මාව කියවන අය අතර..

30 November 2012

ලඟ එන නත්තල එක්ක හිත අතීතෙට... මොහොතකට..


ඉර හැරිලා ගිහින් කරුවල වැටිලා...ලයිට් එක දෙක පත්තු වෙන පාර දිගේ මම ඇස් දියෙව්වා...නා නා ප්‍රකාර මිනිස්සු කඩි මුඩියේ එහෙට මෙහෙට යන දිහා මම ඔහේ බලාගෙන උන්නා. අවුරුද්ද ඉවර වෙන්න තව ඉතිරි වෙලා තියෙන්නෙ මාසයක කාලයක්... දැන් උදුවප් මාසය පටන් ගන්න යන්නෙ...මේ දවස්වලට පාන්දර යාමේ හීනියට සීතලක් දැනෙනවා...මේ දැනෙන්නේ උදුවප් සීතල...උදුවප් මාසය එහෙමත් නැත්තම් දෙසැම්බර් කිව්ව ගමන් මතක් වෙන්නෙ නත්තල...

දැන් තියෙන නත්තලට වඩා අපි පුංචි කාලේ සමරපු නත්තල හුඟාක් සුන්දරයි ...දෙසැම්බර් මාසය පටන් ගත්ත ගමන් පුංචි අපිට නත්තල ඇරෙන්න වෙන දෙයක් මතක් උනේම නෑ... අම්ම අතේ සල්ලි තිබුනත් නැතත්...නත්තලට අනිවාර්යෙන්ම අලුත් ඇඳුමක් ලැබෙනවා කියලා දන්න හන්දම..ඒ ඇඳුම අරන් දෙන්න එක්ක යන්නෙ කොයි වෙලාවෙද කියලා ඇඟිළි ගැන ගැන ඉන්නේ..

අම්මා මාවයි අයියවයි ලැහැස්ති කරගෙන මීගමුව නගරයට එනවා කෝච්චියේ......අලුත් ඇඳුම් අරන් දෙන්න.. හූ කියාගෙන දුවන කෝච්චිය හුළඟ කපාගෙන යද්දී ඒ හුළඟට මගේ කොණ්ඩය අවුල් වෙනවා...කරේ එල්ලගෙන ඉන්න බෑග් එකට අත දාලා පුංචි පනාවක් අරන් අම්ම මගෙ කොණ්ඩය ආයෙම පීරනවා...වේගයෙන් යන කොච්චිය හන්දා ඇස් ඉස්සරහින් පෙනී නොපෙනී යන වාහන, ගෙවල් දොරවල්..පාරවල් දිහා මම ඇස් නොගහා බලාගෙන ඉන්නවා...කෝච්චිය යන්නෙ තාලෙට...වංගුවක්..පාළමක්..ස්ටේෂමක් ලංවෙද්දී මහා හයියෙන් " හූ " කියනවා....

ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් ඊ ලඟට පාර දිගේ රෙදි සාප්පු වලට... සාප්පුවල දාලා තියෙන ඇඳුම් දිහා පුදුමාකාර ආසාවකින් බල බලා මාත් අම්ම එක්ක සාප්පුවක් සාප්පුවක් ගානෙ යනවා... දකින දකින ලස්සන ලස්සන ගවොම් පොඩි ඔක්කොම අර ගන්න පුළුවන් නම්...ලස්සන ඇඳුමක් දැක්ක ගමන් " අනේ අම්මෙ මට මේක හොඳයි " කියලා අර සාප්පුවටම ඇහෙන්න කෑ ගැහුවත් අම්ම නෙමේ කණකට ගන්නේ...ගවුමේ හැඩ වැඩ බලන තාලෙට එහෙට මෙහෙට පෙරල පෙරල අම්මා බලන්නෙ  ඒ ගවුමේ ගාන දිහා... ඊට පස්සේ ඒක පැත්තකින් තියලා වෙන එකක් බලනවා... ඔය වගේ සාප්පු දහයකට දොළහකට ගිහින් යන්තම් අම්මගේ අතේ තියෙන මුදලට හරි යන එකක් ලැබුනම ඒක අරන් දෙනවා... අයියටත් එහෙමයි...

ඊට පස්සෙ එක්කගෙන යන්නෙ සපත්තු අරන් දෙන්න...සපත්තු කඩවල අය සපත්තු අපේ අතට දෙන්නෙ වත් නෑ...අත් වල දූවිල ඇති කියලා බයේ වෙන්න ඇති. කකුලේ සයිස් එක කිව්වම සපත්තු ජෝඩුවක් අරන් ඇවිත් දණිස් වලින් අපි ඉස්සරහ නැමිලා ඒ සපත්තු අපේ කකුල් වලට දානවා...ඊට පස්සෙ චුට්ටක් විතර එහෙට මෙහෙට ඇවිදලා බලනවා කකුල් වලට හිරද කියලා.. ඇඳුම් වලට උන සෙතේම තමා සපත්තු වලටත්..ලස්සන නෙමේ අම්මට වැදගත් වෙන්නෙ ගාන...

ගින්දර අව්වේ එහෙට මෙහෙට ඇවිදලා මූණ රතු වෙලා දාඩිය දාලා..අම්ම කරේ තියෙන බෑග් එකෙන් ලේන්සු පොඩියක් අරගෙන මූණ පිහ දානවා... වතුර තිබහ දිව ගිලෙන්න තරම්..ඔක්කෝටම වඩා කඩචොරුවක් කන්න තියෙන උවමනාවට දැනෙන බඩ ගින්න...

" අම්මෙ...බඩගිණියි..."

" ගෙදරින් කාලා නේද ආවේ..." 

කියලා අම්මත් සද්දයක් දැම්මට..අපි දෙන්නව එක්කගෙන යන්නෙ " කොරනේෂන් හෝටලය " කියලා බෝඩ් ලෑල්ලක් ගහලා තියෙන හෝටලයට..


හෝටලය ඇතුලේ සෙනඟ පිරිලා... මැස්සො එහෙම වහලා නැති මේසයක් ලඟට අම්මා අපිව එක්ක ගිහින් වාඩි කරනවා.. එතකොට වේටර් කෙනෙක් ඇවිත් රෙදි කෑල්ලකින් අර මේසේ හැලිලා තියෙන වතුර එහෙම පිහදානවා...

" මොනවද කන්නේ ?.."

වේටර් අහන්නෙ හරි කලබලයෙන්...

" මොනා හරි ගේන්න.." 

අම්ම කිව්වම වේටර් රූන් ගාලා ගිහින් තඩි පිඟානක් අරන් එනවා..ඒ පිඟාන පුරෝලා රෝල්ස්..කට්ලට්, පැටිස් , මාළු පාන් , බිත්තර පාන්..වඩේ එහෙම තිබුනත්...අම්ම අරන් දෙන්නෙ සීනි බනිස්..නැත්තම් ක්‍රීම් බනිස්...

අම්මා අතට දෙන දේ සද්ද නැතුව කන පුරුද්දක් ඉස්සර ඉඳන්ම මට තිබුන හන්දා නහයෙන් අඬන්නෙ නැතුව අර බනිස් ගෙඩිය කන්න ගන්නවා..ඊට පස්සේ ෆැන්ටා බෝතලයක් අරගෙන වේටර් ගෙනත් තියෙන වීදුරු තුනටම වක් කරලා එකක් මගේ අතටත්...අනික අයියගේ අතටත් දෙනවා..උගුරට දෙකට අපේ වීදුරු හිස් කලාට පස්සෙ අම්මා අම්මගේ වීදුරුවේ තියෙන ෆැන්ටා ටිකත් අපි දෙන්නට බෙදලා දෙනවා...

ඊට පස්සේ පාර දිගට තියෙන ලෑලි කඩ වලින් නත්තලට පත්තු කරන්න නිලා කූරු  අරන් දෙනවා...අයිය ගන්නෙ අහස් කූරුයි.. බබර චක්‍රයි.. අහස් කූරු යවන්න දන්නෙ නැති හන්දා මට ලැබෙන්නෙ නිලා කූරු විතරයි. ආයේ නත්තල් ගගේ එල්ලන්න බැලුන් අරන් දෙනවා.... අතින් කටින් උස්සගෙන ආයෙම කෝච්චියේ ගෙදර එනවා...අර ගත්ත ගවොම් දාගෙන...සපත්තු දාගෙන නත්තල් දා රෑ දොළහේ පූජාවට යනකම් ඉවසිල්ලක් නෑ ...

අයියා දවල් කුරුඳු ( ලිව්වා හරිද මන්දා...අර ආස්මි හදන්න නානු ගන්න කොළ තියෙන ගහ ) ගහකින් රවුම හැඩයට ආපු හොඳ අත්තක් කපලා අරගෙන කොළ ටික කඩලා දාලා වේලනවා...ඊට පස්සේ සිමෙන්ති මල් පොච්චියක් අරගෙන ඒකට වැලි පුරවලා..ඒකෙ හරි මැද්දෙන් අර ගහ හිටවනවා...කඩෙන් පාට පාට සව් කොළ අරගෙන ඇවිත්..පිටියි වතුරයි කලවම් කරලා පාප්ප හදාගෙන අර සව් කොළ හැඩේට කපලා ගහේ අත්තෙන් අත්තට හැඩේට අලවනවා... ඔය වැඩ වලට මට ලං වෙන්නවත් දෙන්නෙ නෑ...

ඔය විදියට ඒ ගහ හදලා ඉවර කරන්න සති දෙකක් විතර යනවා... ඒ තමා නත්තල් ගහ...ඊට පස්සේ අයියා කාඩ් බෝඩ් වලින් වල්ගා තරුවකුත් තව පොඩි තරුත් කපනවා.. ඒවට ගම් ගාලා වල්ගා තරුවට ගෝල්ඩ් ඩස්ට් එකත්..අනිත් පුංචි තරු වලට සිල්වර් ඩස්ට් එකත් දලා වේලනවා... හදා ගත්ත තරු මුදුනින් හිලක් හදලා ඒකේ නූලක් දාලා නත්තල් ගහේ එල්ලනවා...මුදුනෙම වලිග තරුව... ඊට පස්සේ තව සැරසිලි එල්ලලා හැඩ කරනවා... බැලුම් පුම්බලා එල්ලන්නේ නත්තල් දවසට කලින් දවසේ රෑ... ඒ වැඩේ නම් අයියා බාර දෙන්නෙ මට...

බැලුම අතට අරන් දෙපැත්තෙන් පොඩ්ඩක් ඇදලා ඒක පුම්බන්න ගන්නවා... පිපිරෙයි කියලා පණ බයයි... " මදි මදි....තව පුම්බන්න..." අයියා කෑ ගද්දී කටේ තියෙන හුස්ම ටික ඔක්කෝම මම අර බැලුම ඇතුලට රිංගවනවා... පුම්බාපු බැලුන් වල කට හුළං යන්නෙ නැතුව ගැටයක් දාලා...ඒකට නූලකුත් ගැට ගහලා ...ඊට පස්සේ අත්තෙන් අත්තට අතු අගිස්සේ එල්ලනවා... අම්මෝ...ඒ නත්තල් ගහේ ලස්සන... අයියා ඒක උස්සාගෙන ගිහින් පාරට පෙන්නත් එක්ක ඉස්තෝප්පුවේ මුල්ලකින් තියනවා....

අපේ ගමේ උන්නා සර්පිනාවකුයි.. ඩෝල්කියකුයි තිබුන මාම කෙනෙක්. එයාට හැමෝම කියන්නෙ " ජෝකීනු මාමා " කියලා. අපිත් කිව්වේ එහෙමයි..එයා ගෙවල් ගානෙ ඇවිත් අම්මලාගෙන් අවසර අරගෙන පොඩි උන්ව එකතු කරගෙන කැරොල් යන්න පුරුදු කරනවා... අපිට සාරි ඔතලා විච්චූරන ඇඳුනුත් හදනවා... ඇයි නත්තල් පප්පෙක්..එයා නැතුව කැරොල් ගිහින් වැඩකුත් නෑනේ... ඔය විදියට කැරොල් ගායනා කරන්න පුරුදු වෙන්නෙ මාසයකට කලින් ඉඳන්...

නත්තලට කලින් දවසේ හැම ගෙදරම කේක් හදනවා...අපේ අම්මත් හදනවා.. බිත්තරයි සීනියි මාගරිනුයි දාලා අත කැඩෙනකම් පොල් කටු හැන්දකින් දිය කරනවා... අම්මා දිහා බලාගෙන ඉද්දී මට දුකයි. පුළුවන් කියලා අම්මගෙන් ඒ වැඩේ ඉල්ල ගත්තට...කොහෙද...හැන්ද දෙපාරක් ගහද්දී මගේ අත රිදෙන්න ගන්නවා... ඔහොම හදා ගන්න කේක් මිශ්‍රණය අරගෙන යන්නෙ අවන් එකක් තියෙන කාගෙ හරි ගෙදරකට..අපේ ගෙදර අවන් තිබුනේ නෑනේ... එයා ඔය කේක් එක අපූරුවට බේක් කරලා තිබ්බම අම්මා හවසට ගිහින් ඒක අරන් එනවා...අම්මෝ...එතකොට මුළු ගේම කේක් සුවඳයි... ඒකෙ රහ බලනකම් අපිට කොයින්ද ඉවසිල්ලක්... අම්මා කරන්නේ හිනියට කෑල්ලක් කපලා රහ බලන්න දෙනවා...හ්ම්ම්ම්ම්... රස නියමයි..

නත්තල් දවසේ රෑ දොළහට පූජාවට යන්න අර ගත්ත අලුත් ඇඳුම් ඇඳලා සපත්තු දාලා හැඩ වැඩ වෙනවා.. කොහේ හරි මුල්ලක හංගලා තියෙන රත්තරන් චේන් පටක් අරගෙන අම්මා ඒක මගේ කරේ දානවා... මම කරන්නෙ කණ්නාඩිය ලඟට ගිහින් ඒකේ හැඩ බලන එක..රෑ නිසා රත්තරන් පාටට චේන් එක කරේ දිළිසෙද්දී..ඊටත් වඩා ආශාවෙන් මගෙ ඇස් දෙක දිළිසෙනවා... 

පාර දිගේ පල්ලියට යන කට්ටියට අපිත් ගිහින් එකතු වෙලා පයින්ම පල්ලියට යනවා...මහ රෑ ටොකොස් ටොකොස් ගාන සපත්තු සද්දෙට කන් දීගෙන යන්න හරිම ආසයි ආඩම්බරයි......අලුත් ඇඳුම් වලින් දිළිහෙන මූණු දිහා බලන්න ලස්සනයි... හීනියට ඇවිත් ඇඟට වැදිලා ලේ ගල් කරන්න දඟලන සීතල හුලඟවත් ගනන් ගන්නෙ නැතුව අපි මහ රෑ පල්ලි යන්නෙ අලුත් ඇඳුමට තියෙන ආශාව හින්දමයි...පූජාව ඉවර වෙන්න පැයක් දෙකක් විතර යනවා.. සතුට වැඩි කමට වෙන්න ඇති..නිදිමතක් දැනෙන්නෙම නෑ...

පල්ලියේ ඉඳන් ගෙදර එද්දී ගම පුරාම ඇහෙන්නේ එකම රතිඤ්ඤා සද්දයක්...පාට පාට නිවි නිවී දිලිසෙන බල්බ් වැල් වලින් එළිය උන නත්තල් ගස් ගවලෙන් දිලා බල බලා ගෙදර එන්නේ කොයි වෙලේද නිලා කූරු පත්තු කරන්නෙ කියලා හිත හිතා... අම්මා කපලා දෙන ලොකූ කේක් කෑල්ලක් කටේ ඔබාගෙන එක අතකින් නිලා කූරු පැකට් එකත් ..අනිත් අතින් පත්තු කරපු ඉටි පන්දමකුත් අරගෙන ගේ මැද්දෙන් ඉස්තෝප්පුවට ඇවිත්..පාර කිට්ටුව වෙන්න තියෙන කෝපි ගහ යට තියෙන ගලක් උඩ ඉටි පන්දම රඳවලා ඊට පස්සේ නිලා කූරු පෙට්ටියෙන් හීන් සීරුවේ අතට ගන්න නිලා කූරක් අර ඉටි පන්දමට අල්ලලා පතු කරලා රවුමට කරකවනවා..එතකොට ඒකෙන් එළියට විසි වෙන පුංචි ගිණි මල් දැකල පපුව මැද්දෙ අමුතුම සතුටක් දැනෙනෙවාඒ සතුට රුපියල් කෝටියක් දීලා වත් ගන්න බැරි සතුටක්...

ඒ අස්සෙන් අයියා කරන්නෙ රෙදි වැලේ පටලවා තිබ්බ අහස් කූරු යටින් තියෙන තිරයට ගින්දර තියෙන එක. තිරය පිච්චීගෙන ගිහින් අහස් කූර සද්දෙකුත් දාගෙන උඩ යන්නෙ අපිව පොළොවේ තනි කරලා..එහෙම ගිහින් මහා සද්දෙන් පත්තු වෙලා ගිණි මල් උඩ ඉඳන් පහලට රූටනකොට...මම කරන්නෙ උඩ පැන පැන අත්පුඩි තලන එක.... ඊට පස්සෙ ඉස්තෝප්පුවේ තියෙන එළිය  අඩු කරලා අයියා බබර චක්‍ර පත්තු කරනවා... කැරකි කැරකි එළිය දෙන බබර චක්‍ර දිහා බලාගෙන අපිත් කැරකෙනවා... අනේ ඒ වගේ සතුටක්...

ජෝකීනු මාමා ළමයින් එක්කගෙන යන්න එන්නෙ ඔය වෙලාවට.. මමත් නිදි මතක් ගෑවිලා වත් නැති ගානට දුවලා ගිහින් අනිත් ළමයි එක්ක එකතු වෙනවා... ගමේ එක කෙලවරක ගෙදරකට ගිහින් ඒ ගෙදර අයට කතා කරලා ජෝකීනු මාමා සර්පිනාව ගහනවා තාලෙට...පුංචි අපිත් පටන් ගන්නවා කැරොල් ගීත ගායනා කරන්න...

රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා
පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී
කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා
හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී

සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත
ගව්වක් දුර යන්නත්  ඇත දරුවකු සොයලා
සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත
යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා….

හරිම ආශාවෙන් කැරොල් ගීත ගයන කොට නත්තල් සීයාට ඇඳගෙන ඉන්න පිරිමි ළමයෙක් බැලුම් බෝල ගැට ගහපු ලී දණ්ඩක් අරගෙන එහෙට මෙහෙට වන වනා තාලය අල්ලනවා...ගෙවල් වල අය සතුටින් තෑගි බෝග පවා දෙනවා

රෑ තරු බබලනවා
මල් පිපිලා වාගේ...
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වගේ...

රැව් පිලි රැව් දෙනවා
ගීත නාද වාගේ..
බිළිඳෙකු හිනහෙනවා
මුහුදක රැළි වාගේ..

ටිකින් ටික පාන්දර වෙද්දී සීතලත් වැඩී...නිදිමත බේරෙන ඇස් වලින් වට පිට බල බල අපි ඔහේ ඇවිදිනවා..ඒ වෙලාවට නිදිමතේ තාල වරද්ද වරද්ද කැරොල් ගීත ගායන කලාට කාගෙන්වත් දොසකුත් නෑ..පොඩි උන් නෙ...

පහුවදාට ගෙදර හරිම ජයයි... උදේම ඇහැරිලා වෙනදට වඩා අලුත් හොඳ ඇඳුමක් ඇඳගෙන අම්මට බුලත් දීලා වදිනවා..ඒ වෙලාවට අම්මා අපේ අතේ කීයක් හරි ගුලි කරනවා... එදාට කෑම මේසේ මඟුල් ගෙදරක වගේ..නැති බැරි කම් මොන තරම් තිබුනත් අවුරුද්දකට එක පාරක් එන නත්තලට පොඩි උන්ට කටට රහට උයලා පිහලා දෙන්න අම්මා හරියට මහන්සි වෙනවා... කෑම ජාති ගොඩාරියක් එක්ක ලැබෙන ඒ කෑම වෙලේ රස...මට මේ දැනුත් දැනෙනවා වගේ...

අහල පහල ගෙදරකට එකතු වෙලා කැට ගහන්නත් අමතක කරන්නෙ නෑ...අයියලා ටිකක් ලොකු නිසා එයාලා තමා එතන ලොක්කො...අපි කරන්නෙ බලාගෙන ඉන්න එක. ඈතට විසි උන කැටය අහුලගෙන එන්න වටේ බලාගෙන ඉන්න ළමයින් පොරකනවා...

දකින දකින හැම නෑදෑයෙකුටම "සුබ නත්තලක් වේවා " කියලා වැන්දම...කීයක් හරි අත මිට මොලවන්න ඒ අය මැලි වෙන්නෙත් නෑ.. එහෙම එකතු වෙන සල්ලි ටික පරණ චූටි කැටයකට දලා එකතු කරනවා...හරිම ආශාවෙන්..

ඒ සතුට...ඒ මතකය..මොන තරම් සුන්දරද....ඒ වගේ කාලයක් ආයෙ එන්නෙ නෑ..කාලයේ තාලයට නත්තලත් වෙනස් වෙලා..අපිත් වෙනස් වෙලා..නත්තලේ නිවාඩුවට දැන් ගෙදර දුවන්නෙ ලිපට කඩදාසි කොල ඔබලා ඇවිත් වගේ...මේ යනවා..මේ එනවා...අර වින්ඳ සතුට... අද අහලකටවත් ගන්න බෑ...

27 November 2012

Halloween- ( hal-low-een ) හෙවත් ශුද්ධවූ සැඳෑව


අහලා තියෙනවා නේද Halloween දවස ගැන. අර එක එක විලම්බීත ඇඳුම් ඇඳගෙන සතුටු වෙන දවස ..යුරෝපයේ සහ ඇමෙරිකාවේ ජනතාව Halloween  සමරන්නෙ ඔක්තෝබර් මාසයේ 31 දා.


පොඩි අය, තරුණ අය වගේම වැඩිහිටි අයත් විවිධ විලම්බීත විලාසිතාවන්ගෙන් හැඩවෙලා විනෝද වෙන හැන්දෑව තමා Halloween  කියලා ඔවුන් සමරන්නේ... වසන්ත සමය ගෙවිලා යද්දී සමරන මේ උත්සවය මීට වසර දහස් ගණනකට ඉස්සර රෝමයෙන් පටන් ගැනුන දෙයක්..

 මේ උත්සවය දැනට පොඩි ළමයින්ගේත් වැඩිහිටියන්ගේත් විනෝදජනක උත්සවයක් විදියට සැමරුවත්...අතීතයේදී රෝමවරුන් මේ උත්සවය හඳුන්වලා තියෙන්නෙ ඔවුන්ගේ මිය ගිය ඥාතීන් නැවත නිවසට පැමිණෙන දවස කියලයි. මේ දවසේදී රෝම වරුන් තමන්ගේ මිය ගිය ඥාතින්ගේ අවතාර වෙනුවෙන් ඔවුන් ජීවත්වෙලා සිටියදී  ප්‍රියකරපු කෑම බීම හදලා විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්තුවාලු...

කාලයක් යද්දී එංගලන්තයත් මේ උත්සවය අනුකරනය කරලා ඒක ක්‍රිස්තියානි ධර්මයේ සාන්තුවරයින්ගේ දවස විදියට සකස් කරලා සමරන්න පටන් ගත්තාලු.

Halloween –( hal-low-een ) වචනයේ අර්ථය විදියට ඔවුන් හඳුන්වන්නේ " ශුද්ධවූ සැඳෑව " ලෙසටලු..



එංගලන්ත වැසියන් මේ දවසේ සැන්දෑව ප්‍රීතියෙන් නටන වයන උත්සවක් වගේම සියළු සාන්තුවරයින් හට ආහාර පුද දෙන දවසක් විදියට සමරද්දී මුළු යුරෝපා රටවල් පුරාම වගේම ඇමෙරිකාව, කැනඩාව වගේ රටවලත් පැතිර ගියාලු...

ඒ වගේම මේ Halloween උත්සවය සමරණ හැම රටකම Halloween සැන්දෑවේදී කරන පරණ චාරීත්‍රයක් තියෙනවා. වට්ටක්කා ගෙඩියක් අරගෙන ඒකේ ඇතුලේ මදය ඉවත් කරලා මිනිස් මුහුණක් විදියට හැඩය එන්න කපලා ඉටි පන්දම දල්වන්න පහනක් හදන එක. ඒකට කියන්නෙ " ජැක් ඕ ලන්තෑරුම " කියලා.. Halloween jack o lantern


Halloween දවස වෙනුවෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් සුබ පැතුම් පත් හුවමාරුවත් සිදු වෙනවා. මේ හැන්දෑවේ විලම්බීත ඇඳුම් ඇඳගෙන ...වෙස් මුහුණු පැළදගෙන..එහෙමත් නැත්තම් මුහුණ සායම් කරගෙන....විනෝද වීම තමා ඔවුන් කරන්නේ… විශේෂයෙන්ම අවතාර හා හූතයින් සිහි කරන දවසේදී භූතයින් මෙන් අඳින්න පලදින්නත් මේ අය අමතක කරන්නෙ නෑ.


(ඔන්න ඇමෙරිකාවේ Halloween නිවාඩුව අපිටත් ලැබෙනවා...හි හී එයාල සමරලා ඉවර උනත් අපේ නිවාඩුව එන සිකුරාද ලැබෙනවා.. නිවාඩුව දන්නපු ගමන් Halloween ගැනත් හොයන්න ගත්තා :P)

21 November 2012

තිරිසනුන්ගේ හෝරාවේදී... ඇගේ ඉරණම....



මට තාම මතකයි මම ඉස්සරවෙලාම ඉරේෂාව දැක්ක දවස..ඒ ගමේ ඉස්කෝලේ එක වසරේ අලුත් පංතියට ළමයින් බාර දුන්න දවසෙදී. පංතිය මැද්දෙ තිබුන අලුතින් තීන්ත ගාපු පුටුවල ළමයින් වාඩි කරවපු අම්මලා තාත්තලා පංතියෙන් එළියට යද්දී සමහර ළමයින් කෑ ගගහා අඬනවා. තවත් සමහර අය ඇස් ලොකු කරගෙන ඒ දිහා බලාගෙන ඉදලා... අඬන්න ගන්නවා. ඉරේෂා උන්නේ මට එහා පැත්තේ. පංති භාර ගුරුතුමිය ඇවිත් ළමයින්ම සනසන්න හුඟාක් දේවල් කියනවා උනත්... ගුරුතුමියගේ කටහඬ යටපත් කරගෙන අඬන සද්දය මතුවෙනවා…..

පුංචි කලෙදි  ඉඳන්ම අම්මගේ උණුහුම අස්සෙම හැදෙන්න වැඩෙන්න මට බැරි උන හින්දම වෙන්නැති...මට නම් අඬන්න තරම් දුකක් ඇතිවෙලා තිබ්බෙ නෑ. මම මට කිට්ටුවෙන්ම උන්න ඉරේෂා ලඟට ගිහින් එයාගෙ අතකින් අල්ලා ගත්තා. ඉරේෂාගේ ඇස් වලින් රූටලා ගිය කඳුළු වලින් කම්මුල් වල තවරලා තිබුන පුයර තට්ටුවල රටා ඇඳිලා... නාසයෙන් බේරෙන හොටු එක අතකින් පිහිදාගෙන ... ඉරේෂා මා දිහා බලලා ඇඬිල්ල නැවැත්තුවා....

එදා ඉඳන් ඉරේෂා පංතියේදී උන්නේ මා ලඟ..අපේ ගෙවල් වලට හුඟාක් කිට්ටුවෙන් තමා ඉරේෂාගේ ගෙවල් තිබුනේ. ඉස්කෝලේ ඇරුනම ඉරේෂාගේ අම්මා එනවා එක්ක යන්න..මාත් එන්නෙ එයාලා එක්කමයි.. ඉරේෂා බුද්ධි මට්ටම අඩු දරුවෙක්. පංතියේ උගන්වන කිසිම දෙයක් එකවර අල්ලා ගැනීමේ හැකියාවක් ඉරේෂාට තිබුනේ නෑ. එකම දේ දහපාරක් විතර කියලා දුන්නම යන්තමට අවබෝධ කරගත්තත්...අනිත් ළමයින් එක්ක කිට්ටු වෙන්න වත් ඉරේෂාට පුළුවන් උනේ නෑ... යමක් කියලා දීලා ඉරේෂාවත් ඇදගෙන යන්න මට ඕනෑ කම තිබුනත්...ඉරේෂාට එහෙම කරන්න බැරි උනා..

දෙක වසර පංතියේදී ඉරේෂාට දෙක වසරෙම තව අවුරුද්දක් ඉන්න උනා..එතැනින් මම ඉරේෂාගෙන් ඈත් උනා. පංතියෙන් පංතිය අපි ඉස්සරහට යද්දී ඉරේෂා හුඟක් වෙලාවට එකම පංතියේ අවුරුදු කීපයක් උන්නාශිෂ්‍යයත්ව විභාගය පාස් වෙලා මම ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා බාලිකාවට ඇතුල් උනාට පස්සෙ ඉරේෂාව දකින එකත් නැති උනා...අලුත් පාසලේ අලුත් යෙහෙළියන් මැද්දෙදී මට ඉරේෂාව අමතක වෙලා ගියා...

කාලය ගෙවෙන තාලය එක්ක අපි ලොකු මහත් වෙලා උන්නා. ඉරේෂා ගෙවල් කිට්ටුව උන්නත්...කුඩා කාලයෙන් පස්සෙ අපි අතරේ ආශ්‍රයක්..මිතු දමක් ඇති උනේ නෑ... ඉරේෂා දෙමාපියන් එක්ක යන එන අතර තුරදී දැක්කම සිදුවෙන පුංචි පුංචි කතා බහකට විතරක් සීමා උනා. කොළඹ නැවතිලා රැකියාව කරන්න ගත්තම...ගමත් එක්ක තියෙනෙ සම්බන්ධය තව තවත් අඩුවෙලාම ගියා..

************************************************************************

ගමේ ගෙදර ගේට්ටුවට යාබදව තියෙන දෙළුම් ගහ එතැන හිටෙව්වේ මම..ඒ අවුරුදු කීපයකට කලින්. දැන් ඒ ගහ ලොකුයි විතරක් නෙමේ වාරේ අවාරේ දෙකේදීම ගෙඩිවලින් අතු බර වෙනවා... පහුගිය දවස්වල ඇද වැටුන වැස්සට ගහේ තිබ්බ දෙළුම් මල් ටික ඔක්කොම නටුවෙන් ගැලවිලා බිමට වැටිලා..මම ඒ දිහා බලාගෙන උන්නේ හුඟාක් දුකින්... ගේට්ටුව ලඟ නතර කරපු බයිසිකලයේ ශබ්දය ඇහිලා මම ඒ දිහා බැලුවා...එතැන උන්නේ ඉරේෂාගේ තාත්තා...

" දුවව දැක්කෙ කාලෙකට පස්සේ..."

ඉරේෂාගෙ තාත්තව දැක්කෙත් කාලෙකට පස්සෙ...

" රස්සාව හන්දා ගෙදර වැඩිය එන්න වෙන්නෙ නෑනෙ මාමේ...ඉතිං කොහොමද ?..."

මම ලෙංගතු කතාවකට මුල පිරුවා...

" ඔහේ ඉන්නවා දුවේ...අපිට උන කරදරය දන්නවා ඇතිනේ..."

" කරදරය ?..ඒ මොකද්ද මාමේ ?..."

" ඇයි දුවේ අම්මා කිව්වේ නැද්ද ?..."

" අනේ නෑ මාමේ..මට අම්මා එහෙම දෙයක් ගැන කිව්වේ නෑ..අමතක වෙන්න ඇති.. මොකද්ද  මාමේ උනේ....හැමෝම හොඳින් නේද ?..."

මම එහෙම කිව්වම ඉරේෂාගෙ තාත්තා පාරේ ඈත කෙළවරටම ඇස් දෙක දිවෙව්වා..

" පාරේ කතා කරන්න බෑනෙ මාමේ...එන්න ගෙට...තේ එකක් බොන ගමන් කතා කරමු..."

ඉරේෂගේ තාත්තගේ හදවතේ හැඟීම් තේරුම් ගන්න මට අමාරු උනේ නෑ... මොකද්දෝ දුකක් හිත පුරෝගන ඉන්න වග මට තේරුනා..

මගේ ආරාධනාව සතුටින් බාර අරගෙන ඉරේෂාගේ තාත්තා ගේට්ටුව ලඟ තියෙන රෙඩ් ෆාම් ගහකට බයිසිකලය හේත්තු කරලා ගේ පැත්තට ඇවිදගෙන ආවා...ඔහුට වාඩි වෙන්න සලස්සලා මම කලේ ඉක්මනින් තේ කෝප්පයක් පිළියෙල කරන එක... ඒ අතර තුර අපේ අම්මා ඉරේෂාගේ තාත්තා එක්ක කතාවට වැටිලා උන්නා..

හදාගෙන ආව තේ කෝප්පය දෝතින්ම පිළිගන්නවලා...ඒ ලඟම තිබුන පුටුවෙන් මමත් වාඩි උනා...

" අපිට උන කරදරය අහස පොළොව උහුලන්නෙ නෑ දුවේ...ඒත් ඉතින් දැන් මොනවා කරන්නද...? "

ඉරේෂාගෙ තාත්තා කතාව පටන් ගත්තේ ඒ විදියට

අඩු පාඩු කම් මැද්දේ අමාරුවෙන් ජීවත් උන පවුලක් උනත් දරුවන්ට බොහෝම ආදරය කරන දෙමාපියන් තමා ඉරේෂාට උන්නේ... වැඩිමහල් පිරිමි දරුවන් දෙන්නට පස්සේ ඉපදුන ඉරේෂා බුද්ධියෙන් අඩු දරුවෙක් නෙ... ඒ නිසාම නිසාම ඉගෙනීමත් අතරමඟ නැවතිලා...ඉරේෂාගේ වැඩිමල් සහෝදරයා මැද පෙරදිග රැකියාවක් කරලා ඇවිත් විවාහ වෙලා පදිංචි වෙලා ඉන්නෙත් ඉරේෂලාගෙ ගෙදරට කිට්ටුවමයි...තමන්ගේ සහෝදරයාගෙ ගෙදර තියෙන ලොකු රූපවාහිණී යන්ත්‍රයක් තමන්ගේ ගෙදර නැති එක ගැන ඉරේෂා ඉඳලා තියෙන්නෙ හුඟාක් කණගාටුවෙන්...

" ඔයත් රස්සාවක් කලා නම් ගන්න තිබුනා..."

ඉරේෂාගෙ අම්මා එහෙම කියලා තියෙන්නෙ විහිළුවට උනත්...ඉරේෂා...ඒ කතාව ගැන හුඟාක් හිතලා... එදා ඉඳන් ඉරේෂා දෙමාපියන්ට කරදර කරන්න අරන් තියෙන්නෙ තමන්ටත් රස්සවක් කරන්න ඕනෙ කියලා.ඒ වෙද්දී ඉරේෂාගෙ වයස අවුරුදු 22ක්...

ගෙදර ඉඳන් කිලෝ මීටර් තුනක විතර දුරින් තියෙන ඇඟුළුම් ආයතනයකට ඉරේෂාගෙ තාත්තා ගිහින් තියෙන්නෙ ඉරේෂාගෙ කරදරය හන්දාමයි ... අදාල ඇඟුළුම් ආයතනයේ අධ්‍යක්ෂවරයා මුණ ගැහිලා ඉරේෂාගෙ සැබෑ තත්වය ඔහුට පැහැදිලි කරලා  ආයතනයේ කුමන හෝ රැකියාවක් ඉරේෂාට ලබා දෙන්නැයි ඉල්ලලා තියෙන්නෙ ඉරේෂාගෙ සියුමැළි බලාපොරොත්තු තාත්තා කෙනෙක් විදියට ඉරේෂාගෙ තාත්තටත් දැනුන නිසාම වෙන්න ඇති. කරුණාවන්ත අධ්‍යක්ෂවරයා ඉරේෂාට රැකියාවක් ලබා දෙන්නට පොරොන්දු වෙලා..එතැන් පටන් ඉරේෂාට ඒ ආයතනයේ ඇසුරුම් අංශයේ ස්ථීර සේවිකාවක් විදියට රැකියාවක් ලැබිලා.. ඉරේෂාගෙ සියුමැලි හිතට මොන තරම් සතුටක් දැනෙන්න ඇතිද....

උදේම ඉරේෂාව බයිසිකලයේ නග්ගවාගෙන ඇඟුළුම් ආයතනය දක්වා ගෙනත් ඇරලීමත්...හවසට ආයෙමත් කැඳවාගෙන යෑමත් කරලා තියෙන්නේ ඉරේෂාගේ තාත්තා විසින්මයි. ඇඟුළුම් ආයතනයේ යෙහෙළියන් ඇසුර නිසාම ඉරේෂා යම්තාක් දුරට සමාජ ගත වෙන්නට පටන් අරන් තියෙන්නෙ ඒ අතරතුරේදීයි... තමා විසින් සොයා ගන්නා මුදල් අරපිරිමැස්මෙන් ඉතිරි කරගෙන ඉරේෂාගේ සියුමැලි හීනවල තිබුන මුදු කීපයක්...කුඩා රන් මාලයක්..බ්‍රේස්ලට් එකක්, ජංගම දුරකථනයක්වගේ දේවල් අරගෙන තියෙන්නෙ හරිම ආශාවෙන්... කරේ දිලිහෙන කුඩා රන් මාලය නිතර දෙවේලේ කණ්නාඩියෙන් බලන්නත් ඈ පුරුදු වෙලා..තමන්ගේ රස්සාවෙන් හොයා ගත් මුදලින් ගත්ත ඒ දේවල් ඉරේෂාට මොන තරමක් වටින්නට ඇතිද...

තමාටම කියලා බයිසිකලයක් ගන්නත් ඉරේෂා සමත් වෙලා. තාත්තත් එක්ක පාරේ යද්දී හීන් සීරුවේ පාරේ වම් පැත්තෙන් යන්න ඉරේෂාගෙ තාත්තා කියලා දිලා තිබුන හන්දම තමාටම කියලා බයිසිකලය ගත්තට පස්සේ ඉරේෂා රැකියා ස්ථානයට යන්නෙ තනිවම.. හවස් වරුවේ ඉරේෂාගේ තාත්තා සුපුරුදු විදියට එනවා... ඒත් උදේට තනියම බයිසිකලයේ යන එක වැරැද්දක් වෙලා තිබුනා...කවුරුවත්ම දන්නෙ නැතුව..

මේ සිදුවීම සිදු උනේ හරියටම මාස හතරකට කලින් ඉරිදා දවසක...එදා ඉරේෂාටත් නිවාඩු. දහවල් ආහාරයෙන් පස්සෙ ඉරේෂාගෙ අම්මයි..තාත්තයි ඩිංගක් නිදාගෙන ඉන්නා අතරේ ඉරේෂාට දුරකථන ඇමතුමක් ලැබිලා.ඈ දන්නා කියන අයෙකුගෙන්. ගෙදර කාටවත්ම නොකිය එම පුද්ගලයා සඳහන් කරපු ස්ථානයට ඉරේෂා ගිහින්... එතැනට ඉරේෂලාගෙ ගෙදර ඉඳන් කි.මීටර් එක හමාරක් විතර ඇති. ඒක විශාල පොල් වත්තක්... පාර දෙපැත්තෙම අක්කර ගනනාවක් පුරා තියෙන පොල් වත්ත හින්දම අහල පහල ගෙයක් දොරක්වත් නෑ සියල්ල සිදුවී ඇත්තේ එතැනදීයි

" ඉරේෂාව එක පිරිමි ළමයෙක් රවට්ටාගෙන ඉඳලා දුවේ...අපි දැනගෙන හිටියෙත් නෑ... කවදාවත් එහෙම දෙයක් වෙයි කියලා හිතුවෙත් නෑ... පොඩි ළමයෙක් වගේ හැසිරෙන විදියට පිරිමි ළමයෙක්ගෙ හිතක් අපේ ඉරේෂාට යයිද...ඒත් ඒ කොල්ලා ඉරේෂාව රටට්ටගෙන... සැරෙන් සැරේට සල්ලි එහෙම ඉල්ලාගෙන තියෙනවලු..අනේ පුතේ අපි දැනගෙන උන්නෙ නෑනේ....ආයෙම සැරයක් මොබයිල් එකක් අරන් දෙන්න කියලා. ඉරේෂා කියලා තියෙනවා සල්ලි නෑ කියලා. කොල්ලා බල කර කර ඉල්ලලා...ලැබිලා නැති තැන මෙහෙම කරන්න හිතන්න ඇති...."

නොවැඩුන මනසක් තිබුනත්, තරුණ කාලයේදී හිතේ ඇතිවෙන ආදර සිතිවිලි ඉරේෂාගෙ හිතෙත් පහල වෙන්න ඇති... නොවැඩුන ඒ මනස පුරාම ආදර සිතිවිලි ගලා ගන්නට ඇති..ඒ නිසාම ඉරේෂා අර පුද්ගලයාගේ කතා බහට රැවටෙන්නත් ඇති...

ඉරේෂාව මුණ ගැහෙන්නට ඉරේෂාගෙ පෙම්වතා යැයි කියා ගත්තු අර පිරිමි ළමයා ඇවිත් තියෙන්නෙ තනියම නෙමේ. තව පිරිමි දෙන්නෙක් එක්ක ත්‍රී වීල් එකකින්.  අර පාලු පොල් වත්තට ඉරේෂාව එක්ක ගිහින් බලහත්කාරයෙන්ම කරේ තිබ්බ මාල පොටත්...බ්‍රේස්ලට් එකත්...ජංගම දුරකථනයත් උඳුරාගෙන...ඉරේෂාගෙ නොවැඩුන මනස ගැන දන්නා හින්දම..ඒ අධමයා හිතන්න ඇති සන්තකය උඳුරාගෙන ගිහින් පාඩුවේ ඉන්න..

සියළු සන්තකය අරගෙන ගියානම්...නෑ ඒ අධම තිරිසනා එයින් නැවතී නෑ. ඉරේෂාගෙ බයිසිකලයත් උදුරාගෙන ඒ අධමයා එතැනින් ගිහින් තියෙන්නෙ ත්‍රී වීල් එකෙන් ඇවිත් උන්න තමාගේ යහළුවන්ට ඉරේෂාගේ ශරීරයත් බාර දීලා... විශාල පොල් වත්ත මැද්දට ඉරේෂාව ඇදන් ගිය හිතක් පපුවක් නැති ඒ තිරිසනුන් දෙන්නා ඉරේෂාව කීප සැරයක් දූෂණය කරලා... මේ තමාව දූෂණය කරනවා කියන හැඟීම වත් ඉරේෂාට අවබෝධ උනාද මන්දා... වේදනාවට කෑ ගහනවා ඇරෙන්නට කරන්නට දෙයක් තියෙන්න නැතුව ඇති. ආසාවේන් වියරු වැටුන මිනිස්සු දෙන්නෙක් එක්ක ඉරේෂා කොහොම ඔට්ටු වෙන්නද...

ඇති වෙනකල් ඉරේෂාගෙ ඇඟ උඩ දඟලාපු වනචරයෝ දෙන්නා ඉරේෂාව පොල් වත්ත මැද්දෙම දාලා යන්න ගිහින්... තමාට සිද්ධ උනේ මොනවද කියලා සිතිවිල්ලක් ඉරේෂාට තියෙන්නෙ නැතුව ඇති..  ඇයට දැනී තිබුන එක දෙය කායික වේදනාව පමණයි. කලවා දිගේ රුධිරය ගලා යද්දී ඇය අපහසුවෙන් ඇවිදගෙන ඇවිත්...පාර කිට්ටුවට..

පාරේ ගිය කාන්තාවක් ඉරේෂාව දැකලා තියෙන්නෙ මේ අතරයි... කලවා වලින් ලේ ගලන... ඇඳුම් ඉරී ගිය මේ ගැණු ළමයාට කරදරක් බව අර කාන්තාවට වැටහෙන්නට ඇති. ඉක්මනින් ලඟම තිබුන කඩයකට ඉරේෂාව එක්ක ගිහින් වතුර වීදුරුවක් බොන්නට දීලා සිද්ධ උනේ මොනවාද කියලා දැනගන්න උත්සාහ කලත්...පලක් වෙලා නෑ... තමාට සිද්ධ උන දේවල් ඉරේෂාට පැහැදිලි නැතිව ඇති... කායිකව දැනෙන වේදනාව..එක්කම දැනෙන බය හින්දම ඉරේෂා කතා නොකරන්න ඇති...අහම්බෙන් එතැනින් ගිය ඉරේෂාව දන්නා කියන කෙනෙක් අතේ ගෙදර පණිවිඩයක් යවන්න අර පිරිස උත්සුක වෙලා. ඉරේෂාගේ තාත්තා එද්දී සියල්ල සිද්ධ වෙලා ඉවරයි...

ඉක්මනින් ඉරේෂාව රෝහල් ගත කරලා..පොලීසියේ පැමිණිල්ලකුත් එක්කම..පොලීසිය වරදකරුවන්ව අල්ලා ගන්න උත්සාහ කලත් පලක් වෙලා නෑ. ඒ ඉරේෂා කිසිම දෙයක් කියන්නෙ නැති නිසා..අන්තිමේදී පොලීසියට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිලා..ඒ ඉරේෂා රැකියාව කරන ආයතනයේ ගැහැණු ළමයෙකුගෙන්...දුරකථන ඇමතුමෙන් ඉරේෂාගෙ වංචාකාර පෙම්වතා ගැන තොරතුරු කීපයක් සඳහන් කරලා තිබුන නිසා ඔහුව අත් අඩංගුවට අරගෙන...එතැනින් ඉරේෂාව දූෂණය කල නරුමයින් දෙන්නවත් අත් අඩංගුවට අරන්... අර ඉරේෂාව රවට්ටපු නරුමයා අඩු වයසින්ම කසාද බැඳපු එකෙක්...

තාමත් නඩුව විභාග වෙනවලු.. ඉරේෂා රැකියාව අත් හැරලා..නමුත් ඒ ඇඟුළුම් ආයතනයේ කරුනාවන්ත අධ්‍යක්ෂවරයා...ඉරේෂාට මාස් පතා වැටුපක් ගෙවනවාලු..ඒ විතරක් නෙමේ...නඩුවේ වියදම් දරන්නෙත් ඔහු විසින්මලු...

දැන් මොන තරම් නඩු කිව්වත් වැඩක් තියේයිද ? අර නරුමයෝ හිරේ විලංගුවේ වැටෙද්දී සියල්ල සිදුවී හමාරයි..තිරිසනුන් රජයන ලෝකයක... තිරිසන් ගති ඇති මිනිසුන් මැද්දේ අහිංසක ඉරේෂාගෙ ඉරණම ඒ විදියට විසඳිලා ගිහින්....

සිද්ධ උන දේට වරද පවරන්නෙ කාටද ? නොවැඩුන මනසක් තිබුන ඉරේෂාව රැකියාවකට යවා ඉරේෂාගේ ආශාව මල්පල ගනවලා දුන්න දෙමාපියන්ටද ?

ඉරේෂාගේ මානසීක මට්ටම කෙසේ වෙතත් සාමාන්‍ය තරුණියකට ඇති වෙන සිතුම් පැතුම් ඉරේෂාට ඇති වීම වරදක්ද ? එම මානසීක මට්ටමේදී ඇය රැකියාවක් කිරීම වරදක්ද  ? ආදරය ඈ තුල ඇති වීම වරදක්ද ?

හ්ම්ම්ම්ම් !

(සත්‍ය කතාවකි)