මාව කියවන අය අතර..

10 September 2012

සත්‍ය ප්‍රේම භෘංගරාජයා ළිහිණිව මැරුවා....


ප්‍රශ්ණ හිතට ආවම එහෙමත් නැත්තම් විසඳන්නම් බැරි ප්‍රශ්ණයක හිර උනාම , එහෙමත් නැත්තම් ඒ ප්‍රශ්ණය හන්දාම සමාජයට මූණ දෙන්න බෑ කියලා හිතුනම මිනිස්සු කරන ලේසිම දේ දීවි නසා ගැනීමනෙ...

කියද්දී නම් හරිම සිම්පල් උනාට මැරෙන එකානෙ දන්නෙ ඒකෙ අමාරුව….මැරෙන එකත් හිතන තරම් ලේසි වැඩක්ද...පණ යන වැඩක්නෙ..

තරුණ අය වැඩියෙන්ම මැරෙන්න හදන්නෙ " ලව් " කේස් හින්දනෙ. මට මතකයි අපේ ගම් පලාතේ එක කාලයක් එක දිගටම ඔය " ලව් " කේස් හන්දා කීප දෙනෙක් මැරෙන්න හැදුවා.. චුට්ටක් කොල්ලො කෙල්ලො. අපේ භාෂාවෙන් කියනවානම් අර සිගරට් එකක් තරම්වත් උස නැති උන්..ගෙදරට අහු උනාම..නැත්තම් ඉස්කෝලෙට මාට්ටු උනාම...එහෙමත් නැත්තම් වයස හරස් උනාම මුන් ටික කලේ දඩි බිඩි ගාලා මැරෙන්න හදපු එක. ඒ විදියට කීප දෙනෙක් මැරුනත් එක්ක . මැරෙන්නත් එක එක ක්‍රම... ටොක් ඇට ( කනේරු ඇට වලට අපේ පැත්තේ කියන්නෙ ටොක් ඇට කියලා )කාලා චොකලට් කනවලු . තව අය එඬරු ඇට කනවලු.. සමහර අය ටොයිලට් හෝදන්න ගන්න " හර්පික් " වගේ දේවලුත් බිව්වලු...

කස්ටිය මැරෙන්න නම් හදන්නෙ මේ ලෝකේ  ඒ අයට වඩා ප්‍රේමවන්තයෝ නෑ කියලා හිතාගෙන වගේ. මැරුනම ඉතින් කාටද පාඩු....

මේක උනේ 2008 අවුරුද්දේ.එතකොට මම MSc එකට ඉගෙන ගන්නවා.රස්සාවක් කරන ගමන්ම ඉගෙන ගන්න එකත් පණ යන වැඩක් කියලා දන්නෙ එහෙම කරන අයනෙ.. උදේ පාන්දර කෝච්චියේ නැගලා හිටගෙනම කොළඹට ගිහින්...ඔෆීස් එකේ පණ කඩාගෙන වැඩ කරලා හවස 2 වෙද්දී ලෙක්චර්ස් වලට යන්න ඕනේ. ඊට පස්සෙ දාඩිය පෙරාගෙන කොටුවට ඇවිත් ,වව්නියාව වගේ දුර ගමන් යන  බස් එකක එල්ලීගෙන හිටගෙනම  ආයෙම වෙන්නප්පුවට එන්න ඕනේ.ඒ බස් එන්නෙ කඩාගෙන..බිඳගෙන වංගු කෙලින් කරගෙනනෙ..පැයක් යන්න කලින් වෙන්නප්පුවේ නෝමල් බස් වල එන්න උන්නොත් එන්න වෙන්නෙ රෑ ජාමේ... 

උදේ පාන්දර කෝච්චියට නඟින්න යන දුර අම්ම ගිහින් ඇරලුවත් ..හවසට නම් මලාට පාර පැත්තට එන්නෙ නෑ. මොකද ඒ දවස්වල ටී වී එකේ යන ප්‍රවීණට අපේ අම්මත් වහ වැටිලා උන්නේ. මට හෙණ ගැහුවත් කමක් නෑ අම්මා නෝ හෙල්ලුන් ටී වී එක ලඟින්.. ඇස් වල කඳුළු පුරෝගෙන...හූල්ල හූල්ල ප්‍රවීණගෙයි බලාජි ගෙයි විකාර බල බල ඉන්නවා...මං පව් !

ඉතින් මම වෙන්නප්පුවෙන් බහිද්දී හවස හය හමාර විතර වෙනවා. එතන ඉදලා පාර මාරුවෙලා අපේ ගෙවල් පැත්තට තවත් කිලෝ මීටරයක් විතර ඇවිදින්නත් ඕනේ. මොකද ඒ වෙලාවට ඒ පැත්තට බස් නෑ. හැමදාම ත්‍රී වීල් වල යන්න කොහෙද සල්ලි.මහ කට්ටක් කාලනෙ ඉගෙන ගත්තෙත්. ඒක හන්දා ඒ කිලෝමීටරයත් පයින්ම තමා අදින්නේ.. හොඳම වැඩේ කියන්නේ ඔය පාරේ කනත්තක් තියෙනවා. මම යන්න ඕනෙ කනත්තත් පහු කරගෙන... ඔය කනත්ත ලඟින් කොච්චර එහෙට මෙහෙට ගියත් දවාලෙක ඇරෙන්න හවසවත්...රෑ වෙලාවත් ඒ පැත්ත පලාතේ බලන්නෙ නෑ මම.බයටම නෙමේ ඉතින්... හි හී.. පිරිමි පරාණයක් යනවා නම් මමත් ඉතින් අඩිය ඉක්මන් කරලා ඒ පස්සෙන් යනවා. ඒත් ඉතින් සමහර දවසට තට්ට තනියම...මේ කනත්ත කිට්ටුව ගෙවලුත් නෑ.( දැන්නම් තියෙනවා ) මක් කරන්නද කනත්ත තියෙනවා කියලා ගෙදර නොයා ඉන්නයෑ..

මේ කියන දවසෙත් ඔන්න මම බස් එකෙන් බැහැලා අර පාර දිගේ ඇවිදගෙන එනවා. වෙනදට වඩා ටිකක් රෑ වෙලත් එක්ක. හතටත් කිට්ටුයි. පාරේ ලයිට් තිබ්බත් ඉතින් කනත්ත.....වට පිට බැලුවත් පස්සෙන් වැටිලා යන්න කවුරුවත්ම නෑ. හොඳ හුස්මක් එහෙම අරගෙන ඔන්න මම ඇවිඳගෙන එනවා. කනත්ත කිට්ටු වෙද්දී ටිකක් බයයි බයයි වගෙත් එක්ක...පපුවත් නිකන් සීතල වෙනවා වගේ...දැන් මම කනත්ත ලඟටම ඇවිත්...එක පාරටම...

" අනේ...අයියෝ...කවුරුත් නැද්දෝ...අනේ මාව බේරගන්නකෝ...."

හිතා ගන්නකෝ  ලිහිණියා කොච්චර බය වෙන්න ඇද්ද කියලා. බය වැඩි කමටම මාව එක පාරටම නතරවුනා...පපුව ගැහෙනවා වගේම අත පයත් හීතල වේගෙන එනවා...ආයෙමත් අර සද්දේ...හරියටම කනත්ත මැද්දෙන්ම...

" අනේ...කවුරුත් නැද්දෝ... මට අමාරුයි..."

කකුල් දෙකට වැඳ වැඳ හරි පණ කඩාගෙන දුවන්න ඕනෙ උනත්...අනේ දෙයියනේ ! බයටම දුවනවා තියා ඇවිද ගන්නවත් බෑ .. මාව එකතැනම නැවතිලා..

මගේ වෙලාව එතරම්ම නරක නෑ. මට ඇහුනා මෝටර් සයිකලයක් එනවා. ඕනෙ කෙහෙල්මලක් කියලා පාර මැද්දට පැනලා බයික් එක නැවැත්තුවා. හොඳම වැඩේ කියන්නෙ බයික් එකේ ආපු පිරිමි ළමයා ඊට වඩා බය වෙලා. ඇයි දෙයියනේ මේ ගොම්මන් වෙලාවක කනත්ත ලඟදී කෙල්ලෙක් පාරට පැනලා බයික් එක නැවැත්තුවම බය නොවෙන එකෙක් ඉදීද....

" අනේ අයියේ...සො..සො හොනෙන් ස..සද්දයක් එනවා. මම බයවෙලා. මාවත් එක්කගෙන යන්න..."

බයටම මගේ වචනට ටැපලෙනවා..

 " මොන සද්දයක්ද...? කෝ කොහෙද..."

" අනේ මාව බේරගන්න කියලා කවුද කෑ ගහනවා අයියේ...අනේ අපි යමුකෝ...."

මට හොඳටම දාඩියත් දාලා.

පිරිමි ළමයා මාව බයික් එකෙ නග්ග ගන්න බයේද කොහෙද..මම රෝහිණීගෙ අක්ක කියලා හිතුවද දන්නෙ නෑනේ... ඔන්න ඔය වෙලාවටම ආයේමත් අර සද්දේ ඇහෙන්න ගත්තා..

" කවුරුත් නැද්දෝ..මට අමාරුයි...අනේ කවුරුත් නැද්දෝ..."

සද්දෙ ඇහුනා විතරයි පිරිමි ළමයාත් ටිකක් බය උනා. ඒත් ඒ එක්කලාම වාහනයක් එන සද්දේ ඇහුන හන්දම පිරිමි ළමයාත් ටක් ගාලා බයික් එකෙන් බැහැලා වාහනයට අත දැම්මා. ඔන්න දැන් ඒ වාහනයත් නැවැත්තුවා. කට්ටිය මෙතන ඉන්න හන්දා මගේ බයත් දැන් ගිහින්.... මම හිමීට යන්න හැදුවා..එතකොටම අර නවත්තපු වාහනයෙන් බැස්සේ මගේ යාලුවෙකුයි..එයාගෙ තාත්තයි. වෙච්ච සිද්දිය එයාලට කිව්වට පස්සේ යාලුවාගේ තාත්තා ටිකක් කනත්තේ ගේට්ටුව දිහාට ගියා... ගේට්ටුවත් ඇරලා තිබුනේ. ඔන්න එතකොටම ආයෙමත් අර සද්දේ ආවා...බොහෝම අමාරුවෙන්..කෙඳිරි ගගා...

යාලුවගේ තාත්තයි අර පිරිමි ළමයයි දෙන්න කතාවෙලා වාහනයේ තිබ්බ ටෝච් එකකුත් අරගෙන කනත්ත ඇතුලට යන්න හදන්නේ. මායි යාලුවයි පාරේ ඉන්නයෑ..ගියා අපි දෙන්නත් පිටි පස්සෙන්..දැන් නම් මගේ බයත් නැති වෙලා. ගේට්ටුව ලඟ ඉඳන් ටික දුරක් යද්දී එක පිරිමි ලමයෙක් වැටිලා ඉන්නවා අපි දැක්කා..යාලුවගේ තාත්තා දුවලා ගියා ලඟට...

" අනේ අංකල්..මම වස බිව්වා...අනේ මට අමාරුයි..මාව බේරා ගන්න..."

වස බීලා නේන්නම්..ඉන්න බෑ ගඳ..ලඟම " හාක්‍රොස් " බෝතලයකුත් තියෙනවා. යාලුවගේ තාත්තයි අර පිරිමි ලමයයි දෙන්න එක්ක එකතුවෙලා ඉක්මනින් මේ හාදයව ඉස්පිරිතාලයට ගෙනියන්න වාහනයට උස්සන් එනවා දැන්. මාත් එනවා පස්සෙන්..මේ කොල්ලා මාව දැක්ක ගමන් බෙල්ල මා දිහාට කරකවලා ගොර ගොර ගගා

"වඳින්නම් අක්කේ මාව බේර ගන්නකෝ..මට මැරෙන්න බෑ..."

" මැරෙන්න බය නම් මොකටද වහ බිව්වේ ..."

මටත් ඉතින් කට තියාගෙන ඉන්න බෑනේ..

" අනේ අක්කේ බිව්වට පස්සෙ තමා අමාරුව තේරුනේ...අනේ මාව බේරගන්න..."

කියලා කෑ ගහන්න ගත්තා. ඔය සද්දෙට දැන් එතැනින් යන තව කීප දෙනෙකුත්  ආවා. ඔන්න ඉතින් කට්ටිය එකතුවෙලා වස බීපු හාදයව  ඉස්පිරිතාලයට අරන් ගියාට පස්සේ මායි මගේ යාලුවයි අපේ ගෙවල් පැත්තට ඇවිදගෙන යනවා. එතකොටම මගේ මාමයි එයාගෙ පුතයි මෝට බයික් එකක කඩාගෙන ඇවිත් ලයිට් එළියට අපිව දැකලා " බරාස් " ගාලා බ්‍රේක් ගැහුවා අපි ලඟින්ම..මාමට දාඩියත් දාලා..ඒ අස්සෙන් මාමා හිනා වෙනවා

 " මේ වහ බීලා මැරුණ කියපු කෙනා අපූරුවට ඉන්නේ...අන්න අරහෙ අම්මා අඬ අඬා ගේ දෙක කරනවා...."

" මොක…..ක් වහබීලා...කවුද.... මම ? "

මාව කරකවලා අතෑරියා වගේ..වෙලා තියෙන දේ හිතා ගන්න පුළුවන්ද ...?

කලබලය අස්සේ පාරේ ගිය කවුරු හරි කනත්ත ලඟ වෙලා තියෙන සිද්ධිය ගැන අහද්දී එතැන හිටපු කෙනෙක් මගේ නමත් කියලා. අර පුද්ගලයා හිතලා තියෙන්නේ මම කනත්ත අස්සේ වහබීලා මැරිලා කියලා. යන ගමන පැත්තකින් තියලා අපේ ගෙදරට පණිවිඩය දෙන්න ගිහින්..මදෑ දීලා තියෙන පණිවිඩය...යස අගේට උන්න මාවත් මරලා...

ඒ විතරක්ද ..එක එක්කෙනා අපේ ගෙදරට මහ රෑ කෝල් කර කර මා ගැන අහන්නත් ගත්තා. පහුවදා උදේ මාව දකින අය " මෙන්න මැරිච්ච කෙනා අපූරුවට ඉන්නේ " කියන්න ගද්දී තමා එපා උනේ...මේ ඔක්කොම අර තමන්ගේ " ලව් " එක වෙනුවෙන් ජීවිතය පූජා කරන්න ගිය සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් හන්දනේ


ප ලි

( අර වහ බීපු හාදයා මැරුනෙ නම් නෑ.මොකද වස වැඩිය පෙවිලා නෑලූ. බෝතලය කටේ හලා ගද්දී පැණි රසකුත් එක්කම උගුර පිච්චිලා යන ගතියක් දැනුන හන්දා ඉතිරි ටික බීලා නෑ. ඒ හන්දම බේරිලා. වහ බීලා තියෙන්නෙ ඇයි දන්නවද..යාළු වෙලා උන්න ගෑණු ලමයා දවස් දෙකක් තිස්සේ තරහා වෙලා කියලා.. දැන් ඒ හාදයට ගමම කියන්නේ " හාක්‍රොස් සමන්ත " කියලා ….එතකොට මම මැරිලා ඉපදුන ළිහිණි)

46 comments:

  1. හැබැයි සමන්තට පණු අමාරුවනම් හැදෙන එකක් නැහැ කවදාවත්ම ,නේද "මැරිලා ඉපදුන ලිහිනි" ?

    ReplyDelete
    Replies
    1. අනිවා පණු අමාරුව මලාට හැදෙන එකක් නෑ. මිනිහා මැරෙන්න බය උන තරම් දැක්කෙ මමනෙ...අන්තීමට පොර ජීවත් උනා අහක ඉන්න මාව මරලා...

      Delete
  2. මාර්ග සළකුණු වල හැටියට ගේ තියෙන තැන හොයා ගත්තා කියන්නද ^_^

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ පැත්තෙද ...නැත්තම් ඉතාලියේ ඉන්න යාළුවෝ ඒ පැත්තෙ ඉන්නවද ? කමක් නෑ කමක් නෑ..ඔන්න ඔහෙ කියලා දාන්න ශශී :D

      Delete
    2. හෙහ් හේ මම නම් ලුණුවිල
      මට හිතෙන විදිහට කොන්වන්ට් එක පිටිපස්සට කිට්ටුව වගේ

      Delete
    3. ගම කනවා...එතකොට මේ ශශී කියන්නෙ අපේ ගමේ කෙනෙක්ද ? ගානක් නෑ. ගමේ නෙ :D

      Delete
  3. හාක්රෝස් සමන්ත..හිහ් හිහ්...හොඳ වැඩේ එහෙම තමයි වෙන්න ඕන. පැත්තක හිටපු ලිහිණිටත් නියම වැඩනේ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මම නම් ඇත්තටම හිතුවේ හොල්මනක් කියලමයි. මම බය උන තරම් දන්නෙ මම විතරයි..කොහොම හරි අන්තීමට " හාකෝස් සමන්ත " හන්දා ළිහිණිත් මැරුණ කිව්වනෙ..

      Delete
  4. ආ මෙන්න මැරිලා ඉපදුන ළිහිණි බ්ලොග් පෝස්ට් එකක් ලියලා!

    ඔය වහ බොන තරම් ආතල් නැහැලු බිව්වට පස්සෙ. ඔය ළිහිණි කිව්වා වගේ ජීවිතය ඉල්ලලා බැගෑපත් වෙනවලු. අනික ඉතුරු වුනත් ඔය ඇතුලෙ පිච්චෙන ඒවට, එතකොට වකුගඩු හානිවීම් වලට ජීවිතේම විඳවන්න වෙනවලු.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මට බය වෙන්න මම අවතාරයක්..ඇයි ඉතින් මැරිලා ඉපදුන කෙනෙක් නෙ :D :D

      ඇත්තටම ඩූඩ් මැරෙන්න හදන අය විඳවන තරම මම දෙපාරක්ම දැකලා තියෙනවා. මේ හාදයානම් හරියට බීල නැතුව. ඒත් අපි එක්ක ක්ලාස් ගිය යාලුවෙක් වස ඔක්කොම බීලා..දවස් ගානක් විඳවලා විඳවලා...නර්ස් ලගෙන් බැනුම් අහලා ඒත් ජීවිතේ බේරුනා. පස්සෙ පස්සෙ එයාගෙ ඇස් පේන්නෙ නෑ...කොණ්ඩෙ යනවා.. එක එක ලෙඩ..බේරුනත් මැරුනා වගේ තමා

      Delete
  5. ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියෙත් කොල්ලෙක් දිවි කදුරු කෑවා,හැබැයි උඋට කිසිම ඉහින් බහින් රෝගයක් හැදුනේ නෑ.හිටියටත් වඩා හොඳට ඉන්නව!ඌට අපි කිව්වෙත් කදුරු චාමර කියල!:D
    අරුණැල්ල බ්ලොගය ලියන රැන්ගෝ ටත් ඔහොම රෙස්කියු මිෂන් එකක් සෙට් උනා ඒත් කොළඹ කැම්පස් ඒකෙ අක්ක කෙනෙක් පැනඩෝල් පෙති බීපු සීන් 1 ක්!
    හැබැයි 'හාක්‍රොස් සමන්ත' සහ 'මැරිලා ඉපදුනු ලිහිණි' නම් දෙක නිකන් මැචින් වගේ!;) :D

    ReplyDelete
    Replies
    1. //හැබැයි 'හාක්‍රොස් සමන්ත' සහ 'මැරිලා ඉපදුනු ලිහිණි' නම් දෙක නිකන් මැචින් වගේ!;) :D //

      නිකන් මැචින් හන්ද කමක් නෑ...:P

      Delete
  6. දවස් දෙකක් තරහා උනා කියල වස බොන එක මොන මෝඩ කමක්ද ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. මෝඩ කම නැත්තම් වස බොයිද...අමු හරකෙක්

      Delete
  7. ළිහණි කතාවනම් මරේ මරු...

    ReplyDelete
  8. ආයෙම මැරෙන්ඩ උත්සහ කරන එකක් නෑ මහිතේ...
    ඒ උනාට කියන්ඩ බෑ මේ ලංකාවනේ... ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නේ දවස් 14ක් නේ... හිහ්.. :)

    "ලංකාවේ මිනිස්සු වෙනස්... අපි ඒ වෙනසට ගරු කරමු ! "

    අර කිව්ව කතාව නම් ඇත්ත!!!

    කොයි කතාව ද ?

    අර රස්සාවත් කරන ගමන් ඉගෙන ගන්න කතාව...

    හ්ම්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. ඒ හාදයා නම් තාම ඉන්නවද කොහෙද..මම ගමේ ගියාම පාරෙදි හම්බ උනත් ලාවට හිනාවක් දාගෙන යනවා...

      අන්න අන්න දාන්න පහක්. මධුරංගත් දන්නවා ජොබක් කරන ගමන් ඉගෙන ගන්න එකේ රහ... නියමයි නේද මධූ.... :D

      Delete
  9. හිනාවෙනවට වඩා හිතන්න දෙයක් තියෙන පෝස්ට් එකක්.. ඒ උනාට මට හිනා යනවනේ..

    ReplyDelete
    Replies
    1. ඉතින් හිනා වෙන්න අනේ...කොච්චර හොඳද හිනා වෙනවා නම්

      Delete
  10. ඔයවගේ වහ බීලා පස්සේ මැරෙන්න බෑ කියලා කෑ ගහන අය ඕනෑතරම් දැකලා තියනවා.. අර කිව්වත් වගේ මැරෙන්න කියලා බොන ඒවා! හයියූ.. මැරෙන්න කියලා විටමින් E කාඩ් බීපු අයත් දැකලා තියනවා හලේ

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තයාට නම් ඔය වගේ දේවල් හරිම සිම්පල් ඇති...විටමින් ඊ බීලාත් මැරෙන්න හදනවා කියලා ඇහුවාමයි. බීලා ඉස්පිරිතාලෙට ආවමනෙ ජොලි...නේද තොටියො... අර මොනාදෝ මල ජරාවක් පොවනවා නේද වමනෙ යන්න...මගෙ යාළුවෙක් වස බීලා අපි අරන් ගිහින්...නර්ස් ලා අපිටත් එක්ක බනිනවා...

      Delete
  11. ඇති යන්තං කොල්ලා බේරිලා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කොල්ල නම් බේරුනා..ඒ උනාට අනිත් අය ඒ වෙද්දී මාව මරලනෙ :D

      Delete
  12. මැරෙණ එකත් මහ පන යන වැඩක් නෙ බලාගෙන ගියාම...

    ReplyDelete
    Replies
    1. නැතුව..පණ යනවා කියන්නෙ ආයෙම එන්නෙම නැතුව යනවනෙ...බොරුද කියලා පොඩ්ඩක් මැරිලා බලන්නකෝ කස්සො :P

      Delete
  13. හෙග් හේ ලිහිනිට වෙච්ච දේ. මගෙ යාලුවෙක් ඉන්නවා උන්ගෙ ගේ කිට්ටුව තඩි සියඹලා ගහක් තියෙනවා. අපි සෙට් වෙච්ච දවස්වල කවුරු හරි ඌව ගෙදර ගිහින් ඇරලන්න ඕනේ. නැත්තම් ඌ බයයි රෑ යාමෙට අර සියඹලා ගහ යටින් යන්න. ලිහිනියා හොඳයි ඌ එක්ක බලපුවම
    අර කොල්ලා මාර ගොනෙක්නෙ. කෙල්ල තරහා උනාට වහ බොන්න තරම්

    ශෙශාන්

    ReplyDelete
    Replies
    1. ඔය සියඹලා ගස් යටින් යන්න බය හුඟාක් අය ඉන්නවා. මොකද්ද දන්නෙ නෑ සියඹලා ගහේ තියෙන රහස....

      Delete
  14. හච්චෝ හච්චෝ අක්කෙ..සමහර තැන්වල හිනා ගියත් ආය හිනාව නැවතිලා එකේක ඒවා හිතෙනවා..
    මැරෙන්න ගිහින් නම් ඇත්තටම වැඩක් නැහැ අප්පා..
    අනික..අපේ සමාජේ ගොඩක් ප්‍රකෘති කථනය විකෘති කථනය උනාම කොච්චර දේවල් වෙලා තියනවද..මරු කතාව :)
    ජය!

    ReplyDelete
    Replies
    1. මැරෙන්න ඕනෙ එක පාරයි හිරූ. ඒ ඉතින් මැරෙන්නම තමා...ඔහොම මැරිලා බෑනෙ..

      Delete
  15. නියම කතාව ලිහිණි අක්කේ...හාක්‍රොස් පැණි රසයිලුද? :D

    ReplyDelete
    Replies
    1. පැණි රසයිලු. ඔන්න " ලූ " හරිද. මොකද මම බීලා නෑනේ :D

      Delete
  16. හි හි... මාත් ඉස්සර කියන්නේ කොච්චර මැරෙන්න ඕනෙ උනත් කෝච්චියට පැනලා නම් මැරෙන්නෙ නෑ කියලා.... මම කෝච්චියට පැනලා මැරුණ කෙනෙක්ව දැක්කා ඉස්කෝලෙ යන කාලේ..... ඒකට බයවෙච්ච පාර... කොහොමත් චණ්ඩියා වගේ මැරෙනවා කිව්වට මම නම් එහෙම සියදිවි නසාගන්න මාර බයයි....

    ඉස්සර මම කෝච්චියෙන් බැහැලා ගෙදර එන ටිකට කවුරුහරි අයියා කෙනෙක් එක්ක කතා කර කර තමා එන්නේ ඉතිං.... ගෙදර එනකොට හැමදාම කවුරුහරි ගිහින් අම්මට කියලා මම කොල්ලෙක් එක්ක කතා කර කර එනවා දැක්කා, පොඩ්ඩක් බලන්න කියලා... අපේ අම්මා ඒවා ගනන් ගන් නෑ.. ඒත් ආපු ගමන් මගෙන් අහනව.. මං ඉතිං ටක් ගාලා අහනවා කොල්ලා මොන වගේ කියලාද කිව්වේ කියලා.... කණ්නාඩි දාපු එකෙක්ද, කොට එකෙක්ද මහත එකෙක්ද... හි හි

    අපේ ගම් වල උන්න අබරන් ලා ඔහොමම තමයි... හි හි....

    ReplyDelete
    Replies
    1. මම ඉස්සර කියන්නෙ මැරෙනවානම් විඳවන්නෙ නැති වෙන්න මැරෙන්න ඕනෙ කියලා. එහෙම මැරෙන්න තරම් හිතෙන්න දෙයක් වෙලා නැති ඒ ගැන වැඩිය හිතුවෙත් නෑ.
      ගම් වල ඉතින් පිරිමි ළමයෙක් ලඟින් ගියත් මොකක් හරි කියලා හිතන කට්ටියනෙ ඉන්නේ. මම මගෙ ඔෆීස් එකේ වැඩ කරන්නෙ තනිකරම කොල්ලො සෙට් එකක් එක්ක. ගමේ අය ඒක දන්නවානම් හොඳ හොඳ දේවල් කියයි...නේද හිරූ

      Delete
    2. මගේ එෆෙයාර් එකත් හංගලා කරපු නැති නිසා ගමම දැනගෙන හිටියා මට කොල්ලෙක් ඉන්නවා කියලා මුල ඉදලම.. ඒ දවස්වල කියපු කතා.. හාපෝ.... අපේ අම්මලට කලින් මාව බන්දන්න ඕනෙ වෙලා තිබුනේ ඒගොල්ලන්ට... කට්ටියට ඕනෙ උනේ මගේ එෆෙයාර් එක කැඩෙනවා බලන්න.. ඉස්කොලෙ යන කාලෙ පටන් ගත්ත එකක් නේ... මාත් චණ්ඩියානේ... .ඇරියේ නෑ.... හි හි.. හපොයි මට කියපුවා.. අන්තිමට මම එයාවම බදිනකොට කට්ටියට කියාගන්න දෙයක් නැති උනා.. හි හි...

      මාත් පස්සේ වැඩ කලේ කොල්ලෝ ගොඩක් එක්ක තමයි... අපේ අම්මලට ඒක එච්චර අවුලක් උන් නෑ ..... ඒත් බදින්න කලින්ම මම අයින් උනා... ඉස්සර මිනිස්සු මොනවා කිව්වත් අවුලක් නැති උනත් බැන්දට පස්සේ මොනවා හරි උනොත් ජීවිත කීපයක් අවුල් වෙන්න ඉඩ තියෙන නිසා... දැන් නම් චණ්ඩිකම් කුස්සියට විතරයි.. හි හි....

      Delete
    3. හිරූ වාසනාවන්තයි... ආදරය කරපු කෙනාවම බඳින්න ලැබෙන එක මොන තරම් දෙයක්ද..
      මට නම් ඉතින් රස්සාවෙන් අස් වෙන එක හීනයක් විතරයි. මොකද මට මාව ජීවත් කරවන්නත් තියෙන්න මගෙ රස්සාවනෙ. බඳින ඒවා කවද සිද්ධ වේවිද කවුද දන්නෙ හිරූ..

      Delete
  17. නියමයි. මම හිතුවේ ලිහිනි වහ බීලා කියලා

    ReplyDelete
    Replies
    1. මම....මම බොන්නෙ වස නෙමේ සමහන්.. :D

      Delete
  18. අදත් පරක්කුවෙලා ආවේ. ඔයාටත් මාර වැඩනේ වෙන්නේ. කොහොම උනත් හොඳ උත්සහ වන්තියක් කියලා හිතෙනවා. අපූරුයි ඉස්සරහටම යන්න. දවසක ඔයා හැමෝටම ඉහලින් ඉදීවි. ජය...!

    ReplyDelete
    Replies
    1. මට වෙන වැඩ ගැන කියලා වැඩක් නෑ. ...

      Delete
  19. මදැයි ළිහිණි අක්කටත් වෙන දේවල්.. ගෙදරට පණිවිඩය දුන්න කෙනා කියලා තියෙන්නෙ ගෙදරට විතරයි වගේ.. :D :D

    ReplyDelete
    Replies
    1. අර හිරූ කියවනවා වගේ ගමේ ඉන්න අබරන්ලා පණිවිඩ කියන්නෙ ඔහොමනෙ නන්ඳූ

      Delete
  20. බෝතලේ අතට අරන්, ආපහු පැත්තකින් තිබ්බා..මේ කතාව කියවලා! මඤ්ඤං තමයි!

    ReplyDelete
  21. හිකිස් මේ කියවන දෙවැනි පාර

    ReplyDelete

ස්තුතියි ළිහිණි ගේ ජීවිතය කියවනවට......ළිහිණි වටේ රැඳෙන ඔයාලා.....පෝස්ටුව කියවලා හිතෙන දෙයක් ලියලා ගියොත්..ඒක ළිහිණිට ලොකු හයියක් වේවී..ඇත්තමයි......

Note: Only a member of this blog may post a comment.