මාව කියවන අය අතර..

21 March 2013

නික්ම යෑම ....



ඉවසයිද මන්දා..මා දුන් රිදුම්
වෙන්වීලා ආදා..වෙනතාක් බලන්
උන්නාට මා රහසේ ..තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන්

තනියෙන්ම වින්ඳා..දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ..දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා..ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති උනා..සත්තයි හෙමින්

දයාබර මහේෂි..

අපි එක් වූයේද මැයි මාසයකදීය..වෙන්වූයේද මැයි මසකම වීම පුදුමයට කරුනක් නොවේ යැයි මට සිතේ..අප අතර තිබූ සම්බන්ධතාවය පමනක් පළුදු කර , දැන් ඒ සිදු වීම අතීතයට එකතු වෙමින් පවතී. මා මේ පිළිබඳව කිසිවක් කතා නොකලේ නම් අදටත් අපගේ සම්බන්ධතාවය වඩාත් හොඳින් සුරක්ෂිතව තිබෙනු ඇතැයි ඔබ කියනු නිසැකය. එය සත්‍යකි. එහෙත් එබඳු සම්බන්ධතාවයක් හෝ මිත්‍රත්වයක් මට අවැසි නැති බව මට වැටහී තිබුන නිසාවට මම එවගක් නොතකාම අපේ සම්බන්ධතාවයට තිතක් තැබූවෙමි.

සම්බන්ධතාවයන්හී දිග පළල මෙතරම් කියා ගණනය කල නොහැකි බව දැන උන්නත් , ඔබ සම්බන්ධයෙන් නම් එය සැබෑවක් නොවන බව ඔබ තරම් දන්නා කිසිවෙක් මේ මිහිපිට නොවේ. ඔබේ නිර්ණායකයින්ට අනුව ඔබ සිටියේ අනියම් සම්බන්ධතාවයකට ඔන්න මෙන්න කියාය.නමුත් ඔබේ පැහැදිලි කිරීමට අනුව ඔබට අවැසි නියම සම්බන්ධතාවය එය නොවේ. එහෙත් ඒ අවස්ථාවේ ඔබ වඩාත් ආකර්ෂණය වී ඇති සම්බන්ධතාවය වූයේ එයයි. ඔබ ගැන නිතර සොයා බලන, ජීවිතයේ මිහිරිතම වදන් තෙපලන,නිතර දෙවේලේ දකින , පෙනෙන ඒ අපූර්වතම අරුමැසිය ඔහුය. එය සත්‍යයක් නොවන ඇල්මක් බව ඔබ කියා සිටී. එයින් මිදිය නිහැකි ලෝබකම නිසාත්,උතුරා ගලන යෞවනයේ හැඟීම් සනහාලන සොඳුරුබව නිසාත්, ඔබ සිටියේ වැට උඩය.

ඔහු කරන්නේ වරදක් යැයි ඔබට මට හෝ අන් කවරෙකුටවත් අත දිගු කල නොහැකිය.ඔහු වැරදිබව බව දැන දැනම ඔබේ සොඳුරුතම ආශ්වාදයේ මිහිර විඳිමින් සිටියා පමණි. මා කලේ ඔබ දෙදෙනා අතර තිබූ නොපෙනෙන්නට හෝ දැනුවත්වම දකින්නට අකමැත්තෙන් සිටි සියළු දේ පෙනෙන්නට දොර කවුළු විවර කිරීම පමණි.

ගොළු වෙච්චි තරු දෑසේ..කඳුලැල් උනන්නේ
දරාගන්න බෑනේ..මතකේ විලාපේ...

ආදරේ ඔබෙන් තරම්..ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනේ..සංසාර ආදරේ..

ගියදාම ඔබ ඔහු හා..ඉඟිල්ලී හොරෙන්
මට මාද නැති උනා..සත්තයි හෙමින්

දැඩි සුළං හා කුණාටු එතැයි සිතමින් දොර කවුළු වසාගෙන ඇතුලත රැඳීමෙන් නිරෝගි හිරු එළිය, සීතලට හමන මද සුළඟ විඳ ගැනීමට ඇති අවකාශය නැතිවීම පමණකි. ජීවිත කාලය පුරාම මුව පොව්වකු සේ ජීවත් වෙනවාට වඩා, සිංහයෙකු ලෙස එක දවසක් ජීවත් වීම වටී. මානසීක වශයෙන් සිරගතවී සිටියදී එහි කිසියම් වින්දනයක් තිබුනත්..විවෘත ලෝකය ඊට වඩා වටී.ඔබ හෝ ඔහු වරදක් කලායැයි මා කියනවා නොවේ.වරදට ඇති ඉඩ කඩ අහුරා ගැනීමේ විවෘත භූමියට පැමිණි වග කීවා පමණි.

දැන් ඔබටත් මට මෙන්ම ඔහුටද වඩාත් විශ්වාසයෙන් බොහෝ දුර යා හැක.එය තේ කෝප්පයේ කිඹුලන් නොදැකීමට අන් අයට මඟ කියනා බැවින් අනපේක්ෂිතව ලද වරප්‍රසාදයක් ලෙස සලකමු. ජීවිතය පුරා මිනිසුන්ට අභියෝගවලට මූණදීමට සිදුවේ.ඉන් පලායෑම නිරර්ථක ක්‍රියාවකි.පරාජයකි..ඔබ දුටුවේ මොහොතක දේ පමණක්ය. " ලිප ගිණි මොළවන තෙක් සැළියෙහි දිය කෙළින කකුළුවා " මෙන් මොහොතක සතුට ලැබුවාය. යමක් සිදුවන්නට පෙර හැලියෙන් පැන ගන්නට මඟක් සිතනවා මිස ලිප ගිණි මෙලවූ පසුව කල හැකි දෙයක් නැත.

මේ පාළු දුක් සිහිනේ..අතරමංවෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ...

ජීවිතය වැටුන තරම් ..නැඟිටින්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ..

උන්නාට මා රහසේ ..තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන්...


සැඟවුන ප්‍රේමයක මිහිර ඇත්තේ එය දෙනෙතෙගි සැඟවී ඇති තෙක් පමණක් බව ඔබ කීවා මතකය.මම එයට කොන්දේසී විරහිතව එකඟ වෙමි.එහෙත් ඔබට ඒ දෙනෙත් කියවන්නට හැකි විය යුතුය. එය කල හැක්කේ ඔබ ඉදිරිපිට ඇත්තේ නිරුවත් දෑසක් නම් පමණි. සබදතා පැහැදිලි වන තරමට මානසීක කැළඹීම් අවම වන බව ඔබ නොදැන සිටින්නට ඇත. ප්‍රේමයෙහි සම්බන්ධතා බිඳී ගිය පසු බොහෝදෙනා දරුණු ලෙස කඩා වැටෙන්නෙ එබැවිනි.එය තාවකාලික නමුත් වේදනාව දරුණුය... පසුතැවීම දරුණුය..

යළිදු කිසිදිනක මා ඔබ දෙසට හැරෙන්නෙ නැත. ඔබ මවෙතින් පලාගිහින් හමාරය. පසුතැවීමක් මට නැත. මම ජීවිතය තේරුම් ගත්තෙමි. විඳවමින් සම්බන්ධතා රැක ගන්නවාට වඩා...එයින් මිදීම මට මෙන්ම ඔබටද යහපතක් බව මම තේරුම් ගත්තෙමි. එය සැනසිලිදායකය..

අවසානයේදී මට ඔබට යමක් කියන්නට සිතෙයි...විශ්වාසය තිබිය යුත්තේ ලස්සන වදන් වල නොව හදවත්වලය.. ඔබ නොදැන උන්නේ එයයි. ලස්සන වදන්වලින් ඔබ ආශ්වාදය ලබද්දී ..මම විශ්වාසවන්තව ඔබ දෙස බලා සිටියෙමි.. වැරදුනේ මට නොවේ. ඔබටයි.. තනිවුනේ මා නොවේ ඔබයි. මන්ද ඔහු ඔබ ලඟ රැඳෙන්නෙ නැත..මම ඔබ රඳවාගන්නේද නැත..

අහස්...





17 March 2013

බිං අඟලක අයිතිය එක්ක...


මම මගේ ජීවිතයේ ඉහලින්ම තබාගෙන උන්නු ඉලක්කයකට ඊයේ ලඟා උනා. ඒ සතුට නිම් හිම් නෑ. මේ මහපොළොවේ බිං අඟලක්වත් අයිතිව නැතුව උන්න කාලේ දැන් ඉවරයි. මට මගේම කියලා කොටහක් තාවකාලිකව හරි අයිති උනා (තාවකාලිකව කියලා කිව්වේ අපි මැරුනම ඕවා උස්සාගෙන යන්නෙ නැති නිසා )

ඉගෙන ගැනීම ආසාව තදින්ම දැනුන කාලෙක , ඉගෙන ගන්න ඕනෑ මුදල් හදල් අතේ නැතුව උන්න කාලෙක, මට මගේ කියලා අම්මාගෙන ලැබුන ඉඩම් කොටහ විකුනලා දමන්න උනා. ඒ අවස්ථාවේදී ගන්න පූළුවන් හොඳම තීරණයක් හැටියට තිබුනේ ඒක විතරමයි. ඒත් එදා දවසේදී මගේම සහෝදරයා මට කියපු දේ අදටත් මට මතකයි.

" තියෙන ඒවා විකුණලා දාලා මා ලඟ වැටෙන්නද හිතාගෙන ඉන්නේ ?... "

ඔය වචනත් එක්ක මම සෑහෙන කාලයක් ජීවත් උනා.  ඒ ගැන හිත හිතා ජීවත් උනා. එතකොට මට මහගෙදර දැනුනේ පිට තැනක් වගේ. ඒකෙ අයිතිය තිබුනේ මගේ සහෝදරයාට.. එයා ලංකාවේ ඉන්න කාලෙට මම ඒ ගෙදර පැත්ත පලාතේ ගියේ නෑ. වෛරයක් හන්දා වත් එකට එක කරන අදහසිනුත් නෙමේ. ඒත් මොකද්දෝ දෙයක් අර වචනවල මට දැනුන නිසා..

මට තදින්ම ඕනෑකම තිබුනේ ඉඩම් කෑල්ලක් අරගන්න. කොළඹට කිට්ටුව. ඒක හිතන තරම් ලෙහෙසි දෙයක් උනේ නෑ මට. මාසයක් පුරාවට රෑ දවල් මහන්සි වෙලා ගන්න පඩි පතෙන් කරන්න හුඟාක් දේවල් තිබුනා. අම්මගෙ වියදම්, එයාගෙ බෙහෙත් හේත්, ගෙවල් කුලී, බිල් ගෙවීම්, කන බොන වියදම් එක්ක මහා ගාණක් ඉතුරු කරගන්න එක ලේසි දෙයක් නෙමේ. ඒත් උත්සාහයක් තිබුනා.

දන්න කියන හැමෝම කිව්වේ බැංකුවකින් ණයක් අරන් ඉඩමක් ගන්න කියන එක උනත්, මම ඒ ගැන හුඟාක් හිතුවා. මගේ පඩි පතෙන් ණයට කැපුනම ඉඩම විතරක් තියාගෙන මොනවා කරන්නද ?

අවුරුදු කීපයක් සකසුරුවමින් යමක් ඉතිරි කරගන්න මට පුළුවන් උනා. ලෝබකම් කලයුතු තැන් වලදී ලෝබ කම් කලා. අයෝජණයක් කරන්න තරම් දෙයක් තිබුනේ නෑ. සීට්ටු ගැන දන්නා දෙයක් නැති හන්දා සීට්ටුවලට ගියෙත් නෑ. ඒත් හිතවතෙකුගේ උපදෙසක් උඩදී මීට අවුරුදු තුනකට කලින් අතේ ඉතිරි උන මුදලකින් රත්තරන් පවුම් කීපයක් අරගෙන තිබුනා. ඒක හොඳ ආයෝජණයක් කියන එක පැහැදිලි උනේ පහු ගිය අවුරුදු දෙකක කාලයක් ඇතුලත ඉහළටම ගිය රත්තරන් මිළ නිසාමයි. එයින් මට  සැළකිය යුතු වාසියක් ලැබුනා.

ගැහැණුන්ගේ අවශ්‍යතා හරිම සංකීර්ණ උනත් අවස්ථාවේ හැටියට යම් යම් වියදම් මම හිතා මතාම කප්පාදු කර දැම්මා. ඒ නිසාම මගේ ඉලක්කයට යන්නට හැකියාවක් ලැබුනා. අතේ තිබුන මුදල ප්‍රමාණවත් නොවුන හන්දම මගේ දයාබර යෙහෙළියගේ අනුග්‍රහයත් මට ලැබුනා. ණය මුදලක් හැටියට. කිසිදු පොළියක් නැතුව ගෙවා දමන්න පුළුවන් නිසා ඒක මහ පහසුවක්.

ඉඩම ලැබුනේ කඩුවෙල ප්‍රදේශයේ පිට්ටුගල අවටින්.ප්‍රධාණ පාරට මීටර 50 විතර නිසාත්, ඉඩම අවට පරිසරයත්, පදිංචිව ඉන්නා මිනිසුන්ගේ දයාබරබවත් නිසාම දෙවරක් නොසිතාම ඉඩම මිළදී ගන්න හැකි උනා. මහා විශාල ඉඩමක් නෙමේ. පර්චර්ස් 6ක කොටහක්. ඒ ප්‍රමාණය මට හොඳමට ඇති.

ඊයේ ඉඩම මගේ නමට පැවරුණා. ඇත්තටම ඒ වෙලාවේදී දැනුන හැඟීම මොන වගේද කියන්න මට අදහස් එන්නෙ නැති තරම්. ඒ සතුට දිගින් පළලින් විස්තර කරන්නට අපහසුයි.

බැංකු ණයක් අරගෙන මට පුළුවන් හැටියට නිවසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. මුළින්ම අත්තිවාරම විතරක් දමා එක කාමරයක් , කුස්සියක් , නානකාමරයක් අටවා ගන්නට පුළුවන්නම්... මට ඒ ඇති. අවුරුදු ගාණක් ගෙවල් කුලී ගෙවීමෙන් නිකරුනේ ලොකු මුදලක් නාස්ති වෙන එකේ බාගෙට උනත් අටවා ගත්ත තමන්ගේ තැනක ඉන්න තියෙනවා නම් මොන තරම් හොඳද...

අද වෙද්දී මේ මහ පොළොවේ මටයි කියලා බිං අඟලක් තියෙනවා. කවදා හරි දවසක් පුංචි නිවහනක් ඒ බිමේ හැදේවී...මගේ ඊ ලඟ ඉලක්කය ඒයයි..

*****************************************************************

පලි

පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ අහපු දැකපු සමහර දේ නිසා ලියන්නත් කියවන්නත් එපා වෙලා කිව්වොත් ඒක හරියටම හරි. මට ලැබුන ඇතැම් කුණු හරුප  කොමෙන්ටු සහ ලිපි එක්ක..හිතට දැනුනේ කළකිරීමක් නෙමේ අප්පිරියාවක්. මේ ලිපි හෝ කොමෙන්ටු දමන්නේ බ්ලොග් ලියන කියවන මෙතනම ඉන්න කොටසක් නේද කියන හැඟීම හිතේ කොනක ඇති උනා. මා ගැන කිසිම දෙයක් නොදැන එක එක්කෙනාට මාව සමාන කරමින් ඇස් වලින් දකින්න අපහසු තිත්ත කුණු හරුප කියන අය තමන්ටම පව් එකතු කර ගන්නවා විතරයි කියලයි මට හිතෙන්නෙ
යාදිසං වපතේ බීජංතාදිසං හරතෙ ඵලං
              (යම්කිසි බීජයක් වපුරන්නේ නම් , එබඳුම ඵලයක්ම ලබන්නේය )


05 March 2013

මෙවන් අය තවදුරටත් අපේ වීරයෝ වේවිද ?


එකෝමත් එක කාලෙක මිනිස්සුන්ගෙ වීරයෝ උනේ නළුවන් සහ නිළියන්..ඉන්දියාවේ නම් ඒක උන්මාදයක්..තවත් ටික කාලයක් යද්දී හුඟක් මිනිස්සුන්ගෙ වීරයෝ උනේ ක්‍රිකට් ක්‍රීඩකයෝ.. ක්‍රිකට් වලට ආස නැති ..ආදරය නැති මිනිස්සු හොයා ගන්නත් බැරි තරම් කාලයකුත් තිබුනා..යන්තම් තේරෙන කාලෙ ඉඳන්ම අපේ ගෙදර වගේම අපේ අහල පහල ගෙවල් වල උන්නු හැමෝටම ක්‍රිකට් " උණ " තිබුනා.මටත් ඒ උණ බෝඋනා... ඒක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කාලේ.. අඩුම තරමින් ගහන පාරක්වත් දන්නෙ නෑ. රූපවාහිණිය වටේ ඉඳන් අපේ අයියා එක්ක ඉන්න අනෙත් කොළු රෑණ කෑගද්දී...මමත් කෑ ගැහුවා..හුරේ දැම්මා..

ටිකින් ටික ක්‍රිකට්වලට තියෙන ආශාව වැඩි උනා වගේම ක්‍රිකට් ගැන, ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන, හොයන්න තියෙන ආශාවත් වැඩි උනා. මොන ලෝකෙක තියෙන ක්‍රිකට් මැච් එකක් උනත් කර ඇරගෙන බලාගෙන උන්නා.. සනත් ජයසූරිය...මගෙ ක්‍රිකට් ලෝකයේ වීරයා.. සනත් බැට් එකත් උස්සාගෙන පිට්ටනියට එනකොට මගෙ හුස්ම නැවතුනා.. පිච් එක උඩ අතන හද හදා..මෙතන හද හදා...පිත්ත හද හදා සනත් ලැහැස්ති වෙනකොට....ඒ එක මොහොත පපුව බිත්තර දාහක් තම්බන්න පුළුවන් තරම් රත් වෙලා. බත් එක අතේ තියාගෙන..ඇස් දෙක සනත් දිහාට දාගෙන..ඉන්න වෙලාවට පස්ස පැත්ත පුටුවෙන් ටිකක් ඉහළට ඉස්සෙනවත් එක්ක. අම්මා ලඟට ඇවිත් කණ ලඟ කෑ ගහද්දි තමා මතක් වෙන්නෙ බත් කාලා නෑ කියලා. ඒ වෙද්දී බත් එක සීතල වෙලා...ඉඳුල් අත වේලිලා...

ක්‍රිකට් වලට තිබ්බ ආශාව හින්දම බඩගින්නක් තියා නිදිමතකවත් දැනෙන එකක්ද..මහ රෑ ජාමේ ඇස් ලොකු කරගෙන රූපවාහිනි තිරයට ඇස් ඔබාගෙන හුරේ දැම්මේ.ඒ වගේද  මැච් එකක් දිනනකොට දැනෙන සතුට... පැරදුනත් පැරදුනේ " ඇඟට දැනෙන ගේමක් " දීලා.. එහෙව් කාලෙක ක්‍රිකට් වලට ආදරය කරන එක අහන්නත් දෙයක්ද...

96 ලෝක කුසලානය අරන් එද්දී අපි පොඩි උන්. ඒත් " කැප්ටන් කූල් " ගැන තිබුනේ ගෞරවයක්. ඒ නිහතමානි කමට ගෞරවයක්. දවසක් කැප්ටන් කූල් එක්ක කතා කරන්න ආසාවක් හිත ඇතුලේ තිබුනා. ඒ ආශාව ඉටු උනේ සෑහෙන කාලයක් ගියාට පස්සෙ.එතකොට කැප්ටන් කූල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිහින්..  මට මතකයි එදා අපේ ඉස්කෝලෙට ඇවිත් අර්ජුන රණතුංග කියාපු කතාව..

" ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. හැම ක්‍රීඩාවකදීම ක්‍රීඩාවට උචිත සැහැල්ලු ඇඳුමක් ඇන්දත්...ක්‍රිකට්වලට අඳින්නේ කලිසම.ඒ නිසා ක්‍රිකට් වලදී ඒ කලිසමේ නම්බුවත් තියන්න ඕනේ "


************************************************************************

ඒ ඉස්සර...ඉස්සර තමා ක්‍රිකට් " මහත්වරුන්ගේ " ක්‍රීඩාවක් උනේ..අද වෙද්දී ක්‍රිකට් වලට වගේම ක්‍රිකට් ගහන මහත්වරුන්ටත් මහත්මා ගුණය එහෙම පිටින්ම අමතක වෙලා ගිහින්..

ගෞරවයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපු..ඒ නිසාම පොඩි මිනිස්සුන්ගේ ඉඳන් ධනපති පන්තියේ මිනිස්සුන්ගේත් ගෞරවය දිනා ගත්තු ක්‍රීකඩයෝ මුදල් මතම ඉඳගෙන ක්‍රිකට් ගසන්නට තරම් පෙළබිලා. ඒ විතරක්ද... ලැබෙන මුදල. වැටුප ගැන සෑහීමකට පත් නොවුනොත්.. තරඟ වර්ජනය කරන්නටත් පෙළඹිලා..

එක දිගට විකට් අරන් ලෝක වාර්ථා තියලා අපේ ගෞරවය ඉහලින්ම දිනාගෙන උන්න ක්‍රීඩකයෝ අද ඒ අයට හුරේ දැම්ම අයට කතා කරන්නේ ඉතාම නින්දිතව..

" අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? ..." 

" ඇයි ? මාව කලින් දැකලා නැද්ද ? නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ..."


මේ ඔවුන්ව කරේ තියන් හුරේ දැම්ම මිනිස්සුන්ට දෙන ප්‍රථිචාරයි. මේ මහත්මා ක්‍රීඩාවේ සැබෑ තත්වයයි.

ලසිත් මාලිංග කියන්නෙ ගමෙන් නගරයට ඇවිත්...තමන්ගේ දස්කම් වලින් ලොවක් දිනා ගත්තු ක්‍රීඩකයෙක්. දුප්පතාගෙ ඉඳන් පෝසතාගේ පවා ආදරය දිනා ගත්ත කෙනෙක්. ඒත් ටිකින් ටික ඉහලට එද්දී තමන් ඉහළට ඔසවා තැබූ  ඉණිමඟට පයින් ගැසීම කෙතරම් ශිෂ්ඨදැයි ලසිත්ට දෙවරක්ම හිතන්න සිද්ද වෙනවා. ඔහු වැනි ක්‍රීකඩකයෙක් තමන් ආමඟ අමතක කරන්නේ තමගේ තත්වය රුපියල් මිලියන ගණන්වලට ලංසු තැබෙන බව දන්නා නිසාමද ?

ඔවුන් ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් කියලා හිතාගෙන උන්න කාලය හිතින් මකා දමන්නට කාලය ඇවිත් ඇති බව මගේ හැඟීමයි.. කෙනෙකු ජනප්‍රිය වෙන්නට වෙන්නට ඔහු තුල නිහතමාණිකමත්...මනුස්සකමත් තිබිය යුතුයි. විජය කුමාරතුංග නම අසහාය නළුවාට..එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට මිනිසුන් තවමත් ආදරය කරන්නෙ ඔහු තුල තිබුන සැබෑ නිහතමානි කමටත් මනුස්සකමටත්ය.

රටේ වග කිව යුත්තන් අයුක්ති අසාධාරණ වෙනකොට... පහලින් සිටින අයත් ඒ තත්වයට පත්වෙන එක පුදුමයකුත් නොවේ ..මනුස්සකමක්..විනයක් නැති මෙවන් ක්‍රීඩකයින් තවදුරටත් අපේ වීරයෝ වේවිද ?

බල්ලනවත් නොකනවායි කියන කාසි නිසාම මිනිසුන් බල්ලන් වීමට වැඩි කාලයක් නොයන බව නම් දැන් සහතිකය.


ප ලි

හිතට දැනුන කලකිරීමෙන් හදිසියේ කුරුටු ගෑ වගයි