මාව කියවන අය අතර..

30 September 2012

අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය(අවසාන කොටස)



පලවෙනි කොටස මෙතැනින් කියවන්න

තේජාන්ගෙ කට හඬ මාව මොහොතක් ගොළු කලේය. පිරිමින් සමඟ කරට කර සිටිමින් රැකියාව කලද ඔවුන් ඉදිරියේදී මගේ හදවත සැලුනේ නැති මුත් මේ පිරිමියාගේ කට හඬ ඉදිරියේදී මම ගොළුවී උන්නෙමි.

" හෙලෝ...මොකද කතා නැත්තේ ?....රවී මා ගැන කියන්න ඇති නේද ?..."

" ඔව්....කියලා තියෙනවා..."

මම අමාරුවෙන් වචන එක්කාසු කලෙමි.තිගැස්සමක් සමඟම මොකද්දෝ නුහුරු හැඟීමකින් සිත වෙලා ඇති ලෙසකි.

" ළිහිණිත් එක්ක ටිකක් කතා කරන්න හිතුනා. ඔයා ගැන විස්තර නම් අර දෙන්නගෙන් දැනගත්තා. ඒත් මම කැමතියි ඔයාගෙන්ම තව දුරටත් විස්තර දැනගන්න...මොකද අඳුන ගන්න ඕනෙ අපි දෙන්නනෙ...නේද ?..."

ඔහු කියන්නේ සැබෑවකි. අපි හඳුනාගත යුතුයි...ඉතින් අපි කතා බහ කලෙමු. වයස අවුරුදු 28ක් වූ තේජාන් මගේම වෘත්තියේ නියැලෙන්නෙකි. තමගේ මව හා පියා සමඟ අවුරුදු දහයක පමණ කාලයක සිට එරට වෙසෙන බවත්... තවත් බොහෝ තොරතුරුත් ඔහු මා ඉදිරියේ දිග හැරියේය. එයින් ඇරඹුන අපේ කතා බහ දිගින් දිගටම ටිකින් ටික දික් විය. දිනපතාම දුරකථන ඇමතුමක් දෙන්නට තේජාන් අමතක නොකරයි. " ආදරය " ගැන හැර අන් සියළු දේ ගැන අපි කතා බහ කලෙමු. මට දැනුනේ ඔහු මගේ ලෙංගතුම මිතුරෙකු ලෙසිණි. අප අතර ගොඩ නැගී තිබුනේ සැබවින්ම මිතුදමකි...

"ලිහිණි..."

"හ්ම්ම්ම්..."

" මොකෝ බං...බකමූණද අමතන්නේ ?..."

" හ්ම්ම්..හ්ම්ම්ම්ම් ..."
ඔහු මහා හයියෙන් සිනාසෙයි.මමද ඊට හවුල් වෙන්නෙමි. අපි සැහැල්ලුවෙන් සිටියෙමු. ඔහුගේ සැහැල්ලු බවටත් ඒ ගැඹුරු කටහඬටත් මම මහත්සේ ප්‍රිය කලෙමි. මගෙ වෘත්තීය ජීවිතේ ගැටළු සහගත තැන් මම ඔහුගෙන් අසා දැන ගත්තෙමි. ඇත්තෙන්ම ඔහුගෙන් දැනගන්නට බොහෝ දෑ විය.ගුරුවරයෙකු සේ එකින් එක විස්තර කර දෙන හැටි අගනේය. ඒවාට මම ආශා කලෙමි...

සිතපුරා නැගුන සිතිවිලි මිටින් කැටි කොට සිත තුලම සඟවා ගන්නට මම අපමණක් වෙහෙස දැරුවෙමි. මේ නුහුරු නුපුරුදු සිතිවිලි මට මහා වදයකි. බරකි.. පැත්තක් අල්ලාන ඔහේ කල්පනා කරන්නට සිතේ. එසේ කල්පනා නොකරන තැන සිතට මහා වෙහෙසක් දැනේ...බත් පත අතට ගත්තද කන්නට බඩගින්නක් නැත. නිදා ගන්නට නිදිමතක්ද නැත.  හීන් සැරයේ හිත තුලට පැන වැද මට වද දෙන මේ සා සිතිවිලිවලට මම විටෙක තරවටු කලෙමි. සිත ඇතුලත පෙරළියක් සිදුවෙන බව වැටහුනා මිසක ඒ කුමක්දැයි තේරුනේ නැත. හඳුනාගත නොහැකි මේ දෙය කුමක්ද.....තනිව මුමුනන්නටද...තනිව සිනාසෙන්නටද සිතේ...අහස පොලොව ගැටලන්නට තරම් මහා කල්පනාවක ගිලෙන්නටද සිතේ... හිටි හැටියේම මේ සිදුවන මහා වෙනසට මගේ සිත කැමති හැඩක් දැනෙයි...


තේජාන් සරළය...හිතුවක්කාරය..ආඩම්බරය.. සැනෙන් පරල වන්නටද..එසැනින්ම නිවී සැනසෙන්නටද ඔහුට අපූරු හැකියාවක් ඇත. ඔහු සතුව තිබෙන ගති ගුණ කෙරෙහි මම පැහැදුනෙමි.
දින සති මාස බවට පෙරලුන තැන අපි බොහෝ සේයින් ලංව උන්නෙමු. මට ඔහුගේ හිතවත් කම්...මිතුරුදම් මහත්සේ දැනුණි.එක් දිනක් හෝ ඔහුගේ ඇමතුමක් මඟ හැරුණහොත් මම මහත්සේ කලබල වීමි...

" මොකද ඊයේ කතා නොකලේ ?..."

" වැඩ බං වැඩ...ඔක්කොම ඉවර වෙලා කතා කරන්න හදද්දී පරක්කු වැඩියි. මම දන්නවනේ ඒ වෙලාවට කෙල්ල පස්සත් එළියේ දාගෙන දොයි කියලා...මම ඉතින් කතා කලේ නෑ...."

" ඒ උනාට කතා කරන්න තිබ්බනේ....මම බලන් උන්නා...."

" බලන් උන්නේ ඇයි ?...මට කතා කරන්න තිබ්බනේ...මොන වැඩ තිබ්බත් මම ආන්සර් නොකර ඉන්නෙ නෑනේ..."

" ගන්න හිතුනා...ඒත් බිසී ඇති කියලා ගත්තේ නෑ...නිකම් කරදර කරන්නේ මොකටද..."

මා කීවේ සැබෑවකි. නිකරුනේ ඔහුට කතා කොට වදයක් වන්නට මට සිතුනේ නැත.

" ඉතින්...."

එසේ පටන් ගන්නා අපේ කතා බහ බොහෝ දුර ඇදෙයි. මහා රෑ යාමයේ මම ඔහුත් සමඟ දොඩමළුව උන්නෙමි.කතා කල දෙයක්ද නැත...කතා නොකල දෙයක්ද නැත..කතා කරන්නට කිසිවක්ම නැති තැනදී සිනා සෙන්නට වුව යමක් තිබිණ..


" අද බිව්වේ මඤ්ඤං කෝපිද ?..."

" මොන කෝපි ?..."

" මඤ්ඤං කෝපි..."

" ඒ මොනාද ඒ ?..."

" නෑ ඉතින් ඔය හැටි හිනා වෙන හින්ද ඇහුවේ...."

" ඇයි...මඤ්ඤං කෝපි බිව්වම හිනා යනවද ?..."

" ඔව්..."

" පිස්සි.."

" පිස්සා"

සියල්ල සැහැල්ලුය...හිත බොහෝ නිදහස්ය...මට පාලුවක් දැනුනේ නැත. අයෝමි විහිළු කලාය.අප අතර ආදර සම්බන්ධයක් ඇතැයි කියමින් විහිළු කලාය...

" කොහොමද...වැඩේ නැගලම යනවා නේද ?..."

" මොන වැඩේද බං ?..."

" ආ...උඹ බබා... දන්නෙම නෑ නේද...අනේ මගෙ කට...."

" හොල්මන්ද...අහන දෙයක් තේරෙන්න අහපන්කෝ අයෝමි..."

" මම ඇහුවේ උඹේයි තේජාන් ගෙයි වැඩේ...."

" එහෙම දෙයක් නෑ බං..."

" එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ...."

" අපි නිකම් ෆ්‍රෙන්ඩ්ස්ලා විතරයි අයෝ...nothing  else "

" අනේ ළිහිණියෝ...උබ කාවද ඔය රවට්ටන්නේ ?... ජස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක උඹ ඔහොම වරු ගණන් ෆෝන් එකෙන් එල්ලෙන්නේ නෑ කියලා මම දන්නෙම නෑනේ...මෝඩි...."

මම ඒ ගැන සිතන්නට වීම්. මිතුරු දම් විනා අප අතර අන් යමක් ඇතිද..?එසේ තිබුනා නම් " උඹ..බං .. බොලං " යැයි ආමන්ත්‍රණය කරමින් කතාබහ කරන්නට හැකිද..

" ළිහිණියෝ..."


" හ්ම්ම්ම් "

" බසුපාට් නොදා කතා කරපන් බං..."

" මොනා කතා කරන්නද ..මම හොඳටම බිසී. මේ ඩිෆෙක්ට් එකක හිරවෙලා ඉන්නේ..."

" හුප්...මේකිගේ ගණන් බලාපල්ලකෝ...හිටපියකෝ මට අහුවෙනකම්...."

" ඇයි අහු උනාම මොනා කරන්නද ? ..."

" කරන්නෙද...කරනදේ අහු උනාට පස්සෙ කියන්නම්කෝ..."

විහිළුව තරමක් දුර ගිය වගක් දැනුනේ වචන පිටවූ  පසුය.මම නිහඬ වීමි. ඔහුද නිහඬය....

" මොකෝ සද්ද වහලා...බය උනාද ?..."

" මොකට බය වෙන්නද...මම වැඩ..."

කතාව මඟෑරියෙමි.බොහෝ කාලයකට පසුව සිතට දැනෙන සැහැල්ලුව වගේම මේ බරද මිහිරිය…මතකයට ආවේ Jelo ගේ If you only Knew   ගීතයේ වචන කීපයකි.

Could this be love….Could this be love….

පද ටික හිමි හෙමින් මිමිණුවෙමි. ඇත්තෙන්ම මේ මගේ සිතට දැනෙන්නේ පිරිමියෙකුගේ ආදරයද..නුහුරු කිතියකින් හදවත කිතිකැවිනි. හිතටත් හොරාම හීන් සීරුවේ බලාපොරොත්තුවක සේයාවක් ඇදෙනු දැනේ.ඔහුවත් මමවත් කතා නොකලද අපේ සිත් අපිට ආදරය කලා විය හැකිය. එය එසේම විය...මම ඔහුට ආදරය කරමින් උන්නෙමි...කුළුඳුලේම දැනෙන ඒ ආදරය .හිත්සේ විඳගන්නට හිත හදා ගත්තෙමි... කිසිවෙකුගෙන් නොලැබූ ආදරය ඔහුගෙන් විඳින්නටද...කිසිවෙකුටවත් නොදුන් ආදරය හදවත ගැඹුරින්ම ඔහු වෙත පාන්නටද හිත හදා ගත්තෙමි..

" ළිහිණි...කොහොමද බං ? ...."

" හොඳින් ඉන්නවා අයෝ..."

" තේජාන් කතා කලාද ?..."

" හ්ම්ම්ම්..ඊයෙ නම් නෑ. අද කතා කරයි..."

" මට උඹට දෙයක් කියන්න තියෙනවා..."

" කියාපං කෙල්ලෙ...මොකෝ උඹට බබෙක්වත්ද ?..."

" විහිළු නවත්තලා සීරියස් වෙයං ළිහිණි...ප්ලීස්..."

" මොකෝ බං මේ...? රවී එක්ක වලියක්වත්ද ?...හරි හරි කියපංකෝ….. දැන් මම ෆුල් සීරියස් ..."

සැහැල්ලුවෙන් උන් මා අයෝමිගේ සෑම වචනයක්ම සැහැල්ලුවට ගත්තෙමි.

" ළිහිණි...අයි ඈම් සොරි කෙල්ලේ..."

"  උඹට මොකද වෙලා තියෙන්නේ ? මොන කෙහෙල්මලකටද මේ මගෙන් සමාව ඉල්ලන්නේ ?.."

" මම උඹට වරදක් කලා කියලා මගේ හිත කියනවා කෙල්ලේ..."

" බම්බුව...උඹට කොහෙද මට වරදක් කලේ...හැමදාම මට උදව් කලා මිසක්..."

" ළිහිණි...අ..ර වැඩේ...ඒක...හරි යන්නෙ නෑ වගේ කෙල්ලේ..."

" මොන වැඩේද ?..."

අයෝමි මඳක් නිහඬය. ඇගේ නිහැඬියාව මාව බය කරයි. හිත තිගස්සවයි. ඇය මේ කුමක් කියන්නට සැරසෙන්නේද....

" තේජාන්ලගෙ ගෙදරින් බර බරේලු ළිහිණි..."

" ඒ මොකටද ..."

ඇය නිහඬය...නිහැඬියාව දැන් මට නුරුස්සන්නේය...

" කියපංකෝ...ඒ මොකක් හින්දද ?..."

" අනේ මන්දා බං.."

" ඇයි..? මම ලස්සන මදිලුද...නැත්තම් මට දෙන්න තරම් මහා ලොකු දෑවැද්දක් නැති හින්දද ?..."

" ඒ මළ උලව්වකට නෙමේ...උඹ කතෝලික කියලලු..මන්දා තේජාන් රවීට එහෙම කියලා..."

මට සිනා නැගිණ.. මෙතුවක් කල් මාත් තේජානුත් අතර කවර කතා බහක් සිදුවිනිද අප කිසිවිටක අපේ ආගම ගැන කතා නොකලෙමු. තේජාන් ඒ ගැන මගෙන් විමසුවේද නැත. කියන්නට තරම් උවමනාවක් මටද තිබුනේ නැත.

" ආන්ටිලා හිතන් ඉඳලා තියෙන්නේ උඹ බෞද්ධ කියලා. තේජාන් නම් ඔය එක මඟුලක්වත් ගනන් ගන්නෙ නෑ. ඒත් මහ අය තද බෞද්ධයෝලු. ගෙදරින් තේජාන්ට යුද්ධ ප්‍රකාශ කරනවලු උඹත් එක්ක මේ ගැන කතා කරලා අයින් වෙන්න කියලා....."

ඇය තවත් බොහෝ දේ කියෙව්වාය. මට ඒවා ඇසුනාදැයි මතකයක් නැත. මගේ හිත යකාගේ කම්මල වැනිය. මහා සද්දෙන් හදවත ගැහේ...තේජාන් කුමක් කරන්නට සිතනවා ඇතිද...

මා කතෝලික බැතිමතෙකුව ඇත්තේ මගේ දෙමාපියන් කතෝලික බැතිමතුන් නිසාය. එය දෙමාපිය උරුමයෙන් මා ලද්දකි.හැම ආගමකම ඇත්තේ මිනිසුන්ව යහමගට ගැනීමේ අභිලාශයක් විනා අන් කවරක්ද...බෞද්ධාගමේ හෝ වේවා කතෝලික ආගමේ හෝ වේවා හොඳක් මිසක් නරකක් නැත. මගේ ආගම කතෝලික වූ පමනින් මා එපා කියන්නට තරම් තේජාන්ගේ දෙමාපියන් ප්‍රාථමීකද...

දවස ගෙවී ගියද තේජාන්ගෙන් ඇමතුමක් ලැබුනේ නැත. බලා නොසිටියායි කියන්නට බැරිය. වෙනදාටත් වඩා උවමනාවෙන් බලා උන්නෙමි. තේජාන්ගේ මිතුරු දමට මම ලොල් වී උන්නෙමි. රැය පුරාම නිදිවරා සිතූවෙමි.දුරකථනය මා ලඟම තබා ගත්තේ ඒ ඇමතුම බලාපොරොත්තුවෙනි. ඔවුන්ට මා ඇවැසි යැයි සිතා මා තෝරා ගත්තා විනා මා ඔවුන් සොයා ගියේ නැත.දිනෙන් දින ආ මේ ගමනට මා මෙන්ම තේජානුත් හවුල් කරුවන් වෙමු. ඇසුරු කලේ මිතුරන් විලස වුවද ඒ මිතුරුදමට යටින් ඊට එහා ගිය බැඳීමක් හිත යට නොතිබුනා කියා හිත රවට්ටන්නට බැරිය. කලබල නොවී ඉවසීමෙන් හිඳින්නට මම තීරණය කලෙමි. මගේ ඉවසීම නිවැරදි කරමින් ඔහුගේ ඇමතුම පසුදා හවසක ලදිමි...නමුත් වැරදිය. කතා කලේ තේජාන් නොව..ඔහුගේ මවයි..

" දරුවො මම තේජාන්ගේ අම්මා..."

හිත පුරා ගිණිදැල් නැඟුනද...මම ඉවසීමෙන් අසා උන්නෙමි...

" ඔය ළමයා හොඳ කෙනෙක්ය කියපු හන්දා අපි කැමති උනා. ඒත් අපි දැනන් උන්නෙ නෑ ඔය ළමයා පිට ආගමක කියලා. අපි හොඳ බෞද්ධයෝ... අපේ කවුරුවත් බෞද්ධාගමෙන් පිට කසාද බැඳලා නෑ. ඒක කොහෙත්ම කරන්න බෑ. තේජාන්ට උනත් ඒක එහෙම වෙන්න ඕනෙ...තේජාන්ට ඉවසීමක් නෑ. හැම එකටම කලබලේ. ඒත් ඔය ළමයා මේවා තේරුම් ගන්න.... මහා කාලයක් නෑනේ. යන්තම් මාස දෙකනේ... මම තේජාන්ට කිව්වා ඔය කතා බහ නවත්තලා දාන්න කියලා. ඔය ළමයා නිකරුනේ බලාපොරොත්තු තියා ගන්න ඕනෙ නෑනෙ....... "

ඇය කියූ සියළු දේ මම අසා උන්නේ හිත් පිත් නැත්තියකසේය. මාස දෙකක් වුවත්..ඒ මාස දෙක ඇතුලත මගේ හිතේ බලාපොරොත්තු ලියලමින් තිබුන වග ඈ නොදන්නේද.... තවත් කිසිවක් කතා කිරීමෙන් පලක් නැත. මගේ හිත හදා ගන්නට මා දැන ගත යුතුය. හිතට අහම්බෙන් රිංගූ ආදරය බෙල්ල කෙටියෙන් අල්ලා ඇද එළියට දැමූ පසු කුමන කතාද.... හඬා වැටී දුක් වන්නට දෙයක් සිදු වී නැති බව සැබෑය. මහා දුරක් ආවේ නැති බවත් සැබෑය.වැරැද්ද මගේ ආගමේයැයි පවසනා අය ඉදිරියේ වැඳ වැටෙන්නට උවමනාවක් නැත. අමාරුවෙන් වුවද සියල්ල අමතක කල යුතුය. මම බොළඳියක නොවේ. ඇත්ත ඇති සැටියෙන් සිතන්නට ඇවැසිය...තව දුරටත් තේජාන් සමඟ කතාවෙන් පලක් නැත. ඔහුට දෙමාපිය වචනයෙන් පිට යන්නට හැකි මඟක් වේදැයි නොදනිමි.

දින දෙක තුනක් ගත වුන තැනදී තේජාන් කතා කලද ඒ වෙනදා ලෙස නොවේ. මටද වෙනදා ලෙස හැසිරෙන්නට අමතකය. අපි ඔහේ මොනවදෝ අපහසුවෙන් කතා කලෙමු. ඔහු ඇමෙරිකාවට යන බවද සති කීපයකින් එන බවද කීවා මතකය. වෙනදා මෙන් ඒවා උනන්දුවෙන් අසා ඉන්නට සිත තුල ආසාවක් නැත. තේජාන් තීරණයක් ගෙන ඇතුවාට සැක නැත. නො එසේනම් ඔහුට ඒ ගැන කියන්නට තිබිණ.කිසිවක්ම නොකියා ඔහු මුණිවත රැක්කේ තීරණය මට ගැනීමට බාර කරමිනි. මගේ ආගම ඉදිරියට දමා ඈත්වන්නට හැකිනම් තව කුමන කතාද...

තවත් මාස කීපයක් ගත උන තැන අප අපට ආගන්තුකයින් වී සිටියෙමු. ඔහුද දෙමාපිය බසට අවනත වන්නට ඇත. මම අමාරුවෙන් වුව හිත හදා ගන්නට උත්සාහ දැරුවෙමි. අයෝමි සැබවින්ම දුක් වූවාය.එහෙත් මම ඈට දොස් පැවරුවේ නැත. ඇය පැතුවේ මගේ යහපතය.මේ උන සිදුවීමට ඇය වගකිවයුතු නොවේ…සියල්ල හීනයක් මෙනි. නින්දේදී දුටු සුන්දර ලොව උදයේ ඇස් අරින කල අතුරුදහන් වූවා සේය..

ඉතින්...අහම්බෙන් ඇරඹුන මගේ කුළුඳුල් ආදර අන්දරය එතැනින් අවසාන වූයේ මාස දෙකකට සීමා වූ  ප්‍රථම ප්‍රේමයක නටඹුන් පමණක් මට ඉතිරි කරමිනි.

ප ලි.

තේජාන්ගෙත් මගෙත් මේ පලහිලව්ව අයෝමිත් රවීත් ඇරෙන්නට වෙන කිසිවෙකුත් දැන උන්නේ නැත. වෙනතක් තියා මගේ අම්මාවත් ඒ ගැන දන්නෙ නැත. මේ සිදුවීමට දැන් වසරකට ආසන්නය. මම හිත හදා ගත්තෙමි. පිරිමියෙකු කෙරෙහී ඇදී නොගිය මගේ හිත ඇසින් නොදැක දුර රටක උන් තේජාන්ට ඇදී ගියේ කුමකටදැයි නොදන්නෙමි. තේජාන් මීට දවස් කීපයකට කලින් මෙරටට පැමිණ දුරකතන ඇමතුමක්වත් නොදී මගේ රැකියා ස්ථානයට මා සොයා ආවේය. ඔහුව හොඳින් දැක්කේ එදාමය. මම පුදුමයෙන් තිගැස්සී උන්නෙමි. ඇස් පිල්ලන් නොගසා විනාඩි කීපයක් මා දෙසම බලා උන් තේජාන් ගැඹුරු හුස්මක් ගන්න හඬ ඇසුණි.. අපි මොහොතක් කතා බහ කෙරුවෙමු. එදින හවස යළිත් ඔහු මට දුරකථනයෙන් කතා කලද මම ඇමතුම ගත්තේ නැත.යලි යලිත් හිත රිදවා ගන්නට මට උවමනාවක් නැත.





27 September 2012

අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය...





" ළිහිණි....උඹට අරවා නැද්ද ?...."

" කොරවද ?..."

" හැඟීම් දැනීම් කියන ඒවා...."

" ඇයි සැකද නෑ කියලා ?..."

" ඒ හින්දනේ අහන්නෙ..."

" මගේ හැඟීම් දැනීම් දැනෙන්නෙ මට..උඹට නෙමේනේ...."

" අනේ...පලයන් යන්න...හැඟීම් දැනීම් තිබ්බ නම් කොල්ලෙක්වත් හොයා ගන්නෙ නැතුව ඔහොම ඉන්නවද ?...."

" ආ...ඒකද මේ උඹ මගේ හැඟීම් දැනීම් ගැන අහන්නේ ?... මේක හරි වැඩක්නේ….දැන් බලාගෙන ගියාම මටත් වඩා ඒ ගැන අමාරුව තියෙන්නේ උඹටනෙ....මාරයි ආ...."

" විහිළු නෙමේ...දැන් ඔහොම උන්නා ඇති...සෙටල් වෙයන්...නාකි උනාම බැඳින්නයෑ... දැන්වත් අරකට හා කියපන්.... මම මේ කියන්නෙ උඹේ හොඳටමයි….."

" මගේ හොඳට නෙමේ...උඹේ තියෙන ඊරිසියාවට...උඹ වැටුන වලේ මාවත් වට්ටන්න හදන්නෙ ඒකයි. මගේ නිදහසට සීමා පනවන්න උඹට මාර උවමනාවක් තියෙන්නේ නේද...."

" අනේ...වැඩේමයි...ඔය නිදහස කන්නද බං....මම කිව්වේ ඇත්ත...හිතපන් ඒ ගැන මෝඩියක් නොවී ...."

මගේ දයාබර යෙහෙළිය අයෝමි නිතර නිතර මා ගැන සොයා බලා වෙහෙසුනේ මගේ ජීවිතය පිළිවෙලක් කරන්නට බව මම දැන උන්නෙමි. ඇය මට යෙහෙළියකට වඩා දයාබර මවක් වැනිය. මගේ සිත අකුරක් නෑර කියවීමේ හැකියාව ඇය සතුය. දුර රටක හිඳ හෝ මගේ දුක සැප හැම විටකම සොයා බලන්නේ ඒ නිසාමය. ගැලපෙන කෙනෙකු සොයා දී මා විවාහ කොට දෙන්නට ඈ අපමණක් වෙහෙසෙයි. වෙනතක් තබා මගේ මවට නැති උවමනාවක් ඈට ඇති සේය.

ඇගේ මේ සොයා බැලීම් කිසිදු විටක මට වදයක් නම් වූයේ නැත. ඕනෑම කෙල්ලක මෙන් නිසි වයස ආ කල විවා පත්වී යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට මමද බලාපොරොත්තුව උන්නෙමි. සැරින් සැරයේ හිතට ආදරය ඉබිකම් කල විටදී මඟ හැර ගියේ මගේ ඉලක්කයින්ට යාමේදී ඒවා බාධාවක් වේයැයි සිතූ නිසාමය. කිසිදා කිසිවෙකුගෙන් නොලැබුන ආදරය සිත්සේ විඳ ගන්නට උවමනා වීද මම සිත් කොනක ඒ බලාපොරොත්තු තබාගෙන උන්නෙමි. බොහෝ සේයින් නිහඬ චරිතයක් වූ නිසාම අයෝමි හැරෙන්නට අනෙක් යෙහෙළියන් ඒ ගැන තැකුවේද නැත. නමුදු අයෝමි ඒ ගැන  නිතර අවධානයෙන් පසු උනාය.

" තාම බැරි උනාද ?..."

" මොනාද ? ..."

" කොල්ලෙක් හොයා ගන්න..."

" මට පිස්සුද බං කොල්ලො හොය හොයා ඉන්න... වෙන වැඩ නැතුවටද ….."

" පිස්සුවට නෙමේ....ඕන නිසා...අපි හැමෝටම  ඒ පැත්ත හරි යද්දී උඹට විතරක් ඔහොම ඉන්න බෑ.. ඔය ඔෆීස් එකේවත් නැද්ද හිතට හරි යන එකෙක් ?..."

" උඹ හිතුවද මම අර මොකාද වගේ කොල්ලො දිහා බලාගෙන ඉන්න එකෙක් කියලා...ඒකා හරියනවද...මේකා හරි යනවද කියලා හිත හිතා ඉන්න...පිස්සුද අයෝමි උඹට ? ... පාඩුවෙ ඉන්න දීපංකො බං වද නොදී...."

ඇයට විහිළු කරමින් කතාව මඟාරින්නට මා සතු හැකියාව බොහෝය...

හැම පැයක්ම මට දැනුනේ තප්පරයෙන් දයෙන් පංගුවක් ලෙසය. සිත තුල එතරම්ම කලබලයකි. කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නදැයි නොතේරෙන සිතිවිලි පඹගාලක මම පැටලී උන්නෙමි. ඒ අයෝමි නිසාමය. සති ගනන්...මාස ගනන් එක දිගට එකම දෙය කියවූ ඇය ඉදිරියෙහි මම පරාද වී සිටියෙමි. තමන්ට අති මහත්වූ ජයග්‍රහණයක් ලද කලෙක මෙන් ඇය සතුටට පත්වී උන්නාය.

" අම්...මෝ...ඇති යාන්තම්...මමයි රවියි බයේ උන්නේ උඹ ඒකටත් බැග් ගායි කියලා...."

තමන්ගේ උත්සාහයෙන් සාර්ථක ප්‍රථිපල නෙලා ගත්තියක සේ ඇය සැනසුනාය.එතරම් දෙයක් සිදු උනාදැයි මම මොහොතකට සිතුවෙමි.

" රවීන්ද්‍ර " යනු අයෝමිගේ ආදරණිය සැමියාය. මීට වසර තුනකට පමණ පෙර විවා පත්වූ ඔවුන් දෙදෙනා කැනඩාවේ ස්ථීර පදිංචිය සඳහා පිටත්ව ගියහ. ද්‍රවිඩ ජාතිකයෙකු වූ රවීන්ද්‍රත් අයෝමිත් අතර තිබූ සම්බන්ධයට රවීන්ද්‍රගේ නිවසින් කෙසේ වෙතත් අයෝමිගේ නිවසින් නම් බුරුලක් ලැබුනේම නැත. ඉතා යහපත් ගති ගුණ ඇති රවීන්ද්‍රව කිසි ලෙසකින් හෝ අත්හැරීමට අයෝමි උත්සාහ ගත්තේද නැත. පණට පණසේ ආදරය කල ඔවුන් දෙදෙනා අන්තිමේදී අයෝමිගේ නිවසේ අයගෙ දැඩි විරෝධය මැද හිතුමතේට විවාහ වූහ. තව දුරටත් සමාජයෙන් එල්ල වන චෝදනා වලින් ඈත් වීම පිණිස ඔවුන් දෙදෙනා තෝරා ගත්තේ මෙරටින් පිට වීමයි. එසේ වූ නමුදු මෙරට උන්නා සේම මා ගැන සොයා බලන්නට ඇය කිසිවිටකත් අමතක නොකලාය.

විවාහ වීමට මට කාලය පැමිණ ඇතැයි තීරණය කලේද මගේ යෙහෙළිය අයෝමි විසින්මය. ඒ මා හට ඇති අති මහත්වූ සෙනෙහස නිසා බව මම දනිමි.මට සුදුසු කෙනෙකු සොයා ගන්නට මා උනන්දු නොවන තැන්හී ඇය ඒ ගැන සොයන්නට වෙහෙසුනාය. දන්නා කියන අයගෙන් එසේ සොයා බලන තැන්හී ප්‍රථිපලයක් ලෙස " තේජාන් " සම්බ වී තිබුනේය. රවීන්ද්‍රගේ මිතුරෙකුගේ මිතුරෙකු වන තේජාන් හට මාව ජෝඩු කරවන්නට අයෝමිත්..රවින්ද්‍රත් උනන්දු වූ තරම....

දිනපතාම ලැබෙන ඇගේ දුරකථන ඇමතුම් වලින් වැඩි කොටසක් වෙන්වූයේ තේජාන්ගේ විස්තර සඳහාය.

"කොල්ලා සිරා....උඹට හොඳටම ගැලපෙනවා ළිහිණියෝ..."

" උඹට සිරා වෙලා විතරක් බෑනේ...මොකද ඌව බඳින්නේ උඹ නෙමේනෙ..."

" උඹ ඔහොම කියන්නේ ඌ ගැන දන්නෙ නැති  හන්දනේ.... දැනගත්තට පස්සෙ මට පිං දෙයි..."

" වැඩේමයි...."

" වැඩේමයි නෙමේ...මම කියන්නෙ ඇත්ත..."

" කොහොමත් මම ප්‍රොපෝසල් වලට කැමති නෑ බං. කොහොමද අඳුනන්නේ නැති එකෙක්ව බඳින්නේ ?..."

" මෝඩියේ...උඹ දන්නෙ නැති උනාට අපි ඌ ගැන හොයලා බැලුවා. එහෙම කොහෙවත් ඉන්න එකෙක්ව අපි උඹට හොයනවද...තේරුම් ගනින්කෝ බං..."

" අයෝමි මේක විහිළුවක් නෙමේ...මට බයයි...ඕනෙ නෑ බං මට ඕවා..."

මේ බලපං ළිහිණි...ඌ හොඳ එකා. ඉස්සර එෆෙයාර්ස් තියෙන්න ඇති. ඒවා හැම කොල්ලෙක්ටම පොදුයිනෙ...ඒත් දැන් නෑ. උඹේ ෆෝටෝ ටික දැක්කම ඌ කැමති උනා උඹ ගැන දැනගන්න...වෙන එකක් තියා ගෙදරටත් ඒ ගැන කියලා...ආන්ටි මට කෝල් කලත් එක්ක...."

" අනේ මන්දා බං මේවා...."

" අපි උඹට වරදක් කරන්න හදන්නෙ නෑනේ. ඌව ඉස්සරවෙලා අඳුනගනින්....කොල්ල උඹේ නම්බර් එක ඉල්ලුවා...මම දුන්නා...කතා කලොත් කතා කරපන්.."

" ටිකක් කතා කලා කියලා මනුස්සයෙක්ව අඳුනගන්න පුළුවන්ද අයෝමි ?..."

" ළිහිණියෝ...ඔහොම නෙමේ අවුරුදු දහය දොළහා ලව් කරලා බඳින උන් උනත් අන්තිමේදී රන්ඬු වෙලා දෙපැත්තට වෙන වෙලාවල් තියෙනවා. ඒක හන්දා අංජනම් බලන්නෙ නැතුව හිටපං...අනික මේ මම උඹට හෙට උදේට ඌව බඳින්න කිව්වේ නෑනෙ...ටිකක් අඳුර ගනින්. ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවා නම් අයින් වෙමු...ඉවරයිනේ...... "

"ඒ උනාට අයෝමි …....."

" හරි ...එහෙමනම් උඹ මේක අත ඇරපන්...උඹට හරියි කියලා හිතෙන එකෙක්ව හොයා ගනින්...අපි ඒක කරමු..."

ඇගේ තර්කයන් බිඳින්නට මට හැකියාවක් තිබුනේ නැති නිසාවට මම අන්තිමේදී නිහඬ උනෙමි.ඒ ඇයවත් රවීන්ද්‍රවත් මට වරදක් නොකරන බව දන්නා නිසාමය...

ගත වූයේ දින කීපයක් පමණි...මගේ දුරකථනයට ආ නාඳුනනා ඇමතුමකි.

" හෙලෝ....කුඩ් අයි ස්පීක් ටූ මිස් ළිහිණි ...."

" යේර්ස්...ස්පීකින්..."

" හේයි...ළිහිණි..මම තේජාන්...."

ඒ හඬ ඇසුනු සැනින් මම තිගැස්සුනෙමි



මතු සම්බන්ධයි........

20 September 2012

ඔව්..මං දිනලා තමයි



මිනිස්සුන්ගේ ජීවිත ගොඩ නැගෙන්නෙ හීන..එහෙමත් නැත්තම් බලාපොරොත්තු එක්ක. හරි හමන් ගෙයක් දොරක් නැතුව..ඔහේ මොනා හරි බඩට විසි කරන් බඩ ගින්දර නිවාගෙන .... අද්දන බස් කෝච්චි වල එල්ලීගෙන මහ පාරවල් වල රස්තියාදුවෙලා රස්සාවක් කරගෙන..මෙන්න මේවායි කියන්න බැරි තරම් අඩුපාඩුකම් මැද්දෙ ඉඳන් උනත් මිනිස්සු බලාපොරොත්තු තියෙනවා පේන්නෙවත් නැති අනාගතයක් ගැන...

එහෙමත් කලාතුරකින් දවසක ඉටු වෙන ඔය වගේ බලාපොරොත්තුවක කෙළවර අච්චර කාලයක් විඳපු දුක් කන්දරාවේ මතක තැවරිලා තිබුනත් එදාට ඒ දුක් කන්දරාව අමතක කරන්න පුළුවන් තරම් සතුටක් ඒ අය විඳිනවා. කොටින්ම කිව්වොත් විඳවාපු ජීවිතේ විඳින්න ගන්නවා...

ඒ වගේම දුක මහා ගොඩක් තැවරිච්ච විඳවාපු අතීතයක් මටත් තියෙනවා. තාත්තා කෙනෙක්ගේ ආදරය..රැකවරණය මොකද්ද කියලාවත් නොදැන...අම්මත් ලඟ නැතුව , අනුන්ගේ ගෙදර හැදී වැඩිලා, තනියම හිතට වීරිය අරගෙන ඉගෙන ගෙන ...අද දක්වාම මම ආපු මේ ගමන කොහෙත්ම ලේසි එකක් නම් නෙමේ...

කඩාගෙන වැටුන වෙලාවෙදී නාය ගිය මහා කන්දක් වගේ බිමටම කඩා වැටුනා. ආයෙමත් ටිකින් ටික නැඟිට්ටා. අත දෙන්න කවුරුත්ම නැති වෙලාවේ කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව තනියම හීල්ලුවා. මේ හැමදෙයක්ම තනියම කරගන්න මම ඔට්ටු වෙන හැටි දැක්ක මගෙ අම්මාටත් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න බැරි උනා. අන්තීම කාලෙදී අම්මත් මට තල්ලුවක් දුන්නේ " ආයේ කවදාවත් උඹ වැටෙන්න එපා """  කියන්න වගේ..

මට උන්න එකම සහෝදරයා තනියම දුර ගමනක් යනකොට මම...එක අඩියක් ඉස්සරහට තියා ගන්න බැරුව දුක් වින්ඳා. ඒත් එයා ඒ දුක දිහා හැරිලාවත් බැලුවේ නෑ. ඒත් මගේ ලඟම ඉඳන් මාව ඉස්සරහටම තල්ලු කරන්න එකම එක යාළුවෙක් උන්නා. ඒ තමා " අයෝමි ".හෙවනැල්ල වගේ ඒකා උන්නා මගේ ලඟම. උසස් පෙළ ලියලා හිතුවාටත් වඩා හොඳට විභාගේ පාස් උනාම " උඹ මේ ෆීල්ඩ් එකේ යමන් ළිහිණි. ඒක තමා හොඳම තීරණය.. " කියලා මාව මේ ෆීල්ඩ් එකට තල්ලු කලෙත් අයෝමි… කැම්පස් යන්න ඕනෙ කිව්ව ගමන් අම්මට මතක් උනේ " සල්ලි ". ඇත්ත. සල්ලි නැතුව කොහොමද ඉගෙන ගන්නේ ...? ඒත් අයෝමිගේ ගෙදරින් ලැබිච්ච උදව් එක්කම මම ඉගෙන ගත්තා. ඒකට අයෝමියට පිං දීලා මදි.

ඉස්සර ඉස්තෝප්පුවේ තිබ්බ වේවැල් පුටුවේ කට්ට කරුවලේ ඉඳගෙන මම ඉකි ගගහා අඬනවා. සමහර වෙලාවට මට බය හිතුනා මේ ගමන යා ගන්න බැරි වෙයිද කියලා. ඒත් අතර මඟ හැරෙන්නේ නැතුව කොහොමෙන් කොහොම හරි මම මගේ ගමන ටිකෙන් ටික ආවා.හැමදාම කෝච්චියේ කොළඹ යන්න එන්න යන වියදමුත් එක්ක මහා දෙයක් කාල බඩ පුරෝගන්න බැරි හන්දම කැන්ටිමෙන් වඩයක් අරන් කාලා ප්ලෙන්ටියකින් මගෙ බඩ පුරෝගෙන තියෙනවා. එකම ඇඳුම සතියකට කීප සැරයක් ඇඳලා තියෙනවා. ඒත් මට කවදාවත්ම ලැජ්ජාවක් නම් දැනුනේ නෑ. මොකද..මම මගේ තත්වය හරියට තේරුම් අරගෙන උන්න නිසා..

මාස්ටර් (MSc ) එක කරන්න මගේ තිබ්බේ හීනයක්.ඒත් ඒ හීනය කවදාවත්ම ඉටු කර ගන්න ලැබෙන්නේ නෑ කියලා මම දැනගෙන උනා. ලක්ෂ ගානක් මම කොහෙන් හොයන්නද...කජු ඇටවත් කොස් ඇටවත් නොවුන ස..ල්..ලි.

දවසක් හවසක ඉස්තෝප්පු කෑල්ලේ ඉඳගෙන මං අම්මා එක්ක මේ ගැන කතා කලා. දන්නෙම නැතුව මම අඬනවා. එක වචනයක්වත් කතා නොකර අම්මත් අහගෙන ඉන්නවා.මගේ මේ උනන්දුව අම්මව පුදුම කරන්න ඇති. මම යන ෆීල්ඩ් එක ගැන අවබෝධයක් නූගත් මගේ අම්මට තිබ්බේ නෑ. ඒත් තමන්ගේ දුව ඉංජිනේරුවෙක් කියන එක විතරක් එයා දැනගෙන උන්නා. ඒ තැනට එන්න මම විඳපු දුක් එයා ඇස් දෙකෙන් දැකලා තිබුනා.

" අම්මේ..මට මේක කරන්නම ඕනේ...අපි දෙන්න වෙනුවෙන්..ප්ලීස් අම්මේ බෑ කියන්න නම් එපා.. අර මගේ නමට තියෙන ඉඩක් කෑල්ල විකුනලා මට මාස්ටර් එක කරන්න දෙන්න. මං කවදා හරි දවසක ඉඩම් කෑල්ලක් අරගන්නම්....දැනට මට මේක කරන්නම ඕනේ අම්මේ...."

අම්මගෙ කකුල් දෙක ලඟ වැටීගෙන මං ඇඬුවා මතකයි. කවදාවත් දැනෙන්න ආදරේ නොපෙන්නුවත්...ඒ අම්මා කෙනෙක්. දරු සෙනෙහස හිතේ කොතැන හරි හිර වෙලා තියෙන්නෙ ඇති. ඒ සෙනෙහස මගේ කඳුළු ලඟ දිය වෙන්නත් ඇති. අම්මා වචනයක්වත් නොකීවට මම දැක්කා ඒ ඇස් දිලිසෙනවා..

අම්මටයි කියලා තිබ්බ එකම වස්තුව ඔය ඉඩම් කෑලි දෙක විතරමයි. එකක් අයියගේ නමටත් අනික මගේ නමටත් ලියලා තිබ්බා. කරන්න කිසිම දෙයක් නැති තැන මගේ නමට තිබ්බ අර ඉඩම් කෑල්ල විකුනලා අරගත්ත සල්ලි වලින් මම MSc එක කරන්න ලැහැස්ති උනා.. ඒ ඉඩම විකුනාපු දවසෙදි මගේ සහෝදරයා අම්මට කෝල් කරලා කියලා තිබ්බ කතාව මට දරා ගන්න බරි උනා..

" තියෙන ඉඩම් විකුනලා මගේ ලඟ වැටෙන්නද දන්නෙ නෑ බලාගෙන ඉන්නේ..."

ඔය වචන ටික මට දැනුනේ යවුලකින් මගේ පපුව හරි මැද්දෙන් හාරනවා වගේ. ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ජීවිතේ මේ වගේද කියලා හිතෙද්දී මගේ යටි හිත මට කිව්වේ එකම එක දෙයයි. " උඹ දවසක තැනකට එනවාමයි. ඒ හින්දා ඉවසාපන්.." 

මගේම සහෝදරයාත් මට එදිරිවාදිකම් කරද්දී මට තදින්ම උවමනාවක් දැනුනා දවසක තැනකට එන්න ඕනෙමයි කියලා..ඒ තැන දිනා ගන්න මම හරියට මහන්සි උනා. දුක් වින්ඳා...හදවතින්ම සතුටු වෙන්න කාලයක් එනවාමයි කියන තද විශ්වාසයේ උන්නා. කිසිම ඇයි හොඳයියක් නැති අපි දෙන්නා හේතුවක් නැතුවම විරසක වෙලා. අම්මා ඉන්නේ අයියගෙ පැත්තෙද මගේ පැත්තෙද කියන්න මම දන්නෙ නෑ. ඒත් අම්මව රැකබලාගන්න එකේ සම්පූර්ණ බර මම මගේ කර උඩට අරන් තියෙනවා. දැනට අම්මා අයියා ලඟ උන්නත් එයාගේ සේරම විය හියදම් දරන්නෙ මම..ඒක මට සතුටක්....

දැන් මට අවුරුදු 25 ක් අන්තෙටම දුක් විඳපු...එකම ඇඳුම හෝද හෝදා පට්ට ගහපු..මම අද වෙද්දී සැලකිය යුතු මට්ටමකට ඇවිත් ඉන්නවා කියලා මට හිතෙනවා.ලෝකයම පිළිගත්ත ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවෙක් විදියට රස්සවක් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ රස්සාව හන්දම ඉහල මට්ටමේ වැටුපක් ගන්නවා.මගේම ගෙයක් නැතත් අනුන්ගේ ඇනෙක්සියක හරි බොහෝම නිදහසේ මගේ පාඩුවේ ජීවත් වෙනවා..

අර මම මුළින්ම කිව්වා වගේ සතුට විඳින්න පුළුවන් මට්ටමකට ඇවිත් ඉන්නවා. තව ඉටු කරගන්න තියෙන බලාපොරොත්තු බොහෝම ටිකයි. පුංචි ඉඩම් කෑල්ලක් අරගෙන මගේම කියලා ගෙයක් හදා ගන්න එක....හැමදාම අද්දන බස් වලට දුවලා මහන්සි හන්ද මටයි කියලා පොඩි වාහනයක් ගන්න එක....ඒ හීන තවමත් මගේ හිත අස්සේ දිළිසෙනවා. මේ ආවා වගේම ඉතිරි දුරත් යන්න පුළුවන්...මම ඒක දන්නවා... එදා විඳවපු ජීවිතේ අද වෙද්දී විඳිනවා.. දැන් මට මෙහෙම හිතෙනවා.

 ඔව්...මම දිනලා තමයි...

13 September 2012

පියොදෝර් දොස්තොයෙවුස්කි- Fyodor Dostoevsky


මිහයිල් හා මරියා දොස්තයෙවුස්කි යුවලට දරුවෝ හත්දෙනෙක් වූහ. මොස්කව් නුවරදී  පියොදෝර්  දොස්තොයෙවුස්කි උපත ලැබුවේ එම පවුලේ දෙවෙනි දරුවා ලෙසිනි. 1821 නොවැම්බර් මස 11 දාය .


රුසියාව එකල දේශපාලනීක හා සාමාජයීක වශයෙන් පිරිහී යමින් තිබිණ. වෛද්‍යවරයෙකු වූ පියොදෝර් ගේ පියා මොස්කව් නුවර දුප්පතුන් සඳහා වූ රෝහලක සේවය කලේය.ඔහු බිරිඳ සහ දරුවන් සමඟ පදිංචිව සිටියේ රෝහල් බිමේ වූ නිවසකය. එයට යාබදව තවත් වැදගත් තැන් තුනක් පිහිටා තිබිණ. ඒ අනාත නිවාසයක්...පිස්සන් කොටුවක් හා මරණ දඬුවම් ලබන්නන්ට වෙන්වූ සොහොන් බිමකි.

පියොදෝර් ගේ සිතේ දුකට හා පීඩාවට පත් අසරණයින් කෙරෙහි සානුකම්පිත හැඟීම් ඇති කලේ මෙම පරිසරයයි. දෙමාපියන් විසින් තහනම් කර තිබුනද , ළමා කාලයේදී පියොදෝර් රෝහල් බිම පුරා ඇවිද්දේය. වත්ත පුරා අව්ව තපිමින් සිටි රෝගීන් සමඟ ඔවුන්ගේ ජීවිත කතාවලට ආශාවෙන් සවන් දුන්නේය.පියොදෝර්ට වයස අවුරුදු 16 වන විටදී (1837 දී )පියොදෝර්ගේ මව ක්ෂය රෝගයෙන් මිය ගියාය.

සාන්ත පීටර්ස්බර්ග් හී හමුදා ඉංජිනේරු පාසල වෙත පියොදෝර් ගියේ ඉන් පසුවය.මේ වන විය බේබද්දෙකු බවට පත්වී සිටි පියොදෝර් ගේ පියා ද මිය ගියේය. (1839) ඉංජිනේරුවකු වීමට උගෙන ගන්නා අතරම පියොදෝර්ට සාහිත්‍යය නිර්මාණ කියවීමටද අවස්ථාවක් ලැබුනේය.ඔහු වඩාත් ප්‍රිය කලේ වික්ටර් හියුගෝ , විලියම් ශේක්ස්පියර් යන අගයේ නිර්මාණවලටය.

ඉංජිනේරු පාසලෙන් පිටවූ පසු ඔහු බැල්සැක්ගේ Eugenie Grandet නම් ප්‍රංශ නවකතාව රුසියන් බසට පරිවර්ථනය කලේය. එය එතරම් ඇගයීමට ලක් නොවුනද, පියොදෝර් විසින් ඊ ලඟට ලියන ලද ඔහුගේම නිර්මාණයක් වූ " PoorFolk (දුප්පත් මිනිස්සු)නම් කෙටිකතාව සාහිත්‍යය විචාරකයින්ගේ අවධානය යොමු කරලන්නට සමත් විය.

1848 දී යුරෝපයේ පැතිර ගිය කැරලි වලින් සාර් රජු භීතියට පත් විය. විප්ලවකාරී නිදහස් අදහස් දැක්වූ සියළු දෙනා රජය විසින් හිරභාරයට ගන්න ලදි. ඒ අනුව පියොදෝර් දොස්තොයෙවුස්කි හට මරණ දඬුවම නියම විය. හිම වැටෙන උදෑසනක ඔහු ඇතුළු කීප දෙනෙක් එළිමහනේ පේලියට රඳවන ලද්දේ වෙඩි තබා මරා දැමීම සඳහාය. එහෙත් වාසනාවට මෙන් අන්තීම මොහොතේදී මරණ දඬුවම වෙනස් කෙරිණ. පියොදෝර්ට    බරපතල වැඩ ඇතිව අවුරුදු හතරක සිර දඬුවමක් නියම කරන ලදි.

1854 දී සිර ගෙදරින් නිදහස්ව ආ පියොදෝර්ට මරියා දිමිත්‍රියෙව්නා නම් කාන්තාවක මුණ ගැසී ඇයව විවාහ කර ගන්නා ලදි. නමුත් 1864 දී ඇයගේ සහ පියොදෝර්ගේ සොහොයුරාගේ අකල් මරණ වලින් දැඩි කම්පාවට පත් වූ ඔහු මත්පැනට සහ සූදුවට ද යොමු විය.
                                          අන්නා ස්නිට්කිනා 

1867 වර්ෂයේදී අන්නා ස්නිට්කිනා නම් තරුණියක් මුණ ගැසී ඔහුගේ ජීවිතය තුල පෙරළියක් ඇති කල නිසා ඔහු දෙවෙනි වර ඇයත් සමඟ විවාහ විය. වෘත්තියෙන් ලඝුලේඛිකාවක වූ ඇය ඔහු කියවූ කතා වේගයෙන් සටහන් කර ගත්තාය. ඔහුගේ ලේඛන දිවියේ සාර්ථකම අවදිය එය විය.

Crime and Punishment (අපරාධය හා දඬුවම ) , The Idiot (මෝඩයා ) , The Karamazov Brothers (කරමසොව් සහෝදරයෝ ) , The House Of the Death & theGambler (සූදූ අන්තුවාඔහු ලියූ ප්‍රකට නවකතා කීපයකි.

ඔහුගේ ජනප්‍රිය කෙටි කතා අතර White Night (ධවල රාත්‍රිය) , The Honest  Thief (අවංක හොරා ) , The Little Hero ( පුංචි වීරයා ) ආදී බොහෝ කෙටි කතා වේ.

පෙණහැල්ලෙ ඇතිවූ ලේ ගැලීමකින් පියොදෝර් දොස්තොයෙවුස්කි මියගියේ 1881 දීය. ඔහු හා ශ්‍රේෂ්ඨ ලේඛක  ලියෝ ටොලෙස්ටෝයි කිසිදිනක මුහුණට මුහුණ හමුවී නැති අතර , ටොලෙස්ටෝයි ලියූ ඇනා කරලිනා කෘතිය පියොදෝර් ආශාවෙන්ම කියවූ පොතක් බව සඳහන්ය. එමෙන්ම ලියෝ ටොලෙස්ටෝයි මිය යද්දී ඔහු අවසාන වරට කියවීම සඳහා ලඟ තබාගෙන සිට ඇත්තේ පියොදෝර්ගේ කරමසොව් සහෝදරයෝ නම් නවකතාව බව ද සඳහන්ය

10 September 2012

සත්‍ය ප්‍රේම භෘංගරාජයා ළිහිණිව මැරුවා....


ප්‍රශ්ණ හිතට ආවම එහෙමත් නැත්තම් විසඳන්නම් බැරි ප්‍රශ්ණයක හිර උනාම , එහෙමත් නැත්තම් ඒ ප්‍රශ්ණය හන්දාම සමාජයට මූණ දෙන්න බෑ කියලා හිතුනම මිනිස්සු කරන ලේසිම දේ දීවි නසා ගැනීමනෙ...

කියද්දී නම් හරිම සිම්පල් උනාට මැරෙන එකානෙ දන්නෙ ඒකෙ අමාරුව….මැරෙන එකත් හිතන තරම් ලේසි වැඩක්ද...පණ යන වැඩක්නෙ..

තරුණ අය වැඩියෙන්ම මැරෙන්න හදන්නෙ " ලව් " කේස් හින්දනෙ. මට මතකයි අපේ ගම් පලාතේ එක කාලයක් එක දිගටම ඔය " ලව් " කේස් හන්දා කීප දෙනෙක් මැරෙන්න හැදුවා.. චුට්ටක් කොල්ලො කෙල්ලො. අපේ භාෂාවෙන් කියනවානම් අර සිගරට් එකක් තරම්වත් උස නැති උන්..ගෙදරට අහු උනාම..නැත්තම් ඉස්කෝලෙට මාට්ටු උනාම...එහෙමත් නැත්තම් වයස හරස් උනාම මුන් ටික කලේ දඩි බිඩි ගාලා මැරෙන්න හදපු එක. ඒ විදියට කීප දෙනෙක් මැරුනත් එක්ක . මැරෙන්නත් එක එක ක්‍රම... ටොක් ඇට ( කනේරු ඇට වලට අපේ පැත්තේ කියන්නෙ ටොක් ඇට කියලා )කාලා චොකලට් කනවලු . තව අය එඬරු ඇට කනවලු.. සමහර අය ටොයිලට් හෝදන්න ගන්න " හර්පික් " වගේ දේවලුත් බිව්වලු...

කස්ටිය මැරෙන්න නම් හදන්නෙ මේ ලෝකේ  ඒ අයට වඩා ප්‍රේමවන්තයෝ නෑ කියලා හිතාගෙන වගේ. මැරුනම ඉතින් කාටද පාඩු....

මේක උනේ 2008 අවුරුද්දේ.එතකොට මම MSc එකට ඉගෙන ගන්නවා.රස්සාවක් කරන ගමන්ම ඉගෙන ගන්න එකත් පණ යන වැඩක් කියලා දන්නෙ එහෙම කරන අයනෙ.. උදේ පාන්දර කෝච්චියේ නැගලා හිටගෙනම කොළඹට ගිහින්...ඔෆීස් එකේ පණ කඩාගෙන වැඩ කරලා හවස 2 වෙද්දී ලෙක්චර්ස් වලට යන්න ඕනේ. ඊට පස්සෙ දාඩිය පෙරාගෙන කොටුවට ඇවිත් ,වව්නියාව වගේ දුර ගමන් යන  බස් එකක එල්ලීගෙන හිටගෙනම  ආයෙම වෙන්නප්පුවට එන්න ඕනේ.ඒ බස් එන්නෙ කඩාගෙන..බිඳගෙන වංගු කෙලින් කරගෙනනෙ..පැයක් යන්න කලින් වෙන්නප්පුවේ නෝමල් බස් වල එන්න උන්නොත් එන්න වෙන්නෙ රෑ ජාමේ... 

උදේ පාන්දර කෝච්චියට නඟින්න යන දුර අම්ම ගිහින් ඇරලුවත් ..හවසට නම් මලාට පාර පැත්තට එන්නෙ නෑ. මොකද ඒ දවස්වල ටී වී එකේ යන ප්‍රවීණට අපේ අම්මත් වහ වැටිලා උන්නේ. මට හෙණ ගැහුවත් කමක් නෑ අම්මා නෝ හෙල්ලුන් ටී වී එක ලඟින්.. ඇස් වල කඳුළු පුරෝගෙන...හූල්ල හූල්ල ප්‍රවීණගෙයි බලාජි ගෙයි විකාර බල බල ඉන්නවා...මං පව් !

ඉතින් මම වෙන්නප්පුවෙන් බහිද්දී හවස හය හමාර විතර වෙනවා. එතන ඉදලා පාර මාරුවෙලා අපේ ගෙවල් පැත්තට තවත් කිලෝ මීටරයක් විතර ඇවිදින්නත් ඕනේ. මොකද ඒ වෙලාවට ඒ පැත්තට බස් නෑ. හැමදාම ත්‍රී වීල් වල යන්න කොහෙද සල්ලි.මහ කට්ටක් කාලනෙ ඉගෙන ගත්තෙත්. ඒක හන්දා ඒ කිලෝමීටරයත් පයින්ම තමා අදින්නේ.. හොඳම වැඩේ කියන්නේ ඔය පාරේ කනත්තක් තියෙනවා. මම යන්න ඕනෙ කනත්තත් පහු කරගෙන... ඔය කනත්ත ලඟින් කොච්චර එහෙට මෙහෙට ගියත් දවාලෙක ඇරෙන්න හවසවත්...රෑ වෙලාවත් ඒ පැත්ත පලාතේ බලන්නෙ නෑ මම.බයටම නෙමේ ඉතින්... හි හී.. පිරිමි පරාණයක් යනවා නම් මමත් ඉතින් අඩිය ඉක්මන් කරලා ඒ පස්සෙන් යනවා. ඒත් ඉතින් සමහර දවසට තට්ට තනියම...මේ කනත්ත කිට්ටුව ගෙවලුත් නෑ.( දැන්නම් තියෙනවා ) මක් කරන්නද කනත්ත තියෙනවා කියලා ගෙදර නොයා ඉන්නයෑ..

මේ කියන දවසෙත් ඔන්න මම බස් එකෙන් බැහැලා අර පාර දිගේ ඇවිදගෙන එනවා. වෙනදට වඩා ටිකක් රෑ වෙලත් එක්ක. හතටත් කිට්ටුයි. පාරේ ලයිට් තිබ්බත් ඉතින් කනත්ත.....වට පිට බැලුවත් පස්සෙන් වැටිලා යන්න කවුරුවත්ම නෑ. හොඳ හුස්මක් එහෙම අරගෙන ඔන්න මම ඇවිඳගෙන එනවා. කනත්ත කිට්ටු වෙද්දී ටිකක් බයයි බයයි වගෙත් එක්ක...පපුවත් නිකන් සීතල වෙනවා වගේ...දැන් මම කනත්ත ලඟටම ඇවිත්...එක පාරටම...

" අනේ...අයියෝ...කවුරුත් නැද්දෝ...අනේ මාව බේරගන්නකෝ...."

හිතා ගන්නකෝ  ලිහිණියා කොච්චර බය වෙන්න ඇද්ද කියලා. බය වැඩි කමටම මාව එක පාරටම නතරවුනා...පපුව ගැහෙනවා වගේම අත පයත් හීතල වේගෙන එනවා...ආයෙමත් අර සද්දේ...හරියටම කනත්ත මැද්දෙන්ම...

" අනේ...කවුරුත් නැද්දෝ... මට අමාරුයි..."

කකුල් දෙකට වැඳ වැඳ හරි පණ කඩාගෙන දුවන්න ඕනෙ උනත්...අනේ දෙයියනේ ! බයටම දුවනවා තියා ඇවිද ගන්නවත් බෑ .. මාව එකතැනම නැවතිලා..

මගේ වෙලාව එතරම්ම නරක නෑ. මට ඇහුනා මෝටර් සයිකලයක් එනවා. ඕනෙ කෙහෙල්මලක් කියලා පාර මැද්දට පැනලා බයික් එක නැවැත්තුවා. හොඳම වැඩේ කියන්නෙ බයික් එකේ ආපු පිරිමි ළමයා ඊට වඩා බය වෙලා. ඇයි දෙයියනේ මේ ගොම්මන් වෙලාවක කනත්ත ලඟදී කෙල්ලෙක් පාරට පැනලා බයික් එක නැවැත්තුවම බය නොවෙන එකෙක් ඉදීද....

" අනේ අයියේ...සො..සො හොනෙන් ස..සද්දයක් එනවා. මම බයවෙලා. මාවත් එක්කගෙන යන්න..."

බයටම මගේ වචනට ටැපලෙනවා..

 " මොන සද්දයක්ද...? කෝ කොහෙද..."

" අනේ මාව බේරගන්න කියලා කවුද කෑ ගහනවා අයියේ...අනේ අපි යමුකෝ...."

මට හොඳටම දාඩියත් දාලා.

පිරිමි ළමයා මාව බයික් එකෙ නග්ග ගන්න බයේද කොහෙද..මම රෝහිණීගෙ අක්ක කියලා හිතුවද දන්නෙ නෑනේ... ඔන්න ඔය වෙලාවටම ආයේමත් අර සද්දේ ඇහෙන්න ගත්තා..

" කවුරුත් නැද්දෝ..මට අමාරුයි...අනේ කවුරුත් නැද්දෝ..."

සද්දෙ ඇහුනා විතරයි පිරිමි ළමයාත් ටිකක් බය උනා. ඒත් ඒ එක්කලාම වාහනයක් එන සද්දේ ඇහුන හන්දම පිරිමි ළමයාත් ටක් ගාලා බයික් එකෙන් බැහැලා වාහනයට අත දැම්මා. ඔන්න දැන් ඒ වාහනයත් නැවැත්තුවා. කට්ටිය මෙතන ඉන්න හන්දා මගේ බයත් දැන් ගිහින්.... මම හිමීට යන්න හැදුවා..එතකොටම අර නවත්තපු වාහනයෙන් බැස්සේ මගේ යාලුවෙකුයි..එයාගෙ තාත්තයි. වෙච්ච සිද්දිය එයාලට කිව්වට පස්සේ යාලුවාගේ තාත්තා ටිකක් කනත්තේ ගේට්ටුව දිහාට ගියා... ගේට්ටුවත් ඇරලා තිබුනේ. ඔන්න එතකොටම ආයෙමත් අර සද්දේ ආවා...බොහෝම අමාරුවෙන්..කෙඳිරි ගගා...

යාලුවගේ තාත්තයි අර පිරිමි ළමයයි දෙන්න කතාවෙලා වාහනයේ තිබ්බ ටෝච් එකකුත් අරගෙන කනත්ත ඇතුලට යන්න හදන්නේ. මායි යාලුවයි පාරේ ඉන්නයෑ..ගියා අපි දෙන්නත් පිටි පස්සෙන්..දැන් නම් මගේ බයත් නැති වෙලා. ගේට්ටුව ලඟ ඉඳන් ටික දුරක් යද්දී එක පිරිමි ලමයෙක් වැටිලා ඉන්නවා අපි දැක්කා..යාලුවගේ තාත්තා දුවලා ගියා ලඟට...

" අනේ අංකල්..මම වස බිව්වා...අනේ මට අමාරුයි..මාව බේරා ගන්න..."

වස බීලා නේන්නම්..ඉන්න බෑ ගඳ..ලඟම " හාක්‍රොස් " බෝතලයකුත් තියෙනවා. යාලුවගේ තාත්තයි අර පිරිමි ලමයයි දෙන්න එක්ක එකතුවෙලා ඉක්මනින් මේ හාදයව ඉස්පිරිතාලයට ගෙනියන්න වාහනයට උස්සන් එනවා දැන්. මාත් එනවා පස්සෙන්..මේ කොල්ලා මාව දැක්ක ගමන් බෙල්ල මා දිහාට කරකවලා ගොර ගොර ගගා

"වඳින්නම් අක්කේ මාව බේර ගන්නකෝ..මට මැරෙන්න බෑ..."

" මැරෙන්න බය නම් මොකටද වහ බිව්වේ ..."

මටත් ඉතින් කට තියාගෙන ඉන්න බෑනේ..

" අනේ අක්කේ බිව්වට පස්සෙ තමා අමාරුව තේරුනේ...අනේ මාව බේරගන්න..."

කියලා කෑ ගහන්න ගත්තා. ඔය සද්දෙට දැන් එතැනින් යන තව කීප දෙනෙකුත්  ආවා. ඔන්න ඉතින් කට්ටිය එකතුවෙලා වස බීපු හාදයව  ඉස්පිරිතාලයට අරන් ගියාට පස්සේ මායි මගේ යාලුවයි අපේ ගෙවල් පැත්තට ඇවිදගෙන යනවා. එතකොටම මගේ මාමයි එයාගෙ පුතයි මෝට බයික් එකක කඩාගෙන ඇවිත් ලයිට් එළියට අපිව දැකලා " බරාස් " ගාලා බ්‍රේක් ගැහුවා අපි ලඟින්ම..මාමට දාඩියත් දාලා..ඒ අස්සෙන් මාමා හිනා වෙනවා

 " මේ වහ බීලා මැරුණ කියපු කෙනා අපූරුවට ඉන්නේ...අන්න අරහෙ අම්මා අඬ අඬා ගේ දෙක කරනවා...."

" මොක…..ක් වහබීලා...කවුද.... මම ? "

මාව කරකවලා අතෑරියා වගේ..වෙලා තියෙන දේ හිතා ගන්න පුළුවන්ද ...?

කලබලය අස්සේ පාරේ ගිය කවුරු හරි කනත්ත ලඟ වෙලා තියෙන සිද්ධිය ගැන අහද්දී එතැන හිටපු කෙනෙක් මගේ නමත් කියලා. අර පුද්ගලයා හිතලා තියෙන්නේ මම කනත්ත අස්සේ වහබීලා මැරිලා කියලා. යන ගමන පැත්තකින් තියලා අපේ ගෙදරට පණිවිඩය දෙන්න ගිහින්..මදෑ දීලා තියෙන පණිවිඩය...යස අගේට උන්න මාවත් මරලා...

ඒ විතරක්ද ..එක එක්කෙනා අපේ ගෙදරට මහ රෑ කෝල් කර කර මා ගැන අහන්නත් ගත්තා. පහුවදා උදේ මාව දකින අය " මෙන්න මැරිච්ච කෙනා අපූරුවට ඉන්නේ " කියන්න ගද්දී තමා එපා උනේ...මේ ඔක්කොම අර තමන්ගේ " ලව් " එක වෙනුවෙන් ජීවිතය පූජා කරන්න ගිය සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් හන්දනේ


ප ලි

( අර වහ බීපු හාදයා මැරුනෙ නම් නෑ.මොකද වස වැඩිය පෙවිලා නෑලූ. බෝතලය කටේ හලා ගද්දී පැණි රසකුත් එක්කම උගුර පිච්චිලා යන ගතියක් දැනුන හන්දා ඉතිරි ටික බීලා නෑ. ඒ හන්දම බේරිලා. වහ බීලා තියෙන්නෙ ඇයි දන්නවද..යාළු වෙලා උන්න ගෑණු ලමයා දවස් දෙකක් තිස්සේ තරහා වෙලා කියලා.. දැන් ඒ හාදයට ගමම කියන්නේ " හාක්‍රොස් සමන්ත " කියලා ….එතකොට මම මැරිලා ඉපදුන ළිහිණි)