මාව කියවන අය අතර..

Showing posts with label මට හිතෙන හැටි. Show all posts
Showing posts with label මට හිතෙන හැටි. Show all posts

05 March 2013

මෙවන් අය තවදුරටත් අපේ වීරයෝ වේවිද ?


එකෝමත් එක කාලෙක මිනිස්සුන්ගෙ වීරයෝ උනේ නළුවන් සහ නිළියන්..ඉන්දියාවේ නම් ඒක උන්මාදයක්..තවත් ටික කාලයක් යද්දී හුඟක් මිනිස්සුන්ගෙ වීරයෝ උනේ ක්‍රිකට් ක්‍රීඩකයෝ.. ක්‍රිකට් වලට ආස නැති ..ආදරය නැති මිනිස්සු හොයා ගන්නත් බැරි තරම් කාලයකුත් තිබුනා..යන්තම් තේරෙන කාලෙ ඉඳන්ම අපේ ගෙදර වගේම අපේ අහල පහල ගෙවල් වල උන්නු හැමෝටම ක්‍රිකට් " උණ " තිබුනා.මටත් ඒ උණ බෝඋනා... ඒක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කාලේ.. අඩුම තරමින් ගහන පාරක්වත් දන්නෙ නෑ. රූපවාහිණිය වටේ ඉඳන් අපේ අයියා එක්ක ඉන්න අනෙත් කොළු රෑණ කෑගද්දී...මමත් කෑ ගැහුවා..හුරේ දැම්මා..

ටිකින් ටික ක්‍රිකට්වලට තියෙන ආශාව වැඩි උනා වගේම ක්‍රිකට් ගැන, ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන, හොයන්න තියෙන ආශාවත් වැඩි උනා. මොන ලෝකෙක තියෙන ක්‍රිකට් මැච් එකක් උනත් කර ඇරගෙන බලාගෙන උන්නා.. සනත් ජයසූරිය...මගෙ ක්‍රිකට් ලෝකයේ වීරයා.. සනත් බැට් එකත් උස්සාගෙන පිට්ටනියට එනකොට මගෙ හුස්ම නැවතුනා.. පිච් එක උඩ අතන හද හදා..මෙතන හද හදා...පිත්ත හද හදා සනත් ලැහැස්ති වෙනකොට....ඒ එක මොහොත පපුව බිත්තර දාහක් තම්බන්න පුළුවන් තරම් රත් වෙලා. බත් එක අතේ තියාගෙන..ඇස් දෙක සනත් දිහාට දාගෙන..ඉන්න වෙලාවට පස්ස පැත්ත පුටුවෙන් ටිකක් ඉහළට ඉස්සෙනවත් එක්ක. අම්මා ලඟට ඇවිත් කණ ලඟ කෑ ගහද්දි තමා මතක් වෙන්නෙ බත් කාලා නෑ කියලා. ඒ වෙද්දී බත් එක සීතල වෙලා...ඉඳුල් අත වේලිලා...

ක්‍රිකට් වලට තිබ්බ ආශාව හින්දම බඩගින්නක් තියා නිදිමතකවත් දැනෙන එකක්ද..මහ රෑ ජාමේ ඇස් ලොකු කරගෙන රූපවාහිනි තිරයට ඇස් ඔබාගෙන හුරේ දැම්මේ.ඒ වගේද  මැච් එකක් දිනනකොට දැනෙන සතුට... පැරදුනත් පැරදුනේ " ඇඟට දැනෙන ගේමක් " දීලා.. එහෙව් කාලෙක ක්‍රිකට් වලට ආදරය කරන එක අහන්නත් දෙයක්ද...

96 ලෝක කුසලානය අරන් එද්දී අපි පොඩි උන්. ඒත් " කැප්ටන් කූල් " ගැන තිබුනේ ගෞරවයක්. ඒ නිහතමානි කමට ගෞරවයක්. දවසක් කැප්ටන් කූල් එක්ක කතා කරන්න ආසාවක් හිත ඇතුලේ තිබුනා. ඒ ආශාව ඉටු උනේ සෑහෙන කාලයක් ගියාට පස්සෙ.එතකොට කැප්ටන් කූල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිහින්..  මට මතකයි එදා අපේ ඉස්කෝලෙට ඇවිත් අර්ජුන රණතුංග කියාපු කතාව..

" ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. හැම ක්‍රීඩාවකදීම ක්‍රීඩාවට උචිත සැහැල්ලු ඇඳුමක් ඇන්දත්...ක්‍රිකට්වලට අඳින්නේ කලිසම.ඒ නිසා ක්‍රිකට් වලදී ඒ කලිසමේ නම්බුවත් තියන්න ඕනේ "


************************************************************************

ඒ ඉස්සර...ඉස්සර තමා ක්‍රිකට් " මහත්වරුන්ගේ " ක්‍රීඩාවක් උනේ..අද වෙද්දී ක්‍රිකට් වලට වගේම ක්‍රිකට් ගහන මහත්වරුන්ටත් මහත්මා ගුණය එහෙම පිටින්ම අමතක වෙලා ගිහින්..

ගෞරවයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු..ඒ නිසාම පොඩි මිනිස්සුන්ගේ ඉඳන් ධනපති පන්තියේ මිනිස්සුන්ගේත් ගෞරවය දිනා ගත්තු ක්‍රීකඩයෝ මුදල් මතම ඉඳගෙන ක්‍රිකට් ගසන්නට තරම් පෙළබිලා. ඒ විතරක්ද... ලැබෙන මුදල. වැටුප ගැන සෑහීමකට පත් නොවුනොත්.. තරඟ වර්ජනය කරන්නටත් පෙළඹිලා..

එක දිගට විකට් අරන් ලෝක වාර්ථා තියලා අපේ ගෞරවය ඉහලින්ම දිනාගෙන උන්න ක්‍රීඩකයෝ අද ඒ අයට හුරේ දැම්ම අයට කතා කරන්නේ ඉතාම නින්දිතව..

" අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? ..." 

" ඇයි ? මාව කලින් දැකලා නැද්ද ? නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ..."


මේ ඔවුන්ව කරේ තියන් හුරේ දැම්ම මිනිස්සුන්ට දෙන ප්‍රථිචාරයි. මේ මහත්මා ක්‍රීඩාවේ සැබෑ තත්වයයි.

ලසිත් මාලිංග කියන්නෙ ගමෙන් නගරයට ඇවිත්...තමන්ගේ දස්කම් වලින් ලොවක් දිනා ගත්තු ක්‍රීඩකයෙක්. දුප්පතාගෙ ඉඳන් පෝසතාගේ පවා ආදරය දිනා ගත්ත කෙනෙක්. ඒත් ටිකින් ටික ඉහලට එද්දී තමන් ඉහළට ඔසවා තැබූ  ඉණිමඟට පයින් ගැසීම කෙතරම් ශිෂ්ඨදැයි ලසිත්ට දෙවරක්ම හිතන්න සිද්ද වෙනවා. ඔහු වැනි ක්‍රීකඩකයෙක් තමන් ආමඟ අමතක කරන්නේ තමගේ තත්වය රුපියල් මිලියන ගණන්වලට ලංසු තැබෙන බව දන්නා නිසාමද ?

ඔවුන් ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් කියලා හිතාගෙන උන්න කාලය හිතින් මකා දමන්නට කාලය ඇවිත් ඇති බව මගේ හැඟීමයි.. කෙනෙකු ජනප්‍රිය වෙන්නට වෙන්නට ඔහු තුල නිහතමාණිකමත්...මනුස්සකමත් තිබිය යුතුයි. විජය කුමාරතුංග නම අසහාය නළුවාට..එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට මිනිසුන් තවමත් ආදරය කරන්නෙ ඔහු තුල තිබුන සැබෑ නිහතමානි කමටත් මනුස්සකමටත්ය.

රටේ වග කිව යුත්තන් අයුක්ති අසාධාරණ වෙනකොට... පහලින් සිටින අයත් ඒ තත්වයට පත්වෙන එක පුදුමයකුත් නොවේ ..මනුස්සකමක්..විනයක් නැති මෙවන් ක්‍රීඩකයින් තවදුරටත් අපේ වීරයෝ වේවිද ?

බල්ලනවත් නොකනවායි කියන කාසි නිසාම මිනිසුන් බල්ලන් වීමට වැඩි කාලයක් නොයන බව නම් දැන් සහතිකය.


ප ලි

හිතට දැනුන කලකිරීමෙන් හදිසියේ කුරුටු ගෑ වගයි

13 February 2013

චිත්‍රපටවල..ටෙලි නාට්‍යයවල වගේ ගීතවල දෙවෙනි කොටසක් තිබුනොත් කොහොමද ?



චිත්‍රපට.. කතා පෙළක්  එහෙමත් නැත්තම් series ටිකක් හැදෙන්න ගත්තම ඒ චිත්‍රපට බලන්න පේක්ෂකයෝ හුඟාක් උනන්දු වෙනවා. එක චිත්‍රපටයක් බැලුවට පස්සේ ඒකෙ දෙවෙනි කොටස එනකල් කල්මරනවා. මේ කොටසේ මොනවා වෙයිද ? දෙවෙනි එකෙන් ඉවර වෙයිද එහෙමත් නැත්තම් තුන්වෙනි එකකුත් ඒවිද කියන කුතුහලය හිත්වල ඇතිවෙනවා.
හුඟාක් වෙලාවට මේ series චිත්‍රපට බිහිවෙන්නෙ හොලිවූඩ් චිත්‍රපට හරහා.

Terminator, The Matrix, Mission Impossible, Speed, Lord of the Rings, Harry Potter, The Twilight Saga, The Dark Knight කියන්නෙ ඔය වගේ බොහෝම ජනප්‍රිය උන චිත්‍රපට කතා පෙලක්.

හොලිවූඩ් චිත්‍රපට කතා පෙලක් හැටියට බොහෝම ජනප්‍රිය වෙද්දී බොලිවූඩ් සිනමාව එහෙමත් නැත්තම් හින්දි සිනමාවෙත් චිත්‍රපට කතා පෙලක් හැදෙන්න ගත්තා.

Razz , Doom , Don  වගේ හින්දි චිත්‍රපට පෙලකුත් ආවා. ඇයි එතකොට අපේ සිනමාවේ ? දැන් නැතත් ඉස්සර නම් ඔය දිගට හරහට ඔය වගේ ඒවා තිබුනා.

සුමනක්කලා රඟපාන අවදියේ ඇගේ වෛරය 1, ඇගේ වෛරය 2 ,ගිණි ඇවිළුනු මධුසමය 1,2

එතකොට ටෙලි සිනමාවෙත් ඔය වගේ කතා මාලා ඕනෑ තරම් තියෙනවනේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි tv series.

ගීතයක ඒ වගේ වෙන්නෙම නැති තරම්නේ. ගීතයක් කිව්වම ඒක එක ගීතයක් මිසක් දෙකක් කොහෙන්ද.. ඒත් දැන් ගීත අහන ගමන් බලන්නත් පුළුවන් නිසා මේ බලන්නකෝ..

මතකද ගයන්තගෙ රවුන් කඩේ සින්දුව ?


පලවෙනි සින්දුව ඉවර වෙන්නෙ දෙන්න කරත්තෙන් පැනලා යන තැනින්. ඊට පස්සෙ ආපු රවුන් කඩේ 2 


මේ රොමේෂ් සුගතපාලගේ  දිගු දෑස දුටුවාම 



අනේ ඉතින් දම්සාරි වාහනේකට හැපිලා අන්තීමට දෙන්නට වෙන්වෙන්න වෙනවනේ..මෙන්න ඒකෙ ඉතිරි කොටස

දිගු දෑස 2 සිනාසෙන්න බෑනේ


කොහොමද වැඩේ ?


(ඔය වගේ තවත් ගීත තියෙනවා නම් කියන්නකෝ) 






31 December 2012

සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !



ඉතින්..ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙන්නයි යන්නේ... 2012 අවුරුද්ද ගත උනේ හිතා ගන්නත් බැරි වේගයකින්...හුඟක් දේවල් අතීතයට එකතු කරලා..

දෙසැම්බර් මාසයේ 31 දාට මම හැමදාම කරන වැඩක් තියෙනවා. කොලයක් අරගෙන ලබන්නාවූ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන වැඩ කරයුතු සටහන් කරනවා. ඒ අවුරුද්ද ඉවර උනාට පස්සේ දෙසැම්බර් 31 දාට බලනවා ඒ සටහනින් මොන මොන වැඩ කොටස් මගෙ අතින් කෙරිලා තියෙනවද...තව ඉතිරි ඒවා මොනවද කියලා...ඉතිරි ඒවා ඊ ලඟ අවුරුද්දේ සටහනට එකතුවෙනවා..ඒක දැන් අවුරුදු කීපයක් තිස්සේ කෙරීගෙන එන දෙයක්. අදත් ඒ වගේම අලුත් සටහනක් එකතුවෙනවා..අපි ඉතින් ගෙවල් දොරවල්වලින් ඈත් වෙලා තනියම ජීවත් වෙන අයනේ. " මේක මෙහෙම කරපං..අරහෙම කරපං " කියලා ඇන ඇන කියන්න අය ලඟ නැති වෙලාවේ එහෙම සටහනක් තියෙන එක හොඳයි...

මහා ලොකු බලාපොරොත්තු නැතත්....කීයක් හරි ඉතිරි කරගෙන මටයි කියලා බිං අගලක් අරගන්න තියෙන බලාපොරොත්තුව තමා උඩින්ම තියෙන්නෙ...ඒක අවුරුද්දෙන් අවුරුද්දට පරණ වෙන බලාපොරොත්තුවක්... :) ඒකට මොකද...දවසක ඒ බලාපොරොත්තුවට ලං වෙන්න ලැබේවිනේ...

ගිය අවුරුද්දේ ජනවාරි පළවෙනිදා කිරිබත් කෑවේ තනියම උනත්..මේ අවුරුද්දේ අම්මා ඇවිත් ඉන්න නිසා තනියක් නෑ... විශේෂම දේ තමා වෙනදාට වඩා දැන් මගේ අම්මා මා එක්ක හුඟාක් සමීපයි...ඒක මට ලොකූ දෙයක්... අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගන්න  අලුත් අවුරුද්දේ අම්මගේ කකුල් අල්ලලා වැඳලා ආශිර්වාද ගන්නකොට...අම්මා හීනියට ඔළුව අතගාවි...ඒ ආශිර්වාදය හිත අස්සට මහා හයියක් වේවී...

ඉතින්..බ්ලොග් ලෝකයේදී දැන හඳුනා ගත්ත...දයාබර සොහොයුරු සොහොයුරියන්  හැමෝම මේ වෙද්දී අලුත් අවුරුද්ද පිළිගන්න සූදානම් ඇති.. අපේ ජීවිතේ අතීතයට එකතු උන 2012 වසරේදී අපි අතින් සිද්ධ උන..අතපසුවීම්..හිත් රිදවීම්..හිත් අමනාපකම්... වැරදි..හැමදෙයක්ම අපි අතීතයේම තියලා...අලුත් හැඟීමක් එක්ක...අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද පටන් ගමු...2013 අවුරුද්දේදී...අපේ හිත් වගේම අනිත් අයගේ හිත්ද සතුටින් තියමු...

ලබන්නාවූ අලුත් අවුරුද්ද...සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !


29 December 2012

"හොඳ පවුල් ජීවිතයක් "... මට නම් හීනයක් විතරමද කොහෙද ?


සරා අයියගේ ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද...? පෝස්ට් එක කියෙව්වම හිතට ආපු දේවල් බොහෝමයි.

වැඩිය දුර නොයා මගේ ගෙදර අපේ අම්මගෙ තාත්තගෙ දෙදරලා ගිය පවුල් ජීවිතය ගැන හිතද්දී මට දැනෙන්නෙ මහා කලකිරීමක්.අපි නොදන්න කිරිසප්පයෝ කාලේදී මගේ තාත්තා අපිව දාලා වෙන ගැහැණියකගේ තුරුළට ගිහින් තිබුනේ ඇයි කියන හේතුව යන්තම් තේරෙන කාලේ ඉඳන්ම මම හෙව්වා. තවමත් ඇස් දෙකෙන් දැකලා නැති තාත්තා කියන කෙනා අම්මව පැත්තකට දාලා තව සම්බන්ධයක් පටන් අරන් තියෙන්නේ අම්මගේ වැරැද්දකට නෙමේ.ඒ හේතුව තවමත් මට ගැටළුවක් විතරයි. මහා උගත් කමක් නොතිබුනත් හරිම කැපවීමකින් සරළ ජීවිතයක් ගත කරපු අම්මාගෙන් මම ජීවිතයේ හුඟාක් දේවල් ඉගෙන ගත්තා. පිරිමියෙක් නැති ගෙදර දරුවො දෙන්න එක්ක අම්මා ඔට්ටු උන ඔට්ටුවිල්ල මම දැක්කා. කසාදයක් කැඩිලා ගිය ගැහැණියකට සමාජයේ ඔළුව උස්සගෙන ඉන්න අමාරු තැන් වලට අම්මා උපේක්ෂාවෙන් මූණ දුන්න හැටි මම දැක්කා. අම්මාට නොලැබුන නිදහස් සොඳුරු පවුල් ජීවිතයක් මට ලබා දෙන එක අම්මාගේ එකම ප්‍රාර්ථනාව කියලා මම දන්නවා.

කසාදයක් කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක ඕනෑම ගෑණු ළමයෙකුගේ හීනයක්. ඒ හීනය මමත් දකිනවා. ඒත් ඉතින් කසාදයක් කරගන්නවායි කියන්නෙ ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේනේ. අම්මා නම් කියන්නෙ කසාද බඳින වයසක ගෑණු ළමයෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඒක ලොකු බරක් සහ වගකීමක් කියලා. වෙන්නැති..දැන් මට අවුරුදු 26යි. මගෙ වයසේ හුඟාක් දෙනෙක් මේ වෙද්දී කසාද බැඳලා දරු මල්ලොත් ඉන්නවා.

ඇත්තටම කිව්වොත් කාලෙකට කලින් මම හිතාගෙන උන්නේ ඉක්මනින් කසාද බඳින්න ඕනෑ කියලා. ඒත් අතරමඟ නැවතුන ආදර සම්බන්ධයෙන් පස්සේ හිත ටික ටික වෙනස් උනා. ඒ එක්කම දැන් සමාජයේ කසාදය තුට්ටු දෙකකට මායිම් නොකරද්දී...කසාදයකට තියෙන බයත් හිතට දැනුනා. පහුගිය කාලය පුරාවටම ඇහුවේ දැක්කේ පවුල් ජීවිත දෙදරලා ගිය සිදුවීම්...මගේ වයසේ මගේම යෙහෙළියන්ගේ පවුල් ජීවිත ඇතුලත මා එක්ක විස්තර කරද්දී සමහර දේවල් මට අදහා ගන්න පවා බැරි උනා.

කසාද ජීවිතයක් කියන්නේ බුල්ටෝ එකක් තරම් පැණි රහත් එක්ක කරවිල ගෙඩියක තිත්ත රහත් මුසුවෙච්චී දෙයක්...ඉස්සර කාලේ අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක පවුල් ජීවිතයකට ඉහලම තැනක් ලැබුනා. මොන තරම් කරදර..හිරිහැර..දුක් කම්කටළු ආවාත්...නොකැඩී තිබුන පවුල් ජීවිත අපේ අවට තිබුනා...දුක සතුට හවුලේ ඒ අය බෙදා හදා ගත්තා. ඒත් අද සමාජයේ ජීවත් වෙන අයට පවුල් ජීවිතයක වටිනාකමක් තියෙනවද කියලත් සැකයි. ආදර සම්බන්ධයකින් හෝ වේවා..එහෙමත් නැත්තම් යෝජිත කසාදයකින් හෝ වේවා පවුල් ජීවිතයක් ආරම්භ කරලා මාස කීපයක් නැත්තම් අවුරුදු දෙක තුනක් යද්දී ඒ ජීවිත කැඩිලා විසිරිලා යන තත්වයක් ඇති වෙලා. කසාදයක් කියන්නෙ ලෝකෙට පේන්න කරන චාරීත්‍රයක් විතරක්ම නෙමේ. දෙයාකාරයක අදහස් තියෙන දෙන්නෙක් ජීවිතකාලයම එකට බැඳීමක්. ඒ බැඳිම පවත්වාගෙන යන්න දෙන්නගේම ඉවසීම, කැපකිරීම හා විශ්වාසය එක්කම පවුල තුල වගකීම තියෙන්නත් ඕනෙ . ගැටළු ඇති වෙන අවස්ථාවලදී කතා බහෙන් ඒ ගැටළු ලෙහාගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක මගේ විශ්වාසයයි. හැබැයි ඒක එක්කෙනෙකුටම විතරක් කරන්න බැරි දෙයක්. අද සමාජයේ මේ වගකීම් කියන දේවල් තකන්නෙ නැති තත්වයක් තියෙන්නේ.

පහුගිය කාලයේදී මගේ හිතවත් යෙහෙළියන් දෙදෙනෙකුගේම පවුල් ජීවිත අවුලෙන් අවුලට ගිය හැටි මම දැක්කා. එහෙම වෙන්න හේතුව මේකයි කියලා ඒ අය විවෘතවම මා එක්ක කතාබහ කලා. සමහර ගැටළු ඇත්තෙන්ම විසඳාගන්න පුළුවන් ඒවා. තවත් සමහර හේතූන් හරිම සංකීර්ණයි.

මගේ එක යෙහෙළියකගේ පවුල තුල සැකය කියන දේ නිසා විසඳාගන්න බැරි තරම් ප්‍රශ්ණ ඇතිවෙලා තිබුනා. ඒ යෙහෙළියට එයාගේ සැමියාව අවිශ්වාසයි. හේතුව හැටියට මගෙ යෙහෙළිය කියන්නෙ එයාගෙ සැමියා කසාද බඳින්න කලින් ගණිකාවන් ආශ්‍රය කිරීම. මේ ගැන මගෙ යෙහෙළිය දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි කසාදයෙන් පස්සේ. මේ හේතුව නිසා මගේ යෙහෙළියට ඇගේ සැමියාව පුදුමාකාරව සැකයි. ගෙදරින් කලින් ගියත්..ගෙදර එන්න ටිකක් පරක්කු උනත්...හිත ඇතුලේ තියෙන සැකය නිසාම...ඇතිවෙන බහින් බස් වීම් කෙළවර වෙලා තියෙන්නෙ පවුල් ජීවිතයත් ඉවරවෙන තරම් දුර ගිහින්. සැකය නැති කර ගෙන ජීවිතය ආයෙමත් හදා ගන්න කියලා හැමෝම උපදෙස් දුන්නත්...ඒ දෙන්නම කියන්නේ හදා ගන්න බැරි තරම් ඒ පවුල් ජීවිතය දෙදරලා ඉවරයි කියලා. විශ්වාසයක් නැති සම්බන්ධයක් ඇතුලේ ජීවත් වෙන එක වදයක් හැටියට මගෙ යෙහෙළියගේ සැමියා දකින්න ඇති. මම හිතන විදියට පවුල් ජීවිතයක මුලින්ම තියෙන්න ඕනෙ විශ්වාසය...

මගේ තවත් යෙහෙළියකට තිබිලා තියෙන්නෙ හරි අපූරු පවුල් ජීවිතයක්. කොටින්ම කියනවා නම් ලෝකයට පේන්න විතරක්ම තිබිලා තියෙන පවුල් ජීවිතයක්. ඒ යෙහෙළියගේ සැමියා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ වාණිජ බැංකුවක ඉහළ නිළධාරියෙක්. කොටින්ම මගේ යෙහෙළියගේ සහෝදරයාගේ ගජ මිතුරෙක්. ඒ මිතුරු කම නිසාම සහෝදරයා එක්ක ගෙදර ආ ගිය ඔහු මගේ යෙහෙළියට විවාහ යෝජනාවක් ගෙනත්. කොටින්ම සහෝදරයා වර්ණනා කරලා තියෙන්නෙ ඒ වගේ කෙනෙක් ලැබීම වාසනාවක් කියලයි. අවුරුදු එක හමාරක ආදර සම්බන්ධයකින් පස්සේ දෙන්නා විවාහ උනා. කිසිම අඩුපාඩුවක් නැතිව..ගේ දොර..වාහන එක්ක එයාලා ගත කල ජීවිතය නිසාම මම හිතාගෙන උන්නේ මගේ යෙහෙළිය ඇත්තෙන්ම හොඳ සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරනවා ඇති කියලයි. ඒත් ඇත්ත දැනගද්දී ඒ පවුල් ජීවිතය දික්කසාදයකින් කෙළවර වෙන්න නීති පියවරත් අරන්.

කොටින්ම කියනවානම් ඒ යෙහෙළියගේ සැමියා මානසීක රෝගියෙක්. එහෙම කියන්නෙ ඇයි දන්නවද... ඒ මනුස්සයා ස්වයංවින්දනයට තදින්ම ඇබ්බැහි උන කෙනෙක් ලු. කොටින්ම කියනවා නම් තමන්ගේ බිරිඳට පේන්න ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක්. කසාද බැන්ද දවසේදීත්..මගේ යෙහෙළියට පේන්නම ස්වයංවින්දනයේ යෙදුනාලු. මගේ යෙහෙළිය ඒ ගැන අහද්දී ඔහු කියනවාලු ඒක ඕනෑම පිරිමියෙක් කරන සාමාන්‍ය දෙයක් කියලා. මගේ යෙහෙළියගේ උවමනාව නිසාම මාසයකට එක වතාවක් විතර ලිංගික සම්බන්ධකම් පැවැත්තුවත්...ඒ ඕනෑවට එපාවට වගේලු. මගේ යෙහෙළිය කියන හැටියට රෑ යාමයේ කොම්පියුටරයේ පැලපදියම් වෙලා මේ මනුස්සයා කරන්නේ කාමුක චිත්‍රපටි බලන එකත්...ජංගම දුරකතනයේ තියෙන කාමුක ඉරියව් සහිත පින්තූර බලන එකත්ලු. අවුරුදු තුකක් තිස්සේ මගේ යෙහෙළිය ඇගේ සැමියාව මේ ඇබ්බැහිවීමෙන් ගලවාගන්න උත්සාහ කරත් බැරිවෙලා. තව දුරටත් ඒ ජීවිතයේ ඉන්න ඇයට හයියක් නෑලු... ඉවසීමේ සීමාව ඉක්ම ගිහින් එතැන් ඉඳන් මගේ යෙහෙළිය කරලා තියෙන්නෙ ඔහුත් එක්ක ආරවුල් ඇති කර ගන්න එක. මේ ආරවුල් නිසාම මගේ යෙහෙළියට පාරේ යන්න බැරි තරම් ගුටි බැටත් ලැබුනාලු. එකම ගෙදර කාමර දෙකක අවුරුදු තුනක් තිස්සේ ජීවත් වෙලා තියෙන ඔවුන් දැන් නීතියෙන් වෙන්වෙන්න යනවා.

පහුගිය දවස්වල සිදු උන රත්මලාන ප්‍රදේශයේ සිදුවීම බලන්න. බිරිඳ එක්කම දරුවො දෙන්නත් මරාදලා ඒ තිරිසනා බලාපොරොත්තු උනේ මොනාද....අලුත් පවුල් ජීවිතයක්..තමන් ආදරය කරපු පෙම්වතිය බිරිඳවෙලා ඔහුගේම ලෙයින් මේ ලෝකයට ගෙනාම දරුවො එක්කම මරලා දාලා අලුත් පවුල් ජීවිතයක්....

මේ වගේ සිදුවීම් එක්ක කසාද බඳින්න කෙල්ලක් හැටියට බයක් ඇති වෙන එක සාධාරණයි. හොඳ පවුල් ජීවිත නැතුවාම නෙමේ. ඒත් බහුතරයක පවුල් ජීවිත අවුල්. එහෙමත් නැත්තම් ලෝකයට පේන පවුලක් විතරයි. මිනිස්සුන්ගේ ජීවිත අස්සේ තියෙන්නෙ මොනාද කියලා කාටවත් දකින්න බෑ.. සරා අයියා කියනවා වගේ පීනන්න නම් ගඟට බහින්නම ඕනෑ. ඒත් මට තියෙන බය ගඟට බහින එක නෙමේ. පීනන්න බැරි වෙලා අතරමඟ ගොඩ ඒමක් නැතුවම ගිලිලා යාවිද කියන එකයි. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න යන්නෙ බොහෝම සුළු කාලයක් කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.. අපි මොන තරම් හොඳයි කියලා හිතන අයත් ලඟින්ම ආශ්‍රය කරන කොට මොනතරම් වෙනස්ද ?

ගැහැණියක් හැටියට මම බලාපොරොත්තු වෙන්නෙ හොඳ පවුල් ජීවිතයක් විතරයි. ඒත් " හොඳ පවුල් ජීවිතයක් " මට නම් හීනයක් විතරමද කොහෙද ?

මේ තරම්ම කසාද ජීවිතයක වගකීම හෑල්ලු උනේ කොහොමද ?

දෙදෙනෙක් අතර ඇති හවුලේ ගෙවන පවුල් ජීවිතයක වගකීම හඳුනා නොගැනීම නිසාද ?

නැත්තම්...අද සමාජයේ පවුලක් කියන දෙය තුට්ටුවට මායිම් නොකරන නිසාද ?

16 December 2012

අද කාලේ විශාකාවෝ..



විවේකීව දවසක කාලයක් ගෙදර ඉන්න පුළුවන් කියන හැඟීම හින්දමද මන්දා සතියක් ගෙවිලා ඉරිදාවක් එද්දී හිතට සුවදායක හැඟීමක් දැනෙනවා. හැමදාම මහ රෑ යාමයේ නිදාගෙන..උදේ පාන්දරම අවදිවෙලා කුස්සියේ හටනින් පටන් ගන්න දවස ඉවර වෙන්නෙ අපිවත් හෙම්බත් කරලා දාලා. හිත නිදහස් කරගෙන...ඔළුව නිදහස් කරගෙන දවසක් පටන් ගන්නවා කියන එක වෙන්නෙම නැති තරම්. රෑට ඇඳේ ඉඳගෙනත් පහුවදා කරන්න ඕනෙ දහසකුත් දේ හිතන්න ගත්තම හරිහමන් නින්දක් ලැබෙන්නෙත් නෑ. නොහිතා නිදා ගන්න තිබුනා නම් හොඳයි තමා. ඒත් තමන්ගේ කටයුතු ගැන තමන් හිතන්නෙ නැතුව වෙන කවුරු හිතන්නද ?

දන්නෙම නැතුව ඉරිදා දවස ගෙවිලා ගියා. නිවාඩුවේ ඉන්නවා කියලා හිතුවට කෝ නිවාඩුවක්.ගෙවල් දොරවල් අස් කරන...පොළොව මදින...නාන කාමර හෝදන ...රෙදි හෝදන..උයන පිහින වැඩ ඔක්කෝම ඉවර වෙද්දී...දවසත් ඉවරවෙලා...

සාමාන්‍ය පන්තියේ කාන්තාවෝ වෙච්චි අපි හැමෝම ගෙවන්නෙ මහ ඒකාකාරි, කාර්‍යබහුල ජීවිත.ජීවිතවල රසයක් නෑ. ඔහේ ගෙවිලා යන ජීවිත අපිට උරුමවෙලා. ඉස්සර කාලෙ නම් කාන්තාවෝ රැකියාවල නිරත උනේ නෑ. කරන්න තිබ්බේ ළමයි හදාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු බලා කියාගෙන ඉන්න එක. ඒ කාලයේදී ගෙදර ස්වාමියා හම්බ කරන දෙයින් සරළ අල්පේච්ච ජීවිත ගතකරන්න මිනිස්සු පුරුදු පුහුනු වෙලා උන්නා. ඒකට දැන්..සමාජයේ වෙනසත් එක්කම ආපු වාණිජමය ලෝකයට හැඩ ගැහුන වටපිටාව එක්ක වෙනස් උන සිතුම් පැතුම්....එක්ක අපිත් සමාජගතවෙලා ..අපිට එතැනින් අයින් වෙලා අල්පේච්ච ජීවිතයට යන්න බෑ. ඒත්කොට අපිව සමාජයෙන් කොන්වෙනවා..

එතකොට මේ සමාජයේ කාරණා කටයුතු එක්ක ජීවත් වෙන්න ස්වාමියා විතරක් හොයන දෙයක් කොහෙත්ම ඇති වෙන්නෙ නෑ. ඉතින් ඔන්න කාන්තාවත් රැකියා කරන තත්වයක් උදා උනා. එතකොට අතීතයේ ජීවත් උන විශාකාව , යශෝදරාව එක්ක …කාලයත් එක්ක වෙනස් උන,සමාජගත උන...පිරිමින් එක්ක හරි හරියට වැඩ කරන... ඔට්ටුවෙන අද සමාජයේ කාන්තාව සංසන්දනය කරන්න බෑ. එහෙම කරන එක අසාධාරණයි..

අපේ සංස්කෘතියේ කාන්තාවක් කියන්නෙ ලතාවට ඇවිදින , කලිසම නොඅදින, කොන්ඩෙ දිගට වවන .. කොටින්ම කියනවානම් ජේත්තුවට හැඩ වැඩ කරන්නෙ නැති  කෙනෙක් වෙන්න බෑනේ..ඒක ප්‍රායෝගික නෑ. කොහෙත්ම...

ඒ වගේම අද්දන බස් කෝච්චිවලට දුවල ගිහින් පිරිමින් එක්ක පොරකාල නගින, අලුත් පන්නෙට කොන්ඩෙ කපන, කාලයේ තාලයට කලිසමක්..ඇඳුමක් අඳින පළඳින කාන්තාවන්ගේ හිත් විශාවකගේ..යශෝදරාවකගේ වගේ නෙමේ කියන්නත් බෑ..

උදේ පාන්දර ගෙදර යුද්දෙ කරලා ඔෆීසියෙ යුද්දෙට දුවන කාන්තාවකට පොළොවට රිදෙන්නෙ නැතිව ලාලිත්‍ය ගමනින් ඇවිදින්න කියන්න කාටද පුළුවන්. බස්වල කෝච්චිවල තැලිලා පොඩිවෙලා ..හිරවෙලා මිරිකිලා පිරිමින් වගේ ජීවිතේ එක්ක රේස් දුවද්දී " ගෑණු ඇයි පිරිමි වගේ කලිසම අදින්නේ " කියලා අහන්නත් බෑ. වෙහෙස නිසාම දුර්වර්ණ වෙච්චි මූණට සාත්තුවක් කරගන්න සැලෝන් එකකට රිංගුවා  කියලා දොස් කියන්නත් බෑ..

සාම්ප්‍රදායික රාමුවකට කොටු නොවී ඉන්න කාන්තාවකට විච්චූරණ කාරියක් කියන්නත් බෑ. හැම දෙයකටම කාන්තාවන්ට ඇඟිල්ල දික් කරන සමාජයක  කාන්තාව  ජීවත් වෙන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ.චුට්ට බැරිවෙද්දී ඇණුම් බැණුම්..රැවුම් ගෙරවුම්...දූෂණ..අපහාස..විවේචන.. කොටින්ම කියනවා නම් පවුල තුලත් … සමාජය තුලත් කාන්තාව හෑල්ලු වෙන අවස්ථා එමටයි...

ලෝකයේ තියෙන දරුණුම වේදනාව විඳලා දරුවන් බිහිකරන...දහ දුක් විඳලා දරුවන් ලොකුමහත් කරන...ඒ දරුවන්ගෙන්ම බැණුම් අහන කාන්තාවෝ මොන තරම්ද...කාන්තාවකට තියෙන ගෞරව නැත්තටම නැති වෙලා..කොටින්ම හැම කාන්තාවක්ම " බඩුවක් " ගාණට දාන පිරිමි කොයි තරම්ද...තමන්ගේ තරහව පිරිමහ ගන්න ඉස්සරහට දාන්නෙ කාන්තාවට අපහාස වෙන වචන....පටන් ගන්නෙ අම්මට...... කියලා. තමගේ කේන්තියට පිට කරන්න අම්මව ඇදලා ගන්නෙ නිවට නියාලු අය. කාන්තාවට ගෞරව කරන එක පිරිමි කමට නිගාවකුත් නෙමේ..

කාන්තාවන් ගැන මෙච්චර හිතන්නෙ මමත් කාන්තාවක් හන්දා වෙන්න ඇති.බොළඳ තර්ක ගෙනත් කාන්තාව අරහෙමයි...මෙහෙමයි... කියලා විවේචනය කරන්න කලින්..මේ සමාජයත් එක්ක..ආර්ථිකයත් එක්ක.. ඔට්ටුවෙන... ඔට්ටුවෙලා හෙම්බත්වෙන..මානසීකව ඇද වැටෙන...ඒ හන්දාම මුරන්ඩු වෙන...ඉක්මනින් කේන්ති යන... කාන්තාවගේ ඇතුලාන්තයේ සෞම්‍යබව ගැන හිතන්න පුළුවන්නම්... එතකොට මේ සමාජය තුල ජීවත් වෙන අද කාලේ විශාකාවන් දකින්න පුළුවන් වේවී…


ප ලි

ලිපියට නිමිත්ත උනේ ..පිරිමියෙකුගේ රැවුම් ගෙරවුම්..අපහාස නිසාම හිත් රිදුමකට මුහුණ පාලා..ඒ හන්දාම ජීවිතය නැති කරගන්න උත්සාහයක් අරන්...අන්තිම මොහොතෙදී මගේ ලඟට ආව..මගේ යෙහෙළියක් නිසා..දැන් මම ඇගේ රිදුන හිත සුවපත් කරන උත්සාහයක...ඒ ගැන පසුවට...

13 December 2012

ලෝක විනාශය සිදුවනවාද ? අප විනාශය ලඟා කර ගන්නවාද ?



අප ජීවත් වෙන ලෝකයේ ඇරඹුම මෙන්ම අවසානයද කවදා කොයි ආකාරයෙන් සිදුවේදැයි සොයන්නට මිනිසා පෙළඹුනේ අද ඊයේ නොවේ. ලෝකයේ ආරම්භය මෙන්ම අවසානයද කවර ආකාරයෙන් සිදුවේදැයි යන ගැටළුවට නොයේක් පිළිතුරු ඒ ඒ යුගවල ජීවත් වූ ආගමීක ශාස්තෘවරුන්  මෙන්ම දාර්ශිකයින්ද තමන්ගේ අදහස් පෙන්වා දී තිබේ.

මීට වසර 58කට පමණ පෙර පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද සෙල් ලිපියක් ඇසුරෙන් කල පරීක්ශණයන් අනුව අප ජීවත් වන ලෝකයේ අවසානය 2012 වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා සිදුවන බව ඔවුන් කියයි. නමුත් ඒ කුමන ආකාරයටදැයි සඳහනක් නැත.

ලොවපුරා මිනිසුන්ගේ අවධානය දිනා ගන්නා ලද එම දිනය මායා ශිෂ්ඨාචාරයේ ජීවත් වූ  මායාවරුන්ගේ සෙල් ලිපියක සඳහන් වූ මායා දින දර්ෂණයක සඳහන්  බව ඒ පිළිබඳව සොයා බැලූ විද්‍යාඥයින්ගේ අදහස වුවද ඇත්තෙන්ම 2012 දෙසැම්බර් මාසයේ 21 දා මේ කියන ආකාරයේ ලෝක විනාශයක් සිදුවේදැයි අප බලා හිඳින්නෙමු..

මායා ශිෂ්ඨාචාරය යනු වර්ථමාන දකුණු ඇමරිකානු අර්ධද්වීපයේ මෙක්සිකෝව , ගෝතමාලාව , එල්සෙල්වදෝරය හා උතුරු බ්‍රසීලය යන රටවල් පිහිටි ප්‍රදේශයන් ආශ්‍රිතව පැවති වසර ක්‍රි.පූ 3000 වෙනි වසරට පමණ ඈත අතීතයේ ඉතාමත් දියුණු ශිෂ්ඨාචාරයක් බව සොයාගෙන තිබේ. 
                                 
                                               මායා ශිෂ්ඨාචාරය



මෙම ශිෂ්ඨාචාරයට අයත් මිනිසුන් ඉතා දියුණු දින දර්ශණ පවා භාවිතා කර තිබූ බවට සාක්ෂි ලැබී තිබේ. මායා වරුන්ගේ දින දර්ශණ අනුව එක් දින දර්ශණයක් දින 260 ක්ද අනිත් දින දර්ශණය දින 365 කින්ද සමන්විතයි. ඊට අමතරව ඔවුන් තවත් විශේෂ දින දර්ශණයක්ද බාවිතා කර ඇත. එය නම් කොට ඇත්තේ Long Count Calendar යනුවෙනි.

                                                   Long Count Calendar

මෙම විශේෂ දින දර්ශණය ඔවුන් නිර්මාණය කර ඇත්තේ වර්ෂ 5125 ක කාලසීමාවකට යටත්වය. ඔවුන්ට අනුව එය ලෝකයේ මිනිස් ශිෂ්ඨාචාරයේ එක් යුගයක ආරම්භය සහ අවසානය සිදුවන කාල පරාසය ලෙස සලකනු ලැබේ. ඒ අනුව මෙම Long Count  Calendar  නැමති දින දසුන අනුව මෙම මායා දින දර්ශණයේ ආරම්භක දිනය වන්නේ ( මායා ශිෂ්ඨාචාරයේ ආරම්භය ) ක්‍රි.පූ. 3114 අගෝස්තු මස 14 දින ලෙස ගණන් බලා තිබේ. එවිට එහි අවසාන දිනය වන්නේ 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදාය.

                                                 පාකල් වෝටන් 

මේ මතභේදයට තුඩු දුන් කරුණු සඳහන් සෙල් ලිපියේ හිමිකරුවා වන්නේ පාකල් වෝටන් ( Janaab Pakal Votan) නැමැති මායා ශිෂ්ඨාචාරයට අයත් රජ කෙනෙකි. ක්‍රි.වර්ෂ 603 දී ඉපිද වසර 80 ක් ජීවත් වූ පාකල්  පඬිවරයා වසර 52ක් මෙක්සිකෝවේ පාලකයා ලෙස කටයුතු කොට තිබේ. තාරකා විද්‍යාව , ජෝතිෂය පිළිබඳව මනා දැනුමකින් පිරිපුන් වියතෙකු ලෙස හැදින්වෙන මොහු පිළිබඳව තොරතුරු මුලින්ම ලෝකයට අනාවරණය වන්නේ 1949 දී මෙක්සිකෝවේ පුරා විද්‍යාකැණීම් ආරම්භ වීමත් සමගිනි. 1952 දී පොලෝ මට්ටමෙන් සිට අඩි 69 ක් යටට කැණීම් කටයුතු කරද්දී පිරමිඩ හැඩයකින් යුත් සොහොන් ගැබක තිබී පාකල් වෝටන් පඬිවරයාගේ මෘත ශරීරය සොයා ගත් බව ඒ පිළිබඳව ඇති වාර්ථාවක සඳහන් වේ..

ඒ සමඟම ඔහු විසින් ලියන ලද සෙල් ලිපි රාශියක්ද සොයා ගන්නා ලදි. 2012 වසරේ ලෝක විනාශය ගැන සඳහන් ශිලා ලේඛණය සොයා ගන්නා ලද්දේ ඔහුගේ සොහොන් ගැබ අසලින් බවත් සඳහන්. මෙම ලෝක විනාශය පිළිබඳව ඇති සෙල් ලිපි පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් සඳහන් කරන්නේ මෙය ලෝක විනාශයක් පිළිබඳ කතාවකට වඩා මිනිස් සංහතියේ එක් යුගයක අවසානය පිළිබඳව කරන අනතුරු අඟවීමක් බවයි. ඊට හේතුව ලෙස ඔහුගේ සෙල් ලිපියේ සඳහන් වන්නේ සංවර්ධණය වූ මිනිසා සොබා දහමට එරෙහිව යෑම සහ සොබා දහම අභිබවා යෑමට තැත් කිරීම නිසා මිනිසා විසින් තම විනාශය ලංකර ගන්නා බවයි...

සංකේත අනුසාරයෙන් ලියා ඇති මෙම සෙල්ලිපිය තුල මායාවරුන් විශ්වාස කල වසර 26000ක කාල චක්‍රය පිළිබඳව සඳහන් වේ. යුග කාල චක්‍රය ලෙස හැඳින්වෙන එය කොටස් 5කට බෙදා ඇති අතර ඉන් කොටසක ආයූ කාලය වර්ෂ 5125ක් ලෙස සඳහන් වේ.  ඒ අනුව 2012 දෙසැම්බර් මාසයේ 21 වන විට මෙම කාල චක්‍රයේ යුගයක් නිමා වන බව කියයි. මායාවරුන්ට අනුව එය ලෝකයේ ගමන නතර වන දිනය වේ. කෙසේ වෙතත් ශිෂ්ඨාචාරයක දැනුම මත පදනම් වී ලෝක විනාශයක් සිදුවේ යැයි ගෙඩිය පිටින් ගෙන විශ්වාස කිරීම මෝඩ කමකි. නමුත් වෝටන් පඬිවරයා සඳහන් කරන ප්‍රධාන කාරණය අපට කිසිසේත්ම බැහැර කල නොහැක. සොබා දහමට එරෙහිව යාමෙන් තමන්ගේ විනාශය මිනිසා ලඟා කර ගන්නා බව එහි සඳහන්ය. වර්ථමාණ සංවර්ධණය යනු සොබා දහමට එරෙහිව යාම නොවෙද ?


අපි ලෝක විනාශය ලඟා කර ගනිමින් සිටිනවාද ?

අප ලෝකය තුල මේ වන විට සිදුවන වෙනස්කම් පිළිබඳව සිතා බැලුවහොත්, මිනිසා ක්‍රමක් ක්‍රමයෙන් තම විනාශය තමා අතින්ම සිදුකර ගනිමින් සිටින බව අපට තේරුම් ගන්නට පුළුවන. මීට වසර 250 කට පෙර පැවැති ලෝකයට වඩා වර්ථමාණ ලෝකය මහා පරිවර්ථනයකට භාජනය වෙමින් තිබේ. ඒ මිනිසා තමාගෙ පැවැත්මට තමාම අභියෝග කරමින් පැමිනෙන ගමනකි. වර්ථමානයේ ලෝකය පුරාම සිදුවන ස්වභාවික විපත් හා රෝග පීඩා සියල්ලම පිටුපස සිටින්නේ මිනිසා තම දියුණුව නමින් හඳුන්වන ව්‍යාසනයයි. ඕසෝන් සිදුර නිසා වන ගෝලිය උණුසුම සමඟම ඇතිවන අයිස් කඳු දියවීම ...ලෝකයේ දේශගුණ සමතුලිතභාවය බිඳ වැටීම , නොයේක් වසංගත රෝග පැතිරයාම, නියඟය, ගංවතුර , කුණාටු හා ජලය හිඟවීම ආදී වශයෙන් මිනිසා වෙත ලඟාවන අතුරු ආන්ත්‍රා මේ සංවර්ධණයේම අතුරු ප්‍රථිපලයි...

මා අසා ඇති පරිදි බුදු දහමට අනුව සියළුදේ නැති වීම මෙන්ම නැවත ඇතිවීමද හේතුඑල ධර්මතාවයකි. ඇතිවීම ..නැතිවීම සහ නැවත ඇතිවීම යන චක්‍රීය සංකල්පයට අනුව ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් පෙන්විය නොහැකිය. මායා ශිෂ්ඨාචාරයේ මනුෂ්‍ය යුගයක කාලය වර්ෂ 5125ක් ලෙස ගණන් ගැනුනද හින්දු සහ බෞද්ධ දර්ශණ අනුව එය කල්ප යුග වශයෙන් සලකනු ලබයි. කල්පයක් යනු ඉලක්කම්වලින් ඝණනය කල නොහැකි තරමේ කාල පරාසයකි.

විශ්වය යනු අනන්ත කෙළවරය දැකිය නොහැකි තැනකි. ඉතින්...මායාවරුන්ගේ දින දර්ශණයට අනුව 2012 වසරේ දෙසැම්බර් මස 21දා සිදුවෙතැයි කියන ලෝක විනාශයට ඇත්තෙ තවත් සතියක පමණ කාලයකි... ඔවුන්ගේ දර්ශණය අනුව සිදුවෙතැයි කියන ලෝක විනාශය ලඟාවනතුරු බලා හිඳිමු ද ... කවුරුත් කියනා පරිදි ලෝක විනාශය යනු විශාල යමක් පෘතුවියේ වැදී ඒනිසා ලෝකය විනාශ වී යනවාද නැතිනම්...අපි විසින් සංවර්ධණය මුවාවෙන් ලඟා කරගන්නා විනාශයක්ද යන්න සිතා බලමු..

( තොරතුරු සොයා ගත්තේ විකිපීඩියා සහ Ancient Aliens - Aliens and Lost Worlds ඇසුරෙනි ...පින්තූර සොයා ගත්තේ ගූගල් වෙතිනි ) 

පාකල් වෝටන් ගැන කියවන්න