෙ නෑති විදිහෙ නරක කෙනෙක් ලෑබෙන්නත් පුලුවන්... එහෙම වෙන්න කෙනෙක්ගෙ වාසනාව මත.. හෑබෑයි තව දෙයක් සමහර මිනිස්සු ඉන්නව නරක උනත් ආදරෙන් පහදල දුන්නොත් හෑදෙන... අර පලවෙනි සිද්දියෙදි නම් මම කියන්නෙ ඔයාගෙ යාලුව දෑනගෙන හිටිය නම් එයාට තිබුන බදින්න කලින්ම තීරනයක් ගන්න.. අනික ඒ සෑමිය ඒ විස්තර නොකිය හිටිය නම් බිරිද දෑනගන්නෙ නෑනේ... එයා ඒක කියන්න ඈත්තේ හිතේ කහටක් නෑතුව ජීවිතේ පටන් ගන්න ඕනි නිසා.. දෙවෙනි කාරනාව ගෑන නම් ඉතින් කියන්න දෙයක් නෑ... ඒව ඉතින් බදින්න කලින් දෑනගන්න බෑ.... මොකද මගේ මතේ නම් ගෑහෑනු ලමයෙක් බදින්න කලින් දුරදිග ගිය සම්බදයකට යන්න උත්සාහ කරනව අඩුයි... එහෙම නෑතුව දෑනගන්නේ කොහොමද?
    ඔතන තව ප්රශ්නයක් තියනව ලිහිනි... නලීන් අය්ය කියනව වගේ මිනිස්සු බදිනකන් අදුරගන්න අමාරුයි.. එත් සමහර වෙලාවට අපි එයාලගෙ වෑරදි දකිනව එත් ආදරේ කරද්දි නොදෑක්ක වගේ ඉන්නවා... ඒවා සුලුවට ගන්නවා... අන්තිමට ඒවම තමයි ඉස්සරහට ප්රශ්න වෙන්නෙ...

    මම මීට වඩා ඔයාට කියල දෙන්න පුලුවන් දේවල් ගොඩාක් අත්දෑකීම් තියන කෙනෙක් ඔයාගෙ වයසම වගේ.. එත් මේ වගේ තෑනක මීට වඩා දෙයක් කියන්න අමාරුයි...

    අනිත් අයගෙ ජීවිතෙන් තීරන ගන්න එපා... ජීවිතේ කියන්නෙ ප්රශ්න තියන අවුල් තියන තෑනක් තමයි.
    හිතේ සතුටින් ජීවිතෙට මූන දෙන්න... හෑමදාම දුක් විදින්න වෙන්නේ නෑ...

    ReplyDelete
  22. අප්පේ...මේ කමෙන්ට් ටික කියෝලා පණ එපා උනා! :D
    මටනං වැඩි තේරුමක් නෑ ඔය ගැන! මොකෝ තාම පොඩි එකානේ! මොනවා උනත් විවාහේ කියන්නේ කර ගත්තට පස්සේ විඳවන්න තියෙන දෙයක් වෙනවානම් නොකර ගන්න එක තමයි හොඳ!

    ReplyDelete
  23. මම ලියන්ඩ හිතාගෙන ආපු අදහස් ගොඩක්ම ඔය දුමියා කියලා තියෙන්නේ අපුරුවට...ඒ හින්දා මම මෙතන වැඩිය මොකුත් කොටන්නේ නැහැ... ලබන්නාවූ 2013 සුබ නව වසර ලිහිණි ගේ සියලු පාර්ථනා ඉටුවන සුබ නව වසරක් වේවා කියලා පතනවා...

    ReplyDelete
  24. මේවා කියවද්දී පිරිමි අපිටත් කසාද බදින්න බය හිතෙනවා නොවැ :D

    ReplyDelete
  25. ලිහිණි අක්කාගෙ පෝස්ටුව කියෙවුවාම මට මතක් වුණේ සරත් විජේසූරිය සර්ගෙ "ජීවිතයට ගරු කරන්න" පොත. පවුල් ජීවිත අවුල් වෙන හැටි ගැන අපූරුවට ලියලා තියෙනවා ඒකෙත්. පුළුවන් නම් ‍හොයාගෙන බලන්නකෝ. සමහරවිට කියවලත් ඇති අක්කා..

    ReplyDelete
  26. අලේ මන්දන්නෙ නෑ මෙව්වා.. උඩ කමෙන්ටු ටික කියෙව්වම කරකවලා අත ඇරියා වගේ..

    මට මොකුත් කියන්ඩ අත්දැකීම් නෑනෙ.. විවාහය කියන්නෙ හිතාගෙන ඉන්න තරම් සිහින ලෝකයක් නෙමෙයි කියලා නම් සිතේ..


    ප.ලි. නිවාඩුව හොඳින් ගතකරාද? :)


    ReplyDelete
  27. අපේ අප්පෝ අපි ඔය කසාදෙ ගැන කතා කරන්න ගියොත් ඒක විහිළුවක් වෙනවා මොකද එකක් තමා ඒ වග මෙතන පට්ට විද්වත් අදහස් වැටිලා තියෙන ඒක අනික තමා තාම අපි තාම පොඩි උන් නිසා :)

    ReplyDelete
  28. පොස්ට් එක බලලා කමෙන්ට් ටික බලද්දි මොනා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා.. එවුවා මෙවුවා කොම උනත් මං අගෝස්තුවේ බඳිනවා.... :)

    ReplyDelete
  29. ළිහිණිගෙ පෝස්ට්ස් කියෙව්වහම මට හිතෙන දෙයක් තමයි... සමාජයේ ගොඩක් කාන්තාවන්ට වඩා තව කෙනෙක් ගැන හොයලා බලාලා හොඳ කෙනෙක් විවාහ කරගැනීමේ හැකියාව ළිහිණිට තියනවා. බිඳුන ආදර සම්බන්ධතා වලටත් වඩා පිරිමියෙක් ගැන විශ්වාසය නැති කරන්න ප්‍රධාන හේතුවක් තමයි, ළිහිණිට තාත්තා ගැන තියන අත්දැකීම. ඒවා ජීවිතෙන් සම්පූර්ණයෙන් පලවාහරින්න අමාරුයි. කෙනෙක් තෝරගනිද්දි බොහොම අවංකවම හිතලා බලන්න, තමන් අනෙකාගෙන් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ. දැන් ළිහිණි නිතර කේන්ති ගන්න කෙනෙක් නම් ඒ වගේම කෙනෙක් බැන්දහම ප්‍රශ්න වැඩියි නේ. ඒ වගේම තමන්ගේ තියන හොඳ ගතිගුන, දුර්වලතා ඇසුරෙන් මම බඳිනකෙනාට අඩුම ගානේ මේ මේ ගුණාංග තියෙන්නෙ ඕනේ කියලා හිතාගන්න පුළුවන්. හැබැයි අර මාරයා කිව්ව වගේ මොනවා කලත් අපිට කෙනෙක්ව 100% තේරුම්ගන්න බැහැනේ... කලහැකි උපරිම දේ කරන්න... ඒත් බැරිනම් දික්කසාදය කියන්නෙ නරක දෙයක් නෙමෙයි. ලංකාවෙදි අපි ආදර සම්බන්ධතා පටන් ගන්නෙම විවාහයෙන් කෙලවර කරන්නනේ. එක ඉතින් අවුලක්... තමන්ට හොඳ නැත්නම් වෙන්වීමේ හැකියාව සහ එසේ වෙන්වීමක් දරාගැනීමේ හැකියාව වැදගත්. මේවා කියන තරම් ලේසි නෑ කියලා දනන්වා. සමහර විට වර්තමානය අතීත අත්දැකීම් වලින් පොඩ්ඩක් මුදවගන්න උත්සහ කලොත්, වෙනස් විදිහකට බලන්න බැරිවෙන එකක් නෑ.

    ReplyDelete
  30. එකක් ගොඩක් අය විවාහ වෙන්නෙ අවශ්‍ය ප්‍රමාණයට එකිනෙකා තේරුම් අරන් නෙවෙයි.
    ඒ වගේම අද කාලේ ජීවිත ගොඩක් සංකීර්ණ වෙලා. තමන් එක්ක ජීවත් වෙන කෙනාගේ ඕනෑ එපාකම් බලන්නවත් වෙලාබක් නෑ. ඉතිං ශක්තිම් බැඳීමක් ඇති වෙන්න ඉඩ අඩුයි.

    ReplyDelete
  31. මෙතන දුකට කාරණේ ඔයාගෙ යාළුවෝ ඔක්කොටම හම්බ වෙලා තියෙන්නෙ අවුලක් තියෙන කොල්ලෙක් විම. සර්ව සම්පූර්ණ හරි තමන් හිතන විදියම කෙනෙක් හරි හොයාගන්න එක තමයි හීනෙ..
    ඒ නිසා ඔයා බලාපොරොත්තුවෙන කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩු කරන්න.. සාමකාමී පවුල් ඕන තරම් මේ රටේ තියෙනව.. ධනාත්මකවත් හිතන්න..
    ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් ළිහිණි අක්කො

    ReplyDelete
  32. මෙහි දක්වා ඇති සුවිශේෂී සිදුවීම් සාධාරණීකරනය කොට විවාහය ගැන නෙගටිව් මතයක් හදාගැනීම වරදකි.

    ReplyDelete
  33. ආදරය, විවාහය කියද්දි මටත් දැනෙන්නෙ බයක්.... ජීවිතේ අළුත් පටන් ගැන්මකට වඩා මේ යන විදිය හොදයි වගේ.

    ReplyDelete
  34. ඔයාගේ site එක බැලුවහම හිතෙන්නේ හැම දේම ගැන ඔයා තරහින් ඉන්නේ කියල. සමහර විට ඒ ඔයා ලබල තියන experiance නිසා වෙන්න ඇති. මම හිතන්නේ ඔයා ඔයට වඩා ජීවිතේ ගැන සුබවාදීව හිටනවන් හෝද. එහෙම උනොත් ඔයට වඩා හුගක් දුර ඔයාට යන්න පුළුවන්,

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතෙන්නෙ එහෙම නම් ඒක කියවන ඔයාගෙ දුර්වල කමක්. මොකද නිදහසේ තමන්ට හිතෙන දෙයක් ලියන්නෙ තරහින් කියලා ඔයාට හිතෙන හන්දා... මට හිතෙන දේ ලියන්නෙ තරහින්ද නැද්ද කියලා ඔයා කොහොමද කියන්නෙ ? මේ මගේ නිදහස් සිතුවිලි...හි හි හී

      Delete
  35. කලබලේ විවහ වන්නා නිවී හැනහිල්ලේ පසුතැවෙ

    ReplyDelete
  36. බොහෝවිට අප ජීවත් වන්නේ අපේ සැබෑ සවරූපයට අනුව නොවේ. ආරුඩ කරගත්තු ජීවිත රටාවක් තුලය. අප සිතන්නේ විවාහය යනු අපුර්වතම හා විස්මයජනක ඉන්ද්‍රජාලික සිතුවමක් ලෙසින්ය. කාලය සමග එහි වර්ණ සංයොජනයේ නොහැලපෙන වර්ණ, නොදුටු අදුරුපැති දකින්නට පටන් ගනී.අවසන එහි ඇති සිතුවමක් ද නොවේ.

    මෙහි වරද නම් සිතුවම මිහිපිට නොමැති වර්ණයෙන්, විස්මයජනක ලෙස ඇතැයි සිතූ විකාර රූපී වූ ඉනද්‍රජාලික සිතුවිල්ලය...

    අප එකිනෙකාගෙන් වෙනස් අය වෙමු.. එක් තැනෙක සිදුවන්නා වූ දේ එලෙසින් වෙනත් තැනෙක සිදුවන්නේද නැත. විචාරවත් වන විට නරක හදුනාගත හැක. ඒ තුලින් සිදුවන බොහෝ අවැඩ වලක්වාගත හැකිය..සිදුවන හානි අවම කරගත හැකිය.. කෙසේ වුවද සිදුවීම භාර ගැනිම හෝ ඊට අභියොග කිරීම කල යුතු අතර වෙනත් සමකාලින සිදුවීම් තුල අනියත බියක් ඇතිකර ගැනීම සුදුසු වන්නේද.....?

    ReplyDelete
  37. ඔයාගෙ ෆ්‍රිජ් කතාව කියෙව්වාම තගාට ටිකක් තද උනා. මගෙ සද්දකෝසෙ ටිකක් කියන්නෙ නහුතෙ නෙමෙයි හුත නහුතෙ ( 10යේ 28 වෙනි බලය ). ඕක තමා ලෝකස්වභාවය, එක බඩ වැල කඩා ගෙන ආවත් . . . . ඇතෑරලා දාමු, අමතක කරමු අසීරුවෙන් ඒ හරි වෙච්ච දේ. ඕකේ ! " නානත්ථ කායෝ නානත්ථ සංඥා " උඹට කවදාවත් වරදින්නෙ නෑ කෙල්ලේ, ඒක Sure and Shot.

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.