මාව කියවන අය අතර..

31 December 2012

සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !



ඉතින්..ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙන්නයි යන්නේ... 2012 අවුරුද්ද ගත උනේ හිතා ගන්නත් බැරි වේගයකින්...හුඟක් දේවල් අතීතයට එකතු කරලා..

දෙසැම්බර් මාසයේ 31 දාට මම හැමදාම කරන වැඩක් තියෙනවා. කොලයක් අරගෙන ලබන්නාවූ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන වැඩ කරයුතු සටහන් කරනවා. ඒ අවුරුද්ද ඉවර උනාට පස්සේ දෙසැම්බර් 31 දාට බලනවා ඒ සටහනින් මොන මොන වැඩ කොටස් මගෙ අතින් කෙරිලා තියෙනවද...තව ඉතිරි ඒවා මොනවද කියලා...ඉතිරි ඒවා ඊ ලඟ අවුරුද්දේ සටහනට එකතුවෙනවා..ඒක දැන් අවුරුදු කීපයක් තිස්සේ කෙරීගෙන එන දෙයක්. අදත් ඒ වගේම අලුත් සටහනක් එකතුවෙනවා..අපි ඉතින් ගෙවල් දොරවල්වලින් ඈත් වෙලා තනියම ජීවත් වෙන අයනේ. " මේක මෙහෙම කරපං..අරහෙම කරපං " කියලා ඇන ඇන කියන්න අය ලඟ නැති වෙලාවේ එහෙම සටහනක් තියෙන එක හොඳයි...

මහා ලොකු බලාපොරොත්තු නැතත්....කීයක් හරි ඉතිරි කරගෙන මටයි කියලා බිං අගලක් අරගන්න තියෙන බලාපොරොත්තුව තමා උඩින්ම තියෙන්නෙ...ඒක අවුරුද්දෙන් අවුරුද්දට පරණ වෙන බලාපොරොත්තුවක්... :) ඒකට මොකද...දවසක ඒ බලාපොරොත්තුවට ලං වෙන්න ලැබේවිනේ...

ගිය අවුරුද්දේ ජනවාරි පළවෙනිදා කිරිබත් කෑවේ තනියම උනත්..මේ අවුරුද්දේ අම්මා ඇවිත් ඉන්න නිසා තනියක් නෑ... විශේෂම දේ තමා වෙනදාට වඩා දැන් මගේ අම්මා මා එක්ක හුඟාක් සමීපයි...ඒක මට ලොකූ දෙයක්... අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගන්න  අලුත් අවුරුද්දේ අම්මගේ කකුල් අල්ලලා වැඳලා ආශිර්වාද ගන්නකොට...අම්මා හීනියට ඔළුව අතගාවි...ඒ ආශිර්වාදය හිත අස්සට මහා හයියක් වේවී...

ඉතින්..බ්ලොග් ලෝකයේදී දැන හඳුනා ගත්ත...දයාබර සොහොයුරු සොහොයුරියන්  හැමෝම මේ වෙද්දී අලුත් අවුරුද්ද පිළිගන්න සූදානම් ඇති.. අපේ ජීවිතේ අතීතයට එකතු උන 2012 වසරේදී අපි අතින් සිද්ධ උන..අතපසුවීම්..හිත් රිදවීම්..හිත් අමනාපකම්... වැරදි..හැමදෙයක්ම අපි අතීතයේම තියලා...අලුත් හැඟීමක් එක්ක...අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද පටන් ගමු...2013 අවුරුද්දේදී...අපේ හිත් වගේම අනිත් අයගේ හිත්ද සතුටින් තියමු...

ලබන්නාවූ අලුත් අවුරුද්ද...සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !


29 December 2012

"හොඳ පවුල් ජීවිතයක් "... මට නම් හීනයක් විතරමද කොහෙද ?


සරා අයියගේ ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද...? පෝස්ට් එක කියෙව්වම හිතට ආපු දේවල් බොහෝමයි.

වැඩිය දුර නොයා මගේ ගෙදර අපේ අම්මගෙ තාත්තගෙ දෙදරලා ගිය පවුල් ජීවිතය ගැන හිතද්දී මට දැනෙන්නෙ මහා කලකිරීමක්.අපි නොදන්න කිරිසප්පයෝ කාලේදී මගේ තාත්තා අපිව දාලා වෙන ගැහැණියකගේ තුරුළට ගිහින් තිබුනේ ඇයි කියන හේතුව යන්තම් තේරෙන කාලේ ඉඳන්ම මම හෙව්වා. තවමත් ඇස් දෙකෙන් දැකලා නැති තාත්තා කියන කෙනා අම්මව පැත්තකට දාලා තව සම්බන්ධයක් පටන් අරන් තියෙන්නේ අම්මගේ වැරැද්දකට නෙමේ.ඒ හේතුව තවමත් මට ගැටළුවක් විතරයි. මහා උගත් කමක් නොතිබුනත් හරිම කැපවීමකින් සරළ ජීවිතයක් ගත කරපු අම්මාගෙන් මම ජීවිතයේ හුඟාක් දේවල් ඉගෙන ගත්තා. පිරිමියෙක් නැති ගෙදර දරුවො දෙන්න එක්ක අම්මා ඔට්ටු උන ඔට්ටුවිල්ල මම දැක්කා. කසාදයක් කැඩිලා ගිය ගැහැණියකට සමාජයේ ඔළුව උස්සගෙන ඉන්න අමාරු තැන් වලට අම්මා උපේක්ෂාවෙන් මූණ දුන්න හැටි මම දැක්කා. අම්මාට නොලැබුන නිදහස් සොඳුරු පවුල් ජීවිතයක් මට ලබා දෙන එක අම්මාගේ එකම ප්‍රාර්ථනාව කියලා මම දන්නවා.

කසාදයක් කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක ඕනෑම ගෑණු ළමයෙකුගේ හීනයක්. ඒ හීනය මමත් දකිනවා. ඒත් ඉතින් කසාදයක් කරගන්නවායි කියන්නෙ ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේනේ. අම්මා නම් කියන්නෙ කසාද බඳින වයසක ගෑණු ළමයෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඒක ලොකු බරක් සහ වගකීමක් කියලා. වෙන්නැති..දැන් මට අවුරුදු 26යි. මගෙ වයසේ හුඟාක් දෙනෙක් මේ වෙද්දී කසාද බැඳලා දරු මල්ලොත් ඉන්නවා.

ඇත්තටම කිව්වොත් කාලෙකට කලින් මම හිතාගෙන උන්නේ ඉක්මනින් කසාද බඳින්න ඕනෑ කියලා. ඒත් අතරමඟ නැවතුන ආදර සම්බන්ධයෙන් පස්සේ හිත ටික ටික වෙනස් උනා. ඒ එක්කම දැන් සමාජයේ කසාදය තුට්ටු දෙකකට මායිම් නොකරද්දී...කසාදයකට තියෙන බයත් හිතට දැනුනා. පහුගිය කාලය පුරාවටම ඇහුවේ දැක්කේ පවුල් ජීවිත දෙදරලා ගිය සිදුවීම්...මගේ වයසේ මගේම යෙහෙළියන්ගේ පවුල් ජීවිත ඇතුලත මා එක්ක විස්තර කරද්දී සමහර දේවල් මට අදහා ගන්න පවා බැරි උනා.

කසාද ජීවිතයක් කියන්නේ බුල්ටෝ එකක් තරම් පැණි රහත් එක්ක කරවිල ගෙඩියක තිත්ත රහත් මුසුවෙච්චී දෙයක්...ඉස්සර කාලේ අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක පවුල් ජීවිතයකට ඉහලම තැනක් ලැබුනා. මොන තරම් කරදර..හිරිහැර..දුක් කම්කටළු ආවාත්...නොකැඩී තිබුන පවුල් ජීවිත අපේ අවට තිබුනා...දුක සතුට හවුලේ ඒ අය බෙදා හදා ගත්තා. ඒත් අද සමාජයේ ජීවත් වෙන අයට පවුල් ජීවිතයක වටිනාකමක් තියෙනවද කියලත් සැකයි. ආදර සම්බන්ධයකින් හෝ වේවා..එහෙමත් නැත්තම් යෝජිත කසාදයකින් හෝ වේවා පවුල් ජීවිතයක් ආරම්භ කරලා මාස කීපයක් නැත්තම් අවුරුදු දෙක තුනක් යද්දී ඒ ජීවිත කැඩිලා විසිරිලා යන තත්වයක් ඇති වෙලා. කසාදයක් කියන්නෙ ලෝකෙට පේන්න කරන චාරීත්‍රයක් විතරක්ම නෙමේ. දෙයාකාරයක අදහස් තියෙන දෙන්නෙක් ජීවිතකාලයම එකට බැඳීමක්. ඒ බැඳිම පවත්වාගෙන යන්න දෙන්නගේම ඉවසීම, කැපකිරීම හා විශ්වාසය එක්කම පවුල තුල වගකීම තියෙන්නත් ඕනෙ . ගැටළු ඇති වෙන අවස්ථාවලදී කතා බහෙන් ඒ ගැටළු ලෙහාගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක මගේ විශ්වාසයයි. හැබැයි ඒක එක්කෙනෙකුටම විතරක් කරන්න බැරි දෙයක්. අද සමාජයේ මේ වගකීම් කියන දේවල් තකන්නෙ නැති තත්වයක් තියෙන්නේ.

පහුගිය කාලයේදී මගේ හිතවත් යෙහෙළියන් දෙදෙනෙකුගේම පවුල් ජීවිත අවුලෙන් අවුලට ගිය හැටි මම දැක්කා. එහෙම වෙන්න හේතුව මේකයි කියලා ඒ අය විවෘතවම මා එක්ක කතාබහ කලා. සමහර ගැටළු ඇත්තෙන්ම විසඳාගන්න පුළුවන් ඒවා. තවත් සමහර හේතූන් හරිම සංකීර්ණයි.

මගේ එක යෙහෙළියකගේ පවුල තුල සැකය කියන දේ නිසා විසඳාගන්න බැරි තරම් ප්‍රශ්ණ ඇතිවෙලා තිබුනා. ඒ යෙහෙළියට එයාගේ සැමියාව අවිශ්වාසයි. හේතුව හැටියට මගෙ යෙහෙළිය කියන්නෙ එයාගෙ සැමියා කසාද බඳින්න කලින් ගණිකාවන් ආශ්‍රය කිරීම. මේ ගැන මගෙ යෙහෙළිය දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි කසාදයෙන් පස්සේ. මේ හේතුව නිසා මගේ යෙහෙළියට ඇගේ සැමියාව පුදුමාකාරව සැකයි. ගෙදරින් කලින් ගියත්..ගෙදර එන්න ටිකක් පරක්කු උනත්...හිත ඇතුලේ තියෙන සැකය නිසාම...ඇතිවෙන බහින් බස් වීම් කෙළවර වෙලා තියෙන්නෙ පවුල් ජීවිතයත් ඉවරවෙන තරම් දුර ගිහින්. සැකය නැති කර ගෙන ජීවිතය ආයෙමත් හදා ගන්න කියලා හැමෝම උපදෙස් දුන්නත්...ඒ දෙන්නම කියන්නේ හදා ගන්න බැරි තරම් ඒ පවුල් ජීවිතය දෙදරලා ඉවරයි කියලා. විශ්වාසයක් නැති සම්බන්ධයක් ඇතුලේ ජීවත් වෙන එක වදයක් හැටියට මගෙ යෙහෙළියගේ සැමියා දකින්න ඇති. මම හිතන විදියට පවුල් ජීවිතයක මුලින්ම තියෙන්න ඕනෙ විශ්වාසය...

මගේ තවත් යෙහෙළියකට තිබිලා තියෙන්නෙ හරි අපූරු පවුල් ජීවිතයක්. කොටින්ම කියනවා නම් ලෝකයට පේන්න විතරක්ම තිබිලා තියෙන පවුල් ජීවිතයක්. ඒ යෙහෙළියගේ සැමියා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ වාණිජ බැංකුවක ඉහළ නිළධාරියෙක්. කොටින්ම මගේ යෙහෙළියගේ සහෝදරයාගේ ගජ මිතුරෙක්. ඒ මිතුරු කම නිසාම සහෝදරයා එක්ක ගෙදර ආ ගිය ඔහු මගේ යෙහෙළියට විවාහ යෝජනාවක් ගෙනත්. කොටින්ම සහෝදරයා වර්ණනා කරලා තියෙන්නෙ ඒ වගේ කෙනෙක් ලැබීම වාසනාවක් කියලයි. අවුරුදු එක හමාරක ආදර සම්බන්ධයකින් පස්සේ දෙන්නා විවාහ උනා. කිසිම අඩුපාඩුවක් නැතිව..ගේ දොර..වාහන එක්ක එයාලා ගත කල ජීවිතය නිසාම මම හිතාගෙන උන්නේ මගේ යෙහෙළිය ඇත්තෙන්ම හොඳ සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරනවා ඇති කියලයි. ඒත් ඇත්ත දැනගද්දී ඒ පවුල් ජීවිතය දික්කසාදයකින් කෙළවර වෙන්න නීති පියවරත් අරන්.

කොටින්ම කියනවානම් ඒ යෙහෙළියගේ සැමියා මානසීක රෝගියෙක්. එහෙම කියන්නෙ ඇයි දන්නවද... ඒ මනුස්සයා ස්වයංවින්දනයට තදින්ම ඇබ්බැහි උන කෙනෙක් ලු. කොටින්ම කියනවා නම් තමන්ගේ බිරිඳට පේන්න ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක්. කසාද බැන්ද දවසේදීත්..මගේ යෙහෙළියට පේන්නම ස්වයංවින්දනයේ යෙදුනාලු. මගේ යෙහෙළිය ඒ ගැන අහද්දී ඔහු කියනවාලු ඒක ඕනෑම පිරිමියෙක් කරන සාමාන්‍ය දෙයක් කියලා. මගේ යෙහෙළියගේ උවමනාව නිසාම මාසයකට එක වතාවක් විතර ලිංගික සම්බන්ධකම් පැවැත්තුවත්...ඒ ඕනෑවට එපාවට වගේලු. මගේ යෙහෙළිය කියන හැටියට රෑ යාමයේ කොම්පියුටරයේ පැලපදියම් වෙලා මේ මනුස්සයා කරන්නේ කාමුක චිත්‍රපටි බලන එකත්...ජංගම දුරකතනයේ තියෙන කාමුක ඉරියව් සහිත පින්තූර බලන එකත්ලු. අවුරුදු තුකක් තිස්සේ මගේ යෙහෙළිය ඇගේ සැමියාව මේ ඇබ්බැහිවීමෙන් ගලවාගන්න උත්සාහ කරත් බැරිවෙලා. තව දුරටත් ඒ ජීවිතයේ ඉන්න ඇයට හයියක් නෑලු... ඉවසීමේ සීමාව ඉක්ම ගිහින් එතැන් ඉඳන් මගේ යෙහෙළිය කරලා තියෙන්නෙ ඔහුත් එක්ක ආරවුල් ඇති කර ගන්න එක. මේ ආරවුල් නිසාම මගේ යෙහෙළියට පාරේ යන්න බැරි තරම් ගුටි බැටත් ලැබුනාලු. එකම ගෙදර කාමර දෙකක අවුරුදු තුනක් තිස්සේ ජීවත් වෙලා තියෙන ඔවුන් දැන් නීතියෙන් වෙන්වෙන්න යනවා.

පහුගිය දවස්වල සිදු උන රත්මලාන ප්‍රදේශයේ සිදුවීම බලන්න. බිරිඳ එක්කම දරුවො දෙන්නත් මරාදලා ඒ තිරිසනා බලාපොරොත්තු උනේ මොනාද....අලුත් පවුල් ජීවිතයක්..තමන් ආදරය කරපු පෙම්වතිය බිරිඳවෙලා ඔහුගේම ලෙයින් මේ ලෝකයට ගෙනාම දරුවො එක්කම මරලා දාලා අලුත් පවුල් ජීවිතයක්....

මේ වගේ සිදුවීම් එක්ක කසාද බඳින්න කෙල්ලක් හැටියට බයක් ඇති වෙන එක සාධාරණයි. හොඳ පවුල් ජීවිත නැතුවාම නෙමේ. ඒත් බහුතරයක පවුල් ජීවිත අවුල්. එහෙමත් නැත්තම් ලෝකයට පේන පවුලක් විතරයි. මිනිස්සුන්ගේ ජීවිත අස්සේ තියෙන්නෙ මොනාද කියලා කාටවත් දකින්න බෑ.. සරා අයියා කියනවා වගේ පීනන්න නම් ගඟට බහින්නම ඕනෑ. ඒත් මට තියෙන බය ගඟට බහින එක නෙමේ. පීනන්න බැරි වෙලා අතරමඟ ගොඩ ඒමක් නැතුවම ගිලිලා යාවිද කියන එකයි. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න යන්නෙ බොහෝම සුළු කාලයක් කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.. අපි මොන තරම් හොඳයි කියලා හිතන අයත් ලඟින්ම ආශ්‍රය කරන කොට මොනතරම් වෙනස්ද ?

ගැහැණියක් හැටියට මම බලාපොරොත්තු වෙන්නෙ හොඳ පවුල් ජීවිතයක් විතරයි. ඒත් " හොඳ පවුල් ජීවිතයක් " මට නම් හීනයක් විතරමද කොහෙද ?

මේ තරම්ම කසාද ජීවිතයක වගකීම හෑල්ලු උනේ කොහොමද ?

දෙදෙනෙක් අතර ඇති හවුලේ ගෙවන පවුල් ජීවිතයක වගකීම හඳුනා නොගැනීම නිසාද ?

නැත්තම්...අද සමාජයේ පවුලක් කියන දෙය තුට්ටුවට මායිම් නොකරන නිසාද ?

21 December 2012

දයාබර ඔබ සියළු දෙනාටම සුබ නත්තලක් !



ලතින් භාෂාවෙන් " නතාලිස් " කියන්නෙ " ඉපදුන දවස " කියන එකයි. " නත්තල" කියන වචනය අපිට ලැබිලා තියෙන්නෙ එහෙමයි.නත්තල හෙවත් ජේසු බිළිඳාගේ උපත සමරන්න ලොව පුරා සිටින බිලියන ගණනාවක් වූ කිතුනු බැතිමතුන් මේ වෙද්දී සූදානම් වෙනවා.
හැම තැනකම දකින්න ලැබෙන්නෙ කලබලයක්. එක පැත්තකින්  දෙදහස් දොළහා අවුරුද්ද ගෙවිලා යන්න ඔන්න මෙන්න.. තව පැත්තකින් ලෝක විනාශය ගැන කතා බහ...ඒ එක්කම එලඹෙන නත්තල...

ඔෆීසියෙන් ඊයෙ බෝනස් එකයි..මාසේ පඩියයි දෙකම ලැබුනා...කෙල්ලට වාසියි. සතුටටද කොහෙද කට පිරෙන්න හිනාවකුත් ඇදිලා..හි හී..පෙරුම් පුරාගෙන උන්නෙ ගෙදර යන්න. දවස් කීපයක නිවාඩුවකුත් ලැබෙනවනෙ.. ඒ උනාට පොඩ්ඩක් අසනීපයි. උණ හැදිලා. ඔෆීසියේ හැමෝටම වගේ උණ. ඔන්න ඒ පාර මටත් ඒක බෝවෙලා. හෙට ගෙදර යන්න වෙන්නෙ උණත් අරගෙන...

ගෙදර ගියාම කෑමෙන් නම් අඩුවක් නෑ. මම ආවා කියලා දැනගත්තම අපේ ගෙදරින් විතරක් නෙමේ..වටේ පිටේ ඉන්න නෑදෑ ගෙවල් වලිනුත් කෑම බීම එවනවා. මගේ පංගුව.එතකොට ඉතින් දන්නෙම නැතුව වෙනදට වඩා වැඩිපුර කැවෙනවා... තෙල් කෑමට එහෙම තහංචි දාන්නත් බෑ..... කොහොමත් ගෙදරින් ආපහු එද්දී අඩුම තරමින් කිලෝ එකකින්වත් බර වැඩිවෙලා තියෙයි. :)

පුංචි කාලේ වගේ ආසාවෙන් උඩ පැන්නෙ නැති උනත්...ගෙදර ගිය ගමන් අර මුල්ලකින් අරන් තියලා තියෙන නත්තල් ගහ අරගෙන ..සැරසිලි කරලා ...රජතුන් කට්ටුව එක්ක තියෙන පුංචි ගවලෙනත් ඒ ලඟින්ම තියලා නියොන් බල්බ් වැල එහෙම දාන එක කරන්න වෙන්නෙ මට තමා. පොඩි උන් නැති හන්දා ගෙවල් දොරවල් නම් අස් කරන්න ඕනෙ නෑ. තියෙන හැටියටම ඇති. ඇයි එතකොට කේක් හදන වැඩ..ඒකත් කරන්න වෙන්නෙ මටම තමයි. මේ පාර වෙනසකටත් එක්ක නත්තල් කේක් එකක් හදන්න ඉන්නේ. ඕනා කරන බඩු ඔක්කොම ගත්තා. බ්‍රැන්ඩි ඇරෙන්න...හි හී..ඒක අරන් බස් එකේ ගිහින් පොලීසියෙන් චෙක් කලොත් වස ලැජ්ජාව…

දවස් ගානක් මම ගෙදර ඉන්න හන්දද කොහෙද අම්මත් ඉන්නෙ සතුටින්. හැමදාම කෝල් කරද්දී එන වෙලාව තමා ඉස්සරවෙලාම අහන්නේ. ඒ විතරක්ද..එයා දැම්ම ඉඳන් කෑම බීම හදනවා. ගමේ අච්චාරුව එහෙම දාලත් ඉවරයිලු.. අපේ අම්මා හදන ගමේ අච්චාරුවත් එක්ක විතරක් බත් කන්න පුළුවන්..ඒ තරම් රසයි.

වෙනදා වගේම මේ පාරත් රෑ දොළහට පූජාවට යන්න පුළුවන්. වැස්සේ නැත්තම්. මේ දවස්වල අපේ පැත්තට හොඳටම වහිනවලු. උස්සාගෙන යන්න බඩු ගොඩාරියයි. අම්මට දෙන්න තෑගිබෝග වගේම අම්මගෙ හිතට සතුටත් අරගෙනයි ගෙදර යන්නෙ.. බරට බරේ ලැපාත් උස්සාගෙන නොයා දාලා යන්නෙ අම්මත් එක්ක ඒ සතුට බෙදා ගන්න ඕනෙ නිසාමයි.නැත්තම් මම ඒකේ එල්ලෙයි. අම්මා තනියම කතා කරයි... එකම බලාපොරොත්තුව ඉන්න දවස් ටික උපරිම සතුටින් ගතකරලා ආයෙම එන්නයි..

ඉතින්... ආයෙම නත්තල් උත්සවයෙන් පස්සෙ හම්බවෙමු..

ලබන්නාවූ නත්තල සාමය සතුට පිරුණු සුබම සුබ නත්තලක් වේවා !


16 December 2012

අද කාලේ විශාකාවෝ..



විවේකීව දවසක කාලයක් ගෙදර ඉන්න පුළුවන් කියන හැඟීම හින්දමද මන්දා සතියක් ගෙවිලා ඉරිදාවක් එද්දී හිතට සුවදායක හැඟීමක් දැනෙනවා. හැමදාම මහ රෑ යාමයේ නිදාගෙන..උදේ පාන්දරම අවදිවෙලා කුස්සියේ හටනින් පටන් ගන්න දවස ඉවර වෙන්නෙ අපිවත් හෙම්බත් කරලා දාලා. හිත නිදහස් කරගෙන...ඔළුව නිදහස් කරගෙන දවසක් පටන් ගන්නවා කියන එක වෙන්නෙම නැති තරම්. රෑට ඇඳේ ඉඳගෙනත් පහුවදා කරන්න ඕනෙ දහසකුත් දේ හිතන්න ගත්තම හරිහමන් නින්දක් ලැබෙන්නෙත් නෑ. නොහිතා නිදා ගන්න තිබුනා නම් හොඳයි තමා. ඒත් තමන්ගේ කටයුතු ගැන තමන් හිතන්නෙ නැතුව වෙන කවුරු හිතන්නද ?

දන්නෙම නැතුව ඉරිදා දවස ගෙවිලා ගියා. නිවාඩුවේ ඉන්නවා කියලා හිතුවට කෝ නිවාඩුවක්.ගෙවල් දොරවල් අස් කරන...පොළොව මදින...නාන කාමර හෝදන ...රෙදි හෝදන..උයන පිහින වැඩ ඔක්කෝම ඉවර වෙද්දී...දවසත් ඉවරවෙලා...

සාමාන්‍ය පන්තියේ කාන්තාවෝ වෙච්චි අපි හැමෝම ගෙවන්නෙ මහ ඒකාකාරි, කාර්‍යබහුල ජීවිත.ජීවිතවල රසයක් නෑ. ඔහේ ගෙවිලා යන ජීවිත අපිට උරුමවෙලා. ඉස්සර කාලෙ නම් කාන්තාවෝ රැකියාවල නිරත උනේ නෑ. කරන්න තිබ්බේ ළමයි හදාගෙන ගෙදර දොරේ වැඩ කටයුතු බලා කියාගෙන ඉන්න එක. ඒ කාලයේදී ගෙදර ස්වාමියා හම්බ කරන දෙයින් සරළ අල්පේච්ච ජීවිත ගතකරන්න මිනිස්සු පුරුදු පුහුනු වෙලා උන්නා. ඒකට දැන්..සමාජයේ වෙනසත් එක්කම ආපු වාණිජමය ලෝකයට හැඩ ගැහුන වටපිටාව එක්ක වෙනස් උන සිතුම් පැතුම්....එක්ක අපිත් සමාජගතවෙලා ..අපිට එතැනින් අයින් වෙලා අල්පේච්ච ජීවිතයට යන්න බෑ. ඒත්කොට අපිව සමාජයෙන් කොන්වෙනවා..

එතකොට මේ සමාජයේ කාරණා කටයුතු එක්ක ජීවත් වෙන්න ස්වාමියා විතරක් හොයන දෙයක් කොහෙත්ම ඇති වෙන්නෙ නෑ. ඉතින් ඔන්න කාන්තාවත් රැකියා කරන තත්වයක් උදා උනා. එතකොට අතීතයේ ජීවත් උන විශාකාව , යශෝදරාව එක්ක කාලයත් එක්ක වෙනස් උන,සමාජගත උන...පිරිමින් එක්ක හරි හරියට වැඩ කරන... ඔට්ටුවෙන අද සමාජයේ කාන්තාව සංසන්දනය කරන්න බෑ. එහෙම කරන එක අසාධාරණයි..

අපේ සංස්කෘතියේ කාන්තාවක් කියන්නෙ ලතාවට ඇවිදින , කලිසම නොඅදින, කොන්ඩෙ දිගට වවන .. කොටින්ම කියනවානම් ජේත්තුවට හැඩ වැඩ කරන්නෙ නැති  කෙනෙක් වෙන්න බෑනේ..ඒක ප්‍රායෝගික නෑ. කොහෙත්ම...

ඒ වගේම අද්දන බස් කෝච්චිවලට දුවල ගිහින් පිරිමින් එක්ක පොරකාල නගින, අලුත් පන්නෙට කොන්ඩෙ කපන, කාලයේ තාලයට කලිසමක්..ඇඳුමක් අඳින පළඳින කාන්තාවන්ගේ හිත් විශාවකගේ..යශෝදරාවකගේ වගේ නෙමේ කියන්නත් බෑ..

උදේ පාන්දර ගෙදර යුද්දෙ කරලා ඔෆීසියෙ යුද්දෙට දුවන කාන්තාවකට පොළොවට රිදෙන්නෙ නැතිව ලාලිත්‍ය ගමනින් ඇවිදින්න කියන්න කාටද පුළුවන්. බස්වල කෝච්චිවල තැලිලා පොඩිවෙලා ..හිරවෙලා මිරිකිලා පිරිමින් වගේ ජීවිතේ එක්ක රේස් දුවද්දී " ගෑණු ඇයි පිරිමි වගේ කලිසම අදින්නේ " කියලා අහන්නත් බෑ. වෙහෙස නිසාම දුර්වර්ණ වෙච්චි මූණට සාත්තුවක් කරගන්න සැලෝන් එකකට රිංගුවා  කියලා දොස් කියන්නත් බෑ..

සාම්ප්‍රදායික රාමුවකට කොටු නොවී ඉන්න කාන්තාවකට විච්චූරණ කාරියක් කියන්නත් බෑ. හැම දෙයකටම කාන්තාවන්ට ඇඟිල්ල දික් කරන සමාජයක  කාන්තාව  ජීවත් වෙන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ.චුට්ට බැරිවෙද්දී ඇණුම් බැණුම්..රැවුම් ගෙරවුම්...දූෂණ..අපහාස..විවේචන.. කොටින්ම කියනවා නම් පවුල තුලත් සමාජය තුලත් කාන්තාව හෑල්ලු වෙන අවස්ථා එමටයි...

ලෝකයේ තියෙන දරුණුම වේදනාව විඳලා දරුවන් බිහිකරන...දහ දුක් විඳලා දරුවන් ලොකුමහත් කරන...ඒ දරුවන්ගෙන්ම බැණුම් අහන කාන්තාවෝ මොන තරම්ද...කාන්තාවකට තියෙන ගෞරව නැත්තටම නැති වෙලා..කොටින්ම හැම කාන්තාවක්ම " බඩුවක් " ගාණට දාන පිරිමි කොයි තරම්ද...තමන්ගේ තරහව පිරිමහ ගන්න ඉස්සරහට දාන්නෙ කාන්තාවට අපහාස වෙන වචන....පටන් ගන්නෙ අම්මට...... කියලා. තමගේ කේන්තියට පිට කරන්න අම්මව ඇදලා ගන්නෙ නිවට නියාලු අය. කාන්තාවට ගෞරව කරන එක පිරිමි කමට නිගාවකුත් නෙමේ..

කාන්තාවන් ගැන මෙච්චර හිතන්නෙ මමත් කාන්තාවක් හන්දා වෙන්න ඇති.බොළඳ තර්ක ගෙනත් කාන්තාව අරහෙමයි...මෙහෙමයි... කියලා විවේචනය කරන්න කලින්..මේ සමාජයත් එක්ක..ආර්ථිකයත් එක්ක.. ඔට්ටුවෙන... ඔට්ටුවෙලා හෙම්බත්වෙන..මානසීකව ඇද වැටෙන...ඒ හන්දාම මුරන්ඩු වෙන...ඉක්මනින් කේන්ති යන... කාන්තාවගේ ඇතුලාන්තයේ සෞම්‍යබව ගැන හිතන්න පුළුවන්නම්... එතකොට මේ සමාජය තුල ජීවත් වෙන අද කාලේ විශාකාවන් දකින්න පුළුවන් වේවී


ප ලි

ලිපියට නිමිත්ත උනේ ..පිරිමියෙකුගේ රැවුම් ගෙරවුම්..අපහාස නිසාම හිත් රිදුමකට මුහුණ පාලා..ඒ හන්දාම ජීවිතය නැති කරගන්න උත්සාහයක් අරන්...අන්තිම මොහොතෙදී මගේ ලඟට ආව..මගේ යෙහෙළියක් නිසා..දැන් මම ඇගේ රිදුන හිත සුවපත් කරන උත්සාහයක...ඒ ගැන පසුවට...

13 December 2012

ලෝක විනාශය සිදුවනවාද ? අප විනාශය ලඟා කර ගන්නවාද ?



අප ජීවත් වෙන ලෝකයේ ඇරඹුම මෙන්ම අවසානයද කවදා කොයි ආකාරයෙන් සිදුවේදැයි සොයන්නට මිනිසා පෙළඹුනේ අද ඊයේ නොවේ. ලෝකයේ ආරම්භය මෙන්ම අවසානයද කවර ආකාරයෙන් සිදුවේදැයි යන ගැටළුවට නොයේක් පිළිතුරු ඒ ඒ යුගවල ජීවත් වූ ආගමීක ශාස්තෘවරුන්  මෙන්ම දාර්ශිකයින්ද තමන්ගේ අදහස් පෙන්වා දී තිබේ.

මීට වසර 58කට පමණ පෙර පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද සෙල් ලිපියක් ඇසුරෙන් කල පරීක්ශණයන් අනුව අප ජීවත් වන ලෝකයේ අවසානය 2012 වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා සිදුවන බව ඔවුන් කියයි. නමුත් ඒ කුමන ආකාරයටදැයි සඳහනක් නැත.

ලොවපුරා මිනිසුන්ගේ අවධානය දිනා ගන්නා ලද එම දිනය මායා ශිෂ්ඨාචාරයේ ජීවත් වූ  මායාවරුන්ගේ සෙල් ලිපියක සඳහන් වූ මායා දින දර්ෂණයක සඳහන්  බව ඒ පිළිබඳව සොයා බැලූ විද්‍යාඥයින්ගේ අදහස වුවද ඇත්තෙන්ම 2012 දෙසැම්බර් මාසයේ 21 දා මේ කියන ආකාරයේ ලෝක විනාශයක් සිදුවේදැයි අප බලා හිඳින්නෙමු..

මායා ශිෂ්ඨාචාරය යනු වර්ථමාන දකුණු ඇමරිකානු අර්ධද්වීපයේ මෙක්සිකෝව , ගෝතමාලාව , එල්සෙල්වදෝරය හා උතුරු බ්‍රසීලය යන රටවල් පිහිටි ප්‍රදේශයන් ආශ්‍රිතව පැවති වසර ක්‍රි.පූ 3000 වෙනි වසරට පමණ ඈත අතීතයේ ඉතාමත් දියුණු ශිෂ්ඨාචාරයක් බව සොයාගෙන තිබේ. 
                                 
                                               මායා ශිෂ්ඨාචාරය



මෙම ශිෂ්ඨාචාරයට අයත් මිනිසුන් ඉතා දියුණු දින දර්ශණ පවා භාවිතා කර තිබූ බවට සාක්ෂි ලැබී තිබේ. මායා වරුන්ගේ දින දර්ශණ අනුව එක් දින දර්ශණයක් දින 260 ක්ද අනිත් දින දර්ශණය දින 365 කින්ද සමන්විතයි. ඊට අමතරව ඔවුන් තවත් විශේෂ දින දර්ශණයක්ද බාවිතා කර ඇත. එය නම් කොට ඇත්තේ Long Count Calendar යනුවෙනි.

                                                   Long Count Calendar

මෙම විශේෂ දින දර්ශණය ඔවුන් නිර්මාණය කර ඇත්තේ වර්ෂ 5125 ක කාලසීමාවකට යටත්වය. ඔවුන්ට අනුව එය ලෝකයේ මිනිස් ශිෂ්ඨාචාරයේ එක් යුගයක ආරම්භය සහ අවසානය සිදුවන කාල පරාසය ලෙස සලකනු ලැබේ. ඒ අනුව මෙම Long Count  Calendar  නැමති දින දසුන අනුව මෙම මායා දින දර්ශණයේ ආරම්භක දිනය වන්නේ ( මායා ශිෂ්ඨාචාරයේ ආරම්භය ) ක්‍රි.පූ. 3114 අගෝස්තු මස 14 දින ලෙස ගණන් බලා තිබේ. එවිට එහි අවසාන දිනය වන්නේ 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදාය.

                                                 පාකල් වෝටන් 

මේ මතභේදයට තුඩු දුන් කරුණු සඳහන් සෙල් ලිපියේ හිමිකරුවා වන්නේ පාකල් වෝටන් ( Janaab Pakal Votan) නැමැති මායා ශිෂ්ඨාචාරයට අයත් රජ කෙනෙකි. ක්‍රි.වර්ෂ 603 දී ඉපිද වසර 80 ක් ජීවත් වූ පාකල්  පඬිවරයා වසර 52ක් මෙක්සිකෝවේ පාලකයා ලෙස කටයුතු කොට තිබේ. තාරකා විද්‍යාව , ජෝතිෂය පිළිබඳව මනා දැනුමකින් පිරිපුන් වියතෙකු ලෙස හැදින්වෙන මොහු පිළිබඳව තොරතුරු මුලින්ම ලෝකයට අනාවරණය වන්නේ 1949 දී මෙක්සිකෝවේ පුරා විද්‍යාකැණීම් ආරම්භ වීමත් සමගිනි. 1952 දී පොලෝ මට්ටමෙන් සිට අඩි 69 ක් යටට කැණීම් කටයුතු කරද්දී පිරමිඩ හැඩයකින් යුත් සොහොන් ගැබක තිබී පාකල් වෝටන් පඬිවරයාගේ මෘත ශරීරය සොයා ගත් බව ඒ පිළිබඳව ඇති වාර්ථාවක සඳහන් වේ..

ඒ සමඟම ඔහු විසින් ලියන ලද සෙල් ලිපි රාශියක්ද සොයා ගන්නා ලදි. 2012 වසරේ ලෝක විනාශය ගැන සඳහන් ශිලා ලේඛණය සොයා ගන්නා ලද්දේ ඔහුගේ සොහොන් ගැබ අසලින් බවත් සඳහන්. මෙම ලෝක විනාශය පිළිබඳව ඇති සෙල් ලිපි පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් සඳහන් කරන්නේ මෙය ලෝක විනාශයක් පිළිබඳ කතාවකට වඩා මිනිස් සංහතියේ එක් යුගයක අවසානය පිළිබඳව කරන අනතුරු අඟවීමක් බවයි. ඊට හේතුව ලෙස ඔහුගේ සෙල් ලිපියේ සඳහන් වන්නේ සංවර්ධණය වූ මිනිසා සොබා දහමට එරෙහිව යෑම සහ සොබා දහම අභිබවා යෑමට තැත් කිරීම නිසා මිනිසා විසින් තම විනාශය ලංකර ගන්නා බවයි...

සංකේත අනුසාරයෙන් ලියා ඇති මෙම සෙල්ලිපිය තුල මායාවරුන් විශ්වාස කල වසර 26000ක කාල චක්‍රය පිළිබඳව සඳහන් වේ. යුග කාල චක්‍රය ලෙස හැඳින්වෙන එය කොටස් 5කට බෙදා ඇති අතර ඉන් කොටසක ආයූ කාලය වර්ෂ 5125ක් ලෙස සඳහන් වේ.  ඒ අනුව 2012 දෙසැම්බර් මාසයේ 21 වන විට මෙම කාල චක්‍රයේ යුගයක් නිමා වන බව කියයි. මායාවරුන්ට අනුව එය ලෝකයේ ගමන නතර වන දිනය වේ. කෙසේ වෙතත් ශිෂ්ඨාචාරයක දැනුම මත පදනම් වී ලෝක විනාශයක් සිදුවේ යැයි ගෙඩිය පිටින් ගෙන විශ්වාස කිරීම මෝඩ කමකි. නමුත් වෝටන් පඬිවරයා සඳහන් කරන ප්‍රධාන කාරණය අපට කිසිසේත්ම බැහැර කල නොහැක. සොබා දහමට එරෙහිව යාමෙන් තමන්ගේ විනාශය මිනිසා ලඟා කර ගන්නා බව එහි සඳහන්ය. වර්ථමාණ සංවර්ධණය යනු සොබා දහමට එරෙහිව යාම නොවෙද ?


අපි ලෝක විනාශය ලඟා කර ගනිමින් සිටිනවාද ?

අප ලෝකය තුල මේ වන විට සිදුවන වෙනස්කම් පිළිබඳව සිතා බැලුවහොත්, මිනිසා ක්‍රමක් ක්‍රමයෙන් තම විනාශය තමා අතින්ම සිදුකර ගනිමින් සිටින බව අපට තේරුම් ගන්නට පුළුවන. මීට වසර 250 කට පෙර පැවැති ලෝකයට වඩා වර්ථමාණ ලෝකය මහා පරිවර්ථනයකට භාජනය වෙමින් තිබේ. ඒ මිනිසා තමාගෙ පැවැත්මට තමාම අභියෝග කරමින් පැමිනෙන ගමනකි. වර්ථමානයේ ලෝකය පුරාම සිදුවන ස්වභාවික විපත් හා රෝග පීඩා සියල්ලම පිටුපස සිටින්නේ මිනිසා තම දියුණුව නමින් හඳුන්වන ව්‍යාසනයයි. ඕසෝන් සිදුර නිසා වන ගෝලිය උණුසුම සමඟම ඇතිවන අයිස් කඳු දියවීම ...ලෝකයේ දේශගුණ සමතුලිතභාවය බිඳ වැටීම , නොයේක් වසංගත රෝග පැතිරයාම, නියඟය, ගංවතුර , කුණාටු හා ජලය හිඟවීම ආදී වශයෙන් මිනිසා වෙත ලඟාවන අතුරු ආන්ත්‍රා මේ සංවර්ධණයේම අතුරු ප්‍රථිපලයි...

මා අසා ඇති පරිදි බුදු දහමට අනුව සියළුදේ නැති වීම මෙන්ම නැවත ඇතිවීමද හේතුඑල ධර්මතාවයකි. ඇතිවීම ..නැතිවීම සහ නැවත ඇතිවීම යන චක්‍රීය සංකල්පයට අනුව ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් පෙන්විය නොහැකිය. මායා ශිෂ්ඨාචාරයේ මනුෂ්‍ය යුගයක කාලය වර්ෂ 5125ක් ලෙස ගණන් ගැනුනද හින්දු සහ බෞද්ධ දර්ශණ අනුව එය කල්ප යුග වශයෙන් සලකනු ලබයි. කල්පයක් යනු ඉලක්කම්වලින් ඝණනය කල නොහැකි තරමේ කාල පරාසයකි.

විශ්වය යනු අනන්ත කෙළවරය දැකිය නොහැකි තැනකි. ඉතින්...මායාවරුන්ගේ දින දර්ශණයට අනුව 2012 වසරේ දෙසැම්බර් මස 21දා සිදුවෙතැයි කියන ලෝක විනාශයට ඇත්තෙ තවත් සතියක පමණ කාලයකි... ඔවුන්ගේ දර්ශණය අනුව සිදුවෙතැයි කියන ලෝක විනාශය ලඟාවනතුරු බලා හිඳිමු ද ... කවුරුත් කියනා පරිදි ලෝක විනාශය යනු විශාල යමක් පෘතුවියේ වැදී ඒනිසා ලෝකය විනාශ වී යනවාද නැතිනම්...අපි විසින් සංවර්ධණය මුවාවෙන් ලඟා කරගන්නා විනාශයක්ද යන්න සිතා බලමු..

( තොරතුරු සොයා ගත්තේ විකිපීඩියා සහ Ancient Aliens - Aliens and Lost Worlds ඇසුරෙනි ...පින්තූර සොයා ගත්තේ ගූගල් වෙතිනි ) 

පාකල් වෝටන් ගැන කියවන්න


09 December 2012

හුචක්කුවත් එක්ක කෝපි කෝප්පයක්...



උදේම කියවාපු බින්දි අක්කගෙ කෝපි කතාවෙන් පස්සේ.. මටත් හිතුනා කෝපි කෝප්පයක් තොල ගාන්න... කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ඕප දූපයක්වත් කියවන්න කෙනෙක් ඉන්න එකක්යෑ...හීටරය ගහලා වතුර එකක් රත් කරගෙන අඩු සීනි නෙස්කැෆේ එකක් හදා ගත්තා.. වෙලාව උදේ නමයට විතර ඇති.කෝපි කෝප්පය අතින් අල්ලගෙන හීන් සීරුවේ බැල්කනියට ආවා...අර හීනියට ඇඟේ වදින නත්තල් සීත...මාව වටකරගෙන.....තාමත් රෑ පුරා ඇඳගෙන උන්න රෑ ඇඳුම පිටින් මතක් උනේ  " හුචක්කුවේ  " කතාව කියාපු මහාචාර්ය සරත් විජේසූරියව.. සරත් මහත්තයා කියන කතාව ඇත්ත. ඒ ඉතින් ඔය පිරිසිදු කම ගැන විතරයි. හුචක්කුව ගැන එයා දන්න කෙහෙල්මළ...හි හී

ගෑණු අපිට දෙයියනේ කියලා තියෙන හැමදේම චුට්ටක් හරි නිදහසේ තියන්න අඳින්න පුළුවන් එකම ඇඳුම ඔය හුචක්කුව විතරයි..එයා ඒකටත් ආඩපාලි කියෝනවා... දන්න තරම තමා.. හි හි හී

එයාලට නම් මොකද නිකම්ම නිකම් සරම් කොටයක් එහෙමත් නැත්තම් කලිසම් කොටයක් විතරක්ම ඇඳගෙන ගෙදර ඉන්න දවසට හරි නිදහසේ තියන්න ඕනෙ ඔක්කෝම ටික නිදහසේ තියන්න කාගෙන්වත් තහනමක් නෑ... අපිට ඉතින් එහෙම වාසනාවක්වත් කොහෙන්ද.. හුචක්කුවේ පිහිට මිසක්ඒකත් පැය ගාණකට..රෑ ගෙවෙනකල් විතරමයි..

දන්නවා...සමහර කාන්තාවන් හුචක්කු පිටින් ගෙදර වැඩ රාජකාරියත් කරනවා කියලා. බොරු මොකටද..මාත් උදේට උයන්න ගන්නෙ හුචක්කුවේ ඉඳන් තමා. ඔෆීසියෙන් දෙන මෙලෝ රහක් නැති තෙල් පිරිච්ච බත් එක බැන කාලා ඇඟට ලෙඩ අර ගන්නෙ මොකටද..කම්මැලි කම පැත්තකින් තියලා උදේට බතක් මාළුවක් තම්බගන්නවා.. ගෙදර හදා ගන්න බත එක මාළුවක් එක්ක හරි රහට කන්න පුළුවන්...අගේ කර කර..

මහ රෑ ජාමෙත් බ්ලොග් අස්සෙ රිංග රිංග ඉඳලා ඇඳට යන්නෙ එළිවෙන ජාමේ.. යාන්තමට ඇස් දෙක පියා ගත්ත ගමන් කණ පැලෙන්න වදින එලාම් එකේ සද්දෙට ඇහැරෙන්නෙ බොහෝම අමාරුවෙන්.. සමහර දාට තව විනාඩි පහක් ඇස් දෙක පියා ගන්නවා කියලා හිතලා ඇඳේ උන්නම දන්නෙම නැතුව නින්ද යනවා...ඒ වෙලාවට අනේ ඉතින්... නින්දට අම්මා මුත්තා ගැන කියලා දීලා කුස්සියට දුවන්නෙ මෙලෝ සිහියක් නැතුව..රෑ පුරාම නිදහසේ..සැහැල්ලුවෙන් බැහැගෙන උන්න හුචක්කුවෙන් මිදෙන්නවත් කෝ වෙලාවක්.. ඒ චූටි වෙලාවත් වටිනවා මහ මෙරක් තරමට... හුචක්කුවට බනින අය ඕවා දන්නවද...එයාලට නම් මොකද...සිරියහනේ සැතපිලා නාරි ලතා මල් පූදිනවා බලන් ඉන්න විතරනෙ තියෙන්නෙ...හි හි හී..

අතට පයට වැඩකාරයෝ තියාගෙන ඉන්න අයට නම් හුචක්කුවේ ප්‍රශ්ණයක් නෑ..සරත් මහත්තයාගේ නෝනා ටත් එහෙම ප්‍රශ්ණයක් නැතුව ඇති..සරත් මහත්තයා කියනවා වගේ හුචක්කුවේ ඉඳන් හොල්ල හොල්ල වැඩ කරන්න ඕනෙ නෑනෙ..වෙලාවට ඇඳෙන් බැහැලා..නිවාඩු පාඩුවේ ඇඟපත හෝදගෙන චූන් එකේ ෂෝක් ඇඳුමකුත් දාගෙන ඉන්න තියෙන්නෙ...කවුරු කවුරුත් අගේට ඉස්සිලා තියෙන තියෙද්දී රහ වැටිලා අගේ කරන එව්වා...කාලයක් යද්දී කලයාගේ ඇවෑමෙන් එල්ලෙන්න ගන්නවා කියලත් මතක තියා ගත්තොත් හොඳා..එතකොට ඉතින් හෙල්ලෙන්නත් ගන්නවා...සරත් මහත්තයාට වගේ අමතක වෙයි නැත්තම් ) 

ගමේ ඉන්න සමහර අම්මලාට උදේට තියෙන වැඩ රාජකාරි වෙන කිසිම වෙලාවක නැතුව ඇති. ළමයින් තුන් හතර දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්ට නම් විසුමක් නෑ. උදේට කන්න තම්බන්න....ළමයි තුන් හතර දෙනෙක් උදේට ආම්බන් කරන..ඒ අයට වෙනම වෙනම බත් මුල බඳින්න..ඇඳුම් පැළඳුම් හරි ගස්සන්න..." අම්මෙ අරක කෝ..අම්මේ මේක කෝ ..කියද්දි ඒවා හොයලා දෙන්න...අනේ ඉතින් ගෙදර ඉන්න කෙනාගෙන ඒවට සහයක් තිබුනොත් හොඳා...නැත්තම්..අර අම්මා එපායෑ  තනියම ඔය ඔක්කොම සුමේට කර ගහන්න..ඒ වෙලාවට ඉතින් හුචක්කු වලින් ගැලවෙන්නවත් වෙලාවක් තියෙයිද...

ළමයින් ඉස්කෝලෙට ගියා කියලා නිදහසක් තියෙයිද...ඊ ලඟට ගෙදර කෙනාගෙ වැඩ..

" ඒයි..කෝ මගේ ලන්කට් එක ?

" ඒයි කෝ මගේ මේස්  ?

" ඇයි යෝදියේ තාම ෂර්ට් එකවත් මැද්දෙ නැද්ද ?

ඔන්න බලාපල්ලකො...ඇයි ඉතින් උදේ පාන්දර ඉඳන් නිකන් ඉඳලනේ...අර දරුවොත් එක්ක ඔට්ටු උන ඒවා..ගිණි කාගෙන තම්බපු ඒවා..ඒවා කරලා තියෙන්නෙ පොලීසියෙන් වෙන්නැති... ඔය ඔක්කොම අතට පයට දීලා බත් ගෙඩියත් බැඳලා දීලා එයත් ගෙදරින් ගියාට පස්සෙවත් නිදහසක් තියෙයිද ? ඇයි එතකොට ගෙදර ඉතුරු වැඩ ...වළං පිඟන් හෝදන ඒවා...ගෙවල් මිදුල් අතුගාන ඒවා...ඉන්න සනුහරේගෙම රෙදි පිළි හෝදන ඒවා...අනේ ඉතින්..එහෙම ගෑණු කෙනෙකුට අර හුචක්කුවේන් මිදෙන්න වෙන්නෙ කීයටද ? කලින් කිව්වා වගේ ඔය ඔක්කොම හුචක්කුවෙන් මිදිලා ඇවිත් කරන්න පුළුවන් තමා..ඒත් ඉතින් වෙලාව.. අත් දෙකකින් කරන්න ඕනෙ හැමදේම පැය දෙක තුනක් ඇතුලත කරන්න තියෙන වෙලාවෙන් විනාඩියක්වත් අහක් කරන්නත් වෙලාවක් නැතුව ඇති..හි හි හී කරුමෙ කරුමේ...බැන්ඳම තියෙන කරුමේ...

හැබැයි ඉතින් තවත් සමහර පිරිමි ඉන්නවා අඩුම තරමින් ලූණු ගෙඩියක් වත් සුද්ධ කරලා දෙන අය. මගෙ යාළුවෙක් ඉන්නවා යාළුවා තමයි එයාගෙ ඇඳුම් සෝදගන්නෙ..ගෙදර ඉන්න දවසට අපරාදෙ කියන්න බෑ ගෙදර වැඩ හුඟක් කරලා දෙනවලු...හැබැයි ඉතින් එකම වැඩේ දෙපාරක් කරන්න වෙන වෙලාවලුත් තියෙනවා කියන්නෙ යාළුවගෙ වයිෆ්..වැඩේ අනාගන්නවලු..ඒ වෙලාවට ඉතින් දත් මිටි කාගෙන ඉවසනවලු....එහෙමවත් වැඩක් කරනවනෙ කියලා...හි හි හී ...අපි නම් දන්නෙ නෑ ඕවා.. පිරිමින්ගෙ වැඩ කොහොමත් පිළිවෙලක් නෑනේ..අනාගන්න එක අහන්නත් දෙයක්ද...

මොන තරම් වැඩ රාජකාරි තිබුනත් ගෑණු උදවියත් දැන ගන්න ඕනනෙ අඳින ඕනෙ හුචක්කුවක් පිරිසිදුවට අඳින්න..තියෙන එකම එක හරි හැමදාම හෝදලා අඳින්න පුළුවන්නම් එච්චරයි...ආයෙ ඕකෙ මහ අමාරුවක්ද.. කම්මැලිකම් කරන්න ගියොත් නම් කුණුදැලි ගෑවුන හුචක්කු ඇඳගෙන ඉඳලා ඉන්න මනුස්සයාටත් එපා වේවී..නැද්ද මං අහන්නේ….

සරත් මහත්තයා හුචක්කුවට බැන්නට හුචක්කුවකට බැස්සම ඇඟට ..හිතට වගේම  අනිත් ඒවටත් දැනෙන සනීපය දන්නෙ ගෑණු කෙනෙක්ම තමා..තියෙන හැමදේම දවස පුරාම තදට තදේ හිර කරගෙන ඉඳලා...අනේ ඉතින් උන් ටික ලිහා දාපුවම තියෙන සනීපය ගැන අමුතුවෙන් කතා ඕනෙද...හි හී ඒක දැන ගන්න හුචක්කුවටකට බහින්නම ඕනා..

ඔන්න දැක්කද අන්තීමට උන දේ...කෝපි කෝප්පයක් තොල ගහා ඕපාදූපයක් කියවන්න කෙනෙක් නැති උනාට..මෙච්චර හරියක් හිතන්න හරි පුළුවන් උනානෙ...ෂෝක් කෝපි කෝප්පෙ...ආසාවෙන් බිව්ව උනාට අනේ ඉතින්...එක එක්කෙනාගෙ ආඩම්බර බලන්න නම් බෑ ඔන්න...හි හි හී


අනේ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..සරත් මහත්තයාගෙ හුචක්කුවේ කතාව..ඒ කතාව අහලා නැති අය ඉන්නවනම් ඒකත් අහලම බලන්නකෝ.. :)