මම ඉපදුනේ හැදුනෙ වැඩුනේ පුංචි ඉතාලිය
කිට්ටුවම තියෙන පුංචි ගමක. දන්නවනෙ පුංචි ඉතාලිය කියන්නෙ කොහේටද කියලා.ඒ තමා
වෙන්නප්පුව. වෙන්නප්පුව
අයිති වෙන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයට. කොළඹ - හලාවත මහා මාර්ගයේ එහෙමත් නැත්තම් A3මාර්ගයේ තමා වෙන්නප්පුව නගරය පිහිටලා තියෙන්නේ. වෙන්නප්පුව නගරයේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දකුණුට තියෙන පුංචි ගමක්
තමා මගෙ ගම… එක
පැත්තකින් ගලා යන ගිං ඔයත්..තවත් පැත්තකින් හැමිල්ටන් ඇළත් යාව ඇති අපේ ගම් පලාත
තවමත් ගැමිකම රැඳී තිබෙන ප්‍රදේශයක්.
අපේ ගම් පලාත ගැන කතා කරද්දී ඒ අවට ඇති අනෙක් ගම් ඉසව් ගැනත්
කතා කරන්න වෙනවා. පෝරුතොට , වයික්කාල, දංකොටුව, බෝලවත්ත, නයිනමඩම
,වෙන්නප්පුව, මාරවිල , බොරලැස්ස
, ලුණුවිල, කිරිමැටියාන , හාල්දඬුවන, කහටවිල ( බ්ලොග්
ලෝකයේ අපේ සහෝදරයෙකුත් ඉන්නවා කහටවිල පැත්තේ ) වගේ ප්‍රදේශ ඊට අයිතියි.
වෙන්නප්පුව ප්‍රදේශය කිව්වම හැමෝම
කියන්නෙ " හොඳට කන බොන මිනිස්සු ඉන්න පැත්තක් "ලෙසයි. ඇත්තෙන්ම
ඔව්.කිසිම ලෝබ කමක් නොකර හොඳට කන්න බොන්න පුළුවන් මිනිසුන් කොට්ඨාශයක් තමා අපේ ගම්
පලාතේ ජීවත් වෙන්නේ. ඒ වගේම ආගන්තුක සත්කාරයට බොහෝම ලැදියි. ප්‍රධාන
වශයෙන්ම ආගම කතෝලික. පෘතුගීසීන්
ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමයණ කලායින් පස්සේ පෘතුගීසීන් විසින් ප්‍රචලිත කරපු කතෝලික
ආගම අදහන..ඒ වගේම කතෝලික ආගමට බොහෝම ලැදියාවක් දක්වන භක්තිමත් කතෝලික පිරිසක් තමා මේ
ප්‍රදේශවල ජීවත් වෙන්නේ. පෘතුගීසි
ආක්‍රමණය නිසාම මේ ප්‍රදේශවල පෘතුගීසීන් භාවිතා කල ඇතැම් වචන වගේම නම් පවා තවමත්
භාවිතා කරනවා.
උදා ; බත්තලන්ද ( මැටිකෝප්පය ) ,කුඩික්කිය - (කැටය) ඔරසන් - (යාච්ඤා
කිරීම)
ඉරිදා දිනවලදී රැකියාවන් කරන සියළුම
දෙනා නිවෙස්වල රැඳෙන නිසාම..ඉරිදා උදයේ දේව මෙහෙයට සහභාගි වීම වගේම හොඳින් පිළියල
කරගත්තු මස් මාළු එක්ක හොඳ ආහාර වේලක් ගන්න හැම නිවෙසකම අය පුරුදු වෙලා ඉන්නවා. ඒ
වගේම දේවස්ථාන එක්ක සම්බන්ධය දැඩියි. හදිසි
ගැටළු අවස්ථාවලදී දේවස්ථානයේ පියතුමාගෙන් උපදෙස් ලබාගෙන ගැටළු නිරාකරනය කර ගන්නත්
ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. මිනිස්සුන්ගේ ජීවන රටාව හරිම සරළයි. මේ ප්‍රදේශ ආශ්‍රිතව
ජීවත් වෙන බොහෝ දෙනා ඥාතීන්. ඒ
නිසා ඥාති සම්බන්ධකම් ඉතා ඉහල මට්ටමක තියෙනවා. ඥාති සම්බන්ධකම්
වලට කියන නම් උනත් අනිත් ප්‍රදේශ එක්ක ගත්තම ටිකක් වෙනස්.
මේ ප්‍රදේශයට පුංචි ඉතාලිය කියන්නෙ, ඉතාලියේ
රැකියාවල නිරත උන බොහෝ දෙනා ජීවත් වෙන නිසයි. අවට ගම්මානවලින් වැඩි දෙනෙක් නිත්‍යානූකූලව
හෝ නැතිව ඉතාලිය වැනි යුරෝපා රටවලට සංක්‍රමණය වූ අය. ඒ වගේම විශාල විදේශ
විනිමය ප්‍රමාණයක් අපේ රටට ගෙනත් දෙන අය. 1985 වගේ කාලෙක අනවසර සංක්‍රමණයින් ලෙසින් කීප දෙනෙක් මුළින්ම ඉතාලියට
ඇතුල් වී තිබෙනවා. 1990 දී වගේ ව්‍යාපාරයක් හැටියට ඉතාලියට ශ්‍රමිකයින් පිටත් කර
හරින්නට කීප දෙනෙක් ක්‍රියා කර තිබෙනවා. අය කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක්.
ඉතා රහසිගතව ධීවර බෝට්ටු මගින් ජීවිතයත් මරණයත් අතර සටනක් කර ලා
ඉතාලියට ආසන්න රටකට පිටව ගිහින් එතැන ඉඳලා ඉතා භයානක ක්‍රම මගින් ඉතාලියට ඇතුල්
වීමට ඔවුන් උත්සාහ දරා තිබෙනවා. ඒ කාලයේදී බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි
උනාලු. තද සීතලට අසුවීම් සහ ඉතා රහසිගතව ගමන් කල වැසූ " බක්කි බස් " වල
පැය ගමන් කිරීම් වලින් හුස්ම ගැනීමේ අපහසුතාවලින් බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි
උනාලු .
අනවසර සංක්‍රමණයින් හැටියට ඇතුලු උනත්...කාලයක පසුව ලැබෙන වීසා බලපත්‍රය
නිසාවට ඔවුන් බොහෝ දුක් විඳ තිබෙනවා. වීසා ලබාගෙන යළිත් ලංකාවට පැමිනෙන්නන්ට
ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් රැගෙන යන්නට අවස්ථාවක් ලැබුන නිසාත්, එරට
තුල තිබුන රැකියා ඉල්ලුම නිසා සහ වැටුපේ ප්‍රමාණය ඉහල නිසාත් අනවසරයෙන් ඉතාලියට
ඇතුළු වන්නන්ගෙ ප්‍රමාණය දිනෙන් දින ඉහල ගියා. අද වන විට අපේ ප්‍රදේශයේ ඉතා විශාල
ප්‍රමාණයක් ඉතාලියේ රැකියාවල නිරත වන්නන්. ඒ හේතුව නිසාම ප්‍රදේශයේ
දියුණුව ඉතා ඉහල මට්ටමක තිබෙනවා. සුඛෝපභෝගී නිවාස , යාන
වාහන වගේම මුදල් අතිනුත් ඔවුන් ඉතා ඉහල තැනක ඉන්නවා. 1990 කාලයේදී ඉතාලියට යැවීමට
අය කල මුදල රුපියල් ලක්ෂ දෙකක ප්‍රමාණයක් උනත්.. අද වන විට එය ලක්ෂ පහළොවකට ආසන්න
ප්‍රමාණයක් දක්වා ඉහල ගිහින්. ඒ වගේම ව්‍යාපාරයක් හැටියට ඉතාලි රටේ වීසා සපයන්නන් අපේ
ප්‍රදේශයේ බහුලයි.
මේ ප්‍රදේශය සරු සාර වෙලා තියෙන්නෙ
පොල් වලින්. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයක් නිසා බොහෝ සරුසාර පොල් වතු දකින්න
පුළුවන්.කර්මාන්ත හැටියට ප්‍රධාන වශයෙන් ධීවර කර්මාන්තය ,පොල්
හා පොල් ආශ්‍රිතව නිෂ්පාදන සිදු කරන කර්මාන්ත, උළු
හා ගඩෝල් කර්මාන්ත ප්‍රධාන තැනක් ගන්නවා. ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙ මුහුදු බඩ
ජීවත් වෙන අය පමණයි. අනෙක් අය සමාන්‍යයෙන් අනෙකුත් රැකියාවල නිරත වෙනවා.
ඉස්සරවෙලාම අපේ ප්‍රදේශයේ තිබෙන උළු නිෂ්පාදන
කර්මාන්තය ගැන බලමු. අපේ ප්‍රදේශයේ නිවාස වල වහලය සෙවිලි කරන්නට යොදා ගන්නෙ උළු
කැටයි. දැන් දැන් පිටරටින් ගෙන්වන උළු කැට භාවිතා කලත්, ලංකාවේ
නිෂ්පාදන කරන උළු කැට වලට තවමත් වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා.
වයික්කාල කිව්වම බොහෝ දෙනෙක් දන්නේ උළු
නිෂ්පාදන කර්මාන්තශාලා නිසාමයි. මේ ප්‍රදේශයට ආවේනිකව තියෙන මැටි විශේෂයක් නිසාම
උළු නිෂ්පාදන මේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සිදු කරනවා. වයික්කාල, බෝලවත්ත
, දංකොටුව
ඒ අතරින් විශේෂයි.
උළු කර්මාන්තශාලාවක්
මීට අවුරුදු ගණනාවකට කලින් උළු නිෂ්පාදන
කටයුතු සිදුවෙලා තියෙන්නෙ ප්‍රධානකොට මිනිස් ශ්‍රමයෙන්. උළු නිෂ්පාදනයට ගන්නා මැටි
පදම් කිරීම සිදු කරලා තියෙන්නෙ ශක්තිවන්ත මිනිසුන්ගේ දෙපාවලින්. එහෙම පදම් කරගන්නා
මැටි කැට වශයෙන් කපා අච්චුවකට දමා .. ශක්තිමත්
මිනිසුන් දෙදෙනෙක් ගේ දෑතින් කරකවන යන්ත්‍රයක් ආධාරයෙන් තලා ගන්නා උළු කැට මද පවනේ
වේලා පෝරණුවක පුළුස්සා ගැනීම සිදුවෙලා තියෙනවා. ඒත් කලයාගේ ඇවෑමෙන් යන්ත්‍ර සූත්ත්‍ර
භාවිතා කරලා උළු නිෂ්පාදනය දැන් සිදුවෙනවා.
යාන්ත්‍රානු සාරයෙන් අඹරා පදම් කරගන්නා
මැටි තවත් යන්ත්‍රයක ආධාරයෙන් උළු කැට ප්‍රමාණයේ කැලි වලට කපා, මේ
වගේ යන්ත්‍රයක් ආධාරයෙන් උළු අච්චුවකට දමා උළු කැටයක් නිපදවා ගන්නවා.
උළු නිෂ්පාදන යන්ත්‍රයක්
ඒ උළු කැටය ලී වලින් තැනුව තැටියත් මතට
බාගෙන උළු කැටයේ හැඩය ඉස්මතුවෙන ආකාරයට අනවශ්‍ය දාර කොටස් කපා හරිනවා.
උළු කැට රහින කාන්තාවන්
මේ සඳහා
කාන්තාවන්ගෙ ශ්‍රම දායකත්වය ලබා ගන්නවා. උළු කැට මද පවනේ වියලා ගත යුතුයි. ඒ සදහාම
විශේෂයෙන් පොළොවේ සිට ඉහලට තැනුව රාක්ක භාවිතා කරනවා.
රාක්ක උඩ උළු කැට වියැලෙන්නට සකස් කරන කාන්තාවන්
දවස් කීපයක් මද පවනේ වියලා
ගන්නා උළු කැට පෝරණුවක ආධාරයෙන් පුළුස්සා ගන්නවා.
උළු පුළුස්සන පෝරණුවක්
උළු තෝරා ගන්නෙ ඉන් පසුවයි. හොඳින්
පිළිස්සුන සහ කඩතොළු නොවුන උළු කැට වර්ග කිරීම කරනවා. ඒ නොම්මර 1 , නොම්මර
2 සහ
නොම්බර 3 උළු
වශයෙන්. උළුවල මිළ ගණන් තීරණය වෙන්නෙ මේ වර්ග කිරීම අනුවයි. මේ
දිනවල පවතින මිළ ගණන් අනුව නොම්මර එක උළු කැටයක මිල රුපියල් 25-30 ත් අතර මුදලක
පවතිනවා.
අවසානයේදී උළු කැට
සමාන්‍යයෙන් ඇස්බස්ටෝ ෂීට් සෙවිලි කරපු
නිවසකට වඩා උළු සෙවිලි කරපු නිවසක සිසිල් බවක් තියෙනවා. මීට වසර කීපයකට
කලින් ඉතා දියුණු මට්ටමක තිබුණ උළු නිෂ්පාදන කර්මාන්තශාලා , මේ
වෙන විට බොහෝමයක් වැසී ගිහින්. ප්‍රධාන වශයෙන් බලපාන්නේ උළු නිෂ්පාදනයට අවශ්‍ය
මැටි ලබා ගැනීමට නොහැකි කමයි. අනවශ්‍ය ලෙස ගැඹුරට මැටි ලබා ගැනීම නිසා වතුර එකතු
වී සෑදුන විශාල වතුර වලවල් ආශ්‍රිතව ඇතිවූ මදුරුවන් නිසා ඩෙංගු වැනි රෝගකාරක
පැතිරී යාම නිසාම මැටි ලබා ගැනීම තහනම් කොට තිබෙනවා. බංගදෙනිය වගේ දුර බැහැර ප්‍රදේශවලින්
මැටි ලබාගෙන දැනට මෙම උළු කර්මාන්තාශාලා සුළු වශයෙන් පවත්වාගෙන ගියත්..බොහෝමයක්
කර්මාන්තශාලා මේ වෙන විට වසා දමලා. ඒ නිසාම උළු කැටයක වටිනාකමත් ඉහල ගිහින් තිබෙනවා.
ප ලි
අපේ ගම් පලාත් ගැන කතා කරද්දී කාටත්
මතක් වෙන දෙයක් තමා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අරක්කු නිෂ්පාදන එහෙමත් නැත්තම් මහාපරිමාණයෙන් කරගෙන ගිය
කසිප්පු ජාවාරම්..ඒ ගැන ඊලග පෝස්ටුවෙන් ... J
පින්තූර හොයා ගත්තේ ගූගල් මගින්