මාව කියවන අය අතර..

31 October 2012

හැමදාමත් ඔච්චම් බෑ...


නිල් අහසේ අඳුර ඉරා……දිළිසි දිළිසි බැබලුනාට
ඉඳ හිට එබිකම් කර කරඋකුළු මුකුළු මට පෑවට
ඔය එළියේ සඟවාගෙනහිඳින්නෙමියි දිවුරුවාට
මං දන්නවා මගේ තරම….  අත දිග නෑ හඳ ගාවට....

කවියක් මිට මොළවාගෙනයන එන මඟ නැවතුනාට
ඊයේ උන්නේ ඈත් එක්ක……මං දැක්කා දුර ඈතට
මවා පාන පාට හීන…………සේදුනාම වැහි වතුරට
රැවටුන හිත හදා ගන්න….මටයි වෙන්නේ කඳුළු බොන්ට...

අමාරුවෙන් දුර ආවේ.......දුක එක්කලා ගාට ගාට
සෙල්ලම් බෑ හිතත් එක්ක... .හීන තියෙයි බර ගානට
ලං වෙන්නට ආස උනත්.....ආයෙත් බෑ විඳවන්නට
ඇස් ගහන්න එපා තවත්... හිතත් අරන් මාරු වෙන්ට....



   ළිහිණි
31/10/2012

( මේ දවස්වල මට වෙන වැඩ තමයි මේ.. )


18 October 2012

අවසන් ලියමන...



ගිලිහෙනා සුසුම් හඬ
මදින් මද ඉකි බිඳින
නිසල රැය මත ගැටෙන
අනෝරා වැස්ස මෙන
ජීවිතය පුරාවට
විඳින දුක් නිමා වන
සමුගැන්ම සැපක් වෙද
      නුඹ සෙනේ නිමා කොට.......

කැණි මඬල කඩාගෙන
පොළොව සිප ගත් පියස
අනේ කවදාක නම්
නැගෙන්නද යළි සවිව
ඒත් මට දැනෙනවා 
අඳුරු සිත් පතුල තුල
සහෝදර පෙම් බැම්ම
    ඉරිතලා ඉවර වග........


11 October 2012

ගැහැණුකම..හංගන්නේ කෝම...



මේ දවස්වල තියෙන්නෙ පුදුමාකාර රස්නයක්නේ. මහ දවාලේ එළිපහලියට යනවා කියන්නෙ මරනවා වගේ වැඩක්..

හදිස්සියෙම නිවාඩුවක් අරන් එළියට බැස්සේ දහසකුත් දේවල් කරන්න හිතාගෙන... ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල් ….ඉන්ටර්නෙට් බිල් ගෙවන්න…. තව ගෙදරට සිල්ලර බඩු ගන්න...වගේම යාලුවෙකුට අලුත ඉපදුන බබාට දෙන්න තෑග්ගක් තෝරගන්නත් ඕනෙ උනා ….

මේ වැඩ ටික කරගන්න තද අව්වේ එහෙට මෙහෙට ඇවිදලා මගෙ හොඳ පණ ගිහින් තිබුනේ. ඇඟ දිගේ දාඩිය ගලනවා මදිවට දිව ගිලෙන්න එන පිපාසේ...

මං උන්නේ කොයි වෙලාවෙද ඩෙනිම ගලවලා දාන්නෙ කියලා හිත හිතා... සායක් ඇඳගෙන ආවා නම් මොනතරම් හොඳද..අඩුම තරමින් කකුල් දෙකට හුළං පොදක්වත් වදිනවනෙ...ඩෙනිමට කකුල් දෙක හිරවෙලා මදිවට රස්නය හන්දා පිච්චෙන්න වගේ... ඒත් ඉතින් සාය කෙටියක් ඇඳගෙන පාරවල් දිගේ තනියම එහෙට මෙහෙට යන්න මං කැමති නෑ. එහෙම උනාම අඩුම තරමින් ඇස් ගෙඩි තුන හතරක්වත් කකුල් දිහා නවතිනවා..ඒ අතින් ඩෙනිම ආරක්ෂාකාරීයිනේ..

දවසක් ඔෆීසියේදී ඔය කතාව අපි අතරේ ඇදිලා ආවා...

" ඇයි බන් කෙල්ලෝ මේ ඩෙනිමම අඳින්නේ ?...."

චරිත් එහෙම අහද්දී මොකද්ද දෙන උත්තරය කියලා මං ටික වෙලාවක් හිතුවා.

" ආරක්ෂාවටයි...පහසුවටයි...වෙන මොකටද....."

" ඒකමද?....නැත්තම් ස්ටයිල් එකටද?...."

" ස්ටයිල් එකත් හේතුවක් තමා. ඒත් වැඩිපුරම ආරක්ෂාව හින්දයි..පහසුව හින්දයි..."

මගේ උත්තරයෙන් චරිත් සෑහීමකට පත් උන බවක් නෑ..

" දැන් බලපං මං සායක් ඇඳන් ආව දවසට උඹේ ඇස් කී පාරක් මගේ කකුල් දෙක ලඟ නවතිනවද ? මං ඩෙනිමක් ඇඳන් ආවම එහෙම නෑනේ..."

මම එහෙම කිව්වම චරිත් මහ සද්දෙට හිනා උනා...

" එතකොට ඇස් නවතින්නේ පස්ස ලඟ..."

කියපු නොසණ්ඩාල කතාව හින්දම ලඟ තිබ්බ පෑනෙන් මම ඒකට දමලා ගැහුවා...



කතාව ඇත්ත වෙන්න ඇති. හරිම අසාධාරණයි.. බලාගෙන ගියාම කෙල්ලකට කොයි ඇඳුම ඇන්දත් ඇස් ගෙඩි වලින් බේරෙන්න බැරි හැඩයි.. කොච්චර දේවල් හිතන්න වෙනවද...මට මතකයි දවසක් දණ හිස හරියට තියෙන ඩෙනිම් සායක් ඇඳගෙන අපේ කට්ටියත් එක්ක ෂොපින් කරන්න ගියා. සාය ඇන්දෙ පහසුවට... අනික ඉතින් සතියේ හැම දවසෙම කලිසමම ඇඳලා ඉඳලා හිටලා සායක් ඇන්දම පොඩි වෙනසකුත් තියෙනවනෙ..

" අරූගේ ඇස් උඹේ කකුල් දෙකේ..."

පාරේ යමින් ගමන් දමිත් එහෙම කිව්වම මාත් ඒ පැත්ත බැලුවා.ඇත්ත නේන්නම්...

 " මොනාද දමිත් කකුල් දෙකක ඔය තරම් බලන්න තියෙන්නේ ? බලපංකෝ එහෙනම් ෆොරිනර්ස්ලා කොයි තරම් කොටට ඇඳන් යනවද...අපේ උන් උන් දිහා බලන්නෙ නෑනෙ..."

මං එහෙම කිව්වම දමිත් හරි අපූරු කතාවක් කිව්වා.

" සම්පූර්ණයෙන් පේන්න තියෙන දේකට වඩා යන්තමට පේන දේවල් අගේ වැඩී කියලා කතාවක් උබ අහලා නැද්ද ළිහිණියෝ ?..ඒකනෙ ඔය කෙල්ලක් පලාපු සායක් ඇඳන් යද්දී ඒ අස්සෙන් පේන චුට්ට හරි කොල්ලෝ හොරෙන් බලන්නෙ...ඒ කොල්ලන්ගෙ හැටි..."

සායක් ඇන්ඳම කකුල් දිහාත්...කලිසමක් ඇන්ඳම පස්ස දිහාත්...සාරියක් ඇන්දම හීනියට පැත්තෙන් පේන බඩ දිහාත් බලනවානම්...නොදැක්කා වගේ යනවා ඇරෙන්න කරන්න වෙන දෙයක්  නෑ වගේ..

එතකොට ඔය ඔක්කොම වැහෙන්න දිගට දිගේ බාච්චුවක් වගේ සායක් ඇඳන් ගියොත් ගොඩේ කියාවි. එහෙමත් නැත්තම්...හරියට අඳින්නවත් දන්නෙ නෑ කියාවි..

ඇත්ත...අපිට මේ සමාජයවත්...එක් එක්කෙනාගෙ සිතුම් පැතුම් වත් වෙනසක් කරන්න බෑ තමයි. අපේ අම්මා හැම තිස්සේම කියනවා වගේ කෙල්ලක් උනාම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම හදා ගන්න වෙනවා... ඇඳුමේ පැලැඳුමේ ඉඳන්ම...

ඉස්සිලා තියෙන ලැමවත්... පුළුල් උකුලවත්... සියුමැලි කකුල් දෙකවත්...හංගන්න ගැහැණියෙකුට බෑ. ඒවා ස්වභාවධර්මයා ගැහැණියකට දුන්න දායාද...

ගැහැණු ශරීරයේ හැඩය පිහිටලා තියෙන්නෙ රස විඳින්නලු...ඒකනෙ කවියෝ ඔය තරම් ගැහැණු රූපය වර්ණනා කරන්නේ...එහෙම නම් ඉතින් ගැහැණු දිහාට පිරිමින්ගේ ඇස් යන එක වරදක් නෙමේ. කොහොමත් ඇස් දෙක තියෙන්නෙ දැකීමෙන් සතුටක් ලබන්නනේ...

සීගිරි බිතු සිතුවම් වල තියෙන උඩු කය නිරුවත් පින්තූර දිහා කලාකාමි ඇසකින් බලන උදවියම... බස් එකක වාඩි වෙලා යන ගෑණු ළමයින්ගේ කර අස්සෙන් ලාවට පේන ලැම දිහා හොරෙන් බලන්නෙ නැතුව උන්න නම්….ගැහැණියකගෙ පෙනෙන නොපෙනෙන සුන්දරත්වය ඇස් දෙකෙන් බලන ගමන්  මගේ අම්මත් ගැහැණියක් ...මගේ සහෝදරියත් ගැහැණියක්.. කියලා පිරිමි හිතකට දැනෙනවානම්... කොච්චර හොඳද...


(පිරිමින්ට මඩක් නොවේ... මට හිතුන හැටි පමනකි)

09 October 2012

මේ දවස්වල වැඩියෙන්ම ආස......



සංගීතය කියන්නෙ විශ්ව භාෂාවලු. කතාව ඇත්තනේ... සංගීතයට ආස නැති කෙනෙක් ඉන්නවද මේ ලෝකේ….

 මම ඉතින් කරන්නෙ අල බැස්සා වගේ උදේ ඉඳන් හවස් වෙනකල් එක තැනම වාඩිවෙලා ඉන්න රස්සාවක්නේ. වෙලාවකට බයත් හිතෙනවා පුටුවටම මුල් ඇද ගනීවිද කියලා .... ඔය ඉන්න ගමන් සින්දුවක් එහෙම අහන්න කාගෙන්වත් තහනමක් නෑ. හැබැයි ඉතින් අහන්න ඕනේ කාටවත් කරදරයක් නොවී…මගේ නරකම පුරුද්දක් තමා එක සින්දුවකට හිත ගියෝතින් ඒක එපා වෙනකල්ම අහන එක...
ඒ සින්දුව අළුත්ද පරනද කියන එක මට වැදගත් නෑ. හිත ගියොත් එපා වෙනකල්ම අහනවා...

මේ ඒ වගේ මේ දවස්වල එක දිගටම එපා වෙනකල් අහන සින්දු ටික ( තාම නම් එපා වෙලා නෑ )

අමරසිරි පීරිස් මහත්මයාගේ සින්දු වලට මම කවදත් කැමතියි. ඒ ගැඹුරු කට හඬ හිත අස්සටම දැනෙනවා..



කාත් කවුරුවත්….නැති බව දැන දැන
මාත් මගේ හිතත්….රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්...හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා....

සාංකාව ඇහැරෙන ඝණ අඳුරේ
ආත්මයම මගේ…..රාත්‍රියම වැන්නේ...
ඈත් වෙන්න නම්….ඇයි තුරුලෙම උන්නේ....

වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් ඉඳලා…තවත් පලක් නැත්තේ...
ඒත් කියන්නම්…..හමුවෙමු මතු භවයේ.......

බුද්ධික උෂාන්ගෙ මේ සින්දුවත් මේ දවස්වල නිතරම අහනවා..



මේ සඳ උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එළිය දුන්නා උනත්
මේ සුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ ඉද්දී දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතුව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතුව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතුව කෙලෙසකනම් ඉවසම්දෝ...

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ..
ආයේ නම් රැය අවසන් වේ.....

ආයේ හිරු නෑ….හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයේ නුඹ නෑ…දුක් කඳුළුත් නෑ
රැය ආවත් මම නෑ...
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ..
ආයේ නම් රැය අවසන් වේ.....

එතකොට The Script කියන බෑන්ඩ් එකේ breakeven සින්දුවත් Hall of fame  සින්දුවත් මේ දවස්වල නිතරම අහනවා..




I'm still alive but I'm barely breathing
Just prayin' to a god that I don't believe in
Cos I got time while she got freedom
Cos when a heart breaks no it don't break even

Her best days will be some of my worst
She finally met a man that's gonna put her first
While I'm wide awake she's no trouble sleeping
Cos when a heart breaks no it don't breakeven... even... no

What am I supposed to do when the best part of me was always you, 
And what am I supposed to say when I'm all choked up that you're ok
I'm falling to pieces, yeah, 
I'm falling to pieces

They say bad things happen for a reason
But no wise words gonna stop the bleeding
Cos she's moved on while I'm still grieving
And when a heart breaks no it don't breakeven even... no

What am I gonna to do when the best part of me was always you, 
And what am I supposed to say when I'm all choked up that you're ok
I'm falling to pieces, yeah, 
I'm falling to pieces, yeah, 
I'm falling to pieces 
(One still in love while the other ones leaving)
I'm falling to pieces 
(Cos when a heart breaks no it don't breakeven)

Oh you got his heart and my heart and none of the pain
You took your suitcase, I took the blame.
Now I'm try'na make sense of what little remains ooh
Cos you left me with no love and no love to my name.

I'm still alive but I'm barely breathing
Just prayin' to a god that I don't believe in
Cos I got time while she got freedom
Cos when a heart breaks no it don't break 
No it don't break 
No it don't break even no

What am I gonna do when the best part of me was always you and
What am I suppose to say when I'm all choked up that you're ok 
(Oh glad your okay now)
I'm falling to pieces yeah 
(Oh I'm glad your okay)
I'm falling to pieces yeah 
(One still in love while the other ones leaving)
I'm falling to pieces 
(Cos when a heart breaks no it don't breakeven)

Oh it don't break even no
Oh it don't break even no
Oh it don't break even no




Taylor Swift කියන ගායිකාව කියන we are never ever getting back together කියන සින්දුවත් මේ දවස්වල මගේ හිතට හුඟාක් සමීපයි.





අහලම බලන්නකෝ..


03 October 2012

මට හිතෙන හැටි….


පුංචිම කාලෙදි කවුරු හරි මගෙන් ඇහුවොත් ..." ලොකු උනාම කවුරු වෙන්නද කැමති ?.." කියලා … මං එකපාරටම කියන්නෙ " මට ඕනේ අම්මා කෙනෙක් වෙන්න " කියලයි. ඒ කාලෙදි මගේ පුංචි ලෝකයේ වීරයා උනේ මගේ අම්මා...උදේ පාන්දර නැඟිටලා කුස්සියේ දුම් කකා හීනි රැලි තියෙන මල් වගේ ඉදි ආප්ප අම්මගෙ අතින් හැදෙන කොට ඒ දිහා මම බලාගෙන උන්නේ පුදුම ආසාවකින්.

" ලොකු උනාම මාත් හදනවා "

මහා උජාරුවෙන් එහෙම කියද්දී අම්මා හීනියට හිනා වෙනවා. සුවඳ ගගහා පහේ බැදලා අරන් රසට රසේ බත් මාලු අම්මා උයද්දී...මගේ අම්මා තරම් රසට උයන කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති කියලා මට හිතුනා. පොරවකුත් උස්සාගෙන තඩි කොටයකට දෙකට පැලෙන්න ගහලා දර වලට කෑලි කරද්දී..අම්මගෙ හයි හත්තිය ගැන මට පුදුමත් හිතුනා.. තාත්තෙක් නැති ගෙදර අම්මා පිරිමියෙක් වගේ ඔට්ටුවෙනවා මම දැක්කා. මට ඕනෙ උනේ ඉක්මනින් ලොකු වෙලා අම්ම කෙනෙක් වෙන්න. අම්මා වගේම මල් මල් ඉදි ආප්ප වට්ටි පිරෙන්න හදන්න..සුවඳ හතර වටේටම දැනෙන්න රසම රස කෑම උයන්න...පොරවක් අරන් දර කොට එක්ක ඔට්ටු වෙන්න.... ඒ මම පුංචිම කාලේ මට හිතුන හැටි......

ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ එක වසරේ උන්න "රේණුකා ටීච " අඳින පාට පාට මල් වැටිච්ච ලස්සන ලස්සන සාරි වලට මම පුදුම විදියට ආස කලා.උදේම ඉස්කෝලෙට ඇවිත් අරලියා ගස් ලඟ තියෙන කම්බි වැටේ එල්ලීගෙන ඈත පාර දිහා ඇස්පිල්ලන් ගහන්නෙවත් නැතුවම බලාගෙන ඉන්නවා. රේණුකා ටීච එනකල්. එක එක දවසට එක එක පාට සාරි....ලස්සනේ බෑ. සාරිය ඇඳන් අඩිය උසට තියෙන සපත්තු දාගෙන...හෑන්ඩ් බෑග් එකක් කරේ එල්ලගෙන..තාලෙට... පැද්දී පැද්දී ඈතින් ඇවිදගෙන එන රේණුකා ටීච දැක්කම ආසාවේ බෑ....

රේණුකා ටීච ටිකින් ටික මගේ ලෝකයේ වීරයා උනා. පංතිය දෙක වෙන්න කෑ ගහන ළමයි රොත්තම රේණුකා ටීචගෙ එක අණ කිරීමකින් නිශ්ශබ්ද වෙන්නේ මීයෝ ටික වගේ ...ඇතෙක් මෙල්ල කරන්න තියාගෙන ඉන්න හෙණ්ඩුව වගේ මේසේ කෙළවරක මහ උජාරුවෙන් තියාගෙන ඉන්න වේවැලත්...ඊට එහා පැත්තෙන් තියෙන නම් ලකුණු කරන පොතත් මැද්දෙන් මේසෙට ළංවෙලා තියෙන ගුරු පුටුවේ වාඩි වෙලා රතු පාට පෑනෙන් ලමයින්ගේ පොත්වල හරි වැරදි ලකුණු කරන රේණුකා ටීච දිහා බලාගෙන මම මෙහෙම හිතුවා...

" කවදා හරි ලොකුවෙලා මම ටීච කෙනෙක් වෙනවා..."

රේණුකා ටීච ලඟින් යද්දී හුළඟට පැද්දෙන සාරි පොට හිමීට අල්ලලා බලනවා.. අතට දැනෙන සාරියේ සිණිඳු කම හිතටත් දැනෙනවා...එතකොට ටීච කෙනෙක් වෙන්න තියෙන ආශාව වැඩී. සාරියක් අඳින්න තියෙන ආශාව වැඩී... ඇයි අඩිය උස සපත්තු දාගෙන තාලෙට ඇවිදින්න....

ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ ගෙදර තියෙන පුටු මේසවලට මමත් ටීච කෙනෙක් තමයි.පේර කෝටුවකුත් අතේ තියාගෙන වැරැද්දක් නැතුවම පුටු මේස ළමයින්ට තල තල උගන්වනවා. රේණුකා ටීචගෙ වගේ සාරියක් නැති උනත්..අම්මගෙ චීත්තයක් අරගෙන ඇඟ වටේ දවටගන්න මට පුළුවන්...මීයෝ වගේ සද්ද නැතුව ඉන්න පුටු මේසවලට මම දන්න හැමදේම උගන්වනවා....හරිම උජාරුවෙන්...

ටිකින් ටික ලොකුවෙලා උසස් පෙළ පන්තියට ආවම විෂයන්  තෝර ගන්න බැරුව මං අතරමං උනා මතකයි. එතකොටයි මට මතක් උනේ මම දැන් ලොකුයිනේ කියලා. පුංචිම කාලෙදි දැක්ක  "අම්මා" කෙනෙක් වෙන හීනයටත් වඩා ගැඹුරින් හිතේ තිබ්බ " ටීච " කෙනෙක් වෙන හීනයවත් හිත කොනකවත් ඉතිරි වෙලා තිබ්බේ නෑ. ඒ වෙද්දී තෝර ගන්න ඕන විෂයන් ඉලක්ක උනේ කවදා හරි දවසක කරන්න බලාපොරොත්තු වෙන රස්සාව දිහාට...ඒ රස්සාව වැඩිපුර පඩියක් ලැබෙන ඉල්ලුම වැඩියෙන් තියෙන රස්සාවක් වෙන්නත් ඕනෙනෙ...

" උඹ මැත්ස් කරපං...ඊට පස්සේ කම්පියුටර් සයන්ස් කරපං " 

කියලා මාව මේ පැත්තට තල්ලු කලේ මගේ මැංගෝ ෆ්‍රෙඩා වගේ උන්න අයෝමි...අයෝමි පෙන්නාපු පාර දිගේ මාත් ආවා...මෙතැනටම...

මගේ අම්මා නම් කියන්නෙ කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම කියලා. වෙන්නැති... උදේ අටේ ඉඳන් හවස දෙක වෙනකල් විතරනේ වැඩ. හවස් වරුවම ඉතුරුයි. සෙනසුරාදා ..ඉරිදා නිවාඩු...පෝය නිවාඩු වගේම රජයේ හැම නිවාඩුවක්ම ලැබෙනවා විතරක්ද.... අවුරුද්දේ වාර තුනටම ලැබෙන පාසැල් නිවාඩුව...... හොඳයි නේන්නම්...

සමහර දවස්වලට රෑ නමයට අම්මා කතා කරද්දිත් මම ඔෆීසියේ...

" තවත් මොනවා කරනවද ඔෆීස් එකට වෙලා ?..."

" වැඩ අම්මේ..."

" මේ රෑ ජාමයේ .."

" මට තියෙන්නෙ අට පහ කරන ආණ්ඩුවේ රස්සාවක් නෙමේනෙ අම්මේ... ගන්න පඩියට වැඩ කරන්න ඕනේ..."

" පෝයටත් වැඩ...සෙනසුරාදාත් වැඩ....ඔෆීස් එකෙන් ගෙදර ඇවිල්ලත් වැඩ…ඔව්වා කෙල්ලන්ට හොඳ රස්සවල්ද....නිකම් මේ ගුරුපත්වීමක් හදා ගන්නෙ නැතුව දුක් විඳිනවා..."

ඇත්ත....පුංචි කාලේදී හිතුවා වගේ ඉක්මනින් අම්මා කෙනෙක් උනානම්...කුස්සියට වෙලා ඔහේ බත් තම්බ තම්බ ඉන්න තිබුනා...එහෙමත් නැත්තම්..රේණුකා ටීච වගේ ටීච කෙනෙක් උනා නම්.... අවුරුද්දෙ වැඩි හරියක් ගෙදර ඉන්නත් තිබ්බා...ඒත් ඒ හීන දැන් කෝ...

ඉස්සර දැක්ක හීන එක්ක අද දවසෙදී ජිවිත රේස් එක දුවන්න බෑ කියලා මට නම් හොඳටම දැනෙනවා….ඉස්සර සාරි අඳින්න තිබ්බ ආසාව දැන් කෝ ..... ඒ තරම් ආසාවෙන් උන්න සාරිය පටවාගෙන ඉන්න එක දැන් වදයක් වෙලා. අද්දන බස් වලට කොහොම ගොඩ වෙන්නද සාරි පටවාගෙන.. එදා උස අඩි තියෙන සපත්තු දාන්න පෙරේත කමේ උන්න මම..ඒ ගැන අමතකම කරලා දාලා. මගේ උස නිසාම අඩිය දශමයක්වත් නැති සපත්තු දාන්න අරන්... ඉස්සර උයන්න පිහන්න මහා ආශාවෙන් උන්නත්...දැන්....ඔහේ මොනා හරි තම්බාගෙන කනවා මිසක් හරි බරි ගැහිලා උයා පිහා ගන්න කෝ වෙලාවක්...

අම්මා දැක්ක සමාජයට වඩා අද සමාජය ගොඩාක් වෙනස් කියලා අම්මට තේරුම් කරන්න බෑ….ගෙයි මුල්ලේ දුම් කකා බත් තම්බපු කෙල්ලො...නුවණ හැදි මිටේ දිගයි කියලා පැත්තකට කරපු කෙල්ලො... අද වෙද්දී තාක්ෂණයත් එක්කම පිරිමින් එක්ක කරට කර වැඩ කරනවා... මමත් රිංගාගෙන ඉන්නෙ ඒ ගොඩටයි කියලා අම්මට තේරුමක් නෑ… අම්මගෙ දැනීමේ හැටියට  තාමත් කෙල්ලෙකුට කරන්න හොඳම රස්සාව ගුරුකම...

එතකොට ….පුංචි කාලේදී දැකපු හීන ටික පැත්තකට දාලා මම තෝරගත්ත රස්සාව කෙල්ලකට සුදුසු නැද්ද ?