ඉවසයිද මන්දා..මා දුන් රිදුම්
වෙන්වීලා ආදා..වෙනතාක් බලන්
උන්නාට මා රහසේ ..තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන්
තනියෙන්ම වින්ඳා..දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ..දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා..ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති උනා..සත්තයි හෙමින්
දයාබර මහේෂි..
අපි එක් වූයේද මැයි
මාසයකදීය..වෙන්වූයේද මැයි මසකම වීම පුදුමයට කරුනක් නොවේ යැයි මට සිතේ..අප අතර තිබූ
සම්බන්ධතාවය පමනක් පළුදු කර , දැන් ඒ සිදු වීම අතීතයට එකතු වෙමින්
පවතී. මා මේ පිළිබඳව කිසිවක් කතා නොකලේ නම් අදටත් අපගේ සම්බන්ධතාවය වඩාත් හොඳින්
සුරක්ෂිතව තිබෙනු ඇතැයි ඔබ කියනු නිසැකය. එය සත්‍යකි. එහෙත් එබඳු සම්බන්ධතාවයක් හෝ
මිත්‍රත්වයක් මට අවැසි නැති බව මට වැටහී තිබුන නිසාවට මම එවගක් නොතකාම අපේ
සම්බන්ධතාවයට තිතක් තැබූවෙමි.
සම්බන්ධතාවයන්හී දිග පළල මෙතරම් කියා
ගණනය කල නොහැකි බව දැන උන්නත් , ඔබ සම්බන්ධයෙන් නම් එය සැබෑවක් නොවන බව
ඔබ තරම් දන්නා කිසිවෙක් මේ මිහිපිට නොවේ. ඔබේ
නිර්ණායකයින්ට අනුව ඔබ සිටියේ අනියම් සම්බන්ධතාවයකට ඔන්න මෙන්න කියාය.නමුත් ඔබේ
පැහැදිලි කිරීමට අනුව ඔබට අවැසි නියම සම්බන්ධතාවය එය නොවේ. එහෙත් ඒ අවස්ථාවේ ඔබ
වඩාත් ආකර්ෂණය වී ඇති සම්බන්ධතාවය වූයේ එයයි. ඔබ ගැන නිතර සොයා බලන, ජීවිතයේ
මිහිරිතම වදන් තෙපලන,නිතර දෙවේලේ දකින , පෙනෙන
ඒ අපූර්වතම අරුමැසිය ඔහුය. එය සත්‍යයක් නොවන ඇල්මක් බව ඔබ කියා සිටී. එයින්
මිදිය නිහැකි ලෝබකම නිසාත්,උතුරා ගලන යෞවනයේ හැඟීම් සනහාලන
සොඳුරුබව නිසාත්, ඔබ සිටියේ වැට උඩය.
ඔහු කරන්නේ වරදක් යැයි ඔබට මට හෝ අන්
කවරෙකුටවත් අත දිගු කල නොහැකිය.ඔහු වැරදිබව බව දැන දැනම ඔබේ සොඳුරුතම ආශ්වාදයේ
මිහිර විඳිමින් සිටියා පමණි. මා කලේ ඔබ දෙදෙනා අතර තිබූ නොපෙනෙන්නට හෝ දැනුවත්වම
දකින්නට අකමැත්තෙන් සිටි සියළු දේ පෙනෙන්නට දොර කවුළු විවර කිරීම පමණි.
ගොළු වෙච්චි තරු දෑසේ..කඳුලැල් උනන්නේ
දරාගන්න බෑනේ..මතකේ විලාපේ...
ආදරේ ඔබෙන් තරම්..ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනේ..සංසාර ආදරේ..
ගියදාම ඔබ ඔහු හා..ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති උනා..සත්තයි හෙමින්…
දැඩි සුළං හා කුණාටු එතැයි සිතමින් දොර
කවුළු වසාගෙන ඇතුලත රැඳීමෙන් නිරෝගි හිරු එළිය, සීතලට
හමන මද සුළඟ විඳ ගැනීමට ඇති අවකාශය නැතිවීම පමණකි. ජීවිත කාලය පුරාම මුව පොව්වකු
සේ ජීවත් වෙනවාට වඩා, සිංහයෙකු ලෙස එක දවසක් ජීවත් වීම වටී.
මානසීක වශයෙන් සිරගතවී සිටියදී එහි කිසියම් වින්දනයක් තිබුනත්..විවෘත ලෝකය ඊට වඩා
වටී.ඔබ හෝ ඔහු වරදක් කලායැයි මා කියනවා නොවේ.වරදට ඇති ඉඩ කඩ අහුරා ගැනීමේ විවෘත
භූමියට පැමිණි වග කීවා පමණි.
දැන් ඔබටත් මට මෙන්ම ඔහුටද වඩාත්
විශ්වාසයෙන් බොහෝ දුර යා හැක.එය තේ කෝප්පයේ කිඹුලන් නොදැකීමට අන් අයට මඟ කියනා
බැවින් අනපේක්ෂිතව ලද වරප්‍රසාදයක් ලෙස සලකමු. ජීවිතය පුරා
මිනිසුන්ට අභියෝගවලට මූණදීමට සිදුවේ.ඉන් පලායෑම නිරර්ථක ක්‍රියාවකි.පරාජයකි..ඔබ දුටුවේ මොහොතක දේ පමණක්ය. " ලිප ගිණි මොළවන තෙක් සැළියෙහි
දිය කෙළින කකුළුවා " මෙන් මොහොතක සතුට ලැබුවාය. යමක් සිදුවන්නට පෙර හැලියෙන්
පැන ගන්නට මඟක් සිතනවා මිස ලිප ගිණි මෙලවූ පසුව කල හැකි දෙයක් නැත.
මේ පාළු දුක් සිහිනේ..අතරමංවෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුන තරම් ..නැඟිටින්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ..
උන්නාට මා රහසේ ..තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන්...
සැඟවුන ප්‍රේමයක මිහිර ඇත්තේ එය
දෙනෙතෙගි සැඟවී ඇති තෙක් පමණක් බව ඔබ කීවා මතකය.මම එයට කොන්දේසී විරහිතව එකඟ
වෙමි.එහෙත් ඔබට ඒ දෙනෙත් කියවන්නට හැකි විය යුතුය. එය කල හැක්කේ ඔබ ඉදිරිපිට ඇත්තේ
නිරුවත් දෑසක් නම් පමණි. සබදතා පැහැදිලි වන තරමට මානසීක කැළඹීම් අවම වන බව ඔබ
නොදැන සිටින්නට ඇත. ප්‍රේමයෙහි
සම්බන්ධතා බිඳී ගිය පසු බොහෝදෙනා දරුණු ලෙස කඩා වැටෙන්නෙ එබැවිනි.එය තාවකාලික
නමුත් වේදනාව දරුණුය... පසුතැවීම දරුණුය..
යළිදු කිසිදිනක මා ඔබ දෙසට හැරෙන්නෙ
නැත. ඔබ මවෙතින් පලාගිහින් හමාරය. පසුතැවීමක් මට නැත. මම ජීවිතය තේරුම් ගත්තෙමි.
විඳවමින් සම්බන්ධතා රැක ගන්නවාට වඩා...එයින් මිදීම මට මෙන්ම ඔබටද යහපතක් බව මම
තේරුම් ගත්තෙමි. එය
සැනසිලිදායකය..
අවසානයේදී මට ඔබට යමක් කියන්නට සිතෙයි...විශ්වාසය තිබිය යුත්තේ
ලස්සන වදන් වල නොව හදවත්වලය.. ඔබ නොදැන උන්නේ එයයි. ලස්සන වදන්වලින් ඔබ ආශ්වාදය
ලබද්දී ..මම විශ්වාසවන්තව ඔබ දෙස බලා සිටියෙමි.. වැරදුනේ මට නොවේ. ඔබටයි.. තනිවුනේ
මා නොවේ ඔබයි. මන්ද ඔහු ඔබ ලඟ රැඳෙන්නෙ නැත..මම ඔබ රඳවාගන්නේද නැත..
අහස්...