මම මගේ ජීවිතයේ ඉහලින්ම තබාගෙන උන්නු
ඉලක්කයකට ඊයේ ලඟා උනා. ඒ සතුට නිම් හිම් නෑ. මේ මහපොළොවේ බිං අඟලක්වත් අයිතිව
නැතුව උන්න කාලේ දැන් ඉවරයි. මට මගේම කියලා කොටහක් තාවකාලිකව හරි අයිති උනා (තාවකාලිකව
කියලා කිව්වේ අපි මැරුනම ඕවා උස්සාගෙන යන්නෙ නැති නිසා )
ඉගෙන ගැනීම ආසාව තදින්ම දැනුන කාලෙක , ඉගෙන
ගන්න ඕනෑ මුදල් හදල් අතේ නැතුව උන්න කාලෙක, මට
මගේ කියලා අම්මාගෙන ලැබුන ඉඩම් කොටහ විකුනලා දමන්න උනා. ඒ අවස්ථාවේදී ගන්න පූළුවන්
හොඳම තීරණයක් හැටියට තිබුනේ ඒක විතරමයි. ඒත් එදා දවසේදී මගේම සහෝදරයා මට කියපු දේ
අදටත් මට මතකයි.
" තියෙන ඒවා විකුණලා දාලා මා ලඟ
වැටෙන්නද හිතාගෙන ඉන්නේ ?... "
ඔය වචනත් එක්ක මම සෑහෙන කාලයක් ජීවත්
උනා. ඒ ගැන හිත හිතා ජීවත් උනා. එතකොට මට
මහගෙදර දැනුනේ පිට තැනක් වගේ. ඒකෙ අයිතිය තිබුනේ මගේ සහෝදරයාට.. එයා ලංකාවේ ඉන්න
කාලෙට මම ඒ ගෙදර පැත්ත පලාතේ ගියේ නෑ. වෛරයක් හන්දා වත් එකට එක කරන අදහසිනුත්
නෙමේ. ඒත් මොකද්දෝ දෙයක් අර වචනවල මට දැනුන නිසා..
මට තදින්ම ඕනෑකම තිබුනේ ඉඩම් කෑල්ලක්
අරගන්න. කොළඹට කිට්ටුව. ඒක හිතන තරම් ලෙහෙසි දෙයක් උනේ නෑ මට. මාසයක් පුරාවට රෑ
දවල් මහන්සි වෙලා ගන්න පඩි පතෙන් කරන්න හුඟාක් දේවල් තිබුනා. අම්මගෙ වියදම්, එයාගෙ
බෙහෙත් හේත්,
ගෙවල් කුලී, බිල්
ගෙවීම්, කන
බොන වියදම් එක්ක මහා ගාණක් ඉතුරු කරගන්න එක ලේසි දෙයක් නෙමේ. ඒත් උත්සාහයක්
තිබුනා.
දන්න කියන හැමෝම කිව්වේ බැංකුවකින්
ණයක් අරන් ඉඩමක් ගන්න කියන එක උනත්, මම ඒ
ගැන හුඟාක් හිතුවා. මගේ පඩි පතෙන් ණයට කැපුනම ඉඩම විතරක් තියාගෙන මොනවා කරන්නද ?
අවුරුදු කීපයක් සකසුරුවමින් යමක් ඉතිරි
කරගන්න මට පුළුවන් උනා. ලෝබකම් කලයුතු තැන් වලදී ලෝබ කම් කලා. අයෝජණයක් කරන්න තරම්
දෙයක් තිබුනේ නෑ. සීට්ටු ගැන දන්නා දෙයක් නැති හන්දා සීට්ටුවලට ගියෙත් නෑ. ඒත්
හිතවතෙකුගේ උපදෙසක් උඩදී මීට අවුරුදු තුනකට කලින් අතේ ඉතිරි උන මුදලකින් රත්තරන්
පවුම් කීපයක් අරගෙන තිබුනා. ඒක හොඳ ආයෝජණයක් කියන එක පැහැදිලි උනේ පහු ගිය අවුරුදු
දෙකක කාලයක් ඇතුලත ඉහළටම ගිය රත්තරන් මිළ නිසාමයි. එයින් මට සැළකිය යුතු වාසියක් ලැබුනා.
ගැහැණුන්ගේ අවශ්‍යතා හරිම සංකීර්ණ උනත්
අවස්ථාවේ හැටියට යම් යම් වියදම් මම හිතා මතාම කප්පාදු කර දැම්මා. ඒ
නිසාම මගේ ඉලක්කයට යන්නට හැකියාවක් ලැබුනා. අතේ තිබුන මුදල ප්‍රමාණවත් නොවුන හන්දම
මගේ දයාබර යෙහෙළියගේ අනුග්‍රහයත් මට ලැබුනා. ණය මුදලක් හැටියට. කිසිදු පොළියක්
නැතුව ගෙවා දමන්න පුළුවන් නිසා ඒක මහ පහසුවක්.
ඉඩම ලැබුනේ කඩුවෙල ප්‍රදේශයේ පිට්ටුගල
අවටින්.ප්‍රධාණ පාරට මීටර 50 විතර නිසාත්, ඉඩම
අවට පරිසරයත්,
පදිංචිව ඉන්නා මිනිසුන්ගේ දයාබරබවත් නිසාම දෙවරක්
නොසිතාම ඉඩම මිළදී ගන්න හැකි උනා. මහා විශාල ඉඩමක් නෙමේ. පර්චර්ස් 6ක
කොටහක්. ඒ ප්‍රමාණය මට හොඳමට ඇති.
ඊයේ ඉඩම මගේ නමට පැවරුණා. ඇත්තටම ඒ
වෙලාවේදී දැනුන හැඟීම මොන වගේද කියන්න මට අදහස් එන්නෙ නැති තරම්. ඒ සතුට දිගින්
පළලින් විස්තර කරන්නට අපහසුයි.
බැංකු ණයක් අරගෙන මට පුළුවන් හැටියට
නිවසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. මුළින්ම අත්තිවාරම විතරක් දමා එක කාමරයක්
, කුස්සියක්
, නානකාමරයක්
අටවා ගන්නට පුළුවන්නම්... මට ඒ
ඇති. අවුරුදු ගාණක් ගෙවල් කුලී ගෙවීමෙන් නිකරුනේ ලොකු මුදලක් නාස්ති වෙන එකේ බාගෙට
උනත් අටවා ගත්ත තමන්ගේ තැනක ඉන්න තියෙනවා නම් මොන තරම් හොඳද...
අද වෙද්දී මේ මහ පොළොවේ මටයි කියලා බිං
අඟලක් තියෙනවා. කවදා හරි දවසක් පුංචි නිවහනක් ඒ බිමේ හැදේවී...මගේ ඊ ලඟ ඉලක්කය
ඒයයි..
*****************************************************************
පලි
පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ අහපු දැකපු
සමහර දේ නිසා ලියන්නත් කියවන්නත් එපා වෙලා කිව්වොත් ඒක හරියටම හරි. මට ලැබුන ඇතැම්
කුණු හරුප කොමෙන්ටු සහ ලිපි එක්ක..හිතට
දැනුනේ කළකිරීමක් නෙමේ අප්පිරියාවක්. මේ ලිපි හෝ කොමෙන්ටු දමන්නේ බ්ලොග් ලියන
කියවන මෙතනම ඉන්න කොටසක් නේද කියන හැඟීම හිතේ කොනක ඇති උනා. මා ගැන කිසිම දෙයක්
නොදැන එක එක්කෙනාට මාව සමාන කරමින් ඇස් වලින් දකින්න අපහසු තිත්ත කුණු හරුප කියන
අය තමන්ටම පව් එකතු කර ගන්නවා විතරයි කියලයි මට හිතෙන්නෙ
යාදිසං වපතේ බීජං, තාදිසං හරතෙ
ඵලං
(යම්කිසි බීජයක් වපුරන්නේ නම් , එබඳුම ඵලයක්ම ලබන්නේය )

.jpg)

.jpg)
.jpg)








