මාව කියවන අය අතර..

14 January 2013

නිවාඩුවක් ගත කරන්න බන්ධනාගාරයට යමුද ?


බන්ධනාගාරයක් කිව්ව ගමන් අපි කාටත් මැවෙන්නෙ අමුතුම චිත්‍රයක්.අමුතුම පරිසරයක්.අහස උසට ඉදිකරපු තාප්ප වලින් වටවෙච්චි,දැඩි මුරකාවල් එක්ක .. වැරදි වලට උසාවියෙන් දඬුවම් ලබාපු පිරිසක් සමාජයෙන් වෙන් කරලා තියෙන ස්ථානයක්. සාමාන්‍යයෙන් බන්ධනාගාරයක ඇතුලාන්තය දන්නා කෙනෙක් නම් කවමදාවත් බන්ධනාගාරයකට යන්න හිතන්නෙවත් නෑ.නමුත් මුදල් ගෙවා එක් රාත්‍රියක් හෝ දෙකක්, එහෙමත් නැත්තම් නිවාඩුවක් ගත කරන්නට බන්ධනාගාරයකට යන අයත් ඉන්නවා ..

Långholmen කියන්නෙ 1840 ඉඳන් 1975 වසර පමණ වෙනතෙක් ස්වීඩනයේ තිබුන උසාවියෙන් දඬුවම් ලබාපු ඉතා දරුණු අපරාධකාරයන් රැඳවූ ස්ථානයක්. මුල් නම උනේ Crown Remand Prison . අද වෙද්දී එය සුපිරි හෝටයක්. මේ සුපිරි හෝටල් බන්ධනාගාරයේ එකම ඇඳක්වත් හිස් නොවෙන තරමට හැමදාම අමුත්තන්ගෙන් පිරෙනවා.



ඒ වගේම මේ හෝටල් බන්ධනාගාරයට එන අමුත්තන්ට අපූරු අත්දැකීම ලබා ගන්න පුළුවන්. හිර කරුවන්ගේ ඇඳුම් ඇඳගෙන, විලංගු දමාගෙන , හිර කුටියක රැයක් දෙකක් ගත කරන්න පුළුවන්. ඒ වගේම එල්ලුම් ගහ ලඟට එල්ලන්නට අරන් යන අපරාධකරුවන් වගේ පෝලිමේ ගිහින් එල්ලුම් ගහ අත පත ගා බලන්නටත්, ඕනෑ නම් තොණ්ඩුව බෙල්ලට දා බලන්නත් අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම Prison Break  කරන්නත් පුළුවන් . ඒ කියන්නෙ පැරණි හිරකාරයින් වගේ පලා යන්නත් පුළුවන්. බිත්තියක් දිගේ ලණුවක් ආධාරයෙන් නැඟලා , ඉණිමංවලින් බැහැලා , උමං වලින් පැන යන්න අවස්තාව තියෙනවා. එහෙම පැනලා යන අයව අල්ලන් එන්න ආරක්ෂක නිළධාරීනුත් ඉන්නවා. හරියට ඔට්ටු සෙල්ලම් ...හැංගිමුත්තම් කරනවා වගේ.

මේ බන්ධනාගාරය හෝටලයකට පරිවර්ථනය කරද්දී පරණ බන්ධනාගාරයේ කිසිම දෙයක් වෙනස් නොකර තිබෙනවා. අමුන්තන්ට නවාතැන්ගන්නට තියෙන්නෙ යකඩ දොරවල් දමාපු පැරණි හිර කුටිවල.අමුත්තන් හෝටලට ආ විගසින්ම ඔවුන්ට ලැබෙන්නෙ හිර කරුවන්ට ලබාදෙන ඇඳුමට සමාන ඉරි සහිත රෙද්දකින් මසාපු ඇඳුමක්. ඊට පස්සෙ එක් එක් අමුත්තන්ට නියමිත හිර කුටිය ලැබෙනවා. අවශ්‍යනම් දරුණු ඝණයේ අපරාධකරුවන් වගේ ඉන්නට යකඩ දම්වැල්වලින් ගැට ගසා ගන්නටත් පුළුවන්. තම තමන්ගේ කුටිවලට ඇතුළු උනාට පස්සේ පිටතින් අඟුළු දමා කුටි වසා දමනවා.







තමන්ට කැමති ඕනෑම සුපිරි කෑම වර්ගයක් ඇණවුම් කරන්න අමුත්තන්ට ඉඩ කඩ තියෙනවා. එහෙමත් නැත්තම් හිර කරුවන් වගේ පාන් එක්ක කිරි හෝ වතුර ලබා ගන්නත් පුළුවන්.
සෑම හිර කුටියකටම අවශ්‍ය සියළුම පහසුකම් සපයලා තියෙනවා වගේම ආරක්ෂාවට ආරක්ෂක නිළධාරියෙකුත් හිර කුටියේ දොර ලඟ ඉන්නවා. කාලසටහනක සීමා උන ඔවුන්ගේ නිදහස අනුව පැරැණි හිර කරුවන් වගේ එළි මහනේ ව්‍යායාම කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ ආරක්ෂක නිළධාරීන්ගේ ආරක්ෂාව ඇතුවයි.

එතනට ගිය අය කියන කතා බලන්නකෝ..

" My Husband and I spent 3 night in the Långholmen Crown Prison in Stockholm, Sweden. We were locked into a double cell for the night.

Not that we got arrested for doing something naughty in public, I swear.

It was just one of my "let's do something fun" spasms, and hey-presto, I booked us into prison. I spotted a package deal on the Internet, and found out that we did quite a trendy thing. So-called dark tourism - visiting places where bad things had happened - seems to be very popular.

The food has come a long way since bread and water only was served to the captured. We enjoyed quite a delicious dinner, served by a very compliant waitress with a great sense of humour.

Actually, we liked it so much that we tried to get thrown back into jail again. Check out time is 12 noon. We were in no hurry and didn't show up until 1 pm. They thought we'd left without paying. I guess you really have to obey the rules when in jail.

And we've been able to break out of the prison .It's not so hard. The front door opens automatically for you.there are three people staying in this one prison cell. The third bed is rolled up under the bottom bunk. It pulls out at night so we actually have space to move around the cell during the day.

The only disappointment was that there were no leg-irons waiting for us - even though we'd seen some of them. No ghosts clanking with chains in the corridors, and no knocking on walls to communicate. They left us to our own imagination to create entertainment.

When going to jail, you don't expect a 5* rated stay. Though I'd rather give them 4 stars than only the 3 they have. I wholeheartedly recommend the place, and assure you that I wasn't whipped to say this. They kept renovating the place to even lift it up a notch, and I must say they succeeded. Very neat, fun, interesting experience, and above all - captivating!... "

ඔන්න බලන්න ඒකෙත් හැටි.සල්ලි තියෙනවා නම් වරදක් නොකර උනත් වැරදිකරුවන් වගේ හිරේ ලඟින්නත් ..හිරේදී ලබන අත්දැකීම් ලබන්නත් අවස්ථාව තියෙනවා




තොරතුරු සහ පින්තූර අන්තර්ජාලයෙන්


07 January 2013

අපේ ගමේ වග තුග ..


මම ඉපදුනේ හැදුනෙ වැඩුනේ පුංචි ඉතාලිය කිට්ටුවම තියෙන පුංචි ගමක. දන්නවනෙ පුංචි ඉතාලිය කියන්නෙ කොහේටද කියලා.ඒ තමා වෙන්නප්පුව. වෙන්නප්පුව අයිති වෙන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයට. කොළඹ - හලාවත මහා මාර්ගයේ එහෙමත් නැත්තම් A3මාර්ගයේ තමා වෙන්නප්පුව නගරය පිහිටලා තියෙන්නේ. වෙන්නප්පුව නගරයේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර දකුණුට තියෙන පුංචි ගමක් තමා මගෙ ගම එක පැත්තකින් ගලා යන ගිං ඔයත්..තවත් පැත්තකින් හැමිල්ටන් ඇළත් යාව ඇති අපේ ගම් පලාත තවමත් ගැමිකම රැඳී තිබෙන ප්‍රදේශයක්.

අපේ ගම් පලාත  ගැන කතා කරද්දී ඒ අවට ඇති අනෙක් ගම් ඉසව් ගැනත් කතා කරන්න වෙනවා. පෝරුතොට , වයික්කාල, දංකොටුව, බෝලවත්ත, නයිනමඩම ,වෙන්නප්පුව, මාරවිල , බොරලැස්ස , ලුණුවිල, කිරිමැටියාන , හාල්දඬුවන, කහටවිල ( බ්ලොග් ලෝකයේ අපේ සහෝදරයෙකුත් ඉන්නවා කහටවිල පැත්තේ ) වගේ ප්‍රදේශ ඊට අයිතියි.

වෙන්නප්පුව ප්‍රදේශය කිව්වම හැමෝම කියන්නෙ " හොඳට කන බොන මිනිස්සු ඉන්න පැත්තක් "ලෙසයි. ඇත්තෙන්ම ඔව්.කිසිම ලෝබ කමක් නොකර හොඳට කන්න බොන්න පුළුවන් මිනිසුන් කොට්ඨාශයක් තමා අපේ ගම් පලාතේ ජීවත් වෙන්නේ. ඒ වගේම ආගන්තුක සත්කාරයට බොහෝම ලැදියි. ප්‍රධාන වශයෙන්ම ආගම කතෝලික. පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමයණ කලායින් පස්සේ පෘතුගීසීන් විසින් ප්‍රචලිත කරපු කතෝලික ආගම අදහන..ඒ වගේම කතෝලික ආගමට බොහෝම ලැදියාවක් දක්වන භක්තිමත් කතෝලික පිරිසක් තමා මේ ප්‍රදේශවල ජීවත් වෙන්නේ. පෘතුගීසි ආක්‍රමණය නිසාම මේ ප්‍රදේශවල පෘතුගීසීන් භාවිතා කල ඇතැම් වචන වගේම නම් පවා තවමත් භාවිතා කරනවා.

උදා ; බත්තලන්ද ( මැටිකෝප්පය ) ,කුඩික්කිය - (කැටය) ඔරසන් - (යාච්ඤා කිරීම)

ඉරිදා දිනවලදී රැකියාවන් කරන සියළුම දෙනා නිවෙස්වල රැඳෙන නිසාම..ඉරිදා උදයේ දේව මෙහෙයට සහභාගි වීම වගේම හොඳින් පිළියල කරගත්තු මස් මාළු එක්ක හොඳ ආහාර වේලක් ගන්න හැම නිවෙසකම අය පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම දේවස්ථාන එක්ක සම්බන්ධය දැඩියි. හදිසි ගැටළු අවස්ථාවලදී දේවස්ථානයේ පියතුමාගෙන් උපදෙස් ලබාගෙන ගැටළු නිරාකරනය කර ගන්නත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. මිනිස්සුන්ගේ ජීවන රටාව හරිම සරළයි. මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙන බොහෝ දෙනා ඥාතීන්. ඒ නිසා ඥාති සම්බන්ධකම් ඉතා ඉහල මට්ටමක තියෙනවා. ඥාති සම්බන්ධකම් වලට කියන නම් උනත් අනිත් ප්‍රදේශ එක්ක ගත්තම ටිකක් වෙනස්.

මේ ප්‍රදේශයට පුංචි ඉතාලිය කියන්නෙ, ඉතාලියේ රැකියාවල නිරත උන බොහෝ දෙනා ජීවත් වෙන නිසයි. අවට ගම්මානවලින් වැඩි දෙනෙක් නිත්‍යානූකූලව හෝ නැතිව ඉතාලිය වැනි යුරෝපා රටවලට සංක්‍රමණය වූ අය. ඒ වගේම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට ගෙනත් දෙන අය. 1985 වගේ කාලෙක අනවසර සංක්‍රමණයින් ලෙසින් කීප දෙනෙක් මුළින්ම ඉතාලියට ඇතුල් වී තිබෙනවා. 1990 දී වගේ ව්‍යාපාරයක් හැටියට ඉතාලියට ශ්‍රමිකයින් පිටත් කර හරින්නට කීප දෙනෙක් ක්‍රියා කර තිබෙනවා. අය කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක්. ඉතා රහසිගතව ධීවර බෝට්ටු මගින් ජීවිතයත් මරණයත් අතර සටනක් කර ලා ඉතාලියට ආසන්න රටකට පිටව ගිහින් එතැන ඉඳලා ඉතා භයානක ක්‍රම මගින් ඉතාලියට ඇතුල් වීමට ඔවුන් උත්සාහ දරා තිබෙනවා. ඒ කාලයේදී බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි උනාලු. තද සීතලට අසුවීම් සහ ඉතා රහසිගතව ගමන් කල වැසූ " බක්කි බස් " වල පැය ගමන් කිරීම් වලින් හුස්ම ගැනීමේ අපහසුතාවලින් බොහෝමයක් දෙනාගේ ජීවිත පවා අහිමි උනාලු .

අනවසර සංක්‍රමණයින් හැටියට ඇතුලු උනත්...කාලයක පසුව ලැබෙන වීසා බලපත්‍රය නිසාවට ඔවුන් බොහෝ දුක් විඳ තිබෙනවා. වීසා ලබාගෙන යළිත් ලංකාවට පැමිනෙන්නන්ට ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් රැගෙන යන්නට අවස්ථාවක් ලැබුන නිසාත්, එරට තුල තිබුන රැකියා ඉල්ලුම නිසා සහ වැටුපේ ප්‍රමාණය ඉහල නිසාත් අනවසරයෙන් ඉතාලියට ඇතුළු වන්නන්ගෙ ප්‍රමාණය දිනෙන් දින ඉහල ගියා. අද වන විට අපේ ප්‍රදේශයේ ඉතා විශාල ප්‍රමාණයක් ඉතාලියේ රැකියාවල නිරත වන්නන්. ඒ හේතුව නිසාම ප්‍රදේශයේ දියුණුව ඉතා ඉහල මට්ටමක තිබෙනවා. සුඛෝපභෝගී නිවාස , යාන වාහන වගේම මුදල් අතිනුත් ඔවුන් ඉතා ඉහල තැනක ඉන්නවා. 1990 කාලයේදී ඉතාලියට යැවීමට අය කල මුදල රුපියල් ලක්ෂ දෙකක ප්‍රමාණයක් උනත්.. අද වන විට එය ලක්ෂ පහළොවකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහල ගිහින්. ඒ වගේම ව්‍යාපාරයක් හැටියට ඉතාලි රටේ වීසා සපයන්නන් අපේ ප්‍රදේශයේ බහුලයි.

මේ ප්‍රදේශය සරු සාර වෙලා තියෙන්නෙ පොල් වලින්. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයක් නිසා බොහෝ සරුසාර පොල් වතු දකින්න පුළුවන්.කර්මාන්ත හැටියට ප්‍රධාන වශයෙන් ධීවර කර්මාන්තය ,පොල් හා පොල් ආශ්‍රිතව නිෂ්පාදන සිදු කරන කර්මාන්ත, උළු හා ගඩෝල් කර්මාන්ත ප්‍රධාන තැනක් ගන්නවා. ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙ මුහුදු බඩ ජීවත් වෙන අය පමණයි. අනෙක් අය සමාන්‍යයෙන් අනෙකුත් රැකියාවල නිරත වෙනවා.

ඉස්සරවෙලාම අපේ ප්‍රදේශයේ තිබෙන උළු නිෂ්පාදන කර්මාන්තය ගැන බලමු. අපේ ප්‍රදේශයේ නිවාස වල වහලය සෙවිලි කරන්නට යොදා ගන්නෙ උළු කැටයි. දැන් දැන් පිටරටින් ගෙන්වන උළු කැට භාවිතා කලත්, ලංකාවේ නිෂ්පාදන කරන උළු කැට වලට තවමත් වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා.

වයික්කාල කිව්වම බොහෝ දෙනෙක් දන්නේ උළු නිෂ්පාදන කර්මාන්තශාලා නිසාමයි. මේ ප්‍රදේශයට ආවේනිකව තියෙන මැටි විශේෂයක් නිසාම උළු නිෂ්පාදන මේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සිදු කරනවා. වයික්කාල, බෝලවත්ත , දංකොටුව ඒ අතරින් විශේෂයි.


                                              උළු කර්මාන්තශාලාවක්

මීට අවුරුදු ගණනාවකට කලින් උළු නිෂ්පාදන කටයුතු සිදුවෙලා තියෙන්නෙ ප්‍රධානකොට මිනිස් ශ්‍රමයෙන්. උළු නිෂ්පාදනයට ගන්නා මැටි පදම් කිරීම සිදු කරලා තියෙන්නෙ ශක්තිවන්ත මිනිසුන්ගේ දෙපාවලින්. එහෙම පදම් කරගන්නා මැටි කැට වශයෙන් කපා අච්චුවකට දමා .. ශක්තිමත් මිනිසුන් දෙදෙනෙක් ගේ දෑතින් කරකවන යන්ත්‍රයක් ආධාරයෙන් තලා ගන්නා උළු කැට මද පවනේ වේලා පෝරණුවක පුළුස්සා ගැනීම සිදුවෙලා තියෙනවා. ඒත් කලයාගේ ඇවෑමෙන් යන්ත්‍ර සූත්ත්‍ර භාවිතා කරලා උළු නිෂ්පාදනය දැන් සිදුවෙනවා.

යාන්ත්‍රානු සාරයෙන් අඹරා පදම් කරගන්නා මැටි තවත් යන්ත්‍රයක ආධාරයෙන් උළු කැට ප්‍රමාණයේ කැලි වලට කපා, මේ වගේ යන්ත්‍රයක් ආධාරයෙන් උළු අච්චුවකට දමා උළු කැටයක් නිපදවා ගන්නවා.

                                                  උළු නිෂ්පාදන යන්ත්‍රයක්

ඒ උළු කැටය ලී වලින් තැනුව තැටියත් මතට බාගෙන උළු කැටයේ හැඩය ඉස්මතුවෙන ආකාරයට අනවශ්‍ය දාර කොටස් කපා හරිනවා. 

                                            උළු කැට රහින කාන්තාවන්

මේ සඳහා කාන්තාවන්ගෙ ශ්‍රම දායකත්වය ලබා ගන්නවා. උළු කැට මද පවනේ වියලා ගත යුතුයි. ඒ සදහාම විශේෂයෙන් පොළොවේ සිට ඉහලට තැනුව රාක්ක භාවිතා කරනවා.

                                   රාක්ක උඩ උළු කැට වියැලෙන්නට සකස් කරන කාන්තාවන්

දවස් කීපයක් මද පවනේ වියලා ගන්නා උළු කැට පෝරණුවක ආධාරයෙන් පුළුස්සා ගන්නවා.

                                                                                  උළු පුළුස්සන පෝරණුවක්

උළු තෝරා ගන්නෙ ඉන් පසුවයි. හොඳින් පිළිස්සුන සහ කඩතොළු නොවුන උළු කැට වර්ග කිරීම කරනවා. ඒ නොම්මර 1 , නොම්මර 2 සහ නොම්බර 3 උළු වශයෙන්. උළුවල මිළ ගණන් තීරණය වෙන්නෙ මේ වර්ග කිරීම අනුවයි. මේ දිනවල පවතින මිළ ගණන් අනුව නොම්මර එක උළු කැටයක මිල රුපියල් 25-30 ත් අතර මුදලක පවතිනවා.

                                                                                  අවසානයේදී උළු කැට

සමාන්‍යයෙන් ඇස්බස්ටෝ ෂීට් සෙවිලි කරපු නිවසකට වඩා උළු සෙවිලි කරපු නිවසක සිසිල් බවක් තියෙනවා. මීට වසර කීපයකට කලින් ඉතා දියුණු මට්ටමක තිබුණ උළු නිෂ්පාදන කර්මාන්තශාලා , මේ වෙන විට බොහෝමයක් වැසී ගිහින්. ප්‍රධාන වශයෙන් බලපාන්නේ උළු නිෂ්පාදනයට අවශ්‍ය මැටි ලබා ගැනීමට නොහැකි කමයි. අනවශ්‍ය ලෙස ගැඹුරට මැටි ලබා ගැනීම නිසා වතුර එකතු වී සෑදුන විශාල වතුර වලවල් ආශ්‍රිතව ඇතිවූ මදුරුවන් නිසා ඩෙංගු වැනි රෝගකාරක පැතිරී යාම නිසාම මැටි ලබා ගැනීම තහනම් කොට තිබෙනවා. බංගදෙනිය වගේ දුර බැහැර ප්‍රදේශවලින් මැටි ලබාගෙන දැනට මෙම උළු කර්මාන්තාශාලා සුළු වශයෙන් පවත්වාගෙන ගියත්..බොහෝමයක් කර්මාන්තශාලා මේ වෙන විට වසා දමලා. ඒ නිසාම උළු කැටයක වටිනාකමත් ඉහල ගිහින් තිබෙනවා.

ප ලි
අපේ ගම් පලාත් ගැන කතා කරද්දී කාටත් මතක් වෙන දෙයක් තමා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය අරක්කු නිෂ්පාදන එහෙමත් නැත්තම් මහාපරිමාණයෙන් කරගෙන ගිය කසිප්පු ජාවාරම්..ඒ ගැන ඊලග පෝස්ටුවෙන් ... J

පින්තූර හොයා ගත්තේ ගූගල් මගින්

31 December 2012

සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !



ඉතින්..ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙන්නයි යන්නේ... 2012 අවුරුද්ද ගත උනේ හිතා ගන්නත් බැරි වේගයකින්...හුඟක් දේවල් අතීතයට එකතු කරලා..

දෙසැම්බර් මාසයේ 31 දාට මම හැමදාම කරන වැඩක් තියෙනවා. කොලයක් අරගෙන ලබන්නාවූ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන වැඩ කරයුතු සටහන් කරනවා. ඒ අවුරුද්ද ඉවර උනාට පස්සේ දෙසැම්බර් 31 දාට බලනවා ඒ සටහනින් මොන මොන වැඩ කොටස් මගෙ අතින් කෙරිලා තියෙනවද...තව ඉතිරි ඒවා මොනවද කියලා...ඉතිරි ඒවා ඊ ලඟ අවුරුද්දේ සටහනට එකතුවෙනවා..ඒක දැන් අවුරුදු කීපයක් තිස්සේ කෙරීගෙන එන දෙයක්. අදත් ඒ වගේම අලුත් සටහනක් එකතුවෙනවා..අපි ඉතින් ගෙවල් දොරවල්වලින් ඈත් වෙලා තනියම ජීවත් වෙන අයනේ. " මේක මෙහෙම කරපං..අරහෙම කරපං " කියලා ඇන ඇන කියන්න අය ලඟ නැති වෙලාවේ එහෙම සටහනක් තියෙන එක හොඳයි...

මහා ලොකු බලාපොරොත්තු නැතත්....කීයක් හරි ඉතිරි කරගෙන මටයි කියලා බිං අගලක් අරගන්න තියෙන බලාපොරොත්තුව තමා උඩින්ම තියෙන්නෙ...ඒක අවුරුද්දෙන් අවුරුද්දට පරණ වෙන බලාපොරොත්තුවක්... :) ඒකට මොකද...දවසක ඒ බලාපොරොත්තුවට ලං වෙන්න ලැබේවිනේ...

ගිය අවුරුද්දේ ජනවාරි පළවෙනිදා කිරිබත් කෑවේ තනියම උනත්..මේ අවුරුද්දේ අම්මා ඇවිත් ඉන්න නිසා තනියක් නෑ... විශේෂම දේ තමා වෙනදාට වඩා දැන් මගේ අම්මා මා එක්ක හුඟාක් සමීපයි...ඒක මට ලොකූ දෙයක්... අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගන්න  අලුත් අවුරුද්දේ අම්මගේ කකුල් අල්ලලා වැඳලා ආශිර්වාද ගන්නකොට...අම්මා හීනියට ඔළුව අතගාවි...ඒ ආශිර්වාදය හිත අස්සට මහා හයියක් වේවී...

ඉතින්..බ්ලොග් ලෝකයේදී දැන හඳුනා ගත්ත...දයාබර සොහොයුරු සොහොයුරියන්  හැමෝම මේ වෙද්දී අලුත් අවුරුද්ද පිළිගන්න සූදානම් ඇති.. අපේ ජීවිතේ අතීතයට එකතු උන 2012 වසරේදී අපි අතින් සිද්ධ උන..අතපසුවීම්..හිත් රිදවීම්..හිත් අමනාපකම්... වැරදි..හැමදෙයක්ම අපි අතීතයේම තියලා...අලුත් හැඟීමක් එක්ක...අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද පටන් ගමු...2013 අවුරුද්දේදී...අපේ හිත් වගේම අනිත් අයගේ හිත්ද සතුටින් තියමු...

ලබන්නාවූ අලුත් අවුරුද්ද...සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !


29 December 2012

"හොඳ පවුල් ජීවිතයක් "... මට නම් හීනයක් විතරමද කොහෙද ?


සරා අයියගේ ප්‍රීතිමත් යුගදිවියක්....!! හීනෙන් විතරමද...? පෝස්ට් එක කියෙව්වම හිතට ආපු දේවල් බොහෝමයි.

වැඩිය දුර නොයා මගේ ගෙදර අපේ අම්මගෙ තාත්තගෙ දෙදරලා ගිය පවුල් ජීවිතය ගැන හිතද්දී මට දැනෙන්නෙ මහා කලකිරීමක්.අපි නොදන්න කිරිසප්පයෝ කාලේදී මගේ තාත්තා අපිව දාලා වෙන ගැහැණියකගේ තුරුළට ගිහින් තිබුනේ ඇයි කියන හේතුව යන්තම් තේරෙන කාලේ ඉඳන්ම මම හෙව්වා. තවමත් ඇස් දෙකෙන් දැකලා නැති තාත්තා කියන කෙනා අම්මව පැත්තකට දාලා තව සම්බන්ධයක් පටන් අරන් තියෙන්නේ අම්මගේ වැරැද්දකට නෙමේ.ඒ හේතුව තවමත් මට ගැටළුවක් විතරයි. මහා උගත් කමක් නොතිබුනත් හරිම කැපවීමකින් සරළ ජීවිතයක් ගත කරපු අම්මාගෙන් මම ජීවිතයේ හුඟාක් දේවල් ඉගෙන ගත්තා. පිරිමියෙක් නැති ගෙදර දරුවො දෙන්න එක්ක අම්මා ඔට්ටු උන ඔට්ටුවිල්ල මම දැක්කා. කසාදයක් කැඩිලා ගිය ගැහැණියකට සමාජයේ ඔළුව උස්සගෙන ඉන්න අමාරු තැන් වලට අම්මා උපේක්ෂාවෙන් මූණ දුන්න හැටි මම දැක්කා. අම්මාට නොලැබුන නිදහස් සොඳුරු පවුල් ජීවිතයක් මට ලබා දෙන එක අම්මාගේ එකම ප්‍රාර්ථනාව කියලා මම දන්නවා.

කසාදයක් කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක ඕනෑම ගෑණු ළමයෙකුගේ හීනයක්. ඒ හීනය මමත් දකිනවා. ඒත් ඉතින් කසාදයක් කරගන්නවායි කියන්නෙ ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේනේ. අම්මා නම් කියන්නෙ කසාද බඳින වයසක ගෑණු ළමයෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඒක ලොකු බරක් සහ වගකීමක් කියලා. වෙන්නැති..දැන් මට අවුරුදු 26යි. මගෙ වයසේ හුඟාක් දෙනෙක් මේ වෙද්දී කසාද බැඳලා දරු මල්ලොත් ඉන්නවා.

ඇත්තටම කිව්වොත් කාලෙකට කලින් මම හිතාගෙන උන්නේ ඉක්මනින් කසාද බඳින්න ඕනෑ කියලා. ඒත් අතරමඟ නැවතුන ආදර සම්බන්ධයෙන් පස්සේ හිත ටික ටික වෙනස් උනා. ඒ එක්කම දැන් සමාජයේ කසාදය තුට්ටු දෙකකට මායිම් නොකරද්දී...කසාදයකට තියෙන බයත් හිතට දැනුනා. පහුගිය කාලය පුරාවටම ඇහුවේ දැක්කේ පවුල් ජීවිත දෙදරලා ගිය සිදුවීම්...මගේ වයසේ මගේම යෙහෙළියන්ගේ පවුල් ජීවිත ඇතුලත මා එක්ක විස්තර කරද්දී සමහර දේවල් මට අදහා ගන්න පවා බැරි උනා.

කසාද ජීවිතයක් කියන්නේ බුල්ටෝ එකක් තරම් පැණි රහත් එක්ක කරවිල ගෙඩියක තිත්ත රහත් මුසුවෙච්චී දෙයක්...ඉස්සර කාලේ අපේ ලංකාවේ සංස්කෘතියත් එක්ක පවුල් ජීවිතයකට ඉහලම තැනක් ලැබුනා. මොන තරම් කරදර..හිරිහැර..දුක් කම්කටළු ආවාත්...නොකැඩී තිබුන පවුල් ජීවිත අපේ අවට තිබුනා...දුක සතුට හවුලේ ඒ අය බෙදා හදා ගත්තා. ඒත් අද සමාජයේ ජීවත් වෙන අයට පවුල් ජීවිතයක වටිනාකමක් තියෙනවද කියලත් සැකයි. ආදර සම්බන්ධයකින් හෝ වේවා..එහෙමත් නැත්තම් යෝජිත කසාදයකින් හෝ වේවා පවුල් ජීවිතයක් ආරම්භ කරලා මාස කීපයක් නැත්තම් අවුරුදු දෙක තුනක් යද්දී ඒ ජීවිත කැඩිලා විසිරිලා යන තත්වයක් ඇති වෙලා. කසාදයක් කියන්නෙ ලෝකෙට පේන්න කරන චාරීත්‍රයක් විතරක්ම නෙමේ. දෙයාකාරයක අදහස් තියෙන දෙන්නෙක් ජීවිතකාලයම එකට බැඳීමක්. ඒ බැඳිම පවත්වාගෙන යන්න දෙන්නගේම ඉවසීම, කැපකිරීම හා විශ්වාසය එක්කම පවුල තුල වගකීම තියෙන්නත් ඕනෙ . ගැටළු ඇති වෙන අවස්ථාවලදී කතා බහෙන් ඒ ගැටළු ලෙහාගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක මගේ විශ්වාසයයි. හැබැයි ඒක එක්කෙනෙකුටම විතරක් කරන්න බැරි දෙයක්. අද සමාජයේ මේ වගකීම් කියන දේවල් තකන්නෙ නැති තත්වයක් තියෙන්නේ.

පහුගිය කාලයේදී මගේ හිතවත් යෙහෙළියන් දෙදෙනෙකුගේම පවුල් ජීවිත අවුලෙන් අවුලට ගිය හැටි මම දැක්කා. එහෙම වෙන්න හේතුව මේකයි කියලා ඒ අය විවෘතවම මා එක්ක කතාබහ කලා. සමහර ගැටළු ඇත්තෙන්ම විසඳාගන්න පුළුවන් ඒවා. තවත් සමහර හේතූන් හරිම සංකීර්ණයි.

මගේ එක යෙහෙළියකගේ පවුල තුල සැකය කියන දේ නිසා විසඳාගන්න බැරි තරම් ප්‍රශ්ණ ඇතිවෙලා තිබුනා. ඒ යෙහෙළියට එයාගේ සැමියාව අවිශ්වාසයි. හේතුව හැටියට මගෙ යෙහෙළිය කියන්නෙ එයාගෙ සැමියා කසාද බඳින්න කලින් ගණිකාවන් ආශ්‍රය කිරීම. මේ ගැන මගෙ යෙහෙළිය දැනගෙන ඉඳලා තියෙනවා. හැබැයි කසාදයෙන් පස්සේ. මේ හේතුව නිසා මගේ යෙහෙළියට ඇගේ සැමියාව පුදුමාකාරව සැකයි. ගෙදරින් කලින් ගියත්..ගෙදර එන්න ටිකක් පරක්කු උනත්...හිත ඇතුලේ තියෙන සැකය නිසාම...ඇතිවෙන බහින් බස් වීම් කෙළවර වෙලා තියෙන්නෙ පවුල් ජීවිතයත් ඉවරවෙන තරම් දුර ගිහින්. සැකය නැති කර ගෙන ජීවිතය ආයෙමත් හදා ගන්න කියලා හැමෝම උපදෙස් දුන්නත්...ඒ දෙන්නම කියන්නේ හදා ගන්න බැරි තරම් ඒ පවුල් ජීවිතය දෙදරලා ඉවරයි කියලා. විශ්වාසයක් නැති සම්බන්ධයක් ඇතුලේ ජීවත් වෙන එක වදයක් හැටියට මගෙ යෙහෙළියගේ සැමියා දකින්න ඇති. මම හිතන විදියට පවුල් ජීවිතයක මුලින්ම තියෙන්න ඕනෙ විශ්වාසය...

මගේ තවත් යෙහෙළියකට තිබිලා තියෙන්නෙ හරි අපූරු පවුල් ජීවිතයක්. කොටින්ම කියනවා නම් ලෝකයට පේන්න විතරක්ම තිබිලා තියෙන පවුල් ජීවිතයක්. ඒ යෙහෙළියගේ සැමියා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ වාණිජ බැංකුවක ඉහළ නිළධාරියෙක්. කොටින්ම මගේ යෙහෙළියගේ සහෝදරයාගේ ගජ මිතුරෙක්. ඒ මිතුරු කම නිසාම සහෝදරයා එක්ක ගෙදර ආ ගිය ඔහු මගේ යෙහෙළියට විවාහ යෝජනාවක් ගෙනත්. කොටින්ම සහෝදරයා වර්ණනා කරලා තියෙන්නෙ ඒ වගේ කෙනෙක් ලැබීම වාසනාවක් කියලයි. අවුරුදු එක හමාරක ආදර සම්බන්ධයකින් පස්සේ දෙන්නා විවාහ උනා. කිසිම අඩුපාඩුවක් නැතිව..ගේ දොර..වාහන එක්ක එයාලා ගත කල ජීවිතය නිසාම මම හිතාගෙන උන්නේ මගේ යෙහෙළිය ඇත්තෙන්ම හොඳ සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරනවා ඇති කියලයි. ඒත් ඇත්ත දැනගද්දී ඒ පවුල් ජීවිතය දික්කසාදයකින් කෙළවර වෙන්න නීති පියවරත් අරන්.

කොටින්ම කියනවානම් ඒ යෙහෙළියගේ සැමියා මානසීක රෝගියෙක්. එහෙම කියන්නෙ ඇයි දන්නවද... ඒ මනුස්සයා ස්වයංවින්දනයට තදින්ම ඇබ්බැහි උන කෙනෙක් ලු. කොටින්ම කියනවා නම් තමන්ගේ බිරිඳට පේන්න ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක්. කසාද බැන්ද දවසේදීත්..මගේ යෙහෙළියට පේන්නම ස්වයංවින්දනයේ යෙදුනාලු. මගේ යෙහෙළිය ඒ ගැන අහද්දී ඔහු කියනවාලු ඒක ඕනෑම පිරිමියෙක් කරන සාමාන්‍ය දෙයක් කියලා. මගේ යෙහෙළියගේ උවමනාව නිසාම මාසයකට එක වතාවක් විතර ලිංගික සම්බන්ධකම් පැවැත්තුවත්...ඒ ඕනෑවට එපාවට වගේලු. මගේ යෙහෙළිය කියන හැටියට රෑ යාමයේ කොම්පියුටරයේ පැලපදියම් වෙලා මේ මනුස්සයා කරන්නේ කාමුක චිත්‍රපටි බලන එකත්...ජංගම දුරකතනයේ තියෙන කාමුක ඉරියව් සහිත පින්තූර බලන එකත්ලු. අවුරුදු තුකක් තිස්සේ මගේ යෙහෙළිය ඇගේ සැමියාව මේ ඇබ්බැහිවීමෙන් ගලවාගන්න උත්සාහ කරත් බැරිවෙලා. තව දුරටත් ඒ ජීවිතයේ ඉන්න ඇයට හයියක් නෑලු... ඉවසීමේ සීමාව ඉක්ම ගිහින් එතැන් ඉඳන් මගේ යෙහෙළිය කරලා තියෙන්නෙ ඔහුත් එක්ක ආරවුල් ඇති කර ගන්න එක. මේ ආරවුල් නිසාම මගේ යෙහෙළියට පාරේ යන්න බැරි තරම් ගුටි බැටත් ලැබුනාලු. එකම ගෙදර කාමර දෙකක අවුරුදු තුනක් තිස්සේ ජීවත් වෙලා තියෙන ඔවුන් දැන් නීතියෙන් වෙන්වෙන්න යනවා.

පහුගිය දවස්වල සිදු උන රත්මලාන ප්‍රදේශයේ සිදුවීම බලන්න. බිරිඳ එක්කම දරුවො දෙන්නත් මරාදලා ඒ තිරිසනා බලාපොරොත්තු උනේ මොනාද....අලුත් පවුල් ජීවිතයක්..තමන් ආදරය කරපු පෙම්වතිය බිරිඳවෙලා ඔහුගේම ලෙයින් මේ ලෝකයට ගෙනාම දරුවො එක්කම මරලා දාලා අලුත් පවුල් ජීවිතයක්....

මේ වගේ සිදුවීම් එක්ක කසාද බඳින්න කෙල්ලක් හැටියට බයක් ඇති වෙන එක සාධාරණයි. හොඳ පවුල් ජීවිත නැතුවාම නෙමේ. ඒත් බහුතරයක පවුල් ජීවිත අවුල්. එහෙමත් නැත්තම් ලෝකයට පේන පවුලක් විතරයි. මිනිස්සුන්ගේ ජීවිත අස්සේ තියෙන්නෙ මොනාද කියලා කාටවත් දකින්න බෑ.. සරා අයියා කියනවා වගේ පීනන්න නම් ගඟට බහින්නම ඕනෑ. ඒත් මට තියෙන බය ගඟට බහින එක නෙමේ. පීනන්න බැරි වෙලා අතරමඟ ගොඩ ඒමක් නැතුවම ගිලිලා යාවිද කියන එකයි. මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න යන්නෙ බොහෝම සුළු කාලයක් කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.. අපි මොන තරම් හොඳයි කියලා හිතන අයත් ලඟින්ම ආශ්‍රය කරන කොට මොනතරම් වෙනස්ද ?

ගැහැණියක් හැටියට මම බලාපොරොත්තු වෙන්නෙ හොඳ පවුල් ජීවිතයක් විතරයි. ඒත් " හොඳ පවුල් ජීවිතයක් " මට නම් හීනයක් විතරමද කොහෙද ?

මේ තරම්ම කසාද ජීවිතයක වගකීම හෑල්ලු උනේ කොහොමද ?

දෙදෙනෙක් අතර ඇති හවුලේ ගෙවන පවුල් ජීවිතයක වගකීම හඳුනා නොගැනීම නිසාද ?

නැත්තම්...අද සමාජයේ පවුලක් කියන දෙය තුට්ටුවට මායිම් නොකරන නිසාද ?

21 December 2012

දයාබර ඔබ සියළු දෙනාටම සුබ නත්තලක් !



ලතින් භාෂාවෙන් " නතාලිස් " කියන්නෙ " ඉපදුන දවස " කියන එකයි. " නත්තල" කියන වචනය අපිට ලැබිලා තියෙන්නෙ එහෙමයි.නත්තල හෙවත් ජේසු බිළිඳාගේ උපත සමරන්න ලොව පුරා සිටින බිලියන ගණනාවක් වූ කිතුනු බැතිමතුන් මේ වෙද්දී සූදානම් වෙනවා.
හැම තැනකම දකින්න ලැබෙන්නෙ කලබලයක්. එක පැත්තකින්  දෙදහස් දොළහා අවුරුද්ද ගෙවිලා යන්න ඔන්න මෙන්න.. තව පැත්තකින් ලෝක විනාශය ගැන කතා බහ...ඒ එක්කම එලඹෙන නත්තල...

ඔෆීසියෙන් ඊයෙ බෝනස් එකයි..මාසේ පඩියයි දෙකම ලැබුනා...කෙල්ලට වාසියි. සතුටටද කොහෙද කට පිරෙන්න හිනාවකුත් ඇදිලා..හි හී..පෙරුම් පුරාගෙන උන්නෙ ගෙදර යන්න. දවස් කීපයක නිවාඩුවකුත් ලැබෙනවනෙ.. ඒ උනාට පොඩ්ඩක් අසනීපයි. උණ හැදිලා. ඔෆීසියේ හැමෝටම වගේ උණ. ඔන්න ඒ පාර මටත් ඒක බෝවෙලා. හෙට ගෙදර යන්න වෙන්නෙ උණත් අරගෙන...

ගෙදර ගියාම කෑමෙන් නම් අඩුවක් නෑ. මම ආවා කියලා දැනගත්තම අපේ ගෙදරින් විතරක් නෙමේ..වටේ පිටේ ඉන්න නෑදෑ ගෙවල් වලිනුත් කෑම බීම එවනවා. මගේ පංගුව.එතකොට ඉතින් දන්නෙම නැතුව වෙනදට වඩා වැඩිපුර කැවෙනවා... තෙල් කෑමට එහෙම තහංචි දාන්නත් බෑ..... කොහොමත් ගෙදරින් ආපහු එද්දී අඩුම තරමින් කිලෝ එකකින්වත් බර වැඩිවෙලා තියෙයි. :)

පුංචි කාලේ වගේ ආසාවෙන් උඩ පැන්නෙ නැති උනත්...ගෙදර ගිය ගමන් අර මුල්ලකින් අරන් තියලා තියෙන නත්තල් ගහ අරගෙන ..සැරසිලි කරලා ...රජතුන් කට්ටුව එක්ක තියෙන පුංචි ගවලෙනත් ඒ ලඟින්ම තියලා නියොන් බල්බ් වැල එහෙම දාන එක කරන්න වෙන්නෙ මට තමා. පොඩි උන් නැති හන්දා ගෙවල් දොරවල් නම් අස් කරන්න ඕනෙ නෑ. තියෙන හැටියටම ඇති. ඇයි එතකොට කේක් හදන වැඩ..ඒකත් කරන්න වෙන්නෙ මටම තමයි. මේ පාර වෙනසකටත් එක්ක නත්තල් කේක් එකක් හදන්න ඉන්නේ. ඕනා කරන බඩු ඔක්කොම ගත්තා. බ්‍රැන්ඩි ඇරෙන්න...හි හී..ඒක අරන් බස් එකේ ගිහින් පොලීසියෙන් චෙක් කලොත් වස ලැජ්ජාව…

දවස් ගානක් මම ගෙදර ඉන්න හන්දද කොහෙද අම්මත් ඉන්නෙ සතුටින්. හැමදාම කෝල් කරද්දී එන වෙලාව තමා ඉස්සරවෙලාම අහන්නේ. ඒ විතරක්ද..එයා දැම්ම ඉඳන් කෑම බීම හදනවා. ගමේ අච්චාරුව එහෙම දාලත් ඉවරයිලු.. අපේ අම්මා හදන ගමේ අච්චාරුවත් එක්ක විතරක් බත් කන්න පුළුවන්..ඒ තරම් රසයි.

වෙනදා වගේම මේ පාරත් රෑ දොළහට පූජාවට යන්න පුළුවන්. වැස්සේ නැත්තම්. මේ දවස්වල අපේ පැත්තට හොඳටම වහිනවලු. උස්සාගෙන යන්න බඩු ගොඩාරියයි. අම්මට දෙන්න තෑගිබෝග වගේම අම්මගෙ හිතට සතුටත් අරගෙනයි ගෙදර යන්නෙ.. බරට බරේ ලැපාත් උස්සාගෙන නොයා දාලා යන්නෙ අම්මත් එක්ක ඒ සතුට බෙදා ගන්න ඕනෙ නිසාමයි.නැත්තම් මම ඒකේ එල්ලෙයි. අම්මා තනියම කතා කරයි... එකම බලාපොරොත්තුව ඉන්න දවස් ටික උපරිම සතුටින් ගතකරලා ආයෙම එන්නයි..

ඉතින්... ආයෙම නත්තල් උත්සවයෙන් පස්සෙ හම්බවෙමු..

ලබන්නාවූ නත්තල සාමය සතුට පිරුණු සුබම සුබ නත්තලක් වේවා !