අම්මත් , තාත්තත් දෙන්නම ලඟ නැති පුංචි ගෑණු ළමයෙක්ගෙ ජීවිතයට දැනෙන පාළුව..තනිකම කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න උවමනා වෙන එකක් නෑ. ළිහිණිත් ඒ අත්දැකීම එහෙම්මම වින්ඳා. තාත්තා නැති අඩුව කවදාවත් නොදැනුනත්, අම්මා නැති අඩුව නම් තදින්ම දැනුනා. සති කීපයක් යනකම් නින්ද කියන දේ මගෙ අහලකටවත් ආවේ නෑ. හිත තද කරගෙන ඉකිය හිර කරගෙන රෑ කරුවලේ අම්මගෙ සුවඳ තැවරුන ඇඳුමත් තුරුළු කරගෙන මම කලේ හීන් සීරුවේ අඬන එක. ඒක දැක්කේ මම ඔළුව තියාපු කොට්ටයට විතරමයි..
ලොකු අම්මලාගේ ගෙදරදී මම උන්නේ අමුත්තෙක් වගේ. කොච්චර බඩගිනි උනත් මට බත් කන්න කතා කරනකම් සද්ද නැතුව පැත්තකට වෙලා උන්නා.කන්න ආසා හන්දම බොරුවට බඩගිනී කියලා අම්මගෙන් බිස්කට් ඉල්ලගෙන කාපු හැටි මට හැම තිස්සේම මතක් උනා...තමන්ගේගෙදර වගේ කොහෙද පිට ගෙදරක් ... පුළුවන් විදියට ලොකු අම්මට ගේ දොර වැඩ වලට උදව් උනා. මහා ගැඹුර ලිදෙන් අමාරුවෙන් වතුර ඇදලා මගේ රෙදි තනියම සෝද ගත්තා. දන්නෙ නැති උනත් අමාරුවෙන් සුදු ගවුම හෝදලා නිල් දැම්මා. සමහර දාට සුදු ගවුමට නිල් වැඩී. දවසක් බත් කාලා පිඟාන සෝදන්න යද්දී අතින් ලිස්සලා බිමට වැටිලා පිඟාන කැඩිලා ගියා. ලොකු අම්මට කේන්ති ගිහින් " පරිස්සමට වැඩ කරන්න දන්නෙ නැද්ද ?...." කියලා සැරෙන් කිව්වම මට හොඳටෝම දුක හිතුනා.ඒ වෙලාවට මට මගෙ අම්මා නැති අඩුව තදින්ම දැනුනා.
ඒ වෙද්දී ලොකු අම්මාගේ දුව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. වෙලාවක් ලැබුන හැම අවස්ථාවේම අක්කා මගේ ඉගෙනීම ගැන හොයා බැලුවා. බැරි හැම දෙයක්ම කියලා දුන්නා. ඒ හින්දාම වෙන්නැති ලකුණු 173 ක් අරගෙන මම ශිෂ්‍යයත්ව විභාගයෙන් පාස් වෙලා උන්නා. ඒ සතුට අම්මත් එක්ක බෙදා ගන්න බැරි මම අයියට ඒ ගැන කියලා සතුටු වෙන්න හිතුවත්, අම්මත් නැති ගෙදර සීයාට සද්දෙ දාලා අයියා එයාගේ ඉලන්දාරි ජීවිතේ යාළුවෝ එක්ක රස්තියාදුව පටන් අරන් තිබුනා. නරක වැඩ නොකලත්, " අන්න සජිතුත් කොල්ලො එක්ක රස්තුයාදුවේ යනවලු.." කියන මට්ටමට අයියා පත් වෙලා උන්නා. ඒත් අයියා ඉගෙනීම් වැඩ අතපසු කලෙත් නෑ. ඉස්කෝලේ ගමන නැවැත්තුවෙත් නෑ. අයියාට මා ගැන හොයලා බලන්න උවමනාවක් නොතිබුනත්, මම නිතරම මගේ අයියා ගැන සෙවිල්ලෙන් උන්නා.
මම ශිෂ්‍යයත්ව විභාගයෙන් පාස් උන එක මගේ අයට ඉතාම සාමන්‍ය දෙයක් උනත්, මගේ පන්තියේ ශිෂ්‍යයත්වය පාස් උන හැම කෙනෙක්ටම එයාලගෙ ගෙවල්වලින් තෑගි බෝග ලැබිලා තිබුනා. ඒ හැම මොහොතකම මගෙ පුංචි හිත රිදුනා හොඳටෝම. අසරණකම මහ ගොඩාරියක් හිතට දැනුනා. විභාගය නිසාම මට වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකාවට ඇතුල් වෙන්න අවස්ථාවත් ලැබුනා. ලොකු අම්මලාගේ ගෙදර ඉඳන් මහ පාර ලඟට තියෙන දුර හැමදාම ඇවිදගෙන එන මම එතැන ඉඳන් බස් එකේ ඉස්කෝලෙට යනවා. තනියම….බස් එකට නගින්නෙත්, බහින්නෙත් අපේ ගේ ලඟින්. ඒ හැම වෙලාවේ ගෙදරට ගොඩ වෙලා එන්නත් මම අමතක කලේ නෑ. අම්මා තරම්ම නැතත් සීයා සීයාට පුළුවන් උපරිම විදියට ගේ දොර සුද්ද කරගෙන, උයා පිහාගෙන අයියවත් බලාගෙන උන්නා.මම ඉස්කෝලෙ ඇරිලා ගෙදරට ගොඩ වෙලා යන්න එන බව දන්න සීයා, හදන බත් ටිකෙන් ඩිංගක් මටත් අරන් තියනවා.මම ගෙදර යන එන කිසිම වෙලාවක අයියා නම් ගෙදර උන්නේ නෑ. එක්කෝ ඉස්කෝලේ ගිහින්...නැත්තම් කොළු නඩේත් එක්ක රස්තියාදුවේ ගිහින්...අහම්බෙන් මාව පාරෙදි දැක්කත් අහක බලාගෙන එයාගේ යාළුවොත් එක්ක කදේ දාගෙන යනවා මිසක් ..." ආ නංගියා .." කියලා අහන්න තරම්වත් සහෝදර කමක් එයාගෙ හිතේ නොතිබ්බ එක ගැන මට තවමත් පුදුමයි.
අම්මා රට ගිහින් අවුරුදු දෙකකට ලං වෙද්දී මගේ හිතට පුදුම සතුටක් දැනුනා. අවුරුදු දෙකක් වෙනකල් විතරයි රට ඉන්නේ කියලා යන්න කලින් අම්මා කිව්වා මතකයි. ඒ නිසාම ඒ අවුරුදු දෙකේ දවස් හැමදාම මතකයේ තියාගෙන දවසින් දවස අඩු කරමින් උන්නා. ඔය අතරෙදි අම්මා ලංකාවට එනවා කියලා අපිට දැන්නුවම මම උන්නේ රටක් රාජ්‍යයක් ලැබුන ගානට...මගෙ පුංචි හිත සතුටින් පොපියන්න ගත්තා.මට අම්මා අරගෙන ඒවි කියලා හිතන ලස්සන බෝනික්කන්ට, හුරුබුහුටි ගවොම් වලට වඩා මගෙ රත්තරං අම්මා එනවනේ කියන හැඟීමෙන් මම පිරිලා උන්නා. අම්මා ලංකාවෙන් යද්දී උන්න ළිහිණි කෙල්ලට වඩා මම මනසින් වගේම ශරීරයෙනුත් වැඩිලා. අම්මා එන සතුටට මම සීයාත් එක්ක එකතු වෙලා මුළු ගෙදරම ලස්සනට අතුගාලා අස් කරලා තියන්න හුඟාක් මහන්සි උනා.
එනවයි කිව්ව දවසෙදී ඉස්කෝලේ යන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. අම්මා ගෙදරට ආවේ දවල් දොළහට විතර. සුදු පාට වෑන් එකක් ඇවිත් අපේ ගේ ලඟ නවත්තනකොට, මම දැන ගත්තා ඒ අපේ අම්මා තමා කියලා…මම " අම්මා..." කියාගෙන කෑ ගහගෙන පාර පැත්තට දිව්වා. අම්ම මොහොතක් ගල් ගැහිලා පුදුමයෙන් වගේ මා දිහා බලාගෙන ඉඳලා මාව බදාගත්තා. අම්ම ලංකාවෙන් යද්දි උන්න පුංචි ළිහිණි කෙල්ල..අම්මට අඳුනාගන්නවත් බැරි විදියට වෙනස් වෙලා. ලොකු ළමයෙක් වෙන්න ඔන්න මෙන්න. උස ගිහින් ..ලස්සන බෝල ගෙඩියක් වගේ ඉද්දී අම්මට සතුටු හිතෙන්න ඇති….අම්මගෙ ඇස් දෙකේ සතුටු කඳුළු ..මමත් අඬ අඬා අම්මාව බදාගෙනම උන්නා. හරියටම අවුරුදු දෙකකට පස්සෙ දැනෙන අම්මාගෙ සුවඳ...අම්මාගෙ සෙනෙහස මම හිතේ හැටියට විඳගත්තා.
ලංකාවේ ඉද්දී දුක් විඳලාම කෙට්ටු වෙලා ඇදිලා ගිහින් උන්න මගේ අම්මා ටිකක් මහත් වෙලා …ලස්සන වෙලා…අයියා දඩි බිඩියේ අම්මා අරගෙන ආපු බෑග් ඇද ඇද මොනවද ගෙනාවේ කියලා හොයද්දී, මම කලේ පැත්තකට වෙලා අම්මා දිහා බලාගෙන උන්න එක. කොච්චර බැලුවත් ඇති නොවෙන ආශාවකින් මගේ හිත පිරිලා තිබුනා. මට ගෙනාපු ලස්සන ලස්සන තෑගි බෝග අම්මා මගෙ අත් දෙකට දෙද්දී, මම හිමීට අම්මගෙ මූණට ලංවෙලා ඇහුවේ එකම එක දෙයයි....
" අම්මා ආයේමත් යන්නෙ නෑ නේද ?..."
ප.ලි.
ඔයාලා මොනවද හිතන්නේ ? අම්මා ආපහු යාවිද....? නැද්ද..?
යාවිද..??
ReplyDeleteඒක කියවන්න ඊ ලඟ කොටස ළිහිණි ගේ ජීවිතය කියවන්න වෙනවා ප්‍රමුදි
Deleteඅම්මා ආයෙම යන එකක් නෑ...
ReplyDeleteඅම්මව දැකපු ගමන් මගේ හිත හිතුවෙත් එහෙම්මයි
Deleteම්ම් ආයෙමත් යනවද? :(
ReplyDeleteඅම්මා ආයේම ගියොත් ළිහිණිට දුක හිතේවි නේද සයුරි
Deleteඅනිවා යනවා! අත්දැකීමෙන් කියන්නෙ.
ReplyDeleteඅනිවා..
Deleteශශීටයි විමුක්තිටයි ඒ වගේ අත්දැකීම් තියෙනවා වගේ
Deleteඅම්මා යන එකක් නෑ කියලා හිතෙනවා...
ReplyDeleteමමත් එහෙම හිතනවා මල්ලි
Deleteඅම්මා ආයෙමත් නොයාවි කියලා හිතනවා අක්කේ.. :(
ReplyDeleteජීවිතේ අපි හිතන දේම වෙනවා නම් කොයිතරම් හොඳද නන්ඳූ
Deleteකව්ද දන්නේ
ReplyDeleteඒකනේ :)
Deleteඅපේ ජිවිතත් කාලයක් ඔය වගේ..
ReplyDeleteඅම්ම ආපහු යනව...
කලින් මම කිව්වා වගේ විමුක්තිට මේ ගැන අත්දැකීම් තියෙනවා වගේ
Deleteඅම්මලා ළඟ ඉන්නවාට වඩා ළඟ නැතිනම් අගය වැඩියෙන් දැනෙනවා. කතාව නම් හරිම ලස්සනයි. බලන් හිටියා වගේ දැනෙනවා. ප්‍රශ්නයට උත්තර නොදී ඉන්නම්...
ReplyDeleteඇත්තටම ප්‍රියන්ත ළමයෙක් කුඩා කාලේදී දෙමාපියන්ගේ ආදරය රැකවරණය ලැබෙන්නම ඕනෙ. මොන හේතුවක් හන්දාවත් ළමයින් තනි කරන්න හොඳ නෑ කියන අදහසේ මම ඉන්නවා. මේක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒත් මේ වගේ දරුවෙකුගේ මානසිකත්වය බිඳවැටුනම ඒක ඒ දරුවගෙ අනාගතයට හුඟාක් බලපානවා. මම ඒක ඇත්දැකීමෙන් දන්නවා..
Deleteහැමදේම එහෙමනේ ප්‍රියන්ත. ළඟ නැති උනාම අගය වැඩී
අම්මා නැති දරුවෙක්ට පිට අය සලකන විදිහ නම් මාත් හොඳට අත්දැකලා තියෙනවා.
ReplyDeleteආම්මා අනිවා ආපහු යන්න ඇති.
ලොකු අම්මලාගේ ගෙදර මට කරදර හිරි හැර නොතිබ්බත්, යම් යම් අඩුපාඩුකම් බොහෝමයක් තිබුනා. පොඩි උනත් ඒ කාලේදී මට ඒක හොඳටම දැනුනා
Deleteඅපේ උත්තරේ මොක වුනත්, ඊ ලඟට වෙච්ච දේ වෙලා ඉවරයිනෙ නේද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔව් අයියේ උත්තර මොනා උනත් ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. ඒත් ඒ සිදුවීම මගේ අනාගතයට හුඟාක් දැරුණු විදියට බලපෑවා. අද මට යම් යම් දේ නැතිවෙලා තියෙන්නෙත් ඒ හන්දාය කියලා මට හිතෙනවා
Deleteඅන්න මම ෆලෝ බටන් එකට උත්තරයක් දුන්නා ළිහිණි. ඒක වැඩ කරන්නෙ බ්ලොගර් සයිට් එකකට වඩා වෙනස් ආකාරයකට. පින්තූරයක් ලිස්ට් එකක් පේන්න නැති වුනාට. අලුත් පෝස්ට් එක මේල් එකේ එනවා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ස්තූතියි අයියේ. ඔයා කිව්වට පස්සෙ තමා මම ඒක දැක්කෙ. දැන් එක හරි. මොකද මට අයියගෙ අලුත් පෝස්ට් ගැන දැනගන්න විදියක් නැතුව උන්නේ
Deleteඅම්මා ගියා නේ?? ෂුවර් මට නම්..
ReplyDeleteඒ තරම්ම ෂුවර් ද හිරූට :)
DeleteAmma ayemath yavi. Rata giya godak ammala e de karanawa. Athdakeeme. Kiyanne.
ReplyDeleteමගේ කතාව කියවන්න මේ පැත්තට ආව කුමාරිව ආදරයෙන් පිළිගන්නවා. අම්මා මට කිව්වේ අවුරුදු දකකට යනවා කියලා විතරක් නිසා මම නම් හිතුවේ යන එකක් නෑ කියලයි කුමාරි
Deleteමේ කතා ටික මම කියවන්න පරක්කු උනා කාලෙකින් නේ බ්ලොග් පැත්තේ ආවේ. ඉතුරු ටිකත් කියවන ගමන් ඉන්නේ.
ReplyDelete