අපේ අයියට පොඩි කාලෙ තිබුනේ පුදුම
දාංගලයක්. අපේ අම්මා කියනවා වගේ " මහ පොළොවෙ නම් උන්නේ නෑ ".. අයියලාගෙ
ඉස්කෝලෙන් උනත් වැඩිපුර චෝදනා පත්‍ර ආවේ අපේ අයියට. නරක වැඩ කරලා එහෙම නම් නෙමේ.
තිබුන දාංගලේ හින්දමයි..
අම්මගෙ කතාව හරි. අපේ අයිය පොළොවේ
ඉන්නවට වඩා පොළොව මට්ටමෙන් උඩ ඉන්න තමයි ඒ කාලේ වැඩි පුර උවමනාව තිබුනේ. ගස් උඩ, මේසේ
උඩ, පුටු
උඩ, ජනේල
වල එල්ලීගෙන, හපොයි
එයාට තිබ්බ එහෙමත් ගායක්.
අපේ අම්මා පණ දාගෙන හෝදලා
වේලලා..සීරුවට මැදලා අයියට අන්දලා යවන ඇඳුම..ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට තියෙන්නෙ කළු
පාටට..කුණු දූවිලි, මඩ, නාවර
වලින් වැහිලා...කහට ගෑවිලා නැති එකම එක ඇඳුමක්වත් එයාට තිබුනෙත් නෑ. ඇයි ඉතින්
තියෙන දාංගලේට ඇඳුම්වල කහට නොගාගෙන ඉදීවිද... කජු හැදෙන කාලෙට
කජු කිරි වලින් ඇඳුම් විනාසයි..මාදං, බලු
දං එහෙම හැදෙන කාලෙට ඇඳුම් දම් පාටයි...අඹ හැදෙන කාලෙටත් ඒ සෙතේම තමා..
මට මතක කාලෙ ඉඳන් එයාගේ ඔළුවේ නොපැලුන
තැනක් නෑ. (දැනටත් නළලේ ඒ තුවාල කැළල් එලෙසටම
තියෙනවා ) අඩුම තරමින් සති දෙකකට සැරයක්වත් ඔළුව පලා ගන්නවා. තාත්තත් නැති ගෙදර
අම්මගෙ මහන්සියෙන්නෙ අපේ බඩ ගින්දර නිවුනේ. කොහෙද අම්මට එක මාසයක් හරියට වැඩට යන්න
බැරි වෙනවා. කොයි වෙලාවේ ඉස්කෝලෙන් පණිවිඩයක් ඒවිද හිත හිතාලු අම්මා වැඩ
කරන්නේ..එක්කෝ ඉස්කෝලෙ ඩෙස්ක් එකක් උඩට නැගලා වැටිලා ඔළුව පලාගෙන...නැත්තම් ඉන්ටවල්
එකේදී එයාගෙ යාළු නඩේ එක්ක දුවලා වැටිලා ගල් ගෙඩියක ඔළුව වද්දගෙන...මොකක්ම හරි
එකක් වරදින්නෙම නෑ..
ඔය ඔළුව තුවාල කරගන්න එකත් ගොඩින්
බේරගන්න පුළුවන් හැටියට නම් නෙමේ කරගන්නේ. අඩුම තරමින් මැහුම් තුන හතරක්වත් දාන්න
වෙනවා. ලේ පෙරාගෙන ඉන්න අයියව අම්මා උස්සාගෙන දුවනවා බේත් සාප්පු ගානේ.. හොඳම වැඩේ
කියන්නේ හිරි වට්ටන්නෙවත් නැතුව මැහුම් දානකොටවත් අයියා නෙමේලු එක කඳුලක්
වට්ටන්නේ..ගාණක් නැති ගානට දත් මිටි කාගෙන ඉන්නවලු..හැබැයි ඉතින් ගාණට එයාට
ලැබෙන්නෙ ගෙදර ආවම තමා.. ඔළුව පැලුන තුවාලය දෙපිටෙන් යන්න අම්මා දෙනවා හොඳ පාරවල්
දෙක තුනක්. ඒත් ඉතින් අයියා නෙමේ " හ්ම්ම්ම් " කියන්නේ...රිදෙන්නම ගහලා
ඉවර වෙලා අම්මම පැත්තකට වෙලා හූල්ලන්න ගන්නවා. ගහපු දුකට..
අපේ ගෙවල් කිට්ටුව උන්නා ඩිස්පැන්සරියක
බෙහෙත් කලවම් කරපු අන්කල් කෙනෙක්. එයාගෙ ගෙදර පොඩි පොඩි තුවාල වලට බෙහෙත් එහෙම
දානවා. අයියා ඉතින් ඔළුව පලා නොගත්තත් දණහිසක්, වැලමිටක් හරි තුවාල කර ගන්නෙ නැති
දවසක් නෑනේ..හෙමීට දිව්වත්...හයියෙන් දිව්වත්...ඇවිද්දත් , බයිසිකලේ
පැද්දත්…තුවාලයක්ම තමා...හි හි හී
අම්මා වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට තමා
අපේ ගෙදර යුද්ධ පිටිය වෙන්නේ..ගෙදර ආව ගමන් අම්මට තියෙන පළවෙනි රාජකාරිය තමා අපි
දෙන්නව ලිඳ ලඟට ඇදන් ගිහින් ඇඟ සෝදවන එක.. මට නම් ඒක තමා ඒ
කාලේ මේ ලෝකේ තිබුන ලොකුම වද හිංසාව.. අර පැත්තට මේ පැත්තට හරව හරවා ඇඟේ හම ගහන
තාලෙට කුණු අතුල්ලනවා.. පූස් පැටියා වගේ පාඩුවේ පැත්තකට වෙලා කුණු දූවිලි ගාගන්නෙ
නැතුව සෙල්ලම් කරන මගේ ඇඟත් අම්මා අර තරම් රිද්ද රිද්ද කුණු අරින්න හදනවා
නම්...අයියා ගැන මොන කතාද...අම්මා අයියව හෝදන්නෙ බැන බැන..දැන් මතක් වෙද්දී හිනාත්
යනවා අප්පා...
ලිද ලඟ යුද්දෙන් පස්සෙ අම්මා ඊ ලඟට
අයියව ඇදන් යන්නේ අර තුවාලවලට බෙහෙත් දාන ගෙදරට..ඔය ගමනට මාත් ඇදිලා යනවා. ඒ තමා
මම ආසම දේ..ඒ අන්කල් අයියව පුටුවක වාඩි කරවලා..තුවාලය තියෙන තැන හොඳට බලනවා. ඊට
පස්සේ කතුරක් අරන් පුළුන් කෑල්ලක් ඒකෙ දවටලා...අනිත් අතින් මොනාදෝ බෝතලයක් ගන්නවා.
ඒකේ මූඩිය ඇරලා කතුරේ දවටපු පුළුන් කෑල්ල බෝතලේ ඇතුලට දාලා ගන්න දියරකින් තුවාලය
පිහ දානවා...ඒ වෙලාවට අයියා ඉන්නේ පුටුවේ නම් නෙමේ..දුවන්න ලැහැස්ති වෙලා.. දැවිල්ලට...මට
හරි සතුටුයි ඒක බලාගෙන ඉද්දී...ඊටත් පස්සේ තවත් ගෝස් කෑල්ලක් අරන් ඒකේ දම්පාට
බෙහෙතක් දාලා ඒක තුවාලය උඩින් දමලා ඊට උඩින් තවත් ගෝස් කෑල්ලක් තියලා ප්ලාස්ටර්
දෙක තුනක් දානවා..ඔන්න බේත් දමලා ඉවරයි..
ඔය බෙහෙත් ටික කකුලේ තියෙන්නෙ ගෙදර
එනකල් විතරයි. අයියගෙ වැඩේම අර ප්ලාස්ටර් කෑලි ගලවන එකයි..ආයෙම අලවන එකයි.. පහුවදා
උදේ වෙද්දී තුවාලෙ විතරයි..බෙහෙත් දාපු ටික නෑ...
අපේ ගේ ඉස්සරහා තිබුනා පේර ගහක්.
අයියගෙ වැඩේම ඔය පේර ගහේ තියෙන අතුවල එල්ලෙන එක. ඒක හරි භයානය වැඩක්. මොකද පේර ගහ
කිට්ටුවම මහා විසාලෙට තිබ්බ තේක්ක ගහකින් මතුවෙලා එළියට ආපු මුල් වගයකුත්
තිබුනා.අයියට ඒවල වගක් නෑ. එයා එල්ලෙනවා පේර අතුවල.. ටාසන් වැලේ එල්ලෙනවා
වගේ...දවසක් අයියගෙ සෙල්ලම ලෙල්ලම උනා. මම බලාගෙන ඉද්දිම මෙන්න මෙයාව වැටුනා පේර
අත්තත් කඩාගෙන... අයියෝ මට ගිය හිනාව ( නරක නංගෙක් තමා ඉතින් අයියා වැටුනම හිනා
වෙන්නේ .. :) ඒත් ඉතින් මෙයාගේ වැඩවලට හිනා යන්නෙ නැද්ද... J
අයියා ගහෙන්වැටුනා වැටුනාමයි කිසිම හැලහොල්මනක්
නෑ. මම හිතුවේ වැටුන ලැජ්ජාවට එයා එහෙම ඇති කියලා. මට තේරෙන මඟුලක්
තියෙනවයෑ..විනාඩි පහ දහයක් ගියත් මෙයා සද්ද නැති නිසා මම ලඟට ගියා..
" අයියේ නැගිටිනවකො.." කිව්වත් ම්හ්හු..සද්දයක්වත්
නෑ. හරිනේ..අයියා මැරිලා තමා.. එතකොටනම්
මම බය උනා හොඳටෝම.. වැටෙන් පැනලා දිව්වා අපේ පොඩි මාමලාගෙ ගෙදරට..ගිහින් කිව්වා
විස්තරේ නැන්දට. ඇයි ඉතින් අම්මත් ගෙදර නෑනේ..නැන්දා දුවලා ඇවිත් බලද්දී අයියට
සිහිය නෑලූ.. හප්පේ...ඉස්පිරිතාලේ
අරන් ගියාට පස්සෙ තමා විස්තරේ දන්නෙ..අයියගෙ අත වැලමිට ලඟින් කැඩිලලු වැටුන
පාරට..ඔන්න එයාට ඉස්පිරිතාලෙත් ඉන්න උනා ඒ වැඩෙන්.
මාස ගානක් ගිහින් අත සනීප උනා
කියමුකෝ..ඒත් නැවතුනේ නෑ එයාගෙ දැඟලිල්ල.ගෙවල් කිට්ටුව උන්න අයියගෙ යාලුවෙක්ගෙ
ගෙදර තිබුන මාදං ගහකට නැගලා අයියයි යාලුවයි දෙන්නම.. යාලුවගෙ කෙසේ වෙතත් අපේ
අයියගෙ දාංගලේ අපි දන්නවනේ..ඔන්න එදත් මෙයා ගහෙන් කරණමක් ගහලා අත කඩාගෙන.. ඒ පාර
ඔළුව පලාගන්න එක නැවතිලා අත් කඩා ගන්න ගත්තෙ ඔතැනින් පස්සෙ තමා..… J
ඒ පාර අත කඩාගෙන තිබුනෙත් වැලමිට
ලඟින්ම තමා. කලින් කඩා ගත්ත අතේ නම් නෙමේද කොහෙද..අපේ අම්මට කවුද කියලා සිංහල
බෙහෙත් කරන්න කියලා. අම්මත් අයියව උස්සාගෙන දුවලා තිබුනා වෙදෙක් ලඟට. ගිහින් ඔන්න
අතට පත්තු බැදලා ගෙදර එවලා තිබුනා. එහෙම කියලා අපේ අම්මට ගෙදරටම වෙලා ඉන්නත්
බෑනේ..අම්මා උදේට අයියගෙ අතට සාත්තු කරලා, මැල්ලුම්
පත්තු බැදලා ගෙදරින් යනවා වැඩට..අයියා ඒ විදියට අත තියාගෙන ඉන්නෙ පැයයි නැත්තම්
දෙකයි. එනවා මා ලඟට...
" නංගියා මේක ගලවන්න. දැන් ඇති .."
එහෙම කියද්දී මම දන්න මඟුලක් තියෙනවයෑ.
මම පොඩි එකීනේ..අර පත්තු ටික ගලවගන්න අයියට උදව් කරනවා.. බෙහෙත් පත්තු
ගලවාගෙන අමාරුවෙන් අත තියාගෙන ඉන්නවා අම්මා හවස ගෙදර එන වෙලාව කිට්ටු වෙනකල්. ඊට
පස්සේ ආයෙම මා ලඟ.
" නංගියා...දැන් මේක
බඳිමු..."
මාත් ඉතින් දන්න හැටියට අර පත්තු ටික
අත වටේ තියලා ඔතනවා රෙදි පටි වලින්. ටික කාලයක් යද්දී තමා වැඩේ තේරුනේ..අර පත්තු
ටික බැන්දම අයියට අත රිදෙන්න ගන්නවනේ..මෙයා ඒක ගලවලා අම්මා එන්න කලින් තිබ්බ වගේ
ඔතා ගන්නවා..අම්මව එහෙම රවටලා එයාගෙ අතම තමා වනසගෙන තිබුනේ..අත කැඩිච්ච තැනින්
හයිවෙලාලු. අයියගෙ අත නමන්න බැරි උනා අන්තීමෙදී.. (පස්සෙ කාලෙක ඒ අත ආයෙම කඩලා ප්ලාස්ටර් දාලා හැදුවද කොහෙද )
එතැනින් නැවතුනෙත් නෑ මගෙ හිතේ..තව කීප
සැරයක් අත පය කඩා ගත්තා..ටිකක් ලොකු උනාට පස්සෙ ( අවු: 15-16 විතර
) තමා ඔය දැඟලිල්ල ටිකක් හරි නැවතුනේ. මොන දේක සීමාවක් තිබුනත්...අපේ අයියට නම් ඒ
සීමාව ගෑවිලාවත් තිබුනේ නැද්ද කොහෙද..කොල්ලෝ කොහොමත් පොඩි කාලෙදී දඟයි තමා..නාහෙට
අහන්නෙත් නෑ තමා..ඒත් මෙච්චර හරියක්.... මෙච්චර අත පය කඩා
ගත්තු, ඔළුව
පලා ගත්තු කෙනෙක් තවත් නැතුව ඇති..
දැන් නම් ඉතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ.
කොච්චර නාහෙට අහන්නැති එකෙක්ව හරි බැන්දට පස්සෙ බිරින්ඳෑ හදා ගන්නවලුනේ....අපේ අයියටත් එහෙම උනාද කොහෙද..... J