වෙලාව රෑ අටට විතර ඇති. මහ රෑ යාමේ
නොවුනත් සද්දයක් බද්දක් නැති තරමට පරිසරය නිශ්ශබ්දයි.පුවක් ගෙඩියක් ගිරය මැද්දට
තියලා කපද්දී එන " ටකස් " සද්දය
විතරමයි මට ඇහුනේ. ඒ ලොකු මාමා. පිළිකන්නෙ ඉඳගෙන බුලත් විටක් හපන්න ලෑස්තිය…
" කවා...ලා...විළඳ ජාති....ඇති
කලත් රන් කූඩුවේ ගිරවා......
දමා....ලා...යන්නෙ ඉඟිලී.....අම්මට#$%^^&& කෝ මේ වේ.....
පරිසරයේ නිහඬතාවය බිඳගෙන ඇහුනේ අමු
තිත්ත කුණුහරුප වැලක්....
" බන්දුවා
අදත් බීගෙන වගේ..පොඩ්ඩක් කෑගන්න අනේ කෑවනම් බීවනම් නිදා ගන්න කියලා. මේ දරුවත්
ඉන්නවා. මේකා කුණුහරුප වපුරන්න ගත්තොත් විසුමක් නෑ අද ..."
කුස්සියේ වළං පිඟන් හෝදන ගමන් නැද්දා
මාමට ඇහෙන්න එහෙම කිව්වේ බන්දුගේ කට ගැන දන්න හින්දම වෙන්න ඇති. බන්දුගේ සද්දේ
මාමලාගේ ගමට අලුත් දෙයක් නෙමේ. මටත් අලුත් දෙයක් නෙමේ. මාමලාගෙ ගෙදර ගිය හැම
දවසකම..මට බන්දුගේ ඔය සද්දෙත්...කුණුහරුපත්...ගෝරණාඩුවත් ඇහිලා තියෙනවා.බුලත් හපේ
හක්කෙ රඳවගෙන..කාරලා කෙල පිඩක් මිදුල කෙලවරට විසික් කරලා .... මාමා ගේට්ටුව දිහාට
ඇදුනා. බන්දු
උන්නේ මාමලාගෙ වත්තට එහා වත්තේ..
" මේවද
යකෝ කන්න තියෙන්නේ ?? "
" නැතුව
ඉතින් මට බුරියානි හදන්නද කියන්නේ ? හම්බ කරන එකත් කනමදයා වගේ බොනවා මදිවට..එනවා මෙතන... "
" ඇයි
හු#$%% මේවා
කන්න පුළුවන්ද ... ?
" කන්න
බැරි නම් නිකා ඉඳපන්.. මෙතන බීල ඇවිත්
මළවදේ.... "
" මොකා...ක්
කිව්වේ උඹ....? බීල ඇවිත් ? කවුද
හු@#$%$% බීලා
ආවේ " ?
බන්දුලාගෙ ගේ පැත්තෙ එක සීරුවට
සද්දේ..ඒ සද්දේ මැද්දෙම ඔන්න මාමා හයියෙන් කෑ ගහනවා...
" බන්දූ.....
කෑවනම් බිව්ව නම් සද්ද නැතිව නිදා ගනින්....මේ අහල පහල අපිට පාඩුවේ ඉන්න දීලා..."
බන්දු නෙමේ එතැනින් එහාට වචනයක් වත්
කියන්නෙ.. සද්දෙ එදාට විතරක් ඉවරයි.
බන්දුගේ නියම නම බන්දුල. හැමෝම කිව්වේ
බන්දු කියලා. බන්දු රස්සාව හැටියට කලේ කුලී වැඩ. අහුවෙන ඕනේ කුලියක් කරලා දවසට
හොයා ගන්න කීය හරි වියදම් කලෙත් කසිප්පු බොන්නයි මස් කන්නයි. බන්දු කියන්නෙ මස්
වලට පුදුම විදියට පෙරේත මිහිහෙක් කියලා කියන්නෙත් බන්දුගේ බිරිඳ කුමාරි අක්කා. බන්දු
නිකවැරටිය පැත්තේ මනුස්සයෙක්ලු. කොහෙන් කොහෙන් හරි කුලියාපිටිය පැත්තෙ ඇවිත්
කුමාරි අක්කව කසාද බැඳගෙන එහෙම පදිංචි වෙලා...
අපේ ලොකු මාමට තිබුනා ගඩොල් පෝරණු
කීපයක්. ඒ දවස්වල බන්දු වැඩ කලෙත් එතැන. නිවාඩු කාලෙට මම මාමලාගෙ ගෙදර
ගියාම...ගඩොල් පෝරණුවලට ගිණි දාන මහ රෑ ජාමේ මාත් ඇහැරිලා ඒ දිහා බලාගෙන ඉන්නවා.
මහන්සි වෙන වැඩක් උනත් හරිම විනෝදජනකයි. නැද්දා ලඟ
වාඩිවෙලා ඉඳගෙන එයාලා කියන " ඒ කාලෙ කතා " අහගෙන පුච්චාපු මඤ්ඤොක්කා
කොච්චි සම්බෝල එක්ක කන එක තමා මගේ රාජකාරිය. ඔය පෝරණු ගිණි දෑම හොඳ පලපුරුදු
කෙනෙක් තමා කරන්නේ.ඒ රාජකාරිය අකුරටම කලේ බන්දුගේ මාමාණ්ඩියා උන නිකුලස් සීයා.
නිකුලස් සීයට ගමේ අය කිව්වේ " පචෝරිස් " කියලා. මොකද වචන දහයක් කතා
කලොත් නමයක්ම බොරු. (උන්දා කියාපු අතේ
පැලවෙන පච ටිකක් වෙන දවසක කියන්නම්කෝ )
බන්දුයි නිකුලස් සීයයි අපේ ලොකු මාමගෙ
ගඩොල් පෝරණුවල එකට වැඩ කලත් ජම්මාන්තර වෛරක්කාරයෝ. දෙන්නට දෙන්නව පේන්න බෑ.
නිකුලස් සීයා මොන තරම් පච ඇද බෑවත්, බොහෝම
අහිංසක විදියට ගමේ ජීවත් වෙන කෙනෙක් කියලා කිව්වේ අපේ මාමා. හැමෝ එක්කම බොහෝම
සුහදයිලු. අක්කර
බාගයක විතර පොල් ගස් තියෙන ඉඩමක, එක කෙලවරක නිකුලස්
සීයලාගේ පොඩි ගෙදරත්...වෙල පැත්තට වෙන්න තිබුන ලොකු කජු ගහක් පාමුල තියෙන කටු මැටි
ගහපු බන්දුලාගෙ ගෙදරත් තිබුනා. බන්දුගේ බේබදු කම හන්දම කුමාරි අක්කා ජීවත් උනේ
බොහෝම අග හිඟ කම් මැද්දේ. කොයි වෙලාවෙත් දුවගෙන ඇවිත් අපේ නැන්දාගෙන හාල් ටිකක්
ඉල්ලාගෙන දුවන පුරුද්දක් කුමාරි අක්කට තිබුනා. ඒ නැති බැරි කම හින්දමයි කියලා දන්න
අපේ නැන්දා ලඟත් කවදාවත්ම " නෑ- බෑ " කියන වචන දෙක තිබුනෙත් නෑ.
මේ බෑණගෙයි මාමණ්ඩියගෙයි රණ්ඩුව ගමේ
අයට නම් අලුත් දෙයක් නෙමේලු. මාසයකට සැරයක් පොල් කඩන්න ගත්තම තමා රණ්ඩුව උත්සන්න
වෙන්නේ. බන්දුලාට වත්තේ කොණක ඉන්න දීලා තිබුනත්..ඒ කොටසේ ගහකොලවල බුක්තිය වින්ඳේ
නිකුලස් සීයලු. මේ අරාවුල නිසාම බන්දු බීලා එන හැම දවසකම නිකුලස් සීයා එක්ක
රණ්ඩුවක් අල්ලන එකත් පුරුද්දක්ලු.රණ්ඩුව වචනයෙන් විතරක් නම් මදෑ... වෙරිය හොඳටම
වැඩි දවස්වල බන්දු පිහියකුත් අරන් නිකුලස් මාමා පස්සෙ පන්නනවලු " අදනම් මම
තෝව බාවනවා " කියලා. ඔය පිහියක් අරන් දිව්වට බන්දු චන්ඩියෙක් නෙමේ කියලා දන්න
නිකුලස් මාමා සත පහකට ගණන් නොගෙන කර ඇරලා පාඩුවේ ඉන්නවලු.. (මිනිස්සු කොහොමත් බී
ගත්තම හරි චණ්ඩිනේ...:)
ඒ විතරක්ද..බන්දු බීගෙන ඇවිත් කුමාරි
අක්කට හොඳටම ගහනවලු. කුමාරි අක්කා කරන්නෙ දුවල ගිහින් අර කජු ගහට නගින එකලු. බීගෙන
හතර ගාතේ වැනෙන බන්දු කොහෙද ගස් නඟින්නේ ... කුමාරි අක්කගෙ හත් මුතු පරම්පරාවේම
අම්මා මුත්තා සිහි කර කර බනින්න ගත්තම ඕවා ඉතින් නිකුලස් සීයාලාටත් ඉවසන්න
පුළුවන්ද හමදාම.
එදා බ්‍රහස්පතින්දා දවසක්.බ්‍රහස්පතින්දා
කියන්නෙ කුලියාපිටියේ පොල දවස. ඒ පැත්තෙ කුලී වැඩ කරන අයට නිවාඩු. අපේ මාමාත්
ගඩොල් පෝරණුවල වැඩ කරන අයගේ සුමාන පඩි එහෙම බේරලා පොලේ යන්න පිටත් උනා. මාමලාගෙ
ගේ ඉස්සරහා තියෙනවා මහා විශාල සියඹලා ගහක්. ඒකෙන් සියඹලා ගෙඩි පහ හයක් ඇහිඳගෙන කන
ගමන් මම ඒ කිට්ටුව තිබුන පිඳුරු ගොඩ ලඟ වාඩි වෙලා උන්නා.වෙලාව දවල් 1ට
විතර ඇති. එක පාරටම බන්දුලාගෙ ගෙවල් පැත්තෙන් ඇහුනේ කුමාරි අක්කගෙ විලාප සද්දේ...
" අයියෝ.....කවුරුත්
නැද්දෝ....අනේ මේ බලන්නකෝ බන්දු මැරිලා...අයියෝ...බන්දු මැරිලා..."
ඇහුන විලාප සද්දෙන් කලබල උන අපේ නැන්දා.. මාවත් ඇදගෙන දිව්වේ
බන්දුලාගෙ ගෙවල් පැත්තට. ලොකු මාමලාගෙ ගෙදරට දකුණු පැත්තේ තිබුන ගෙදර මාමත් අපේ
පස්සෙන් දුවගෙන ආවා. නිකුලස් සීයලාගෙ
පිළිකන්න පැත්තෙ ඉඳන් කුමාරි අක්කා කෑ ගහනවා. අපි දිව්වේ ඒ පැත්තට. මොනවා
බලන්නද... වෙන්න්
ඕනෙ ඔක්කොම ඒ වෙද්දී වෙලා ඉවරයි.
නිකුලස් සීයලාගේ ගේත් කුස්සියත්
මැද්දෙන් තිබ්බ කොටසක බන්දු මුනින් අතට වැටිලා උන්නා. කුමාරි අක්කා ලේ වලින් පෙඟුන
බන්දුගේ ඇඟේන් හොල්ලන ගමන් විලාප දෙනවා. ඒ කිට්ටුවම නිකුලස් සීයා බිම ඇන තියාගෙන … ලේ වැදිච්ච උල් පිහියකුත් අතේ තියාගෙන ඈත වෙල් යාය දිහා බලාගෙන
ඉන්නවා. බන්දුගේ ඇඟෙන් ගලාගෙන ගිය ලේ පාර මැටි පොළොවට උරාගෙන ලොකු ලේ පැල්ලම්
විතරක් ඉතුරු වෙලා..
මාව පැත්තකට කරපු අපේ නැන්දයි තව මාමා කෙනෙකුයි බන්දුට පණ තියෙනවද
බැලුවේ ඉස්පිරිතාලයට අරන් යන්න. ඒ මාමා කියපු හැටියට නම් ඒ වෙද්දී බන්දුගේ ඇඟත්
සීතල වෙලාලු. ඒ කියන්නෙ බන්දු මැරිලා ටික වෙලාවක් ගිහින්. කුමාරි අක්කගෙ විලාපේ
සද්දෙට ගමෙන් බාගයක් විතර එතැනට පිරුණා. ඒ අස්සෙන් කවුරුම හරි පොලීසියටත් කතා
කරලා.
ටික වෙලාවකින් ආපු පොලීසියෙන් නිකුලස්
සීයව අත් අඩංගුවට අරන් ප්‍රශ්ණ කලා. පොලීසියෙන් ආවට
පස්සෙ තමා මුනින් අතට වැටිලා උන්න බන්දුව අනිත් අතට හැරෙව්වේ...අම්මෝ...ඒ මූණ මේ
දැනුත් මට පේනවා වගේ.. බන්දුගේ මූණ බලන්න බෑ. මැල්ලුම් ලියලා වගේ පිහියෙන් කපලා
දාලා. කට...නහය..ඇස් දෙක..ඒවා ලියලා දාලා වගේ..පුංචි කමට මාත් බයක් හැකක් නැතුව ඒ
දිහා බලාගෙන උන්නා. උර හිසටත් කීප සැරයක් පිහියෙන් ඇණලා..
නිකුලස් සීයා පොලීසියට දුන්නු කට
උත්තරයේ හැටියට ඒ සිද්දිය වෙලා තියෙන්නෙ දවල් දොළහට විතර ලු. අපේ මාමාගෙන්
සුමානේ පඩි සල්ලි ඉල්ලාගෙන බන්දු කෙලින්ම ගිහින් තියෙන්නේ කසිප්පු බොන්න. කසිප්පු
වඩි දෙක තුනකින් හොඳ හැටි සප්පායම් වෙලා මස් රාත්තලකුත් කිහිල්ලෙ ගහගෙන වෙල් නියර
දිගේ බන්දු ගෙදර ඇවිත්. ඒ එද්දී කුමාරි අක්කා ගෙදර නෑ.ගෙදරට අඩුම කුඩුම ටික ගන්න
පොළට ගිහින්. ඒ අස්සේ සුපුරුදු පරිදී මාමගෙයි බෑණගෙයි ගෝරණාඩුවත් පටන් අරන්. බහින්
බස් වීම වැඩිවෙද්දී වෙනදා වගේම උල් පිහියකුත් අරන් බන්දු නිකුලස් සීයගෙ පස්සෙන්
පන්නන්න අරන්...
මනුස්සයෙකුගෙන් වෙන හිරිහැර කරදර
හැමදාමත් ඉවසන්න පුළුවන්ද...? නිකුලස් සීයාට එදා හිතෙන්න ඇති මේකෙ
ඉවරයක් තියෙන්නෙ ඕනෙ කියලා. මරු විකලෙන් වගේ බන්දුගේ අතේ තිබ්බ පිහිය උදුරාගෙන උර
හිසට ඇණලා. සමහර විට මරන්න හිතාගෙන නෙමේ වෙන්න ඇති. පිහිපාර වැදුන ගමන් වෙරි
මරගාතේ උන්න බන්දු අර දෙබුක්ක මැද්දේ ඇදන් වැටුනම...නිකුලස් සීයට බන්දුගේ තරහා
මරහා ඔක්කෝම එක සැරේට හිතට එන්නැති. ආවේගයෙන් බන්දුගේ මූණ හරහා ගිය පිහිපාර
නැවතිලා තිබුනේ...බන්දුගේ හුස්ම ටිකත් නවත්තලා...
මළගෙදර වැඩ කටයුතු හැමදෙයක්ම උනේ ගමේ
මිනිස්සුන්ගේ වියදමින්. අපේ ලොකු මාමා මූලික වෙලා මරණයේ වැඩ කලා. අර මම කලින්
කිව්වා වගේ බන්දු බී ගත්තම චන්ඩියෙක්..තිරිසනෙක් උනාට, නොබී
ඉන්න වෙලාවට උපාසකයෙක් වගේ ඉන්න එක ගැන ගම්මු දන්න හන්දා නෑ බෑ නොකියා මරණේ වැඩ
කරන්න උදව් උපකාර කලා කියලා තමා අපේ මාමා කිව්වේ..
මිනිස්සු කොච්චර අහිංසක උනත් හැමදාම
හිරිහැර ඉවසන්නෙ නෑ. ඉවසන්න බෑ. එක දවසක්ද දෙකක්ද...බන්දු බීගෙන චන්ඩියෙක් වෙන්න
ගිහින් නිකරුනේ මැරුම් කෑවා..
පලි.
මේ සිදුවීම වෙද්දී මට අවුරුදු 13ක්
විතර ඇති. අපේ ලොකු මාමට දරුවෝ උන්නේ නෑ. හැම ඉස්කෝලේ නිවාඩුවකටම මාමා ඇවිත් මාව
කුලියාපිටියේ ගෙදර අරන් ගියා. ඒ වගේ කාලෙක තමා මේ සිද්දිය උනේ. බන්දු බී ගත්තම ඔය
විදියට හැසිරුනත්...අනෙක් වෙලාවට බොහෝම අහිංසක තාලෙට උන්නු මනුස්සයෙක්. ගෙදර ගහෙන්
දිවුල් ඇහිදන් ඇවිත් මට ගෙනත් දෙනවා. ඒත් ඉතින් අර අරක්කු සමහර මිනිස්සුන්ව
තිරිසන්නු කරනවනේ..බන්දුත් අරක්කුවලින් තිරිසනෙක් උනා. නිකුලස් සීයා
හිරේ ගියා. හිරේ උන්නෙ මාස පහක් විතර කාලයක්ලු. හැම තිස්සේම කල්පන කර කර උන්න
නිකුල්ස් සීයාට පපුවේ අමාරුවක් හැදිලා හිරේම මළා කියලා මට අපේ ලොකු මාමා කිව්වා..
ඒ විතරක්ද කුමාරි අක්කලාගෙ අම්මා එහෙමත් නැත්තම් බන්දුගේ නැන්දම්මා නිකුලස් සීයා
මැරිලා ටික දවසකින්ම උන්දැත් මළා ලු..බන්දුගේ සිද්දියෙන් ඒ පවුලම විනාස උනා...

.jpg)
