ඉර හැරිලා ගිහින් කරුවල වැටිලා...ලයිට්
එක දෙක පත්තු වෙන පාර දිගේ මම ඇස් දියෙව්වා...නා නා ප්රකාර මිනිස්සු කඩි මුඩියේ
එහෙට මෙහෙට යන දිහා මම ඔහේ බලාගෙන උන්නා. අවුරුද්ද ඉවර වෙන්න තව ඉතිරි වෙලා
තියෙන්නෙ මාසයක කාලයක්... දැන් උදුවප් මාසය පටන් ගන්න යන්නෙ...මේ දවස්වලට පාන්දර
යාමේ හීනියට සීතලක් දැනෙනවා...මේ දැනෙන්නේ උදුවප් සීතල...උදුවප් මාසය එහෙමත්
නැත්තම් දෙසැම්බර් කිව්ව ගමන් මතක් වෙන්නෙ නත්තල...
දැන් තියෙන නත්තලට වඩා අපි පුංචි කාලේ
සමරපු නත්තල හුඟාක් සුන්දරයි ...දෙසැම්බර් මාසය
පටන් ගත්ත ගමන් පුංචි අපිට නත්තල ඇරෙන්න වෙන දෙයක් මතක් උනේම නෑ... අම්ම අතේ සල්ලි
තිබුනත් නැතත්...නත්තලට අනිවාර්යෙන්ම අලුත් ඇඳුමක් ලැබෙනවා කියලා දන්න හන්දම..ඒ
ඇඳුම අරන් දෙන්න එක්ක යන්නෙ කොයි වෙලාවෙද කියලා ඇඟිළි ගැන ගැන ඉන්නේ..
අම්මා මාවයි අයියවයි ලැහැස්ති කරගෙන
මීගමුව නගරයට එනවා කෝච්චියේ......අලුත් ඇඳුම් අරන් දෙන්න.. හූ කියාගෙන දුවන
කෝච්චිය හුළඟ කපාගෙන යද්දී ඒ හුළඟට මගේ කොණ්ඩය අවුල් වෙනවා...කරේ එල්ලගෙන ඉන්න
බෑග් එකට අත දාලා පුංචි පනාවක් අරන් අම්ම මගෙ කොණ්ඩය ආයෙම පීරනවා...වේගයෙන් යන
කොච්චිය හන්දා ඇස් ඉස්සරහින් පෙනී නොපෙනී යන වාහන, ගෙවල්
දොරවල්..පාරවල් දිහා මම ඇස් නොගහා බලාගෙන ඉන්නවා...කෝච්චිය යන්නෙ
තාලෙට...වංගුවක්..පාළමක්..ස්ටේෂමක් ලංවෙද්දී මහා හයියෙන් " හූ "
කියනවා....
ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් ඊ ලඟට පාර
දිගේ රෙදි සාප්පු වලට... සාප්පුවල දාලා තියෙන ඇඳුම් දිහා පුදුමාකාර ආසාවකින් බල
බලා මාත් අම්ම එක්ක සාප්පුවක් සාප්පුවක් ගානෙ යනවා... දකින දකින ලස්සන ලස්සන ගවොම්
පොඩි ඔක්කොම අර ගන්න පුළුවන් නම්...ලස්සන ඇඳුමක් දැක්ක ගමන් " අනේ අම්මෙ මට
මේක හොඳයි " කියලා අර සාප්පුවටම ඇහෙන්න කෑ ගැහුවත් අම්ම නෙමේ කණකට
ගන්නේ...ගවුමේ හැඩ වැඩ බලන තාලෙට එහෙට මෙහෙට පෙරල පෙරල අම්මා බලන්නෙ ඒ ගවුමේ ගාන දිහා... ඊට පස්සේ ඒක පැත්තකින්
තියලා වෙන එකක් බලනවා... ඔය
වගේ සාප්පු දහයකට දොළහකට ගිහින් යන්තම් අම්මගේ අතේ තියෙන මුදලට හරි යන එකක් ලැබුනම
ඒක අරන් දෙනවා... අයියටත්
එහෙමයි...
ඊට පස්සෙ එක්කගෙන යන්නෙ සපත්තු අරන්
දෙන්න...සපත්තු කඩවල අය සපත්තු අපේ අතට දෙන්නෙ වත් නෑ...අත් වල දූවිල ඇති කියලා
බයේ වෙන්න ඇති. කකුලේ සයිස් එක කිව්වම සපත්තු ජෝඩුවක් අරන් ඇවිත් දණිස් වලින් අපි
ඉස්සරහ නැමිලා ඒ සපත්තු අපේ කකුල් වලට දානවා...ඊට පස්සෙ චුට්ටක් විතර එහෙට මෙහෙට
ඇවිදලා බලනවා කකුල් වලට හිරද කියලා.. ඇඳුම් වලට උන සෙතේම තමා සපත්තු වලටත්..ලස්සන
නෙමේ අම්මට වැදගත් වෙන්නෙ ගාන...
ගින්දර අව්වේ එහෙට මෙහෙට ඇවිදලා මූණ
රතු වෙලා දාඩිය දාලා..අම්ම කරේ තියෙන බෑග් එකෙන් ලේන්සු පොඩියක් අරගෙන මූණ පිහ
දානවා... වතුර තිබහ දිව ගිලෙන්න තරම්..ඔක්කෝටම වඩා කඩචොරුවක් කන්න තියෙන උවමනාවට
දැනෙන බඩ ගින්න...
" අම්මෙ...බඩගිණියි..."
" ගෙදරින්
කාලා නේද ආවේ..."
කියලා අම්මත් සද්දයක් දැම්මට..අපි
දෙන්නව එක්කගෙන යන්නෙ " කොරනේෂන් හෝටලය " කියලා බෝඩ් ලෑල්ලක් ගහලා තියෙන
හෝටලයට..
හෝටලය ඇතුලේ සෙනඟ පිරිලා... මැස්සො
එහෙම වහලා නැති මේසයක් ලඟට අම්මා අපිව එක්ක ගිහින් වාඩි කරනවා.. එතකොට වේටර්
කෙනෙක් ඇවිත් රෙදි කෑල්ලකින් අර මේසේ හැලිලා තියෙන වතුර එහෙම පිහදානවා...
" මොනවද
කන්නේ ?.."
වේටර් අහන්නෙ හරි කලබලයෙන්...
" මොනා
හරි ගේන්න.."
අම්ම කිව්වම වේටර් රූන් ගාලා ගිහින් තඩි පිඟානක් අරන් එනවා..ඒ
පිඟාන පුරෝලා රෝල්ස්..කට්ලට්, පැටිස් , මාළු පාන් , බිත්තර
පාන්..වඩේ එහෙම තිබුනත්...අම්ම අරන් දෙන්නෙ සීනි බනිස්..නැත්තම් ක්රීම් බනිස්...
අම්මා අතට දෙන දේ සද්ද නැතුව කන
පුරුද්දක් ඉස්සර ඉඳන්ම මට තිබුන හන්දා නහයෙන් අඬන්නෙ නැතුව අර බනිස් ගෙඩිය කන්න
ගන්නවා..ඊට පස්සේ ෆැන්ටා බෝතලයක් අරගෙන වේටර් ගෙනත් තියෙන වීදුරු තුනටම වක් කරලා
එකක් මගේ අතටත්...අනික අයියගේ අතටත් දෙනවා..උගුරට දෙකට අපේ වීදුරු හිස් කලාට පස්සෙ
අම්මා අම්මගේ වීදුරුවේ තියෙන ෆැන්ටා ටිකත් අපි දෙන්නට බෙදලා දෙනවා...
ඊට පස්සේ පාර දිගට තියෙන ලෑලි කඩ වලින්
නත්තලට පත්තු කරන්න නිලා කූරු අරන්
දෙනවා...අයිය ගන්නෙ අහස් කූරුයි.. බබර චක්රයි..
අහස් කූරු යවන්න දන්නෙ නැති හන්දා මට ලැබෙන්නෙ නිලා කූරු විතරයි. ආයේ නත්තල්
ගගේ එල්ලන්න බැලුන් අරන් දෙනවා.... අතින් කටින්
උස්සගෙන ආයෙම කෝච්චියේ ගෙදර එනවා...අර ගත්ත ගවොම් දාගෙන...සපත්තු දාගෙන නත්තල් දා
රෑ දොළහේ පූජාවට යනකම් ඉවසිල්ලක් නෑ ...
අයියා දවල් කුරුඳු ( ලිව්වා හරිද
මන්දා...අර ආස්මි හදන්න නානු ගන්න කොළ තියෙන ගහ ) ගහකින් රවුම හැඩයට ආපු හොඳ
අත්තක් කපලා අරගෙන කොළ ටික කඩලා දාලා වේලනවා...ඊට පස්සේ සිමෙන්ති මල් පොච්චියක්
අරගෙන ඒකට වැලි පුරවලා..ඒකෙ හරි මැද්දෙන් අර ගහ හිටවනවා...කඩෙන් පාට පාට සව් කොළ
අරගෙන ඇවිත්..පිටියි වතුරයි කලවම් කරලා පාප්ප හදාගෙන අර සව් කොළ හැඩේට කපලා ගහේ
අත්තෙන් අත්තට හැඩේට අලවනවා... ඔය වැඩ වලට මට ලං වෙන්නවත් දෙන්නෙ නෑ...
ඔය විදියට ඒ ගහ හදලා ඉවර කරන්න සති
දෙකක් විතර යනවා... ඒ තමා නත්තල් ගහ...ඊට පස්සේ අයියා කාඩ් බෝඩ් වලින් වල්ගා තරුවකුත් තව පොඩි තරුත් කපනවා.. ඒවට ගම් ගාලා වල්ගා තරුවට ගෝල්ඩ් ඩස්ට් එකත්..අනිත්
පුංචි තරු වලට සිල්වර් ඩස්ට් එකත් දලා වේලනවා... හදා ගත්ත තරු මුදුනින් හිලක් හදලා
ඒකේ නූලක් දාලා නත්තල් ගහේ එල්ලනවා...මුදුනෙම වලිග තරුව... ඊට පස්සේ තව සැරසිලි
එල්ලලා හැඩ කරනවා... බැලුම් පුම්බලා එල්ලන්නේ නත්තල් දවසට කලින් දවසේ රෑ... ඒ වැඩේ
නම් අයියා බාර දෙන්නෙ මට...
බැලුම අතට අරන් දෙපැත්තෙන් පොඩ්ඩක්
ඇදලා ඒක පුම්බන්න ගන්නවා... පිපිරෙයි කියලා පණ බයයි... " මදි මදි....තව
පුම්බන්න..." අයියා කෑ ගද්දී කටේ තියෙන හුස්ම ටික ඔක්කෝම මම අර බැලුම ඇතුලට
රිංගවනවා... පුම්බාපු බැලුන් වල කට හුළං යන්නෙ නැතුව ගැටයක් දාලා...ඒකට නූලකුත්
ගැට ගහලා ...ඊට පස්සේ අත්තෙන් අත්තට අතු අගිස්සේ එල්ලනවා... අම්මෝ...ඒ
නත්තල් ගහේ ලස්සන... අයියා ඒක උස්සාගෙන ගිහින් පාරට පෙන්නත් එක්ක ඉස්තෝප්පුවේ
මුල්ලකින් තියනවා....
අපේ ගමේ උන්නා සර්පිනාවකුයි.. ඩෝල්කියකුයි
තිබුන මාම කෙනෙක්. එයාට හැමෝම කියන්නෙ " ජෝකීනු මාමා " කියලා. අපිත්
කිව්වේ එහෙමයි..එයා ගෙවල් ගානෙ ඇවිත් අම්මලාගෙන් අවසර අරගෙන පොඩි උන්ව එකතු කරගෙන
කැරොල් යන්න පුරුදු කරනවා... අපිට
සාරි ඔතලා විච්චූරන ඇඳුනුත් හදනවා... ඇයි නත්තල් පප්පෙක්..එයා නැතුව කැරොල් ගිහින්
වැඩකුත් නෑනේ... ඔය විදියට කැරොල් ගායනා කරන්න පුරුදු වෙන්නෙ මාසයකට කලින් ඉඳන්...
නත්තලට කලින් දවසේ හැම ගෙදරම කේක්
හදනවා...අපේ අම්මත් හදනවා.. බිත්තරයි සීනියි මාගරිනුයි දාලා අත කැඩෙනකම් පොල් කටු
හැන්දකින් දිය කරනවා... අම්මා දිහා බලාගෙන ඉද්දී මට දුකයි. පුළුවන් කියලා අම්මගෙන්
ඒ වැඩේ ඉල්ල ගත්තට...කොහෙද...හැන්ද දෙපාරක් ගහද්දී මගේ අත රිදෙන්න ගන්නවා... ඔහොම
හදා ගන්න කේක් මිශ්රණය අරගෙන යන්නෙ අවන් එකක් තියෙන කාගෙ හරි ගෙදරකට..අපේ ගෙදර
අවන් තිබුනේ නෑනේ... එයා ඔය කේක් එක අපූරුවට බේක් කරලා තිබ්බම අම්මා හවසට ගිහින්
ඒක අරන් එනවා...අම්මෝ...එතකොට මුළු ගේම කේක් සුවඳයි... ඒකෙ රහ බලනකම් අපිට කොයින්ද
ඉවසිල්ලක්... අම්මා කරන්නේ හිනියට කෑල්ලක් කපලා රහ බලන්න දෙනවා...හ්ම්ම්ම්ම්... රස
නියමයි..
නත්තල් දවසේ රෑ දොළහට පූජාවට යන්න අර
ගත්ත අලුත් ඇඳුම් ඇඳලා සපත්තු දාලා හැඩ වැඩ වෙනවා.. කොහේ හරි මුල්ලක හංගලා තියෙන
රත්තරන් චේන් පටක් අරගෙන අම්මා ඒක මගේ කරේ දානවා... මම කරන්නෙ කණ්නාඩිය ලඟට ගිහින්
ඒකේ හැඩ බලන එක..රෑ නිසා රත්තරන් පාටට චේන් එක කරේ දිළිසෙද්දී..ඊටත් වඩා ආශාවෙන්
මගෙ ඇස් දෙක දිළිසෙනවා...
පාර
දිගේ පල්ලියට යන කට්ටියට අපිත් ගිහින් එකතු වෙලා පයින්ම පල්ලියට යනවා...මහ රෑ ටොකොස්
ටොකොස් ගාන සපත්තු සද්දෙට කන් දීගෙන යන්න හරිම ආසයි …ආඩම්බරයි......අලුත් ඇඳුම් වලින් දිළිහෙන මූණු දිහා බලන්න ලස්සනයි... හීනියට
ඇවිත් ඇඟට වැදිලා ලේ ගල් කරන්න දඟලන සීතල හුලඟවත් ගනන් ගන්නෙ නැතුව අපි මහ රෑ
පල්ලි යන්නෙ අලුත් ඇඳුමට තියෙන ආශාව හින්දමයි...පූජාව ඉවර වෙන්න පැයක් දෙකක් විතර යනවා..
සතුට වැඩි කමට වෙන්න ඇති..නිදිමතක් දැනෙන්නෙම නෑ...
පල්ලියේ ඉඳන් ගෙදර එද්දී ගම පුරාම
ඇහෙන්නේ එකම රතිඤ්ඤා සද්දයක්...පාට පාට නිවි නිවී දිලිසෙන බල්බ් වැල් වලින් එළිය
උන නත්තල් ගස් …ගවලෙන් දිලා බල බලා ගෙදර එන්නේ කොයි
වෙලේද නිලා කූරු පත්තු කරන්නෙ කියලා හිත හිතා... අම්මා කපලා දෙන ලොකූ කේක් කෑල්ලක්
කටේ ඔබාගෙන එක අතකින් නිලා කූරු පැකට් එකත් ..අනිත් අතින්
පත්තු කරපු ඉටි පන්දමකුත් අරගෙන ගේ මැද්දෙන් ඉස්තෝප්පුවට ඇවිත්..පාර කිට්ටුව වෙන්න
තියෙන කෝපි ගහ යට තියෙන ගලක් උඩ ඉටි පන්දම රඳවලා ඊට පස්සේ නිලා කූරු පෙට්ටියෙන්
හීන් සීරුවේ අතට ගන්න නිලා කූරක් අර ඉටි පන්දමට අල්ලලා පතු කරලා රවුමට
කරකවනවා..එතකොට ඒකෙන් එළියට විසි වෙන පුංචි ගිණි මල් දැකල පපුව මැද්දෙ අමුතුම
සතුටක් දැනෙනෙවා…ඒ සතුට රුපියල් කෝටියක් දීලා වත් ගන්න
බැරි සතුටක්...
ඒ අස්සෙන් අයියා කරන්නෙ රෙදි වැලේ
පටලවා තිබ්බ අහස් කූරු යටින් තියෙන තිරයට ගින්දර තියෙන එක. තිරය පිච්චීගෙන ගිහින්
අහස් කූර සද්දෙකුත් දාගෙන උඩ යන්නෙ අපිව පොළොවේ තනි කරලා..එහෙම ගිහින් මහා සද්දෙන්
පත්තු වෙලා ගිණි මල් උඩ ඉඳන් පහලට රූටනකොට...මම කරන්නෙ උඩ පැන පැන අත්පුඩි තලන
එක.... ඊට
පස්සෙ ඉස්තෝප්පුවේ තියෙන එළිය අඩු කරලා
අයියා බබර චක්ර පත්තු කරනවා... කැරකි කැරකි එළිය දෙන බබර චක්ර දිහා බලාගෙන අපිත්
කැරකෙනවා... අනේ ඒ වගේ සතුටක්...
ජෝකීනු මාමා ළමයින් එක්කගෙන යන්න එන්නෙ
ඔය වෙලාවට.. මමත් නිදි මතක් ගෑවිලා වත් නැති ගානට දුවලා ගිහින් අනිත් ළමයි එක්ක
එකතු වෙනවා... ගමේ
එක කෙලවරක ගෙදරකට ගිහින් ඒ ගෙදර අයට කතා කරලා ජෝකීනු මාමා සර්පිනාව ගහනවා
තාලෙට...පුංචි අපිත් පටන් ගන්නවා කැරොල් ගීත ගායනා කරන්න...
රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා
පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී
කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී…
සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්නත් ඇත දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා….
පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී
කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී…
සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්නත් ඇත දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා….
හරිම ආශාවෙන් කැරොල් ගීත ගයන කොට
නත්තල් සීයාට ඇඳගෙන ඉන්න පිරිමි ළමයෙක් බැලුම් බෝල ගැට ගහපු ලී දණ්ඩක් අරගෙන එහෙට
මෙහෙට වන වනා තාලය අල්ලනවා...ගෙවල් වල අය සතුටින් තෑගි බෝග පවා දෙනවා…
රෑ තරු බබලනවා
මල් පිපිලා වාගේ...
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වගේ...
රැව් පිලි රැව් දෙනවා
ගීත නාද වාගේ..
බිළිඳෙකු හිනහෙනවා
මුහුදක රැළි වාගේ..
ටිකින් ටික පාන්දර වෙද්දී සීතලත්
වැඩී...නිදිමත බේරෙන ඇස් වලින් වට පිට බල බල අපි ඔහේ ඇවිදිනවා..ඒ වෙලාවට නිදිමතේ
තාල වරද්ද වරද්ද කැරොල් ගීත ගායන කලාට කාගෙන්වත් දොසකුත් නෑ..පොඩි උන් නෙ...
පහුවදාට ගෙදර හරිම ජයයි... උදේම
ඇහැරිලා වෙනදට වඩා අලුත් හොඳ ඇඳුමක් ඇඳගෙන අම්මට බුලත් දීලා වදිනවා..ඒ වෙලාවට අම්මා
අපේ අතේ කීයක් හරි ගුලි කරනවා... එදාට
කෑම මේසේ මඟුල් ගෙදරක වගේ..නැති බැරි කම් මොන තරම් තිබුනත් අවුරුද්දකට එක පාරක් එන
නත්තලට පොඩි උන්ට කටට රහට උයලා පිහලා දෙන්න අම්මා හරියට මහන්සි වෙනවා... කෑම ජාති
ගොඩාරියක් එක්ක ලැබෙන ඒ කෑම වෙලේ රස...මට මේ දැනුත් දැනෙනවා වගේ...
අහල පහල ගෙදරකට එකතු වෙලා කැට ගහන්නත් අමතක
කරන්නෙ නෑ...අයියලා ටිකක් ලොකු නිසා එයාලා තමා එතන ලොක්කො...අපි කරන්නෙ බලාගෙන
ඉන්න එක. ඈතට විසි උන කැටය අහුලගෙන එන්න වටේ බලාගෙන ඉන්න ළමයින් පොරකනවා...
දකින දකින හැම නෑදෑයෙකුටම "සුබ
නත්තලක් වේවා " කියලා වැන්දම...කීයක් හරි අත මිට මොලවන්න ඒ අය මැලි වෙන්නෙත්
නෑ.. එහෙම
එකතු වෙන සල්ලි ටික පරණ චූටි කැටයකට දලා එකතු කරනවා...හරිම ආශාවෙන්..
ඒ සතුට...ඒ මතකය..මොන
තරම් සුන්දරද....ඒ වගේ කාලයක් ආයෙ එන්නෙ නෑ..කාලයේ තාලයට නත්තලත් වෙනස්
වෙලා..අපිත් වෙනස් වෙලා..නත්තලේ නිවාඩුවට දැන් ගෙදර දුවන්නෙ ලිපට කඩදාසි කොල ඔබලා
ඇවිත් වගේ...මේ යනවා..මේ එනවා...අර වින්ඳ සතුට... අද අහලකටවත් ගන්න බෑ...