මාව කියවන අය අතර..

28 August 2012

චාටර්ම දවසේ Cool උන හැටි



අඟහරුවාදා දවස කියන්නෙ මහම මහ චාටර්ම දවසක්. හේතුව තමයි සති පතාම පවත්වන weekly meetings  අඟහරුවාදා පැවැත්වීම. එක මීටින් එකක් නම් බැරුවයෑ. උදේ නමයේ ඉඳන් හවස හතර පහ වෙනකල් එක දිගට. කම්මැලි කමේ බැරුවා. වැඩිපුරුම ඉතින් " බොරු පොයිය " තමා. ඒත් ඉතින් මක් කොරන්නද...යන්නම වෙනවනෙ.. 

හැමදාම අඟහරුවාදා උදේට ඇහැරෙන්නෙ " අයියෝ අද නම් ඉතින් චාටර්ම දවසනෙ..." කියලා හිතින් කියාගෙනම. ඒ හන්දද කොහෙද දවස චා....ම තමා...

හැමදාම ඔෆීසියට ගොඩවැදුනම පුරුද්දට වගේ ඉන්ටර්නෙට් එකේ රවුමක් දෙකක් යනවා. Email…bbc ,cnn , gossip…ඊට පස්සෙ බ්ලොග්අදත් ඉතින් චාටර් දවස උනාට ඕවා හැම එකටම ඔළුව දාලා එන්න ගියා. ඒ අස්සෙ තිබ්බ අපේ ඩූඩ්ගෙ අද නම් මහ චාටර්ම දවසක් අප්පා කියන පෝස්ටුව දැක්කම හිතුනේ " අඩේ අප්පා මට වගේම අඟහරුවාදා ඩූඩ්ටත් චාටර් නෙ කියලා. එහෙම හිතාගෙන පෝස්ටුව කියවන්න ගත්තා. මම දන්නෙත් නැතුව ලැපා දිහා බලාගෙන මෙන්න මම හිනා වෙනවා. ඒකත් මහ සද්දෙන්..ලැජ්ජාවේ බැරුවා. කවුරුවත් දැක්කද කියලා හිතාගෙන වට පිටේ ඇහැ කරකවද්දී මෙන්න මට එහා පැත්තෙ ඉන්න බුවා අන්ද මන්ද  වෙලා මා දිහා බලාගෙන ඉන්නවා හරියට " ළිහිණිට උදේම අමු කැවිලද " කියන්නා වගේ. බුවාගේ මූණ දැක්ක ගමන් මට ඊට වඩා හයියෙන් හිනා ගියා. කාට කියන්නද ඉතින් මාව ඔය තරම් හිනැස්සුවේ ඩූඩ්ගෙ පෝස්ටුව කියලා. හැමදාම අඟහරුවාදාට ඩූඩ් ඔය වගේ පෝස්ටුවක් දැම්මනම් චාටර් අඟහරුවාදා නිකම්ම Cool කරගන්න තිබ්බා.

මට තියෙන කැතම කැත පුරුද්දක් තමා හිනා වෙන්න ගත්තොත් සෑහෙන වෙලා යනකල් හිනාව නවත්තගන්න බැරි එක. කිසිම ලෝබ කමක් නැතුව ඇති වෙනකල්ම හිනා වෙනවා.ඔෆීසියෙ මගෙ අවට ඉන්නෙ වැඩිපුරුම කොල්ලො ටිකක් හන්දා උන් කියන එක එක විහිළු කතාවලට මම ඉළ ඇදෙන කම් හිනා වෙනවා. කට්ටිය හිනාව නවත්තලා උනත් මට නම් එක මතක් කරද්දිත් නිකම්ම හිනා යනවා. සැරෙන් සැරේට. ඉස්සර බ්ලොග් කියවන්න විතරක් ආපු කාලේ අර දුමී ලියන දුමීගෙ කට කහන කතා කියවලා මොනතරමක් හිනා වෙලා තියෙනවද...

කොහොම හරි අද ඩූඩ්ගෙ කතාව හන්දා මටත් කතාවක් මතක් උනා. මේක අපේ ඔෆීසියෙ උන දෙයක්. මම රස්සාව කරන්නෙ තොරතුරු තාක්ෂණ අංශයට ආදාල ආයතනයකනෙ. සිංහලෙන්ම කියනවානම් IT කොම්පැනියක. වැඩිපුරම ඉන්නෙ කොල්ලො.. අපේ dev ටීම් එකේ උන්නා අරවින්ද් කියලා කොල්ලෙක්. මනුස්සයා ද්‍රවිඩ. ඉපදිලා තියෙන්නෙ ඉන්දියාවේ. ලංකාවට ඇවිල්ල තියෙන්නෙ ටිකක් ලොකු උනාම. සිංහල කතා කරන්න පුළුවන් උනාට හරි අමුතු සිංහල කතාව. ඒවා අහගෙන ඉඳලා ඉළ ඇදෙන කල් හිනා වෙන්න පුළුවන්. බුවා උන්නේ මට එහා පැත්තේ සීට් එකක නිසා අරවින්ද්ගෙ කතාවලට හිනා වෙලා ඒ හිනාව නවත්ත ගන්න මාර ගේමක් දෙන්නෙ මම.

අපේ සපෝට් ටීම් එකේ උන්නා දමිත් කියලා කොල්ලෙක්. අපිත් එක්කත් ෆිට්. අපරාදෙ කියන්න බෑ දමිත්ටත් තියෙනවා මට තියෙන ලෙඩේම. පොඩි දේටත් මටත් වඩා සද්දෙන් හිනා වෙන්නෙ... දවසක් දමිත් කම්මැලි කමට හයියෙන් ඈනුමක් අරලා. ඒ වෙලාවෙදි කොහොම හරි දමිත්ගේ " හක්ක " පැනලා දමිත්ට තරු පේන්න අරන්. දමිත් වේදනාවෙන් ඇඹරී ඇඹරී අතින් කියනවලු හක්ක පැනලා කියලා. සපෝට් ටීම් එකේ කට්ටියට ඒක තේරිලා නැතුව උන් හිනා වෙනවලු. කොහොම හරි පස්සෙ සිද්ධිය දැනගෙන එක්කෙනෙක්ගෙ උපදෙස් මත මොනවා හරි ජිල් මාට් එකක් කරලා ආයෙම හක්ක හරි විදියට දමාගෙන. (හැබැයි ඒක හරි භයානක වැඩක්. එක පාරක් එහෙම හක්ක පැන්නොත් දිගින් දිගටම එහෙම වෙන්න පුළුවන් )

දැන් ඔය කතාව dev ටීම් එකටත් ආරංචි උනා. මම උන්නෙ බර වැඩක. එකා දෙන්න දමිත්ව බලලා ඇවිත් හක්ක ගැන කතාව.. අරවින්ද්ට වැඩේ කිලික් නෑ. මට කිට්ටු වෙලා අහනවා මෙන්න මෙහෙම

අරවින්ද් - " ළිහිණි දමිත්ට මොන වෙලාද ? "

මම     - " දමිත් ගෙ හක්ක පැනලලු..."

අරවින්ද් දන්න හක්ක. මටත් එක අමතක උනානෙ. ඒක කිව්ව විතරයි මෙන්න බුවා දඩි බිඩියේ කාටද කෝල් කරනවා.කෝල් කරලා තියෙන්නෙ දමිත්ට..

අරවින්ද - " හේයි දමිත්, අක්කා කා එක්කද බන් පැනලා ගිහින් තියෙන්නේ ...? "

ඒක ඇහුන ගමන් අපි ඔක්කොටම හිනා. අපිට විතරක්ද දමිත්ටත් හයියෙන් හිනා ගිහින්. කොයිතරම්ද කියනවානම් හිනාව හන්දම දමිත්ගෙ හක්ක ආයෙම පැනලා. කට්ටිය දමිත්ව ලඟම තිබ්බ හොස්පිටල් එකකට අරන් ගිහින්.

අරවින්ද් හිතලා තියෙන්නෙ " හක්ක " කිව්වේ අක්කට කියලා. හක්ක පැන්නා කිව්වම බුවා හිතලා අක්ක පැනලා ගිහින් කියලා ....


පලි.
ඔන්න ඉතින් අඟහරුවාද චාටර් දවස උනාට අද නම් චාටර් උනේ නෑ. ඩූඩ්ගෙ කතාවෙන් පටන් ගත්ත හිනාව අරවින්ද්ව මතක් වෙලා තවත් අළුත් උනා. දවසම Cool තමා

24 August 2012

අයෝම පුරුෂයා -bodybuilder



මට මගේ සිරුර ගැන එතරම් පැහැදීමක් නැත.ඉදිරියට නෙරා ඇති තඩි බඩ ගෙඩිය දකිනා කල, මට මා ගැනම සිනා පහළ වේ.

" ඔය කෙහෙල්මල් බඩ ගෙඩිය අඩු කර ගන්න මොනා හරි කරන්නෝ අනේ...."

මගේ ආදරණීය බිරින්ඳෑගෙන් නිරතුරුව නැගෙන චෝදනාවෙන් මගේ කන් අඩි පදන් වී ඇතුවාට සැකයක් නැත.

සෑම මොහොතකම බිමට කඩා හැලෙන්නට වෙර දරන මේ පත ශරීර කූඩුව අතැර, ඒ වෙනුවට අයෝම පුරුෂයෙකුගේ වැනි හැඩි දැඩි මස් පිඬුවලින් නෙරා ආ සෞඛ්‍යය සම්පන්න සිරුරක් ලබා ගන්නට ව්‍යායාම කල යුතුයැයි අවසානයේදී මම තීරණය කලෙමි. මගේ තරබාරු සිරුර ප්‍රදර්ශණය කරමින් නගරයේ වීදි පුරා දිව යෑමට හෝ ඇවිදීමට මට කිසිදු ආශාවක් නැත. එය සැබවින්ම හිපපොටේමසෙකුට ඇඳුම් අන්දවා ඌ නගරයට මුදා හැරියා හා සමාන වනු ඇත. එනිසාවට , නිවසට වී හොර රහසේ කරන ව්‍යායාම වලට යොමු වීමට තීරණය කලෙමි.

අඟල් 33 ක ඉඟක්..සිහින් ඉදිරියට නෙරා ආ පපුවක්...කළු ගල් මෙන් ශක්තිමත් බාහු...මෙන්ම අශ්වයෙකුගේ මෙන් ශක්තිමත් කලවා මට සිහිනයක්ම විය.ඒ සිහිනය සැබෑ කරවීමට නම් බර උසුලන ව්‍යායාම කට්ටලයක් මිළදී ගත යුතුවේ. කිසිදු ලෝබ කමක් නැතිව මගෙ බිරින්ඳෑගෙ වචනයෙන් කියන ඒ " යකඩ ගොඩ " ගෙන ඒමට සෑහෙන මුදලක් වියදම් කලෙමි. ඇණවුම් කල "යකඩ ගොඩ " මගේ ගේ දොරකඩ දමා ඔවුන් යන්නට ගියේය. සෙමින් නමුත් අමාරුවෙන් වුව ඒ සියල්ල පහත මාලයේ කාමරයක් තුලට ඇද ගන්නට මට සවස් වරුවම ගතකලෙමි. ඉන් පසුව ඒ දෙස බැලීමත් මට ප්‍රිය විය. හන්දි පුර දිවෙන වේදනාව මැද ආශාවෙන් එදෙස බලාගෙන මගේ සිහින අයෝම පුරුෂයාව සිහියට නගා ගත්තෙමි.

සෙනසුරාදා හිමිදිරියේම මම පෝෂ්‍යයදායි ආහාරවෙලාක් ගැනීමට සිතා...පෑන් කේක් 10ක්, සොසේජර්ස් සමඟ බිත්තර 5කුත් , කිරි බෝතලයකුත්, පැණි කොමඩු ගෙඩියකුත් ආහාරයට ගත්තෙමි. කුස පිරුනෙන් ඒ සියළු පෝෂක කොටස් විටමින්, ප්‍රෝටීන් හෝ කාබෝහයිඩ්‍රේඩ් වී සිරුර පුර පැතිර යාමට වේලාව උවමනා නිසා පැයක් පමණ ඇල වී ඉන්නට සිතුවෙමි. මා අවදි වූයේ පැය කීපයක් ගතවී දහවල් ආහාරයද සූදානම් වූ පසුවය. එදින මගේ ව්‍යායාම කිරීමට කාලයක් තිබුනේ නැත.

ඊ ලඟ දවසේ සවස් භාගයේදී මම ජීවයෙන් උතුරා යන සෑම අයෝම පුරුෂයෙකුම ප්‍රියතම අංගයක් වන " බෙන්ච් ප්‍රෙස් " කිරීමට පටන් ගත්තෙමි. මා කොපමණ බරක් ඉසිලිය යුතුද ? නොදන්නෙමි. රාත්තල් 340 ක බරක් ඉසිලූ මල්ලව පොර ශූරයෙකු ගැන මම අසා තිබුනෙමි. මමත් එතරම්ම ශක්තිමත් බව සිතා බර උසුලනය එහි ආධාරකය මත තබා සීරුවට රාත්තල් 250 ක බර ඒ මත දැමුවෙමි. අනතුරුව බංකුවේ දිගාවී බර ඔසවනය දෑතින් ඔසවා මගෙ සිහිනයේ වූ " අයෝම පපුව " වර්ධනය කර ගැනීමට සැරසුනෙමි.
ගල් පර්වතයක් ඔසවන්නා සේ නොසෙල්වෙන ගතිය ගැන පුදුම වෙමින් එය ආධරකයෙන් ඉවතට ගත්තෙමි. ඒ සමඟම උසුලාගත නොහැකි බරින් , මරණ බය දැනී ඒ දැවැන්ත " යකඩ ගොඩ " මගේ සිරුර පොඩි කරමින් ඇද වැටීම වලකන්නට සෑම උත්සාහයක්ම ගත්තෙමි. බර එක පැත්තකින් ගලවා දමා අනෙක් පැත්ත බිමට දමන්නට හැකියාව ඇතත්, පොළොවට ඇද වැටෙන යකඩවල හඬින් නගරයේම ඉන්නාවූ සෙනඟ කැදවීමට තරම් ප්‍රබල හඬක් නැගෙනවා නියත බව දන්නා නිසාම හැකිව තිබුනේ නැවත වරක් එම බර උසුලනය ඉහලට ඔසවා ආධාරකය මත තැබීම පමණි. නැවතත් උත්සාහ කලෙමි. හැකිවූයේ යාන්තමට ඉහළට එසවීම පමනකි. එය සැනෙකින් යළිත් පපුව මතට කඩා වැටුනේය. සිරුර තැලී ඇතිවන වේදනාව තදින්ම දැනෙන්නට විය. ඉතිරිව තිබූ එකම විසඳුම සිහියට නගා ගත් මම රාත්තල් 250ක් බරැති යකඩ පොල්ල මගේ සිරුර දිගේ දෙපා දක්වා ගෙනගොස් අඩුම ශබ්දයකින් පොළොවට දැමූවෙමි.
ඉළ ඇට කූඩුව දත් කැක්කුම හැදුන කලෙක මෙන් වේදනා දුන්නේය. මගෙ උකුලෙන් සහ කලවා වලින් ලැබුන පණිවිඩ අනුව ඊ ලඟ දිනය වන විට මේ වේදනාව දෙගුණ තගුණ වන බව මම දැන ගත්තෙමි. හුස්ම ගන්නාවිට සිහින් නළා ශබ්දයක් පිට විය. හුස්ම හෙලන විට වෙව්ලන්නට වීමි.

මිනිත්තු 90 ක වැඩසටහන මෙලෙස ඉක්මනින් නවතා දැමීම ලැජ්ජාවක් සේ සිතූ මම ඉතිරි කාලය මාංශපේශී වර්ධනය පිළිබඳව සඟරා කියවන්නට වීමි. ඒ අතර තුර වරින්වර බර උසුලනයට පා පහරක් දෙන්නටද අමතක නොකලෙමි. එවිට එයින් නැගෙන ශබ්දයෙන් මා බර උසුලනවායි බිරිඳ අනුමාන කරනවාට සැකයක් නැත. අන්තීමේදී මම නාන කාමරයට යන්නට සිතූවෙමි.

" කොහොමද ව්‍යායාම....?හොඳට කෙරුවද...? " මගේ ආදරණිය බිරිඳ විමසයි.

" නියමයි.."  මම අප දෙදෙනාටම හඳුනාගත් නොහැකි " කීං " හඬකින් කීවේමි.

" ඔයා හොඳින් නේද...? "

" ඔව්..ඔව්...." මගේ හඬ පළඟැටියෙකුගේ වැනිය.

" පොඩ්ඩක් මහන්සියි...එච්චරයි..."

හීන් සීරුවේ එතැනින් මාරුවී නාන කාමරයට වැදුනෙමි.දිය නා අහවර වූ පසුව මගෙ හුස්ම ගැනීමේදී ඇතිවන හඬ තව දුරටත් පළුදු වූ සංගීත භාණඩයක් සිහිපත් කලේය.සිරුර කෙතරම් රිදුම් දුන්නද....මගේ දෙපා වර්ධනය කර ගැනීම සඳහා ඊ ලඟ දිනයේදීද ව්‍යායාම කිරීමට මම තීරණයක් කලෙමි.


ආඩම්බරයෙන් හද පුරවාගත් මම දිග හුස්මකින් පෙනහළු පුරවා ගත්තෙමි රාත්තල් 150 ක බරක් ගෙන මගෙ උර හිස මත තබාගෙන නැගී සිටින්නට උත්සාහ කලෙමි.බරත් සමඟම මාව පහලට ගියේය. නමුත් ඉහළටනම් නොඅවේය.අන්තීමේදී නැඟිට ගන්නට නොහැකි කමින් ඉදිරියට නැමුනෙමි. සිරුර පුරා දිව ගිය අධික වේදනවත් සමඟම මගේ දෙපා එකට නැවී කිහිළි තුර හිරවී තිබිණි. මෙලෙස සිටියහොත් වැඩි වෙලා යාමට මත්තෙන් මා මරණාසන්න වනු නොඅනුමානය.මම මහත් වෑයමෙන් පිටුපසට ඇද වැටුනෙමි. බර ඔසවනය මහා හඬක් නගමින් බිම ඇද වැටුන අතර බෙල්ල බර ඔසවනයේ වැදුනේය.

වතුර මලෙන් වැගිරෙන දිය දහරාව යට සිටගෙන මම මගේ ශරීර සුවතාව පරීක්ෂා කලෙමි. බෙල්ල හැරවීමට නොහැකියාවක් දැනෙයි.ඊ ලඟ දිනයේදී එය තව දුරටත් දරුණු වනු ඇත.මගේ පපුව මෙන්ම වැලමිට සන්දි හා මාංශපේශීද එකසේ රිදුම් දුන්නේය. පිටුපස තැලී ඇති සේ දැනේ.මහා වේදනාවකින් මුළු ඇඟම රිදුම් දේ..

" කොහොමද අද ව්‍යායාම....." බිරිඳ අසයි.


" හරිම මහන්සියි.."

" පව් ඔයා...අමාරුද...? ඇයි ඔයා අමාරුවෙන් ඇවිදින්නේ...."

" ඔයාට පිස්සුද...මට ඇති අමාරුවක් නෑ. මේ විදියට ඇවිදින්නේ බර උස්සපු හන්දා...."

මම ලැජ්ජාව වසා ගන්නට පිළිතුරු දුන්නේමි.

" අමාරුනම් ඕක නවත්තන්න.....නැත්තම් ඔයා ලෙඩ වේවී..."

" විකාර කියවන්න එපා....මම මේ හදන්නෙ අයෝම පුරුෂයෙක් වෙන්න කලින් ටිකක් විවේක ගන්න...."

" අයෝම පුරුෂයෙක්....." 

බිරිඳගේ ඇස් නළලට ලඟා වී ඇති වගක් පෙනේ.

" දවස් දෙකකට කලින් ඔයා ඔය යකඩ ගොඩ අරන් ආවේ බර අඩු කර ගන්න කියලා නේද.....දැන් ඔයා අයෝම පුරුෂයෙක් වෙන්නද හදන්නෙ.....? "

බිරිඳ දෙස රවා බැලූ මම දෑස පියාගෙන මගේ අයෝම පුරුෂ සිහිනයේ කිමිදුනෙමි.. 

21 August 2012

ළිහිණිගේ ජීවිතය - (4) අම්මා ආයේමත් යන්නෙ නෑ නේද ?



අම්මත් , තාත්තත් දෙන්නම ලඟ නැති පුංචි ගෑණු ළමයෙක්ගෙ ජීවිතයට දැනෙන පාළුව..තනිකම කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න උවමනා වෙන එකක් නෑ. ළිහිණිත් ඒ අත්දැකීම එහෙම්මම වින්ඳා. තාත්තා නැති අඩුව කවදාවත් නොදැනුනත්, අම්මා නැති අඩුව නම් තදින්ම දැනුනා. සති කීපයක් යනකම් නින්ද කියන දේ මගෙ අහලකටවත් ආවේ නෑ. හිත තද කරගෙන ඉකිය හිර කරගෙන රෑ කරුවලේ අම්මගෙ සුවඳ තැවරුන ඇඳුමත් තුරුළු කරගෙන  මම කලේ හීන් සීරුවේ අඬන එක. ඒක දැක්කේ මම ඔළුව තියාපු කොට්ටයට විතරමයි..

ලොකු අම්මලාගේ ගෙදරදී මම උන්නේ අමුත්තෙක් වගේ. කොච්චර බඩගිනි උනත් මට බත් කන්න කතා කරනකම් සද්ද නැතුව පැත්තකට වෙලා උන්නා.කන්න ආසා හන්දම බොරුවට බඩගිනී කියලා අම්මගෙන් බිස්කට් ඉල්ලගෙන කාපු හැටි මට හැම තිස්සේම මතක් උනා...තමන්ගේගෙදර වගේ කොහෙද පිට ගෙදරක් ... පුළුවන් විදියට ලොකු අම්මට ගේ දොර වැඩ වලට උදව් උනා. මහා ගැඹුර ලිදෙන් අමාරුවෙන් වතුර ඇදලා මගේ රෙදි තනියම සෝද ගත්තා. දන්නෙ නැති උනත් අමාරුවෙන් සුදු ගවුම හෝදලා නිල් දැම්මා. සමහර දාට සුදු ගවුමට නිල් වැඩී. දවසක් බත් කාලා පිඟාන සෝදන්න යද්දී අතින් ලිස්සලා බිමට වැටිලා පිඟාන කැඩිලා ගියා. ලොකු අම්මට කේන්ති ගිහින් " පරිස්සමට වැඩ කරන්න දන්නෙ නැද්ද ?...." කියලා සැරෙන් කිව්වම මට හොඳටෝම දුක හිතුනා.ඒ වෙලාවට මට මගෙ අම්මා නැති අඩුව තදින්ම දැනුනා.

ඒ වෙද්දී ලොකු අම්මාගේ දුව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. වෙලාවක් ලැබුන හැම අවස්ථාවේම අක්කා මගේ ඉගෙනීම ගැන හොයා බැලුවා. බැරි හැම දෙයක්ම කියලා දුන්නා. ඒ හින්දාම වෙන්නැති ලකුණු 173 ක් අරගෙන මම ශිෂ්‍යයත්ව විභාගයෙන් පාස් වෙලා උන්නා. ඒ සතුට අම්මත් එක්ක බෙදා ගන්න බැරි මම අයියට ඒ ගැන කියලා සතුටු වෙන්න හිතුවත්, අම්මත් නැති ගෙදර සීයාට සද්දෙ දාලා අයියා එයාගේ ඉලන්දාරි ජීවිතේ යාළුවෝ එක්ක රස්තියාදුව පටන් අරන් තිබුනා.  නරක වැඩ නොකලත්, " අන්න සජිතුත් කොල්ලො එක්ක රස්තුයාදුවේ යනවලු.." කියන මට්ටමට අයියා පත් වෙලා උන්නා. ඒත් අයියා ඉගෙනීම් වැඩ අතපසු කලෙත් නෑ. ඉස්කෝලේ ගමන නැවැත්තුවෙත් නෑ. අයියාට මා ගැන හොයලා බලන්න උවමනාවක් නොතිබුනත්, මම නිතරම මගේ අයියා ගැන සෙවිල්ලෙන් උන්නා.

මම ශිෂ්‍යයත්ව විභාගයෙන් පාස් උන එක මගේ අයට ඉතාම සාමන්‍ය දෙයක් උනත්, මගේ පන්තියේ ශිෂ්‍යයත්වය පාස් උන හැම කෙනෙක්ටම එයාලගෙ ගෙවල්වලින් තෑගි බෝග ලැබිලා තිබුනා. ඒ හැම මොහොතකම මගෙ පුංචි හිත  රිදුනා හොඳටෝම. අසරණකම මහ ගොඩාරියක් හිතට දැනුනා. විභාගය නිසාම මට වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකාවට ඇතුල් වෙන්න අවස්ථාවත් ලැබුනා. ලොකු අම්මලාගේ ගෙදර ඉඳන් මහ පාර ලඟට තියෙන දුර හැමදාම ඇවිදගෙන එන මම එතැන ඉඳන් බස් එකේ ඉස්කෝලෙට යනවා. තනියම….බස් එකට නගින්නෙත්, බහින්නෙත් අපේ ගේ ලඟින්. ඒ හැම වෙලාවේ ගෙදරට ගොඩ වෙලා එන්නත් මම අමතක කලේ  නෑ. අම්මා තරම්ම නැතත් සීයා සීයාට පුළුවන් උපරිම විදියට ගේ දොර සුද්ද කරගෙන, උයා පිහාගෙන අයියවත් බලාගෙන උන්නා.මම ඉස්කෝලෙ ඇරිලා ගෙදරට ගොඩ වෙලා යන්න එන බව දන්න සීයා, හදන බත් ටිකෙන් ඩිංගක් මටත් අරන් තියනවා.මම ගෙදර යන එන කිසිම වෙලාවක අයියා නම් ගෙදර උන්නේ නෑ. එක්කෝ ඉස්කෝලේ ගිහින්...නැත්තම් කොළු නඩේත් එක්ක රස්තියාදුවේ ගිහින්...අහම්බෙන් මාව පාරෙදි දැක්කත් අහක බලාගෙන එයාගේ යාළුවොත් එක්ක කදේ දාගෙන යනවා මිසක් ..." ආ නංගියා .." කියලා අහන්න තරම්වත් සහෝදර කමක් එයාගෙ හිතේ නොතිබ්බ එක ගැන මට තවමත් පුදුමයි.

අම්මා රට ගිහින් අවුරුදු දෙකකට ලං වෙද්දී මගේ හිතට පුදුම සතුටක් දැනුනා. අවුරුදු දෙකක් වෙනකල් විතරයි රට ඉන්නේ කියලා යන්න කලින් අම්මා කිව්වා මතකයි. ඒ නිසාම ඒ අවුරුදු දෙකේ දවස් හැමදාම මතකයේ තියාගෙන දවසින් දවස අඩු කරමින් උන්නා. ඔය අතරෙදි අම්මා ලංකාවට එනවා කියලා අපිට දැන්නුවම මම උන්නේ රටක් රාජ්‍යයක් ලැබුන ගානට...මගෙ පුංචි හිත සතුටින් පොපියන්න ගත්තා.මට අම්මා අරගෙන ඒවි කියලා හිතන ලස්සන බෝනික්කන්ට, හුරුබුහුටි ගවොම් වලට වඩා මගෙ රත්තරං අම්මා එනවනේ කියන හැඟීමෙන් මම පිරිලා උන්නා. අම්මා ලංකාවෙන් යද්දී උන්න ළිහිණි කෙල්ලට වඩා මම මනසින් වගේම ශරීරයෙනුත් වැඩිලා. අම්මා එන සතුටට මම සීයාත් එක්ක එකතු වෙලා මුළු ගෙදරම ලස්සනට අතුගාලා අස් කරලා තියන්න හුඟාක් මහන්සි උනා.

එනවයි කිව්ව දවසෙදී ඉස්කෝලේ යන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. අම්මා ගෙදරට ආවේ දවල් දොළහට විතර. සුදු පාට වෑන් එකක් ඇවිත් අපේ ගේ ලඟ නවත්තනකොට, මම දැන ගත්තා ඒ අපේ අම්මා තමා කියලාමම " අම්මා..." කියාගෙන කෑ ගහගෙන පාර පැත්තට දිව්වා. අම්ම මොහොතක් ගල් ගැහිලා පුදුමයෙන් වගේ මා දිහා බලාගෙන ඉඳලා මාව බදාගත්තා. අම්ම ලංකාවෙන් යද්දි උන්න පුංචි ළිහිණි කෙල්ල..අම්මට අඳුනාගන්නවත් බැරි විදියට වෙනස් වෙලා. ලොකු ළමයෙක් වෙන්න ඔන්න මෙන්න. උස ගිහින් ..ලස්සන බෝල ගෙඩියක් වගේ ඉද්දී අම්මට සතුටු හිතෙන්න ඇති….අම්මගෙ ඇස් දෙකේ සතුටු කඳුළු ..මමත් අඬ අඬා අම්මාව බදාගෙනම උන්නා. හරියටම අවුරුදු දෙකකට පස්සෙ දැනෙන අම්මාගෙ සුවඳ...අම්මාගෙ සෙනෙහස මම හිතේ හැටියට විඳගත්තා.

ලංකාවේ ඉද්දී දුක් විඳලාම කෙට්ටු වෙලා ඇදිලා ගිහින් උන්න මගේ අම්මා ටිකක් මහත් වෙලා ලස්සන වෙලාඅයියා දඩි බිඩියේ අම්මා අරගෙන ආපු බෑග් ඇද ඇද මොනවද ගෙනාවේ කියලා හොයද්දී, මම කලේ පැත්තකට වෙලා අම්මා දිහා බලාගෙන උන්න එක. කොච්චර බැලුවත් ඇති නොවෙන ආශාවකින් මගේ හිත පිරිලා තිබුනා. මට ගෙනාපු ලස්සන ලස්සන තෑගි බෝග අම්මා මගෙ අත් දෙකට දෙද්දී, මම හිමීට අම්මගෙ මූණට ලංවෙලා ඇහුවේ එකම එක දෙයයි....

" අම්මා ආයේමත් යන්නෙ නෑ නේද ?..."



ප.ලි.
 ඔයාලා මොනවද හිතන්නේ ? අම්මා ආපහු යාවිද....? නැද්ද..?


17 August 2012

Rooms Available හෙවත් කාමර පහසුකම් ඇත



ගමේ ඉඳන් අනාගත හීනය දිගේ කොළඹට සේන්දු උන සඳමාලිට දැන්නම් කොළඹ නුහුරු තැනක් නෙමේ.බෝඩිං කාමරයේ ඉඳන් ඇවිදන් යන දුරකින් තිබ්බ කාර්‍යාලයට, ඉවක් බවක් නැතුව එහෙට මෙහෙට යන වාහන අස්සෙන් සඳමාලි ඇවිදන් ගියේ පුරුදු කාරියක් වගේ.කොළඹට ඇවිත් ගෙව්නේ යන්තම් මාස තුනක් හතරක් උනත්, සඳමාලි ඉක්මනින් කොළඹ පරිසරයට හුරු උනා. කාර්‍යාලයට එපිටින් තිබ්බ බෝඩ් කෑල්ල හැමදාම දකින දෙයක් උනත් සඳමාලි ගේ ඇස් මානයට ආව ගමන් ඒ දිහා බලන එක පුරුද්දක් වෙලා. එහෙම බලන ගමන්ම සඳමාලි ඒ වචන ටික හිත යටින් කියවනවා.... Rooms Available…”

ඇඹිලිපිටියේ ඉඳන් රත්නපුරය හරහා කොළඹට එද්දී පාර දිගට මේ වගේ බෝඩ් කෑලී කීයක් නම් සඳමාලියේ ඇහැ ගැටුනද ... Rooms Available කියලා නිර්ලෝභීව ආරාධනා කරන්නේ වැඩි හරියක්ම ප්‍රේමවන්තයින්ට වග සඳමාලිට නොතේරුනා නෙමේ.ඒත් ඉතින් " සැබෑ ප්‍රේමවන්තයින්ට ආදරය කරන්න ඕවා ඇතුලට යන්නම ඕනෙද ? " සඳමාලි හිතෙන්ම හිතන ගමන්ම ආයෙමත් අර අකුරු දිගේ ඇස් දිවෙව්වා... Rooms Available…

තව ගෑණු ළමයින් දෙන්නෙකුත් එක්ක බෝඩිං වෙලා උන්න සඳමාලී දඩි බිඩියේ මොනා හරි දෙයක් තම්බාගෙන උදේට ගෙදරින් පිට උනාම ආයේ එන්නෙ බිං කරුවලත් වැටුනට පස්සේ. අතට කීයක් හරි ඉතිරි කරගෙන ගෙදරට යවන එක සඳමාලිගේ එකම උවමනාව උනා.අම්මත් නැති ගෙදර අප්පච්චී අම්මගෙ වැඩ කොටසත් හරියට කරගෙන නංගිවයි මල්ලිවයි බලාගන්න විඳිනා දුක සඳමාලි නොදන්නවා නෙවේ.

 උසස් පෙළ ප්‍රථිපල ආව ගමන් පත්තරේ දැක්ක තමන්ට සුදුසුයි කියලා හිතන හැම රස්සවකටම සඳමාලි අයදුම් කලේ බලාපොරොත්තු කන්දක් හිත මැද්දේ තියාගෙන. කීයක් හරි හොයාගෙන අප්පච්චිට හයියක් වෙන්න සඳමාලිට තිබ්බේ පුදුම උවමනාවක්.කොළඹට ආවේ ඒ සේරම බලාපොරොත්තු කර පින්නාගෙන...ලැබුන රස්සාව හොඳින් කරගෙන ඉන්නවා කියන පොරොන්දුව හිතට දීලාමයි. ගතවුන මාස  තුන හතරෙ ගෙදර නොගියේ යන්න උවමනාවක් නැති හන්දා නෙමේ. සෙනසුරාදාත් වරුවක් වැඩ කරලා අමතර ගානක් අතට ගන්න ඕනෑකම තිබුණු නිසාමයි. එක දවසින් ගෙහුන් එන්න දුරක්යෑ ඇඹිලිපිටිය කියන්නේ... කීයක් හරි අතට එකතුකරගෙන නංගිලාට ඕනෑ දෙයකුත් මිට මොලෝගෙන ගෙදර යන්න සඳමාලි මඟ බලාගෙන දවස් ගෙව්වා..

සඳමාලි නොදැන උන්නට ඒ වෙද්දී සඳමාලි දිහා බලාගෙන උන්න බොරපාට ඇස් දෙකක් තිබුනා. සීතල වීදුරු කාමරයේ ඉඳන් පෙනෙන නොපෙනෙන දුරින් උන්න අහිංසක පෙනුමක් තිබ්බ සඳමාලි දිහාට මේ ඇස් දෙක හැමවෙලාවෙම කැරකුනා. මහ පෙරේත කමකින් ඒ සඳමාලිගේ ආයතන ප්‍රධානියා සේනාධීර. ගමෙන් ආපු සුන්දර සඳමාලිගේ අහිංසක කම සේනාධීර දැක්කෙ බයාදු කමක් හැටියට.

මේ කිසි දෙයක් නොදන්න සඳමාලි එක සීරුවට වැඩ. පරිඝණකයේ ගණු දෙනු අතර ඇස් දුවවනවා මිසක් , තමන් ගැන කෑදර කමින් බලාගෙන ඉන්න ඇස් ගැන සඳමාලිට ගානක් නෑ.

" අන්න සඳමාලි මිස්ට ලොක්කා කතා කරනවා..."

සඳමාලිට කැඳවීමක්. ඉස්සර ඉස්සරවෙලාම සේනාධීරගේ කාමරයට යන පළවෙනි දවස හන්දා  හිත ඩිංගිත්තක් කලබල උනත්, සඳාමලි හීන් සීරුවේ නැගිටලා සේනාධීර ලඟට ගියේ තමන්ව ගිලින්න බලාගෙන ඉන්න කෑදර ඇස් දෙක ගැන කිසිම දෙයක් නොදැනමයි.

" සර්..." බොහෝම යටහත් පහත්ව සඳමාලි සේනාධීරව ඇමතුවා.

" ආ...සඳමාලි..වාඩිවෙන්න..සඳමාලි මේ කිට්ටුව නේද නතරවෙලා ඉන්නවා කිව්වේ ...? "

" ඔව් සර්.."

" ආ...එහෙමනම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. අපිට අලුතින් ප්‍රොජෙක්ට් එකක් හම්බ වෙලා තියෙනවා සඳමාලි. ඒක හන්දා ඔයාටයි අරුණිටයි ටිකක් රෑ වෙනකල් වැඩ කරන්න වේවී. අපි ඒකට ඔයාලට ඕ. ටී. ගෙවන්න තීරණය කලා. මම අරුණිට මේ ගැන කිව්වා. මොකද කියන්නේ ?...."

සඳමාලි ටිකක් හිතුවා. කීයක් හරි අතට එන එකේ ඔන්න ඔහේ හා කියනවා. අනික ඉතින් අරුණිත් ඉන්නවනේ...

" පුළුවන් සර්.." සඳමාලි හෙමින් උත්තර දුන්නා.

" එහෙනම් අද ඉඳලා වැඩ කරන්න පටන් ගන්න..." එහෙම කියලා මිස්ටර් සේනාධීට ඇස් යටින් සඳමාලි දිහා බලාගෙන උන්නා...

එදා හවස කාර්‍යාලයේ හැමෝම ගියාට පස්සෙත් අරුණියි සඳමාලියි එක දිගටම වැඩ.වෙනසක් නැතුවම පැය කීපයක් ගෙවිලා දෙන්නම එළියට ආවා. අරුණිගේ මහත්තයා අරුණිව එක්ක යන්න ඇවිත් උන්නා. සඳමාලිවත් එයාගේ බෝඩිං කාමරය ලඟට ඇරලවලා ඒ දෙන්නා යන්න ගියා. 

ඔය විදියට දවස් දෙක තුනක් ගත උනා . දවසක් හවස අරුණිට සේනාධීරගෙන් කැඳවීමක් ලැබුනා. අරුණි ආවේ විනාඩි හතලිස්පහක් විතර ගත උනාට පස්සේ. සඳමාලි ඒ ගැන අමුතුවෙන් හිතුවේ නෑ. හිතන්න ඕනෑ උනෙත් නෑ.රාජකාරි වැඩ නේ. ඊ ලඟ දවසෙදිත් ඒ විදියටම අරුණිට කැඳවීමක්. එදත් අරුණි ආපහු ආවේ පමා වෙලා. ලොක්කා කතා කලේ ඇයි කියලා අහන්න සඳමාලිවත්, ඒ ගැන කතා කරන්න අරුණිවත් උනන්දු උනේ නෑ.දවස් කීපයක් ඔය විදියට ගත වෙලා ගියා.

එක දවසක් අරුණි වෙනුවට ඒ කැඳවීම ලැබුනේ සඳමාලිට.. සඳමාලිත් වෙනසක් නැතුවම ගියා. ඒ අඳුරු කරපු සීතල වීදුරු කාමරයට....

" සඳමාලි...කොහොමද වැඩ කටයුතු..... ? "

" අවුලක් නෑ සර්. මායි අරුණියි සර් කියපු විදියට ඒක කරගෙන යනවා..."

" සඳමාලි ඉක්මනින් වැඩ අල්ලා ගත්තා කියලා ආරංචියි...එහෙම තමා ඉන්න ඕනේ...හොඳයි හොඳයි..."

කපටි හිනාවකින් මූණ පුරෝගත්තු සේනාධීර එහෙම කිව්වේ හීනියට සඳමාලිගේ පිටට තට්ටුවක් දාන ගමන්...විදුලියක් ඇඟට වැදුන වගේ හැඟීමක් සඳමාලිට දැනුනා. වෙනසක් නොපෙන්වා ඉන්න උත්සාහ කලත්...සඳමාලිගේ හිතට මහා අමුත්තක් දැනුනා.

සඳමාලිට හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. එක පාරටම සඳමාලි ලඟට ලං උන සේනාධීර සඳමාලිගේ පිරුණු රෝස පාට ලොකු දෙතොල් සිප ගත්තා.උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි උන සඳමාලි කලබලයට පුටුවත් පෙරලාගෙනම නැගිට්ටා. මහා අපුලක් එක්කම දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ අහිංසක සඳමාලි ගැහෙන්න ගත්තා. බය ලැජ්ජාවත් එක්ක එකතු වෙලා සඳමාලීගෙ පපුව ගැහෙන්න උනා. මහ සද්දෙන්...

" මොකෝ මේ බය වෙලා...අයියෝ...මේ මොකද...." 

ඒ සේනාධීර. ඒක අහපු කැත විතරක්. සඳමාලිගේ බය උන ලොකු ඇස් කඳුළු වලින් පිරුනා. එතැනින් පැනලා දුවන්න ඕනෑ උනත්,  ලැජ්ජාව හන්දද කොහෙද කකුල් පණ නැති වෙලා වගේ දැනුනා.

" අපෝ අපෝ...අරුණි නම් ඔහොම නෑ. සඳමාලි මොකෝ මේ...හරි හරි ඔයා දැන් යන්න....යන්න සීට් එකට..." සේනාධීර එහෙම කිව්වේ සඳමාලිව තමන් ලඟට ඇද ගන්න ගමන්..

තමන්ගේ මේසය ලඟට කොහොම ආවද කියලා සඳමාලිට නිනව්වක් නෑ. අරුණිට මූණ දෙන්න බැරි අපහසුවක් සඳමාලිට දැනුනා.බිම බලාගෙන කඳුළු හිර කරගෙන උන්නත්, බෝඩිමට ආපු ගමන් නාන කාමරය වැදිලා සඳමාලි හොඳටෝම හඬා වැටුනා. දැනුන අපුල යන්න දහ දොළොස් සැරයක් මූණ සේදුවා.

තමන් හිතුවාට වඩා මේ ලෝකය වෙනස් කියලා සඳමාලිට දැනෙද්දී පමා වැඩී. රස්සාව දාලා ගෙදර යන්න හිතුනත්, දෙයියනේ කියලා පටන් ගත්ත රස්සාව නේද කියලා හිතද්දී මහා ලෝබ කමක් සඳමාලිට දැනුනා.කීයක් හරි ගෙදරට යවලා තමන් විඳපු අහිංසක සතුට මතක් වෙද්දී සඳමාලිගේ දුප්පත් පපුවට උහුලන්න බැරි දුකක් දැනුනා. වෙනතැනක් හොයා ගන්න කල්වත්...ඒත් මේ විදියට කොහොම ඉන්නද...සේනාධීරගේ මූණ කොහොම බලන්නද....අසරණ සඳමාලි...තවත් අසරණ උනා....තීරණයක් ගන්න බැරිව..

ඊ ලඟ දවසේදී සඳමාලි උන්නේ හුඟාක් තෙහෙට්ටුවෙන්. රැය පුරාම නිදිවරා තීරණයක් ගන්න බැරිව ලත උන හන්දද මන්දා සඳමාලිගේ මූණ මැළවිලා තිබුනා. හවස් වෙන්න වෙන්න සඳමාලිගේ හිත ගැහුනා බයෙන්...හරියට මාරයාගේ හෝරාවට ලං වෙනවා වගේ හැඟීමක් සඳමාලිට දැනුනා..

" අද අපි එළියට ගිහින් ඩිනර් එක ගමු. ඔය දෙන්නා හත වෙද්දී ලෑස්ති වෙන්න අරුණි..." 

සේනාධීරගේ විධානයෙන් සඳමාලිට සහනයක් දැනුනා. මේ කාමරයේ ඉන්නවාට වඩා එළියට යන එක තමාගේ ආරක්ෂාවට හොඳයි කියන හැඟීම සඳමාලිගේ හිතට දැනුනා..

කලින්දා සිදුන උන කිසිම දෙයක් දන්නෙ නැති ගානට සේනාධීර හැසිරුනා. තුන්දෙනාම සේනාදීරගේ වාහනයේ නැගලා කොළඹ නිදහස් වටපිටාවක තිබුන සුන්දර අවන්හලක කෑම ගත්තා. අරුණිට යන්න හදිස්සිය නිසාම අරුණි යන්න ගියා. සඳමාලිව බෝඩිම ලඟින් දමන්න සේනාධිර පොරොන්දු උන හන්දා සඳමාලි ආයෙමත් සේනාධීරගේ වාහනයට ගොඩ උනා. පාර දිගේ ආපු වාහනය එක පාරටම නැවැත්තුවේ පටු පාරක. එතැන තිබුන බෝඩ් එක සඳමාලි හීනෙන් වගේ දැක්කා....Rooms Available … “

හීනෙන් වත් නොයන්න උන්න තැනක ,සේනාධීරගේ කිළිටි හැඟීම් බොර දියවරට, සඳමාලිගේ ජීවිතය සන්තකයේ තිබුන අනර්ඝත්වයේ නිල් දියවර ගලා යන්නට උනා. ආත්මයේ සළු පිළි එකින් එක ගැලවී වසන්තය නිමා උනා. සඳමාලිගේ මුළු ජීවිතයම ඉඩෝරයකට අහු වෙලා සියල්ලම කෙටි වෙලාවකින් ඉවර උනා.

දින සති මාස වලින් ගෙවී යද්දී සඳමාලිගේ කුසේ වැඩෙන අවජාතක කළලයට සුජාත අයිතියක් දෙන්න බැරි හන්දා සේනාධීර ඒ කළලය කිසිම හිතක් පපුවක් නැති ගානට කලියෙන්ම ඉවරයක් කලා. 

ඊ ලඟට ගෙවුන සති කීපයකට පස්සේ සඳමාලි ගමේ යන්න ලැහැස්ති උනා. සේනාධීර මිට මොලවාපු දෙදාගේ නෝට්ටු ටිකකුත් ගුලි කරගෙන.. ඒ ගෙදරින් පිටවෙලා ආපු අප්පච්චිගේ සුන්දර ලොකු දෝණි හැටියට නම් නෙමේ.... දරුවෙක් බඩේදීම ඉවරයක් කරපු කාලකන්නි ගැහැණියක් හැටියට. රත්නපුරය හරහා ඇඹිලිපිටියට යන අතරෙදිත් සඳමාලි දැක්කා තැනින් තැන අර බෝඩ් කෑලි......Rooms Available “ 

09 August 2012

ළිහිණිගේ ජීවිතය - (3) අම්මා පුංචි ළිහිණිව දාලා ගියා..



දවසින් දවස ගෙවී යද්දී මට මගේ ජීවිතය මඟ හැරුනේ කොතනින්ද කියලා මටවත් හිතා ගන්න බෑ. "  මේ මොකද උනේ ? " කියලා හිතෙන තරමට වේදනාවක් හදවත පතුලෙන්ම දැනෙනවා. ඒ වෙලාවට කෑ ගහලා අඬන්නේ නැතුව දරාගෙන ඉන්නෙ හරිම අමාරුවෙන්... මගේ ජීවිතයේ රිද්මය බිඳිලා ගිහින්. එහෙම රිද්මය බිඳුණු ජීවිතයක් හරිම කාලකන්නියි...හරිම හිස්..

අමාරුවෙන් ජීවත් වෙන එක වදයක් වෙන තරමට අම්මා හෙම්බත් වෙලා උන්නා.ගෙදර හතර දෙනෙක් ජීවත් වෙන්න, දරුවො දෙන්නෙකුට උගන්වන්න.. මේ හැමදේකටම අම්මා හොයාපු  තුට්ටු දෙක සෑහුනේ නෑ. ඒ වෙද්දී මමත් හතර වසරේ. කවුදෝ අම්මගෙ ඔළුවට විසක් දාලා තිබුනා.රට යන විස... සල්ලි ටිකක් හොයා ගන්න නම් රට ගිහින් කීයක් හරි හොයා ගන්නවා මිසක් මෙහෙ ඉඳලා මේ කරන දෙයින් පලක් නෑ කියන දේ කවුරු හරි අම්මගේ ඔළුවට දාලා තිබුනා. ගෙට එහා පැත්තෙ උන්න නැන්දා කෙනෙකුට අම්මා එහෙම කියනවා මම අහගෙන .රට ඉන්න කවුදෝ අම්මට උදව් කරන්න කැමතියිලු...මාව ලොකු අම්මලාගෙ ගෙදර නවත්තන්න පුළුවන්ලු...

ඔය ටික ඇහුනා විතරයි මට දැනුනේ මාව ගිණි ගන්නවා වගේ. ආදරේ දුන්නත් නැතත්.. " දුවේ " කියලා කතා කෙරුවත් නැතත්  මගෙ අම්මා මා ලඟ ඉන්නවා තරම් දෙයක් මට තව කොහෙන්ද .... දැන් අම්මා මගේ ලඟ. අඩුම තරමින් රෑට අම්මගෙ උණුහුමට වැදිලා නිදිය ගන්න පුළුවන්. මම හොඳටම ඇඬුවා. රෑ මැදියමේ අම්මට තුරුළු වෙලා මම හොඳටම ඇඬුවා. මට අම්මා ලඟින් නැතුව බෑ. මට ඒ සුවඳ නැතුව බෑ...ලඟට කරගෙන බත් ටික නොකැව්වත්, ඉස්කෝලෙ ඇරිලා එද්දී කන්න බෙදලා වහලා තියෙන අම්මගේ බත් කට මොනතරමක් රසද... මගේම ලොකු අම්මා උනත්, ලොකු අම්මා මට අම්මා වගේ කොහෙන්ද...

ඔය ප්‍රශ්ණ ඔක්කොම හිත ඇතුලේ දඟලද්දී.." අම්මේ අපිව දාලා යන්න එපා "කියලා කෑ ගහගා ඇඬුවා. ඒත් ඒ එක දෙයකින්වත් අම්මගෙ තීරණය වෙනස් කරන්නවත් බලපෑමක් කරන්නවත් මට බැරි උනා. වයස අවුරුදු නවයක කෙලිත්තක් උන මට අම්මගෙ තීරණයට එරෙහි වෙන්න තරම් පුළුවන්කාර කමක් තිබ්බෙත් නෑ.මගෙ හිත දවසින් දවස සාංකාවෙන් පිරුණා...ඒ අතරේ අම්මා සයිප්‍රස් රටට යන්න අවශ්‍ය සියළු දේ ටිකින් ටික ලැහැස්ති කර ගත්තා. ඒ අර අම්මට උදව් කරන්න පොරොන්දු වෙලා උන්න කෙනෙක්ගෙ මාර්ගයෙන්..

මම ශිෂ්‍යත්වය විභාගයට ලෑස්ති වෙමින් උන්න කාලයේදී අම්මට රට යන්න ලැබුනා. ඒ සයිප්‍රස් රටේ ගෘහසේවිකාවක් විදියට. මගෙ තිබුන ඇඳුම් ටිකත් පොත් ටිකත් ගුලි කරගෙන මට අම්මගේ සහෝදරියක් උන ලොකු අම්මා ලඟට යන්න උනා. අපේ ගේ ලඟ ඉඳන් එතරම්ම දුරක් නැති උනත්, ලොකු අම්මලාගෙ ගෙදර යන්න මගෙ හිත " හා" කිව්වෙම නෑ. අයියා සීයා එක්ක අපේ ගෙදර නැවතුනා

අම්මව කටුනායක එයාපෝට් එකට අරගෙන යද්දී අම්මගේ සාරි පොට මගෙ උකුල උඩ තියාගෙන මම ඉකි ගගහා ඇඬුවා. මගේ දුක නොතේරෙන්න තරම් අම්මගෙ හිත ගලක් නෙමේ. ඒත් අම්මා මගෙ ඔළුව අත ගගා මාව සැනසුවා. මට අම්මගෙ සුවඳ තදින්ම දැනුනා. ආයෙම ඒ සුවද දැනෙන්න ඉඩක් නෑ කියලා දැනෙද්දී මගෙ පපුව පැලෙන්න එනවා වගෙ හැඟීමක් මට දැනුනා. අයියවයි මාවයි අපේ මාමා කෙනෙක් අම්මා එක්කම එයාපෝට් එකේ ඇතුලට අරගෙන ගියා. ලියකියවිලි ටික පුරෝලා ඉවර වෙලා අම්මා මාවයි අයියවයි ලඟට අරගෙන අවවාද ගොඩාරියක් දීලා අපි දෙන්නවම බදාගෙන සිප ගත්තා. අයියා හෙලවෙන්නෙවත් නැතුව බලාගෙන ඉන්නකොට " අනේ අම්මේ මාව දලා යන්න එපා ..." කියලා මම කෑ ගගහා ඇඬුවා. ඒ වෙලාවෙදි අම්මාටත් හොඳටම ඇඬුනා. අම්මා නොපෙනී යනකම්ම මම බලාගෙන උන්නේ හිත පිච්චිලා යද්දී...

ආපහු එන අතර මගදී මගේ හිත හරිම කලබල උනා. අනේ මම මගේ අම්මව ආයේ කවදා දකින්නද....අම්මගෙ සුවඳ ආයේ කවදා විඳින්නද රෑ ලොකු අම්මලාගෙ ගෙදර නිදා ගනිද්දී , අම්මා ඇඳපු ඇඳුමක් තුරුළු කරගෙන , කරුවලේම මම හොරෙන්ම ඇඬුවා.

ඒ විදියට එදා මගේ අම්මා පුංචි ළිහිණිව දාලා වෙන රටකට ගියා..

06 August 2012

The Dogs of War හෙවත් " යුධ බල්ලෝ "


බොහෝ සේ ඉඩකඩ ඇති කාර්යාලයේ ඈතින් වූ සුව පහසු ආසනයක් වෙත ශ්‍රීමත් ජේම්ස් මැන්සන් තම අත යුමු කලේය. තම ප්‍රධානියා මොකාට එන්නේදැයි යන කාරණය පිළිබඳව කල්පනා කරමින් බ්‍රයින්ට් පෙන්වන ලද ආසනයේ වාඩි විය. එම පුටුවේ තිබුන ඝණ කොට්ටය තුලට ඔහු කිඳා බැස්සේය. මැන්සන් කාමරයේ කොනකට ගොස් එහි දොරවල් දෙකක් හැරියේය. ඔහු දුටුවේ නොයේක් මත්පැන් වලින් අනූන වූ බාර් එකකි.

" අඩියක් ගහනවා බ්‍රයන්ට්..දැන් ඉරත් බැහැලා ගිහින්..."

" බොහෝම ස්තුතියි සර්...ස්කොච් එකක් කරුනාකරලා..."

" තමුසේ හොඳ මිනිහෙක්...මමත් කැමති ස්කොච්වලටමයි....මාත් එකතු වෙන්නම්.."

බ්‍රයන්ට් තම අත් ඔරලෝසුව දෙස බැලුනේය.වෙලාව සවස  පහ පසුවී පැය කාලක් ගොසිනි. ඒ වගේම ඉර බැස ගිය පසු අඩියක් ගැසීම නිවර්තන කලාප සඳහා ආවේනික වූ දෙයකි. ඒත් මේ සීත සමයේදී....ඊටත් ලන්ඩනයේදී...කෙසේ උවද ඔහුගේ ප්‍රධානියා පිරිසිදු වීදුරු දෙකකට විස්කි වැක්කෙරුවේය. අයිස්  කැට බඳුන පසෙකින් තිබිණ.

" වතුර ...සෝඩා... ? ඔහු බාර් එක තුල සිට කෑ ගැසුවේය.

" බොහෝම ස්තුතියි සර් ජේම්ස් . මට මෙහෙම හොඳයි..."

සවුදිය පිරූ ඔවූහු විස්කි තොල ගෑමට වූහ. කතාව පටන් ගන්නා තුරු බ්‍රයන්ට් හිටියේ නොඉවසිල්ලෙනි. ඒ බවක් සර් ජේම්ස් තේරුම් ගත්තේය.

" තමුසේ මෙහෙට අඬ ගහලා ඩ්‍රින්ක් එකක් දුන්නට හිතේ කහටක් තියා ගන්න එපා. ..." ඔහු කීවේය.

" මම මේ පැරණි කොළ මිටියක් ඇවිස්සුවා. මගෙ ලාච්චුවේ තිබිලා. ඒ අතර තමුසෙගෙ වාර්ථාවක් තිබුනා. සමහර විට මට ඒක දෙන්න බැරි වෙන්න ඇති මිස් කුක්ට ෆයිල් කරන්න..."

" මගේ වාර්ථාවක්..."

" ආ....ඔව්.තමුසේ අර කොහෙන්දෝ ඉඳලා ආපහු ඉදිරිපත් කරපු වාර්ථාවක්...මොකද්ද ඒ තැන........"

ආ...හරි සැන්ගාරෝ නේද ? ඒ මීට මාස ගානකට කලින්නෙ…”

" ඔව්...හරි..මාස හයකට පෙර තමයි . ඔව් මට මතකයි ඒකෙ තිබුනා කියලා ...අර ඇමතියෙක් තමුසෙට කරදර කලා කියලා..."

බ්‍රයන්ට් සිත සැහැල්ලු කර ගත්තේය. ඒ කාමරය උණුසුම්ය. පුටුව අතීශයින්ම සැප පහසුය. එම ඉස්තරම් විස්කිද පැරණි මිතුරෙකු හමු වූ කලෙක මෙනි. ඔහු ඒ සිද්ධිය මෙනෙහි කොට සිනාසුනේය.

" මම ඒ ගවේශණය සඳහා අවසර ගත්තා...."
" හරි නේන්නම්..." ශ්‍රීමත් ජේම්ස් ප්‍රසංශනාත්මක ව කීවේය.
" මමත් ඔය වගේ ගමන්  ඒ දවස්වල ගියා. ඒත් බටහිර අප්‍රිකාවට නම් නෙමේ.ඒත් ඒ කාලෙ ගියේ නැතුවාට පහු කාලෙදි ගියා. ඒත් මේ ඔක්කොම පටන් ගත්තට පස්සේ........"

" මේ ඔක්කොම..." කියමින් ඔහු තම සුඛෝපභෝගී කාර්‍යාලය පෙන්නුවේය.

" ඒත් දැන් වෙලා තියෙන්නෙ මෙහෙ මේ ලිපි ලේඛණ වලට හොර වෙලා ඉන්නට වී තිබෙන එක. මට එක වෙලාවකට තමුසෙලා වගේ තරුණ අය ගැන ඊරිසියා හිතෙනවා. ඉතිං කියනවා බලන්න සැන්ගාරෝ ගමන ගැන..."

" ඒක බොහෝම පැරැණි තැනක්. මම එහාට ගියන් ටික වෙලාවකින් දැක්කා නාහෙ විදලා කටු ගහගෙන ඉන්න මිනිස්සු..."

" ඇත්තටම එහෙමද...? එහෙනම් ඒක මිලේච්ච තැනක්..."

" ඔව් සර් ජේම්ස්... ඒ රටට නිදහස් ලැබිලා යන්තම් අවුරුදු පහයි. ඒත් තවම ඒ අය ජීවත් වෙන්නේ මධ්‍ය කාලීන යුගයේයි. ..."
මෙයට පෙර යම් කිසි දිනක තම ප්‍රධානියා විධායකයින්ගේ සාකච්ඡාවක දී කිවූ දෙයක් ඔහුට මතක් විය....

" අද අප්‍රිකානු ජනරජයන් බොහෝමයක් බිහිවෙමින් පැවතුනත් , ඒ ජනතාව නිසි අයුරු නායකත්වය දීමට බුද්ධිමත් නායකයෝ එහි නෑ. මේ හේතුව නිසා පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි. ..."

" ඉතින් කවුද ඒ ජනරජය පාලනය කරන්නේ ?"

" ජනාධිපති..නැත්තම් ඒකාධිපති..." බ්‍රයන්ට් කීවේය. ඔහුගේ වීදුරුව හිස් වී තිබිණ.

" එයාගේ නම ජිම් කිම්බා... නිදහසට පෙර තිබූ එකම ඡන්දය දිනුවේ එයායි. සමහරු කියන්නේ එයා ඡන්දයෙන් දිණුවේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් සහ ත්‍රස්ත බලයෙන් කියලයි.  ඒ අය බොහෝම පසු ගාමී අය. හුඟාක් අය ඡන්දය කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙ නෑ. උන්ට ඒක දැනගන්න ඕනිත් නැහැ..." 

" කිම්බා අමාරු කාරයෙක්ද ? " ශ්‍රීමත් ජේම්ස් ඇසුවේය.

" ඒක එහෙම්ම නෙමේ සර්. ඒ මිනිහා උම්මත්තකයෙක්. මිනිහා වටේ ඉන්න දේශපාලන හෙංචයියන්. ඒ එක් අයෙක් වත් එයාව කෝප ගැන්නුවොත් එහෙම නැතිනම් ඒ එක්කෙනෙක් පිළිබඳව සැකයක් ඇති උනොත් , ඒ මිනිහාගේ ඉරණම අවසන් වන්නේ පැරැණි යටත් විජිත සමයේ තිබූ හිර ගෙදරකින් තමා. ඒ පැත්තට යවන අයට දස වධ දෙනවා බලන්න කිම්බා ජනාධිපති එහි යනව බවට කතාවකුත් තියෙනවා. ඒකට ගිය එක්කෙනෙක්වත් පණ පිටින් නම් ඇවිත් නෑ..."


*****************************************************************************


කාලෙකට කලින් මට උගන්වපු ඉංග්‍රීසි ගුරුතුමා අසනීප වෙලා උන්න නිසා බලන්න ගියා.  අසනීප තොරුතුරු කතා බහ කරමින් ඉන්න අතරතුර මගේ ඇස් ගියේ මේසේ උඩ තිබ්බ පොතකට. ඒක ඉංග්‍රීසි පොතක්.  Frederick Forsyth ගේ  “ The Dogs Of War “කියන නවකතාව.
පොත දිහා තිබ්බ මගෙ ඇස් දැකපු හන්දද කොහෙද සර් මගෙ අතට ඒ පොත දෙන ගමන්


" අපූරු පොතක්. දේශපාලන කපටිකම් සහ ඒවායින් ලැබෙන වාසි අවාසි ගැන ලියලා තියෙන්නෙ. ඕනෙ නම් අරන් ගිහින් කියවන්න "

බොහෝම ආසාවෙන් අතට අරන් පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලලා බැලුවත්, ඒ දවස්වල මගේ තිබ්බ දුර්වල ඉංග්‍රීසි දැනුමත් එක්ක පොතේ වචන හුඟාක් බර වැඩී වගේම තේරුම් ගැනීමත් පහසු නෑ කියලා හිතුනා. 

" ඕක අමාරු නම් සිංහල පරිවර්ථනය අර ගන්න ළිහිණි "

මගේ මූණෙ ඉරියව් සර් කියෙව්වද මන්දා...ගන්න ඕනෙ කියලා හිතුවත්...කාලයත් එක්කම ඒක අමතක වෙලා ගියා..
මේ ලඟදි යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවෙදී මෙන්න බෝලේ පොත තියෙනවා. දවස් කීපයකින් ගෙනත් දෙනවායි කියන පොරොන්දුව එක්ක පොත ඉල්ලන් ආවා. මේ සති අන්තයේ සෙනසුරාදා , ඉරිදා දවස් දෙකම කලේ මුළු පොතම එක හුස්මට කියවාපු එක..


1970 දශකයේදී මහා ධන කුවේරයෙක් උන සර් ජේම්ස් මැන්සන් කියන  පුද්ගලයා  විසින් මුදල් වලට ගනු ලබන කුලියට මිනී මරන කුලී හේවායින් උන කැට් ෂැනන් හෙවත් කාලෝ ඇල්ෆ්‍රඩ් ෂැනන් , මාක් වැල්මිනික් , ෂෝන් බැප්ටිස්ට් ලැංගරෝට්ටි , කාර්ට් සෙම්ලර්  වැනි  අය යොදාගෙන අප්‍රිකා රටක් උන සැන්ගාරෝවේ ඩොලර් බිලියන ගානක් වටිනා ප්ලැටිනම් ලබා ගන්නට, සැන්ගාරෝවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය ජනාධිපති ඝාතනය කරලා රජය පෙරලා දමන්නට දරන උත්සාහයක් ගැන මේ නවකතාවෙන් කියවන්න ලැබෙනවා..

Frederick Forsyth කියන බ්‍රිතාන්‍ය ජාතික  ලේඛකයා 1974 වසරේදී The Dogs of War කියලා ලියාපු පොත , " යුධ බල්ලෝ " නමින් සිංහලට පරිවර්ථනය කරලා තියෙන්නෙ " අභය හේවාවසම් " ලේඛකයා.  ටිකක් පරණ පොතක් උනත් හරිම ආසාවෙන් කියවන්න පුළුවන් උනා. බස් වහර වගේම ලිවීමේ රටාවත් සරළයි. එක හුස්මට කියවාගෙන ගිහින් රස විඳින්න පුළුවන් උනා.

නවකතාව ඇතුලේ ඉතාමත් රහසිගතව සිදුකරන දේශපාලන කරුණු , මහා ධනස්කන්දයක් යුද්ධය වෙනුවෙන් විය පැහැදැම් කිරීම්, රහසිගතව සිදු කරන අවි ගණුදෙනු වගේම අවි ජාවාරම් , ඒ වගේම මහා ධන කුවේරයින් සිදු කරන රහසිගත මුදල් ගණුදෙනු, ස්විස් මුදල් තැම්පතු වගේම , එවැනි ධන කුවේරයින් කොටස් වෙළඳ පොළ ඇතුලත සිදු කරන අයථා ගණුදෙනු වගේ දේවල් ඇතුලත්.

හුඟ දෙනෙක් කියවලා ඇති. නොකියවපු කෙනෙක් ඉන්නවානම් කියවන්න. බොළඳ නවකතාවකට වඩා ගත යුත්තක් මේ නවකතාවේ තියෙනවා කියලා මට හිතෙනවා.