මගේ ජීවිතය දියවෙලා ගියේ හරියට ගිණි මද්දහනේ දියවෙන අයිස් කැටයක් වගේ. ඒ වගේ දියවෙලා ගිය ජීවිතයක අතීතයකුත් කර පින්නාගෙන මම මේ මහ පොළොවේ තවමත් ජීවත් වෙනවා. ජීවිතේට හැමදාම " සැනසීම " කියන දෙය විතරක්ම හොයපු මට නොලබුන එකම දේත් එකමයි. ඒක හරි විකාරයක් කියලා කාට හරි හිතුනත්, සැනසීමක් නැති ජීවිතයකින් කිසිම වැඩක් නෑ කියලා මට හැම තිස්සේම හිතුනා විතරක් නෙමේ , මේ තවමත් හිතෙනවා. සැනසීම කියන එක කවදාවත්ම නොලැබෙච්චී මගේ ජීවිතය අද අයිති කාරයෙක් නැති මළ ගෙදරක් වගේ වෙලාද මන්දා...
මගේ ගම වෙන්නප්පුවට කිට්ටුව... වෙන්නප්පුව ටවුන් එකෙන් හැරිලා චුට්ටක් දුර යද්දී හම්බ වෙන ලුණුවිල කියන හරියේ. යමක් කමක් තේරෙන කාලේ වෙද්දී මටත් දැනුනා අපේ පවුල අග හිග කම්වලින් හිර වුන පවුලක්ය කියලා. ගෙදර උන්නේ අම්මයි , අයියයි , මමයි , සීයයි ( අම්මාගේ තාත්තා) විතරයි. එතකොට කෝ අපේ තාත්තා ? මට කවමදාවත් " තාත්තේ " කියලා කතා කරන්න කෙනෙක් අපේ ගෙදර උන්නේ නෑ.
" තාත්තා ඔයා ඉපදිලා ටික දවසකින් දාලා ගියාලු "
මට තේරෙන කාලෙ වෙද්දී අයියා කිව්වෙ එහෙමයි. අපේ තාත්තා වචනයේ පරිසමාප්තයෙන්ම " බේබද්දෙක්ලු ".
ගේ වටේම උනේ අම්මාගේ නෑයෝ. ඒ අය එහෙම කියනවා මට ඇහිලා තියෙනවා. මීගමුව පලාතේ ජීවත් උන අපේ තාත්තා , අම්මව විවාහ කරගෙන පදිංචි වෙලා තියෙන්නෙ අම්මට උරුම වෙච්චී මහ ගෙදර.ලුණුවිල පොල් පරීක්ෂණාගාරයේ සැළකිය යුතු නිළධාරී තනතුරක රස්සාව කරපු තාත්තගේ බේබදු කම හන්දම කීප සැරයක්ම රස්සාවත් නැති උනාලු. හදා ගන්න මොනතරමක් උත්සාහකලත් බැරිඋන තැනදී ...අම්මා අපේ තාත්තට ගෙදරින් යන්න කිව්වලු. ඒ බීගෙන දඟලන තාත්තගෙන් වෙන හිරිහැර ඉවසන්නම බැරිම තැනලු. යන්න කිව්ව පලියට ළමයි දෙන්නෙක් දාලා තාත්තා කෙනෙකුට යන්න පුළුවන්ද ? තමන්ගේ බේබදු කම නැති කරගන්නවා මිසක්. ඒත් අපේ තාත්තා ගිහින්. ගිහින් විතරක් නෙමේ ආයෙම කිසිම දවසක ඇවිත් නෑ …අයියටනම් තාත්තා ගැන යන්තමට හරි මතකයක් තිබුනත්....මම නම් තව වෙනතුරුම ඇහින් දැකලා වත් නෑ...
එදා ගෙදරින් පිටවෙලා ගිහින් තිබ්බ තාත්තා, අඩුම තරමින් දරුවො දෙන්න වෙච්චී මාවයි අයියවයි බලන්නවත් නිකමට ඇවිත් නෑ.දන්න දවසේ ඉඳන්ම අම්මා අපි දෙන්නව ලොකු මහත් කරන්න නොවිඳිනා දුක් වින්ඳා කියලා මට මතකයි. යුරෝපා රටවලට කොහු ආශ්‍රිත නිශ්පාදන යවන ආයතනයක අම්මත් රස්සවක් කලා. ඒ ලැබුන පඩියෙනුයි, ගෙදර වත්තේ පොල් ගස්වලින් ලැබෙන ගෙඩි වල ආදායමෙනුයි තමයි අපි හතර දෙනා ජීවත් උනේ. කන්න බොන්න නැතුව දුක් වින්ඳේ නැති උනත් , හුඟාක් අඩුපාඩුකම් අපිට තිබුනා. පොඩි ඈයෝ වෙච්චී අපිට හිතෙන හිතෙන ජාතියෙ කඩචෝරු කන්නවත්..ලස්සන ලස්සන ඇඳුම් පැලදුම් ගන්නවත් පුළුවන්කමක් තිබ්බේ නෑ. මට මතකයි මම සෙල්ලම් කලේ කාඩ් බෝඩ් එකකින් කපා ගත්ත බෝනික්කෙක් එක්ක.
ඒ අඩුපාඩුම් වගේම තේරෙනෙ කාලෙ ඉඳන්ම අම්මගේ ආදරේ අඩු පාඩුත් මට තදින්ම දැනුනා. ලඟට අරගෙන ..තුරුල් කරගෙන අපිට ආදරේ කරන්න අම්මට වෙලාවක් තිබ්බේ නෑ. උදේ පාන්දර හතරට විතර නැගිටලා දුම් පිරිච්ච කුස්සියට වෙලා උදේට කන්න රොටි , ඉදි ආප්ප, පිට්ටු වගේ දේවල් එක්ක , දවල්ට කන්න බත් තම්බන්න... අම්මා ගින්දර එක්ක ඔට්ටුවෙනවා. අයියටයි මටයි මූණ සෝදන්න ලිඳෙන් වතුර ඇදලා වෙනම බේසම් දෙකකට දාලා දඩි බිඩියේ රස්සාවට දුවනවා. අම්මා ආයෙම එන්නෙ බිං කරුවලත් වැටුනට පස්සෙ. ඒ ඇවිල්ලත් කෝ හුස්මක් ගන්න ඉඩක්..... ආයෙම රෑට බත් තම්බන්න කුස්සියෙ ගිණි කන්න ඕනේ. බෙදලා දෙන බත් ටික අර කුස්සි කෑල්ලටම වෙලා නිදා වැටි වැටී ගිලදාන මට එකම සහනයකට තිබ්බේ රෑට අම්මගෙ උණුහුමට ගුළිවෙලා නිදා ගන්න එක විතරමයි...ඒකත් පැය කීයකටද ...ආයෙමත් මහ පාන්දර අම්මා කුස්සියේ ගින්දර එක්ක....එහෙව් එකේ අපිව හුරතල් කරන්න …ආදරේ කරන්න කෝ අම්මට වෙලාවක්..
අයියා මට වඩා අවුරුදු හයකට වැඩිමල්. ඒ වෙද්දී අයියා ඉස්කෝලෙත් යනවා. මම පුංචි ළිහිණි කෙල්ල...සීයත් එක්ක තනියම ගෙදර ඉඳන් වැලි සෙල්ලම් කරනවා. සීයා සීයගෙ පාඩුවේ පත්තර කියවනවා. මම මගේ පාඩුවේ සෙල්ලම. අයියා ගෙදර ආව වෙලාවටවත් මගෙත් එක්ක සෙල්ලමක් නෑ. එයාගෙ කොළු නඩේ එක්ක විතරමයි. මාව ගනන් ගන්නෙවත් නෑ. අයියගෙ පස්සෙන් වැටිලා එයාල එක්ක සෙල්ලම් කරන්න ගියත් පුංචි මාව එයාලගෙ සෙල්ලම් වලට ගැලපුනෙත් නෑ.
අයියා කිසිම දවසක මට ආදරය කරපු කෙනෙක් නම් නෙමේ. ඒක මට හැමදාම දැනුනා. ඒක අදටත් ඒ විදියමයි. අම්මා තලෙළු හමක් තිබ්බ කෙනෙක් හන්දා අයියට තිබ්බේ අම්මගෙ පාටත් තාත්තාගේ පෙනුමත්ලු. මට තිබුනේ තාත්තගේ පාට , තාත්තගේ කොණ්ඩය එක්ක අම්මගෙ පෙනුමලු. මට එහෙම කිව්වේ අම්මගෙ නෑයෝ. ඒ වෙද්දී අම්ම කේන්තියට එයාලගෙ මඟුල් පින්තූරයත් විනාස කරලා තිබ්බ නිසා, මම තාත්තාගේ පාටද කියලා බලන්නවත් පුළුවන් උනේ නෑ...
ඒ උනත් මොනවා හන්දද මන්දා, තාත්තව දකින්න ඕනා කියන සිතුවිල්ල මගේ හිතට කවදාවත් දැනිලා නෑ... සමහර විට මම හිත යටින් තාත්තා අපිව දාලා ගිය එකට වෛර කෙරුවා වෙන්න ඇති....
1) ආදරණිය සහෝදරිය,මම මෙහෙම කිව්වොත් ඔබ තරහ නොවේවි කියල හිතෙනවා.මේ ලෝකෙ හරිම කෘර මිනිස්සු ඉන්නේ..ගැහැණු ළමයෙක් ඉන්න තැනක්,විස්තරයක් දැනගත්තම ඇත්තටම ප්‍රශ්න දාන්න බලන් ඉන්න ප්‍රමාණය වැඩියි.ඒ නිසා කොයි විදිහේ දේවල් ලිව්වත් ඉන්න තැනක විස්තරයක් අගක් මුලක් නොකියන තරමට හොඳයි.සයිබරය හොඳයි.ඒ වගේම සමානවම ,සමහරවිට ඊටත් වඩා තියෙන්නේ නරක.අපේ දේවල් වලින්ම මිනිස්සු අපිට මඩ ගහන්න බලන් ඉන්නේ ගොඩ වෙලාවට.
ReplyDelete2)"ඒ උනත් මොනවා හන්දද මන්දා, තාත්තව දකින්න ඕනා කියන සිතුවිල්ල මගේ හිතට කවදාවත් දැනිලා නෑ... සමහර විට මම හිත යටින් තාත්තා අපිව දාලා ගිය එකට වෛර කෙරුවා වෙන්න ඇති...."
හ්ම්ම්..එහෙම හිතෙනවා,ඇත්ත.ආදරේ නොලැබුනාම අම්ම,අප්පච්චි කෙරේ උනත් තරහක් ඇතිවෙන්න ඉඩ තියනවා..ඕව තනියම ඉන්න වෙලාවට හොඳට හිතට දැනෙනවා කියලත් මම දන්නවා..අනේ මන්ද..
කොහේ හිටියත් හොඳින්,පරිස්සමෙන් ඉන්න..
ඔබ කියනා දෙය හරියටම හරි. ඒත් මම දැන ගමෙන් හැතැක්ම සිය ගානක් ඈත ඉන්නේ. ඔය මම කුඩා කාලේ හිඳපු තැන විතරයි. අනික සහෝදරී පටන් ගන්නකොටම මම සඳහන් කලා මම ලියන්නෙ ඇත්තම ඇත්ත තිත්ත මගේ ජීවිත කතාවය කියලා. ඉතින් මම ඇත්තම ලිව්වා...
Deleteපරිස්සමෙන් ඉන්නවත් , පරිස්සම් කරගන්නවත් ජීවිතයක් මට තියෙනවද කියලත් වෙලාවකට හිතෙනවා. මොනවා උනත් මගෙ කතාව කියවන්න ආවට ස්තුතියි
මේ කියවනවා. අර උඩින්ම හිරු හිමාවි දුන්න අංක එකේ උපදේශය හරියටම හරි.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඔන්න මමත් ආවා ලිහිණිගේ ජීවිතය කියවන්න. ගොඩක් සංවේදියි ඔයාගේ කතාව.
ReplyDeleteහිරුහිමාවී කියපු දේට මාත් එකඟයි...ඉන්න තැන, නම, ගම ගැන මේ සයිබර් අවකාශෙට නොකියන තරමට හොඳයි. විශේෂයෙන්ම ඔයා වගේ දුක් විඳපු අහිංසක ගෑණු ළමයි...ඒත් දැන් ඔයා ඉන්නේ වෙන තැනක කියලත් කියල තියනවනේ. ඒ කියන්නේ වෙන රටක වෙන්න ඕනේ :)
ලස්සන අනාගතයකට සුබ පැතුම් මගෙන්...
සයුරි ලියන ඉතිහාස කතා කාලෙක ඉඳම නිහඬවම කියවපු කෙනෙක් මම. ඔයාගේ දැනුම, තොරතුරු සෙවීමේ පිපාසය මම හිතින් අගය කලත් උත්තර බඳින්න හිතුනේ නෑ. ඒත් මට මගේ ගැන ලියන්න ඕනෙ උනාම මම ආවා.
Deleteඅපි දැන් ඔය ගමෙන් ඈතට ගිහින් සයුරි. ඉන්නේ වෙන තැනක. අනික ඉන්න තැනක් දැනගත්තා කියලා කවුරුවත් මට මොනවත් කරන්නෙ නෑ. මොකද මේ මම ලියන්නෙ තිත්ත ඇත්තක් කියලා මුළු ගමම දන්නවා.
මම ඉන්නෙ නම් පිටරක නෙමේ. ලංකාවෙමයි.
හ්ම් කියන්න තේරෙන්නෑ.පුංචි කාලේ දුක මාත් ඇති වෙන්න විදපු කෙනෙක්.ඒක නිසා අක්කිගේ දුක දැනෙනවා.
ReplyDeleteමට නම් මගේ ජීවිතය ගැන තියෙන්නෙ දුකක් නෙමේ බට්ටි. මොළේ පාවිච්චි කරලා කල්පනාවෙන් වැඩ නොකෙරුව එක ගැන කේන්තියක්. ඇත්තමයි
Deleteලිහිණි..මුලින්ම කියන්න ඕනේ ඔයාගෙ අම්මා ගොඩක් ධෛර්‍යවන්තියක්..ඒ වගේම ඔයා..
ReplyDeleteඔයාගෙ ජිවිතේට ආව කරදර එක්ක මන් හිතනවා දැන් ඔයා ලස්සනට ජිවත් වෙනවා ඇති කියලා..එහෙම වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....සමහරක් විට අපි මේ කියන හැම වචනයක් ම ඔයාට ශක්තියක් වෙයි..එහෙම වෙන්න ඕනා...සුභ පතනවා ඔයාට...
අපි හිතන හිතන විදියට හැමදේම උනා නම් ජීවිතේ කියන එක අපිට ගානක් නැතිවෙයි.නේද නිෂ් ? මේ අත්දැකීම් ජීවිතයට පන්නරයක්.ඒත් කරපු මෝඩ වැඩ ගැන පසුතැවෙනවා මම
Deleteමුලින්ම කියන්න තියෙන්නේ ඔයාගේ අම්මා ගොඩාක් කඩිසර කෙනෙක්. ඒ කඩිසර කම නිසාම ඔය දැන් යම් තැනක ඇතියි කියල හිතවා. ඔයාගේ ජිවිතේ තිත්ත ඇත්ත කියවන්න අපි හැමදාම එනවා කමෙන්ට් එකකින් හරි ඔයාට අපි දිරිය දෙනවා.
ReplyDeleteඇත්තටම අපේ අම්මා හරිම කඩිසර ඒ වගේම හිත හයිය කෙනෙක්. මගේ නම් හිත හයිය නෑ ඒ වගේ ඒත් මම අම්මගෙන් ඉගෙන ගත්ත දේ අපමණයි.
Deleteලිහිණි ගේ ජීවිත කථාවෙ පුංචි කොටසක් හරි දැනගන්න රස්තියාදුකාරයාත් ආව ඔන්න.. ඔය විස්තර කියන පැත්තේ මමත් දෙතුන් පාරක් ඇවිදලා තියෙනවා.. ඒවා මෙතනට අදාල නෑ..
ReplyDeleteමං අහල තියෙන විදිහට ඔහේ ගලක ගගකට වඩා ගල් වල් හැපි හැපී, කදුගැට වලින් කඩා හැලි හැලී ගලන ගගේ තමයි ලස්සන... ඒ වගේම මං හිතනවා ලැබිච්ච හැමදේකින්ම පන්නර ලබාගෙන ඔයා අද වෙද්දි ඒ අතීතේ ගැන උපේක්ෂාවෙන් බලන්නේ ඒ හැම අභියෝගයක්ම ජයගෙන ඇති කියල..
ජය!!!
ස්තුතියි මගෙ කතාව කියවන්න ආවට. නමත් රස්තියාදුකාරයා හන්දා ඒ පැත්තෙ රස්තියාදු ගහන්න ඇති මගෙ හිතේ.
Deleteඔව්. ජීවිතේට ප්‍රශ්ණ එන්න එන්න ජීවිතය ලස්සන වෙනවා කියලා කවුදෝ කියලා තියෙනවලු. ඒක ඒක මොන තරම් බොරුවක්ද කියලා මම අද දන්නවා
ලිහිණියෝ...ඔයාගේ ජිවිතේ ගැන දුකයි.ඒත් ජීවිතේට අද්දැකීම් එකතු වෙන්න වෙන්න අපිට ජිවිතේ ගැන හොද අවබෝදයක් එනවා.මං හිතන විදියට ඔයා ජිවිතේ තේරුම් අරන් ඉන්නේ.අතීතය අතිතෙටම දෙන්න.ඔයාට දැන් ලස්සන ජිවිතයක් ලැබිල ඇති.සතුටින් හැමදේම භාර අරගෙන ජිවිතේ ශක්තිමත් කරගන්න.පතනවා ළිහිනියට සතුට පිරි අනාගතයක්.....
ReplyDeleteඅතීතය අතීතයටම දීලා මම සද්ද නැතුව උන්නා හිමා. ඒත් කලකිරෙනවා. කරපු මෝඩකම් ගැන හිතලා.ඒ නිසාම තමා මේ ලියන්න ගත්තේ. ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට
Deleteඅත්දැකීම් තමයි ජීවිතේ ශක්තිමත් කරන්නේ , ඒක නිසා ඒ ලබාපු අත්දැකීම් වලින් ජීවිතේ ගෙනියන්න ශක්තිය ලබා ගන්න...ජය !!!!
ReplyDeleteඇත්දැකීම් ජීවිතේ ශක්තිමත් කරද්දී වෙන්න ඕනෙ දේවල් වෙලා අහවරනෙ
Delete