මාව කියවන අය අතර..

26 February 2013

දාංගලේ තරමට වින්නැහි...


අපේ අයියට පොඩි කාලෙ තිබුනේ පුදුම දාංගලයක්. අපේ අම්මා කියනවා වගේ " මහ පොළොවෙ නම් උන්නේ නෑ ".. අයියලාගෙ ඉස්කෝලෙන් උනත් වැඩිපුර චෝදනා පත්‍ර ආවේ අපේ අයියට. නරක වැඩ කරලා එහෙම නම් නෙමේ. තිබුන දාංගලේ හින්දමයි..

අම්මගෙ කතාව හරි. අපේ අයිය පොළොවේ ඉන්නවට වඩා පොළොව මට්ටමෙන් උඩ ඉන්න තමයි ඒ කාලේ වැඩි පුර උවමනාව තිබුනේ. ගස් උඩ, මේසේ උඩ, පුටු උඩ, ජනේල වල එල්ලීගෙන, හපොයි එයාට තිබ්බ එහෙමත් ගායක්.


අපේ අම්මා පණ දාගෙන හෝදලා වේලලා..සීරුවට මැදලා අයියට අන්දලා යවන ඇඳුම..ඉස්කෝලෙ ඇරිලා එන වෙලාවට තියෙන්නෙ කළු පාටට..කුණු දූවිලි, මඩ, නාවර වලින් වැහිලා...කහට ගෑවිලා නැති එකම එක ඇඳුමක්වත් එයාට තිබුනෙත් නෑ. ඇයි ඉතින් තියෙන දාංගලේට ඇඳුම්වල කහට නොගාගෙන ඉදීවිද... කජු හැදෙන කාලෙට කජු කිරි වලින් ඇඳුම් විනාසයි..මාදං, බලු දං එහෙම හැදෙන කාලෙට ඇඳුම් දම් පාටයි...අඹ හැදෙන කාලෙටත් ඒ සෙතේම තමා..

මට මතක කාලෙ ඉඳන් එයාගේ ඔළුවේ නොපැලුන තැනක් නෑ. (දැනටත් නළලේ ඒ තුවාල කැළල් එලෙසටම තියෙනවා ) අඩුම තරමින් සති දෙකකට සැරයක්වත් ඔළුව පලා ගන්නවා. තාත්තත් නැති ගෙදර අම්මගෙ මහන්සියෙන්නෙ අපේ බඩ ගින්දර නිවුනේ. කොහෙද අම්මට එක මාසයක් හරියට වැඩට යන්න බැරි වෙනවා. කොයි වෙලාවේ ඉස්කෝලෙන් පණිවිඩයක් ඒවිද හිත හිතාලු අම්මා වැඩ කරන්නේ..එක්කෝ ඉස්කෝලෙ ඩෙස්ක් එකක් උඩට නැගලා වැටිලා ඔළුව පලාගෙන...නැත්තම් ඉන්ටවල් එකේදී එයාගෙ යාළු නඩේ එක්ක දුවලා වැටිලා ගල් ගෙඩියක ඔළුව වද්දගෙන...මොකක්ම හරි එකක් වරදින්නෙම නෑ..

ඔය ඔළුව තුවාල කරගන්න එකත් ගොඩින් බේරගන්න පුළුවන් හැටියට නම් නෙමේ කරගන්නේ. අඩුම තරමින් මැහුම් තුන හතරක්වත් දාන්න වෙනවා. ලේ පෙරාගෙන ඉන්න අයියව අම්මා උස්සාගෙන දුවනවා බේත් සාප්පු ගානේ.. හොඳම වැඩේ කියන්නේ හිරි වට්ටන්නෙවත් නැතුව මැහුම් දානකොටවත් අයියා නෙමේලු එක කඳුලක් වට්ටන්නේ..ගාණක් නැති ගානට දත් මිටි කාගෙන ඉන්නවලු..හැබැයි ඉතින් ගාණට එයාට ලැබෙන්නෙ ගෙදර ආවම තමා.. ඔළුව පැලුන තුවාලය දෙපිටෙන් යන්න අම්මා දෙනවා හොඳ පාරවල් දෙක තුනක්. ඒත් ඉතින් අයියා නෙමේ " හ්ම්ම්ම් " කියන්නේ...රිදෙන්නම ගහලා ඉවර වෙලා අම්මම පැත්තකට වෙලා හූල්ලන්න ගන්නවා. ගහපු දුකට..

අපේ ගෙවල් කිට්ටුව උන්නා ඩිස්පැන්සරියක බෙහෙත් කලවම් කරපු අන්කල් කෙනෙක්. එයාගෙ ගෙදර පොඩි පොඩි තුවාල වලට බෙහෙත් එහෙම දානවා. අයියා ඉතින් ඔළුව පලා නොගත්තත් දණහිසක්, වැලමිටක් හරි තුවාල කර ගන්නෙ නැති දවසක් නෑනේ..හෙමීට දිව්වත්...හයියෙන් දිව්වත්...ඇවිද්දත් , බයිසිකලේ පැද්දත්තුවාලයක්ම තමා...හි හි හී

අම්මා වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට තමා අපේ ගෙදර යුද්ධ පිටිය වෙන්නේ..ගෙදර ආව ගමන් අම්මට තියෙන පළවෙනි රාජකාරිය තමා අපි දෙන්නව ලිඳ ලඟට ඇදන් ගිහින් ඇඟ සෝදවන එක.. මට නම් ඒක තමා ඒ කාලේ මේ ලෝකේ තිබුන ලොකුම වද හිංසාව.. අර පැත්තට මේ පැත්තට හරව හරවා ඇඟේ හම ගහන තාලෙට කුණු අතුල්ලනවා.. පූස් පැටියා වගේ පාඩුවේ පැත්තකට වෙලා කුණු දූවිලි ගාගන්නෙ නැතුව සෙල්ලම් කරන මගේ ඇඟත් අම්මා අර තරම් රිද්ද රිද්ද කුණු අරින්න හදනවා නම්...අයියා ගැන මොන කතාද...අම්මා අයියව හෝදන්නෙ බැන බැන..දැන් මතක් වෙද්දී හිනාත් යනවා අප්පා...

ලිද ලඟ යුද්දෙන් පස්සෙ අම්මා ඊ ලඟට අයියව ඇදන් යන්නේ අර තුවාලවලට බෙහෙත් දාන ගෙදරට..ඔය ගමනට මාත් ඇදිලා යනවා. ඒ තමා මම ආසම දේ..ඒ අන්කල් අයියව පුටුවක වාඩි කරවලා..තුවාලය තියෙන තැන හොඳට බලනවා. ඊට පස්සේ කතුරක් අරන් පුළුන් කෑල්ලක් ඒකෙ දවටලා...අනිත් අතින් මොනාදෝ බෝතලයක් ගන්නවා. ඒකේ මූඩිය ඇරලා කතුරේ දවටපු පුළුන් කෑල්ල බෝතලේ ඇතුලට දාලා ගන්න දියරකින් තුවාලය පිහ දානවා...ඒ වෙලාවට අයියා ඉන්නේ පුටුවේ නම් නෙමේ..දුවන්න ලැහැස්ති වෙලා.. දැවිල්ලට...මට හරි සතුටුයි ඒක බලාගෙන ඉද්දී...ඊටත් පස්සේ තවත් ගෝස් කෑල්ලක් අරන් ඒකේ දම්පාට බෙහෙතක් දාලා ඒක තුවාලය උඩින් දමලා ඊට උඩින් තවත් ගෝස් කෑල්ලක් තියලා ප්ලාස්ටර් දෙක තුනක් දානවා..ඔන්න බේත් දමලා ඉවරයි..

ඔය බෙහෙත් ටික කකුලේ තියෙන්නෙ ගෙදර එනකල් විතරයි. අයියගෙ වැඩේම අර ප්ලාස්ටර් කෑලි ගලවන එකයි..ආයෙම අලවන එකයි.. පහුවදා උදේ වෙද්දී තුවාලෙ විතරයි..බෙහෙත් දාපු ටික නෑ...

අපේ ගේ ඉස්සරහා තිබුනා පේර ගහක්. අයියගෙ වැඩේම ඔය පේර ගහේ තියෙන අතුවල එල්ලෙන එක. ඒක හරි භයානය වැඩක්. මොකද පේර ගහ කිට්ටුවම මහා විසාලෙට තිබ්බ තේක්ක ගහකින් මතුවෙලා එළියට ආපු මුල් වගයකුත් තිබුනා.අයියට ඒවල වගක් නෑ. එයා එල්ලෙනවා පේර අතුවල.. ටාසන් වැලේ එල්ලෙනවා වගේ...දවසක් අයියගෙ සෙල්ලම ලෙල්ලම උනා. මම බලාගෙන ඉද්දිම මෙන්න මෙයාව වැටුනා පේර අත්තත් කඩාගෙන... අයියෝ මට ගිය හිනාව ( නරක නංගෙක් තමා ඉතින් අයියා වැටුනම හිනා වෙන්නේ .. :) ඒත් ඉතින් මෙයාගේ වැඩවලට හිනා යන්නෙ නැද්ද... J

අයියා ගහෙන්වැටුනා වැටුනාමයි කිසිම හැලහොල්මනක් නෑ. මම හිතුවේ වැටුන ලැජ්ජාවට එයා එහෙම ඇති කියලා. මට තේරෙන මඟුලක් තියෙනවයෑ..විනාඩි පහ දහයක් ගියත් මෙයා සද්ද නැති නිසා මම ලඟට ගියා..

 " අයියේ නැගිටිනවකො.." කිව්වත් ම්හ්හු..සද්දයක්වත් නෑ. හරිනේ..අයියා මැරිලා තමා.. එතකොටනම් මම බය උනා හොඳටෝම.. වැටෙන් පැනලා දිව්වා අපේ පොඩි මාමලාගෙ ගෙදරට..ගිහින් කිව්වා විස්තරේ නැන්දට. ඇයි ඉතින් අම්මත් ගෙදර නෑනේ..නැන්දා දුවලා ඇවිත් බලද්දී අයියට සිහිය නෑලූ.. හප්පේ...ඉස්පිරිතාලේ අරන් ගියාට පස්සෙ තමා විස්තරේ දන්නෙ..අයියගෙ අත වැලමිට ලඟින් කැඩිලලු වැටුන පාරට..ඔන්න එයාට ඉස්පිරිතාලෙත් ඉන්න උනා ඒ වැඩෙන්.

මාස ගානක් ගිහින් අත සනීප උනා කියමුකෝ..ඒත් නැවතුනේ නෑ එයාගෙ දැඟලිල්ල.ගෙවල් කිට්ටුව උන්න අයියගෙ යාලුවෙක්ගෙ ගෙදර තිබුන මාදං ගහකට නැගලා අයියයි යාලුවයි දෙන්නම.. යාලුවගෙ කෙසේ වෙතත් අපේ අයියගෙ දාංගලේ අපි දන්නවනේ..ඔන්න එදත් මෙයා ගහෙන් කරණමක් ගහලා අත කඩාගෙන.. ඒ පාර ඔළුව පලාගන්න එක නැවතිලා අත් කඩා ගන්න ගත්තෙ ඔතැනින් පස්සෙ තමා.. J

ඒ පාර අත කඩාගෙන තිබුනෙත් වැලමිට ලඟින්ම තමා. කලින් කඩා ගත්ත අතේ නම් නෙමේද කොහෙද..අපේ අම්මට කවුද කියලා සිංහල බෙහෙත් කරන්න කියලා. අම්මත් අයියව උස්සාගෙන දුවලා තිබුනා වෙදෙක් ලඟට. ගිහින් ඔන්න අතට පත්තු බැදලා ගෙදර එවලා තිබුනා. එහෙම කියලා අපේ අම්මට ගෙදරටම වෙලා ඉන්නත් බෑනේ..අම්මා උදේට අයියගෙ අතට සාත්තු කරලා, මැල්ලුම් පත්තු බැදලා ගෙදරින් යනවා වැඩට..අයියා ඒ විදියට අත තියාගෙන ඉන්නෙ පැයයි නැත්තම් දෙකයි. එනවා මා ලඟට...

" නංගියා මේක ගලවන්න. දැන් ඇති .."

එහෙම කියද්දී මම දන්න මඟුලක් තියෙනවයෑ. මම පොඩි එකීනේ..අර පත්තු ටික ගලවගන්න අයියට උදව් කරනවා.. බෙහෙත් පත්තු ගලවාගෙන අමාරුවෙන් අත තියාගෙන ඉන්නවා අම්මා හවස ගෙදර එන වෙලාව කිට්ටු වෙනකල්. ඊට පස්සේ ආයෙම මා ලඟ.

" නංගියා...දැන් මේක බඳිමු..."

මාත් ඉතින් දන්න හැටියට අර පත්තු ටික අත වටේ තියලා ඔතනවා රෙදි පටි වලින්. ටික කාලයක් යද්දී තමා වැඩේ තේරුනේ..අර පත්තු ටික බැන්දම අයියට අත රිදෙන්න ගන්නවනේ..මෙයා ඒක ගලවලා අම්මා එන්න කලින් තිබ්බ වගේ ඔතා ගන්නවා..අම්මව එහෙම රවටලා එයාගෙ අතම තමා වනසගෙන තිබුනේ..අත කැඩිච්ච තැනින් හයිවෙලාලු. අයියගෙ අත නමන්න බැරි උනා අන්තීමෙදී.. (පස්සෙ කාලෙක ඒ අත ආයෙම කඩලා ප්ලාස්ටර් දාලා හැදුවද කොහෙද )

එතැනින් නැවතුනෙත් නෑ මගෙ හිතේ..තව කීප සැරයක් අත පය කඩා ගත්තා..ටිකක් ලොකු උනාට පස්සෙ ( අවු: 15-16 විතර ) තමා ඔය දැඟලිල්ල ටිකක් හරි නැවතුනේ. මොන දේක සීමාවක් තිබුනත්...අපේ අයියට නම් ඒ සීමාව ගෑවිලාවත් තිබුනේ නැද්ද කොහෙද..කොල්ලෝ කොහොමත් පොඩි කාලෙදී දඟයි තමා..නාහෙට අහන්නෙත් නෑ තමා..ඒත් මෙච්චර හරියක්.... මෙච්චර අත පය කඩා ගත්තු, ඔළුව පලා ගත්තු කෙනෙක් තවත් නැතුව ඇති..

දැන් නම් ඉතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ. කොච්චර නාහෙට අහන්නැති එකෙක්ව හරි බැන්දට පස්සෙ බිරින්ඳෑ හදා ගන්නවලුනේ....අපේ  අයියටත් එහෙම උනාද කොහෙද..... J



 පින්තූර හොයා ගත්තෙ ගූගල් දෙයියගෙන් තමා

19 February 2013

අරක්කු මිනිස්සුන්ව තිරිසනුන් කරනවා කියන්නෙ නිකම්ද...


වෙලාව රෑ අටට විතර ඇති. මහ රෑ යාමේ නොවුනත් සද්දයක් බද්දක් නැති තරමට පරිසරය නිශ්ශබ්දයි.පුවක් ගෙඩියක් ගිරය මැද්දට තියලා කපද්දී එන " ටකස් "  සද්දය විතරමයි මට ඇහුනේ. ඒ ලොකු මාමා. පිළිකන්නෙ ඉඳගෙන බුලත් විටක් හපන්න ලෑස්තිය

" කවා...ලා...විළඳ ජාති....ඇති කලත් රන් කූඩුවේ ගිරවා......

  දමා....ලා...යන්නෙ ඉඟිලී.....අම්මට#$%^^&& කෝ මේ වේ.....

පරිසරයේ නිහඬතාවය බිඳගෙන ඇහුනේ අමු තිත්ත කුණුහරුප වැලක්....

" බන්දුවා අදත් බීගෙන වගේ..පොඩ්ඩක් කෑගන්න අනේ කෑවනම් බීවනම් නිදා ගන්න කියලා. මේ දරුවත් ඉන්නවා. මේකා කුණුහරුප වපුරන්න ගත්තොත් විසුමක් නෑ අද ..."

කුස්සියේ වළං පිඟන් හෝදන ගමන් නැද්දා මාමට ඇහෙන්න එහෙම කිව්වේ බන්දුගේ කට ගැන දන්න හින්දම වෙන්න ඇති. බන්දුගේ සද්දේ මාමලාගේ ගමට අලුත් දෙයක් නෙමේ. මටත් අලුත් දෙයක් නෙමේ. මාමලාගෙ ගෙදර ගිය හැම දවසකම..මට බන්දුගේ ඔය සද්දෙත්...කුණුහරුපත්...ගෝරණාඩුවත් ඇහිලා තියෙනවා.බුලත් හපේ හක්කෙ රඳවගෙන..කාරලා කෙල පිඩක් මිදුල කෙලවරට විසික් කරලා .... මාමා ගේට්ටුව දිහාට ඇදුනා. බන්දු උන්නේ මාමලාගෙ වත්තට එහා වත්තේ..

" මේවද යකෝ කන්න තියෙන්නේ ?? "

" නැතුව ඉතින් මට බුරියානි හදන්නද කියන්නේ හම්බ කරන එකත් කනමදයා වගේ බොනවා මදිවට..එනවා මෙතන... "

" ඇයි හු#$%% මේවා කන්න පුළුවන්ද ... ?

" කන්න බැරි නම් නිකා ඉඳපන්.. මෙතන බීල ඇවිත් මළවදේ.... "

" මොකා...ක් කිව්වේ උඹ....බීල ඇවිත් ? කවුද හු@#$%$% බීලා ආවේ " ?

බන්දුලාගෙ ගේ පැත්තෙ එක සීරුවට සද්දේ..ඒ සද්දේ මැද්දෙම ඔන්න මාමා හයියෙන් කෑ ගහනවා...

" බන්දූ..... කෑවනම් බිව්ව නම් සද්ද නැතිව නිදා ගනින්....මේ අහල පහල අපිට පාඩුවේ ඉන්න දීලා..."

බන්දු නෙමේ එතැනින් එහාට වචනයක් වත් කියන්නෙ.. සද්දෙ එදාට විතරක් ඉවරයි.
බන්දුගේ නියම නම බන්දුල. හැමෝම කිව්වේ බන්දු කියලා. බන්දු රස්සාව හැටියට කලේ කුලී වැඩ. අහුවෙන ඕනේ කුලියක් කරලා දවසට හොයා ගන්න කීය හරි වියදම් කලෙත් කසිප්පු බොන්නයි මස් කන්නයි. බන්දු කියන්නෙ මස් වලට පුදුම විදියට පෙරේත මිහිහෙක් කියලා කියන්නෙත් බන්දුගේ බිරිඳ කුමාරි අක්කා. බන්දු නිකවැරටිය පැත්තේ මනුස්සයෙක්ලු. කොහෙන් කොහෙන් හරි කුලියාපිටිය පැත්තෙ ඇවිත් කුමාරි අක්කව කසාද බැඳගෙන එහෙම පදිංචි වෙලා...

අපේ ලොකු මාමට තිබුනා ගඩොල් පෝරණු කීපයක්. ඒ දවස්වල බන්දු වැඩ කලෙත් එතැන. නිවාඩු කාලෙට මම මාමලාගෙ ගෙදර ගියාම...ගඩොල් පෝරණුවලට ගිණි දාන මහ රෑ ජාමේ මාත් ඇහැරිලා ඒ දිහා බලාගෙන ඉන්නවා. මහන්සි වෙන වැඩක් උනත් හරිම විනෝදජනකයි. නැද්දා ලඟ වාඩිවෙලා ඉඳගෙන එයාලා කියන " ඒ කාලෙ කතා " අහගෙන පුච්චාපු මඤ්ඤොක්කා කොච්චි සම්බෝල එක්ක කන එක තමා මගේ රාජකාරිය. ඔය පෝරණු ගිණි දෑම හොඳ පලපුරුදු කෙනෙක් තමා කරන්නේ.ඒ රාජකාරිය අකුරටම කලේ බන්දුගේ මාමාණ්ඩියා උන නිකුලස් සීයා. නිකුලස් සීයට ගමේ අය කිව්වේ " පචෝරිස් " කියලා. මොකද වචන දහයක් කතා කලොත් නමයක්ම බොරු. (උන්දා කියාපු අතේ පැලවෙන පච ටිකක් වෙන දවසක කියන්නම්කෝ )

බන්දුයි නිකුලස් සීයයි අපේ ලොකු මාමගෙ ගඩොල් පෝරණුවල එකට වැඩ කලත් ජම්මාන්තර වෛරක්කාරයෝ. දෙන්නට දෙන්නව පේන්න බෑ. නිකුලස් සීයා මොන තරම් පච ඇද බෑවත්, බොහෝම අහිංසක විදියට ගමේ ජීවත් වෙන කෙනෙක් කියලා කිව්වේ අපේ මාමා. හැමෝ එක්කම බොහෝම සුහදයිලු. අක්කර බාගයක විතර පොල් ගස් තියෙන ඉඩමක, එක කෙලවරක නිකුලස් සීයලාගේ පොඩි ගෙදරත්...වෙල පැත්තට වෙන්න තිබුන ලොකු කජු ගහක් පාමුල තියෙන කටු මැටි ගහපු බන්දුලාගෙ ගෙදරත් තිබුනා. බන්දුගේ බේබදු කම හන්දම කුමාරි අක්කා ජීවත් උනේ බොහෝම අග හිඟ කම් මැද්දේ. කොයි වෙලාවෙත් දුවගෙන ඇවිත් අපේ නැන්දාගෙන හාල් ටිකක් ඉල්ලාගෙන දුවන පුරුද්දක් කුමාරි අක්කට තිබුනා. ඒ නැති බැරි කම හින්දමයි කියලා දන්න අපේ නැන්දා ලඟත් කවදාවත්ම " නෑ- බෑ " කියන වචන දෙක තිබුනෙත් නෑ.

මේ බෑණගෙයි මාමණ්ඩියගෙයි රණ්ඩුව ගමේ අයට නම් අලුත් දෙයක් නෙමේලු. මාසයකට සැරයක් පොල් කඩන්න ගත්තම තමා රණ්ඩුව උත්සන්න වෙන්නේ. බන්දුලාට වත්තේ කොණක ඉන්න දීලා තිබුනත්..ඒ කොටසේ ගහකොලවල බුක්තිය වින්ඳේ නිකුලස් සීයලු. මේ අරාවුල නිසාම බන්දු බීලා එන හැම දවසකම නිකුලස් සීයා එක්ක රණ්ඩුවක් අල්ලන එකත් පුරුද්දක්ලු.රණ්ඩුව වචනයෙන් විතරක් නම් මදෑ... වෙරිය හොඳටම වැඩි දවස්වල බන්දු පිහියකුත් අරන් නිකුලස් මාමා පස්සෙ පන්නනවලු " අදනම් මම තෝව බාවනවා " කියලා. ඔය පිහියක් අරන් දිව්වට බන්දු චන්ඩියෙක් නෙමේ කියලා දන්න නිකුලස් මාමා සත පහකට ගණන් නොගෙන කර ඇරලා පාඩුවේ ඉන්නවලු.. (මිනිස්සු කොහොමත් බී ගත්තම හරි චණ්ඩිනේ...:)

ඒ විතරක්ද..බන්දු බීගෙන ඇවිත් කුමාරි අක්කට හොඳටම ගහනවලු. කුමාරි අක්කා කරන්නෙ දුවල ගිහින් අර කජු ගහට නගින එකලු. බීගෙන හතර ගාතේ වැනෙන බන්දු කොහෙද ගස් නඟින්නේ ... කුමාරි අක්කගෙ හත් මුතු පරම්පරාවේම අම්මා මුත්තා සිහි කර කර බනින්න ගත්තම ඕවා ඉතින් නිකුලස් සීයාලාටත් ඉවසන්න පුළුවන්ද හමදාම.

එදා බ්‍රහස්පතින්දා දවසක්.බ්‍රහස්පතින්දා කියන්නෙ කුලියාපිටියේ පොල දවස. ඒ පැත්තෙ කුලී වැඩ කරන අයට නිවාඩු. අපේ මාමාත් ගඩොල් පෝරණුවල වැඩ කරන අයගේ සුමාන පඩි එහෙම බේරලා පොලේ යන්න පිටත් උනා. මාමලාගෙ ගේ ඉස්සරහා තියෙනවා මහා විශාල සියඹලා ගහක්. ඒකෙන් සියඹලා ගෙඩි පහ හයක් ඇහිඳගෙන කන ගමන් මම ඒ කිට්ටුව තිබුන පිඳුරු ගොඩ ලඟ වාඩි වෙලා උන්නා.වෙලාව දවල් 1ට විතර ඇති. එක පාරටම බන්දුලාගෙ ගෙවල් පැත්තෙන් ඇහුනේ කුමාරි අක්කගෙ විලාප සද්දේ...

" අයියෝ.....කවුරුත් නැද්දෝ....අනේ මේ බලන්නකෝ බන්දු මැරිලා...අයියෝ...බන්දු මැරිලා..."

ඇහුන විලාප සද්දෙන්  කලබල උන අපේ නැන්දා.. මාවත් ඇදගෙන දිව්වේ බන්දුලාගෙ ගෙවල් පැත්තට. ලොකු මාමලාගෙ ගෙදරට දකුණු පැත්තේ තිබුන ගෙදර මාමත් අපේ පස්සෙන් දුවගෙන ආවා. නිකුලස් සීයලාගෙ  පිළිකන්න පැත්තෙ ඉඳන් කුමාරි අක්කා කෑ ගහනවා. අපි දිව්වේ ඒ පැත්තට. මොනවා බලන්නද... වෙන්න් ඕනෙ ඔක්කොම ඒ වෙද්දී වෙලා ඉවරයි.

නිකුලස් සීයලාගේ ගේත් කුස්සියත් මැද්දෙන් තිබ්බ කොටසක බන්දු මුනින් අතට වැටිලා උන්නා. කුමාරි අක්කා ලේ වලින් පෙඟුන බන්දුගේ ඇඟේන් හොල්ලන ගමන් විලාප දෙනවා. ඒ කිට්ටුවම නිකුලස් සීයා බිම ඇන තියාගෙන ලේ වැදිච්ච උල් පිහියකුත් අතේ තියාගෙන ඈත වෙල් යාය දිහා බලාගෙන ඉන්නවා. බන්දුගේ ඇඟෙන් ගලාගෙන ගිය ලේ පාර මැටි පොළොවට උරාගෙන ලොකු ලේ පැල්ලම් විතරක් ඉතුරු වෙලා..

මාව පැත්තකට කරපු  අපේ නැන්දයි තව මාමා කෙනෙකුයි බන්දුට පණ තියෙනවද බැලුවේ ඉස්පිරිතාලයට අරන් යන්න. ඒ මාමා කියපු හැටියට නම් ඒ වෙද්දී බන්දුගේ ඇඟත් සීතල වෙලාලු. ඒ කියන්නෙ බන්දු මැරිලා ටික වෙලාවක් ගිහින්. කුමාරි අක්කගෙ විලාපේ සද්දෙට ගමෙන් බාගයක් විතර එතැනට පිරුණා. ඒ අස්සෙන් කවුරුම හරි පොලීසියටත් කතා කරලා.

ටික වෙලාවකින් ආපු පොලීසියෙන් නිකුලස් සීයව අත් අඩංගුවට අරන් ප්‍රශ්ණ කලා. පොලීසියෙන් ආවට පස්සෙ තමා මුනින් අතට වැටිලා උන්න බන්දුව අනිත් අතට හැරෙව්වේ...අම්මෝ...ඒ මූණ මේ දැනුත් මට පේනවා වගේ.. බන්දුගේ මූණ බලන්න බෑ. මැල්ලුම් ලියලා වගේ පිහියෙන් කපලා දාලා. කට...නහය..ඇස් දෙක..ඒවා ලියලා දාලා වගේ..පුංචි කමට මාත් බයක් හැකක් නැතුව ඒ දිහා බලාගෙන උන්නා. උර හිසටත් කීප සැරයක් පිහියෙන් ඇණලා..

නිකුලස් සීයා පොලීසියට දුන්නු කට උත්තරයේ හැටියට ඒ සිද්දිය වෙලා තියෙන්නෙ දවල් දොළහට විතර ලු. අපේ මාමාගෙන් සුමානේ පඩි සල්ලි ඉල්ලාගෙන බන්දු කෙලින්ම ගිහින් තියෙන්නේ කසිප්පු බොන්න. කසිප්පු වඩි දෙක තුනකින් හොඳ හැටි සප්පායම් වෙලා මස් රාත්තලකුත් කිහිල්ලෙ ගහගෙන වෙල් නියර දිගේ බන්දු ගෙදර ඇවිත්. ඒ එද්දී කුමාරි අක්කා ගෙදර නෑ.ගෙදරට අඩුම කුඩුම ටික ගන්න පොළට ගිහින්. ඒ අස්සේ සුපුරුදු පරිදී මාමගෙයි බෑණගෙයි ගෝරණාඩුවත් පටන් අරන්. බහින් බස් වීම වැඩිවෙද්දී වෙනදා වගේම උල් පිහියකුත් අරන් බන්දු නිකුලස් සීයගෙ පස්සෙන් පන්නන්න අරන්...

මනුස්සයෙකුගෙන් වෙන හිරිහැර කරදර හැමදාමත් ඉවසන්න පුළුවන්ද...? නිකුලස් සීයාට එදා හිතෙන්න ඇති මේකෙ ඉවරයක් තියෙන්නෙ ඕනෙ කියලා. මරු විකලෙන් වගේ බන්දුගේ අතේ තිබ්බ පිහිය උදුරාගෙන උර හිසට ඇණලා. සමහර විට මරන්න හිතාගෙන නෙමේ වෙන්න ඇති. පිහිපාර වැදුන ගමන් වෙරි මරගාතේ උන්න බන්දු අර දෙබුක්ක මැද්දේ ඇදන් වැටුනම...නිකුලස් සීයට බන්දුගේ තරහා මරහා ඔක්කෝම එක සැරේට හිතට එන්නැති. ආවේගයෙන් බන්දුගේ මූණ හරහා ගිය පිහිපාර නැවතිලා තිබුනේ...බන්දුගේ හුස්ම ටිකත් නවත්තලා...

මළගෙදර වැඩ කටයුතු හැමදෙයක්ම උනේ ගමේ මිනිස්සුන්ගේ වියදමින්. අපේ ලොකු මාමා මූලික වෙලා මරණයේ වැඩ කලා. අර මම කලින් කිව්වා වගේ බන්දු බී ගත්තම චන්ඩියෙක්..තිරිසනෙක් උනාට, නොබී ඉන්න වෙලාවට උපාසකයෙක් වගේ ඉන්න එක ගැන ගම්මු දන්න හන්දා නෑ බෑ නොකියා මරණේ වැඩ කරන්න උදව් උපකාර කලා කියලා තමා අපේ මාමා කිව්වේ..

මිනිස්සු කොච්චර අහිංසක උනත් හැමදාම හිරිහැර ඉවසන්නෙ නෑ. ඉවසන්න බෑ. එක දවසක්ද දෙකක්ද...බන්දු බීගෙන චන්ඩියෙක් වෙන්න ගිහින් නිකරුනේ මැරුම් කෑවා..

පලි.

මේ සිදුවීම වෙද්දී මට අවුරුදු 13ක් විතර ඇති. අපේ ලොකු මාමට දරුවෝ උන්නේ නෑ. හැම ඉස්කෝලේ නිවාඩුවකටම මාමා ඇවිත් මාව කුලියාපිටියේ ගෙදර අරන් ගියා. ඒ වගේ කාලෙක තමා මේ සිද්දිය උනේ. බන්දු බී ගත්තම ඔය විදියට හැසිරුනත්...අනෙක් වෙලාවට බොහෝම අහිංසක තාලෙට උන්නු මනුස්සයෙක්. ගෙදර ගහෙන් දිවුල් ඇහිදන් ඇවිත් මට ගෙනත් දෙනවා. ඒත් ඉතින් අර අරක්කු සමහර මිනිස්සුන්ව තිරිසන්නු කරනවනේ..බන්දුත් අරක්කුවලින් තිරිසනෙක් උනා. නිකුලස් සීයා හිරේ ගියා. හිරේ උන්නෙ මාස පහක් විතර කාලයක්ලු. හැම තිස්සේම කල්පන කර කර උන්න නිකුල්ස් සීයාට පපුවේ අමාරුවක් හැදිලා හිරේම මළා කියලා මට අපේ ලොකු මාමා කිව්වා.. ඒ විතරක්ද කුමාරි අක්කලාගෙ අම්මා එහෙමත් නැත්තම් බන්දුගේ නැන්දම්මා නිකුලස් සීයා මැරිලා ටික දවසකින්ම උන්දැත් මළා ලු..බන්දුගේ සිද්දියෙන් ඒ පවුලම විනාස උනා...

13 February 2013

චිත්‍රපටවල..ටෙලි නාට්‍යයවල වගේ ගීතවල දෙවෙනි කොටසක් තිබුනොත් කොහොමද ?



චිත්‍රපට.. කතා පෙළක්  එහෙමත් නැත්තම් series ටිකක් හැදෙන්න ගත්තම ඒ චිත්‍රපට බලන්න පේක්ෂකයෝ හුඟාක් උනන්දු වෙනවා. එක චිත්‍රපටයක් බැලුවට පස්සේ ඒකෙ දෙවෙනි කොටස එනකල් කල්මරනවා. මේ කොටසේ මොනවා වෙයිද ? දෙවෙනි එකෙන් ඉවර වෙයිද එහෙමත් නැත්තම් තුන්වෙනි එකකුත් ඒවිද කියන කුතුහලය හිත්වල ඇතිවෙනවා.
හුඟාක් වෙලාවට මේ series චිත්‍රපට බිහිවෙන්නෙ හොලිවූඩ් චිත්‍රපට හරහා.

Terminator, The Matrix, Mission Impossible, Speed, Lord of the Rings, Harry Potter, The Twilight Saga, The Dark Knight කියන්නෙ ඔය වගේ බොහෝම ජනප්‍රිය උන චිත්‍රපට කතා පෙලක්.

හොලිවූඩ් චිත්‍රපට කතා පෙලක් හැටියට බොහෝම ජනප්‍රිය වෙද්දී බොලිවූඩ් සිනමාව එහෙමත් නැත්තම් හින්දි සිනමාවෙත් චිත්‍රපට කතා පෙලක් හැදෙන්න ගත්තා.

Razz , Doom , Don  වගේ හින්දි චිත්‍රපට පෙලකුත් ආවා. ඇයි එතකොට අපේ සිනමාවේ ? දැන් නැතත් ඉස්සර නම් ඔය දිගට හරහට ඔය වගේ ඒවා තිබුනා.

සුමනක්කලා රඟපාන අවදියේ ඇගේ වෛරය 1, ඇගේ වෛරය 2 ,ගිණි ඇවිළුනු මධුසමය 1,2

එතකොට ටෙලි සිනමාවෙත් ඔය වගේ කතා මාලා ඕනෑ තරම් තියෙනවනේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි tv series.

ගීතයක ඒ වගේ වෙන්නෙම නැති තරම්නේ. ගීතයක් කිව්වම ඒක එක ගීතයක් මිසක් දෙකක් කොහෙන්ද.. ඒත් දැන් ගීත අහන ගමන් බලන්නත් පුළුවන් නිසා මේ බලන්නකෝ..

මතකද ගයන්තගෙ රවුන් කඩේ සින්දුව ?


පලවෙනි සින්දුව ඉවර වෙන්නෙ දෙන්න කරත්තෙන් පැනලා යන තැනින්. ඊට පස්සෙ ආපු රවුන් කඩේ


මේ රොමේෂ් සුගතපාලගේ  දිගු දෑස දුටුවාම 



අනේ ඉතින් දම්සාරි වාහනේකට හැපිලා අන්තීමට දෙන්නට වෙන්වෙන්න වෙනවනේ..මෙන්න ඒකෙ ඉතිරි කොටස

දිගු දෑස 2 සිනාසෙන්න බෑනේ


කොහොමද වැඩේ ?


(ඔය වගේ තවත් ගීත තියෙනවා නම් කියන්නකෝ