මගේ ජීවිතය දියවෙලා ගියේ හරියට ගිණි මද්දහනේ දියවෙන අයිස් කැටයක් වගේ. ඒ වගේ දියවෙලා ගිය ජීවිතයක අතීතයකුත් කර පින්නාගෙන මම මේ මහ පොළොවේ තවමත් ජීවත් වෙනවා. ජීවිතේට හැමදාම " සැනසීම " කියන දෙය විතරක්ම හොයපු මට නොලබුන එකම දේත් එකමයි. ඒක හරි විකාරයක් කියලා කාට හරි හිතුනත්, සැනසීමක් නැති ජීවිතයකින් කිසිම වැඩක් නෑ කියලා මට හැම තිස්සේම හිතුනා විතරක් නෙමේ , මේ තවමත් හිතෙනවා. සැනසීම කියන එක කවදාවත්ම නොලැබෙච්චී මගේ ජීවිතය අද අයිති කාරයෙක් නැති මළ ගෙදරක් වගේ වෙලාද මන්දා...
මගේ ගම වෙන්නප්පුවට කිට්ටුව... වෙන්නප්පුව ටවුන් එකෙන් හැරිලා චුට්ටක් දුර යද්දී හම්බ වෙන ලුණුවිල කියන හරියේ. යමක් කමක් තේරෙන කාලේ වෙද්දී මටත් දැනුනා අපේ පවුල අග හිග කම්වලින් හිර වුන පවුලක්ය කියලා. ගෙදර උන්නේ අම්මයි , අයියයි , මමයි , සීයයි ( අම්මාගේ තාත්තා) විතරයි. එතකොට කෝ අපේ තාත්තා ? මට කවමදාවත් " තාත්තේ " කියලා කතා කරන්න කෙනෙක් අපේ ගෙදර උන්නේ නෑ.
" තාත්තා ඔයා ඉපදිලා ටික දවසකින් දාලා ගියාලු "
මට තේරෙන කාලෙ වෙද්දී අයියා කිව්වෙ එහෙමයි. අපේ තාත්තා වචනයේ පරිසමාප්තයෙන්ම " බේබද්දෙක්ලු ".
ගේ වටේම උනේ අම්මාගේ නෑයෝ. ඒ අය එහෙම කියනවා මට ඇහිලා තියෙනවා. මීගමුව පලාතේ ජීවත් උන අපේ තාත්තා , අම්මව විවාහ කරගෙන පදිංචි වෙලා තියෙන්නෙ අම්මට උරුම වෙච්චී මහ ගෙදර.ලුණුවිල පොල් පරීක්ෂණාගාරයේ සැළකිය යුතු නිළධාරී තනතුරක රස්සාව කරපු තාත්තගේ බේබදු කම හන්දම කීප සැරයක්ම රස්සාවත් නැති උනාලු. හදා ගන්න මොනතරමක් උත්සාහකලත් බැරිඋන තැනදී ...අම්මා අපේ තාත්තට ගෙදරින් යන්න කිව්වලු. ඒ බීගෙන දඟලන තාත්තගෙන් වෙන හිරිහැර ඉවසන්නම බැරිම තැනලු. යන්න කිව්ව පලියට ළමයි දෙන්නෙක් දාලා තාත්තා කෙනෙකුට යන්න පුළුවන්ද ? තමන්ගේ බේබදු කම නැති කරගන්නවා මිසක්. ඒත් අපේ තාත්තා ගිහින්. ගිහින් විතරක් නෙමේ ආයෙම කිසිම දවසක ඇවිත් නෑ …අයියටනම් තාත්තා ගැන යන්තමට හරි මතකයක් තිබුනත්....මම නම් තව වෙනතුරුම ඇහින් දැකලා වත් නෑ...
එදා ගෙදරින් පිටවෙලා ගිහින් තිබ්බ තාත්තා, අඩුම තරමින් දරුවො දෙන්න වෙච්චී මාවයි අයියවයි බලන්නවත් නිකමට ඇවිත් නෑ.දන්න දවසේ ඉඳන්ම අම්මා අපි දෙන්නව ලොකු මහත් කරන්න නොවිඳිනා දුක් වින්ඳා කියලා මට මතකයි. යුරෝපා රටවලට කොහු ආශ්‍රිත නිශ්පාදන යවන ආයතනයක අම්මත් රස්සවක් කලා. ඒ ලැබුන පඩියෙනුයි, ගෙදර වත්තේ පොල් ගස්වලින් ලැබෙන ගෙඩි වල ආදායමෙනුයි තමයි අපි හතර දෙනා ජීවත් උනේ. කන්න බොන්න නැතුව දුක් වින්ඳේ නැති උනත් , හුඟාක් අඩුපාඩුකම් අපිට තිබුනා. පොඩි ඈයෝ වෙච්චී අපිට හිතෙන හිතෙන ජාතියෙ කඩචෝරු කන්නවත්..ලස්සන ලස්සන ඇඳුම් පැලදුම් ගන්නවත් පුළුවන්කමක් තිබ්බේ නෑ. මට මතකයි මම සෙල්ලම් කලේ කාඩ් බෝඩ් එකකින් කපා ගත්ත බෝනික්කෙක් එක්ක.
ඒ අඩුපාඩුම් වගේම තේරෙනෙ කාලෙ ඉඳන්ම අම්මගේ ආදරේ අඩු පාඩුත් මට තදින්ම දැනුනා. ලඟට අරගෙන ..තුරුල් කරගෙන අපිට ආදරේ කරන්න අම්මට වෙලාවක් තිබ්බේ නෑ. උදේ පාන්දර හතරට විතර නැගිටලා දුම් පිරිච්ච කුස්සියට වෙලා උදේට කන්න රොටි , ඉදි ආප්ප, පිට්ටු වගේ දේවල් එක්ක , දවල්ට කන්න බත් තම්බන්න... අම්මා ගින්දර එක්ක ඔට්ටුවෙනවා. අයියටයි මටයි මූණ සෝදන්න ලිඳෙන් වතුර ඇදලා වෙනම බේසම් දෙකකට දාලා දඩි බිඩියේ රස්සාවට දුවනවා. අම්මා ආයෙම එන්නෙ බිං කරුවලත් වැටුනට පස්සෙ. ඒ ඇවිල්ලත් කෝ හුස්මක් ගන්න ඉඩක්..... ආයෙම රෑට බත් තම්බන්න කුස්සියෙ ගිණි කන්න ඕනේ. බෙදලා දෙන බත් ටික අර කුස්සි කෑල්ලටම වෙලා නිදා වැටි වැටී ගිලදාන මට එකම සහනයකට තිබ්බේ රෑට අම්මගෙ උණුහුමට ගුළිවෙලා නිදා ගන්න එක විතරමයි...ඒකත් පැය කීයකටද ...ආයෙමත් මහ පාන්දර අම්මා කුස්සියේ ගින්දර එක්ක....එහෙව් එකේ අපිව හුරතල් කරන්න …ආදරේ කරන්න කෝ අම්මට වෙලාවක්..
අයියා මට වඩා අවුරුදු හයකට වැඩිමල්. ඒ වෙද්දී අයියා ඉස්කෝලෙත් යනවා. මම පුංචි ළිහිණි කෙල්ල...සීයත් එක්ක තනියම ගෙදර ඉඳන් වැලි සෙල්ලම් කරනවා. සීයා සීයගෙ පාඩුවේ පත්තර කියවනවා. මම මගේ පාඩුවේ සෙල්ලම. අයියා ගෙදර ආව වෙලාවටවත් මගෙත් එක්ක සෙල්ලමක් නෑ. එයාගෙ කොළු නඩේ එක්ක විතරමයි. මාව ගනන් ගන්නෙවත් නෑ. අයියගෙ පස්සෙන් වැටිලා එයාල එක්ක සෙල්ලම් කරන්න ගියත් පුංචි මාව එයාලගෙ සෙල්ලම් වලට ගැලපුනෙත් නෑ.
අයියා කිසිම දවසක මට ආදරය කරපු කෙනෙක් නම් නෙමේ. ඒක මට හැමදාම දැනුනා. ඒක අදටත් ඒ විදියමයි. අම්මා තලෙළු හමක් තිබ්බ කෙනෙක් හන්දා අයියට තිබ්බේ අම්මගෙ පාටත් තාත්තාගේ පෙනුමත්ලු. මට තිබුනේ තාත්තගේ පාට , තාත්තගේ කොණ්ඩය එක්ක අම්මගෙ පෙනුමලු. මට එහෙම කිව්වේ අම්මගෙ නෑයෝ. ඒ වෙද්දී අම්ම කේන්තියට එයාලගෙ මඟුල් පින්තූරයත් විනාස කරලා තිබ්බ නිසා, මම තාත්තාගේ පාටද කියලා බලන්නවත් පුළුවන් උනේ නෑ...
ඒ උනත් මොනවා හන්දද මන්දා, තාත්තව දකින්න ඕනා කියන සිතුවිල්ල මගේ හිතට කවදාවත් දැනිලා නෑ... සමහර විට මම හිත යටින් තාත්තා අපිව දාලා ගිය එකට වෛර කෙරුවා වෙන්න ඇති....