පහුගිය සතියේ දවස් තුනක්ම එක දිගට නිවාඩු තිබුනත් , ගෙදර ගිහින් එන්න හිත දුන්නෙම නෑ. අම්මව බලලා එන්න මොනතරම් ආසා උනත්...ඒ ගෙදර මට දැන් නුහුරු නුපුරුදු තැනක් වෙලා....
" අයියලා නිවාඩුවට එනවලු..."
සති දෙක තුනකට කලින් අම්මා එහෙම කිව්වා මතකයි. ඉතාලියේ නාපෝලි නගරයේ ඉන්න අයියා හැම අවුරුද්දකම ග්‍රීෂ්ම නිවාඩුවට ලංකාවට එනවා. ළමයි දෙන්නත් එක්කලා. අයියා එන එකවත්..ආයේම යන එකවත් මට අළුත් දෙයක් නෙමේ. සතුටු වෙන්න පුළුවන් කාරණයකුත් නෙමේ. අපි අතරේ කිසිම සහෝදරකමක් නෑ. මගේ අයියම සහෝදරකම කියන බැඳීම ලිහලා දාලා කාලෙකට කලින්...ඒ වගේ සහෝදරයෙක් එනවා කියන එක මට ගානක් උනේ නෑ.
" අයියලා ආවා..."
ආව දවසෙම අම්මා මට කතා කරලා කිව්වා.
" එහෙනම් අම්මට වාසි ඇති..."
මම කිව්වේ හිනා වෙවී...
" මොන වාසිද...ඔහෙ මුකුත් ගෙනත් නෑ. මේ දවස්වල සල්ලි නෑලු..."
" අපේ අයියට කවදද අම්මේ සල්ලි තිබුනේ ? අවුරුදු 12ක් ඉතාලියේ ඉඳලත් එයාට කොහෙද සල්ලි ? අම්මා බයයිද මගෙ දෑවැද්දට අයියගෙන් මම සල්ලි ඉල්ලයි කියලා හැම තිස්සේම අයියා ලඟ සල්ලි නෑ කියලා මට කියවන්නේ ? මට කාගෙන්වත් එක සත පහක්වත් එපා...ඒක හොඳට මතක තියා ගන්න...."
හිත මැද්දෙන් පුපුරු ගහපු කේන්තිය වචනවලින් පිටවෙන්න දීලා අම්මා මොනවත්ම කියන්න කලින් මම ෆෝන් එක කට් කරලා ඇඳ උඩට විසිකලා.එහෙම්ම ඇඳේ පෙරලීගෙන මගේම හිස කෙස් වලින් ඇද ගත්තා.මගෙත් එක්කම තරහට. අම්මා මේ කිසිම දෙයකට වග කියන්න ඕනෙ නැති උනත්...අම්මත් දැන ගන්න ඕනේ සහෝදරයෙක් කියන්නේ කවුද කියන එක.... අවුරුදු 12ක් ඉතාලියේ ඉඳලත්, එක සත පහක දෙයක් මේ නංගිට ගෙනත් නොදීපු සහෝදරයෙක්....එක දවසක්වත් කෝල් එකක් දීලා " කොහොමද " කියලාවත් අහපු නැති සහෝදරයෙක් ගැන තව මොන කතාද....
" හෙට ගෙදර එනවද ?...."
බ්‍රහස්පතින්දා උදේම අම්මා කතා කරලා ඇහුවා.
" ඇයි...අයියා කාරයා මට එන්න එපා කියනවද ...? "
මම ඇහුවේ කැත්තට පොල්ල වගේ...
" ඔයාට මොනවා වෙලාද ළිහිණි ? මම ඇහුවේ එනවද කියලා..දවස් දෙක තුනක් නිවාඩු හන්දා...."
අම්මා ගැන පව් කියලා හිතුනත්...ඒ වග පෙන්නන්න මට ඕනේ උනේ නෑ..
" බෑ...මට වැඩ...අළුත් ප්‍රොජෙක්ට් එකක් ඇවිත්....."
ඇද බෑවේ පට්ට පල් බොරුවක්... සහෝදරකමක් ගෑවිලාවත් නැති සහෝදරයෙක් බලන්න යන්න මගේ හිත දෙන්නේ නෑ. ගියත්...එයාගේ මහ ලොකු යූරෝ වලින් හදපු ගෙදර ආගන්තුකයෙක් වගේ ඉඳලා එන්න වෙන එක විතරයි.....
හිතේ තිබ්බා කේන්තියයි දුකයි පිට කර ගන්නත් එක්ක සිකුරාදා උදේ වැඩිපුර නිදා ගත්තා. ඇහැරුණේ උදේ 9ට විතර. වස කම්මැලියි. වෙලාව ගෙවා දාන්නත් එක්ක...කාමරේම අනිත් පැත්ත පෙරළලා අස් කලා. දොර ජනෙල් රෙදි හේදුවා. ගේ මැද්දා. ඔක්කොම කරලා ඉවර වෙද්දී හවස දෙකට විතර ඇති. උදේට කාලත් නෑ දවල්ට කාලත් නෑ.උයන්න දේවල් තිබ්බත් ...මොනවත් හදන්න හිතුනෙත් නෑ. දඩි බිඩියේ රයිස් කුකර් එකේ බත් එක ඉදෙන්න ඇරලා වැඩි පුර දෙහි දාලා පොල් සම්බෝලයක් හැදුවා. බත් එක ඉදෙනකල් නා ගත්තා. නාලා ඉවර වෙද්දී යකෙක් කන්න බඩගිණියි.උණු උණු බත් පොල් සම්බෝලයි රතු ලූණු ගෙඩි දෙකතුනක් එක්ක කද්දී දැනුනේ පුදුම රහක්…. කෑවට පස්සේ ආයෙම ඇඳේ ඇලවුනා. ඔෆීස් එකේ උදේ ඉඳන් රෑ වෙනකල් අල බැහැලා වගේ ඉඳගෙනම ඉන්න හන්දද කොහෙද චුට්ටක් මහන්සි උන ගමන් ඇඟ පත රිදෙන්න ගන්නවා.
මට පාළුයි..ඒත් මොනවද කරන්නේ? හිතා ගන්න බෑ.
කම්මැලි කම වැඩිපුර දැනෙන්න ගන්නෙ හිත දුකින් තියෙද්දී...මේ දුක මොකද්ද ? මා ගැනද...නැත්තම් නැතිවෙලා අළු වෙලා ගිහින් තියෙන අපේ සහෝදරකම් ගැනද...
හිතන්න හිතන්න ඔළුව අවුල් වෙන හන්දා එළියට යන්න හිතුනා. කලු බොටම් එකයි..සුදු ටී ෂර්ට් එකයි දාගෙන පැලවත්තේ හන්දියේ ඉඳන් පාර්ලිමේන්තුව පැත්තට ඇවිදගෙන ආවා. ඒ හරිය දැන් හරිම ලස්සනයි. ව්‍යායාම කරන අයට ඇවිදින්න මංතීරු හදලා. මාත් ඒ මංතීරු දිගේ වට පහක් හයක් ඇවිද්දා...මහන්සි දැනුනම එමෙම්ම පාරට ගොඩ වෙලා දියවන්නාව අයින දිගේ වෝටර්ස් ඒජ් එක පැත්තට ඇවිදගෙන ආවා... නිදහසේ ඉන්න කියාපු හරිය.... පාර පැනලා දියවන්නාව පැත්තට මුහුණ දාලා හදලා තියෙන බංකුවක වාඩි උනා. වෝක්මන් එක දාගෙන නන්දා මාලිනීගේ සින්දු ටිකක් ඇහුවා.
" අහස සේ ඔබ අනන්තයි
පොළොව සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ...
ඔබම පමණයි...ඔබ අනන්තයි..."
නන්දා මාලිනීගේ හඬ අපි වගේ අයගේ හිත් හීනියට කොනිති ගහලා පිරිමදිනවා කියලා මට හිතුනා... හිත ආයේම දුකින් පිරුනා...අම්මගේ මූණ බලන්න මේ ඇස් දෙක මොනතරමක් ආසද...අම්මා උයන බත් කටක් කන්න මේ හිත මොන තරමක් ආසද...අපේ සහෝදරකම් වලට හෙණ ගැහුවත්...ඒ මගේ අම්මා.... මට ආදරේ නොදුන්නත්..මම පණ වගේ ආදරය කරන මගේ අම්මා... ඇස් දෙක බොඳ උනේ මටත් නොදැනිම... මම ආවේ නැති එක අම්මාටත් දැනෙනවා කියලා මම හොඳටම දන්නවා.... අම්මලාගෙ හිත් රිදවන එක මහ පව්... අම්මත් එක්ක කතා කරන්න හිතාගෙන ගෙදරට ගත්තා...
දෙපාරක් රිං වෙද්දී ෆෝන් එක ගත්තා...ඒත් ඒ අම්මා නෙමේ...අයියා...
" හලෝ අයියේ මම..ළිහිණි..."
මගේ වචන වෙව්ලුවද මන්ද....
" අම්මේ කෝල්....."
වචනයක්වත් කතා නොකරපු අයියා එහෙම කෑ ගහද්දී...මගෙ පපුව පිච්චෙනවා වගේ දැනුනා......අනේ දෙයියනේ කෝ අපේ සහෝදරකම්.....වචනයක්වත් කතා නොකරන්න තරම් අපේ සහෝදරකම් වලට මොකද උනේ ...ඉන්නේ කොහෙද කියන එක මට අමතක උනා..පපුව හිරවෙලා ඇස් දෙකට උනාපු කඳුළු කම්මුල් දිගේ රූටද්දී ෆෝන් එක කට් කරලා දාලා උන්න තැනින් නැඟිට්ටා. අම්මා එක දිගට කෝල් කරනවා... දියවන්නාවට පනින්න තරම් වේදනාවක් දැ නුනත් පාරට ඇවිත් ත්‍රීවීල් එකක නැගලා ආයීම බෝඩිමට ආවා.
රෑ වෙලා කියලා බලන්නෙ නැතුව ආයෙම නෑවා. හිතේ ඇවිළුනු ගින්දර නිවා දමන්න වගේ. වතුර මල යටට වෙලා ඇති තරම් ඇඬුවා. පොඩි කාලේ ඉඳන්ම අයියා කවදාවත් සහෝදරකම් පෙන්නුවේ නෑ. මම දුන්න සහෝදරකම් සත පහකට මායිං කලෙත් නෑ..හැම නත්තලටම බුලත් දීලා වඳිද්දී කවදාවත් මගෙ ඔළුවවත් අතගාලා නෑ..
මම මේ අඬන්නේ ඒ නොදුන්න සහෝදරකම් වෙනුවෙන්ද....?? ඒ නැති වෙච්ච..මකබෑවෙච්ච සහෝදරකම් වෙනුවෙන් ඇයි මගේ ඇස් වල කඳුළු පිරෙන්නේ ??
වතුර මල යට උන්නා වැඩි හන්දාදෝ මාව හීතලෙන් ගැහෙන්න ගත්තා..ඒත් ඒ වෙද්දී මගේ හිතෙන් දුක දියවෙලා ගිහින්....ඉතිරිවෙලා තිබ්බ චුට්ටන් සහෝදරකමත් එක්කම....
I always like walking in the rain…. So no one can see me crying…..
මම අකමැති මාතෘකාවන් කීපයක් තියෙනෝ. ඒවයෙන් එකක් තමා නෑයෝ. ඒ නිසා මම මොකුත්ම නොකියා ඉන්නම් අද. ඒත් දන්නවද ඔය කට්ටිය නැතුවට ජීවත් වෙන්න පුලුවන්, මම ඒක අත්හදා බලලා තියනවා.ඒත් මම ඔයාට එහෙම කරන්න කියන්නේ නෑ. ජය...!
ReplyDeleteනෑයෝ ගැන කතාව ඇත්ත. ඒත් මගේම සහෝදරයා මෙහෙම උනාම දුක වැඩී. දැන්නම් මට මගේ හිත හදාගෙන ..සහෝදරයෙක් නැති ගානට ඉන්න එක වඩා හොඳයි කියලා හිතෙනවා
Deleteමම කිවුවේ එයාලවත් එකම ගොඩට දාල ලිහිණි. මම ඔය හැමෝටම කියන්නේ නෑයෝ කියලා.
Deleteදැන් ඒ නෑයාවත් කපා හරින්න කාලෙ හරි...
Deleteඔයා ළඟ ඉන්න ඕනි නැති අයට යන්න දෙන්න.
ReplyDeleteඉන්න අය හිටියාවේ,යන අය ගියපුවාවේ..
අයියා මගෙන් ඈත් වෙලා සෑහෙන කල් ප්‍රමුදි. ඒත් මම හැමදාම අයියට ලංවෙන්න හදලා හිත රිදවගත්ත කෙනෙක්. අයියා ඉතාලියට ගියම දවස්වල මම ඉස්කෝලේ යනවා. ඒ දවස්වල අපේ ගෙදර ෆෝන් එකට අයි.ඩී ෆැසිලිටි නෑ. මට හෑන්ඩ් ෆෝන් එකකුත් නෑ. කන්න ලැබෙන කීය හරි එකතු කරලා අයියට කෝල් කලාම..." ආ කියන්න ..ඇයි ගත්තේ ? " කියලා අහද්දී මම අඬලා තියෙනවා.එයා ඒ වගේ සහෝදරයෙක්...ඔව්..එයාට යන්න දෙන්න කාලෙ ඇවිත්
Deleteහ්ම් මොනාද ලියන්න ඕනෙ. මොනවා ලිව්වත් දැන් ඒකෙන් පලක් නෑ ළිහිණි. හැම සහෝදරයෙන්ම ඔහොම නෑ කියලා විතරක්ම ලියන්නම්.මොකද මගේ නංගට මම හරිම ආදරෙයි. ළිහිණි ගැන දුක් වෙන්න බෑ. මොකද ඔය එක සහෝදරා නැති උනත් අපි ඔක්කොම ඔයා එක්ක සහෝදරකමෙන්
ReplyDeleteබැඳිලා ඉන්නවා. ඒකයි අපි ඔයාව කියවන්න මෙතැනට එන්නේ.ඒක අමතක කරන්න එපා
ශෙශාන්
ස්තූතියි ඔයාලගේ සහෝදරකම් ඇතුලට මාව අර ගත්තට...නංගිලාට පණ වගේ ආදරය කරන අයියලාව මගේ ඇස් දෙකෙන් අනන්තවත් දැකලා තියෙනවා.ඒ වෙලාවට මට දැනෙන්නෙ ඊරිසියාවක් එක්ක මුසු වෙච්ච දුක්බර හැඟීමක්..මේක මට ලැබෙන දේ වෙන්න ඇති.
Deleteඅර කිව්වත් වගේ එහෙම සහෝදරකම් නම් වැඩකට නෑ...
ReplyDeleteකවදාහරි ඔයාලෑ අයියට මේ දේවල් තේරුම් ගන්ඩ පුලුවන් උනොත් එදාට සෑහෙන්ඩ පරක්කු වෙලා තියේවි..
අම්මවත් බලා කියා ගෙන හොඳින් ජීවත් වෙන්ඩ ! එච්චරයි මට කියන්ඩ තියෙන්නේ.
කවදාහරි තේරුම් ගනී කියලා මාත් සෑහෙන කාලෙක ඉඳන් බලාගෙන උන්නා මධුරංග. එයාට ලැජ්ජාවක් වේවී කියලා ඉස්කෝලේ යන කාලේ මම කිසිම කොල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක්වත් පටන් ගත්තේ නෑ. එයාට තමන්ගේ නංගි ගැන සතුටු වෙන්න පුළුවන් විදියට මම ඉගෙන ගත්තා. හොඳ තැනකට ආවා. ඒ හැම දෙයකින්ම මම බලාපොරොත්තු උනේ එයා මා ගැන සතුටු වේවී කියලා. ඒත් උනේ මම හිතපු දෙයක් නෙමේ. එයාට මා ගැන තව තව ඊරිසියාවක් ඇති උනා විතරයි..
Deleteගණන් ගන්න එපා කෙල්ලේ...තමන්ගේම අය ඔහොම කරනකොට හිතට දුකයි තමයි. ඒත් ඒ තමන්ගේ කම එයාලට දැනෙන්නේ නැත්නම් ඒ ගැන හිතන එකෙත් තේරුමක් නෑ නේ..සමහරුන්ට සහෝදරයෝ ඇත්තෙම නැහැ. සමහරුන්ට හිටියත් නෑ වගේ. වැඩි වෙනසක් නෑ මම හිතන්නේ ඔය දෙකේ..
ReplyDeleteගණන් ගන්නෙ නැතුව ඉන්න හැදුවත් ඒක ටිකක් අමාරුයි සයුරි. මම ආදරය කියන දේ හුඟාක් බලාපොරොත්තු උන කෙනෙක්. අයියට මා ගැන තරහක් ඇති වෙන්න කිසිම වැරැද්දක් මම කරලා නෑ කියන එක මට ඉර හඳ වගේ විශ්වාසයි...ඒ තරහම මොකද්ද කියලා දැනගන්න මට සෑහෙන උවමනාවක් තියෙනවා...ඇත්තටම
Deleteපරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත - පරාක්‍රම කොඩිතුවක්කු ගෙ දේදුන්න පායාවි හෙටත් පාළම උඩින් කියන කවියෙ එහෙම තියෙන්නෙ..
ReplyDeleteඒක එහෙමනම් මිනිස්සු පරාජයන් වෙනුවෙන් මේ තරම්ම කඳුළු හලයිද ශශී ??
Delete"තමන්ට දයිවය වෙනස් කරන්න බැරිනම් දයිවයට අනුව තමන් වෙනස් වෙන්න"
Deleteමගෙ නම් තියරිය ඕකයි.
ඔබ මොනවා උනත් අන්තිමේ ජීවිතේ ජය ගත්තෙක් බව පේනවා. ඒකට හේතුව මගෙ බ්ලොග් එකෙ ඔබ දාල තිබ්බ කොමෙන්ටුවක් - ඔබ සේවය කරන ආයතනයෙන් සති දෙකක සංචාරයකට zසූරිච් යන්න ලැබුනා - කියන එක. ඉතින් ඔබ එච්චර සාර්ථක පුද්ගලයෙක් වෙලත් තවමත් අතීතයේ අඳුරු මතකයන් මෙහෙම හාරා අවුස්සන්නෙ ඇයි. ඔබ ජීවිතේ ජය ගත්තු විදිහ ලිව්වොත් අනිත් අයටත් එය ආදර්ශයක් වෙයි. අනිත් එක පෞද්ගලික කාරණා කියන එක මෙහෙම ලියන එක එච්චරම හොඳ නැහැනෙ .....
ඒ මතකවලින් චුට්ට චුට්ට අයින් වෙන්න යන්නේ...ශශී බලන්නකෝ....ඉන්න තැනට ආවේ හුඟක් මහන්සියෙන්..තනියම උත්සාහ කරලා... අර අතීතය තාමත් මා එක්කම එනවා.ඒකනෙ වැඩේ...
Deleteපෞද්ගලික කාරනා ලිවුවේ ඒවා සැබෑවටම උන නිසා සහ තවමත් වෙන නිසා. ඇත්ත ඇති සැටියෙන්...බොරු කියන්න මේ ළමයා දන්නෙ නැත...
ආ තව දෙයක් අර සූරිච් ගමන ඔන් සයිට් ට්‍රේනින් එකක්. මේ දවස්වල නම් ඔන් සයිට් යවයි කියන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නවා..යවන්නෙ ඇමෙරිකාවට...යැව්වොත් මේ තනි දුප්පත්කෙල්ල ගොඩ
එහෙනම් ඒ බලාපොරොත්තුව ඉශ්ඨ වෙන්න කියා පතමි !
Deleteඒවා ගැන වැඩියම බලාපොරොත්තු තියන්න බෑ ශශී...ඕනෑම තැනක ගොට්ට අල්ලන එකාටනෙ වැඩි චාන්ස්...අපිට ඉතින් ගොටු අල්ලලා පුරුදු නෑනේ...
Deleteඅනේ මන්ද අප්පා..මටනම් අවුල් ටිකක් මේක කියවල..
ReplyDeleteඔයාලගේ සහෝදරකම් දැකලා මම නම් සතුටු වෙනවා...
Deleteසහොදර කම් අමතක කරන්නෙ අපිම තමයි.පුංචි සන්දියේ තිබිච්ච බැදීම අමතක කරනව නම්,සහෝදරය උනත් ඒ මිනිහගෙන් වැඩක් නැ...
ReplyDeleteවැඩේ කියන්නෙ පුංචි කාලෙත් මෙයාගෙ කිසිම බැඳීමක් තිබිච්ච නැති එකනෙ..මම බැඳීම් හදන්න උත්සාහ කරද්දී මගේ සහෝදරයා ඒකට පයින් ගැහුවා විතරයි..එදත්..අදත්
Deleteමේ දවස් දෙකට කියවපු 3 වෙනි පෝස්ට් එක මේ මාතෘකාව ගැන.. වැඩිපුරම දැනුනේ මේ පෝස්ට් එක (හිරුවයි පනුච්චියි මාව කයිද දන්නේ නෑ ) .....
ReplyDeleteහරිම කණගාටු දායකයි.... මෙහෙම සහෝදර කමක්නම් ඉතින් වැඩක් නෑ තමයි....
මම නම් මගේ සහෝදරයා වගේ සහෝදරයෙන් දැක්කමයි...එයා ඒ තරම්ම වෙනස් සහෝදරයෙක්
Deleteඅදමයි ලිහිණි බලන්න ආවේ..හපොයි ආපු ගමන් දැක්ක පෝස්ටුව... :(
ReplyDeleteගණන් ගන්න එපා ලිහිණියෝ..අපිටත් දවසක හඳ පායනවා..!!!
මාත් මේ හිරුගේ ලිපිය කියවල මේ පැත්තට ආවේ
ආදරයෙන් පිළිගන්නවා රෙහානිව මේ ඉසව්වට... ගණන් නොගෙන ඉන්න උත්සාහ කරනවා රෙහානි. කාලය ඒ දුක නැති කරාවි කියලා හිතනවා..
ReplyDeleteහ්ම්... හිතට වැදෙන්න ලියන්න ඔයා ගොඩක් දක්ෂයි නගෝ. ඔය වගේ සහෝදර සහෝදරියෝ අතරේ අරගල තියෙනවා ගොඩක් පවුල් වල. හැබැයි අම්මා තාත්තාගේ ආදරය අප්‍රමාණයි (un-conditional) ..... ඒගොල්ලෝ ජීවත්වෙලා ඉන්න කාලෙදි ඒ ගොල්ලන්ව සන්තෝස කරන්න....! ඒක මග ඇරුනොත් වෙන පසුතැවිල්ල ජීවිත කාලෙටම තියෙයි. වැඩිමහල් අයියා කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නෙ එච්චරයි.
ReplyDeleteඅරගලයක් ඇතිවෙන්න හේතුවක් ඕනෙ දුමි අයියා. ඒ හේතුව මොකද්ද ? මට ඒක තමා හිතා ගන්න බැරිවෙලා තියෙන්නේ.කොටින්ම කියන්න තියෙන්නෙ ළිහිණි කියන්නෙ අම්ම තාත්තගෙන්වත්...ඉන්න එකම සහෝදරයාගෙන්වත් ආදරයක් කවදාවත්ම නොලැබිච්ච කෙල්ලක් කියන එක විතරයි...ඒත් මම ඒ අයට පණ වගේ ආදරෙයි...
Deleteනෑයෝ ගැන මම අමුතුවෙන් දෙයක් කියන්න ඕනම නෑ දැන්නම්.. අපේ අයියත් දැන් ටික ටික වෙනස් වෙනවද මන්දා.. හ්ම්ම්..
ReplyDeleteදිනේශ්ගෙ කතාව කියවද්දී දිනේශ්ගෙ අම්මගෙ සහෝදරයා ගැන ලියා තිබුනු දවසේ මම එතැන ලිව්වා දිනේශ්ට මතකද දන්නෙ නෑ..මටත් ඉන්නේ ඒ වගේ සහෝදරයෙක් කියලා...
Deleteමට නම් අයිය කෙනෙක් නෑ.ඒත් මම නම් අයිය කෙනෙක් ඉන්නවට ගොඩාක් ආස කෙනෙක්.ඒත් ඔයාගේ අයිය ගැන අහද්දී මට නම් හිතා ගන්න බෑ.ඒත් එයට කවද හරි තේරෙයි
ReplyDeleteඅයියා කෙනෙක් ඉන්න එක නංගි කෙනෙකුට දැනෙන්නෙ කොහොමද කියලා දන්නෙ ඒ වගේ අයියලා ඉන්න නංගිලා විතරමයි. අයියා කියන්නෙ තවත් තාත්තා කෙනෙක් වගේ කෙනෙක් උනත්...මගේ අයියා...අපෝ....ලෝකෙටම එකයිද කොහෙද...
Deleteළිහිණි, මේ දවස්වල මේ වගෙ බ්ලොග් පෝස්ට් කීපයක් කියෙව්වෙ, ග්‍රහ මාරුවක්ද මන්දා?
ReplyDeleteමොනවා කිව්වොත් හරිද කියලාහිතාගන්න බැරුවයි මම ඉන්නෙ.
අර ගොක්කොල වෙසක් කූඩු ගැජට් එක නම් මරු!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
එහෙනම් ඒ ග්‍රහ මාරුව මට නම් දරුණුවට බලපාලා තියෙන හැඩයි ඩූඩ්... ඒක ඉවර වෙන එකක් නෙමේද කොහෙද...
Deleteතැන්කූ ගොක් කොළ ගැජට් එක ලස්සනයි කිව්වට. :)
නෑයෝ වේයෝ මීයෝ තුන් ගොල්ලම එකයිලු :(
ReplyDeleteඒ කතාවනම් සහතික ඇත්තද කොහෙද...
Deleteමොනවා කියන්නද දන්නෙ නෑ අම්මපා
ReplyDeleteඑහෙනම් මුකුත්ම කියන්න එපා...
Deleteසහොදර කම තියෙන්න ඕනේ හිතේ!!! එහෙම නැතුව වැඩක් නෑ .......... හැබැයි හැම අයියෙක්ම එහෙම නෑ මේක මං මේ කියන්නේ දෙවනි පාරටද කොහෙද
ReplyDelete!
හැම සහෝදරයෙක්ටම මම එහෙමයි කියලා චෝදනා කරන්නෙත් නෑ. හැමෝම එහෙම නොවන හන්දා....ඒකට අපේ එකා...ලොවට එකයි...
Deleteආදරේ ගොඩක් බලාපොරොත්තු වෙන හිතකට ඒ ආදරේ නොලැබුණාම දැනෙන දුක නම් කියලා වැඩක් නෑ. තමන්ගේම කෙනෙක්ගෙන් එහෙම වෙනකොට ඒ දුක තවත් වැඩියි...
ReplyDeleteආදරේ ගොඩාක් බලාපොරොත්තු වෙන්නෙ ආදරේ නොලැබුන හිතක්. මමත් ඒ වගේ ඒකයි මෙච්චර දුක දැනුනේ
Deleteඅතෑරලා දාපන් ලිහිණි... උන්ට එපා නම් අපිටත් එපා..... බලන් ඉන්නේ වැටෙන කම් නම් කොහොම හරි නැගිටපන්..... එක බඩවැල කඩන් ආවත් මෙහෙම කරනවා නම් ඌ සහොදරයෙක් නෙවෙයි... එච්චරයි....
ReplyDeleteඑකක් කියන්නම් .... ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි... ඕක අපි ලවු එෆෙයාර් වලදි හැමතිස්‌ෙස්ම කියනවානේ.... මෙතනටත් ඒ ක අදාලයි.... ඔය නැති වෙච්ච ආදරේ උඹට ඕනෙවට වඩා ලැබෙන දවසක් එයි... එදාට අනේ මං මොන මඟුලකට මුන් ගැන හිතලා ඇඩුවද කියලා උඹටම හිතෙයි.... එදාට උඹට හිනායයි....
මගෙ එකම සහෝදරයා කියලා මම හිතාගෙන උන්න එකානෙ බන් මෙහෙම කරන්නෙ . අනික ඉතාලියේ අවුරුදු 12ක් උන්න කියලා මට සත පහක දෙයක් කරපු එකෙක් නෙමේ. අඩුම ගානේ ඉගෙන ගන්න වත් සත පහක් දුන්නේ නෑ. කියන්න ලැජ්ජ නෑ කෙල්ලෙ . මට MSc එක කරන්න ඕනෙ උනත් ඒකට සල්ලි තිබ්බෙ නෑ. ලක්ෂ ගානක් කොහෙන්ද මට. අම්මා අයියට කියලා තිබ්බා. එයා කිව්වලු සල්ලි නෑ කියලා. මට කරන්න වෙන දෙයක් තිබ්බේ නෑ. මගෙ නමට තිබ්බ එකම ඉඩම් කෑල්ල විකුනමු කියලා මම අම්මට කිව්වම එයා ඇඬුවා. මට වෙන දෙයක් ඇත්තෙත් නෑ. ඒත් ඉඩමට වඩා මට ඉගෙන ගන්න ඕනෙ උනා. අපි ඒක වික්කා. දැන් මට කිසිම දෙයක් නෑ. ඒත් මට හොඳ රස්සාවක් තියෙනවා. දවසක මම තැනකට එනවා. ඒක අනිවාර්යයි හිරූ. එදාට මම අඬන්නෙ සතුටට..දුකට නෙමේ..
Deleteස්තුතියි කෙල්ලෙ උඹේ වචන මට දැනුනා. බොක්කටම
ජීවිතේ ඔහොම තමයි ලිහිණි, එක අතකට මෙහෙම ලියල දාපුවාම හිත නිදහස් වෙනවා ටිකක් හරි. මේ ඉන්නේ බ්ලොග් ලෝකේ සහෝදර සහෝදරියෝ ගොඩක්. ඉතින් ගිය එකා ගියාවේ.
ReplyDelete//උණු උණු බත් පොල් සම්බෝලයි රතු ලූණු ගෙඩි දෙකතුනක් එක්ක කද්දී දැනුනේ පුදුම රහක්….// මේක මරු කෑම නේ..? මාත් හදනවා වෙලාවකට..!
AYUBOWAN...! lihini, ama mepetthe ena palamu wathawa. oya hemadaamath thamange sahodarayata hoda sahodariyak welama inna. eya thamange yahapath gathi guna nethi kara gatthata thamange sahodariyata pitupewata oya kawadaawath ehema karanna epa. oya thamange honda gathiguna nethi kara ganna one ne. ehema unoth oyagei eyagei wenasak nethiwela yaawi.
ReplyDelete